Skip to content

පටුනට යන්න

හැම දෙයක්ම අකුරටම කරන්න ඕන කියලා මට හිතෙන්නේ ඇයි?

හැම දෙයක්ම අකුරටම කරන්න ඕන කියලා මට හිතෙන්නේ ඇයි?

යෞවන අය අසති . . .

හැම දෙයක්ම අකුරටම කරන්න ඕන කියලා මට හිතෙන්නේ ඇයි?

“මගේ තාත්තා ගුරුවරයෙක් නිසා හැමෝම බලාපොරොත්තු වුණේ මම හැම විෂයකටම A සාමාර්ථයක් ගනියි කියලායි. ඒ නිසා සමහර දවස්වල නින්දට යනකන්ම මම අඬලා තියෙනවා.”ලෙයා.  a

“මම නිතරම බලන්නේ හැම දෙයක්ම අකුරටම කරන්නයි. කරන දේ උපරිමයෙන් නැත්නම් අනිත් අයට වඩා හාත්පසින්ම වෙනස් විදිහට කරන්නයි මට ඕනේ. එහෙම නැත්නම් කොහොමටවත් නොකර ඉන්නයි මට ඕනේ.”කේලෙබ්.

හැම වෙලාවෙම හැම දෙයක්ම අකුරට කරන්න ඕන කියා ඔබට සිතෙනවාද? කොපමණ උත්සාහ කළත් හොඳම තත්වයට එන්න නොහැකියි කියා ඔබ ලත වෙමින් සිටිනවාද? වරදක් පෙන්වා දෙන විට පිළිගැනීමට අකමැති කෙනෙක්ද ඔබ? යමක් වැරදුණ විට ඔබ මෝඩ, පහත් හෝ නුසුදුසු කෙනෙක් කියා ඔබටම දොස් පවරගන්නවාද? යමක් හරියට කරන්න නම් ඔබම එය කළ යුතුයි කියාද ඔබට හැඟෙන්නේ? අසාර්ථක වේය යන බියෙන් යමක් කල් දැමීමට හෝ එය නොකරම සිටීමට ඔබ පෙලඹෙනවාද?

අන් අය සමඟ තිබෙන ඔබේ සබඳතා ගැන කුමක් කිව හැකිද? ඔබ අවට සිටින කිසිවෙක් යම් දේවල් අකුරටම නොකරන නිසා ඔබ සිටින්නේ මිතුරන් අහිමි වූ තත්වයකද? ඔබ අන්‍යයන්ගේ වැරදි හා අඩුලුහුඬුකම් ගැන අනවශ්‍ය ලෙස කරදර වෙනවාද? මේවායින් එකකට හෝ ඔව් කියා පිළිතුරු දෙන්නෙහි නම්, ඔබ අකුරටම යම් දේවල් කිරීමට මහත් පොරබැදීමක් කරමින් සිටිනවා විය හැක. මේ තත්වයට මුහුණ දී සිටින්නේ ඔබ පමණක් නොවේ. එය යෞවනයන් තුළ, විශේෂයෙන්ම දක්ෂතා ඇති හෝ සමර්ථ යෞවනයන් තුළ දක්නට තිබෙන පොදු ලක්ෂණයකි. b

යම් දේවල් අකුරටම කිරීමේ ප්‍රවණතාව හටගන්නේ කෙලෙසද? පර්යේෂකයන් සතුව තිබෙන්නේ න්‍යායන් පමණකි. අකුරටම යම් දේවල් කිරීම—අතිදක්ෂ වීමේ වරද කුමක්ද? (සිංහලෙන් නැත) නමැති පොත මෙසේ යෝජනා කරයි. “අකුරටම යම් දේවල් කිරීමට වෑයම් කිරීම රෝගයක් නොවේ. එය ඔබට වැලඳුණේ නැත. එය උරුම වූ දෙයක් නොව; උපදිනකොටම ගෙනා දෙයක්ද නොවේ. එසේනම් ඔබ එවැන්නෙකු වූයේ කෙසේද? ඇතැම් ප්‍රවීණයන්ගේ විශ්වාසය නම් ළමා අවදියේදීම අකුරටම යම් දේවල් කිරීමේ ප්‍රවණතාව ඇති වන බවය. පවුලෙන් එන පීඩනය, තමන්ම ඇති කරගන්නාවූ පීඩනය, සමාජයෙන් එන පීඩනය, ජනමාධ්‍යයේ පීඩනය සහ ප්‍රසිද්ධ පුද්ගලයන් පෙන්වන ප්‍රතිරූපය අනුකරණය කිරීමට ගොස් ඇති වන විශාල පීඩනය නිසා සමහරෙක් මුළු ජීවිත කාලය පුරාම කනස්සලුභාවය හා වරදකාරීභාවය අද්දකිමින්ද වුවමනාවට වඩා වැඩ කරමින්ද සිටිති.”

