Skip to content

පටුනට යන්න

හැම දෙයක්ම අකුරටම කරන්න උත්සාහ දැරීමෙන් වැළකෙන්නේ කොහොමද?

හැම දෙයක්ම අකුරටම කරන්න උත්සාහ දැරීමෙන් වැළකෙන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

හැම දෙයක්ම අකුරටම කරන්න උත්සාහ දැරීමෙන් වැළකෙන්නේ කොහොමද?

“හැම දෙයක්ම අකුරටම කරන්න ඕනේ කියන අදහස මාව වෙළාගෙන.”—කාර්ලි.

හැම දෙයක්ම අකුරට කරන්න ඕනේ—යෞවනයෙක් හෝ යෞවනියක් කරන්නාවූ සෑම දෙයක්ම කිසි අඩු පාඩුවක් නොමැතිව කළ යුතුයි යන ආකල්පය, අද තරුණ පරපුරේ සිටින බොහෝදෙනෙකුගේ සිතට මහා වදයක් වී තිබෙනවා.

එක් ග්‍රන්ථයක (Perfectionism—What’s Bad About Being Too Good?) මෙසේ විග්‍රහ කර තිබෙනවා. “අපේ යහපතට දායක වන ආකාරයකින් විශිෂ්ටත්වය අත් කරගැනීමට වෑයම් කිරීමත් අපට හානියක් වන අන්දමින් අත් කරගත නොහැකි දේවල් ලබාගැනීමට වෑයම් කිරීමත් අතර වෙනසක් තිබෙනවා. විශිෂ්ටත්වය ලබාගැනීමට සොයන අයට යම් දෙයක් කිරීමේදී හොඳ පිළිවෙළක් ඇතුව සංවිධානාත්මකව වැඩ කළ යුතු බව හැඟෙන්න පුළුවන්. ඒ වගේම, තමන් ඉටු කරගැනීමට බලාපොරොත්තු වන දේවල් ඉතා ඉහළ මට්ටමින් ඉටු කිරීමට ඔවුන් වෙර දරනවා. නමුත් ඔවුන් තමන් අතින් සිදු වන අඩු පාඩු පිළිගන්නවා. ඒ වගේම එම අඩු පාඩුවලින් සාර්ථකව ගොඩ එන ආකාරයත් දන්නවා. . . . ඒත් අකුරටම වැඩ කිරීමට අපේක්ෂා කරන කෙනෙක් තමන් අතින් වැරැද්දක් වෙයි කියා හැම මොහොතේම කනස්සල්ලෙන් පසු වෙනවා. ඔවුන්ට තිබෙන්නේ අත් කරගත නොහැකි ආකාරයේ උසස් ප්‍රමිතීන්.”

ඉහත සඳහන් විස්තරය ඔබ සිතන ආකාරයට සමානද? ඔබට අත් කරගත නොහැකි උසස් ප්‍රමිතීන් තිබේ නම් ඔබ පහසුවෙන්ම අක්‍රියාශීලී කෙනෙකු වීමට පුළුවන්. ඔබ අලුත් යමකට අත ගැසීමෙන් වැළකී සිටින බවක් ඔබට දැනේවි. එසේ නැතහොත් යම් වැදගත් දෙයක් ඔබට සාර්ථකව කරගත නොහැකි වෙයි යන බිය නිසා එය පසුවට කල් දැමීමට ඔබ පෙලඹිය හැකියි. ඒ වගේම ඔබේ ප්‍රමිතීන් අනුව වැඩ නොකරන අයව ආශ්‍රය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා මිත්‍රත්වයන් ඇති කරගැනීම අපහසු විය හැකියි.

ඉහත සඳහන් දේ ඔබේ ස්වභාවය හා යම් තාක් දුරට සමාන නම් දේශනාකාරයා 7:16හි සඳහන් දේ සැලකිල්ලට ගන්න. එහි කියන්නේ “පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවෙන්න. පමණට වඩා ඥානවන්තයෙක්ද නොවෙන්න. කුමක් නිසා නුඹම විනාශ කරගන්නෙහිද?” යනුවෙන්. අකුරටම දේවල් කිරීමට බලාපොරොත්තු වන කෙනෙක් තමාවම ‘විනාශ කරගන්න’ පුළුවන්! එය අසත්‍යයක් නොවෙයි. මන්දයත් ආහාර ගැනීමේ අක්‍රමිකතා වන ඇනරෙක්සියා සහ බුලීමියා වැනි ජීවිතයට තර්ජනයක් එල්ල කරන රෝග වැලඳීමටද අකුරටම දේවල් කිරීමේ ආකල්පය හේතු විය හැකියි. a

‘හැම දෙයක්ම අකුරටම කරන්න උත්සාහ දැරීමෙන් වැළකෙන්නේ කොහොමද’ කියා ඔබ අසනවා ඇති. මේ සම්බන්ධයෙන් කෙනෙකු තුළ තිබෙන සිතුවිලි වෙනස් කිරීම පහසු දෙයක් නෙමෙයි. ඒත් දෙවිගේ උපකාරය ඇතිව මෙය කළ හැකියි. එහෙමනම්, අකුරටම දේවල් කිරීම පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය අපි සලකා බලමු.

හැම දෙයක්ම අකුරටම කරන්න පුළුවන්ද?

පළමුකොට ඔබට සෑම දෙයක්ම අකුරටම නැතහොත් අඩු පාඩුවක් නැතිව කරන්න පුළුවන්ද කියන කාරණය සැලකිල්ලට ගන්න. බයිබලයට අනුව නම් එය කළ නොහැකි දෙයක්. එහි පවසන්නේ, “ධර්මිෂ්ඨ මිනිසෙක් නැත. එක් කෙනෙක්වත් නැත. . . . සියල්ලෝම අහක්ව ගොස් සිටිති. ඒ සියල්ලෝම කිසි වටිනාකමක් නැති තත්වයට පත්ව සිටිති” යනුවෙන්. (රෝම 3:10-12, NW) මෙම වදන් ඔබගේ සිතුවිලි විමසා බලන්නට පොලඹවන්නේ නැද්ද? එයින් පෙන්නුම් කරන්නේ හැම දෙයක්ම අකුරටම කරන්න උත්සාහ දරන ඕනෑම කෙනෙක් අසමත් වෙනවා කියන එකයි.

ආත්මික කාරණා සම්බන්ධයෙන් ආදර්ශයක් තැබූ කෙනෙකු වූ ප්‍රේරිත පාවුල් ගැන මොහොතකට කල්පනා කරන්න. වරදක් සිදු නොකර දෙවිට සේවය කිරීමට පාවුල්ටත් නොහැකි වුණා. ඔහු මෙසේ පාපෝච්චාරණය කළා. “හරි දේ කිරීමට මා කැමැත්තෙන් සිටින විට, මා තුළ නපුර තිබෙන බව මට පෙනේ. මගේ ඇතුළාන්ත මිනිසා දෙවිගේ නීතියට සැබවින්ම ප්‍රිය කරයි. නමුත් මගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධව යුද්ධ කරන වෙනත් නීතියක් මගේ අවයවයන් තුළ තිබෙන බව මට පෙනේ. මෙය මාව මගේ අවයවයන් තුළ තිබෙන පාපයේ නීතියට වහලෙකු මෙන් ගෙන යන්නේය.” (රෝම 7:21-23, NW) පාවුල්ට ක්‍රිස්තියානියෙක් ලෙස විශ්වාසවන්තව සිටීමට හැකි වුණේ දෙවිගේ උපකාරයෙන් පමණයි.

දෙවි අප කිසිවෙකුට පරිපූර්ණව කටයුතු කිරීමට බල කරන්නේවත් එවැනි දෙයක් අපෙන් බලාපොරොත්තු වන්නේවත් නොමැති වීම භාග්‍යයක්. මන්දයත් “ඔහු අපේ ස්වභාවය දන්නේය. අප ධූලි බව ඔහු සිහි කරන්නේය.” (ගීතාවලිය 103:14) දෙවිගේ නව ලොවේදී පමණයි මනුෂ්‍යයන් පරිපූර්ණත්වයට පැමිණෙන්නේ.

ඔබේ අපේක්ෂාවන් නැවත සකස් කරගන්න

එසේනම් ඔබට කිසිම දෙයක් වරදින්නේ නැතුව අකුරටම කරන්න පුළුවන් යන සිතුවිල්ල යථාර්ථවාදී නැහැ. ඔබ අතින් කලින් කලට වැරදි සිදු වෙයි කියා අපේක්ෂා කළ යුතුයි. (රෝම 3:23) සමහර අවස්ථාවලදී අප අතින් සිදු වන වැරැද්ද කුමක්ද කියාවත් අප දන්නේ නැහැ! “කිසිවෙකුට තමන්ගේ වරද පෙනෙන්නේ නැත” කියා ගීතාවලිය 19:12හි (ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්) සඳහන් වෙනවා. මැතිව් නමැති යෞවනයා මෙවන් අදහසක් ඉදිරිපත් කරනවා. “ඔබ පරිපූර්ණ නැහැ. මේ පොළොවේ කිසිම කෙනෙක් පරිපූර්ණ නැහැ. ඔබ ඔබගෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වෙනවා නම් ඔබට කවමදාකවත් සතුටු වෙන්න බැහැ. ඒක යථාර්ථවාදිත් නැහැ. ඒක අත් කරගන්නත් බැහැ.”

එම අදහස සිතේ තබාගෙන ඔබේ අපේක්ෂාවන් වෙනස් කරගැනීමට උත්සාහ නොගන්නේ මන්ද? උදාහරණයකට, ඔබ හැම දෙයක්ම අන් අයට වඩා ඉහළින් කිරීමට ගොස් වෙහෙසට පත් වෙනවාද? එවන් වෙහෙසකර වෑයමක් ‘නිෂ්ඵලකමක් හා හිස් වූ උත්සාහයක්’ විය හැකියි කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 4:4) යථාර්ථය නම්, අන් අයට වඩා ඉහළින් දේවල් කිරීමට ගන්නා වෑයමේදී සාර්ථක වන්නේ ටිකදෙනෙකු පමණක් වීමයි. එසේ කටයුතු කරමින් සිටියත් එය කළ හැක්කේ ටික කාලයකටයි. තව දක්ෂයෙකු පැමිණි විට ඔහු හෝ ඇය එම තැන ගනියි.

“තමන් ගැන පමණට වඩා ඉහළින් නොසිතා, හොඳ සිහි කල්පනාවෙන් සිටීමට හැකි වන පරිද්දෙන් සිතන්න” කියා ප්‍රේරිත පාවුල් අවවාද කර තිබෙනවා. (රෝම 12:3, NW) යථාර්ථවාදී වන්න! ඔබේ හැකියාවන් සහ සීමාවන් සැලකිල්ලට ගෙන ඔබේ අපේක්ෂාවන් සකස් කරගන්න. විශිෂ්ටත්වය සොයන්න, නමුත් පරිපූර්ණත්වය සොයන්න එපා. අත් කරගත හැකි විශේෂ ඉලක්කයක් තබාගන්න.

පාවුල් තිමෝතිට උනන්දු කළේ “සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන, ලජ්ජා වීමට හේතුවක් නැති වැඩකාරයෙකු” වන ලෙසයි. (2 තිමෝති 2:15, NW) මෙහිදී විශිෂ්ටත්වය මිසක පරිපූර්ණත්වය අත් කරගන්න නොවෙයි පාවුල් උනන්දු කළේ. ඒ හා සමානව ඔබත් සාධාරණ ඉලක්ක තබාගන්න. “සාධාරණ” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා ඔබට වැටහෙන්නේ නැත්නම් ඔබේ දෙමාපියන් සමඟ හෝ විශ්වාසය තැබිය හැකි වැඩිහිටි කෙනෙකු සමඟ ඒ ගැන කතා කරන්න.

මේ සඳහා ඔබ නිපුණත්වයක් නොදක්වන ක්‍රීඩාවක් හෝ සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට උත්සාහ දැරීම වැනි දෙයක් උචිතයි කියා සමහරෙකු යෝජනා කරනවා. ඔබ යම් අලුත් දෙයක් ඉගෙනගන්නා විට ඔබේ අතින් අනිවාර්යයෙන් වැරදි සිදු වෙයි. නමුත් එය පසුබෑමට හේතුවක් නොවෙයි. වැරදි සිදුවීම යනු සාමාන්‍යයෙන් යමක් ඉගෙනගන්නා විට සිදු වන දෙයක් කියා වටහාගැනීමට එවැනි උත්සාහයක් උපකාරවත් වෙන්න පුළුවන්.

පාසැලේ යම් විෂයක් පිළිබඳව ඇගයීම් වාර්තාවක් සකස් කරන විට හෝ සංගීත පාඩමක් හෝ මොනයම් දෙයක් හෝ කරන විට පාවුල්ගේ මෙම උපදෙසත් සැලකිල්ලට ගන්න. “ඔබේ කාර්යයෙහි කම්මැළි නොවන්න.” (රෝම 12:11, NW) ඔබ අසමත් වේවි යන බිය නිසා වැඩකටයුතු කිරීම පස්සට කල් දාන්න එපා.

එක් යෞවනියක් “වැඩ සංවිධානය” කරගන්න ඕනේ කියා නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ඇගේ පාසැලේ ඇගයීම් වාර්තා සැකසීම පස්සට කල් දමමින් සිටියා. පෞද්ගලික කටයුතු සංවිධානය කිරීම හොඳ දෙයක්. නමුත් වැඩ කටයුතු කල් දැමීමට එය හේතුවක් කරගන්න එපා. “පාසැලේ ඇගයීම් වාර්තාව ගැන ඔබ සම්පූර්ණයෙන්ම සෑහීමකට පත් නොවන්න පුළුවන්. නමුත් එය කල් නොයවා දෙනවාද නැතිනම් කල් දමනවාද යන කාරණා දෙකින් කොයි එකද තෝරගන්නේ යන්න තීරණය කරන විට හරි තීරණය වන්නේ කල් නොයවා දීම” කියා මෙම යෞවනිය පසුව තේරුම්ගත්තා.

විනාශකාරී සිතුවිලි මඟහරින්න

අකුරටම යම් වැඩක් කිරීමට නොහැකි වන විට එය දරාගන්න එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. විවේචනාත්මක, ඍණ සිතුවිලි මනසේ පිරී තිබෙන්න පුළුවන්. මේ සඳහා ඔබට කුමක් කළ හැකිද? ඍණ සිතුවිලි මනසේ දිගටම තියාගෙන සිටීම විනාශකාරීයි. එමනිසා කල්පනාකාරීව ඔබ ගැන තිබෙන යථාර්ථවාදී නොවන සිතුවිලි ඔබේ මනසින් අහක් කිරීමට නිරන්තර වෑයමක් දරන්න. වරදක් සිදු වන විට එය සිනාමුසු මුහුණකින් භාරගන්න. ‘සිනාසෙන්ටත් කාලයක්’ තිබෙන බව අමතක කරන්න එපා. (දේශනාකාරයා 3:4) ඔබ ඔබටම නිග්‍රහාත්මක ලෙස දෝෂාරෝපණය කරගැනීමත් යෙහෝවා අනුමත කරන්නේ නැති බව මතක තබාගන්න.—එෆීස 4:31, NW.

නිතර ඔබට දොස් පවරාගන්නවා වෙනුවට හිතෝපදේශ 11:17හි සඳහන් දේ අදාළ කරගන්න. “කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය. එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය” කියා එහි සඳහන් වෙනවා. මෙම ප්‍රශ්නය ගැන සිතන්න. අසාමාන්‍ය ලෙස ඉහළ ප්‍රමිතීන් තබාගැනීමෙන් මිතුදම් ගොඩනඟා ගැනීම ඔබට පහසු වී තිබෙනවාද? ඇත්තෙන්ම නැහැ නේද? සමහරවිට ඔබ අනෙක් පුද්ගලයන් අකුරටම දේවල් නොකරන නිසා ඒ අයව ප්‍රතික්ෂේප කරලාත් ඇති. එහෙමනම්, මේ සම්බන්ධයෙන් ඔබට කුමක් කළ හැකිද?

