Skip to content

පටුනට යන්න

සයුරු තරණයට මඟ සැකසූ හිරු, තරු, රැල්ල සහ සුළං

සයුරු තරණයට මඟ සැකසූ හිරු, තරු, රැල්ල සහ සුළං

සයුරු තරණයට මඟ සැකසූ හිරු, තරු, රැල්ල සහ සුළං

පෘථිවියේ කෙළවරට ගියොත් වැටෙයි කියා ඔබට භයක් තිබෙනවාද? ඔබ එවැනි බියකින් පසු නොවන බව නිසැකයි. ඒත් පෙනෙන විදිහට, අතීතයේ විසූ සමහර නැවියන්ට එවැනි බියක් තිබුණා. බොහෝදෙනෙක් මුහුදේ ගමන්ගත්තේ ගොඩබිම පේන තෙක් මානයක තිබියදීයි. නමුත් බිය පසෙක දමමින් මහ මුහුදේ ගමන් කිරීමට තරම් නිර්භීතකමක් තිබුණ නැවියන්ද සිටියා.

අවුරුදු 3,000කට පෙර, වෙළඳාම් කිරීම සඳහා ෆිනීෂියාවේ නැවියන් මධ්‍යධරණී මුහුදේ නැඟෙනහිර වෙරළබඩ තීරයේ පිහිටි තමන්ගේ මව්බිමේ නැව් තොටුවලින් පිටත් වී වෙළඳ කටයුතු සඳහා යුරෝපයට හා උතුරු අප්‍රිකාවට ගමන් කළා. ක්‍රිස්තු පූර්ව 4වන සියවසේදී, පිතීයස් නම් වූ ග්‍රීක ගවේෂකයෙක් බ්‍රිතාන්‍යය වටා යාත්‍රා කළ අතර ඔහු අයිස්ලන්තයටද සේන්දු වූ බව විශ්වාස කෙරේ. ඒ විතරක් නොවෙයි, යුරෝපයේ නැවියන් ඉන්දියන් සාගරයේ සැරිසැරීමට බොහෝ කලකට පෙර, පෙරදිගෙහි විසූ අරාබි සහ චීන නැවියන් එය තරණය කර තිබුණා. ඇත්තෙන්ම, ඉන්දියාවට සේන්දු වූ මුල්ම යුරෝපීය ජාතිකයා වන වස්කෝ ද ගාමා, කරදරයක් නොමැතිව ඉන්දියාවට ගොඩ බැස්සේ අරාබි නැවියෙක් වූ ඉබන් මජිඩ්ගේ උදව් උපකාර ඇතුවයි. දින 23ක් පුරා ඉන්දියන් සාගරය හරහා යාත්‍රා කරමින් නිම කළ එම ගමනේදී, ද ගාමාගේ නැව්වලට මඟ පෙන්වූයේ ඔහුයි. ඇත්තටම, එවැනි ඉපැරණි නැවියන් මුහුද හරහා ගමන් මඟක් සකසාගත්තේ කොහොමද?

දිවි රැක දුන් උපක්‍රමයක්

ඉපැරණි නැවියන් ගමනාන්තය නියම කිරීම සඳහා රඳා පැවතුණේ ස්වාභාවික සංසිද්ධීන් මත පදනම් වූ විශේෂ උපක්‍රමයක් (dead reckoning) මතයි. පහත දැක්වෙන රූප සටහනේ පෙන්වන පරිදි එම උපක්‍රමය යොදාගන්නා විට නැවියෙක් කාරණා තුනක් දැනගෙන සිටිය යුතුයි. (1) ඔහුගේ ගමන ආරම්භ වන ස්ථානය, (2) ගමනේ වේගය සහ (3) ගමන්ගන්නා දිශාව. ගමන අරඹන ස්ථානය නිශ්චය කරගැනීම නම් අපහසු දෙයක් නොවෙයි. ඒත් ගමන්ගන්නා දිශාව ඔවුන් නියම කරගත්තේ කොහොමද?

