Skip to content

පටුනට යන්න

පරාග—හිසරදයක්ද? නැතහොත් විස්මයක්ද?

පරාග—හිසරදයක්ද? නැතහොත් විස්මයක්ද?

පරාග—හිසරදයක්ද? නැතහොත් විස්මයක්ද?

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්

මනුෂ්‍යයන් මිලියන ගණනකට මල් පීදෙන වසන්තය උදා වී ඇති බව කියා පාන්නේ හචිස් යන කිවිසුම් හඬත්, කඳුළු ගලන හා කසන ඇස් මෙන්ම දියර ගලන නාසයත් සමඟින්. පීනස් ගතිය ලෙස හඳුන්වන මෙම අසාත්මිකතාවට හේතු වන්නේ වායුගෝලය පුරා පැතිර තිබෙන පරාගයි. කාර්මික රටවල වෙසෙන ජනයාගෙන් හයදෙනෙකුගෙන් එක් අයෙකු මෙම පරාග අසාත්මිකතාවෙන් පෙළෙනවා කියා එංගලන්තයේ පළ වන සඟරාවක (BMJ; කලින් මෙය හැඳින්වූයේ British Medical Journal ලෙසින්) සඳහන් වුණා. ඇත්තටම ශාක මගින් වාතයට මුදාහරින පරාග සංඛ්‍යාව හා සසඳන කල එය යම් තැතිගන්වන සංඛ්‍යාවක් කියා සිතන්නට බැහැ.

විද්‍යාඥයන් තක්සේරු කරන ආකාරයට ස්වීඩනයේ තුනෙන් එක් කොටසක් වන දකුණු දිශාවේ පයින් වනාන්තරවලින් පමණක් වසරකට පරාග ටොන් 75,000ක් නිකුත් වෙනවා. උතුරු අමෙරිකාවේ අසාත්මිකතාවෙන් පෙළෙන්නන්ට හිසරදයක් වූ ඇම්බ්‍රෝසියා වර්ගයට අයත් රැග්වීඩ් (නිජබිම උතුරු අමෙරිකාව) ගසට දිනකට පරාග කණිකා මිලියනයක් තරම් ප්‍රමාණයක් නිපදවීමට හැකියාවක් තිබෙනවා. සුළඟට ගසාගෙන යන මෙම රැග්වීඩ් පරාග, පොළොවේ සිට කිලෝමීටර තුනක් ඉහළ වායුගෝලයෙත් මුහුදේ සිට කිලෝමීටර හයසියයක් දක්වා වූ වායුගෝලයෙත් තිබෙන බව සොයාගෙන තිබෙනවා.

සමහර පුද්ගලයන්ට අසාත්මිකතාවක් ඇතිවීමට පරාග හේතු වන්නේ මන්ද? එම ප්‍රශ්නය සැලකිල්ලට බඳුන් කිරීමට පෙරාතුව පරාගය හොඳින් අධ්‍යයනය කර මෙම ඉතා කුඩා බීජ තුළ දක්නට ලැබෙන විස්මිත නිර්මාණය දෙසට නෙත් විවර කරමු.

පැවැත්මට දායක වන කුඩා බීජ

පරාගය “සෑදෙන්නේ බීජ හටගන්නා ශාකවල පරාගධානියේ නැතහොත් පිරිමි කොටසේයි (එනම් පුමංගයේයි). එම පරාග විවිධ මාධ්‍යයන් මාර්ගයෙන් (සුළං, ජලය, කෘමීන් ආදි) ජායාංගය නැතහොත් ගැහැනු කොටසට පැමිණෙයි. සංසේචනය සිදු වන්නේ එහිදීයි” කියා දි එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා සඳහන් කරනවා.

