හිරිහැර කිරීම—ඇතැම් හේතු සහ ප්‍රතිඵල
හිරිහැර කිරීම—ඇතැම් හේතු සහ ප්‍රතිඵල
දරුවෙක් අන්‍යයන්ට හිරිහැර කරන්න පටන්ගන්නේ මොන හේතු නිසාද? ඔබ කවදා හෝ හිරිහැර කරන්නෙකුට ගොදුරු වී ඇත්නම් “ඒකෙන් මට වැඩක් නැහැ! ඒ විදිහට හැසිරෙන එක නිදහසට කාරණයක් නෙවෙයි” කියා පැවසීමට පෙලඹිය හැකියි. සමහරවිට ඔබ නිවැරදි වෙන්න පුළුවන්. නමුත් හේතුවක් සහ නිදහසට කරුණක් අතර ලොකු වෙනසක් තිබෙනවා. දරුවෙකු හිරිහැර කරන්නෙක් බවට පත් වෙන්න යම් හේතු තිබුණත්, වැරදි විදිහට හැසිරීම සඳහා ඒවා නිදහසට කරුණු නෙවෙයි. එනමුත් එම හැසිරීම ගැන යම් අවබෝධයක් ලබාගන්න ඒවා අපට උපකාරවත් වෙන්න පුළුවන්. එමෙන්ම එවැනි අවබෝධයක් ලැබීම ඇත්තටම ප්‍රයෝජනදායක විය හැකියි. ඒ කොහොමද?
ඉපැරණි හිතෝපදේශයක් මෙහෙම කියනවා. “සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි.” (හිතෝපදේශ 19:11) හිරිහැර කරන්නාගේ හැසිරීම කෙරෙහි කෝපයක් ඇති කරගැනීමෙන් අප තුළ කලකිරීම සහ වෛරය පවා ඇති වෙන නිසා හරි විනිශ්චයක් කරන්න අපට බැරි වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ හැසිරීමට හේතුව අවබෝධ කරගෙන ඒ දෙස බැලීම අපේ කෝපය සමනය කරගැනීමට උපකාරවත් විය හැකියි. මේ හේතුවෙන් අප විසඳුම් සොයද්දී වඩාත් පැහැදිලි රූපයක් දැකීමට අපට ඉඩ සැලසෙනවා. එසේනම් මෙම නොහොබිනා හැසිරීමට දායක වන හේතු සාධක සමහරක් සලකා බලමු.
හිරිහැර කිරීමට හේතු වන්නේ කුමක්ද?
බොහෝවිට සිදු වී තිබෙන්නේ හිරිහැර කරන්නාගේ හැදී වැඩෙන අවදියේදී ඔහුට දෙමාපියන්ගේ දුර්වල ආදර්ශය දකින්න ලැබීම හෝ ඔහුව සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබීමයි. බොහෝ හිරිහැර කරන්නන්ගේ දෙමාපියන් ගැන බැලුවොත්, ඔවුන් හැඟීම් දැනීම් අඩු හෝ උදාසීන හෝ ගැටලු නිරාකරණය කරගැනීම සඳහා කේන්තියෙන් හා සැහැසිකකමින් ක්‍රියා කිරීමට දරුවන්ට උගන්වා ඇති අයයි. එවැනි වාතාවරණයක් යටතේ හැදී වැඩුණු දරුවන් තමන්ගේ වචනවලින් ප්‍රහාර එල්ල කිරීම සහ අතින් පයින් පහර දීම හිරිහැර කිරීමක් හැටියට ගණන් නොගැනීමට පමණක් නොව තමන්ගේ හැසිරීම සාමාන්‍ය මෙන්ම පිළිගත හැකි එකක් කියා සිතීමටද පුළුවන්.
