Skip to content

පටුනට යන්න

චිත්තාකර්ෂණීය විලාසිතාවල අඳුරු පැත්ත

චිත්තාකර්ෂණීය විලාසිතාවල අඳුරු පැත්ත

චිත්තාකර්ෂණීය විලාසිතාවල අඳුරු පැත්ත

විලාසිතා අනුකරණය කිරීම ඔබේ පෙනුම වැඩි දියුණු කිරීමට දායක විය හැකි අතර ඔබේ ආත්ම-විශ්වාසය එමඟින් වැඩි කළ හැකි බවට කිසිම සැකයක් නැහැ. ඇඟට ගැළපෙන ඇඳුමකින් සමහර ශාරීරික අඩුපාඩුකම් වසාගැනීමට හැකි වන අතර ඔබේ පෙනුම ඔප්නංවාලීමටද ඉන් හැකි වෙනවා. අන් අය ඔබව සලකන ආකාරය කෙරෙහිද ඊට බලපෑමක් ඇති කළ හැකියි.

එහෙත් නොසලකා හැරිය නොහැකි අඳුරු පැත්තකුත් විලාසිතා ලෝකයේ තිබෙනවා. නිමක් නැතුව අලුත් ඇඳුම් මිල දී ගැනීමේ උගුලට සාප්පු සවාරියේ යෙදෙන්නන් හසු වෙන්න පුළුවන්. ඇඟලුම් කර්මාන්තය මහා පරිමාණයෙන් අලුත් මෝස්තර නිපදවන බව මතක තබාගන්න. මෙය අහඹු සිදුවීමක් නෙවෙයි. මන්ද අලුත් විලාසිතාවක් ඉක්මනින් පරණ වුවොත් විලාසිතා නිවෙස්වලට වැඩි ලාභයක් උපයාගැනීමට හැකි වන නිසයි. මෝස්තර නිර්මාණ ශිල්පිණියක් වන ගැබ්‍රියෙල් ෂැනෙල් විස්තර කළ ආකාරයට, “අලුත් විලාසිතාවක් නිර්මාණය කරන්නේ ඉක්මනින්ම පරණ වෙන්නයි.” එමනිසා නවීනතම විලාසිතාවට ඔබින සේ ඇඳ පැළඳ සිටීමට කැමති අපරීක්ෂාකාරී පාරිභෝගිකයෙකුට නිතර නිතර අලුත් ඇඳුම් මිල දී ගැනීමට අත්‍යවශ්‍ය බව හැඟිය හැකියි.

වෙළඳ දැන්වීම්වල සූක්ෂ්ම බලපෑමට නතු වීමේ උවදුරද පවතී. තමන්ගේ වෙළඳ නාමය තිබෙන ඇඳුම් අඳින අය සැහැල්ලු ජීවිතයක් භුක්ති විඳිනවාය යන හැඟීම බොහෝවිට ඉදිරිපත් කරමින් විලාසිතා ආයතන තම නිෂ්පාදන ව්‍යාප්ත කිරීම සඳහා ඩොලර් මිලියන ගණනක් වැය කරනවා. මෙසේ ඉදිරිපත් කරන පණිවුඩය මගින් ප්‍රබල බලපෑමක් ඇති කළ හැකියි. “‘ප්‍රසිද්ධ වෙළඳ නාමයක්’ තිබෙන සපත්තු කුට්ටමක් ලබාගැනීමට නොහැකි වීම තරම් අසහනකාරී දෙයක් නහඹරයන්ට නැහැ” යයි ස්පාඤ්ඤයේ ගුරුවරයෙක් පවසයි.

එහි ආකර්ෂණ ශක්තිය

සමහර කණ්ඩායම්වලට අයිති අය තමන්ව හඳුන්වා දීම සඳහා විශේෂිත ඇඳුම් මෝස්තරයක් පාවිච්චි කරනවා. ඔවුන් සමාජය හෙළා දකින බව, ලිහිල් ජීවන රටාවක් ගත කරන බව හෝ සාහසික ජාතිවාදී මතිමතාන්තර ඔවුන්ට තිබෙන බව පවා ඔවුන් අඳින ඇඳුමෙන් ඇඟවිය හැකියි. මෙම මෝස්තරවලින් සමහර ඒවා අශික්ෂිත හෝ කම්පිත කරවන ඒවා විය හැකි වුවත්, කණ්ඩායමේ හැමෝම වගේ එක හා සමානව ඇඳ පැළඳ සිටිනවා. එම කණ්ඩායමේ මතිමතාන්තර අනුමත නොකරන සමහරුන් පවා එම මෝස්තරවලට ඇල්මක් දක්වන්න පුළුවන්. ඇඳුම් සම්බන්ධයෙන් තිබෙන මෙවැනි ප්‍රවණතාවන් පිළිගන්න අය එම කණ්ඩායම දරන ප්‍රධාන මතවලට තමන් එකඟ වන බවත් ඒවාට තමන් අනුබල දෙන බවත් ඇඟවිය හැකියි.

