Skip to content

පටුනට යන්න

විලාසිතා පිළිබඳ සමබර දෘෂ්ටියක්

විලාසිතා පිළිබඳ සමබර දෘෂ්ටියක්

විලාසිතා පිළිබඳ සමබර දෘෂ්ටියක්

දෙවි “හැම දේකටම ඒ ඒ කාලයට සුන්දරත්වය ලබා දී තිබෙනවා” යයි බයිබලය පවසයි. (දේශනාකාරයා 3:11, නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්) අප අවට ලෝකයේ සෑම තැනකම සුන්දරත්වය දැකගත හැකියි. එය මනුෂ්‍යයන්ටත් හිමි බව අපට වැටහෙනවා.

විලාසිතා නිර්මාණ ශිල්පියෙකු උත්සාහයක් දරන්නේ අපේ ඇඳුම් තුළින් අපට වඩාත් සුන්දර පෙනුමක් ලබා දීමටයි. එනමුත් කලින් ලිපියේ දැක්වූ පරිදි, විලාසිතා ආයතන මගින් සුන්දරත්වය පිළිබඳ සංකල්පයද වෙනස් කර තිබෙනවා. මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන රූත් ස්ට්‍රීගල් මෝර් මෙසේ පවසයි. “ඉතා සිහින් සිරුරු සහිත කාන්තාවන්ව අපි නිතර නිතර දකින නිසා, සුන්දර හැඩරුවක් කියන්නේ මේකයි කියලා අප සිතන්නට පටන්ගෙන තිබෙනවා.”

සුන්දරත්වය පිළිබඳව ලෝකයේ පවතින වත්මන් සංකල්පයේ බලපෑමට හසු වී ඊට අනුකූලවීම ප්‍රඥාවන්ත දෙයක් නොවන බව පැහැදිලියි. “අලුත් ‘සංකල්පයක්’ මතු වූ විගසම ඊට අනුකූලව තම සිරුර වෙනස් කරගැනීමට හෝ සකස් කරගැනීමට හෝ වත්මන් කාන්තාවට අවශ්‍ය නොවන” බව නිතරම අලුත්ම විලාසිතාවෙන් සැරසී (සිංහලෙන් නොමැත) නමැති පොතේ ඩොරිස් පූසර් පෙන්වා දෙයි. ඇත්තවශයෙන්ම, මාධ්‍යය විසින් ඉදිරිපත් කරනු ලබන සංකල්පවලට අප යටත් විය යුතුද? “වියරුවෙන් මෙන් අපේ ගති ලක්ෂණ වෙනස් කිරීමට උත්සාහ කරනවාට වඩා, අප සතු දෙයින් සතුටු වීම මොනතරම් සහනයක්ද!” යයි පූසර් පවසයි.

නොමැකෙන අලංකාරය

ආත්ම විශ්වාසයෙන් හා තෘප්තියෙන් ජීවිතය ගත කිරීමට, ලස්සන පෙනුමකට වඩා වැඩි යමක් බලපායි. “සැබෑ සන්තෝෂය ඇතුළාන්තයෙන් නික්මෙන දෙයකි” යයි ඇනරෙක්සියා නිසා පීඩා වින්ද ජූඩි සාජනට් ලියයි. “එය තමන්ගේ බර ප්‍රමාණය මත පදනම් වන දෙයක් නෙමෙයි.” බයිබලය එම කාරණයට මෙයද එකතු කරයි. “ඔබේ අලංකාරය විය යුත්තේ දෙවිගේ ඇස් හමුවේ බොහෝසෙයින් වටිනා, මෘදු වූ තැන්පත් වූ ගතිය නමැති නොමැකෙන අලංකාරය වන සැබෑ අභ්‍යන්තර පුද්ගලයායි” කියා ප්‍රේරිත පේතෘස් ලිව්වා.—1 පේතෘස් 3:4, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්.

පේතෘස් යොමු දක්වන නොමැකෙන අලංකාරය ශාරීරික සුන්දරත්වය ඉක්මවා යන්නේ, එය කල්පවතින නිසාත් දෙවිගේ ඇස් හමුවේ අනර්ඝ දෙයක් වන නිසාත්ය. ශතවර්ෂ ගණනාවකට පළමුව ප්‍රඥාවන්ත රජෙක් මෙලෙස නිරීක්ෂණය කළා. “රූපශ්‍රීය රැවටිලි සහිතය. ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ යෙහෝවා කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.”—හිතෝපදේශ 31:30.

අද කාලයේ ශාරීරික සුන්දරත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය හැකි වුවත්, ක්‍රිස්තියානි ගුණාංග සතු පුද්ගලයන්ට තවමත් බොහෝදෙනෙක් ගරු කරනවා. ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට මෙලෙස උනන්දු කළා. “අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න. . . . ගැඹුරු සෙනෙහස නමැති දයානුකම්පාවද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න.”—කොලොස්සි 3:10, 12, NW.

විලාසිතා යනු අනිවාර්යයෙන් තාවකාලික දෙයක් බව පිළිගත යුතුයි. වැඩිම වුණොත් අලුත් මෝස්තරයකින් අපට සැරසී සිටින්න පුළුවන් වෙන්නේ ඉතාම කෙටි කාලයකටයි. එහෙත් අපගේ ප්‍රියමනාප පෙනුමට ගැළපෙන පෞද්ගලිකත්වයක් අපට නොතිබේ නම්, අපි ඇඳුම් තුළින් ඇති කරන්න හදන හොඳ හැඟීම ඉක්මනින්ම මැකී යයි. ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, යහපත්කම, ආත්ම දමනය ආදි ගුණාංග ඇතුළත් “ආත්මයේ පල” කිසි කලක යල් පනින්නේ නැති බව සිහියේ තබාගන්න.—ගලාති 5:22, 23; 1 තිමෝති 2:9, 10.

කෙසේවෙතත් අප අඳින ඇඳුම්වලට අප විසින් සුදුසු අවධානයක් දිය යුතුයි. මේ සම්බන්ධයෙන් සමබරතාව රැකගැනීම අභියෝගයක් වූ බව ප්‍රංශයේ වෙසෙන එලීන් පිළිගන්නවා. ඇය මෙසේ පවසනවා. “නව යොවුන් වියේ පසු වූ මම, ඇඳුම් ගැන හුඟාක් උනන්දු වුණා. අලුත්ම විලාසිතාවලට අනුව අඳින්න මම ගොඩක් කැමති වුණා. මොකද එහෙම කළාම මට ආත්ම විශ්වාසයක් ලැබුණා. ඇරත් ප්‍රසිද්ධ නිර්මාණ ශිල්පියෙකුගේ වෙළඳ නාමය තිබෙන ඇඳුම් ගන්න මට හැකි වුණාම ඊට වැඩිය දෙයක් මට තිබුණේ නැහැ.

“එහෙත් මම වැඩිහිටියෙක් වුණාම, මගේ මූල්‍යමය අවශ්‍යතා තනියෙන් පිරිමසා ගැනීමට ඉගෙනගන්න මට සිදු වුණා විතරක් නෙමෙයි, මගේ කාලයෙන් වැඩි හරියක් ක්‍රිස්තියානි දේවසේවයේ යොදවන්නටත් මම පටන්ගත්තා” යයි එලීන් තවදුරටත් පවසයි. මගේ වත්කමට සරිලන පරිදි ජීවත් වෙන්න නම්, තවදුරටත් අලුත්ම විලාසිතාවලට වහල් වෙලා සිටින්න බැරි බව මට තේරුණා. සේල්වලින් හෝ වට්ටම් වෙළඳ සැල්වලින් මගේ ඇඳුම් මිල දී ගන්න මම පටන්ගත්තා. එහෙම කළාම හොඳ ඇඳුම්වලින් සැරසී සිටින්න පුළුවන් බවත්, ඊට වැය වුණේ සාමාන්‍ය වියදමින් කාලක් පමණක් බවත් මම සොයාගත්තා. මීට රහස වන්නේ ඔබට සරිලන, එදිනෙදා ජීවිතයට ඔබින, දැනටමත් ඔබ ගාව තිබෙන ඇඳුම්වලට හොඳින් ගැළපෙන, එමෙන්ම ඉක්මනින්ම පරණ විලාසිතාවක් බවට පත් නොවන ඇඳුම් මිල දී ගැනීමට ඉගෙනගැනීමයි. අලුත්ම විලාසිතාවලට අනුව ඇඳුම් මිල දී ගන්නවාට වඩා, මට ගැළපෙන්නේ මොන මෝස්තරයද කියා තීරණය කිරීමට මම දැන් උත්සාහ කරනවා. මට දැන් ඇඳුම් ඒ තරම් වැදගත් නැහැයි කියලා මම කියන්නේ නැහැ. ඒත් මගේ පෞද්ගලික වටිනාකම රඳා පවතින්නේ, මගේ පෙනුමට වඩා වැදගත් වන දේවල් මතයි.”

ඇතුළාන්ත ස්වභාවයට වඩා පුද්ගලයෙකුගේ ප්‍රතිරූපය වඩා වැදගත්යයි සලකන සමාජයක ජීවත් වන ක්‍රිස්තියානීන් බයිබලයේ සඳහන් මෙම ඥානවන්ත සිහිගැන්වීම මතක තබාගැනීම වටී. “ලෝකය ඉදිරිපත් කරන සෑම දෙයක්ම, ආශාවන් පිනවන නොහොත් නෙත් වසඟ කරන සියල්ල, එමෙන්ම ලෝකයේ ජීවන රටාවේ චිත්තාකර්ෂණීයභාවය පැමිණෙන්නේ පියාගෙන් නොව අදේව ලෝකයෙන්ය. ඇරත් එම ලෝකය, ඊට අයත් ආකර්ෂණයන් සියල්ලත් එක්ක පහව යන්නේය. නමුත් දේවකැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.”—1 යොහන් 2:16, 17, ද නිව් ඉංග්ලිෂ් බයිබල්.

[9වන පිටුවේ පින්තූරය]

සැබෑ සුන්දරත්වය ඔබ අඳින ඇඳුමෙන් නොව ඔබේ ඇතුළාන්ත ස්වභාවයෙන් දිස් වෙයි

[10වන පිටුවේ පින්තූරය]

ඔබින මෙන්ම ඔබ ගාව තිබෙන ඇඳුම්වලට හොඳින් ගැළපෙන ඇඳුම් තෝරගන්න