වර්ෂ 1492දී ක්‍රිස්ටෆර් කොලම්බස් තමා ගමන්ගත් දිශාව නියම කරගත්තේ මාලිමා යන්ත්‍රයක් යොදාගෙනයි. නමුත් යුරෝපයේ මාලිමා යන්ත්‍ර ලබාගත හැකි වූයේ ක්‍රි.ව. 12වන සියවසේ සිට පමණයි. ඊට කලින් සිටම මාලිමා යන්ත්‍රවල උපකාරය නොමැතිව නැවියන් මහ මුහුද තරණය කර තිබුණා. ඔවුන් එසේ කළේ හිරු සහ තරු ආධාර කරගනිමිනුයි. අහස වලාකුළුවලින් වැසී ගිය අවස්ථාවලදී, අඛණ්ඩව හැමූ සුළං ප්‍රවාහ හේතුවෙන් විටින් විට ඇති වන දැවැන්ත රැළි දෙස බලමින් නැවියන් තම ගමන් මඟ සකසාගත්තා. ඔවුන් මෙසේ කළේ, හිරු සහ තරු පායන විටත් බැස යන විටත් මෙම රැළි පිහිටා තිබුණේ කොහොමද කියා කලින් අවබෝධ කරගැනීමෙනුයි.

ඔවුන් ගමනේ වේගය නියම කරගත්තේ කොහොමද? ඔවුන් භාවිත කළ එක් ක්‍රමයක් නම් නැවේ ඇණිය ළඟින් මුහුදට වීසි කළ යමක් පසු කර යෑමට නැවට කොයිතරම් වේලාවක් ගත වෙනවාද කියා මැන බැලීමයි. ඔවුන් පසුව වඩා නිවැරදිව වේගය නිශ්චය කළ හැකි ක්‍රමයක් සොයාගත්තා. ඒ තමයි, නිශ්චිත පරතරයකට අනුව තැනින් තැන ගැට දමා තිබූ ලණුවක කෙළවරට ලී කැබැල්ලක් බැඳ, එය මුහුදේ පාවීමට සැලැස්වීමයි. නැව ඉදිරියට ඇදී ගිය විට පාවෙන ලී කැබැල්ල මගින් ලණුව ක්‍රමක්‍රමයෙන් නැවෙන් එළියට ඇදී ගියා. නිශ්චිත කාල සීමාවකින් පසුව, ලණුව ඇතුළට ගෙන, එළියට ඇදී ගොස් ඇති ගැට ප්‍රමාණය ගණන් කරනු ලැබුවා. මෙසේ නැව ගමන්ගත් වේගය ගැට (පැයකට මුහුදු සැතපුම්) ප්‍රමාණයට අනුව ගණනය කිරීමට හැකි වුණා. එය අද පවා යොදාගන්නා මිනුම් ක්‍රමයක්. ගමන්ගන්නා වේගය දැනගත් පසු නැවියෙකුට පුළුවන් වුණා ඔහුගේ නැව දවසක් ඇතුළත කොයිතරම් දුරක් ගමන් කර ඇද්ද කියා ගණනය කිරීමට. ඉන්පසු, ඔහු මුහුදු සිතියමක් ආධාරයෙන් ඔහු ගිය ගමන ගමනාන්තය දක්වා රේඛාවකින් ලකුණු කළා.

