සැප සම්පත්වලින් දෙවි අපට ආශීර්වාද කරනවාද?
බයිබලයේ දෘෂ්ටිකෝණය
සැප සම්පත්වලින් දෙවි අපට ආශීර්වාද කරනවාද?
“යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන්නේය. ඔහු ඊට දුක එකතු නොකරන්නේය.”—හිතෝපදේශ 10:22.
දෙවි ඔහුගේ සේවකයන්ට ලෞකික සැප සම්පත්වලින් ආශීර්වාද කරනවා කියා ඉහත සඳහන් බයිබල් පදයෙන් අඟවනවාද? සමහර අය එසේ විශ්වාස කරනවා. ඕස්ට්‍රේලියාවේ පෙන්තකොස්ත සභාවේ දේශකයෙක් හා කර්තෘවරයෙක් පැවසූ දේ සලකා බලන්න. “ඔබට වැඩිපුර මුදල් අවශ්‍ය වෙන්නේ ඇයි කියාත් දෙවනුව ඔබට වැඩිපුර මුදල් ලබාගත හැක්කේ කෙසේද කියාත් මගේ පොතේ මම පෙන්නුම් කරනවා. . . . ඔබේ කල්පනාව වෙනස් කරගෙන මුදල් පිළිබඳව හරි ආකල්පයක් වර්ධනය කරගෙන සිටිනවා නම්, ඔබ දෙවි දෙන ආශීර්වාද හා සැප සම්පත් භුක්ති විඳිනු ඇතැයි කියා මට විශ්වාසයි. එසේ කළොත් ඔබට නැවත කිසිදාක මුදල් ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.”
කෙසේවෙතත් එවැනි කියමනකින් කියා පාන්නේ දිලිඳු අය කෙරෙහි දෙවිගේ අනුමැතියක් නැති බවයි. ඇත්තටම ද්‍රව්‍යමය සැප සම්පත් තිබීම දේවාශීර්වාද ලැබී තිබෙන බවට ලකුණක්ද?
අරමුණක් උදෙසා ආශීර්වාද
දෙවි ඔහුගේ ඇදහිලිවන්ත සේවකයන්ට සැප සම්පත්වලින් ආශීර්වාද කළ බව බයිබල් වාර්තාවල සඳහන් වෙනවා. උදාහරණයක් ලෙස යාකොබ් නිවසින් පිට වී යන විට ඔහු ගෙන ගියේ ඔහුගේ සැරයටිය පමණයි. නමුත් ඔහු අවුරුදු 20කට පසු ආපසු පැමිණි විට කඳවුරු දෙකකට ප්‍රමාණවත් බැටළුවන්, ගවයන් හා බූරුවන් ඔහු සන්තකව සිටියා. බයිබලයේ පෙන්නුම් කරන විදියට යාකොබ්ට මේ සැප සම්පත් හිමි වුණේ දෙවිගෙන්. (උත්පත්ති 32:10) තවත් උදාහරණයක් නම් යෝබ්ට අයිතිව තිබූ සෑම සැප සම්පතක්ම අහිමි වීමයි. නමුත් පසුව යෙහෝවා ඔහුට ආශීර්වාද කරමින් “බැටළුවන් දහහතර දහසක් ද ඔටුවන් හයදහසක් ද ගොන්බාන් දහසක් ද කොටළු දෙනුන් දහසක් ද” ඔහුට ලබා දුන්නා. (යෝබ් 42:12, නව අනුවාදය) යෙහෝවා සලමොන් රජුට මහත් ධන සම්භාරයක් ලබා දුන්නා. මෙම ධන සම්භාරයේ වටිනාකම කොතෙක්ද යත් අදත් ඒ ගැන කතා කරනු ලබනවා.—1 රාජාවලිය 3:13.
අනික් අතට දෙවිට කීකරුව හා ඇදහිලිවන්තව නමස්කාර කළ බොහෝ දුප්පත් අය ගැනද බයිබලයේ වාර්තා වෙනවා. මේ අනුව බලන කල, දෙවි එක කොටසකට සැප සම්පත්වලින් ආශීර්වාද කර අනික් අයට දුගීකම පමුණුවීමෙන් දඬුවම් කළේ නැති බව නිසැකයි. එසේනම් සමහර අයට සැප සම්පත් ප්‍රදානය කිරීමේ අරමුණ වූයේ කුමක්ද?