තම සුළු පියාගේ සහ පාසැලේ සෙසු ශිෂ්‍යයන්ගේ හිරිහැරයට ලක් වූ 16හැවිරිදි ගැහැනු ළමයෙක් හත්වන පංතියට පැමිණි විට, ඇයත් හිරිහැර කරන්නියක් බවට පත් වුණා. ඇය මෙහෙම කියනවා. “මා තුළම ලොකු කේන්තියක් ඇති වෙලා තිබුණා. කවුද කින්ද මන්ද නොබලා හැමෝටම මම හිරිහැර කළා. වේදනාකාරී හැඟීම් කෙනෙකුට ලොකු බලපෑමක් කරනවා. තමන්ට වේදනාව දැනුණහම ඒ වේදනාවම තව කෙනෙකුට දෙන්නයි ඕන වෙන්නේ.” අතින් පයින් පහර දෙමින් හිරිහැර කිරීම ගැහැනු ළමයින්ගේ ගතිලක්ෂණයක් නොවිය හැකි වුවත් ඔවුන්ගේ අභ්‍යන්තරයේ සැබෑ කෝපයක් පවතිනවා. a
නොයෙක් ආකාරවලට හැඩගැසුණු විවිධ පසුබිම්වලින් පැමිණි ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් බොහෝ පාසැල්වල ඉන්නවා. කනගාටුදායක ලෙස, තමන්ට ඕන දේ ලබාගන්න නම්, අනිත් අයව භය කරගෙන හොඳවැයින් දෙකක් කතා කරන්න කියා සමහර දරුවන්ට නිවසේදී උගන්වා තිබෙන බැවින් ඔවුන් කලහකාරී ලෙස හැසිරෙනවා.
අභාග්‍යයකට එවැනි ක්‍රම බොහෝවිට සාර්ථක වන බවද පෙනෙන්න තිබෙනවා. කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහාය පීඨාධිපති ෂෙලී හිමල්
ළමා හැසිරීම පිළිබඳව දශක දෙකක් පුරා හැදෑරුවා. ඇය මෙහෙම කියනවා. “අපේ විද්‍යාලයේ තමන්ට ඕන දේ ලබාගන්න උපක්‍රම යොදන ළමයි ඉන්නවා. අභාග්‍යයකට මෙන්, කරන හිරිහැරය සාර්ථක වෙනවා. ඔවුන්ට ඕනේ දේ ඔවුන්ට ලැබෙනවා. ඒ තමයි බලය, තත්වය සහ අවධානය.”හරි අධීක්ෂණයක් නොමැතිකමද හිරිහැර කරන්නාගේ සාර්ථකත්වයට හේතු වන තවත් දෙයක්. ඊට ගොදුරු වන අයගෙන් බොහෝදෙනෙකුට හැඟෙන්නේ තමන්ට කාගෙන්වත් පිළිසරණක් නැති බවයි. බොහෝ අවස්ථාවලදී ඔවුන්ගේ සිතුවිල්ල නිවැරදි වීම ශෝචනීයයි. ටොරොන්ටෝවල යෝර්ක් විශ්වවිද්‍යාලයේ ප්‍රචණ්ඩත්වය සහ ගැටුම් විසඳුම් පිළිබඳව පර්යේෂණ කරන ලමාර්ෂ් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ඩෙබ්‍රා පෙප්ලර් පාසැල් භූමියේ සිටින සිසුන් සම්බන්ධයෙන් අධ්‍යයනයක නියැලුණා. එවිට ඈ දැනගත්තේ, ගුරුවරුන්ට අනාවරණය කරගන්න සහ නතර කරගන්න පුළුවන් වුණේ හිරිහැර කිරීම් සම්බන්ධ සිද්ධීන්වලින් සියයට 4ක් පමණක් බවයි.
එහෙත්, තත්වය වෙනස් කිරීමට ක්‍රියාමාර්ගයක් ගැනීම තීරණාත්මක දෙයක් වන බවයි ආචාර්ය පෙප්ලර්ගේ අදහස. ඇය මෙසේ පවසයි. “මේක බලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නිසා ගැටලුව විසඳගන්න ළමයින්ට බැහැ. කෙනෙකුට හිරිහැර කරන හැම වතාවෙම හිරිහැර කරන්නාගේ බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ.”
එබැවින් සිදු වන හිරිහැර කිරීම් බොහෝවිට වාර්තා කරනු නොලබන්නේ ඇයි? හිරිහැර කරන්නන්ට ගොදුරුවන්නන් ඒත්තුගෙන තිබෙන්නේ ගැටලුව ගැන වාර්තා කළොත් තත්වය තවත් දරුණු වන බවයි. මෙබැවින්, යම්දුරකට, බොහෝ යෞවනයන් තම පාසැල් දිවිය ගෙවන්නේ කාන්සාවෙන් හා අනාරක්ෂිතවයි. එලෙස දිවි ගෙවීමෙන් ඇති වන ප්‍රතිඵල මොනවාද?
