Skip to content

පටුනට යන්න

ඔබේ සෞඛ්‍යයට බලපාන තේරීම්

ඔබේ සෞඛ්‍යයට බලපාන තේරීම්

ඔබේ සෞඛ්‍යයට බලපාන තේරීම්

පෝෂ්‍යදායි ආහාර ගනිමින් සෞඛ්‍ය සම්පන්නව සිටීම බොහෝවිට අභියෝගයක්. අද පවතින කාර්යබහුල ජීවන රටාව නිසා ගෙදර ආහාර පිළියෙළ කරනවාට වඩා සකස් කරන ලද ආහාර හෝ “පහසුවෙන් පිළියෙළ කරගත හැකි ආහාර” ලබාගැනීම පහසු බව පෙනී ගොස් තිබේ. විවේක කාලය ශාරීරික ව්‍යායාම් කිරීම සඳහා යොදවනවාට වඩා වැඩිපුර රූපවාහිනිය නැරඹීමට හෝ පරිගණකය ඉදිරිපිට ගත කිරීමට යොදාගනියි. මෙවැනි තේරීම් නිසා වැඩිහිටියන් හා දරුවන් අතර දරුණු සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වන බවක් පෙනෙන්න තිබේ.

ඒෂියාවීක් නම් සඟරාවේ ආසියාව ගැන පවසන්නේ “බර ආහාර ගන්න අය සහ ඇඟ පත නොවෙහෙසා වැඩ කරන ජීවන රටාවක් අනුගමනය කරන අය අතර දියවැඩියාව වේගයෙන් පැතිර යන වසංගතයක් බවට පත් වී ඇති” බවයි. කනගාටුවට කරුණක් වන්නේ මෙම රෝගයෙන් තරුණ පරම්පරාව පහර ලැබීමයි. ඒ වගේම කැනඩාවේ ද ග්ලෝබ් ඇන්ඩ් මේල් නම් පුවත්පත වාර්තා කරන්නේ මෙසේයි. “පර්යේෂකයන් සොයාගෙන තිබෙන කරුණුවලට අනුව ප්‍රමාණවත් ලෙස පලතුරු හා එළවළු කෑමට ගන්නා බාල වයසේ දරුවන්ගේ අනුපාතය හතට එකයි. ඒ වගේම හොඳට දාඩිය පිට වෙන විදියට ක්‍රීඩා කරන්නේ සියයට පනහකට ටිකක් වැඩි සංඛ්‍යාවක් පමණයි.” මෙවැනි ජීවන රටාවක් අනුගමනය කරන මෙම තරුණයන්ට වයස “අවුරුදු 30 පමණ වන විට හෘදයාබාධ ඇතිවීමේ වේගය දෙගුණ තෙගුණ වන” බව තවදුරටත් වාර්තා වේ.

ඒ හා සමානව නින්ද පිළිබඳව පරීක්ෂණ පවත්වන ප්‍රවීණයන් පවසන්නේ සෑම රාත්‍රියකම වැඩිහිටියන්ට පැය අටක නින්දකුත් තරුණ අයට ඊටත් වඩා ප්‍රමාණයකුත් අවශ්‍ය බවය. දින හයක් එක දිගට පැය හතරක් වැනි කාලයක් පමණක් නිදාගත් සෞඛ්‍ය සම්පන්න තරුණයන් කණ්ඩායමක් පිළිබඳව චිකාගෝවේ පිහිටි විශ්වවිද්‍යාලයකින් අධ්‍යයනයක් කළා. වැඩිහිටියන් මුහුණ පාන සමහර සෞඛ්‍ය ගැටලු මෙම යෞවනයන් තුළද පහළ වන ලකුණු දක්නට ලැබුණා. බොහෝදෙනෙක් නිදාගැනීමට ඇති අගනා කාලය රැකියාව, පාසැල් වැඩකටයුතු හෝ විනෝදාස්වාදය සඳහා කැප කරනවා. නමුත් මෙයින් අත් වන්නේ යහපත ප්‍රතිඵලවලට වඩා අයහපත් ප්‍රතිඵලයි. ‘හොඳ අවදියෙන් මෙන්ම නිර්මාණාත්මක මනසකින් වැඩ කිරීම හා නිදිකිරා වැටෙන්නේ නැතුව රිය පැදවීම අතරත් කරන්නම් වාලේ වැඩ කිරීම අතරත් ලොකු වෙනසක් තියෙනවා’ යනුවෙන් නිව් යෝක් නගරයේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ නින්ද පිළිබඳව පරීක්ෂණ පවත්වන ජේම්ස් මාස් පවසනවා.

අපේ සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතට වෙනත් සාධකද බලපානවා. ධනාකල්පයක් ඇතුව ජීවත් වීම සෞඛ්‍යයට හිතකරයි. ඒ වගේම, ජීවිතයට සැබෑ අරමුණක් තිබීම, නිරෝගීව සිටීමට උපකාරවත් වන තේරීම් කිරීම සඳහා අප තුළ සැබෑ වුවමනාවක් ඇති කරවයි.