Skip to content

පටුනට යන්න

හිරිහැර කිරීම—ලොව වටා පවතින ගැටලුවක්

හිරිහැර කිරීම—ලොව වටා පවතින ගැටලුවක්

හිරිහැර කිරීම—ලොව වටා පවතින ගැටලුවක්

“හෙට ඔයා ඉස්කෝලේ ආවොත් අපි ඔයාව මරනවා.”—නාඳුනන තැනැත්තියකගෙන් මෙම තර්ජනාත්මක දුරකථන ඇමතුම ලැබුණේ ක්‍රිස්ටන් නමැති කැනේඩියානු ශිෂ්‍යාවටයි. a

“මම සාමාන්‍යයෙන් හැඟීම්වලට යටපත් වෙලා වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒත් ඉස්කෝලේ යන්න බැහැයි කියන තත්වයටම මාව පත් වුණා. මගේ බඩ රිදෙන්න ගත්තා. හැම දවසෙම උදේ කෑමෙන් පස්සේ මට වමනේ ගියා.”—ජපානයේ සිටින නහඹර වියේ ශිෂ්‍යාවක් වන හිරෝමි හිරිහැර නිසා තමා අද්දුටු දේ මතකයට නඟන්නේ එලෙසයි.

ඔබට කෙදිනක හෝ හිරිහැර කරන්නෙකුට මුහුණ දෙන්න සිදු වී තිබෙනවාද? අපෙන් වැඩිදෙනෙකුට යම් විටක එසේ සිදු වී තිබෙනවා. සමහරවිට පාසැලේදී හෝ සේවා ස්ථානයේදී නැතහොත් නිවසේදීම පවා එවැන්නක් සිදු වී ඇති. ඇත්තෙන්ම නිවසේදී අනිසි ලෙස බලය පෑම නිතර සිදු වෙන්නේ බිය හටගන්වන ආකාරයකිනුයි. උදාහරණයක් වශයෙන්, බ්‍රිතාන්‍යයේ පළ වූ ලිපියක ගණන් බලා තිබෙන්නේ වැඩිහිටියන් සියයට 53ක් තම සැමියාගේ හෝ බිරිඳගේ නැතහොත් විවාහ නොවී එකට වෙසෙන සහකරු හෝ සහකාරියගේ වචනයෙන් කෙරෙන හිරිහැරයට ලක්ව ඇති බවයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මෙන්ම ලොවේ කොතැනත් වෙසෙන ඕනෑම තරාතිරමක සිටින අය හිරිහැර කරන්නන් සහ හිරිහැර විඳින්නන් බවට පත් වෙන්න පුළුවන්. b

ඇත්තෙන්ම හිරිහැර කිරීම කීමෙන් අදහස් වෙන්නේ මොකක්ද? එය අතවර කිරීමක් හෝ පහර දීමක්ම නෙවෙයි. එක සිද්ධියක් හෝ සිද්ධීන් දෙක තුනකට වඩා, කාලයක් පුරා එකතු වන පුංචි පුංචි සිද්ධීන් රැසක් ඊට ඇතුළත් වන බවයි පෙනෙන්න තිබෙන්නේ. හිරිහැර කරන්නන් පිළිබඳව ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීමේ පුරෝගාමියෙකු වන මනෝවිද්‍යාඥ ඩෑන් ඔල්වෙඋස් මෙම හැසිරීමේ පොදු ලක්ෂණ කිහිපයක් හඳුන්වා දෙනවා. හිතා මතා කලහකාරීව දේවල් කිරීම හා සාමාන්‍යයෙන් තමාට වඩා ශරීර ශක්තියෙන් අඩු කෙනෙකුට හිරිහැර කිරීම දැක්විය හැකියි.

එක නිර්වචනයකින් හිරිහැර කිරීමේ සියලුම අංගයන් දැක්විය නොහැකි නමුත් එය “තව කෙනෙකුට හිතා මතාම රිදවීමට මෙන්ම ඔහුව/ඇයව පීඩනයකට නතු කිරීමට තිබෙන ආශාව” ලෙස හඳුන්වා තිබෙනවා. පීඩනය ඇති වෙන්නේ ඇත්තටම සිදු වන දේ නිසා නොව ඉදිරියේදී තවත් මොනවා වෙයිද කියන බිය නිසයි. අකාරුණික ලෙස කෙනෙකුට කරන උසුළු විසුළු, නිරතුරුව විවේචනයට ලක් කිරීම, නින්දා අපහාස, ඕපාදූප සහ අසාධාරණ ඉල්ලීම් වැනි උපක්‍රම ඊට ඇතුළත් විය හැකියි.—22වන පිටුවේ තිබෙන කොටුව බලන්න.

