Skip to content

පටුනට යන්න

මිදෙමු හිරිහැරයෙන්

මිදෙමු හිරිහැරයෙන්

මිදෙමු හිරිහැරයෙන්

‘හිරිහැර කිරීම ඉගෙනගත් හැසිරීමක් වෙන අතර ඉගෙනගත් ඕනෑම දෙයක් මනසෙන් ඉවත් කළ හැකියි.’—ආචාර්ය සී. සැලී මර්ෆි.

හිරිහැර කරන්නා සහ විඳින්නා යන දෙපාර්ශ්වයටම උපකාර අවශ්‍යයි. අනිසි ලෙස බලය යොදා නොගනිමින් අන්‍යයන් සමඟ කටයුතු කිරීමට හිරිහැර කරන්නා ඉගෙනගත යුතුයි. එමෙන්ම හිරිහැර විඳින්නාටද ගැටලුවට සාර්ථකව මුහුණ දීම සඳහා ප්‍රායෝගික මඟ පෙන්වීම් කීපයක් අවශ්‍යයි.

බොහෝවිට හිරිහැර කරන්නා අන්‍යයන් සමඟ පෑහී සිටීමට නොදන්නා අතර ඔහු විසින් භයගන්වන්නන්ගේ හැඟීම් තේරුම්ගන්නත් ඔහු අසමත් වෙනවා. ඔහුව හොඳින් නිරීක්ෂණය කර, නිසි ලෙස අදහස් හුවමාරු කරන ආකාරය ඔහුට ඉගැන්විය යුතුයි. හිරිහැර කිරීමට එරෙහිව පියවර ගැනීම නමැති පොතේ මෙසේ පවසනවා. “නව හැසිරීම් රටා ඉගෙනගෙන, ඒ අනුව හැසිරුණේ නැත්නම් හිරිහැර කරන්නන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම දිගටම හිරිහැර කරමින්ම ඉඳීවි. ඔවුන්ගේ කලත්‍රයන්, දරුවන් සහ ව්‍යාපාර ස්ථානයේ ඔවුන් යටතේ සිටින්නන් ඔවුන්ගේ හිරිහැරයට පාත්‍ර වෙනවා.”

හිරිහැර නොකර සිටීමට උපකාර

කුඩා අවදියේදීම දයානුකම්පාව දැක්වීමට දරුවන්ව පුහුණු කිරීමෙන්, හිරිහැර කරන්නන් වීමෙන් වැළකෙන්න ඔවුන්ට උපකාර කළ හැකියි. ඇතැම් රටවල ගුරුවරුන් දයානුකම්පිත වීමට පුහුණුවක් ඇතුළත් නව අධ්‍යාපන ක්‍රමයක් දියත් කර තිබෙනවා. අන්‍යයන්ගේ හැඟීම් තේරුම්ගන්න සහ මිනිසුන්ට කරුණාවෙන් සලකන්න පස් හැවිරිදි වියේ සිටම ශිෂ්‍යයන්ට ඉගැන්වීමයි එහි පරමාර්ථය වී තිබෙන්නේ. එහි දිගු කාලීන බලපෑම සම්බන්ධයෙන් තවම ලැබී තිබෙන්නේ දත්තයන් ස්වල්පයක් වුවත්, මුල් ප්‍රතිඵලවලින් පෙන්වන්නේ පුහුණුව ලබා තිබෙන අය එය ලබා නැති අයට වඩා අඩුවෙන් කලහකාරී වන බවයි.

ඔබ දෙමාපියෙකු වශයෙන්, එවැනි පුහුණුවක් ලබා දීම යම් පාසැල් වැඩසටහනකට මුළුමනින්ම භාර නොදිය යුතුයි. ඔබේ දරුවා හිරිහැර කරන්නෙකු බවට පත් වෙනවා දකින්න ඔබ අකමැති නම්, අන්‍යයන්ට ගෞරවයෙන් සලකන ආකාරය වචනයෙන් හා ආදර්ශයෙන් ඔහුට ඉගැන්විය යුතුයි. ඔබට උපකාර කරන්න කුමකට හැකි වෙයිද? මේ සම්බන්ධයෙන් පුහුණුවක් දීමට සමත් අතිවිශිෂ්ට නමුත් අගය කරනු නොලැබූ මූලාශ්‍රයක් වන දේවවචනය අඩංගු බයිබලය දැනටමත් ඔබ සතුව තිබිය හැකියි. උපකාර කරන්න එයට හැක්කේ කෙසේද?

