Skip to content

පටුනට යන්න

ඔබේ සෞඛ්‍යය රැකගැනීමට ක්‍රම 6ක්

ඔබේ සෞඛ්‍යය රැකගැනීමට ක්‍රම 6ක්

ඔබේ සෞඛ්‍යය රැකගැනීමට ක්‍රම 6ක්

සංවර්ධනය වෙමින් පවතින රටවල තිබෙන අභියෝගයක්

විශේෂයෙන්ම පිරිසිදු ජලය සහ ප්‍රමාණවත් සනීපාරක්ෂාව හිඟ රටවල සිටින ජනයා ඇතුළු වෙනත් බොහෝ ස්ථානවල සිටින ජනයාටද පිරිසිදුව සිටීම සඳහා ඉමහත් වෑයමක් දැරීමට සිදු වී ඇත. කෙසේනමුත් එම වෑයම අගනේය. ගණන් බලා තිබෙනාකාරයට, බාල දරුවන්ට වැලඳෙන සියලුම රෝගවලින් හා ඔවුන්ට අත් වන මරණවලින් අඩකට වඩා සිදු වන්නේ, අපිරිසිදු දෑත්වලින් හෝ අපවිත්‍ර වූ ආහාර නැතහොත් ජලය මාර්ගයෙන් ඔවුන්ගේ මුඛ තුළට ඇතුල් වන විෂබීජ නිසාය. විශේෂයෙන්ම පාචනය ඇතුළු බොහෝ රෝග වළකාගැනීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් පළ කරන ලද දිවි ගමනට අත්වැලක් (සිංහලෙන් නැත) නම් ප්‍රකාශනයේ සඳහන් මතු දැක්වෙන යෝජනා අදාළ කරගන්න.

1 මල මූත්‍ර යනාදිය නිසි ලෙස ඉවතලන්න

මල මූත්‍රවල විෂබීජ බහුලව ඇත. ජලය හා ආහාර තුළද, එසේ නැතහොත් දෑත්, භාජන හෝ ආහාර පිළියෙළ කරන මෙන්ම බෙදන ස්ථාන මතුපිටද රෝගකාරක විෂබීජ පතිත වුවහොත්, ඒවා මුඛය තුළින් සිරුරට ඇතුල් වීම හේතුවෙන් රෝගී විය හැකියි. එම විෂබීජ පැතිරීම වළකාලීමට හොඳම ක්‍රමය වන්නේ මල මූත්‍ර සියල්ලම ඉවතලෑමයි. මිනිසාගේ මල මූත්‍ර ඉවතලිය යුත්තේ වැසිකිළිය තුළින්ය. නිවෙස් අසල හා දෙවටවල්වල හෝ දරුවන් කෙළි සෙල්ලම් කරන ස්ථානවල සත්ව මල මූත්‍ර නොතිබෙන බවට වගබලා ගන්න.

වැසිකිළි නොමැති නම් මල මූත්‍ර වහාම වළලා දමන්න. ළදරුවන් ඇතුළු සියල්ලන්ගේම මල මූත්‍ර විෂබීජ වාහකයන් බව මතක තබාගන්න. එමනිසා දරුවන්ගේ මල මූත්‍රද වැසිකිළියකට දැමිය යුතුයි; නැතහොත් වළලා දැමිය යුතුයි.

නිවස තුළ තිබෙන වැසිකිළි වතුර පහරක් ගසා නිතර හොඳින් පිරිසිදු කරන්න. පිටත තිබෙන වැසිකිළිද නිසි ලෙස පිරිසිදු කර වසා තබන්න.

2 ඔබේ දෑත් සෝදන්න

නිතිපතා ඔබේ දෑත් සේදිය යුතුයි. සබන් සහ ජලය නැතහොත් අළු සහ ජලය යොදා දෑත් සේදීමෙන් විෂබීජ ඉවත් වේ. ජලයෙන් දෑත් සේදීම පමණක් මදි. අත් දෙකේම සබන් හෝ අළු අතුල්ලා සේදිය යුතුයි.

මල පහ කළ පසු සහ මල පහ කළ ළදරුවෙකුව හෝ ළමයෙකුව සේදූ පසු ඔබේ දෑත් සේදීම අනිවාර්යයෙන් කළ යුතුයි. සතුන්ව ඇල්ලීමෙන් පසු, ආහාර පාන ඇල්ලීමට පෙර සහ දරුවන්ට කැවීමට පෙර ඔබේ දෑත් සෝදන්න.

