Skip to content

පටුනට යන්න

කාලගුණයට සිදු වෙමින් පවතින්නේ කුමක්ද?

කාලගුණයට සිදු වෙමින් පවතින්නේ කුමක්ද?

කාලගුණයට සිදු වෙමින් පවතින්නේ කුමක්ද?

“මේ කාලයේ අප අද්දකිමින් සිටින විනාශකාරී ජලගැලීම් හා දරුණු කුණාටු අනාගතයේදී දැනට වඩා වැඩි වනු ඇත.”—කාලගුණික අනතුරු පිළිබඳ විශේෂඥ ටොමස් ලෝස්ටර්.

අප අද්දකින කාලගුණයේ ඇත්තටම යම් අක්‍රමිකතා තිබේද? යම් අක්‍රමිකතා තිබෙන බවට බොහෝදෙනෙක් බිය පළ කරති. පාට්ස්ඩැම්හි පිහිටි දේශගුණික බලපෑම් පිළිබඳ පර්යේෂණ ආයතනයේ සේවය කරන කාලගුණ විද්‍යාඥ ආචාර්ය පීටර් වෙර්නර් මෙසේ පවසයි. “ලොව පුරා සිදු වන කාලගුණික තත්වයන් නිරීක්ෂණය කරමින් ඒවායේ විකාශනය ගැන සලකා බලන විට අපට නිවැරදිව පැවසිය හැකි දෙයක් වන්නේ, පසුගිය අවුරුදු 50 පුරා සිව් ගුණයකින් ඒවා දරුණු වී තිබෙන බවයි. වර්ෂාපතනය, ජලගැලීම්, නියඟ, කුණාටු යනාදියේ දරුණු බවක් දක්නට පුළුවන.”

බොහෝදෙනෙකුට හැඟෙන්නේ අසාමාන්‍ය කාලගුණික රටාවන් මගින් මිහිතලය උණුසුම් වී තිබෙන බවට සාක්ෂි සැපයෙන බවයි. හරිතාගාර ආචරණය (ගිම්හල් පලය) කියාද හඳුන්වනු ලබන එම ක්‍රියාවලිය දරුණු ප්‍රතිවිපාක ඇති කරමින් වර්ධනය වෙමින් පවතී. එක්සත් ජනපදයේ පරිසරය සුරැකීමේ ආයතනය එය පැහැදිලි කරන්නේ මෙසේය. “හරිතාගාර ආචරණය යනු පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑමයි. මෙයට හේතුව වන්නේ වායුගෝලයේ තිබෙන (ජල වාෂ්ප, කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් හා මීතේන් වැනි) ඇතැම් වායු වර්ග මගින් සූර්යයාගෙන් නිකුත් වන තාපය පිටවීමට ඉඩ නොදී උරාගැනීමයි. එම වායු වර්ග නැත්නම් සූර්ය තාපය ආපසු වායු ගෝලයට පිට වී යන අතර පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 33කින් පමණ ශීත වනු ඇත.”

කෙසේවෙතත් මිනිසා නොදැනුවත්ව මෙම ස්වාභාවික ක්‍රියාවලියට බාධා පමුණුවා ඇතැයි බොහෝදෙනෙක් චෝදනා කරති. එක්සත් ජනපදයේ ජාතික ගගන යාත්‍රා විද්‍යාව හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය මගින් පළ කරන අන්තර්ජාලීය ප්‍රකාශනයක් වන පෘථිවි නිරීක්ෂණ කවුළුව (Earth Observatory) නමැති කෘතියේ පළ වූ ලිපියක මෙසේ සඳහන් වේ. “දශක ගණනාවක සිට කර්මාන්ත ශාලා හා මෝටර් රථ මගින් හරිතාගාර වායුන් ටොන් බිලියන ගණනක් වායුගෝලයට මුදාහැර ඇත. . . . හරිතාගාර වායුන් වැඩි වැඩියෙන් එකට එකතු වීම නිසා අමතර තාප කිරණ පෘථිවියෙන් පිට වී යෑමක් සිදු නොවීම ගැන බොහෝ විද්‍යාඥයෝ බිය පළ කරති. මෝටර් රථයකට ඇතුල් වන සූර්ය තාපය එහි තිබෙන විනිවිද පෙනෙන වීදුරු මගින් පිටතට යෑම වළක්වන්නාක් මෙන් පෘථිවි වායුගෝලයේ තිබෙන වැඩිපුර තාපයද එයින් පිට වී යෑම එම වායුන් මගින් වළක්වයි.”