කායික හා චිත්තවේගීය ප්‍රතිඵල
එක්සත් ජනපදයේ මනෝ විද්‍යාඥයන්ගේ ජාතික පාසැල් සංගමයේ වාර්තාවකට අනුව, හිරිහැර කිරීමකට ලක් වෙයි යන බිය හේතුවෙන් සෑම දිනකම 1,60,000කට වඩා වැඩි දරු පිරිසක් පාසැල් යන්නේ නැහැ. හිරිහැරයට ලක් වන අය පාසැල ගැන හෝ පාසැලේ එක් පංතියක් ගැන හෝ පාසැලේ යම් ක්‍රියාකාරකමක් ගැන හෝ කතා නොකර ඉන්න ඉඩ කඩ තිබෙනවා. හැම දිනකම ප්‍රමාද වී පාසැලට යෑමට, පංති මඟහැරීමට හෝ පාසැලට කොහෙත්ම නොයා සිටීමට පවා ඔවුන් උත්සාහ කළ හැකියි.
හිරිහැරයට ලක්වූවන්ව හඳුනගන්නේ කොහොමද? ඔවුන් ඉක්මනින්ම කේන්ති ගන්න, නොරුස්සන, කලකිරුණු හෝ වෙහෙසට පත් වූ මෙන්ම අයින්ගහලා ඉන්න බලන අය වීමට ඉඩ තිබෙනවා. නිවසේ සිටින්නන් සමඟ හෝ සම වයසේ මිතුරන් සහ වෙනත් මිතුරන් සමඟ ඔවුන් කෝපයෙන් ක්‍රියා කළ හැකියි. හිරිහැර කිරීම් නිරීක්ෂණය කරමින් ළඟ සිටින නමුත් ඊට සහභාගි නොවන අහිංසක අයද එහි ප්‍රතිඵල අත්විඳිනවා. තත්වය ඔවුන් තුළ සෑහෙන බියක් හටගන්වන බැවින් ඔවුන්ගේ ඉගෙනීමේ හැකියාවද බාල වෙනවා.
කෙසේවුවද, ළමා රෝග විවරණය නම් පොතේ මෙසේ පවසනවා: “හිරිහැර කිරීම නිසා හිරිහැරයට ලක්වෙන්නන් හා සමාජයේ සිටින්නන් අද්දකින දරුණුතම ප්‍රතිඵලය නම් සිය දිවි නසාගැනීම් හා මිනීමැරීම් ඇතුළත් ප්‍රචණ්ඩත්වයයි. ඊට ගොදුරු වූ දරුවන් අද්දකින බල රහිතභාවයේ හැඟීම කෙතරම් මුල්බැස ගනීද යත් සමහරුන් ඊට ප්‍රතිචාරය දක්වන්නේ තමාගේම විනාශයට හේතු වන ක්‍රියාවල යෙදෙමින් හෝ මාරාන්තික ලෙස පළිගනිමිනුයි.”
ටොරොන්ටෝහි මහජන සෞඛ්‍ය විද්‍යා පර්යේෂක විද්‍යාඥයෙකු හා විශේෂඥයෙකු වන මහාචාර්ය එඩ් ඇඩ්ලෆ් තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පවසන්නේ “හිරිහැර කරන හා විඳින අය දැන් මෙන්ම අනාගතයේදීද චිත්තවේගීයව කරදර අද්දකින්න තියෙන ඉඩ කඩ වැඩි” බවයි. ඔන්ටේරියෝහි ශිෂ්‍යයන් 2,25,000කට වඩා වැඩිදෙනෙකුව 2001 පාසැල් වසර තුළදී සමීක්ෂණයකට භාජන කළා. ඔවුන්ගෙන් හතරෙන් එකක් සහ තුනෙන් එකක් යම් ආකාරයක හිරිහැර කිරීමකට සම්බන්ධ වෙලා හිටියේ හිරිහැර විඳින හෝ හිරිහැර පමුණුවන කෙනෙක් ලෙසටයි. එම කණ්ඩායමේම දහදෙනෙක්ගෙන් එක්කෙනෙක් ඇත්තටම කල්පනා කර තිබෙනවා සිය දිවි නසාගැනීමට.