මල් හටගන්න ශාකවල පරාග කණිකා සැකසී තිබෙන්නේ විශේෂ කොටස් තුනකින්. ඒ ජනක න්‍යෂ්ටියකින් සහ ස්තර දෙකකින්. කණිකාවේ පොත්ත හෝ බිත්තිය සෑදී තිබෙන්නේ මේ ස්තර දෙකෙන්. පිටතින් තිබෙන තද ස්තරය කඩා බිඳිය නොහැකි අතර ඕනෑම සැර අම්ලයක, ක්ෂාරීය ද්‍රව්‍යයක සහ තද උෂ්ණයකට පවා ඔරොත්තු දීමේ හැකියාවක් ඊට තිබෙනවා. වර්ග කිහිපයක් හැරෙන්න සෑම පරාගයකටම සංසේචනය වීමට තිබෙන හැකියාව පවතින්නේ දින කිහිපයක් හෝ සති කිහිපයක් හෝ පමණයි. නමුත් තද ස්තරයට වසර දහස් ගණනක් දිරාපත් නොවී පවතින්න පුළුවන්. මේ හේතුව නිසා පරාග කණිකා පොළොවේ පස තුළ ඕනෑ තරමක් සොයාගත හැකියි. පසෙහි විවිධ ස්තරවලින් ලබාගත් පස් සාම්පල තුළ සම්බ වූ පරාග පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පොළොවේ ශාක ඉතිහාසය පිළිබඳව බොහෝ තොරතුරු රැස් කරගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

විවිධ පරාග වර්ගවල පරාග කණිකාවේ පිටත සිවියේ තිබෙන වෙනස් මෝස්තර රටාවන්වලට ස්තුතිවන්ත වන්න ශාක ඉතිහාසය පිළිබඳව රැස් කරගෙන තිබෙන තොරතුරු ඉතා නිවැරදියි කියා සැලකිය හැකියි. පරාගයේ වර්ගය අනුව එහි සිවිය සුමට, රැළි සහිත, මෝස්තර සහිත හෝ උල් කටු සහ ගැට සහිත ස්වභාවයක් ගන්නවා. “යම් ගස් වර්ග හඳුනාගන්න පරාග උපකාරවත් වෙනවා. මන්දයත් එක් එක් වර්ග මිනිස් ඇඟිලි සලකුණු වගේ විශ්වාසදායකයි” කියා මානව විද්‍යාවේ මහාචාර්යවරයෙක් වන කනිෂ්ඨ වෝන් එම්. බ්‍රයන්ට් කියා සිටිනවා.

ශාක පරාගණය සිදු කරන ආකාරය

පරාග කණිකාව ගැහැනු ශාකවල ජායාංගයේ කොටසක් වන කලංකය මතට ආ විට රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් පරාග කණිකාව පිපිරී නලයක් සෑදෙයි. එම නලය ඩිම්බය වෙත පිවිසෙනවා. ඉන්පසු පරාග කණිකාවේ තිබෙන ජනක සෛල එම නලය දිගේ ඩිම්බය වෙත ගොස් සංසේචනය වී බීජයක් උපදවනවා. බීජය මේරුණු පසු පැළවීමට සුදුසු බිම් පෙදෙසක් එයට අවශ්‍ය කරනවා.

බීජ හටගන්න සමහර ශාක, පිරිමි හෝ ගැහැනු ශාක ලෙස වැඩුණත් බොහෝ ශාක පරාග සහ ඩිම්බ යන දෙවර්ගයම නිපදවනවා. සමහර ශාකවල ස්වපරාගණය සිදු වන අතර සමහර ශාක පරාග තම වර්ගයේම වෙනත් ශාක සමඟ හෝ එම ශාකයේම වෙනත් මලක් සමඟ පරාගණය සිදුවීමට සලස්වනවා. එය පරපරාගණය ලෙස හඳුන්වනවා. පරපරාගණය සිදු කරන ශාක “තම පරාග නිකුත් කරන්නේ එම ශාකයේම කලංක පිදීමට පෙර හෝ පසුවයි. එසේ කරන්නේ ස්වපරාගණයක් වැළැක්වීමටයි” කියා බ්‍රිටැනිකාවෙහි සඳහන් වෙනවා. සමහරක් ශාක තුළ එය තමන්ගේම පරාගයක්ද නැතහොත් තම වර්ගයේ වෙනත් ශාකයක පරාගයක්ද කියා හඳුනාගැනීම සඳහා ඉවහල් වන රසායනික ද්‍රව්‍යයන් තිබෙනවා. පැමිණ තිබෙන පරාගය තමන්ගේම එකෙකු කියා දැනගත් විට පරාග නාලය වර්ධනය වීමට ඉඩ නොදෙමින් අක්‍රිය කරනවා.

