Skip to content

පටුනට යන්න

කාලගුණික විපත් නොමැති කාලයක්!

කාලගුණික විපත් නොමැති කාලයක්!

කාලගුණික විපත් නොමැති කාලයක්!

“නවීන මිනිසා සැප පහසුව, වේගය හා ආර්ථික ලාභ ප්‍රයෝජන සඳහා දක්වන ගිජුකම නිසා මිහිතලයට දක්වන ගෞරවනීය සැලකිල්ල පහ වී ගොස් ඇත.” මෙම වදන් කියවීමට තිබෙන්නේ පෘථිවිය බේරාගැනීමට තව දවස් 5000යි (සිංහලෙන් නැත) නමැති පොතේ පිට කවරයේය. අප දිවි ගෙවන්නේ මිනිසාගේ ගිජුකමේ ප්‍රතිඵල සමඟිනි. මිහිතලය උණුසුම් වීම පිළිබඳව ඉදිරිපත් කරනු ලබන මත සත්‍යය වුවත් නැතත් එක දෙයක්, එනම් මිනිසා අපේ අලංකාර පෘථිවියට හානි කරමින් සිටින බව නම් පැහැදිලියි. අපට තබාගත හැකි එකම බලාපොරොත්තුව වන්නේ දෙවි “පොළොව විනාශ කරන අයව විනාශ කර [දමන]” බවට බයිබලයේ සඳහන් පොරොන්දුවේ ඉටුවීම පමණි.—එළිදරව් 11:18, NW.

දූෂිත මිනිස් පාලන ක්‍රමය වෙනුවට මුළුමනින්ම නව පාලන ක්‍රමයක් දෙවි පිහිටුවනු ඇත. මේ අදහස විශ්වාස කළ නොහැකි පිස්සු ආගමික මතයක් කියා පැත්තකට දමනවා වෙනුවට මේ ගැන සිතා බලන්න. පෘථිවියේ පරිසරය ගැන වඩාත් හොඳින් දන්නේ එහි නිර්මාතෘ හැර වෙන කවුද? මිහිතලයට සිදු වෙමින් පවතින දෙය ගැන සොයා බලන්න ඔහුට අයිතියක් නැද්ද? මේ ගැන ඔහුට අයිතියක් තිබෙන බව පැහැදිලි කරමින් බයිබලයේ යෙසායා පොතේ 45:18හි මෙසේ සඳහන් වේ. යෙහෝවා ‘පොළොව මවා සාදා එය පිහිටෙව්වාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස සෑදුවාවූ සැබෑ දෙවිය.’ මෙම අරමුණ ඉටු කරගැනීම සඳහා පොළොවේ කටයුතුවලට මැදිහත් වීමට ඔහුට හැකි අතර ඉදිරියේදී ඔහු එසේ කරනු ඇත.

දෙවි මෙය කරන්නේ පොළොව පාලනය කිරීම සඳහා නව ආණ්ඩුවක් නොහොත් රාජ්‍යයක් පිහිටුවීමෙනි. ස්වාමීන්ගේ යාච්ඤාව කියා හඳුන්වනු ලබන යාච්ඤාවේදී, “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා ක්‍රිස්තියානීන් පවසන විට ඔවුන් ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුව මගින් පොළොවේ පාලනය බාරගන්නා ලෙසටය. (මතෙව් 6:9, 10, NW) දෙවිගේ රාජ්‍ය නොහොත් ආණ්ඩුව කටයුතු කරනු ඇත්තේ පොළොවේ සංකීර්ණ ස්වාභාවික චක්‍ර පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිවයි. පරිසර විනාශය හා දූෂණය නිසා පොළොවේ හානියට පත් වී ඇති ප්‍රදේශ මෙම ආණ්ඩුව මගින් යළි යථා තත්වයට පත් කරනු ලැබේ. මේ ගැන යෙසායා 35:1, 6 මෙසේ සඳහන් වේ. “කාන්තාරය . . . සෙව්වන්දි මෙන් මල් දරන්නේය. කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳ එන්නේය.”

දෙවි මැදිහත් වන තෙක්

වසර 2002දී සිදු වූ ජලගැලීම්වලින් පසුව බටහිර ජර්මනියේ හිටපු චාන්සල්වරයෙකු වන හෙල්මුට් ෂ්මිට් මෙසේ සඳහන් කළේය. “ජලගැලීම් නිසා වේලි කැඩී බිඳී යෑම වැළැක්වීමට කිසිවෙකුට නොහැකියි. මෙවැනි ස්වාභාවික විපත් නොනැවතී සිදු වෙයි.” මෙය සත්‍යයකි. විනාශකාරී කාලගුණික වෙනස්කම්වලට ගොදුරු වන විට මිනිසුන්ට කළ හැක්කේ ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා තමන්ට හැකි උපරිමය කිරීම පමණයි. එවන් විනාශකාරී සිදුවීම් මගින් විපත් ඇති කළද, ඒවායින් යම් යහපත් බලපෑමක්ද ඇති කළ හැකියි. තමන්ගේ අසල්වැසියන් කෙරෙහි තිබෙන තමන්ගේ ප්‍රේමය හා සැලකිල්ල පෙන්වීමට එමගින් ජනයා තුළ පෙලඹීමක් ඇති විය හැකියි. (මාක් 12:31) නිදසුනක් වශයෙන් යුරෝපයේ සිදු වූ ජලගැලීම්වලදී ඇතැම් අය තුළ එය දැකගත හැකි විය. මේ ගැන එක් පුවත්පතක සඳහන් වූයේ මෙසේය. ‘ජර්මනියේ සෑම පළාතකින්ම පාහේ ස්වෙච්ඡා සේවකයන් මහත් උනන්දුවෙන් සහන සේවා සැපයීමේ කාර්යයට එක් විය. දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු ස්වේච්ඡා සේවකයන් විශාල පිරිසක් හවුල් වූයේ මේ අවස්ථාවේදීය.’