කුමනාකාරයකින් වුවත් සැමවිටම අකුරටම යම් දේවල් කිරීමේ අවශ්‍යතාව ඔබේ ජීවිතයට හානියක් විය හැක. අකුරටම කිරීමට දරන වෑයම ගැනත්, එය හානිදායක විය හැකි හේතුව ගැනත් අපි හොඳින් සලකා බලමු.

අකුරටම කිරීමට දරන වෑයම යනු කුමක්ද?

අකුරටම කිරීමට දරන වෑයමට ඇතුළත් වන්නේ විශිෂ්ටත්වයක් ලැබීමට වෙර දැරීම හෝ හොඳින් කළ වැඩක් ගැන යම් ආඩම්බරයක් දැනීමට වඩා වැඩි යමකි. ඇත්තෙන්ම, බයිබලයේ හිතෝපදේශ 22:29හි “තමාගේ වැඩෙහි දක්ෂ වූ” මනුෂ්‍යයාට ප්‍රශංසා කරයි. විවිධ දක්ෂතා උසස් මට්ටමකට වර්ධනය කරගත් පුද්ගලයන් ගණනාවක් පිළිබඳවද බයිබලයෙහි ප්‍රසාදය පළ කර තිබේ. (1 සාමුවෙල් 16:18; 1 රාජාවලිය 7:13, 14) එබැවින්, උසස් නමුත් යථාර්ථවාදී ඉලක්ක තබාගනිමින් විශිෂ්ටත්වයක් ලබාගැනීම සඳහා පරිශ්‍රමයක් දැරීම හොඳ දෙයකි. මෙලෙස “තමාගේ වැඩෙන් සැප භුක්ති විඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩ” දීමට කෙනෙකුට හැකිය.—දේශනාකාරයා 2:24.

කෙසේ වුවද, අකුරටම යම් දේවල් කිරීමට වෑයම් කරන්නෙකුට එවැනි තෘප්තියක් ලබාගැනීමට නොහැකි වෙයි. යම් ඉලක්ක අත් කරගැනීම සම්බන්ධයෙන් ඔහු සිතන ආකාරය අහිතකරය. ඇතැම් ප්‍රවීණයන් පවසන පරිදි, එම ප්‍රවණතාවට ඇතුළත්ව තිබෙන්නේ “අත් කරගත නොහැකි ඉලක්ක තබාගැනීම (එනම් අකුරටම යම් දේවල් බලාපොරොත්තු වීම) සහ කෙතරම් හොඳින් කාර්යය ඉටු කළත් කිසි සේත් තෘප්තිමත් නොවීමය.” මේ නිසා අකුරටම කිරීමට දරන වෑයම “නිදන්ගත මානසික පීඩනයේ උල්පතක් වේ. එවන් කෙනෙකු තුළ බොහෝ විට තිබෙන්නේ තමා සැමදා අසාර්ථක පුද්ගලයෙක්ය යන හැඟීමයි.” එබැවින් එක් මූලාශ්‍රයක අකුරටම යම් දේවල් කිරීමේ අපේක්ෂාව නිර්වචනය කර තිබෙන්නේ “ඔබ හා/හෝ ඔබේ පරිසරය තිතටම තිබෙන්න ඕන යන අනුවණ අදහස දැරීම” වශයෙනි. එය නම් “ඔබ කිරීමට උත්සාහ කරන මොන යම් දෙයක් වුවත් කිසිම ඇදයක්, අත්වැරැද්දක්, අතපසු වීමක් හෝ ගැටීමක් නැතුව තිතටම කළ යුතුයි යන පුළුල්ව පැතිර පවතින” අදහසයි.