විවිධ ශාක වර්ගවලින් ගහන ප්‍රදේශයක තිබෙන වාතයෙහි පරාග රැසක් සැරිසරමින් පවතිනවා වන්න පුළුවන්. එමනිසා ශාක තමන්ට අවශ්‍ය පරාගය තෝරා බේරා ගන්නේ කොහොමද? මෙය වායු ගති විද්‍යාව නමැති සංකීර්ණ ක්‍රියාදාමය නිසා සිදු වෙන බවයි සමහරුන් පවසන්නේ. නිදසුනකට පයින් ගස් පිළිබඳව සොයා බලමු.

සුළඟ යොදාගනිමින්

පිරිමි පයින් ශාකවල ගෙඩි හටගන්නේ එක පොදියට. එම ගෙඩි හොඳින් මේරුණු පසු පරාග විශාල ප්‍රමාණයක් වාතයට මුදාහරිනවා. ගැහැනු පයින් ශාක තමා වටා තිබෙන ඉඳිකටු හැඩැති පත්‍රවල ආධාරයෙන් තමන් වෙත සුළඟ ගලා ඒමට සලස්වනවා. එවිට සුළඟ මගින් ගසාගෙන ආ පරාග පයින් ගසේ ගෙඩිවල (cone) තිබෙන ප්‍රජනක පෘෂ්ඨ මත වැටෙනවා. ජායාංග හෙවත් ගැහැනු කොටස් පරාග භාරගැනීමට සූදානම් වන විට පයින් ගෙඩිවල තිබෙන කොරල වන් පොතු එකින් එක ක්‍රමක්‍රමයෙන් දිගහැරෙන බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.

ගුවනේ සුළං දහරාව දක්ෂ ලෙස උපයෝගි කරගැනීමට පයින් ගෙඩිය සතු හැකියාව ගැන කාල් නික්ලස් නමැති පර්යේෂකයා පුළුල් පරීක්ෂණයක් සිදු කළා. ඒ පිළිබඳව ඔහු සඟරාවක (Scientific American) මෙසේ සඳහන් කරනවා. “එක් එක් පයින් ගස් වර්ග නිපදවන අද්විතීය හැඩයේ පයින් ගෙඩි නිසා එක් එක් හැඩයට ආවේණිකව සුළං ධාරාව ඒ වෙතට ගලා එන ආකාරයත් වෙනස් වෙනවා. . . . ඒ හා සමානව එක් එක් වර්ගයේ පරාගවලට ඊටම ආවේණික වූ ප්‍රමාණයක්, හැඩයක් සහ ඝනත්වයක් ඇති නිසා සුළං ධාරාව සමඟ අද්විතීය ආකාරයකට ප්‍රතික්‍රියා කිරීමට එක් එක් පරාගයට හැකියාවක් ලැබෙන බව අපේ අධ්‍යයනයෙන් සොයාගත්තා.” මෙම ක්‍රම කොතරම් කාර්යක්ෂමද? නික්ලස් එයට මෙවන් පිළිතුරක් දුන්නා. “අප අධ්‍යයනය කළ බොහෝ පයින් ගෙඩි සුළං මගින් ගෙනා ‘තමන්ගේම’ පරාග ලබාගත්තා මිසක අනික් වර්ගවල පරාග ග්‍රහණය කරගත්තේ නැහැ.”