සාගර ප්‍රවාහයන් නිසාත් හරහට සුළං හමන නිසාත් නැව ගමන් මඟෙන් ඉවතට ගහගෙන යෑමට ඉඩ තිබුණ බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා, නැව නිසි දිශාවේ රඳවාගැනීමට සුක්කානම සකස් කිරීමට සිදු වූ අතර නැවියා එම සකස් කිරීම් විටින් විට ගණනය කර සටහන් කරගත්තා. ඔහු කලින් දවසේදී නතර කළ තැන සිට ආපසු මැනීමට, ගණනය කිරීමට හා කොතෙක් දුරට ගමන් කර ඇද්ද කියා සටහන් කිරීමට පටන්ගත්තා. මෙය දවසක් නෑර සිදු කළ දෙයක්. නැව අන්තිමේදී නැංගුරම් ලෑ විට දිනපතාම සිතියම මත සටහන් කරගත් මෙම දත්ත මගින් එම ගමනාන්තයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව ස්ථිර වාර්තාවක් සැපයුවා. ස්වාභාවික සංසිද්ධීන් පදනම් කරගෙන ගමනාන්තය නියම කරගත් මෙම උපක්‍රමය යොදාගනිමින් තමයි කොලම්බස් අවුරුදු 500කට කලින් ස්පාඤ්ඤයේ සිට උතුරු අමෙරිකාව දක්වාත් ආපසු ස්පාඤ්ඤය දක්වාත් යාත්‍රා කිරීමට සමත් වුණේ. ඔහු ඉතාමත් සුපරීක්ෂාකාරීව සටහන් කරගත් සිතියම්වල දත්ත යොදාගනිමින් නවීන දින නැවියන්ටත් පුළුවන් එම විශිෂ්ට මුහුදු ගමන අත්හදා බලන්න.

හිරු සහ තරු ආධාරයෙන්

ඉපැරණි නැවියන් තම මුහුදු ගමන්වලදී අහසේ වස්තූන් ආධාර කොටගත්තේ කොහොමද? හිරු නැග්ම හා බැස්ම මගින් නැඟෙනහිර හා බස්නාහිර නිශ්චය කරගත හැකි වුණා. අලුයමේදී, නාවිකයන්ට පුළුවන් වුණා හිරුගේ පිහිටීම කොතෙක් දුරට වෙනස් වී තිබුණාද කියා නිශ්චය කරගැනීමට. ඔවුන් එසේ කළේ නිවී යන තාරකාවන් සමඟ හිරුගේ පිහිටීම සංසන්දනය කිරීමෙනුයි. රාත්‍රියේදී පෝලාරිස් නම් වූ ධෘව තරුව දෙස බලා ඔවුන් සිටින්නේ කොතැනද කියා නිශ්චය කරගැනීමට ඔවුන්ට හැකි වුණා. එසේ කිරීමට හැකි වූයේ අඳුර වැටීගෙන එද්දී, එම තාරකාව හරියටම උත්තර ධෘවයට ඉහළින් පෙනෙන්න තිබෙන නිසයි. දකුණට වෙන්න දකුණු කුරුසිය නම් වූ දීප්තිමත් තාරකා මණ්ඩලයක් ආධාරයෙන් ඔවුන් දක්ෂිණ ධෘවයේ පිහිටීම හඳුනාගත්තා. ඉතිං පැහැදිලි රාත්‍රියකදී, ඕනෑම තැනක යාත්‍රා කරමින් සිටි නාවිකයෙකුට පුළුවන් වුණා අඩුම තරමින් එක් ආකාශ වස්තුවක්වත් ආධාර කොටගෙන ඔහු ගමන් කරන දිශාව නිගමනය කිරීමට.

නමුත් අහස්තලයේ මාර්ගෝපදේශ ලෙස ක්‍රියා කළේ එම වස්තූන් කිහිපය පමණක් නොවෙයි. පැසිෆික් සාගරයේ සැරිසැරූ පොලිනීසියානුවන් හා වෙනත් අය මාර්ග සිතියමක් කියවන්නා හා සමානව අහසේ වස්තූන් පරීක්ෂා කර බැලුවා. ඔවුන් භාවිත කළ එක් උපක්‍රමයක් වූයේ ගමන් කිරීමට බලාපොරොත්තු වූ දිශාවේ ක්ෂිතිජයේ පායන හෝ බැස යන තාරකාවක පිහිටීම දෙසට තම ගමන් මඟ නියම කිරීමයි. එම නැවියන් තමන් නිවැරදි දිශාවේ ගමන් කරනවාද නැද්ද යන්න නිශ්චය කරගැනීමට රාත්‍රිය පුරාම අනිත් තාරකාවල සාපේක්ෂ පිහිටීමද සෝදිසි කර බැලුවා. ඔවුන් වැරදි දිශාවේ ගමන් කළ විට තාරකාවල පිහිටීම මගින් එය හෙළි වුණා.