මුලදී සඳහන් කළ නහඹර යෞවනිය වන ක්‍රිස්ටන්ගේ පාසැල් කාලයෙන් වැඩි කාලයකදී ඇය හිරිහැර කරන්නන්ගේ බලපෑමට අසු වුණා. කනිෂ්ඨ පාසැලේ සිටියදී හිරිහැර කරන්නන් ඇගේ කොණ්ඩේ චුවිංගම් අලවමින්, ඇගේ පෙනුම සම්බන්ධයෙන් ඇයට විහිළු තහළු කරමින්, ඇයට පහර දෙන බවටත් තර්ජනය කළා. ජ්‍යෙෂ්ඨ පාසැලේදී තත්වය වඩාත් දරුණු වෙමින් ඇයට දුරකථනයෙන් මරණ තර්ජන පවා එල්ල වෙන්න පටන්ගත්තා. දැන් වයස අවුරුදු 18ක් වන ඇය කනගාටුවෙන් පවසන්නේ මේ විදිහටයි. “ඉස්කෝලේ කියන්නේ ඉගෙනගන්න තියෙන තැනක් මිසක මරණ තර්ජන ලබන්නවත්, හිරිහැර විඳින්නවත් තියෙන තැනක් නෙවෙයි.”

මානසික සෞඛ්‍යය පිළිබඳ වෘත්තියක නියැලෙන්නියක් මෙසේ පවසනවා. “එය කනගාටුදායක දෙයක් වුණත් මෙය මිනිසුන්ගේ හැසිරීමේ දකින්න තිබෙන පොදු ලක්ෂණයක්. වෙනත් කෙනෙකුව පහත් කිරීමෙන් සමහරු සතුටක් ලබනවා.” එවැනි හැසිරීමක් දිගින් දිගටම පවතින විට, එය දරුණු පළිගැනීමකට, සමහරවිට ඉතා ඛේදනීය සිද්ධියකට පවා මඟ පාදවන්නක් විය හැකියි. උදාහරණයකට ප්‍රවාහණ සේවාවක නියැලුණු සේවකයෙකුට තිබුණ ගොතය නිසා ඔහු කෙතරම් හිරිහැර වින්දාද කියනවා නම් අන්තිමේදී ඔහු සෙසු සේවකයන් හතරදෙනෙකුව ඝාතනය කර, සිය දිවි නසාගත්තා.

හිරිහැර කිරීම ලොව වටා

ලොව වටා පාසැල් වියේ පසු වන දරුවන් අතර හිරිහැර කිරීම් සිදු වෙනවා. ළමා රෝග විවරණය (සිංහලෙන් නැත) නමැති සඟරාවේ පළ වූ සමීක්ෂණයක හෙළි කර තිබෙන්නේ නෝර්වේහි දරුවන්ගෙන් සියයට 14ක් හිරිහැර කරන්නන් හෝ ඊට ගොදුරු වන්නන් බවයි. ජපානයේ කනිෂ්ඨ පාසැල් ශිෂ්‍යයන්ගෙන් සියයට 15ක් තමන් හිරිහැර විඳින බව පවසන අතර ඕස්ට්‍රේලියාවේ සහ ස්පාඤ්ඤයේ ශිෂ්‍යයන් සියයට 17කටද මෙම ගැටලුව පවතී. බ්‍රිතාන්‍යයේ එක් ප්‍රවීණයෙකු ගණන් බලා ඇති ආකාරයට ළමයි මිලියන 1.3ක් හිරිහැර කිරීම්වල නියැලෙනවා.

ඒමෙක් ඉස්රෙඑල් විද්‍යාලයේ මහාචාර්ය ආමොස් රෝලීඩර් පාසැල් 21ක ශිෂ්‍යයන් 2,972ක් යොදාගෙන සමීක්ෂණයක් කළා. ද ජෙරුසලෙම් පෝස්ට් නමැති පුවත්පතට අනුව, මෙම මහාචාර්යවරයාට දැනගන්න ලැබුණේ “සෙසු සිසුන්ගේ අතින් පයින් පහර කෑ, තල්ලු කරනු ලැබූ හෝ පීඩා හිරිහැර ලැබූ බවට සියයට 65ක් පැමිණිලි” කළ බවයි.

ජංගම දුරකථනවලින් හා පරිගණක මාර්ගයෙන් තර්ජනාත්මක පණිවිඩ සටහන් කර යැවීම නව හානිකර ප්‍රවණතාවක්. එමෙන්ම යෞවනයන් විසින් ගොදුරු කරගන්නාගේ පෞද්ගලික තොරතුරුද ඇතුළත් කරමින් වෛරය පළ කරන වෙබ් පිටුද සකස් කරනවා. කැනඩාවේ ක්වීන්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක වන වෙන්ඩි ක්‍රේග් පවසන පරිදි මෙයාකාර හිරිහැර කිරීම් “ඒවාට ගොදුරු වන දරුවාට අතිශයින් අනතුරුදායකයි.”