එහෙත් “ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුය” කියා යේසුස් පැවසුවා නොවේද? (මතෙව් 5:48, NW) ඇත්තයි, නමුත් යේසුස් පැවසුවේ වචනානුසාරයෙන්ම කෙනෙකුට පරිපූර්ණව සිටිය හැකි බව නොවේ. ඇරත්, බයිබලයේම පවසන්නේ, “සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් පහත වැටී” සිටින බව නොවේද! (රෝම 3:23, NW) එසේනම්, යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද? බයිබලයෙහි “පරිපූර්ණ” (අකුරටම) යන වචනයෙහි සම්පූර්ණ කියන අදහස ගැබ් වී ඇත. (මතෙව් 19:21) අප පරිපූර්ණ විය යුතුයි කියා යේසුස් පැවසූ විට ඔහු කතා කරමින් සිටියේ ප්‍රේමය ගැනය. එමෙන්ම ඔහු තම අනුගාමිකයන්ව දිරිගන්වමින් සිටියේ ප්‍රේම කිරීම සම්බන්ධයෙන් වඩා පූර්ණ වන ලෙසය. කෙසේද? සතුරන්ට පවා ප්‍රේම කිරීම මගිනි. “ඔබේ පියාණන් දයාන්විතව සිටින්නාක් මෙන් ඔබත් නොකඩවා දයාන්විතව සිටින්න” කියා යේසුස් පැවසූ බව බයිබල් ලේඛක ලූක් වාර්තා කරයි.—ලූක් 6:36, NW.

කෙසේ වුවද, අකුරටම යම් දේවල් කිරීමට අපේක්ෂා කරන්නෝ, වචනානුසාරයෙන්ම පරිපූර්ණ විය හැකියි යන අදහසින් මුළා වී වැඩ කරති. මේ නිසා ඔවුහු අන්‍යයන්ගෙන්ද එවැනිම දෙයක් අපේක්ෂා කරති. කිසිදා සෑහීමට පත් නොවී අකුරටම යම් දේවල් කිරීමට යත්න දැරීමේ යදම්වලින් ඔබව නිදහස් කිරීම (සිංහලෙන් නැත) නමැති පොතට අනුව, අකුරටම කිරීමට වෑයම් කරන්නන් යනු “අන්‍යයන්ගේ වැඩ ගැන සෑහීමට පත් නොවී කලකිරෙන අයයි . . . ඔවුන්ගේ අදහසට අනුව ඔවුන් අවට සිටින අය හොඳ වැඩක් කිරීමට සැලකිලිමත් වන්නේ හෝ තමන්ගේ වැඩය ගැන ආඩම්බර වන්නේ හෝ නැති අයයි.”

උදාහරණයකට කාලි නම් ශිෂ්‍යාව ගැන සලකා බලමු. ඇය දක්ෂ සිසුන් වෙනුවෙන් තිබූ වැඩසටහනකට ඇතුල් වී ශාස්ත්‍රීය අතින් දියුණුවක් ලැබුවාය. කෙසේ වෙතත්, පෞද්ගලික සබඳතා අතින් ඇයට එතරම් සාර්ථකත්වයක් නොලැබිණ. හැම දෙයක්ම අකුරටම තියෙන්න ඕන යන අදහස දැරුව නිසා ඇයට ඇගේ මිතුරු මිතුරියන් හුඟදෙනෙකු අහිමි විය. “මට හිතෙන්නේ ඒගොල්ලන්ට කොහෙත්ම හරියට දෙයක් කරන්න බැහැ කියලයි” කියා ඇය විස්තර කළාය.

වෙනත් අය අකුරටම යම් දේවල් අපේක්ෂා කරන්නේ අන් අයගෙන් නොව තමන්ගෙන්මය. එවැනි අයට “තමන් ගැන හෝ තමන්ගේ ක්‍රියා ගැන සෑහීමට පත් වෙන්න බැරි” බව හැඟෙන අතර “[ඔවුන්] විශේෂයෙන්ම සැලකිලිමත්ව සිටින්නේ අනිත් අය තමන් ගැන සිතන දේ ගැනයි” කියා කිසිදා සෑහීමට පත් නොවීම නමැති පොත පැහැදිලි කරයි.