නොකඩවා හිරිහැර විඳින තැනැත්තාගේ ආත්ම විශ්වාසය බිඳ වැටී ඔහුට දරුණු සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි අතර ඔහුගේ වෘත්තියට පවා බරපතළ පාඩු සිදු විය හැකියි. හිරිහැරයට ලක්වන්නෝ හිසරදය, නිදිවර්ජිතබව, කාන්සාව සහ මානසික අවපීඩනය අද්දැකිය හැකියි. සමහරුන්ට එවැනි අද්දැකීමකින් පසුව මානසික රෝගද (posttraumatic stress disorder) ඇති වෙන්න පුළුවන්. අතින් පයින් ලබන ප්‍රහාර නිසා හිරිහැර විඳින්නා කෙරෙහි දයානුකම්පිත ආධාරෝපකාර ගලා ආ හැකි නමුත් චිත්තවේගීය ප්‍රහාරවලට ලක්වෙන්නෙකුට එවැනිම ප්‍රතිචාරයක් නොලැබෙන්න ඉඩ තිබෙනවා. අද්දකින හානිය එතරම් පැහැදිලිව දිස් වෙන්නේ නැහැ. එමනිසා දයානුකම්පාව දක්වනවා වෙනුවට ඔහුගේ චෝදනා ඇසීමෙන් මිත්‍රයන් හා පවුලේ අයවිඩාවට පත් වෙන්න පුළුවන්.
හිරිහැර කිරීමෙන් හිරිහැර කරන්නන්ටම නරක ප්‍රතිඵල ඇති වෙනවා. ළමා වියේදීම නවතා නොදැමුවහොත් ඔවුන් වැඩිවියට පත්ව රැකියාවක් කරන කල රැකියා ස්ථානයේදීද අන්‍යයන්ට හිරිහැර කරන්න තිබෙන ඉඩ කඩ වැඩියි. ඇත්තෙන්ම, ළමා වියේදී හිරිහැර කරන්නන් බවට පත් වන අය වැඩිහිටියන් වූ පසුවත් එම හැසිරීම් රටාවලම යෙදෙන බව ඇතැම් අධ්‍යයනයන්වලින් හෙළි වී තිබෙනවා. හිරිහැර නොකරන්නන්ට වඩා ඔවුන් අපරාධකරුවන් වීමට ඇති ඉඩ කඩද වැඩියි.
පවුල කෙරෙහි බලපෑම
රැකියා ස්ථානයේදී හිරිහැරයට ලක්වීම නිවසේ ස්ථාවරයට හා සාමයට බලපානවා. එමෙන්ම එය විඳින හෝ ඊට ගොදුරු වන තැනැත්තා නිවසේ සිටින ප්‍රේමණීයයන්ට රිදවීමට පෙලඹෙන අතර, එසේ වන්නේ මන්දැයි ඔවුන්ට තේරුම්ගන්න බැහැ. එපමණක්ද නොව හොඳ චේතනාවෙන් වුවද, නුසුදුසු ලෙස හිරිහැර විඳින්නාගේ උදව්වට යෑමෙන් කලත්‍රයෙක් හෝ පවුලේ සාමාජිකයෙක් හිරිහැර කරන්නා සමඟ දබරයකට පැටලිය හැකියි. අනික් අතට එම ප්‍රශ්නය ගෙන ඒම නිසා හිරිහැරයට ලක් වූ කලත්‍රයාට තම සැමියාගෙන් හෝ බිරිඳගෙන් දොස් ඇසීමටද සිදු විය හැකියි. විසඳුමක් නොමැතිව එවැනි හිරිහැර කිරීම් ගැන දිගින් දිගටම අසන්න ලැබෙන විට සහයෝගය දක්වන කලත්‍රයන්ගේ ඉවසීමේ සීමාවත් පනින්න පුළුවන්. මෙලෙස වසර ගණනක් ගෙවී යන විට සමහරවිට පවුල දෙකඩ වීමට ඉඩ කඩ තිබෙනවා.
සමහර අවස්ථාවලදී හිරිහැර විඳීමෙන් සිදු වෙන්නේ වෘත්තිය හා ජීවනෝපාය අහිමි කරගැනීම, වෙන්වීම හා දික්කසාද වීම හෝ සිය දිවි නසාගැනීමට පෙලඹීමයි. ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථානවල හිරිහැර විඳින්නන්ගෙන් අඩක් හා තුනෙන් දෙකක් අතර සංඛ්‍යාවක් පවසා සිටියේ තම අවිවාහක සහකරු, විවාහ කලත්‍රයා හෝ පවුලේ සාමාජිකයන් වැනි අය සමඟ පවතින කිට්ටු සබඳතා කෙරෙහි එම හිරිහැර කිරීම් අහිතකරව බලපෑ බවයි.