එක දෙයක් නම්, හිරිහැර කිරීම සම්බන්ධයෙන් දෙවිට හැඟෙන අයුරු එය පැහැදිලිව උගන්වනවා. ඔහු එය හෙළා දකිනවා. දෙවි ගැන බයිබලයේ පවසන්නේ “ඔහුගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂ කරයි” කියලයි. (ගීතාවලිය 11:5) එපමණක්ද නොව, සිදු වෙමින් තිබෙන දේ නොදැකීමට දෙවි අන්ධ වෙලාත් නැහැ. ඊශ්‍රායෙල්වරුන්ට “පීඩා කළාවූ ඔවුන් පොඩි කළාවූ අය” නිසා ඔවුන් වේදනා වින්ද විට ඔහුට ඇති වුණ දයානුකම්පිත හැඟීම් නැතහොත් ඔහු දුක් වූ ආකාරය ගැන බයිබලයේ වාර්තා වෙලා තියෙනවා. (විනිශ්චයකාරයන් 2:18) තම බලය අනිසි ලෙස පාවිච්චි කරමින් දුර්වලයන්ට හා අසරණයන්ට හිරිහැර කළ අයට දෙවි බොහෝ අවස්ථාවල දඬුවම් කර තිබෙනවා.—නික්මයාම 22:22-24.

දයානුකම්පාව පෙන්වන ආකාරය ගැන දී තිබෙන සුප්‍රසිද්ධම කියා සැලකිය හැකි උපදේශයද බයිබලයේ අඩංගුයි. යේසුස් මෙසේ පැවසුවා: “එබැවින් අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.” (මතෙව් 7:12, NW) එම රන් අණ තමන්ගේ ජීවිතයට අදාළ කරගනිමින් ඊට එකඟව ජීවත් වීමට දරුවන්ට ඉගැන්වීම පහසු දෙයක් නෙවෙයි. ඒ සඳහා හොඳ ආදර්ශයක් තැබීම, නිරතුරු උත්සාහය මෙන්ම මහන්සි වී වැඩ කිරීම අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම බාල දරුවන් ස්වභාවයෙන්ම තමන් ගැනම සිතන නිසයි. එහෙත් එවැනි වෑයමක් දැරීම වටිනා දෙයක්. ඔබේ දරුවන් කරුණාවන්ත සහ දයානුකම්පිත වීමට ඉගෙනගන්නවා නම් හිරිහැර කිරීමේ සිතුවිල්ල පවා ඔවුන්ට පිළිකුලක් වේවි.

හිරිහැර විඳින්නන්ට උපකාර

විශේෂයෙන්ම යෞවනයන් ඇතුළු හිරිහැර විඳින අය පීඩනය යටතේ කලබල නොවී සන්සුන්ව සිටීමේ අසීරු අභියෝගයට මුහුණ දෙනවා. කෙනෙක් ඔබට හිරිහැර කරනවා නම්, සමහරවිට ඔහුගේ ආශාව ඔබව මානසිකව වැට්ටීම විය හැකියි. ඔහුට අවශ්‍ය වන්නේ ඔබ හොඳටම කේන්ති අරගෙන මහත් භීතියකින් ප්‍රතිචාරය දක්වන ආකාරය බැලීමටයි. ඔබ තදින් කේන්ති ගෙන ක්‍රියා කරයි නම් හෝ අඬයි නම්, රිදුණු බව හෝ භය ගතියක් පෙන්වයි නම් හිරිහැර කරන්නාට වුවමනා කරන දේ ඔහුට ලැබෙනවා. එවිට ඔහු විටින් විට එලෙසම කරවන්න වෑයම් කළ හැකියි.

