Skip to content

පටුනට යන්න

අප අවට ලෝකය තුළ සන්නිවේදනය

අප අවට ලෝකය තුළ සන්නිවේදනය

අප අවට ලෝකය තුළ සන්නිවේදනය

“කිසිදු සන්නිවේදනයකින් තොර සෑම පුද්ගලයෙකුම නිකම්ම තනි දූපතකි. අනෙකුත් සියලුම දූපත්වලින් තනි වූ දූපතකි.”—සතුන්ගේ භාෂාව.

වනාන්තරයක යම් පෙදෙසක, සැවනා තණ බිමක හෝ ඔබේම ගෙවත්තේ පවා සතුන් එකිනෙකාට සන්නිවේදනය කරමින් ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරනවා ඇති. සතුන්ගේ භාෂාව (සිංහලෙන් නැත) නම් පොතේ මෙහෙම කියනවා. “සතුන් උන්ගේ ශරීරයේ සෑම ඉරියව්වක්ම හා සෑම අංගයක්ම පාහේ යොදාගනිමින් ඉතා සියුම් පණිවුඩ හුවමාරු කරගනී. මේ අතරින් ඉතාමත්ම ප්‍රබල දුගඳක් හරහා පණිවුඩ යවන්නේ බියට පත් ස්කන්ක් නමැති උරුලෑවන් හා සමාන සතුන්ය. එමෙන්ම, එතරම් ප්‍රබල නොවූ දුගන්දයන් හරහා සංඥා යැවීමෙන්, කෙටි උස් හඬවල් මගින්, උස් කඨෝර හඬවල් නිකුත් කිරීමෙන්, ගී ගැයීමෙන්, සිහින් හඬවල් නැඟීමෙන් මෙන්ම විදුලි සංඥා යැවීමෙන් හා ලබාගැනීමෙන්, එළි විහිදුවීමෙන්, හමේ ස්වාභාවික වර්ණ මාරු කිරීමෙන්, ‘නටමින්’ හා තමන් ඇවිදින පෘෂ්ඨය මතුපිටට තට්ටු කිරීමෙන් හා එය සෙලවීමෙන් සන්නිවේදනය කරන සතුන්ගේ සංඛ්‍යාව අපමණය.” එහෙත් මේ සංඥා සියල්ලෙහිම අරුත කුමක්ද?

විද්‍යාඥයන් සතුන්ගේ සංඥාවල අරුත සොයාගන්නේ ඉතා හොඳින් උන්ව නිරීක්ෂණය කිරීමෙනුයි. උදාහරණයක් හැටියට, පොර කුකුළෙක් වීසල් උගුඩුවෙක් වැනි ගොදුරු ඩැහැගන්නට එන සතෙකු දුටු විට, එම පොර කුකුළා කුක්, කුක්, කුක් යනුවෙන් ඉතා උස් හඬින් ගෝරනාඩු දෙන්නේ අනෙක් පොර කුකුළන්ට අනතුරු අඟවනු පිණිසයි. එහෙත්, උකුස්සෙකු දැක්කොත්, පොර කුකුළෙක් ඉතා දිගු වෙලාවක් යටි ගිරියෙන් කෑගහනවා. මේ හැම හඬකින්ම ඊට ආවේණික වූ එක්තරා තර්ජනයක් තියෙන බවක් තමයි අඟවන්නේ. මේ අනුව කුරුල්ලන් ඉතා අරුත්බර තොරතුරු සන්නිවේදනය කරනවා. වෙනත් කුරුල්ලන්ද ඒ හා සමානව, උද්ගත වන තත්වයට අනුව එකිනෙකට වෙනස් ශබ්ද නිකුත් කරන බවට නිරීක්ෂණය කර තිබෙනවා.

“සතුන්ගේ සන්නිවේදනය පිළිබඳව අධ්‍යයනය කළ හැකි ප්‍රධාන ක්‍රමවලින් එකක් නම්, එම නිශ්චිත සංඥා පටිගත කර සතුන්හට ඒවා යළිත් වාදනය කිරීමට සලස්වා තමන් බලාපොරොත්තු වෙන ආකාරයටම උන් ඒවාට ප්‍රතිචාරය දක්වනවාද කියා බැලීමයි” යනුවෙන් සතුන්ගේ ගීත, සත්ව ශබ්ද සහ පුරුදු යන පොතෙහි (සිංහලෙන් නැත) සඳහන් කරයි. පොර කුකුළන් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් පෙන්නුම් කළේ උන් කැලයේදී දක්වන ප්‍රතිචාරයන්ම දැක්වූ බවයි. මෙම ක්‍රම මකුළුවන් සම්බන්ධයෙන්ද සාර්ථක වුණා. වෘක මකුළුවෙක් තම කෙඳි සහිත ඉදිරි පාද ලෙළවමින් තම ගැහැනු සතාව ආකර්ෂණය කරගන්නේ කෙසේදැයි නිශ්චය කරගැනීමට පර්යේෂකයන් යම් අත්හදා බැලීමක් කළා. ඔවුන් කළේ පිරිමි වෘක මකුළුවෙකුගේ හැසිරීම වීඩියෝගත කර, ඩිජිටල් තාක්ෂණය ඇසුරින් උගේ ඉදිරි පාදවල කෙඳි ඉවත් කිරීමයි. ඉන්පසු ඔවුන් එම වීඩියෝ පටිය ගැහැනු සතෙකු ඉදිරියේ ක්‍රියාත්මක කළ විට, ඇයට එම පිරිමි සතා කෙරෙහි තිබූ උනන්දුව එකවරම නැතුව ගියා. එම පර්යේෂකයන් මින් වටහාගත් දේ කුමක්ද? මෙම වෘක මකුළුවාගේ ගැහැනු සතා පෙනෙන විදිහට ආකර්ෂණය වෙන්නේ පිරිමි සතාගේ කෙඳි සහිත පාදවලට බවයි!