විලාසිතා නිතර නිතර වෙනස් වෙනවා. සමහරවිට මාස කිහිපයක් යන්න කලින් පවා එහෙම වෙන්න පුළුවන්. ඒවා ජනප්‍රිය සංගීතඥයෙකුගෙන් හෝ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගෙන් ආරම්භ වෙන්න පුළුවන්. කෙසේවෙතත් සමහර විලාසිතා පිළිගත් මෝස්තර බවට පත් වෙනවා. නිදසුනකට නිල් පාට ඩෙනිම් කලිසම්, 1950 ගණන්වල හා 1960 ගණන්වල සිටි තරුණ විප්ලවවාදීන් අතර ජනප්‍රිය වුණා. කෙසේවෙතත් දැන් ඒවා විවිධ වයස් මට්ටම්වලට අයත් අය විසින් විවිධාකාර අවස්ථාවලදී අඳිනු ලබනවා.

නියම හැඩය සොයා

විලාසිතා ගැන ඕනෑවට වඩා වැඩියෙන් උනන්දු වන අය තම පෙනුම ගැන අනවශ්‍ය සැලකිල්ලක් දක්වන්න පටන්ගන්නත් පුළුවන්. විලාසිතා නිරූපිකාවන් බොහෝවිට උස් වූ සිහින් සිරුරක් සහිත අය වන අතර, ඔවුන්ගේ පින්තූරු නිතර නිතර අපිට දකින්නට ලැබෙනවා. a මෝටර් රථයේ පටන් සීනි බෝලය දක්වා සෑම දෙයක්ම අලෙවි කිරීම සඳහා ආකර්ෂණීය ශරීර හැඩයන්ගෙන් යුත් ලලනාවන්ව යොදාගන්නවා. “අපගේ මව්වරුන් ඔවුන්ගේ යෞවන කාලය පුරාවටම දැක නැති සුන්දර ලලනාවන්ගේ දසුන් අද දින වෙසෙන තරුණියන් එක දවසකදී දකිනවා” යයි බ්‍රිතාන්‍යයේ සමාජීය ගැටලු පිළිබඳ පර්යේෂණ ආයතනය තක්සේරු කරනවා.

නිතර නිතර එවැනි අයව දැකීමෙන් හානිදායක බලපෑමක් ඇතිවීමට ඉඩ ඇත. නිදසුනකට නියූස්වීක් සඟරාවේ පළ වූ සමීක්ෂණයකින් හෙළි වූයේ, සුදු ජාතික නහඹරයන්ගෙන් සියයට 90ක්ම තම ශරීර ගැන සෑහීමට පත් නොවූ බවයි. මොවුන්ගෙන් සමහරෙකු ‘නියම හැඩය’ අත් කරගැනීම සඳහා ඕනෑම දෙයක් කරන්න සූදානම්. එනමුත් මාධ්‍යය සහතික කරන නියම බර සහ හැඩය අත් කරගැනීමට හැක්කේ ජනගහනයෙන් සියයට 5කට වඩා අඩු පිරිසකට බව සමාජීය ගැටලු පිළිබඳ පර්යේෂණ ආයතනය කියා සිටියි. කෙසේවෙතත් ඉතාමත්ම සිහින් සිරුරක් අත් කරගැනීමට දක්වන අධික කැමැත්ත නිසා මිලියන සංඛ්‍යාත යෞවනියන් එක්තරා ආකාරයක වහලුන් වී සිටිනවා. ඇනරෙක්සියා නර්වෝසා කියා හඳුන්වන ජීවිතයට පවා තර්ජනයක් එල්ල කළ හැකි ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් සමහරුන්ට වැලඳී තිබෙනවා. b ඇනරෙක්සියාවලට ගොදුරු වූ ස්පාඤ්ඤ ජාතික නිරූපිකාවක් වන නියේව්ස් ආල්බාරෙත් මෙසේ පවසයි. “මං මැරෙයි කියන භයටත් වඩා වැඩියෙන් බර වැඩි වෙනවාට මම භය වුණා.”

ඇනරෙක්සියා හා බුලිමියා බඳු ආහාර ගැනීමේ අක්‍රමිකතා වෙනත් හේතූන් බොහෝමයක් නිසා වැලඳිය හැකි බව සැබෑවකි. කෙසේවෙතත්, “සිහින් සිරුරක් අත් කරගැනීමට තිබෙන උමතුව මීට එක්තරා ප්‍රමාණයකට වගකිව යුතු” යයි ආන් ගීමෝ සහ මිෂල් ලැක්ෂනර් නමැති වෛද්‍යවරුන් පවසනවා.

