කාලගුණය වෙනස් වී තිබේද?
කාලගුණය වෙනස් වී තිබේද?
“ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනෙක් හමු වූ විට ඔවුන් මුලින්ම කතා කරන්නේ කාලගුණය ගැනයි.” හාස්‍ය උපදවමින් එම වදන් පැවසුවේ සුප්‍රසිද්ධ ලේඛකයෙකු වූ සැමුවෙල් ජොන්සන්ය. කෙසේවෙතත්, මෑතක සිට නම්, කාලගුණය, යමෙකු සමඟ කතා බහකට මුලපුරන මාතෘකාවකට වඩා වැඩි යමක් බවට පත් වී තිබේ. මෙය අද ලොව පුරා සිටින ජනයාගේ දැඩි සැලකිල්ලට ලක් වී තිබෙන දෙයකි. මීට හේතුව කුමක්ද? කවදත් නිශ්චිතව අනාවැකි පළ කළ නොහැකි තත්වයක පවතින කාලගුණය දිනෙන් දින අස්ථාවර වන බව දකින්න තිබීම එයට හේතුවයි.
නිදසුනක් වශයෙන් 2002 වසරේ ගිම්හානයේදී ඇති වූ අසාමාන්‍ය වැසි කුණාටු නිසා යුරෝපයට බරපතළ හානි සිදු විය. “සියවසක් තුළ මධ්‍යම යුරෝපයේ සිදු වූ දරුණුතම ජලගැලීම්” ඇති වීමට එම වැසි කුණාටු හේතු විය. පහත සඳහන් පුවත් වාර්තා සලකා බලන්න.
ඔස්ට්‍රියාව: “දරුණු වැසි කුණාටු මගින් ඔස්ට්‍රියාවේ පිහිටි සැල්ස්බර්ග්, කරින්තිය හා ටිරෝල් යන පළාත්වලට බරපතළ හානි සිදු විය. මහාමාර්ග බොහොමයක් මඩවලින් යට වූ අතර සුන්බුන් හා මඩ මීටර් 15ක් පමණ උසක් දක්වා ගොඩගැසී තිබිණ. ගිගුරුම් සහිත කුණාටුවක් නිසා වියනා නුවර පිහිටි සූට්බාංහෝෆ් දුම්රියපොළේදී සිදු වූ දුම්රිය අනතුරකින් කිහිපදෙනෙකු තුවාල විය.”
චෙක් ජනරජය: “ප්‍රාග් නගරය ඉතා බිහිසුණු අද්දැකීමකට මුහුණ දුන්නේය. එහෙත් මෙම විපතින් වෙනත් පළාත්වලට සිදු වූ හානිය ප්‍රාග් නගරයට වඩා දරුණු වී ඇත. ලක්ෂ දෙකක් පමණ වූ ජන පිරිසකට උන්හිටි තැන් අහිමි වී ඇත. නගර කිහිපයක්ම මුළුමනින්ම ජලයෙන් යට වී තිබේ.”
ජර්මනිය: “‘මේ සියවසේ සිදු වූ දරුණුතම ජලගැල්ම’ නිසා ෆෙඩරල් ජනපද ඉතිහාසයේ මින් පෙර කවදාවත් වාර්තා වී නොමැති තරම් ජන පිරිසක් නගර හා ගම් අත්හැර දමා ගොස් ඇත. බොහෝදෙනෙකු මෙසේ කර තිබෙන්නේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙසයි. බෝට්ටු හා හෙලිකොප්ටර් මගින් සමහරුන්ව ගංවතුරෙන් බේරාගත්තේ අවසන් මිනිත්තුවේදීය.”
ප්‍රංශය: “විසිතුන්දෙනක් මිය ගොස් සිටින අතර නවදෙනෙක් අතුරුදහන් වී ඇත. දහස් ගණනකට දරුණු ලෙස අලාභ හානි සිදු වී ඇත. සඳුදා සිදු වූ කුණාටුවකදී ඇති වූ විදුලි කෙටීම් හේතුවෙන් තුන්දෙනෙක් මිය ගියහ. . . . ජල පහරට ගසාගෙන යමින් තිබූ මෝටර් රථයක් ඇතුළේ සිටි යුවළක් බේරාගැනීමෙන් පසු ගිනි නිවන භටයෙක් මරුමුවට පත් විය.”