සුවඳින් සංඥා කිරීම

බොහෝ සතුන් එකිනෙකාට සංඥා කරන්නේ සාමාන්‍යයෙන් උන්ගේ විශේෂ ග්‍රන්ථිවලින් වෑස්සෙන ෆෙරමෝන් යනුවෙන් හැඳින්වෙන ප්‍රබල රසායනික ද්‍රව්‍යයක් මගින් හෝ උන්ගේ මල මූත්‍රා මගින්. මිනිසෙකුට අයිති දේපොළක් වැටකින් හෝ නාම පුවරුවකින් හඳුනාගත හැකි වාක් මෙන්, ෆෙරමෝන් රසායනිකය මගින් බල්ලන් සහ බළලුන් ඇතුළු එක්තරා සත්ව විශේෂවලට අයත් බලප්‍රදේශ මොනවාද කියා හඳුනාගත හැකියි. සීමා සලකුණු කිරීමේ මෙම වඩාත් ප්‍රබල ක්‍රමය ඇසට නොපෙනෙන යමක් වුවද, එමගින් එකම සත්ව වර්ගයට අයත් සත්වයන්ට ප්‍රමාණවත් දුරකින් සිටීමට අවකාශ ලබා දෙනවා.

එහෙත් ෆෙරමෝන් රසායනිකයෙන් ප්‍රදේශ ලකුණු කරනවාට වඩා වැඩි යමක්ද කරනවා. ඒවා හරියට රසායනික දැන්වීම් පුවරුවක් වගේ. එහි තිබෙන දේවල් වෙනත් සතුන්ට ඉමහත් උනන්දුවකින් “කියවන්න” පුළුවන්. සතුන් සන්නිවේදනය කරන අයුරු (සිංහලෙන් නැත) යන පොතේ පවසන පරිද්දෙන් මෙම සුවඳෙහි ඇතුළත් සලකුණුවලට “සමහරවිට එම ප්‍රදේශයේ ජීවත් වෙන සතුන් පිළිබඳ විස්තර, උන්ගේ වයස, ලිංගිකත්වය හා ශාරීරික ශක්තිය සහ වෙනත් හැකියාවන් [සහ] උන්ගේ ප්‍රජනන චක්‍රයන්වල වත්මන් අවස්ථාවන් පිළිබඳ විස්තරද ඇතුළත්ය. . . . සතෙකුගේ සුවඳ ක්‍රියාත්මක වෙන්නේ හරියට ඔහුගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ගමන් බලපත්‍රයක් මෙන්ය.” ඇතැම් සතුන් තමන්ගේ සුවඳෙහි ඇතුළත් සලකුණු ගැන දක්වන්නේ දැඩි අවධානයක්. මෙය සත්වෝද්‍යානවල සත්වයන් බලාගන්නාවූ අය හොඳින් වටහාගත් කාරණයක්. සතුන් වෙසෙන කූඩු හෝ ඒ අවට සේදුවායින් පසුව, බොහෝ සතුන් වහාම නැවතත් තමන්ගේ ප්‍රදේශ ලකුණු කරන බව මෙම සේවකයන් නිරීක්ෂණය කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම, “උන්ගෙන් විහිදෙන සුවඳ නැති වී යෑම මෙම සතුන්ට මහත් වධයක්. එසේ වීමෙන් උන් අසාමාන්‍ය හැසිරීමක් පෙන්විය හැකි අතර උන්ට වඳභාවයද ඇති වෙන්නට පුළුවන්” යන්න ඉහත සඳහන් පොතේ අදහසයි.