ඔබට කරන්න පුළුවන් මොනවාද? මතු යෝජනා සලකා බලන්න. ඒවා මූලික වශයෙන් ලියා තිබෙන්නේ බාලයන්ව මනසේ තබාගෙන වුවත් සේවා ස්ථානයේ හිරිහැර කරන්නන් සමඟ කටයුතු කරන වැඩිහිටියන්ටද එම ප්‍රතිපත්ති අදාළ විය හැකියි.

සන්සුන්ව ඉන්න. කේන්ති ගන්න එපා. බයිබලය ඥානවන්තව මෙසේ අවවාද කරනවා. “තරහෙන් වැළකී උදහස අත්හරින්න.” (ගීතාවලිය 37:8) ඔබ ඉහ වහා ගිය කේන්තියකින් ක්‍රියා කළොත් ඔබව පාලනය කිරීමට ඔබ හිරිහැර කරන්නාට ඉඩ දෙන අතර අන්තිමේදී පසුතැවෙන්න සිදු වෙන දේවල්ද ඔබ කරන්න ඉඩ තිබෙනවා.—හිතෝපදේශ 25:28.

පළිගැනීමේ චේතනා ඔබේ මනසෙන් ඉවත් කිරීමට වෑයම් කරන්න. පළිගැනීමට යෑමෙන් සිදු වෙන්නේ ගින්නට පිදුරු දැමීමක්. කොහොමටත් පළිගැනීමෙන් සැබෑ තෘප්තියක් ලැබෙන්නේ නැහැ. දාසය හැවිරිදි වියේ පසුවෙද්දී යෞවනයන් පස්දෙනෙකුගෙන් පහර කෑ ගැහැනු ළමයෙක් මතකයට නඟන්නේ මෙයයි. “මම කොහොමහරි පළිගන්නවා ගන්නවාමයි කියලා හිතාගත්තා. ඉතින් මම මගේ යාළුවෝ කට්ටියකගෙන් උදව් අරගෙන පස්දෙනාගෙන් දෙන්නෙකුගෙන් පළිය ගත්තා.” ප්‍රතිඵලය? “සතුට වෙනුවට මට දැනුණේ පුදුම විදිහේ හිස්බවක්” කියා ඇය පවසනවා. එමෙන්ම ඇගේ හැසිරීමත් ඉන්පසුව නරක අතටම හැරුණා. බයිබලයේ තිබෙන මෙම නැණවත් වදන් මතකයට නඟන්න. “කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න.”—රෝම 12:17, NW.

තත්වය දරුණු අතට හැරෙන බව පෙනෙන්න තිබෙන විට වහාම එතැනින් ඉවත් වෙන්න. බයිබලයේ මෙසේ පවසනවා. “තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.” (හිතෝපදේශ 17:14) හිරිහැර කිරීමට නැඹුරුවාවක් ඇති අය සමඟ අතේ දුරින් ඉන්න බලන්න. හිතෝපදේශ 22:3 මෙහෙම කියනවා. “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි. එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.”

හිරිහැර කිරීම දිගටම සිදු වේ නම් කරබාගෙන නොඉඳ ඒ ගැන ඔබට සිතෙන දේ එඩිතරව පැවසීමට ඔබට සිදු විය හැකියි. ඔබ සන්සුන්ව සිටින අවස්ථාවක හිරිහැර කරන්නාගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන ස්ථිර නමුත් සන්සුන් වූ හඬකින් කතා කරන්න. ඔහු කරන දේට ඔබ අකමැති බවත්, එය සෙල්ලමක් නොව ඇත්තෙන්ම ඔබව වේදනාවට පත් කරන දෙයක් බවත් ඔහුට පවසන්න. අපහාස කිරීමට හෝ කේන්තිය අවුස්සන දේවල් කීමට මං නොසොයන්න.—හිතෝපදේශ 15:1.

විඳින හිරිහැරය සම්බන්ධයෙන් සැලකිලිමත් හා වගකිව යුතු වැඩිහිටියෙකු සමඟ කතා කරන්න. ගැටලුව ගැන නිශ්චිතව සඳහන් කරමින් එය විසඳාගැනීමට උපකාර ඉල්ලන්න. දෙවිට යාච්ඤා කරන විටද එලෙසම කරන්න. මෙය උපකාරය හා සැනසීම ලැබීමේ මවිතාකාර උල්පතක් විය හැකියි.—1 තෙසලෝනික 5:17.