හිරිහැර කිරීම පාඩුවකි
සේවා ස්ථානයේ කෙරෙන හිරිහැර කිරීම් නිසා ස්වාමිවරුන්ටද ඉමහත් පාඩු සිදු වෙයි. සේවා ස්ථානයේදී හිරිහැර එල්ල කරන්නේ හැම විටම බැණ වදින අධ්‍යක්ෂකවරයෙක් හෝ උපා යොදන සෙසු සේවකයෙකු විය හැකි අතර හිරිහැර කරන කෙනා පුරුෂයෙකු මෙන්ම ස්ත්‍රියකද විය හැකියි. එවැන්නන් අනිසි ලෙස බලය පාමින්, සුළු සුළු දේවල් කෙරෙහි පවා අධි අවධානයක් දෙන අතර, නිෂේධාත්මක දේවල් පැවසීමෙන් හා නිරතුරුවම විවේචනය කරමින් අන්‍යයන්ව පහත් කරනවා. තවද තම ගොදුර කරගන්නන්ව බොහෝවිට අන්‍යයන් ඉදිරියේ නින්දාවට ලක් කරනවා. හිරිහැර කරන්නන් තමන් කිසිම ගරුසරුවක් නැතුව හැසිරුණ බව වටහාගන්නේ හෝ තමන්ගේ හැසිරීම ගැන සමාව ඉල්ලන්නේ හෝ කලාතුරකින්. ඔවුන් බොහෝවිට ගොදුරු බවට පත් කරගන්නේ දක්ෂ, විශ්වාසවන්ත හා සෙසු සේවකයන්ගේ ආදරය දිනාගත් සේවකයන්වයි.
සාමාන්‍යයෙන් හිරිහැරය විඳින සේවකයෝ අඩු කාර්යක්ෂමතාවකින් වැඩ කිරීමට පෙලඹෙනවා. හිරිහැර කිරීම් නිරීක්ෂණය කරන සෙසු සේවකයන්ගේද පලදායීතාවට එමගින් බලපෑමක් සිදු වෙනවා. හිරිහැර විඳීම නිසා කෙනෙකු තම ස්වාමිවරුන්ට දක්වන විශ්වාසවන්තභාවය අඩු වීමටද, තමන්ගේ සේවය වෙනුවෙන් අඩුවෙන් කැපවීමටද මං සැලසිය හැකියි. ගණන් බලා ඇති ආකාරයට, එක්සත් රාජධානියේ කර්මාන්තවලට හිරිහැර කරන්නන් සිදු කර ඇති පාඩුව සෑම වසරකම ඩොලර් බිලියන තුනක් බව එක් වාර්තාවක පවසා තිබෙනවා. තවද මානසික ආතතීන් සම්බන්ධ අසනීපවලින් සියයට 30කට වඩා වගකිව යුත්තේ එම හිරිහැර කිරීම් බව කියැවෙයි.
එසේනම්, හිරිහැර කිරීම ලෝක ව්‍යාප්තව සමාජයට මහත් සේ බලපා ඇති බව පැහැදිලියි. ප්‍රශ්නය වන්නේ මෙයයි. ගැටලුව පාලනය කිරීමට හා ඉවත් කිරීමට යමක් සිදු කළ හැකිද?
[පාදසටහන]
a ස්ත්‍රී හිරිහැර කරන්නියන් වඩාත් කැමති වන්නේ කෙනෙකුව තම ඇසුරෙන් ඉවත් කිරීම සහ බොරු ආරංචි පතුරුවා හැරීම වැනි උපක්‍රම භාවිත කරන්නයි. කෙසේවුවද, දැන් දැන් ඔවුන් වැඩි වැඩියෙන් අතින් පයින් ප්‍රචණ්ඩත්වය පෑමටද ක්‍රම සොයන බව පෙනෙන්න තිබෙනවා.
[25වන පිටුවේ පින්තූරය]
සේවා ස්ථානයේදී හිරිහැර කිරීම බෙහෙවින් පොදු දෙයක් වී තිබෙනවා
[25වන පිටුවේ පින්තූරය]
දිගටම හිරිහැර විඳින්නන් කොන් වී තනිකමින් පෙළිය හැකියි