මෙම ෆෙරමෝන් කෘමීන්ගේ ලෝකය තුළද විශාල කාර්යභාරයක් ඉටු කරනවා. නිදසුනක් වශයෙන්, අනතුරු අඟවනසුලු ෆෙරමෝන් වර්ගවලින්, රංචු ගැසී ප්‍රහාරාත්මක චර්යාවක් ඇති කරනවා. සමූහයන්ව ඒකරාශි කරවනසුලු ෆෙරමෝන්වලින් කෙරෙන්නේ සතුන් එකිනෙකාව ආහාර තිබෙන තැනකට හෝ සතුන්ට ලැගිය හැකි තැනකට එක් රැස් කිරීමයි. ලිංගික ෆෙරමෝන් මීට ඇතුළත්. මේවාට සමහරක් සතුන් ඉතාමත් සංවේදීයි. පිරිමි පටපණු සලබයාට සියුම් ස්පර්ශක දෙකක් තිබෙන අතර, ඒවා දිස් වෙන්නේ හරියට ඉතා කුඩා මීවන පත්‍ර දෙකක් වගේ. මෙම සියුම් කෙඳි කොතරම් සංවේදීද කියතොත් ගැහැනු සතාගේ ෆෙරමෝනයන්හි තනි අණුවක් පවා ග්‍රහණය කරගැනීමට ඒවාට පුළුවනි! මෙම අණු 200ක් පමණ ග්‍රහණය කරගත් කල, පිරිමි සතා ගැහැනු සතාව සොයන්නට පටන්ගන්නවා. එහෙත්, මෙම රසායනික සන්නිවේදනය සත්ව ලෝකයටම පමණක් සීමා වූවක් නොවෙයි.

“කතා කරන” ශාක

ශාකවලට ශාක සමඟ පමණක් නොවේ, එක්තරා සත්ව වර්ග සමඟත් සන්නිවේදනය කරන්නට හැකි බව ඔබ දැන සිටියාද? ලීමා බෝංචි ශාකය මකුළු කීඩෑවන්ගේ ප්‍රහාරයට ලක් වෙන විට, තමාට යමෙක් හානි කරන බව කියැවෙන යම් රසායනික ද්‍රව්‍යයක් නිකුත් කරන බවත්, තමාට ප්‍රහාර එල්ල කරන මකුළු කීඩෑවන්ව ගොදුරු කරගන්නා ලෙස කියමින් වෙනත් කීඩෑවන්ට එම රසායනිකය මගින් පණිවුඩ යවන බවත් නෙදර්ලන්තයේ එක්තරා පර්යේෂකයන් පිරිසක් සොයාගෙන ඇති බව ඩිස්කවර් සඟරාව වාර්තා කරනවා. ඒ හා සමානව, ඉරිඟු, දුම්කොළ, සහ කපු ශාක දළඹුවන්ගේ ප්‍රහාරයට ලක් වන විට, එම ශාකවලින් කරන්නේ දෙබරුන් එම ශාක දෙසට ආකර්ෂණය කරන එක්තරා රසායනිකයක් වායු ගෝලයට පිට කිරීමයි. මේ දෙබරුන් දළඹුවන්ගේ මාරයෝ. එක් පර්යේෂකයෙක් පැවසුවේ මෙසේයි. “සාමාන්‍යයෙන් ශාක, ‘මට හානි කරලා’ කියා පමණක් නෙවෙයි තමන්ට හානි කළේ කවුද කියාත් පවසනවා. එය ඉතාමත් සංකීර්ණ වූ ඉතාමත් පුදුමාකාර වූ පද්ධතියක්.”

ශාකයකින් තවත් ශාකයකට සන්නිවේදනය කිරීමද ඒ හා සමාන මවිතාකාර දෙයක්. ඩිස්කවර් සඟරාවේ පවසන පරිදි, “විලෝ, පොප්ලර්, ඇල්ඩර් සහ බර්ච් ගස් තම වර්ගයාට සවන් දෙන බවත්, බාර්ලි බීජාංකුර වෙනත් බාර්ලි බීජාංකුරවලට සවන් දෙන බවත්” පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. මේ සෑම සිද්ධියකදීම, දළඹුවන් කා දමා ඇති හෝ දිලීර සහ පුස් මගින් විනාශ වී ඇති [හෝ] මකුළු කීඩෑවන් විසින් හානි කර ඇති ශාක, . . . රසායනික සන්නිවේදනයක් කරමින් තමන් අසල ඇති හානි නොවූ වෙනත් ශාකවල ආරක්ෂක පද්ධතිය වහාම ක්‍රියාත්මක කරවයි.” මෙහිදී, වෙනත් වර්ගවලට අයත් ගස් පවා රසායනිකව සිදු කරන මෙම අනතුරු සංඥාවලට ප්‍රතික්‍රියා කර තිබෙනවා.

යම් ශාකයක් ප්‍රහාරයකට ලක් වන විට හෝ ඒ ගැන අනතුරු අඟවනු ලබන විට, එම ශාකය තමන්ගේම ආරක්ෂාව සලසාගන්නවා. මීට ඇතුළත් වෙන දෙයක් තමයි, කෘමියාව නසා දමන හෝ ශාකය කා දැමීමට ආක්‍රමණිකයා සතු හැකියාව අඩපණ කරන හෝ නතර කරන රසායනික ද්‍රව්‍යයන් නිකුත් කිරීම. මේ ගැන අනාගතයේදී කරන පර්යේෂණවලින් තවත් පුදුමාකාර දේවල් සොයාගැනේවි. තවද මේවායින් සමහරක් කෘෂිකාර්මික කටයුතුවලට පවා ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්.