මේ එක එක සිද්ධියට අදාළ පිළිතුර එකිනෙකට වෙනස්. යාකොබ් සතු වස්තුව ඔහුට ජාතියක් ගොඩනැඟීමට හැකිකම ලබා දුන් අතර එය පොරොන්දු වංශයේ පැමිණීම සඳහා ජාතියක් සූදානම් කිරීමට දායක වුණා. (උත්පත්ති 22:17, 18) යෝබ් සෞභාග්‍යවත් වීම තුළින් ඔහුට පීඩා ප්‍රශ්න ගෙනා තැනැත්තා සම්බන්ධව තිබුණු සැකය දුරු කිරීමටත් ඒ වගේම යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීමටත් හැකි වුණා. (යාකොබ් 5:11) සලමොන් දිව්‍ය අනුමැතිය තුළින් ලැබුණු සැප සම්පත් බොහොමයක් තේජවත් දේවමාළිගාවක් ගොඩනැඟීම පිණිස යොදාගත්තා. (1 රාජාවලිය 7:47-51) යෙහෝවා සලමොන් රජුව පාවිච්චි කළා ධනයේ ඇති සීමිත වටිනාකම ගැන ඔහුගේ පෞද්ගලික අද්දැකීමෙන් ලියා දැක්වීමට.—දේශනාකාරයා 2:3-11; 5:10; 7:12.
දෙවි අපට ආශීර්වාද කරන්නේ කෙසේද?
ද්‍රව්‍යමය වස්තු ගැන “කනස්සලු වීම නතර කරන්න” යයි පැවසූ විට යේසුස් තම ගෝලයන්ට මුදල් පිළිබඳ නිවැරදිව ආකල්පයක් තබාගෙන ක්‍රියා කිරීමට උගන්වමින් සිටියා. ඔහු පෙන්නුම් කළා සියලු තේජසින් යුක්ත වූ සලමොන් රජ පවා කෙතේ පිපෙන ලිලී මලකට සමාන ලස්සන ඇඳුමක් පැළඳ සිටියේ නැති බව. යේසුස් තවදුරටත් මෙසේද ඇසුවා. “තණබිමේ පැළෑටි දෙවි මෙසේ පළඳවන්නේ නම්, යම් ඇදහිල්ලක් ඇති ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු නොවන්නේද?” පළමුකොට රාජ්‍යයද දෙවිගේ ධර්මිෂ්ඨකමද සොයනවා නම් කෑම, ඇඳීම සහ ඉඳුම් හිටුම් වැනි අනෙකුත් දේද ක්‍රිස්තියානීන්ට එකතු කරනු ලබන බවට යේසුස් පොරොන්දු වුණා. (මතෙව් 6:25, 28-33 NW) එම පොරොන්දුව ඉටු වන්නේ කෙසේද?
බයිබලයේ සඳහන් උපදෙස් පිළිගන්නා විට එහි ප්‍රතිඵලයක් වශයෙන් විශේෂයෙන්ම ආත්මික ආශීර්වාද භුක්ති විඳීමට හැකි වෙයි. (හිතෝපදේශ 10:22) කෙසේවෙතත් එයින් වෙනත් ප්‍රයෝජනද ලැබෙනවා. උදාහරණයක් ලෙස දේවවචනයේ ක්‍රිස්තියානීන්ට උපදෙස් දෙන්නේ “සොරා මෙතැන් පටන් තවත් සොරකම් නොකරන්න. . . . වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කරන්න” කියායි. (එෆීස 4:28, NW) තවත් එහි මෙසේද කියැවෙනවා. “අලස අතකින් ක්‍රියා කරන්නා දිලිඳු වන්නේය. එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය.” (හිතෝපදේශ 10:4) මෙම උපදෙස් පිළිගෙන වෙහෙස මහන්සි වී වැඩ කරන, අවංක ක්‍රිස්තියානීන්ට රැකියා ලබා දීමට සේවා යෝජකයන් බොහෝ සතුටු වෙනවා. මෙය ඇත්තටම ආශීර්වාදයක් විය හැකියි.
ගිජු විනෝදාස්වාදයක් වන සූදුවේ නියැලීම, ශරීරය දූෂ්‍ය කරවන පුරුද්දක් වන දුම්පානය කිරීම හා ශරීරය දුර්වල කරවන බේබදුකම වැනි නරක පුරුදුවලින් ඉවත් වීමට බයිබලය ක්‍රිස්තියානීන්ට උගන්වයි. (1 කොරින්ති 6:9, 10; 2 කොරින්ති 7:1; එෆීස 5:5; NW) මෙවැනි උපදෙස් පිළිපදින පුද්ගලයන් තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු වී තිබෙන බවත් සෞඛ්‍යය තත්වය හොඳ අතට හැරී තිබෙන බවත් අද්දකිනවා.
රන් රිදීවලට වඩා වටිනවා
දෙවිගේ ආශීර්වාදය හා අනුමැතිය තිබෙන බවට ඇති එකම සාක්ෂිය ද්‍රව්‍යමය සැප සම්පත් තිබීමම නොවෙයි. උදාහරණයක් ලෙස, ලවොදිසීයේ සභාවේ සමහර ක්‍රිස්තියානීන්ගේ දුර්වල ආත්මික තත්වය ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “ඔබ මෙසේ කියන්නෙහිය. “මම ධනවත්ය, මට ධනය ඇත, මට කිසිම දෙයකින් හිඟයක් නැත.” එහෙත් ඔබ කාලකණ්ණියෙකු බවද, අනුකම්පාව ලැබිය යුත්තෙකු බවද නොදන්නෙහිය. එසේම ඔබ දිලිඳුව, අන්ධව සහ නිර්වස්ත්‍රව සිටින බවද නොදන්නෙහිය.” (එළිදරව් 3:17, NW) ඊට හාත්පසින්ම වෙනස්ව ද්‍රව්‍යමය අතින් දුප්පත් නමුත් ආත්මිකව ශක්තිමත් ස්මර්ණා සභාවේ ක්‍රිස්තියානීන්ට යේසුස් මෙසේ පැවසුවා. “ඔබේ පීඩාවද දිලිඳුකමද මම දනිමි—එහෙත් ඔබ ධනවත්ය.” (එළිදරව් 2:9, NW) මෙම ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ඇදහිල්ල හේතුවෙන් පීඩා කරනු ලැබූ අය නිසා ආර්ථික දුෂ්කරතා අත් වින්දා. නමුත් ඔවුන් රන් රිදීවලට වඩා වටිනා සම්පත් හිමි කරගත්තා.—හිතෝපදේශ 22:1; හෙබ්‍රෙව් 10:34.
දෙවිගේ කැමැත්ත කිරීමට වෑයම් දරන අයට යෙහෝවා දෙවි ආශීර්වාද කරයි. (ගීතාවලිය 1:2, 3) ඔහු ඔවුන්ට අවශ්‍ය ශක්තිය හා බුද්ධිය දානය කරනවා පීඩාවලට මුහුණ දීම සඳහා, පවුල්වලට අවශ්‍ය මූලික දේවල් ලබාගැනීම සඳහා සහ ඔහුගේ රාජ්‍යය හා සම්බන්ධ වැඩ කටයුතු මුලට තබා වැඩ කිරීම සඳහා. (ගීතාවලිය 37:25; මතෙව් 6:31-33; පිලිප්පි 4:12, 13) දෙවි මනුෂ්‍යයන්ට ආශීර්වාද කරන ප්‍රධානතම මාර්ගය වන්නේ ද්‍රව්‍යමය සම්පත් සැපයීම නොවන බව තේරුම්ගන්නා සැබෑ ක්‍රිස්තියානීන් “යහපත් ක්‍රියාවලින් පොහොසත්ව” සිටීම සඳහා ඔවුන්ගේ උපරිමය කරයි. මැවුම්කරු සමඟ කිට්ටු සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම තුළින් ක්‍රිස්තියානීන් “අනාගතය සඳහා හොඳ අත්තිවාරමක් දමාගෙන, එය වස්තුවක් මෙන් සුරක්ෂිතව රැකගැනීමට” වගබලා ගනියි.—1 තිමෝති 6:17-19, NW; මාර්ක් 12:42-44.