සේවා ස්ථානය

සේවා ස්ථානයේ සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ලැබෙන පැමිණිලිවලින් ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන්නේ සේවා ස්ථානයේදී සිදු කෙරෙන හිරිහැර කිරීම් පිළිබඳව ලැබෙන පැමිණිලිවලයි. ඇත්තවශයෙන්ම, මෙය සමහර රටවල සුළුතර ජාතීන්ට සිදු කරන අසාධාරණකම්වලට හෝ සිදු කෙරෙන ලිංගික අතවරවලට වඩා වැඩියෙන් ප්‍රචලිත දෙයක් වෙලා. එක්සත් ජනපදයේ සේවයේ නියුතු සෙනඟගෙන් පහෙන් එකක් පමණ සෑම වසරකම හිරිහැර කිරීම්වලට ලක් වෙනවා.

සංවිධාන 70ක සේවයේ නිරත 5,300දෙනාගෙන් සියයට 47ක් ඉකුත් වසර පහ තුළ හිරිහැර කිරීමේ සිද්ධීන් ඇසින් දුටුවායයි වාර්තා කළ බව බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ ආයතනය මගින් 2000දී නිකුත් කළ වාර්තාවක පළ වුණා. වර්ෂ 1996දී සාමාජික රටවල් 15ක 15,800දෙනෙක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මත පදනම් වූ යුරෝපියානු සංගමයේ සමීක්ෂණයක් මගින් පෙන්වූයේ සේවකයන්ගෙන් සියයට 8ක්, එනම් මිලියන 12ක් පමණ බියගැන්වීම්වලට හෝ හිරිහැර කිරීම්වලට ලක්ව ඇති බවයි.

පාසැල් භූමියේ වේවා, සේවා ස්ථානයේ වේවා සිදු කෙරෙන සියලු හිරිහැර කිරීම් තුළ තව කෙනෙකුට රිදවීමට හෝ නින්දා කිරීමට බලය පාවිච්චි කිරීමේ පොදු අංගය ගැබ් වී ඇති බවයි පෙනෙන්න තිබෙන්නේ. එහෙත්, සමහරු අන්‍යයන්ට හිරිහැර කරන්නේ ඇයි? ඇති වන ප්‍රතිඵල මොනවාද? එමෙන්ම මේ ගැන කුමක් කළ හැකිද?

[පාදසටහන්වල]

a ඇතැම් නම් වෙනස් කර ඇත.

b මෙම ලිපිවල හිරිහැර කරන්නාව “ඔහු” ලෙස දක්වා ඇතත් හිරිහැර කරන ස්ත්‍රීන්ටද එම ප්‍රතිපත්ති පොදුවේ අදාළ වෙනවා.

[4වන පිටුවේ කොටුව]

හිරිහැර කරන්නන්ගේ විවිධ මුහුණුවර

◼ අතින් පයින් හිරිහැර කරන්නෝ: මොවුන්ව හඳුනාගැනීම පහසුයි. මොවුන් තම කෝපය පිට කරන්නේ, තමන් ඉලක්ක කරගෙන සිටින්නන්ට පහර දීම හෝ පයින් ගැසීම හෝ ඔවුන්ව තල්ලු කර දැමීම නැතහොත් ඔවුන්ගේ දේපොළවලට හානි කිරීම මගිනුයි.

◼ වචනවලින් හිරිහැර කරන්නෝ: මොවුන් තමන්ගේ ඉලක්කය කරගෙන සිටින්නන්ව රිදවන්නේ හා අවමානයට ලක් කරන්නේ අපහාසාත්මක නමක් පටබැඳීමෙන්, අවමන් කිරීමෙන් හෝ නොනවත්වා, බොහෝ සෙයින් කවටකම් කිරීමෙන්.

◼ භේද ඇති කරන හිරිහැර කරන්නෝ: මොවුන් තම ඉලක්කය කරගෙන සිටින්නන් ගැන බොරු ආරංචි පතුරුවනවා. මූලිකවම මෙවැනි හැසිරීමක යෙදෙන්නේ හිරිහැර කරන ස්ත්‍රීන්.

◼ ප්‍රතිප්‍රහාර එල්ල කරන්නෝ: හිරිහැරවලට ගොදුරු වූ සමහරුන් හිරිහැර කරන්නන් බවට පත් වෙනවා. ඔවුන් හිරිහැරවලට ගොදුරු වූ පළියට ඔවුන්ගේ මෙම හැසිරීම සාධාරණීකරණය කරන්න බැහැ. ඉන් සිදු වෙන්නේ ඔවුන් ඒ තත්වයට පත් වුණ හේතුව පැහැදිලි කිරීම පමණයි.

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: ජිසෙල් ලජ්වා, ඇලසන් මක්ලෙලන් සහ සින්ඩි සෙඩෝගේ හිරිහැර කිරීමට එරෙහිව පියවර ගැනීම (සිංහලෙන් නැත) නමැති ප්‍රකාශනය ඇසුරෙන්