එළි සමඟින් “මෝස් සංඥා”

“මගේ නිවස අවට එහා මෙහා ඉගිළෙන මේ පුංචි පහන් තාරකාවෝ, තරු පායන්නට පෙර එහා මෙහා සැරිසරන්නේ යම් සෙයකින් මගේ සිත් වශී කරමින්.” කළාමැදිරියන් ගැන එක්තරා ලිපියක මෙසේ ලීවේ පරිසරවේදියෙකු වන සුසාන් ට්වීට් විසින්. කුරුමිණි පවුලට අයත් මේ කෘමියා යොදාගන්නේ එළිය මගින් සන්නිවේදනය කිරීමට හැකි එක්තරා වාග්මාලාවක්. එම එළිය “අනතුරු අඟවන කුඩා එළියක් හෝ තම සහකාරියව සොයාගැනීම සඳහා විහිදුවන සංකීර්ණ එළියක් හෝ විය හැකි” බව ට්වීට් පවසනවා. උන්ගේ එළියේ වර්ණ කොළ පාටේ සිට කහ පාට දක්වාත් කහ පාටේ සිට තැඹිලි පාට දක්වාත් වෙනස් වෙනවා. කළාමැදිරියාගේ ගැහැනු සතා පියාඹන්නේ කලාතුරකින්. එමනිසා අපට දක්නට ලැබෙන එළි බොහොමයක් පිරිමි සතුන්ගේ.—“කළාමැදිරියාගේ සීතල එළිය” යන කොටුව බලන්න.

කළාමැදිරියන් වර්ග 1,900ක් පමණ සිටිනවා. උන්ට විදුලි මකුණා යන නමද දී තිබෙන අතර, උන්ට විශේෂ වූ ක්ෂණිකව දැල්වෙන ආලෝක රටාවක් තිබෙනවා. තත්පරයක හෝ දෙකක කාල අන්තරයක් සහිතව තුන්වතාවක් දැල්වීම හෝ වෙනස් කාල පරතරයක් තුළ ඒවා කිහිපයක් එක දිගටම දැල්වීම මේ ආලෝක රටාවට අයත්. සහකාරියකව සොයමින් පිරිමි සතා ක්ෂණික දැල්වීම් කරමින් සැරිසරනවා. “ගැහැනු සතාට එම ක්ෂණික දැල්වීම්වල රටාව හොඳට තේරෙනවා. ඊටපසු, ‘මම මෙහේ’ කියන දැල්වීමක් සුදුසු මොහොතේදී ඇගේ සහකරුවාට යොමු කරනවා” යයි අඩුබොන් නම් වූ සඟරාවේ කියයි. මේ පණිවුඩය හඳුනාගන්නා පිරිමි සතා ඇය වෙත පියඹා යනවා.

කුරුලු කෝකිලයෝ

“ශබ්දය පිට කරන වේලාව, එහි විවිධත්වය හා සංකීර්ණත්වය දෙස බැලූ කල, කුරුල්ලෙකු ගීත ගයනවා හා සමානව වෙනත් කිසිම සතෙකුට කටහඬින් ශබ්ද පිට කරන්නට නොහැකියි.” කුරුල්ලන්ගේ ජීවිතය (සිංහලෙන් නැත) නමැති පොතේ ඩේවිඩ් ඇටෙන්බරෝ එසේ පවසනවා. කුරුලු ගීත නිකුත් වෙන්නේ කුරුල්ලෙකුගේ උගුරින් නොව ගී නාලය යනුවෙන් හැඳින්වෙන ග්‍රන්ථියකිනුයි. මෙම ගී නාලය පිහිටා තිබෙන්නේ කුරුල්ලාගේ ශ්වාසනාලය පෙණහලුවලට ඇතුළු වීමට පෙර බෙදෙන්නාවූ උගේ පපු පෙදෙසේ යටි පැත්තට වෙන්නයි.