රුමේනියාව: “කුණාටු නිසා ජූලි මැද සිට දොළොස්දෙනෙකු පමණ මිය ගොස් ඇත.”
රුසියාව: “කලු මුහුදේ වෙරළබඩ තීරයේ අඩුම තරමින් මිනිසුන් 58දෙනෙකුගේවත් මළ සිරුරු සොයාගත හැකි විය. . . . මෝටර් රථ හා බස් රථ 30ක් පමණ එම මුහුදු පත්ලේ රැඳී තිබෙන අතර, තවත් කුණාටු ඇති විය හැකි බවට නිකුත් කරන ලද අනතුරු ඇඟවීම්වලින් පසු ඒවායේ සිර වී සිටිය හැකි අයව සෙවීම අත්හරින්නට විය.”
යුරෝපයට පමණක් සීමා නොවේ
වසර 2002 අගෝස්තු මාසයේදී, ජර්මනියේ දිනපතා පළ වන පුවත්පතක (Süddeutsche Zeitung) මෙසේ වාර්තා විය. “කෙටි කාලයක් පුරා පවතින කාලගුණික විපර්යාස නිසා ඇති වන අධික වර්ෂා හා දරුණු කුණාටුවලින් ආසියාව, යුරෝපය හා දකුණු අමෙරිකාව යන මහද්වීපවලට දරුණු හානි සිදු වී ඇත. බදාදා නේපාලයේ සිදු වූ නායයෑමක් නිසා අඩුම තරමින් මිනිසුන් 50දෙනෙක්වත් මිය ගියෝය. දකුණු චීනයේ සුළි සුළඟක් නිසා අටදෙනෙකු මිය ගිය අතර මධ්‍යම චීනයට ධාරානිපාත වර්ෂාවක් ඇදහැළිණ. චීනයේ සිදු වූ ජලගැලීම් නිසා මීකොන් ගඟ වසර තිහකට පසු එහි උපරිම මට්ටමකට ළඟා වූ අතර, එහි ප්‍රතිඵලයක් හැටියට ඊශාන දිග තායිලන්තයේ නිවාස 100කට වඩා ජලයෙන් යට විය. . . . ආජෙන්ටිනාවට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් පසු අඩුම තරමින් පස්දෙනෙක්වත් දියේ ගිලී මිය ගියෝය. . . . චීනයේ ගිම්හාන ඍතුවේ සිදු වූ කුණාටු නිසා දහස් ගණනකට වැඩි පිරිසක් මරුමුවට පත් වී ඇත.”
ලෝකයේ බොහෝ රටවල් ජලය නිසා විපත් අද්දකින අතරේදී, එක්සත් ජනපදයට දරුණු නියඟයකට මුහුණ දෙන්නට විය. මේ පිළිබඳව මෙසේ වාර්තා වේ. “ජල මට්ටම පහත වැටීම, ළිංවල ජලය සිඳී යෑම, ගංගාවල ජල පහර විශාල ලෙස අඩු වී තිබීම හා මේ ඍතුවේ සිදු වූ ලැව් ගිනි ගණන සාමාන්‍යය මෙන් දෙගුණයක් වීම යනාදිය රට පුරා ජනයාගේ සැලකිල්ලට යොමු වී තිබේ. වර්ෂ 2002 ග්‍රීෂ්ම ඍතුවේ සිදු වූ නියඟය හේතුවෙන් ඇති වන ආර්ථික පාඩුව ඩොලර් බිලියන ගණනක් වනු ඇති බවට විශේෂඥයෝ අනාවැකි පළ කරති. ඔවුන් මෙසේ කරන්නේ ධාන්‍ය වගා භූමි හා තණ බිම් විනාශ වීම, පානීය ජල සැපයුම හිඟවීම හා ලැව් ගිනි මෙන්ම දූවිලි කුණාටු සැලකිල්ලට ගෙනය.”