පැහැදිලිවම, විලාසිතාවල ප්‍රයෝජනදායක පැත්තකුත් හානිදායක පැත්තකුත් තිබෙනවා. අන් අය ඉදිරියේ ප්‍රසන්නව පෙනී සිටීමට හා අලුත් යමකින් සැරසී සිටීමට අපට තිබෙන මූලික ආශාව ඉන් සපුරාලනවා. එනමුත් විලාසිතා සම්බන්ධව අන්තයට ගියොත්, අප ගැන වැරදි හැඟීමක් ලබා දෙන ඇඳුම්වලින් සැරසී සිටීමටත් එය හේතු වෙන්න පුළුවන්. එමෙන්ම අපි අපේ පෙනුම ගැන ඕනෑවටත් වඩා වැඩි සැලකිල්ලක් දක්වනවා නම්, අපගේ වටිනාකම රඳා පවතින්නේ අපගේ ඇතුළාන්ත ස්වභාවයට වඩා අපගේ ‘පිට ඔපය’ මතයි යන වැරදිසහගත අදහසට අප හසු වෙලා විය හැකියි. නිකම්ම නිකම් කෙනෙකුගේ පිටාතරය බලනවාට වඩා ඔහුගේ හැකියාවන් හා අභ්‍යන්තර ස්වභාවය වැඩි වැඩියෙන් අගය කිරීමට අප ඉගෙනගත යුතුයයි කලින් අදහස් ප්‍රකාශ කළ ආල්බාරෙත් කියයි. එහෙත් මිනිසුන්ගේ ආකල්පවල එවන් විපර්යාසයක් ළඟදී වෙන බවක් නම් පෙනෙන්න නැහැ. එහෙමනම් විලාසිතා පිළිබඳ සමබර දෘෂ්ටියක් අප ලබාගන්නේ කොහොමද?

[පාදසටහන්වල]

a නිරූපිකාවන්ට “අඩුම තරමින් අඩි 5යි අඟල් 9ක උසක්, ඉතා සිහින් සිරුරක්, පිරුණු තොල්, මදක් ඉස්සුණු කම්මුල්, ලොකු ඇස්, දිග කකුල් සහ ඇද නැති ප්‍රමාණවත් නාසයක්” තිබිය යුතුයයි ටයිම් සඟරාව වාර්තා කරයි.

b එක්සත් ජනපදයේ පමණක් මිනිසුන් මිලියන අටක් ඇනරෙක්සියා නර්වෝසාවලට ගොදුරු වන බවත්, ඉන් විශාල කොටසක් මිය යන බවත්, එක්සත් ජනපදයේ ඇනරෙක්සියා නර්වෝසා හා ආශ්‍රිත අක්‍රමිකතා සඳහා ජාතික ආයතනය මගින් ගණන් බලා තිබෙනවා. මෙම රෝගීන්ගෙන් බහුතරයක් (සියයට 86ක්) වයස අවුරුදු 21 වෙන්ටත් කලින් ආහාර ගැනීමේ අක්‍රමිකතාවලින් පෙළෙන්න පටන්ගත්තා.

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූර]

‘අපොයි ඕක අඳින්නේ කවුද?’

වසන්ත හා ග්‍රීෂ්ම ඍතු දෙකේදීම නිව් යෝක්, පැරීසිය සහ මිලාන්හි තිබෙන විලාසිතා නිවාසවල, ප්‍රධාන පෙළේ විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ ඇඳුම් ප්‍රදර්ශනය කරනවා. ඒවාට විශාල මිලක් නියම කර තිබෙනවාට අමතරව, මෙම නිර්මාණවලින් බොහොමයක් එදිනෙදා ජීවිතයට කොහෙත්ම නොගැළපෙන අතර බොහෝවිට ඒවා ඇඳිය නොහැකියි. “ඔබ දකින, පමණ ඉක්මවා ගිය විකාර මෝස්තර නිර්මාණය කර තිබෙන්නේ ඇත්තෙන්ම පොදු ජනයාව සැලකිල්ලට ගෙන නෙවෙයි” කියා ස්පාඤ්ඤ ජාතික නිර්මාණ ශිල්පියෙක් වන හ්වාන් ඩූයෝස් පවසයි. “ප්‍රදර්ශනය කර තිබෙන ඇඳුම් අලෙවි කරනවාට වඩා, නිර්මාණ ශිල්පියාව හෝ වෙළඳ නාමය හෝ අවධානයට ලක් කිරීම එම විලාසිතා ප්‍රදර්ශනයේ අරමුණ විය හැකියි. නිදසුනකට බොහෝ සෙයින් මාධ්‍ය ප්‍රචාරයට ලක් විය හැකි චිත්තාකර්ෂණීය නව මෝස්තරවලට අනුව නිර්මාණය කළ ඇඳුම්, ප්‍රසිද්ධ වෙළඳ නාමයක් හිමි සුවඳ විලවුන් අලෙවි කිරීම සඳහා ප්‍රයෝජනවත් විය හැකියි.”

[7වන පිටුවේ පින්තූරය]

අලුත්ම විලාසිතා හඹා යෑමේදී අධික ලෙස මුදල් වැය වෙයි

[7වන පිටුවේ පින්තූරය]

සමහර ඇඳුම් මෝස්තරවලින් ඔබ යම්කිසි කණ්ඩායමකට අයිති බව ඇඟවිය හැකියි

[7වන පිටුවේ පින්තූරය]

සමහරුන්ට ජීවිතයට තර්ජනයක් විය හැකි ඇනරෙක්සියා වැලඳී තිබෙනවා