කුරුලු ගීතවලින් අඩක්ම සහජයෙන්ම උරුම කරගත් ඒවා වන අතර අඩක් උන්ගේ දෙමාපියන්ගෙන් ඉගෙනගත් ඒවායි. මෙබැවින්, කුරුල්ලන්ට තමන් වෙසෙන ප්‍රදේශයට ආවේණික වූ උච්චාරණ විධි පවා දියුණු කරගන්නට පුළුවනි. කුරුල්ලන්ගේ ජීවිතය නමැති පොතේ මෙසේද කියනවා. “දහනවවන සියවසේදී ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි යුරෝපීය වැසියන්ගේ කන්වලට මිහිරි නාදයක් ගෙන දීම සඳහා රැගෙන ගිය කලු කුරුල්ලන්ගෙන් පැවතෙන උන්ගේ කිචි බිචි නාදයට ආවේණික වූ ඕස්ට්‍රේලියානු උච්චාරණ විලාසයක් ඇත.” ගී ගයන සියලුම කුරුල්ලන් අතරින් වඩාත්ම සංකීර්ණ වූ මධුර වූ ගී ගායනා කරන බවට ප්‍රකට පිරිමි වීණා කුරුල්ලන් ගයන ගී, උන් මුළුමනින්ම පාහේ ඉගෙනගෙන ඇත්තේ වෙනත් කුරුල්ලන්ගෙන්. ඇත්තෙන්ම, වීණා කුරුල්ලන් හඬවල් අනුකරණය කිරීමෙහි කොතරම් දක්ෂද කියනවා නම්, සංගීත භාණ්ඩවල, බල්ලෙකු බුරන හඬ, සොරුන් ඇල්ලීමට තබා ඇති සංඥා නළා හඬ, පොරවකින් පහර දෙන හඬ සහ කැමරාවක මෝටරයක හඬද ඇතුළු තමන්ට ඇහෙන ඕනෑම ශබ්දයක් අනුකරණය කරන්නට පිළිවනි! මේ ශබ්ද විලාසයන් යොදාගන්නේ තමන්ගේ අනාගත සහකාරියව කුල්මත් කිරීමේ අදහසින් බව නම් නොකිවමනායි.

සාමාන්‍යයෙන් ආහාර සොයාගැනීමට තම හොට උපයෝගි කරගන්නා කෑරලා තමයි කුරුලු ලෝකයේ බෙරකාරයා. ඌ අනික් කුරුල්ලන්ට සංඥා කරන්නේ උගේ හොටින් ගසක කඳට හෝ අත්තකට කොටමිනුයි. ඇතමුන් “ටකරම් වහලක් හෝ උදුනක යකඩ පයිප්පයක් අලුත් සංගීත භාණ්ඩයක් කරගන්නවා” යයි ඇටෙන්බරෝ පවසනවා. කිසිම සංගීතමය හඬක් නැතුවත් පෙනුමෙන් යමක් සන්නිවේදනය කරන්නටද කුරුල්ලන්ට හැකියි. නිදසුනක් වශයෙන්, උන් තමන්ගේ වර්ණ ගැන්වූ අලංකාර පිහාටු විහිදුවමින් තවත් කුරුල්ලෙකුට සංඥාවක් නිකුත් කරනවා විය හැකියි.

ඕස්ට්‍රේලියානු පාම් කොකටුවා නමැති ගිරා වර්ගයට අයත් පිරිමි සතා තමන් සිටින බලප්‍රදේශය කියා පෑම සඳහා කරන්න පුළුවන් හැම දෙයක්ම කරයි. යමකට තට්ටු කිරීම, හඬක් නිකුත් කිරීම, තාලයට වැනීම හෝ පිහාටු ප්‍රදර්ශනය කිරීම වැනි ක්‍රියා මීට ඇතුළත් වෙනවා. සුදුසු ගසක අත්තක් කඩාගන්නා ඌ තම පාදවලින් එය දැඩිව අල්ලාගෙන හොටෙන් එහි කඳට තට්ටු කරයි. ඒ අතරතුරම, පිහාටු දිගහැර, උගේ කරමල දෙපැත්තට සොලවා, හිස ඉදිරියටත් පිටුපසටත් සොලවා, යටි ගිරියෙන් කෑගසනවා. ඇත්තෙන්ම මෙය නම් හරිම චමත්කාරජනක දර්ශනයක්!

ඇතැම් කුරුල්ලන්ගේ නාද වෙනත් සතුන් විසින් හඳුනාගනු ලබනවා. අප්‍රිකාවේ වැඩි වශයෙන් හමු වන තිරාසිකයා නමැති කුරුලු ගණයට වැටෙන හනි ගයිඩ් (මීපැණිවලට මඟ පෙන්වන්නා) නමැති කුරුල්ලා ගැන සලකා බලන්න. උගේ නමේ අර්ථයට අනුවම, තමාටම ආවේණික වූ කටහඬින් රැටලෙයෙක්, එනම් මුගටි පවුලේ බැජරයා වැනි බෙන්හාවෙකුව මීවදයක් තිබෙන ගසක් වෙතට මඟ පෙන්වනවා. මෙම කුරුල්ලා මීවද තිබෙන එම ගස මත වසා හෝ අසලට විත්, “ඔන්න මීපැණි ළඟම තියෙනවෝ!” යන අදහස දෙමින් නඟන්නේ වෙනස් හඬක්. මේ බෙන්හාවා කරන්නේ ගස සොයාගෙන, ගසේ කඳ පහුරු ගා මීවදය සොයාගෙන ඇති පදමට බඩ කට පුරා පැණි අනුභව කරන එකයි.