උතුරු අප්‍රිකාවේ ඇතැම් දේශ 1960 ගණන්වල සිට දරුණු නියඟයකට මුහුණ දී ඇත. වාර්තාවලට අනුව “විසිවන සියවසේ මුල්භාගයේ ලැබූ වර්ෂාපතනය ඊට කලින් ලැබූ වර්ෂාපතනයට වඩා සියයට 20 සිට 49 දක්වා අඩු අගයක් ගනී. මේ හේතුව නිසා සාගත දසත පැතිරී යන අතර මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී.”
නැඟෙනහිර පැසිෆික් සාගරයේ ජලය උණුසුම් වීමේ ප්‍රතිඵලයක් හැටියට ඇති වන එල් නිනෝ කියා හඳුන්වනු ලබන කාලගුණික රටාව නිසා උතුරු හා දකුණු අමෙරිකාවේ කලින් කලට ජලගැලීම් හා වෙනත් කාලගුණික විපර්යාසයන් සිදු වේ. a “දහසකට වැඩි මරණ සංඛ්‍යාවකටද, කාලගුණය නිසා සෑම මහාද්වීපයකම පාහේ සිදු වූ විපත්වලටද, දේපොළවලට හා සත්ව ගොවිපොළවලට සිදු වූ ඩොලර් බිලියන 10ක පාඩුවටද වගකිව යුත්තේ” 1983/84 කාල වකවානුවේ ඇති වූ එල් නිනෝ බව CNN පුවත් සේවය වාර්තා කරයි. එල් නිනෝ මුලින්ම හඳුනාගත්තේ 19වන සියවසේදී වන අතර, එතැන් පටන් එය වරින් වර (සෑම වසර හතරකට වරක් පමණ) යළි යළිත් ඇති වේ. එනමුත් “එල් නිනෝ ඇති වන වාර ගණන වැඩි වී තිබේ” කියා ඇතැම් විශේෂඥයන් විශ්වාස කරන අතර අනාගතයේදී එය “දැනට වඩා වැඩි වාර ගණනක් ඇති විය හැක.”
එක්සත් ජනපදයේ ජාතික ගගන යාත්‍රා විද්‍යාව හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය මගින් පළ කරන ලද ලිපියක මෙම සහතිකය සපයයි. “අප අද්දකිමින් සිටින ‘අසාමාන්‍ය’ කාලගුණික විපර්යාස බොහොමයකට හේතුව වන්නේ සාමාන්‍යයෙන් කලාපීය වශයෙන් කාලගුණයේ සිදු වන වෙනස් වීම්ය. නිදසුනක් වශයෙන් ශරත් ඍතුව අසාමාන්‍ය ලෙස උණුසුම් විය හැකි අතර ශීත ඍතුවේදී තෙතමනය වෙනදාට වඩා වැඩි විය හැකියි.” කෙසේවෙතත් බරපතළ ගැටලුවක් තිබිය හැකි බවට ලකුණු තිබේ. පරිසරය සුරැකීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන ග්‍රීන්පීස් සංවිධානය මෙසේ අනාවැකි පළ කරයි. “දැනට වඩා දරුණු සුළි සුළං හා ධාරානිපාත වර්ෂා ඇතුළු අනතුරුදායක කාලගුණික විපර්යාස පෘථිවිය මත මහත් විනාශයක් අඛණ්ඩව සිදු කරනු ඇත. දැනට වඩා දරුණු නියඟ හා ජලගැලීම් නිසා පෘථිවියේ භූ දසුන් සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක. වෙරළාසන්න භූමි ප්‍රදේශ මුහුදට යට වන අතර වනාන්තර විනාශ වනු ඇත.” මෙවැනි ප්‍රකාශවලට පදනමක් තිබේද? එසේනම් මේ ‘අනතුරුදායක කාලගුණික විපර්යාසවලට’ හේතුව කුමක්ද?
[පාදසටහන]
[21වන පිටුවේ පින්තූර]
ජර්මනියේ ගංවතුර ගැලූ අයුරු (ඉහළ)