බයිබලයේ දී තිබෙන අණ පිළිපදින්න. “යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු සිතින්ම එකිනෙකාට කමා කරන්න.” (කොලොස්සි 3:13, NW) ඔබ අන් අයගෙන් අපේක්ෂා කරන දේ සම්බන්ධයෙන් සාධාරණ වීමෙන් හොඳ මිත්‍රත්වයන් ඇති කරගන්න හැකි වෙයි!

‘මම හැම දෙයක්ම අකුරටම කිරීමට අපේක්ෂා කරන නිසා මිනිස්සු මාව මඟහරින්නේ ඇයි’ කියා ඔබ කල්පනා කරනවා ඇති. ඔබේ ලොකු ලොකු අපේක්ෂාවන් ගැන පවසන විට ඉන් ඔබ අවට සිටින අයට ඇති වන බලපෑම ගැන මොහොතකට සලකා බලන්න. ඒ පිළිබඳව එක් ග්‍රන්ථයක (When Perfect Isn’t Good Enough) මෙවන් ප්‍රකාශයක් කර තිබුණා. “ඔබ විභාගයකදී A සාමාර්ථයක් (විශිෂ්ට සාමාර්ථයක්) බලාපොරොත්තු වී B සාමාර්ථයක් ලැබුණ විට ඒ ගැන අනවශ්‍ය ලෙස ලත වෙනවා නම් B හෝ C සාමාර්ථයක් ගන්න සෑහෙන වෙහෙසක් ගන්න මිතුරන්ව ඉන් ලජ්ජාවට පත් වෙන්න ඉඩ තිබෙනවා.” එමනිසා නිෂේධාත්මක වීමෙන් වැළකීමට උත්සාහ කරන්න. ඔබ ගැන වුවමනාවට වඩා සිතන්න එපා. එවිට ඔබව ආශ්‍රය කිරීමට අන් අය සතුටු වෙයි.

කාර්ලි නමැති යෞවනිය මෙම කාරණය හැසිරවිය යුතු ආකාරය ගැන සරල අදහසක් ඉදිරිපත් කරනවා. “අකුරටම හැම දෙයක්ම කරන්න ඕනේ කියන හැඟීම ඉස්මතු වෙන්න නොදී මම එය මට්ටු කරනවා.” ඔබට එය කළ හැක්කේ කොහොමද? කාරණා දෙස දෙවි බලන්නේ කෙසේද කියා සිතා බලන්න. මේ සම්බන්ධයෙන් තවමත් ඔබ සිතන ආකාරය හසුරුවන්න අමාරුයි කියා හැඟෙනවා නම් ඔබේ දෙමාපියන්ට හෝ සභාවේ මේරූ ක්‍රිස්තියානියෙකුට මේ කාරණය පවසන්න. ඔබ සිතන ආකාරය වෙනස් කිරීම සඳහා උපකාරය පතා දෙවිට යාච්ඤා කරන්න. හැම දෙයක්ම අකුරටම කරන්න ඕනේ යන හැඟීම මැඩලීමට යාච්ඤාව විශාල ලෙස උපකාරවත් වෙනවා.—ගීතාවලිය 55:22; පිලිප්පි 4:6, 7.

යෙහෝවා පරිපූර්ණත්වය නැතහොත් හැම දෙයක්ම අකුරටම කිරීම අපේක්ෂා නොකරන බව මතක තබාගන්න. ඔහු බලාපොරොත්තු වන්නේ අප ඔහුට විශ්වාසවන්තව සිටීම පමණයි. (1 කොරින්ති 4:2) ඔබ විශ්වාසවන්තව සිටීමට උත්සාහ කරන විට ඔබ අකුරටම, වරදින්නේ නැතුව දේවල් නොකළත් ඔබට ඔබ ගැනම සතුටු විය හැකියි.

[පාදසටහන]

[17වන පිටුවේ පින්තූරය]

වැරදෙයි යන බිය නිසා ඔබ අක්‍රියාශීලී කෙනෙකු විය හැකියි

[18වන පිටුවේ පින්තූරය]

අලුත් දේවල් ඉගෙනීමට උත්සාහ දැරීමෙන් වැරදි සිදු වන විට එයට මුහුණ දීමට ඔබට හැකියි