Skip to content

පටුනට යන්න

වාර්ගික වෛරය සාධාරණීකරණය කළ හැකිද?

වාර්ගික වෛරය සාධාරණීකරණය කළ හැකිද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

වාර්ගික වෛරය සාධාරණීකරණය කළ හැකිද?

ඔබ යම් වාර්ගික කණ්ඩායමකට a අයත්ව සිටින නිසාම කෛරාටික, ප්‍රචණ්ඩ, අනුවණ හෝ සැබවින්ම දුරාචාර කෙනෙකු කියා ඔබව හංවඩු ගැසුවොත් ඔබට කුමක් හැඟෙනු ඇද්ද? නිසැකවම ඔබ එය නුරුස්සනු ඇත. මිලියන සංඛ්‍යාත ජනකායකගේ අද්දැකීම එයම වීම කනගාටුවට කරුණකි. එපමණක්ද නොව, තම වර්ගය හෝ ජාතිය නිසාම අසංඛ්‍යාත ජනතාවක් තාඩන පීඩනවලට මුහුණ දී ඇති අතර මරුටද බිලි වී ඇත. ඇත්තෙන්ම, අද දින සිදු වෙමින් පවතින ලේ හළන ගැටුම් බොහොමයක මූලාරම්භය වාර්ගික වෛරයයි. එහෙත්, මෙවැනි ප්‍රචණ්ඩකාරී දේවලට උදව් දෙන බොහෝදෙනෙක් දෙවි හා බයිබලය කෙරෙහි ඇත්තෙන්ම විශ්වාසය තබා සිටින බව පවසති. එමෙන්ම වර්ගවාදය මිනිස් ස්වාභාවය හා බැඳි දෙයක් වන බැවින් එය සැමදාම පවතී කියා පවසන්නෝද සිටිති.

මෙම වාර්ගික වෛරය බයිබලයේ නොසලකාහැර ඇද්ද? සංස්කෘතික හෝ වාර්ගික වෙනසක් පවතින අය අතරේ වෛරයක් පැවතීම සාධාරණ වන අවස්ථා පවතීද? වාර්ගික වෛරය දක්නට නොලැබෙන අනාගතයක් තිබෙයි කියා බලාපොරොත්තු විය හැකිද? මේ පිළිබඳව බයිබලයේ දෘෂ්ටිකෝණය කුමක්ද?

විනිශ්චය ඔවුන්ගේ ක්‍රියා අනුවයි

දෙවි මිනිසුන් සමඟ මුල් කාලයේදී කටයුතු කළ ආකාරය ගැන මතුපිටින් සෝදිසි කර බැලුවහොත් දෙවි ඇත්තෙන්ම වාර්ගික වෛරයට අනුබල දුන්නා යන වැරදි නිගමනයට කෙනෙකු එළඹිය හැක. දෙවි විවිධ ගෝත්‍ර හා ජාතීන් මුළුමනින්ම විනාශ කළ තැනැත්තා බව බයිබල් වාර්තා කීපයක පෙන්වා නැද්ද? ඇත්තෙන්ම, ගැඹුරට සෝදිසි කර බලන කල පෙනී යන්නේ, දෙවි ඔවුන්ගේ වාර්ගික පසුබිම නිසා නොව ඔවුන් දිව්‍යමය නීති නොසලකා හරිමින් දූෂිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ නිසා ඔවුන්ව හෙළාදැක්ක බවය.

උදාහරණයකට දෙවි කානානිවරුන්ව හෙළාදැක්කේ ඔවුන්ගේ නීච ලිංගික හැසිරීම හා භූතවාදයට සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර නිසාය. බොරු දෙවිවරුන්ට පූජා කිරීම සඳහා ඔවුන් විසින් දරුවන්ව පවා පුලුස්සා දමන ලදි. (ද්විතීය කථාව 7:5; 18:9-12) කෙසේ වුවද සමහර අවස්ථාවන්හිදී, ඇතැම් කානානිවරු දෙවි කෙරෙහි ඇදහිල්ල පිළිබිඹු කර පසුතැවිලි වූහ. මේ හේතුව නිසා යෙහෝවා ඔවුන්ට ජීවිත දානය කර ආශීර්වාද කළේය. (යෝෂුවා 9:3, 25-27; හෙබ්‍රෙව් 11:31) කානානීය ස්ත්‍රියක වූ රාහබ් පොරොන්දු වූ මෙසියස් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මිත්තනියක බවටද පත් වූවාය.—මතෙව් 1:5.

ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දුන් නීතියෙන් ඔහු පක්ෂවාදී කෙනෙකු නොවන බව පෙන්වයි. ඒ වෙනුවට ඔහු සියලු ජනයාගේ ශුභසිද්ධිය ගැන අව්‍යාජ සැලකිල්ලක් දක්වයි. ලෙවී කථාව 19:33, 34හි ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දුන් මතු දැක්වෙන දයානුකම්පිත ආඥාව අපට සොයාගත හැක. “විදේශිකයෙක් නුඹලාගේ දේශයෙහි නුඹ ළඟ වසන්නේ නම් ඔහුට අයුත්තක් නොකරන්න. නුඹලා ළඟ වාසය කරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා. නුඹට මෙන් ඔහුට ප්‍රේම කරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම නුඹලාගේ දෙවි වූ යෙහෝවාය.” මෙවැනිම ආඥා නික්මයාම හා ද්විතීය කථාව පොත්වලද තිබේ. එසේනම්, යෙහෝවා වාර්ගික වෛරය සාධාරණීකරණය කළේ නැති බව පැහැදිලිය. ඔහු තරයේ පැවසුවේ වාර්ගික එක්සත්කම තිබිය යුතු බවය.