අකුරටම යම් දේවල් කිරීමට උත්සාහ දැරීමේ ගැටලුව

එසේනම්, හැම දෙයක්ම අකුරටම කිරීමට දරන වෑයම හිතකර හා ප්‍රයෝජනවත් එකක් වෙනවා වෙනුවට එය බොහෝවිට අහිතකර හා හානිදායක වන බවයි ඔප්පු වී තිබෙන්නේ. එමෙන්ම එවැනි වෑයමකින් විශිෂ්ට නිර්මාණයක් බිහි වෙනවාට වඩා බොහෝවිට සිදු වන්නේ අසාර්ථක වීමය. ක්‍රිස්තියානියෙකු වූ ඩැනියෙල්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවක පැවැත්වූ පංතියක කතාවක් ඉදිරිපත් කිරීමට පැවරුමක් ලැබුණු විට, තමා ඒ වෙනුවෙන් පැය ගණනක් මහන්සි වූ බව ඔහු මතකයට නඟයි. ඔහුගේ කොටස හොඳින් කළ නිසා සභාවේ සිටි බොහෝදෙනෙක් ඔහුව පැසසුමට ලක් කළහ. කෙසේ වෙතත් උපදෙස් දෙන්නා විසින් උපායශීලීව ඩැනියෙල්ට උපකාරවත් වන යෝජනා කීපයක් ඉදිරිපත් කරනු ලැබුවේය. බයිබලය අපට දිරිගන්වන්නේ “අවවාදයට සවන් දී උපදෙස් පිළිගන්න” කියාය. (හිතෝපදේශ 19:20, නව අනුවාදය) එහෙත් එම ගොඩනංවනසුලු උපදෙස් පිළිගන්නවා වෙනුවට ඩැනියෙල්ට හැඟුණේ තමන් අසාර්ථක වූවෙක් බවය. “මට හිතුණා කොහෙට හරි ගිහින් හැංගෙන්න” යයි ඔහු මතකයට නඟයි. සති ගණනාවක් යන තුරු ඔහුට හරියට නින්ද ගියේද නැත.

එසේනම් අකුරටම යම් දේවල් කිරීමට වෙර දැරීමෙන් ඉගෙනීමේ ක්‍රියාවලියට බාධා පැමිණිය හැක. යෞවනයන්ට වෙන් කළ වෙබ් අඩවියක පළ වූ ලිපියක, යෞවනියක වන රේචල් මෙසේ ලියයි. “මම උසස් පෙළ හදාරන්න පටන්ගනිද්දී ඉහළින්ම ලකුණු ගන්නයි මගේ අධිෂ්ඨානය වුණේ. මට හැමදාම A (විශිෂ්ට සම්මාන) සාමාර්ථයක් ලැබුණ නිසා වෙනසක් වෙයි කියලා හිතන්න අවශ්‍ය වුණේ නැහැ.” එහෙත් ටික කලක් යද්දී ඇයට වීජගණිතය අමාරු බව හැඟී ගිය අතර, එම විෂයට ඇයට ලැබුණේ “B” සාමාර්ථයක්ය. “අනිත් අයට හැඟුණේ මේක හොඳ ලකුණක් කියලා වුණත් මට ඒක ලැජ්ජාවක් වුණා. මම හිටපු ගමන් කලබල වෙන්නත් කනස්සල්ලට පත් වෙන්නත් පටන්ගත්තා. . . . ගෙදර වැඩ දුන්නහම ඒවා ටීචර්ගෙන් අහගන්න මම භය වුණා. මොකද මට තේරිලා නැති බව එතකොට ඇය දැනගන්න නිසා. . . . අසමත් වෙනවාට වඩා මැරෙන එක හොඳයි කියලා සමහර වෙලාවට මට හිතුණා” කියා රේචල් යටගියාව මතක් කළාය.

අසාර්ථක වේය යන භය නිසා ඇතැම් යෞවනයන් දිවි නසාගැනීමට පවා කල්පනා කර ඇත. භාග්‍යයකට, යෞවනයන්ගෙන් වැඩිදෙනෙක් එවැනි දැඩි පියවරක් ගැනීමට කල්පනා නොකරති. එහෙත් මානසික සෞඛ්‍ය පිළිබඳ ප්‍රවීණයෙකු වූ සිල්වියා රිම්ගේ නිරීක්ෂණය වී තිබෙන්නේ, ඔවුන් කොහොමටවත් අසාර්ථක නොවී සිටීමේ අටියෙන් පැවරුම්වලට අතගැසීමට අකමැත්තෙන් සිටිනවා විය හැකි බවය. රිම් පවසන පරිදි, අකුරටම යම් දේවල් කිරීමට බලාපොරොත්තු වන ඇතැම් අය “පැවරුම් නිම කර භාර දෙන්නේ නැත. ඔව්හු තම වැඩය ගැන ආඩම්බර වීමට අකමැති වෙති. තමන්ගේ ගෙදර වැඩ අමතක කරන ඔවුහු නිදහසට කරුණු කියති.”