වතුර යටින් කතා කිරීම

හයිඩ්‍රොෆෝන යනුවෙන් හැඳින්වෙන ජලය හරහා නිකුත් වෙන ශබ්ද ඇසීමට පාවිච්චි කෙරෙන උපකරණය සොයාගත් දා පටන්, ගැඹුරේ සිට නිකුත් වෙන බොහෝ ශබ්ද ගැන පර්යේෂකයන් විමතියට පත් වී සිටිනවා. පුංචි ‘හ්ම්’ ශබ්දයේ සිට හඬලන ශබ්දය හෝ යටි ගිරියෙන් කෑගසන ශබ්දය දක්වා විහිදෙන මෙම ශබ්ද ජලය යට කොතරම් බහුලද යත්, සබ්මැරීන නැවියන් තම සබ්මැරීනයේ යන්ත්‍රවලින් නැඟෙන ශබ්ද වසාගැනීම සඳහා මෙම ශබ්ද යොදාගෙන තිබෙනවා. එහෙත්, මසුන් නිකුත් කරන ශබ්දවලටද යම් රටාවන් නැතුවාම නෙවෙයි. සාගරයේ රහස් භාෂාවන් (සිංහලෙන් නැත) යන සිය පොතේ මුහුදු ජීව විද්‍යාඥ රොබට් බර්ජස් පවසන්නේ මෙහෙමයි. “එක් මත්ස්‍යයෙක් තපුල්ලමින්, කෙකරගාමින්, බුරනවා වැනි ශබ්දයක් නිකුත් කර අනතුරුව එම ශබ්ද ඒ ආකාරයෙන්ම නැවතත් නිකුත් කරන විට තවත් මත්ස්‍යයෙක්, ‘ක්ලික්’ සහ ‘බිඳුම් හඬද’ පසුව ‘සූරන හඬ’ හා ‘ගොරහැඬි හඬක්ද’ නිකුත් කරයි.”

ස්වර නාල පිහිටා නැති මේ මත්ස්‍යයන් හඬවල් නිකුත් කරන්නේ කොහොමද? බර්ජස් කියන්නේ ඇතැම් මත්ස්‍යයන් “සිය වායු කෝෂවල බිත්තිවලට සම්බන්ධ වී ඇති [මාංස පේශී] යොදාගෙන එම බිත්ති සොලවන්නේ” ඒවායින් බෙරවලින් එන හඬක් නැඟෙන තෙක්ය. තවත් මත්ස්‍යයන් දත් මිටි කනවා. නැත්නම් තමාගේ කරමල විවෘත කරමින් සහ වසමින් බොල් හඬක් හෝ අත්පොළසන් දෙන හඬක් නිකුත් කරනවා. ඉහත සියල්ල කිසිම තේරුමක් නැති නිකම්ම නිකම් “ඝෝෂාවක්ද?” පෙනෙන හැටියට නැහැ. පොළොව මතුපිට වෙසෙනා සතුන් වගේම මත්ස්‍යයන්ද ශබ්ද නිකුත් කරන්නේ, “විරුද්ධ ලිංගයේ සතෙකුව ආකර්ෂණය කරගැනීමටත්, සතුරාට එරෙහිව ආරක්ෂක ක්‍රමයක් හැටියටත්, වෙනත් මත්ස්‍යයන් සමඟ සාමාන්‍ය සන්නිවේදනයක් කිරීමටත්, එකිනෙකාව භයගැන්වීමටත්” බව බර්ජස් කියා සිටිනවා.

මත්ස්‍යයන්ටත් හොඳට ඇහෙනවා යන කාරණයද අප අමතක නොකළ යුතුයි. ඇත්තෙන්ම කියනවා නම්, බොහෝ මත්ස්‍ය වර්ගයන්ට අභ්‍යන්තර කන් වගේම උන්ගේ ශරීරයේ හරි මැදින් කෙළින් පිහිටා ඇති ජල පීඩනයට සංවේදී වන සෛල පෙළක්ද තිබෙනවා. මත්ස්‍යයා ජලය හරහා පීනා යන විට, මෙම සංවේදී සෛල පෙළට හැකියාවක් තිබෙනවා යම් යම් ශබ්ද මගින් ඇති කරන තරංග සොයාගැනීමට.

මිහිකතගේ වඩාත්ම කැපීපෙනෙන සන්නිවේදකයෝ

“මිනිස් භාෂාව ගැන අධ්‍යයනය කරන විට, ‘අද්විතීය මිනිස් ගතිලක්ෂණය’ යනුවෙන් හඳුන්වා දිය හැකි අංගය වෙත අපි අවතීර්ණ වන්නෙමු. එනම් අප දන්නා තරමින් මිනිසාට පමණක් අද්විතීය වූ මනසේ අතිසුවිශේෂී ගතිලක්ෂණ වෙතට අපි අවතීර්ණ වන්නෙමු” යයි භාෂාවේදී මහාචාර්යවරයෙක් වන නෝඅම් චොම්ස්කි පවසනවා. වාග් විද්‍යාව හා මිනිස් ප්‍රවර්ධනය පිළිබඳ මහාචාර්ය බාර්බරා ලුස්ට් සඳහන් කළේ මෙහෙමයි. “වයස අවුරුදු 3ක් තරම් බාල දරුවන්ට භාෂාවේ ව්‍යූහය හා ඌරුව ගැන තිබෙන දැනුම කොතරම් අතිසුවිශේෂීද, කොතරම් සංකීර්ණද එමෙන්ම නිවැරදිද කියනවා නම්, ඔවුන් එය අත් කරගන්නේ කෙසේද කියා අප ඉගෙනගෙන ඇති මොනයම් ක්‍රමයක් හෝ යොදාගෙන විස්තර කිරීම ඇත්තටම අභියෝගයකි.”