මිනිස් ක්‍රියාකාරකම් නිසා හරිතාගාර වායුන් වායුගෝලයට මුදාහැරෙන්නේ සුළු ප්‍රතිශතයක් බව ඊට ප්‍රතිවිරුද්ධ මත දරන්නෝ පෙන්වා දෙති. කෙසේවෙතත් “පසුගිය වසර 50 පුරා මිහිතලය උණුසුම් වී ඇති ආකාරය දෙස බලද්දී, ඊට හේතුව මිනිස් ක්‍රියාකාරකම් බවට අලුත් මෙන්ම වඩාත් ප්‍රබල සාක්ෂි සොයාගෙන ඇත” කියා දේශගුණික වෙනස්කම් පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය (IPCC) වාර්තා කරයි. මෙය ලෝක කාලගුණ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ අනුග්‍රහය ඇතුව පර්යේෂණ පවත්වන කණ්ඩායමකින් සමන්විත වේ.

ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයේ කාලගුණ විද්‍යාඥයෙකු වන පීටර් ටැන්ස් මෙසේ පවසයි. “මේ ගැන ගණන් බැලීමක් කරන්න කියා මට පැවසුවහොත් මම පෙන්වා දෙන්නේ සියයට 60ක් අප පිට වරද පැටවෙන බවයි. . . . ඉතිරි සියයට 40ට වගකිව යුත්තේ ස්වාභාවික හේතුයි.”

මිහිතලය උණුසුම් වීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක

මිනිස් ක්‍රියාකාරකම් නිසා හරිතාගාර වායුන් දිනෙන් දින ඉහළ යයි. මෙහිදී පැහැදිලිව දැකගත හැකි ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද? පෘථිවිය පෙරට වඩා උණුසුම් වී තිබෙන බවට විද්‍යාඥයන් බොහෝදෙනෙක් දැන් එකඟ වෙති. මෙසේ උෂ්ණත්වය ඉහළ යෑම මොනතරම් ප්‍රබල වී ඇද්ද කියා සිතා බලන්න. “පසුගිය දහනවවන සියවසේ සිට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.4 සිට 0.8 දක්වා වැඩි වී ඇත” කියා 2001 වසරේ IPCC වාර්තාවේ සඳහන් වේ. සුළු වශයෙන් සිදු වූ එම ඉහළ යෑම වර්තමානයේ කාලගුණයේ ප්‍රබල වෙනස්කම් ඇති වීමට හේතු විය හැකි බවට බොහෝ පර්යේෂකයෝ විශ්වාස කරති.

පෘථිවියේ කාලගුණික රටාව විස්මය දනවන තරමට සංකීර්ණය. මිහිතලය උණුසුම් වීමේ බලපෑම් නිශ්චිතව සඳහන් කිරීමට විද්‍යාඥයන්ට පවා නොහැක. කෙසේවෙතත් මිහිතලය උණුසුම් වීමේ ප්‍රතිඵලයක් හැටියට උත්තරාර්ධගෝලයේ වර්ෂාපතනය ඉහළ ගොස් ඇති බවත් ආසියාවේ හා අප්‍රිකාවේ නියඟයන් ඇති වන බවත් පැසිෆික් සාගරයේ සිදු වන එල් නිනෝ ක්‍රියාවලියේ බලපෑම් පෙරට වඩා වැඩි බවත් බොහෝදෙනෙක් විශ්වාස කරති.