මේ ස්වේච්ඡා සේවකයන් අතර යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක්ද වූහ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් දියත් කරන ලද සහන සේවා පිළිබඳව තොරතුරු අපගේ ප්‍රකාශනවල කලින් කලට පළ වේ. මේ ක්‍රිස්තියානීන් කළ ක්‍රියාව, අනාගතයේදී දෙවිගේ ආණ්ඩුව පොළොව පාලනය කරන විට දකින්නට තිබෙන දෙයක පෙරදැක්මකි. ඒ ආණ්ඩුව පාලනය කරන කාලයේදී තෘෂ්ණාවලින් හා ආත්මාර්ථකාමිත්වයෙන් තොර වූ ප්‍රේමයක් මෙන්ම සහෝදරත්වයක් පොළොවේ පවතිනු ඇත.—යෙසායා 11:9. a

පුරාණයේ විසූ ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දුන් මෙම පොරොන්දුවෙන් ක්‍රිස්තියානීන්ට සැනසිල්ලක් ලබාගත හැකියි. “[මම] ඔබේ දේශයට නියම කාලය වන සරත් කාලයේ දී සහ වසන්තයේ දී වැසි [වස්සන්නෙමි].” (ද්විතීය කථාව [ද්විතීය නීති සංග්‍රහය] 11:14, නව අනුවාදය) කාලගුණික විපර්යාස මගින් ඇති කරන විනාශයන් නොමැති දෙවිගේ නව ලොවේ ජීවත් වීමේ වරප්‍රසාදය ලබන අය එම පොරොන්දුවේ ඉටුවීම අද්දකිනු ඇත.

[පාදසටහන]

a රාජ්‍යයක් මගින් කරන පාලනයක් පිළිබඳව බයිබලයේ සඳහන් පොරොන්දුව ගැන තවත් දේවල් ඉගෙනගන්න ඔබ කැමති නම්, ඔබගේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අමතන්න. නැත්නම් මේ සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.

[27වන පිටුවේ කොටුව⁄පින්තූරය]

කාලගුණය මුළුමනින්ම පාලනය කෙරේ

දෙවි ඇති කරන නව ලොවේදී කිසිවෙකුට දරුණු කුණාටු මගින් තමන්ගේ නිවෙස් හා වගාවන් විනාශ වීම ගැන ජනයාට බියක් නොදැනෙනු ඇත. (2 පේතෘස් 3:13) කාලගුණය මුළුමනින්ම පාලනය කිරීමේ හැකියාව දෙවිට සහ ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ට තිබෙන බවට බයිබලය පැහැදිලිව සඳහන් කරයි. බයිබලයෙන් උපුටාගත් මෙම පාඨ සලකා බලන්න.

උත්පත්ති 7:4: “තව සත් දවසකින් දහවල් සතලිසක්ද රෑ සතලිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි.”

නික්මයාම 14:21: “යෙහෝවා ඒ මුළු රාත්‍රියෙහි බලවත් වූ නැඟෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩ බිමක් කළේය. ජලයද බෙදී ගියේය.”

1 සාමුවෙල් 12:18: “සාමුවෙල් යෙහෝවාට යාච්ඤා කළේය. යෙහෝවා එදා අහස් ගර්ජනාවද වර්ෂාවද එව්වේය. එවිට මුළු සෙනඟ යෙහෝවාටත් සාමුවෙල්ටත් බොහෝ සෙයින් භය වූහ.”

යෝනා 1:4: “යෙහෝවා තද සුළඟක් මුහුද පිටට [පැමිණෙන්න සැලැස්සුවේය]. එයින් මුහුදේ මහත් කුණාටුවක් වී නැව බිඳෙන්ට ළං විය.”

මාක් 4:39 [NW]: “ඔහු [දෙවිගේ බලයෙන් ක්‍රියා කළ යේසුස්] අවදිව සුළඟට තරවටු කරමින්, ‘නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න!’ කියා මුහුදට පැවසීය. එවිට සුළඟ නැවතී, මහත් නිශ්චලතාවක් ඇති විය.”

[26, 27වන පිටුවේ පින්තූර]

දෙවිගේ නව ලොවේදී විනාශකාරී කාලගුණික තත්වයන් ගැන අප බිය විය යුතු නැත