ඔවුන් යොදාගත් මෙම උපක්‍රමය කොයිතරම් නිවැරදි එකක් වූවාද? පෘථිවියේ කෙළවරට ගොස් වැටේවි යන බිය නිසා යුරෝපයේ නාවිකයන්ට මහ මුහුදේ සැරිසරන්න තරම් නිර්භීතකමක් නොතිබූ කාලෙක පැසිෆික් රටවල විසූ නැවියන් ඉතා කුඩා දිවයින් අතරින් යාත්‍රා කරමින් මහ මුහුදේ දීර්ඝ ගමන්වල යෙදුණු බව පෙනී යනවා. උදාහරණයක් කිව්වොත්, අවුරුදු 1,500කට පෙර පොලිනීසියානුවන් මාර්කීස් දූපත්වල සිට නැඟෙනහිර දෙසට දැවැන්ත පැසිෆික් සාගරය හරහා යාත්‍රා කළා. හවායි දූපත්වලට සේන්දු වූ විට ඔවුන් කිලෝමීටර් 3,700ක් දුර ගමන් කර තිබුණා! පොලිනීසියානුවන් හවායි සිට ටහීටි දක්වාත් ආපසු හවායි දක්වාත් මුහුදු ගමන්වල යෙදුණු බව දූපත් වැසියන්ගේ ජනප්‍රවාදවල කියැවෙනවා. එම වාර්තා නිකම්ම ප්‍රබන්ධයන් බව සමහර ඉතිහාසඥයන් පවසනවා. එහෙත් නවීන උපකරණ යොදාගන්නේ නැතුව මුහුදු රැල්ල, තාරකා හා වෙනත් ස්වාභාවික සංසිද්ධීන් යොදාගනිමින් නවීන දින නාවිකයන් එම මුහුදු ගමන්වලම යෙදී තිබෙනවා.

සුළං ආධාරයෙන්

රුවල් නැව් මුළුමනින්ම රඳා පැවතුණේ සුළඟ මතයි. සුළං පිටුපසින් හැමූ විට නැව ඉතා පහසුවෙන්ම ඉදිරියට ඇදී ගියා. එහෙත් ඉදිරියෙන් සුළං හැමූ විට ගමන අඩාළ වුණා. සුළඟ හැමුවේ නැත්නම් ගමන ඇණ හිටියා. සමකය ආශ්‍රිතව හමු වන ඩොල්ඩ්‍රම් නැත්නම් නිර්වාත තීරයට අවතීර්ණ වූ නැවියන් මෙය බොහෝවිට අද්දැක්කා. කල්යත්ම, නැවියන්ට පුළුවන් වුණා නිතරම හමන සාගර සුළං හඳුනාගැනීමට. නැවියන් මෙම සුළං ඔවුන්ගේ වාසියට හරවාගත් අතර ගැඹුරු මුහුදේ රුවල් නැව්වලට යාත්‍රා කිරීම සඳහා ප්‍රධාන මාර්ග පිහිටුවීමට මෙමගින් හැකි වුණා.