පුද්ගලයෙකු හැටියට ඔබට වටිනාකමක් තිබෙන බව මතක තබාගන්න. හිරිහැර කරන්නාට වුවමනා වෙන්නේ, ඔබේ වටිනාකමක් නැහැ. ඒ නිසා ඔබ හොඳින් සැලකිලි ලැබීමට තරම් සුදුස්සෙකු නෙවෙයි කියා ඔබටම සිතීමට සලස්වන්න විය හැකියි. එහෙත් ඔහු ඔබේ විනිශ්චයකාරයා නෙවෙයි. දෙවියි ඔබේ විනිශ්චයකාරයා. ඔහු අප තුළ තිබෙන යහපත දෙසයි බලන්නේ. එවැනි හැසිරීමකට යොමුවීමෙන් වටිනාකමින් අඩු තැනැත්තා බවට පත් වෙන්නේ හිරිහැර කරන්නාමයි.

දෙමාපියෙනි ඔබේ දරුවන් රැකගන්න

දරුවන්ගේ කුඩා අවදියේදීම හිරිහැර කරන්නන් එක්ක නැණවත්ව කටයුතු කිරීමට ඔවුන්ව සූදානම් කරන්න දෙමාපියන්ට හැකියි. උදාහරණයක් වශයෙන්, ආත්ම-විශ්වාසයක් ඇති කරගන්නේ කෙසේද කියා පෙන්වීමට දෙමාපියන්ට පුළුවන් දරුවන් සමඟ හිරිහැර කරන්නා සහ විඳින්නාගේ චරිත රඟ දැක්වීමට.

කෙළින් සිටගැනීම වැනි ශාරීරික ඉරියව්වලින් පවා සියුම් පණිවිඩයක් දෙමින් හිරිහැර කරන්නාට යමක් ඒත්තුගැන්විය හැකියි. කෙළින් බලා, පහසුවෙන් අත් දෙක තබාගෙන අභීතව ස්ථිර හඬකින් කතා කිරීමද උපකාරවත් විය හැකියි. එතැනින් ඉවත්ව යන්නත්, හිරිහැර කරන්නන්ව මඟහරින්නත්, පාසැල් ගුරුවරයෙක් වැනි විශ්වසනීය වැඩිහිටියෙකුගෙන් උපකාර පතන්නත් තම දරුවන්ට උගන්වන්න කියා දෙමාපියන්ට උනන්දු කර තිබෙනවා.

හිරිහැර කිරීමේ හැසිරීම පලවාහැරීමට දැනුවත් කිරීම පටන්ගන්නේ පවුල තුළින්මයි. තම දරුවන් වෙනුවෙන් කාලය වෙන් කරන දෙමාපියන් තම දරුවන්ගේ අදහස් උදහස්වලට ඉවසිලිවන්තව හා දයානුකම්පිතව සවන් දෙන අතර, ඔවුන් කරදරයක් නොවන බවටත්, ඔවුන්ට ප්‍රේම කරන බවටත්, ඔවුන්ට පිහිට වෙන්න කවුරු හරි සිටින බවටත් හැඟෙන්න සලස්වනවා. දෙමාපියභාවය සහ සම වයසේ මිතුරන්ගෙන් එල්ල වෙන ගැටලු ගැන උපදෙස් දෙන බොහෝ විශේෂඥයන් දෙමාපියන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ තම දරුවන්ට ඔවුන් ගැනම ධනාත්මක ආකල්පයක් තබාගන්න උපකාර කරන්න කියලයි. එවැනි හිතකර ආකල්පයක් තිබීමෙන් හිරිහැර කරන්නන්ට ඔවුන්ව ගොදුර කරගැනීම පහසු නොවෙයි.

නමුත් නිකම් කතා කරනවාට වඩා වැඩි යමක් කළ යුතුව තිබෙනවා. පවුලේ සෑම සාමාජිකයෙකුම අන්‍යයන්ට ගෞරවයෙන් සැලකීමට හා දයානුකම්පාව දැක්වීම වර්ධනය කරගැනීමට ඉගෙනගත යුතුයි. එබැවින් ඔබේ නිවස තුළ, මොනම හිරිහැර කිරීමකටවත් ඉඩ නොතබන්න. ඔබේ නිවස ගෞරවය හා ප්‍රේමය පවතින සුරක්ෂිත ක්ෂේමභූමියක් කරගන්න.