එහෙත්, මිනිස් භාෂාව නමැති ආශ්චර්යය ගැන සාධාරණ පැහැදිලි කිරීමක් දෙන්නට බයිබලයට හැකියාවක් තිබෙනවා. භාෂාව නමැති මෙම දීමනාව සම්බන්ධයෙන් එය ගෞරවය දෙන්නේ මැවුම්කරු වන යෙහෝවා දෙවිටයි. එනම් මිනිස් වර්ගයාව තම “ස්වරූපයෙන්” සෑදු තැනැත්තාටයි. (උත්පත්ති 1:27) නමුත් අපගේ භාෂාමය හැකියාවන් තුළ දිව්‍යමය ගතිලක්ෂණ පිළිබිඹු වන්නේ කොහොමද?

නිදසුනක් වශයෙන්, යම් කෙනෙකුට හෝ යම් දෙයකට නමක් තැබීම යන කාරණය සලකා බලන්න. වාචික සන්නිවේදනය පිළිබඳ මහාචාර්ය ෆ්‍රැන්ක් ඩැන්ස් ලීවේ, “නම් තැබිය හැකි එකම ජීවියා” මිනිසා කියායි. මෙය දිව්‍ය ගතිලක්ෂණයක් බව ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව දක්වා තිබෙනවා. මැවීම පිළිබඳ විස්තරයේ මූලාරම්භයේ පටන්ම බයිබලයේ අපට කියන්නේ දෙවි “එළියට දවාල කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද” නම් තැබුවා කියායි. (උත්පත්ති 1:5) යෙසායා 40:26ට අනුව, දෙවි එක් එක් තාරකාවන්ට ඊටම ආවේණික වූ නාමයක් තැබූ බව අපට පෙන්වනවා. ඇත්තටම මෙය නම් මහා පුදුමාකාර වැඩක්!

දෙවි ආදම්ව මැවුවායින් පසු, ඔහුට දුන් පළමු වැඩවලින් එකක් නම් සත්වයන්ට නම් තැබීමයි. මෙය ආදම්ගේ නිරීක්ෂණාත්මක හා නිර්මාණාත්මක හැකියාවන් කොතරම් පුළුල්ව යොදාගත හැකි අභියෝගාත්මක ව්‍යාපෘතියක් වන්නට ඇද්ද! පසුව, ආදම් තමාගේ බිරිඳට ඒව කියා නම් තැබුවා. ඒව ඔවුන්ගේ පළමු දරුවා වූ කායින්ට නම් තැබුවා. (උත්පත්ති 2:19, 20; 3:20; 4:1) එතැන් පටන්, සෑම දෙයකටම නමක් තැබීම සඳහා එතරම් උත්සාහයක් දැරීමට මිනිසුන්ට සිදු වී නැහැ. ඇරත් මේ සියල්ල කර තිබෙන්නේ සන්නිවේදනය පහසු කරවීමටයි. ඔව්, නාමයන් නැතිව බුද්ධිමත් ලෙස අදහස් හුවමාරු කරගැනීම මොන තරම් දුෂ්කර දෙයක් වනු ඇද්ද!

යම් යම් දේවල්වලට නම් තැබීම සඳහා හැකියාවක් හා ආශාවක් තිබෙනවාට අමතරව, මිනිසුන්ට වෙනත් බොහෝ සන්නිවේදන දක්ෂතාද තිබෙනවා. ඊට ඇතුළත් වන්නේ වාචික සන්නිවේදනයම නොවේ. ඇත්තවශයෙන්ම, කිසිම සීමාවකින් තොරව සංකීර්ණ සංකල්පවල සිට වඩාත් සියුමැලි හැඟීම් දක්වා වූ හැඟීම් එකිනෙකා සමඟ බෙදාගන්නට අපට හැක. එහෙත්, මේ සියලු සන්නිවේදනයන් බොහෝ සෙයින් අභිභවා යන සන්නිවේදන ක්‍රමයක් තිබෙනවා. දැන් අපි ඒ ගැන සලකා බලමු.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