අහිතකර සුළං නිසා දුෂ්කරතා පමණක් නොවෙයි, මරණය පවා අද්දුටු බව නොකිවමනායි. මෙයට උදාහරණයක් වන්නේ, 1497දී ද ගාමා පෘතුගාලයේ සිට ඉන්දියාවේ සුප්‍රසිද්ධ මලබාර් වෙරළ දක්වා ගිය ගමනයි. නිතරම හමන සුළං ඔහුව දකුණු අත්ලන්තික් සාගරයට ගෙන ගිය අතර ඉන්පසු ආපස්සට, එනම් ගිනිකොන දෙසටද අප්‍රිකාවේ ශුභ ප්‍රාර්ථනා තුඩුව වටාද ඔහුව ගෙන ගියා. ඉන්දියන් සාගරයට ඇතුල් වූ විට ඔහුට මෝසම් සුළංවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෙම සුළං ඍතුවෙන් ඍතුවට ප්‍රතිවිරුද්ධ දිශාවලට හමනවා. වසරේ මුලදී ගිම්හාන මෝසම් සුළං ප්‍රවර්ධනය වන්නේ ඉන්දියන් සාගරයේ නිරිතදිග දිශාවෙනුයි. එහි ප්‍රතිඵලයක් හැටියට මාස ගණනාවක් තිස්සේ පාවෙන සියල්ල ආසියාව දෙසට ගහගෙන එනවා. ශරත් ඍතුව අවසන් වෙත්ම සිසිර මෝසම ඇරඹෙනවා. ඊශාන දෙසින් දරුණු ලෙස හමන එම සුළං ආපසු අප්‍රිකාව දෙසටම හමා යනවා. ද ගාමා අගෝස්තුවලදී ඉන්දියාවෙන් පිටත් වූ අතර වැඩි කල් යෑමට පෙර, අහිතකර සුළංවලට මුහුණ දුන්නා. නැඟෙනහිර දෙසට වූ ඔහුගේ ගමන පියවීමට දින 23ක් නොවෙයි මාස තුනක් පමණ ගත වුණා. මෙම ප්‍රමාදය හේතුවෙන් නැවුම් ආහාර ඉවර වූ අතර මේ නිසා ඔහුගේ සෙසු නැවියන් බොහෝදෙනෙකුට ශීතාද රෝගය වැලඳී ඔවුන් මිය ගියා.

ඉන්දියන් සාගරයේ සැරිසැරූ දක්ෂ නැවියන් දිනදර්ශනය මෙන්ම මාලිමා යන්ත්‍රය භාවිත කිරීමට පුරුදු වුණා. ශුභ ප්‍රාර්ථනා තුඩුව හරහා නැඟෙනහිර දෙසට ගමන් කළ නැවියන් ගිම්හානය ආරම්භයේදීම ඉන්දියාවට තම ගමන ඇරඹිය යුතුව තිබුණා. ප්‍රමාද වූ විට හිතකර සුළං හමන තෙක් මාස ගණනාවක්ම බලා සිටීමට ඔවුන්ට සිදු වුණා. අනික් අතට, ගිම්හාන මෝසමෙන් පහර ලැබීමෙන් වැළකීම සඳහා නැව් කපිතාන්වරු ශරත් ඍතුවේ අගභාගය වන විට ඉන්දියාවේ සිට යුරෝපය දක්වා ගමන් කිරීමට පටන්ගත්තා. ඉතිං, ඉන්දියන් සාගරයේ ගමන්ගත් නැවියන් එක් ඍතුවකදී එක් දිශාවකටද අනික් ඍතුවේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටද යාත්‍රා කළ බව දක්නට ලැබුණා. මේ අනුව, යුරෝපයේ හා ඉන්දියාවේ මලබාර් වෙරළ අතර මෙවැනි යාත්‍රා ක්‍රමයක් අනුගමනය කළා.