හැම ශාකයක්ම සුළං මගින් පරාගණය සිදු කරන්නේ නැහැ. මෙය අසාත්මිකතාවෙන් පෙළෙන්නන්ට සහනයක් වනවා නොඅනුමානයි! බොහෝ ශාක ඒ සඳහා සතුන්වද යොදාගන්නවා.

මල්පැණි දී රවටා

කුරුල්ලන්ව, කුඩා ක්ෂීරපායි සතුන්ව සහ කෘමීන්ව යොදාගෙන පරාගණය සිදු කරගනු ලබන ශාක, කෑම සොයා එන සතුන්ගේ ශරීරයේ පරාග තැවරීම සඳහා එම ශාක තුළ ඇති කොකු වැනි උල් සහිත දේවල් හෝ ඇලෙනසුලු කෙඳි යොදාගන්නවා. මල්පැණි සොයා එන මීමැස්සෙක් එක් වතාවකදී පරාග කණිකා 15,000ක් රැගෙන යනවා!

මල් හටගන්නා ශාකවල ප්‍රධාන පරාගණ කාරකය වන්නේ මීමැස්සන්. එම සේවාව වෙනුවෙන් ශාක මගින් මීමැස්සාට මල්පැණිත් ආහාරයට ගැනීම සඳහා පරාගත් දෙනු ලබනවා. පරාගවලින් උන්ට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ සහ මේද ලැබෙනවා. මෙම අසාමාන්‍ය සහයෝගිතා ක්‍රියාවලියේදී මීමැස්සන් එක් වතාවකදී මල් 100කට පමණ පියඹා යනවා. නමුත් උන් පරාග, මල්පැණි හෝ ඒ දෙකම ලබාගන්නේ එකම මල් වර්ගයකින් පමණයි. රැස් කරගත යුතු මල්පැණි ප්‍රමාණය ලැබෙන තුරු හෝ එම වර්ගයේ මල් තවත් සොයාගත නොහැකි වන තුරු එකම වර්ගයේ මල්වලින් උන් පැණි රැස් කරගන්නවා. මෙම අපූර්ව සහ ඉබේ කෙරෙන ක්‍රියාවලියෙන් කාර්යක්ෂම පරාගණයක් සිදු වෙනවා.

මල්වලින් මුළා වී

සමහර ශාක මල්පැණි දෙනවා වෙනුවට සූක්ෂ්ම ලෙස ඇමක් යොදා මුළා කරමින් කෘමීන් ලවා තම පරාගණ කාර්යය ඉටු කරවාගන්නවා. බටහිර ඕස්ට්‍රේලියාවේ වැවෙන හැමර් උඩවැඩියා මල ඊට නිදසුනක්. හැමර් උඩවැඩියා මලෙහි පහළ මල් පෙත්තක් තිබෙනවා. එය මිනිස් ඇසකට වුවත් පෙනෙන්නේ තටු නැති පුෂ්ටිමත් ගැහැනු බඹරෙක් ලෙසයි. ලිංගිකව ආකර්ෂණය කරගැනීම සඳහා එම මල ගැහැනු බඹරෙකුගෙන් නිකුත් වන ෆෙරෝමෝනයේ (සමවර්ගිකයන් ආකර්ෂණය කරගැනීම සඳහා සතුන් නිකුත් කරන රසායනික ද්‍රව්‍යයක්) රසායනික අනුකරණයක්ද නිකුත් කරනවා! එය නටුවේ අග පිහිටා තිබෙන අතර මුළා කිරීම සඳහා තිබෙන මෙම ඇමට උඩින් පරාගවලින් පිරි ඇලෙනසුලු මලුද තිබෙනවා.

ව්‍යාජ සුවඳට මුළා වී එන පිරිමි බඹරා “ගැහැනු” බඹරෙක් කියා සිතූ ඇමත් ඩැහැගෙන ඉගිලෙන්නට තැත් කරනවා. එවිට ඔහු තම ව්‍යාජ පෙම්වතිය සමඟින් ආපස්සට විසි වී ඇලෙනසුලු පරාග මල්ල මතට වැටෙනවා. තමන්ට වැරදී ඇති බව වටහාගත් බඹරා ඇම අත්හැර යනවා. නටුව මත රැඳී තිබෙන ඇම නැවතත් තිබූ ස්ථානයේම තිබෙනවා. බඹරා ඉගිලී ගියත් ඌ නැවතත් එවැනි උඩවැඩියා මලකට මුළා වෙනවා. a මේ වතාවේදී උගේ ඇඟේ තැවරී තිබෙන කලින් මලේ පරාග මගින් පරාගණයක් සිදු කෙරෙනවා.

නමුත් ගැහැනු බඹරෙක් අවට සැරිසරයි නම් පිරිමි බඹරා ඌව තෝරාගන්නවා මිසක ව්‍යාජයන්ට රැවටෙන්නේ නැහැ. එයට අනුවර්තනය වන උඩවැඩියා මල ගැහැනු බඹරුන් තම පිලවා අවස්ථාව පසු කිරීමට ප්‍රථමයෙන් විකසිත වී මලට යම් වාසියක් ගෙන දෙනවා.

සමහරෙකුට අසාත්මිකතා ඇති වන්නේ ඇයි?

සමහරෙකුට පරාග අසාත්මිකතාව ඇති වන්නේ ඇයි? කුඩා පරාග කණිකා නාසයට ගිය විට ඒවා ඇලෙනසුලු ශ්ලෙෂ්මලවල රැඳෙනවා. ඉන්පසු එම ස්ථානයෙන් එය උගුර දෙසට යන අතර එහිදී ඒවා ගිලෙන්න හෝ කැස්ස තුළින් පිට වී යන්න පුළුවන්. සාමාන්‍යයෙන් එයින් කිසිම අනතුරක් සිදු වෙන්නේ නැහැ. නමුත් යම් අවස්ථාවලදී පරාගය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ක්‍රියාකාරී වීම සඳහා යම් උත්තේජනයක් ලබා දෙනවා.

පරාගයේ තිබෙන ප්‍රෝටීනය තමයි එයට හේතුව. යම් හේතුවක් නිසා අසාත්මිකතාවෙන් පෙළෙන්නෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමහර පරාගවල ප්‍රෝටීනය සලකන්නේ අනතුරුදායක යමක් හැටියටයි. එවිට එවැනි පුද්ගලයන්ගේ ශරීරය තුළ ඊට අනුකූල ක්‍රියා පටිපාටියක් සිදු වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සිරුරේ පටකවල තිබෙන කුඹ සෛලවලින් හිස්ටමින් අතිවිශාල ප්‍රමාණයක් මුදාහරිනවා. හිස්ටමින් මගින් රුධිර වාහිනි විස්තාරණය වන අතර එමගින් යම් දේවල් ගලා යෑමට සලස්වන නිසා ප්‍රතිශක්තිකරණ සෛලවලින් පිරි දියරයක් ඉන් වෑස්සෙනවා. සාමාන්‍යයෙන් යම් අනතුරක් හෝ ආසාදනයක් සිදු වූ අවස්ථාවේ ශරීරයට ඇතුළු වූ විනාශකාරී ආගන්තුකයන් පලවාහැරීමට මෙම ප්‍රතිශක්තිකරණ සෛල මහෝපකාරී වෙනවා. ඒත් අසාත්මිකතාවෙන් පෙළෙන්නන්ට පරාග මගින් නිස්කාරණයේ අනතුරු ඇඟවීම් කරන නිසා නාසයෙන් දියර ගලමින් වේදනා ගෙන දීම, පටක ඉදිමීම සහ ඇස්වලින් කඳුළු ගැලීම වැනි ලක්ෂණ ප්‍රතිඵල වශයෙන් අත් විඳින්න සිදු වෙනවා.

ඇතැම්විට අසාත්මිකතා සිදු වන්නේ යම් විශේෂිත අසාත්මික කාරකයක් නිසා නොවුණත් අසාත්මිකතාවක් දැක්වීම දෙමාපියන්ගෙන් උරුම විය හැකි දෙයක් බවයි පර්යේෂකයන්ගේ විශ්වාසය. පරිසර දූෂණයත් ඊට එක් හේතුවක් විය හැකියි. “ජපානයේ වෙසෙන ජනයා පරාගවලට දක්වන සංවේදනීයතාවත් ඩීසල් වාහනවලින් පිට වන දුමාරයේ තිබෙන අංශුවලින් පිරි වාතාශ්‍රයට ආසන්නව සිටීමත් අතර ඍජු සබඳතාවක් තිබෙනවා” කියා එක් සඟරාවක (BMJ) සඳහන් කළා. එහි මෙසේද සඳහන් වුණා. “සතුන් යොදාගෙන කළ පරීක්ෂණවලදී, අසාත්මිකතාවන්ට දක්වන සංවේදීතාව වැඩි කිරීමට මෙම අංශු ඉවහල් වන බවට සැක පහළ වුණා.”

ප්‍රතිහිස්ටමින් (antihistamenes) මගින් රෝග ලක්ෂණ සමනය කළ හැකිවීම අසාත්මිකතාවෙන් පෙළෙන්නන්ට ප්‍රීතියට කාරණයක්. b නමින්ම පැහැදිලි වන ආකාරයට එමගින් හිස්ටමින් ඇතිවීම වළක්වනවා. පරාගවලින් යම් අහිතකර බලපෑම් ඇති වී තිබුණත් එහි නිර්මාණය ගැනත් මෙම කුඩා පරාගය ව්‍යාප්ත වන ආකාරය ගැනත් යම් කෙනෙකුට පුදුමයට පත් නොවී සිටින්න බැහැ. ඇත්තෙන්ම පරාග නොමැති නම් මේ මහ පොළොව පල නොදරන නිසරු බිමක් වන බව නිසැකයි.

[පාදසටහන්වල]

a මෙම මලෙහි ඇම පිහිටා තිබෙන්නේ මිටියක් ආකාරයටයි. එම මිටිය උඩටයි පහළටයි පැද්දෙයි. එමනිසා හැමර් (මිටිය) උඩවැඩියා මල ලෙස එය හඳුන්වනවා.

b මීට වසර කිහිපයකට පෙර ප්‍රතිහිස්ටමින් නිසා නිදිබර ගතියක් සහ මුඛයේ වියළි ස්වභාවයක් ඇති වුණා. නමුත් නව ඖෂධවල මෙම අතුරු ආබාධ අවම කර තිබෙනවා.

[28, 29වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

රේණුව

පරාගධානිය

පරාග කණිකා

දළය

ජායාංගය

කලංකය

පරාග නාලය

ඩිම්බ කෝෂය

ඩිම්බය

[හිමිකම් විස්තර]

NED SEIDLER/NGS Image Collection

[29වන පිටුවේ පින්තූර]

අණ්වීක්ෂයකින් විවිධ පරාග පෙනෙන ආකාරය

[හිමිකම් විස්තර]

පරාග කණිකා: © PSU Entomology/PHOTO RESEARCHERS, INC.

[30වන පිටුවේ පින්තූර]

ගැහැනු බඹරෙක් ලෙස පෙනෙන හැමර් උඩවැඩියා මලේ කොටසක්

[හිමිකම් විස්තර]

හැමර් උඩවැඩියා මලෙහි රූ සටහන්: © BERT & BABS WELLS/OSF

[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පරාග කණිකා: © PSU Entomology/PHOTO RESEARCHERS, INC.

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පරාග කණිකා: © PSU Entomology/PHOTO RESEARCHERS, INC.