කළාමැදිරියාගේ සීතල එළිය

තාපදීප්ත ආලෝක බල්බයක් එහි ආලෝක ශක්තියෙන් සියයට 90කට වඩා තාපය ලෙස මුදාහරිනවා. එහෙත් ඉතා සංකීර්ණ වූ රසායනික ප්‍රතික්‍රියාවන් මත පදනම් වූ කළාමැදිරියෙකුගේ එළිය තාපය ලෙස කිසිම ශක්තියක් අපතේ යවන්නේ නැති තරම්. එහි කාර්යක්ෂමතාව සියයට 90ක සිට 98ක් දක්වා තරම් ඉහළ මට්ටමක පවතියි. මේ නිසා, කළාමැදිරියාව සීතල එළිය ලෙස හැඳින්වීම නිවැරදියි. ආලෝකය නිපදවන මෙම රසායනික ප්‍රතික්‍රියාවන් සිදු වෙන්නේ ෆොටොසයිට් යනුවෙන් හැඳින්වෙන විශේෂ සෛල තුළයි. මෙම ෆොටොසයිට් එළිය නිවා දැමීම හා පත්තු කිරීම සිදු කරන්නේ ස්නායුවලින්.

[හිමිකම් විස්තර]

John M. Burnley/Bruce Coleman Inc.

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබේ සන්නිවේදන කුසලතා දියුණු කරගැනීමට යෝජනා

1. අනුන් කතා කරන විට, උනන්දුවෙන් ඇහුම්කන් දෙන්න. සංවාදයක් පවත්වද්දී අන් අයව යටපත් කර දමන ආකාරයෙන් කතා කරන්න එපා. වචනයක් වැරදියට උච්චාරණය වුණත්, ව්‍යාකරණ දෝෂයක් සිදු වුණත්, අසන්නන් එය එතරම් ගණන් ගන්නේ නැහැ. නමුත් නිතරම දොඩවන්නට කැමති නමුත් අසන්නට අකමැති අයට කිසිවෙක් ළං වෙන්නේ නැහැ. බයිබලයේ කියන්නේ “ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය” කියායි.—යාකොබ් 1:19, NW.

2. ඔබ අවට සිටින ජීවීන් සහ දේවල් ගැන සැලකිලිමත් වන්න. නානාවිධ පොත් පත් කියවන්න; නමුත් කියවන දේ ගැන කල්පනාකාරී වන්න. ඔබ ඉගෙනගන්නා දේවල් ගැන සාකච්ඡා කරන විට, ඔබේ කතාව විනීතකමින් හා යටහත් පහත්කමින් රස ගන්වන්න.—ගීතාවලිය 5:5; හිතෝපදේශ 11:2.

3. ඔබේ වාග්මාලාව පුළුල් කරගන්න. නමුත් කතා කරන විට සරල වචන යොදාගන්න. කතා කරන විට ඔබ දෙසට අවධානය ඇදගන්නාවූ මහප්‍රාණ යෙදුම් පාවිච්චි කරන්නට එපා. ජනතාව යේසුස් ගැන කීවේ, “කිසි කලක කිසිම මිනිසෙකු මේ වගේ නම් කතා කළේ නැත” කියායි. (යොහන් 7:46, NW) එහෙත්, ‘නූගත් සාමාන්‍ය මිනිසුන්ට’ පවා යේසුස්ගේ වචන තේරුම්ගැනීම ගැටලුවක් වූයේ නැහැ.—ක්‍රියා 4:13, NW.

4. පැහැදිලිව කතා කරන්න. වචන නිවැරදි ලෙස උච්චාරණය කරන්න. එහෙත්, අසා සිටින්නන්ව කුල්මත් කිරීම පිණිස වචන අනවශ්‍ය ලෙස කාවැද්දීමට උත්සාහ කරන්න එපා. අප පැහැදිලිව හා තර්කානුකූලව කතා කරන විට, වචන එක ගොන්නට ශබ්ද කිරීමෙන් හා වචනවල සමහර අකුරු ගිල දැමීමෙන් අපි වැළකී සිටිනවා. එවිට අපේ කතාව ගෞරවාන්විත තලයක තබාගැනීමට හැකි වන අතර, අපට සවන් දෙන්නන්ට කාරුණික වීමටත් අපට හැකියාව ලැබෙනවා.—1 කොරින්ති 14:7-9.

5. ඔබේ සන්නිවේදන කුසලතා දිව්‍යමය ත්‍යාගයක් බව වටහාගන්න. එය ඔබට ඉවහල් වේවි එම හැකියාවන් නිසි ලෙස අගය කරන්න.—යාකොබ් 1:17.

[5වන පිටුවේ පින්තූරය]

පටපණු සලබයන්ට ඉතා සියුම් සංවේදී ස්පර්ශක තිබෙනවා

[හිමිකම් විස්තර]

Courtesy Phil Pellitteri

[6, 7වන පිටුවේ පින්තූරය]

කෑරලා

[7වන පිටුවේ පින්තූරය]

පාරාදීස කුරුල්ලා

[හිමිකම් විස්තර]

© Michael S. Yamashita/CORBIS

[7වන පිටුවේ පින්තූරය]

පාම් කොකටුවා

[හිමිකම් විස්තර]

Roland Seitre