මුහුදු ගමන් දියුණු වී ඇති අයුරු

කාලය ගෙවී යෑමත් සමඟම නාවික ක්ෂේත්‍රයේ දස්කම් වෙනත් ආකාරයකින් දියුණු වීමට පටන්ගත්තා. යන්ත්‍රෝපකරණ නිපදවීමත් සමඟම පියවි ඇස් හා අනුමාන කිරීම් මත පමණක් රඳා පැවතීම ක්‍රමක්‍රමයෙන් අඩු වුණා. හිරු හෝ වෙනත් තාරකා ක්ෂිතිජයේ සිට කොයිතරම් ඉහළින් පිහිටා ඇද්ද කියා මැනීම සඳහා තරික්සුව (astrolabe) හා ඉන්පසුව වඩාත් නිවැරදි උපකරණයක් වූ ෂෂ්ඨකය (sextant) භාවිත කිරීමට පටන්ගත්තා. එම උපකරණ මගින් නාවිකයන්ට හැකි වුණා සමකයේ සිට උතුරු දෙසට හෝ දකුණු දෙසට තමන් අක්ෂාංශ කීයක් දුරින් සිටිනවාද කියා නියම කිරීමට. නිවැරදි මෙන්ම මුහුදු ගමන්වලට හොඳින් ඔරොත්තු දෙන මුහුදු කාලමානය මගින් දේශාංශ හෙවත් නැඟෙනහිර හෝ බටහිර පිහිටීම නියම කරගැනීමට පුළුවන් වුණා. ස්වාභාවික සංසිද්ධීන් උපයෝගි කරගෙන ලබාගත් තොරතුරුවලට වඩා නිවැරදි තොරතුරු මෙම උපකරණ මගින් ලබාගත හැකි වුණා.

අද විභ්‍රමමාලිමා යන්ත්‍ර (gyrocompasses) චුම්බක කටුවක් නොමැතිව උතුරු දිශාව දක්වනවා. බොත්තම් දෙක තුනක් තද කළ සැණින්ම නාවිකයන්ට පුළුවන් ජාත්‍යන්තර නාවික ගුවන්විදුලි පද්ධතියකට (Global Positioning System) සම්බන්ධ වී තමන්ගේ පිහිටීම අකුරටම දැනගන්න. කඩදාසි සිතියම් හා සටහන් වෙනුවට ඉලෙක්ට්‍රොනික තිර මත ප්‍රදර්ශනය වන සිතියම් තිබෙනවා. ඇත්තෙන්ම අද මුහුදු ගමන් අකුරටම නිශ්චය කළ හැකි විද්‍යාත්මක ක්ෂේත්‍රයක් බවට පත් වෙලා. නාවික ක්ෂේත්‍රයේ අද්දැක තිබෙන මෙම දියුණුව ගැන සිතා බලද්දී ඉපැරණි නැවියන් විදහා පෙන්වූ නිර්භීතකම හා දස්කම් නිසා ඔවුන් කෙරෙහි අපට ඇති ගෞරවය දෙගුණ තෙගුණ වෙනවා. ඔවුන් නිම් හිම් නැති ගැඹුරු මුහුදේ යාත්‍රා කළේ හිරු, තරු, රැල්ල හා සුළං පිළිබඳ ඔවුන් සතු දැනුම උපයෝගි කොටගෙන පමණයි.

[12, 13වන පිටුවේ රූප සටහන⁄කොටුව]

(මුද්‍රිත පිටපත බලන්න)

ගමනාන්තය නියම කිරීමේ උපක්‍රමය

රැස් කරගත් දත්ත පරෙස්සමින් සටහන් කරගත්තේ මතු ගමන්වලදී භාවිත කිරීමටයි

1 ගමනේ ආරම්භය

2 වේගය නියම කිරීමට භාවිත කළේ ලී කැබැල්ලක්, නිශ්චිත

පරතරයකට අනුව තැනින් තැන ගැට දැමූ

ලණුවක් හා කාලමානයක්

3 දිශාව නිශ්චය කළේ ප්‍රවාහ, තරු, හිරු

සහ සුළං අවබෝධ කරගනිමිනුයි

[පින්තූර]

මාලිමා යන්ත්‍රය

ෂෂ්ඨකය

[14වන පිටුවේ පින්තූර]

දියුණුතම තාක්ෂණ උපකරණ නිසා අද මුහුදු ගමන් අකුරටම නිශ්චය කළ හැකි විද්‍යාත්මක ක්ෂේත්‍රයක් බවට පත් වෙලා

[හිමිකම් විස්තර]

Kværner Masa-Yards