යේසුස් වාර්ගික එක්සත්කම වර්ධනය කළේය

යේසුස් මිහිපිට සිටි අවදියේ යුදෙව්වන් හා සමරිතානුවන් අතර එකිනෙකාව හෙළාදැකීමේ නැඹුරුවාවක් තිබිණ. එක් අවස්ථාවකදී සමරිතානු ගමක විසූවන් යේසුස්ව හරවා යැව්වේ ඔහු යෙරුසලමට ගමන් කරමින් සිටි යුදෙව්වෙකු වූ නිසාමය. එවැනි ප්‍රතික්ෂේප වීමකදී ඔබේ ප්‍රතිචාරය කුමක් වනු ඇද්ද? “ස්වාමිනි ඔවුන්ව විනාශ කර දමන පිණිස අහසින් ගිනි වැටෙන්න අප අණ කරනවාට ඔබ කැමතිද?” යයි යේසුස්ගේ ගෝලයන් ඔහුගෙන් ඇසූ විට, එදා පැවති අගතිසහගත හැඟීම් ඔවුන් තුළද තිබුණා විය හැක. (ලූක් 9:51-56, NW) තම ගෝලයන්ගේ කෝපාවිෂ්ට ස්වභාවයේ බලපෑමට යේසුස් හසු වීද? නැත. ඊට පටහැනිව ඔවුන්ට තරවටු කළ ඔහු, සන්සුන්ව වෙනත් ගමක නවාතැන් සෙවීය. ඉන් ටික කලකට පසු යේසුස් කරුණාවන්ත සමරිතානුවාගේ උපමාව කියා දුන්නේය. කෙනෙකුගේ වාර්ගික පසුබිම නිසාම ඔහු සතුරෙකු වන්නේ නැති බව මෙමගින් ප්‍රබල ලෙස නිදර්ශනය විය. ඇත්තවශයෙන්ම ඔහු ඉතා යහපත් අසල්වැසියෙකු විය හැකියි!

ක්‍රිස්තියානි සභාවේ වාර්ගික කණ්ඩායම්

යේසුස් තම භූමික සේවයේදී තමාගේම ජාතියට අයත් ජනයා අතරෙන් ගෝලයන් සෑදීමට මූලික අවධානය යොමු කළේය. එහෙත් අන් අයද තමාගේ අනුගාමිකයන් බවට පත් වනු ඇති බව ඔහු ඇඟෙව්වේය. (මතෙව් 28:19) එසේනම් සියලු වාර්ගික කණ්ඩායම්වල සිටින්නන්ව පිළිගනු ඇද්ද? ඔව්! ප්‍රේරිත පේතෘස් මෙසේ පැවසීය. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.” (ක්‍රියා 10:34, 35, NW) ප්‍රේරිත පාවුල් පසුව මෙම සංකල්පය යළිත් තහවුරු කළේ ක්‍රිස්තියානි සභාව තුළ පුද්ගලයෙකුගේ වාර්ගික පසුබිම වැදගත් යමක් නොවන බව පැහැදිලිව දක්වමිනි.—කොලොස්සි 3:11.

දෙවි සියලු වාර්ගික කණ්ඩායම් පිළිගන්නා බව තවදුරටත් බයිබලයේ එළිදරව් පොතෙහි පෙන්වා තිබේ. දිව්‍යමය ආනුභාව ලත් දර්ශනයක් මගින් ප්‍රේරිත යොහන්, දෙවිගෙන් ගැලවීම ලබන ‘සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද වූ මහත් සමූහයක්’ දුටුවේය. (එළිදරව් 7:9, 10, NW) සියලු පසුබිම්වල ජනයා දෙවිට වූ තම ප්‍රේමයෙන් එක්සත් වී සාමකාමීව එකට වෙසෙන නව මිනිස් සමාජයක අත්තිවාරම බවට මෙම ‘මහත් සමූහයා’ පත් වනු ඇත.

මේ අතරතුර වාර්ගික පසුබිම අනුව අන්‍යයන්ව විනිශ්චය කිරීමෙන් ක්‍රිස්තියානීන් ඇත්තෙන්ම වැළකී සිටිය යුතුය. යුක්තිසහගත හා ප්‍රේමණීය දෙය වන්නේ ජනයාව වාර්ගික කණ්ඩායම්වලට අයත් සාමාජිකයන් වශයෙන් බැලීම නොව එක් එක් පුද්ගලයා දෙස දෙවි බලන ආකාරයට බැලීමය. ඔබත් කැමති අන්‍යයන් ඔබව එලෙස සලකනවාට නොවේද? යේසුස් යෝග්‍ය ලෙස අපට මෙසේ අවවාද කරයි. “එබැවින් අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.” (මතෙව් 7:12, NW) වාර්ගික වෛරයක් නොමැතිව ජීවත් වීම ප්‍රසන්න දෙයකි. ඉන් මනසේ සාමයද අන්‍යයන් සමඟ ඇති සාමයද වැඩි වර්ධනය වේ. ඊටත් වඩා, එයින් අපේ අපක්ෂපාතී මැවුම්කරු වන යෙහෝවා දෙවි සමඟ අප එකඟත්වයකට පත් වෙයි. මෙය වාර්ගික වෛරය ප්‍රතික්ෂේප කිරීමට මොනතරම් කදිම ඒත්තුගන්වනසුලු හේතුවක්ද!

[පාදසටහන]

a මෙම ලිපියේ “වාර්ගික කණ්ඩායම” යනුවෙන් යොදා තිබෙන්නේ එකම වර්ගයේ, එකම ජාතියේ, එකම ගෝත්‍රයේ හෝ එකම සංස්කෘතියේ සිටින අයව දැක්වීමටය.