රෝග හටගන්වන පණුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා දෑත් සේදීම ජනයාට මහඟු උපකාරයක් වේ. අන්වීක්ෂයක් නොමැතිව මෙම පණුවන් දැකගත නොහැකි තරම්ය. උන් වෙසෙන්නේ මල මූත්‍රාවල, නොගැඹුරු ජලයේ සහ පසෙහි මෙන්ම අමු හෝ නිසි ලෙස නොපිසූ මස්වලය. ශරීරය තුළට පණුවන් ඇතුල් වීම වළකාගත හැකි ප්‍රධාන මාර්ගයකි ඔබේ දෑත් සේදීම. එපමණක්ද නොව, වැසිකිළි අසල සිටින විට පාවහන් පැළඳීම මගින් එහි සිටීමට ඉඩ තිබෙන පණුවන් ඔබේ යටි පතුලේ සමෙන් ශරීරය තුළට ඇතුල් වීම වළක්වාගත හැකියි.

දරුවන් නිතර අත කටේ දමන නිසා නිතරම ඔවුන්ගේ දෑත් සෝදන්න. විශේෂයෙන්ම ඔවුන් මල පහ කළ පසු සහ ඔවුන් ආහාර ගැනීමට පෙර එසේ කරන්න. තමන්ටම තමන්ගේ දෑත් සෝදාගැනීමට හා වැසිකිළි හෝ කැත කරන තැන් අසල සෙල්ලම් නොකිරීමට ඔවුන්ට උගන්වන්න.

3 දිනපතා ඔබේ මුහුණ සෝදන්න

ඇස් ලෙඩවලින් වැළකීමට උපකාරකයක් වශයෙන් සෑම දවසකම සබන් යොදා ජලයෙන් ඔබේ මුහුණ සෝදන්න. දරුවන්ගේ මුහුණද සේදිය යුතුයි. කිලිටි මුහුණට විෂබීජ වාහක මැස්සෝ ඇදී එති. ඇස් ලෙඩ මෙන්ම අන්ධභාවය පවා ඇති කිරීමට මෙම විෂබීජවලට හැකියි.

ඔබේ දරුවන්ගේ ඇස් නිතිපතා සෝදිසි කරන්න. නිරෝගී ඇස් තෙතමනය ඇති දීප්තිමත් ඇස්ය. ඇස් වියළී, රතු වී හෝ ඉදිමී ඇත්නම්, එසේ නැතහොත් ඒවායින් ශ්‍රාවයක් පිට වේ නම් සෞඛ්‍ය සේවකයෙකු හෝ වෛද්‍යවරයෙකු ලවා දරුවාව සෝදිසි කළ යුතුයි.

4 පිරිසිදු ජලය පමණක් භාවිත කරන්න

පිරිසිදු ජලය භාවිත කරන විට හා එය විෂබීජවලින් තොරව තබාගන්නා විට පවුල් සාමාජිකයන්ට රෝග සෑදෙන්නේ අල්ප වශයෙනි. නිසි ලෙස නිමවා, නඩත්තු කළ නල පද්ධතියකින් හෝ අපිරිසිදු නොවූ ළිං හා උල්පත්වලින් එන ජලය නම් පිරිසිදුව තිබිය හැක. පොකුණු, ගංගා සහ විවෘත ටැංකි හෝ ළිංවලින් ලබාගත් ජලය පවිත්‍රව නොතිබීමට ඇති ඉඩ කඩ වැඩි නමුත් උතුරන තෙක් උණු කරගැනීමෙන් එය ආරක්ෂිත කරගත හැකියි.

ළිං වසා තැබිය යුතුයි. ජලය ගැනීමට හා පුරවා තැබීමට භාවිත කරන බාල්දි, ලණු හා බුජම් නිතිපතා සේදිය යුතු අතර බිම නොතබා පිරිසිදු තැනක ඒවා තැබිය යුතුයි. සත්වයන්ව තැබිය යුත්තේ පානීය ජලය ලබාගන්නා තැන්වලින් හා තමන් වෙසෙන ප්‍රදේශවලින් ඈත්වයි. භාවිතයට ගැනෙන ජලය තිබෙන තැනක් අසල පළිබෝධනාශක හෝ රසායන ද්‍රව්‍ය භාවිත නොකරන්න.

නිවස තුළ ජලය තැබිය යුත්තේ ආවරණය කළ පිරිසිදු භාජනයකයි. හොඳම ක්‍රමය වන්නේ කරාමයක් තිබෙන භාජනයක ජලය තබාගැනීමයි. කරාමයක් නැත්නම් භාජනයෙන් ජලය ගත යුත්තේ පිරිසිදු අඬුව දිග භාජනයකින් හෝ පිරිසිදු කෝප්පයකිනි. අපවිත්‍ර දෑත්වලින් කිසිවිටකත් පානීය ජලය නෑල්ලිය යුතුයි.

5 ආහාර විෂබීජවලින් රැකගන්න

ආහාර නිසි ලෙස පිසීමෙන් විෂබීජ නසාගැනීමට හැකියි. ආහාර, විශේෂයