Skip to content

පටුනට යන්න

විලාසිතාවල වෙනස් වන මුහුණුවර

විලාසිතාවල වෙනස් වන මුහුණුවර

විලාසිතාවල වෙනස් වන මුහුණුවර

අපට එය අවබෝධ වුණත් නැතත්, අප අඳින්නේ කුමක්ද යන්න ගැන දිනපතාම අප ගන්නා තීරණ යම් දුරකට අලුත්ම විලාසිතාවලින් පාලනය වෙනවා. අවසානයේදී අපට යමක් මිල දී ගැනීමට සිදු වන්නේ විලාසිතා රැල්ලට හසු වෙමිනුයි.

අප දැන් සාමාන්‍යයයි සලකන ඇඳුම් පවා එක කාලයක අලුත්ම මෝස්තරයේ නිමාවන් වුණා. නිදසුනකට, පිරිමින්ගේ කමිසය සහ ටයි පටිය, ශතවර්ෂයකට කලින් ජනප්‍රියතම විලාසිතාව බවට පත් වී තිබුණා. එමෙන්ම 1920 ගණන්වලදී, කාන්තා ජර්සිය පිළිගත් මෝස්තරය බවට පත් වී තිබුණා.

නවතාව හා අනුකූලතාව යනු විලාසිතා නිෂ්පාදකයන්ට අනුබල දෙන මූලික ආශාවන් දෙකකි. හැමෝම වගේ අලුත් යමක් අඳින්න ආසයි. සමහර අවස්ථාවලදී අප ඇඳුම් මිල දී ගන්නේ, පරණ ඇඳුමක් දිරාපත් වී තිබෙන නිසාම නොව නිකම් වෙනසකට ආස නිසයි. ඒත් එක්කම අපගේ ආශ්‍රිතයන් අඳින මෝස්තරවලට යම් දුරකට එක සමාන වන ඇඳුම් අපි මිල දී ගන්න පෙලඹෙන්නේ නොගැළපෙන ඇඳුමක් ඇඳගෙන සිටීමට අප අකමැති නිසයි. ගෙවී ගිය ශතවර්ෂ ගණනාව පුරා ඇඳුම් නිෂ්පාදකයන් නවතාවට හා අනුකූලතාවට තිබෙන්නාවූ මෙම ආශාවන් ඉටු කර දී ඇති අතර, ඇතැම් අවස්ථාවලදී එයින් අනිසි ප්‍රයෝජනද ගෙන තිබේ.

ඉතිහාසය කෙටියෙන්

මෝස්තරයක් සැකසීමේදී නිර්මාණ ශිල්පීන් මූලික කරුණු පහක් සැලකිල්ලට ගන්නවා. මේවා වර්ණය, හැඩය, රෙද්ද එල්ලා වැටෙන ආකාරය, වියමනේ ස්වභාවය සහ රෙද්ද මතුපිට තිබෙන මෝස්තර යනාදිය වේ. කාලයාගේ ඇවෑමෙන් මෙම ක්ෂේත්‍ර පහ දියුණු වී ඇති නිසා නිර්මාණ ශිල්පීන් හා ඇඳුම් මසන්නන් ඉදිරියේ බොහෝ විකල්ප තිබෙනවා. උදාහරණයකට පුරාණ ඊජිප්තුවේ දේශීය නිෂ්පාදනයක් වූ විනිවිද පෙනෙන හණ රෙදි, වැඩිදෙනාගේ ඉල්ලීම වූ අතර උණුසුම් දේශගුණයකට එය හොඳින් ගැළපුණා. එහෙත් හණ රෙදිවලට සායම් පෙවීම අසීරු දෙයක් වූ බැවින් බොහෝවිට එය ලබාගැනීමට හැකි වුණේ එක වර්ණයකින්, එනම් සුදු පාටින් පමණයි. තම ඇඳුම්වලට ලස්සන එල්ලා වැටෙන ස්වභාවයක් හා හැඩයක් ලබා දීම සඳහා ඊජිප්තුවේ විලාසිතා නිර්මාණ ශිල්පීන් එම රෙදිවලට රැලි ඇල්ලුවා. ලෝකයේ යල් පැන නොයන මෝස්තරවලින් එකක් බිහි වුණේ මෙලෙසයි.

ක්‍රිස්තු වර්ෂ පළමුවන ශතවර්ෂය වන විට, අලුත් රෙදි වර්ග මෙන්ම වර්ණද ලබාගත හැකි වුණා. ප්‍රවාහන වියදම නිසා සේද රෙදිවල වටිනාකම රත්තරන් හා සමාන වුවත්, ධනවත් රෝමවරුන් චීනයෙන් හෝ ඉන්දියාවෙන් සේද රෙදි ආනයනය කළා. තීර්වලින් ගෙන්වන ලද සායම් පෙවූ ලොම් තවත් ජනප්‍රිය රෙදි වර්ගයක් වූ අතර එහි කිලෝග්‍රෑම් එකක වටිනාකම සාමාන්‍ය රැකියාවක යෙදෙන කෙනෙකුගේ වසර හයක වැටුප වූ ඩිනාරි 2,000ක් වුණා. අලුත් සායම් වර්ග නිසාත් රෙදි වර්ග නිසාත්, ඉන්දියාවෙන් ගෙන්වන ලද නිල් කපු රෙදිවලින් හෝ සමහරවිට චීනයෙන් ගෙන්වන ලද කහ පැහැති සේද රෙදිවලින් නිමවූ ස්ටෝලාව නමැති පුළුල්, දිග, පිට වස්ත්‍රයකින් සැරසී සිටීමට ධනවත් රෝම කාන්තාවන්ට හැකි වුණා.

වරින් වර අලුත් මෝස්තර පැමිණියත්, පසුගිය යුගවලදී මිල අධික ඇඳුමක් සමහරවිට ජීවිත කාලයක් පුරා පිළිගත් විලාසිතාව ලෙස පැවතීමට ඉඩ තිබුණා. වෙනස් වීම් සිදු වූයේ ඉතාම සෙමින්. බොහෝදුරට ඒවා බලපෑවේ වංශවත් අයට පමණයි. කෙසේවෙතත් කාර්මික විප්ලවයත් සමඟම, පොදු ජනයාත් නව විලාසිතාවන්ට ඇදීයන්න පටන්ගත්තා.

දහනවවන ශතවර්ෂය තුළ දුප්පත් පොහොසත් යන දෙගොල්ලන්ටම ඇඳුම් නිෂ්පාදනය කරන අංග සම්පූර්ණ කර්මාන්ත ශාලා බිහි වෙන්න පටන්ගත්තා. කපු මෙන්ම ලොම් රෙදි යාන්ත්‍රිකව නිපදවන මෝල් ගණන ශීඝ්‍රයෙන් වැඩි වූ අතර, රෙදි වර්ගවල මිලද පහළ බැස්සා. මහන මැෂින් ලබාගත හැකි වූ බැවින් අඩු වියදමින් ඇඳුම් මසාගැනීමට හැකි වුණා. අලුත් කෘත්‍රිම සායම් හේතුවෙන් තෝරගන්න පාට රැසකුත් තිබුණා.

පොදු ජනයාට ඇඳුම් නිපදවීම සම්බන්ධයෙන් සමාජයේ මෙන්ම තාක්ෂණයේ සිදු වුණ වෙනස්කම් ඊටත් වඩා බලපෑවා. බටහිර යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ විසූ ජනයාගේ අතෙහි වියදම් කිරීමට ඕන තරම් මුදල් තිබුණා. එක්දහස් අටසිය පනස් ගණන්වල කාන්තා සඟරා ප්‍රකාශයට පත් කරන්න පටන්ගත් අතර, වැඩි කල් යන්නට මත්තෙන් විශාල සාප්පුවල සාමාන්‍ය මිමිවලට අනුව මසා නිම කළ ඇඳුම් මිල දී ගත හැකි වුණා. තවද 19වන ශතවර්ෂයේදී චාල්ස් ෆ්‍රෙඩ්‍රික් වර්ත් අනාගත පාරිභෝගිකයන්ගේ උනන්දුව පුබුදුවාලීම සඳහා සජීවි නිරූපිකාවන් යොදාගනිමින් විලාසිතා ප්‍රදර්ශන හඳුන්වා දුන්නා.

විසිවන ශතවර්ෂයේදී රෙයොන්, නයිලොන් සහ පොලියෙස්ටර් වැනි අලුත් කෘත්‍රිම කෙඳි වර්ග නිපදවූ නිසා ඇඳුම් නිෂ්පාදකයන්ට තවත් වර්ග ගණනාවක් නිපදවීමට හැකි වුණා. පරිගණකගත නිර්මාණ නිසා අලුත් මෝස්තර සකස් කිරීම පහසු වූ අතර, ගෝලීයකරණය හේතුවෙන් ටෝකියෝ, නිව් යෝක්, පැරීසය සහ සවෝ පාවුලෝහි වීදිවල, එකවරම එකම විලාසිතාවන් දැකගැනීමට හැකි වුණා. ඒ අතරතුරේදී, නිර්මාණ ශිල්පීන් සහ නිෂ්පාදකයන් විසින් තම නිෂ්පාදන ව්‍යාප්ත කිරීමට නව ක්‍රම සොයාගෙන තිබෙනවා.

අද කාලයේ විලාසිතාවලට වැඩියෙන්ම ලොල්වූවන් වන්නේ ධනවත් අය නොව යෞවනයන්. ඔවුන්ගෙන් දශලක්ෂ ගණනක් මාස්පතාම අලුත් ඇඳුම් මිල දී ගන්නා අතර, ඇඳුම් කර්මාන්තය වාර්ෂිකව ඩොලර් බිලියන සිය ගණනක් වටිනා ඇඳුම් නිපදවයි. a එහෙත් සැඟවුණු අන්තරායන් තිබෙනවාද?

[පාදසටහන]

a පසුගිය වර්ෂයක් තුළ නිෂ්පාදනය කරන ලද ඇඳුම්වල වටිනාකම ඩොලර් බිලියන 335ක් වූ බව ගණන් බලා තිබෙනවා.

[4, 5වන පිටුවේ කොටුව⁄පින්තූර]

විලාසිතා හඳුන්වා දෙන්නෝ

ශතවර්ෂ ගණනාවක් පුරා ඇඳුම් සම්බන්ධයෙන් ප්‍රමිති පිහිටෙව්වේ රජවරු සහ වංශවත් පවුල්වල අයයි. දාහත්වන ශතවර්ෂයේ ප්‍රංශයේ විසූ XIIIවන ලුවී රජ, ඔහුගේ කෙස් නැති හිස වසාගැනීමට බොරු කොණ්ඩයක් පැළඳ සිටීමට තීරණය කළා. වැඩි කල් යන්නට මත්තෙන්, යුරෝපයේ වෙනත් වංශවත් පවුල්වල උදවියත් තමන්ගේ හිස් මුඩු කරගෙන බොරු කොණ්ඩා පළඳින්න පටන්ගත් අතර, මෙම කොණ්ඩා මෝස්තරය ශතවර්ෂයකට වඩා වැඩි කාලයක් පැවතුණා.

දහනවවන ශතවර්ෂයේදී කාන්තා සඟරාවල අලුත් විලාසිතා හඳුන්වා දෙනු ලැබූ අතර, කාන්තාවන්ට තමන්ගේම ඇඳුම් අඩු වියදමින් මසාගැනීමට හැකි වන පිණිස එම සඟරාවලම පතරෝම සපයනු ලැබුවා. විසිවන ශතවර්ෂය තුළ චිත්‍රපට මෙන්ම රූපවාහිනිය ජනප්‍රිය වීමත් සමඟම, ප්‍රසිද්ධ නළු නිළියන් ජාත්‍යන්තරව විලාසිතා හඳුන්වා දෙන්නන් බවට පත් වෙමින් විලාසිතාවල නව ප්‍රවණතා ඇති කළා. ජනප්‍රිය සංගීතඥයන් විප්ලවකාරී මෝස්තර තෝරාගත් අතර යෞවනයන් බොහෝදෙනෙකු ඉක්මනින්ම ඒවා අනුකරණය කරන්න පටන්ගත්තා. අද කාලයේ වැඩි වෙනසක් ඇති වෙලා නැහැ. මන්ද අලුත් ඇඳුම්වලට වැඩි ඉල්ලුමක් ඇති කිරීම සඳහා විලාසිතා ප්‍රදර්ශන, විචිත්‍රවත් සඟරා, යෝධ දැන්වීම් පුවරු, ප්‍රදර්ශන කුටි සහ රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ආදිය දැන්වීම්කරුවන් බලපෑමෙන් යුක්තව උපයෝගි කරගන්නවා.

[පින්තූරය]

දහතුන්වන ලුවී රජ

[හිමිකම් විස්තර]

The Historian’s History of the World නමැති පොතෙන්

[4වන පිටුවේ පින්තූරය]

ඊජිප්තුවේ මෙම පැරණි හණ ඇඳුම ලෝකයේ වැඩිම කලක් පැවති විලාසිතාවලින් එකකි

[හිමිකම් විස්තර]

ඡායාරූපය රැගෙන තිබෙන්නේ British Museum අනුග්‍රහයෙන්

[4වන පිටුවේ පින්තූරය]

පුරාණ රෝමයේ කාන්තාවන් ස්ටෝලාවක් ඇන්දා

[හිමිකම් විස්තර]

Historia del Traje, 1917 නමැති පොතෙන්

[4, 5වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු වර්ෂ 650 පමණ සිට කිමෝනෝව පැවත තිබෙනවා

[හිමිකම් විස්තර]

La Ilustración Artística, Volume X, 1891 නමැති පුවත්පතින්

[5වන පිටුවේ පින්තූරය]

අතීතයේදී, මිල අධික ඇඳුමක් ජීවිත කාලයක් පුරා පිළිගත් විලාසිතාව ලෙස පැවතීමට ඉඩ තිබුණා

[හිමිකම් විස්තර]

EclectiCollections

[5වන පිටුවේ පින්තූරය]

කාර්මික විප්ලවය හේතුවෙන් සාමාන්‍ය ජනයාට පවා පිළිගත් විලාසිතාවන්ට අනුව ඇඳ පැළඳ සිටීමට හැකි වුණා

[හිමිකම් විස්තර]

EclectiCollections