සමස්ත ලෝක විසඳුමක් අවශ්‍යයි

මෙම ගැටලුව මිනිසා විසින් ඇති කරනු ලැබූ එකක් බව බොහෝදෙනෙකු සිතන නිසා මෙය විසඳීමට මිනිසාටම නොහැකිද? මෝටර් රථ හා කර්මාන්ත ශාලාවලින් නිකුත් වන දූෂිත වායුන් අවම කිරීම සඳහා රටවල් ගණනාවක් විසින් දැනටමත් නීති පනවා තිබේ. කෙසේවෙතත් එවන් වෑයම් ප්‍රශංසනීය වුවද ඒවායින් හිතකර බලපෑමක් ඇති කර නොමැති තරම්ය. පරිසර දූෂණය සමස්ත ලෝක ගැටලුවකි. එමනිසා ඊට විසඳුමද සමස්ත ලෝක විසඳුමක් විය යුතුය! වර්ෂ 1992දී රියෝ ඩී ජැනීරෝ නුවරදී මිහිතල සමුළුවක් පවත්වන ලදි. ඉන් වසර දහයකට පසුව දකුණු අප්‍රිකාවේ ජොහැනිස්බර්ග්හිදී ධරණීය සංවර්ධනයක් (පරිසරයට දරාගත හැකි අන්දමකින් සංවර්ධනයක් සිදු කිරීම) සඳහා ලෝක සමුළු යනුවෙන් තවත් සමුළුවක් පවත්වන ලදි. වසර 2002දී පවත්වන ලද මෙම සමුළුවට 100දෙනෙකුට ආසන්න රාජ්‍ය නායකයන් ඇතුළුව නියෝජිතයෝ 40,000ක් පමණ පැමිණියහ.

විද්‍යාඥයන් අතර පොදු එකඟතාවක් ඇති කරගැනීම සඳහා එවන් සමුළු මගින් මහත් මෙහෙවරක් ඉටු වී ඇත. මේ ගැන ජර්මනියේ පළ වන පුවත්පතක් (Der Tagesspiegel) මෙසේ පැහැදිලි කරයි. “එදා [1952] සිටි විද්‍යාඥයන් බොහෝදෙනෙකු හරිතාගාර ආචරණය පිළිබඳව සැක පහළ කළත් වර්තමානයේ ඒ ගැන සැක තුරන් වී ඇත.” මෙවන් තත්වයක් පැවතියද ජර්මනියේ පාරිසරික අමාත්‍ය යර්ගන් ට්‍රිටන් අපට මතක් කර දෙන්නේ මෙම ගැටලුවට සැබෑ විසඳුම තවමත් සොයාගෙන නැති බවයි. “එමනිසා ජොහැනිස්බර්ග්හි පවත්වන ලද සමුළුව වචනවලට පමණක් සීමා වූ සමුළුවක් නොවී, වචන ක්‍රියාවට නඟන සමුළුවක් විය යුතුයි.”

පරිසර විනාශය නතර කළ හැකිද?

මිහිතලය උණුසුම් වීම, මානව සංහතිය මුහුණ දෙමින් සිටින පරිසරය හා බැඳි අභියෝග බොහොමයකින් එකක් පමණි. පලදායක පියවරක් ගැනීම ගැන කතා කිරීම පහසු විය හැකි වුවත් එසේ කිරීම ලේසි නොවිය හැක. “අපේ පරිසරයට අප කර තිබෙන දරුණු විනාශය දැන් ඉතින් අපට තේරුම් ගොස් තිබෙන නිසා, අප කරන්නේ තාක්ෂණය උපයෝගි කරගනිමින් විසඳුම් සෙවීම සඳහා අපේ උපරිම දක්ෂතා යොදවමින් සිටීමයි” කියා බ්‍රිතාන්‍ය ජාතික චර්යා විද්‍යාඥවරියක වන ජේන් ගුඩල් සඳහන් කරයි. එනමුත් “තාක්ෂණය පමණක් ප්‍රමාණවත් නැත” කියා ඇය අනතුරු අඟවයි. “අපේ හදවත්ද මෙයට අප සම්බන්ධ කරගත යුතුයි.”

මිහිතලය උණුසුම් වීමේ ගැටලුව ගැන නැවතත් සිතා බලමු. පරිසර දූෂණය වැළැක්වීම සඳහා විශාල මුදලක් වැය වේ. දිලිඳු රටවලට මේ සඳහා මුදල් වැය කිරීමට කොහෙත්ම හැකියාවක් නැත. බලශක්තිය සම්බන්ධයෙන් පනවනු ලබන සීමා නිසා කාර්මික කටයුතුවල නියැලී සිටින සමාගම් ඔවුන්ගේ කර්මාන්ත ශාලා, වැඩි ලාභ ලැබිය හැකි දිලිඳු රටවලට ගෙන යෑමට තිබෙන ඉඩ කඩ ගැන ඇතැම් විශේෂඥයෝ බිය පළ කරති. මේ නිසා යහපත් චේතනා පෙරදැරි කරගෙන කටයුතු කරන නායකයන් පවා ගිරයට හසු වූ පුවක් ගෙඩියක් මෙන් වේ. තම රටේ ආර්ථිකය රැකගැනීමට ඔවුන් පියවර ගන්න විට එයින් පරිසරයට හානි සිදු වේ. පරිසරය සුරැකීමට ඔවුන් අත හිත දෙන විට ආර්ථිකය අනතුරට ලක් වේ.

ජගත් සමුළුවේ උපදේශ කමිටුවේ සාමාජිකාවක් වන සෙවන් කලිස් සූසූකි මේ පිළිබඳව සිය මතය ඉදිරිපත් කරමින් සඳහන් කළේ එක් එක් පුද්ගලයාගේ දායකත්වය මගින් වෙනසක් සිදු කළ යුතු බවයි. “සැබෑ පාරිසරික වෙනසක් ඇති කිරීම රඳා පවතින්නේ අප මතයි” කියා ඇය පැවසුවාය. අපේ නායකයන් දේවල් කරන තෙක් බලා සිටිය නොහැක. අප එක් එක්කෙනාගේ වගකීම් ගැනත් අපට වෙනසක් කළ හැකි ආකාරය ගැනත් අප සිතා බැලිය යුතුයි.”

පරිසරයට ගරු කරන ආකාරයෙන් හැසිරීම මිනිසුන්ගෙන් අපේක්ෂා කිරීම සාධාරණය. එනමුත් මිනිසුන්ගේ ජීවන රටාවල අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට පෙලඹවීම එතරම් ලෙහෙසි දෙයක් නොවේ. මෙය මෙසේ නිදර්ශනය කළ හැක. මිහිතලය උණුසුම් වීමට රථවාහන බලපාන බවට බොහෝදෙනෙක් එකඟ වෙති. මේ නිසා රියපැදවීම අඩු කිරීමට හෝ රථවාහන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමට යමෙකු කැමති වීමට ඉඩ ඇත. එහෙත් එවැනි දෙයක් කිරීම ලෙහෙසි නොවිය හැක. වූපර්ටාල්හි පිහිටි දේශගුණික, පාරිසරික හා බලශක්ති ආයතනයේ වොල්ෆ්ගං සාක්ස් පෙන්වා දුන්නාක් මෙන් “ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් සිදු වන සියලුම තැන්වලට (රැකියා ස්ථානයට, ළදරු පාසැලට, පාසැලට හා වෙළඳ සැලට) වාහනයක් නොමැතිව යෑම සිතාගත නොහැකි තරම් දෙයක් බවට පත්ව ඇත. . . . මට පෞද්ගලිකව වාහනයක් අවශ්‍යද නැද්ද යන්න මෙම ගැටලුවට කිසිසේත් සම්බන්ධ නැත. බොහෝදෙනෙකුට වාහනයක් තිබීම හැර වෙන විකල්පයක් නැත.”

මිහිතලය උණුසුම් වීමේ අහිතකර ප්‍රතිවිපාකවලින් පෘථිවිය බේරාගැනීම දැනටමත් ප්‍රමාද වැඩි විය හැකි බවට ජෝර්ජියාහි පිහිටි මිහිතලය හා වායුගෝලීය තාක්ෂණවේදී අධ්‍යයන ආයතනයේ මහාචාර්ය රොබට් ඩිකින්සන් වැනි ඇතැම් විද්‍යාඥයන් බිය පළ කරති. පරිසර දූෂණය අද නතර කළත් අතීත ක්‍රියාකාරකම් නිසා ඉන් වායුගෝලයට සිදු වූ හානිය අඩුම තරමින් තවත් අවුරුදු 100ක්වත් පවතිනු ඇතැයි කියා ඩිකින්සන් විශ්වාස කරයි.

පාරිසරික ගැටලු විසඳීමට ආණ්ඩුවලට හෝ යම් පුද්ගලයන්ට නොහැකි නම් ඒවා විසඳිය හැක්කේ කාටද? පුරාණයේ පටන් ජනයා කාලගුණය පාලනය කිරීම සඳහා විවිධ දෙවිවරුන්ගෙන් උපකාර ඉල්ලා ඇත. මෙය පාරම්පරික විශ්වාසයක් මෙන් දිස් විය හැකි වුවද ඒවායින් යම් මූලික සත්‍යයක්, එනම් මේ ගැටලු විසඳාගැනීම සඳහා දිව්‍ය උපකාරය මානවවර්ගයාට අවශ්‍ය බව ඉන් හෙළි වේ.

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“පසුගිය වසර 50 පුරා මිහිතලය උණුසුම් වී ඇති ආකාරය දෙස බලද්දී, ඊට හේතුව මිනිස් ක්‍රියාකාරකම් බවට අලුත්ම මෙන්ම වඩාත් ප්‍රබල සාක්ෂි සොයාගෙන ඇත”

[24වන පිටුවේ කොටුව]

“මිහිතලය උණුසුම් වීම සෞඛ්‍යයට අහිතකරද?”

කාගෙත් විමසුමට ලක් වන මෙම ප්‍රශ්නය නඟා තිබුණේ සයන්ටිෆික් අමෙරිකන් නමැති සඟරාවේ පළ වූ ලිපියකයි. මිහිතලය උණුසුම් වීමේ “ප්‍රතිඵලයක් හැටියට බරපතළ සෞඛ්‍ය ගැටලු බොහොමයක් වඩාත් පුළුල්ව ව්‍යාප්ත වනු ඇති” බවට අනාවැකි පළ කර ඇත. නිදසුනක් වශයෙන් ඇතැම් රටවල “අධික රස්නය නිසා මිය යන අයගේ ගණන 2020 වන විට දෙගුණයකින් වැඩි වන බවට ගණන් බලා ඇත.”

මිහිතලය උණුසුම් වීම, බෝවන රෝග පැතිරී යෑමට බලපෑ හැකි ආකාරය ගැන එතරම් තොරතුරු අනාවරණය වී නැත. “වාතය උණුසුම් වෙද්දී මදුරුවන් බෝ වීම වැඩිවීමත් වැඩි පිරිසකට දෂ්ට කිරීමත් නිසා මදුරුවන් මගින් බෝ වෙන රෝග විශාල වශයෙන් ව්‍යාප්ත වන බවට ගණන් බලා ඇත. . . . යම් ප්‍රදේශ පුරාම උණුසුම වැඩි වන විට කලින් නොසිටි ප්‍රදේශවල පවා මදුරුවන් ව්‍යාප්ත වී විවිධ රෝග ඇති කරවයි.”

මිහිතලය උණුසුම් වීම ජලගැලීම් හා නියඟවලටද හේතු වේ. මේ තත්වයන් දෙකම ජල සැපයුම දූෂ්‍ය වීමට හේතු විය හැකියි. මිහිතලය උණුසුම් වීමේ තර්ජනය බැරෑරුම් ලෙස සැලකිය යුතු දෙයක් බව පැහැදිලියි.

[25වන පිටුවේ පින්තූරය]

හරිතාගාර ආචරණය නිසා තාපය වායුගෝලයෙන් පිට වී යනවා වෙනුවට එහිම රැඳී පවතී.

[හිමිකම් විස්තර]

NASA photo

[25වන පිටුවේ පින්තූරය]

මිනිසා දූෂිත ද්‍රව්‍යයන් ටොන් බිලියන ගණනක් වායුගෝලයට මුදාහරින්නේ හරිතාගාර ආචරණය වේගවත් කරමිනි