අනික් අතට, වෙනත් යෞවනයන් තමන්ගේ සාර්ථකත්වය තහවුරු කරගැනීම සඳහා අන්තයටම යා හැක. “පාසැලෙන් පැවරූ ව්‍යාපෘති තිතටම කරන්න මම මහ රෑ වෙනකම් ඇහැරගෙන ඉන්නවා” කියා ඩැනියෙල් පවසයි. ගැටලුව වන්නේ මෙවැනි අන්තයකට යෑමෙන් හිතන තරම් ප්‍රතිඵල නොලැබීමය. නිදිබර ශිෂ්‍යයා අසාර්ථක වීමට වැඩි ප්‍රවණතාවක් දක්වයි.

එසේනම්, අකුරටම යම් දේවල් කිරීමේ අදිටන සමඟ බැඳී පවතින්නේ නිදන්ගත කෝපය, තම වටිනාකම අවතක්සේරු කරගැනීම, වරදකාරීබව, නිෂේධාත්මක වීම, ආහාර අක්‍රමිකතා සහ මානසික අවපීඩනය වැනි දේවල් වීම පුදුමයක් නොවේ. එහෙත් මේ සියල්ලකටම වඩා බරපතළ දෙය වන්නේ එවැන්නෙකුගේ ආත්මිකත්වයට විය හැකි හානියයි. උදාහරණයකට බයිබලයෙහි, ක්‍රිස්තියානීන්ට අණ කර තිබෙන්නේ තම ඇදහිල්ල පිළිබඳව අන්‍යයන්ට පැවසීමටය. (රෝම 10:10; හෙබ්‍රෙව් 10:24, 25) කෙසේ වුවද, විවියන් නමැති යෞවනිය ක්‍රිස්තියානි රැස්වීම්වලදී අදහස් නොදැක්වූයේ තමන්ට හරියට වචන පෙළගැස්වීමට බැරි වෙයි කියා සිතූ බැවිනි. ලෙයා නම් යෞවනියද පවසන්නේ එවැන්නක්මය. ඇය මෙසේ පවසයි. “මම වැරදි දෙයක් කිව්වොත් අනිත් අය මා ගැන වැරදියට වටහාගනියි. ඒ නිසා මම නිහඬව ඉන්නවා.”

එසේනම්, අකුරටම යම් දේවල් කිරීමට අවශ්‍ය වීම හානිකර මෙන්ම අහිතකර දෙයක් බව පැහැදිලියි. එමෙන්ම මෙම ලිපියේ විස්තර කෙරුණ ලක්ෂණයන් එකක් හෝ ඔබට තිබේ නම්, ඔබේ සිතුවිලිවල යම් වෙනසක් කිරීම අවශ්‍යව තිබෙනවා විය හැක. ඔබට එය කළ හැකි ආකාරය පිළිබඳව මතු ලිපියක සාකච්ඡා කෙරෙනු ඇත.

[පාදසටහන්වල]

a සමහර නම් වෙනස් කර ඇත.

b එක් අධ්‍යයනයකට අනුව, එක් පාසැලක දක්ෂතා ඇති ශිෂ්‍යයන් සියයට 87.5ක් තුළ යම් දේවල් අකුරටම කිරීමේ ප්‍රවණතාව තිබිණ.

[12වන පිටුවේ පින්තූරය]

අසාර්ථක වේය යන බිය නිසා ඇතැම් යෞවනයෝ පැවරුම් නිම කිරීමෙන් වැළකී සිටිති

[13වන පිටුවේ පින්තූරය]

අකුරටම යම් දේවල් කිරීමට යෑමෙන් මානසික අවපීඩනය හා නොවටිනාකමේ හැඟීමක් ඇති විය හැක