හිරිහැර කිරීමේ නිමාව

“මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩු” කර තිබෙනවා. (දේශනාකාරයා 8:9) බයිබලයේ මිනිස් ඉතිහාසය සමස්තයක් ලෙස විස්තර කර තිබෙන්නේ එලෙසයි. ඇත්තෙන්ම වසර දහස් ගණනක් පුරා හිරිහැර විඳීමෙන් මිනිස්වර්ගයා පීඩා විඳ තිබෙනවා. බයිබල් ලේඛකයෙක් මෙසේ පැවසුවා. “නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය. ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නමුත් සනසන්නෙක් නොසිටියේය.”—දේශනාකාරයා 4:1.

කෙසේවුවද, ලොව තුළ සිදු කෙරෙන සියලු හිරිහැර කිරීම් අනිවාර්යයෙන්ම දකින දෙවි පීඩා විඳින්නන් කෙරෙහි අනුකම්පා කරනවා. නමුත් ඔහු ඒ ගැන කවදා හෝ යමක් සිදු කරයිද? ඇත්තෙන්ම ඔව්! මීකා 4:4හි ඔහු දුන් පොරොන්දුව සලකා බලන්න. “ඔවුහු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත. මක්නිසාද සේනාවල යෙහෝවාගේ මුඛයෙන් එය නික්මුණේය.”

එම පොරොන්දුව ඉටු වෙන විට ලෝකය මොන වගේ වෙයිද කියා සිතා බලන්න. අනිත් අයව භය කරන්න හා තැතිගන්වන්න කිසිම කෙනෙක් නැහැ. ඒ කියන්නේ හිරිහැර කරන්නන් නැහැ! ඒක සිත්ඇදගන්නා ආරංචියක් නොවෙයිද? නමුත් දෙවි එවැනි අනාගතයක් පොරොන්දු වෙනවාට වඩා වැඩි දෙයක් කරලයි තියෙන්නේ. දැන් පවා ඉතා පලදායී බයිබල් අධ්‍යාපනික වැඩසටහනක් ලොව පුරාම ව්‍යාප්ත කර තිබෙන අතර ඉන් ප්‍රයෝජනවත් පල නෙළමින් තිබෙනවා. එයට සහභාගි වී සිටින්නන්ට තමන්ගේ කලහකාරී පෞද්ගලික ගති ලක්ෂණ වෙනස් කර, එකිනෙකා සමඟ සමාදානයෙන් සිටීමට හා අන්‍යයන්ට ගෞරවයෙන් සැලකීමට උගන්වා තිබෙනවා. (එපීස 4:22-24) නොබෝ කලකින් එම අතිවිශිෂ්ට උපදෙසේ ප්‍රතිඵල ලොව පුරා පැතිර යන බැවින් හිරිහැර කිරීමේ ගැටලුව තවදුරටත් පවතින්නේ නැහැ. බයිබලයේ වාර්තා වී ඇති දෙවිගේ පොරොන්දු එදාට සැබෑ වෙනවා. එදින ජීවත් වෙන සියලුදෙනාම හිරිහැර කරන්නන්ගෙන් තොර ලොවක් භුක්ති විඳිනු ඇති!

[26වන පිටුවේ පින්තූරය]

හිරිහැර කරන්නෙකුගෙන් ඉවත්ව යෑම ලජ්ජාවට කරුණක් නොවෙයි

[27වන පිටුවේ පින්තූරය]

ශක්තිමත් පවුල් වාතාවරණයක සිටින දරුවන්ට සියලු ආකාර හිරිහැර කිරීම්වලට සාර්ථකව මුහුණ දීමට උගන්වා තිබෙනවා

[28වන පිටුවේ පින්තූරය]

ස්ථිරව නමුත් උපායශීලීව තමන් වෙනුවෙන් කතා කිරීමට ඔබේ දරුවන්ට උගන්වන්න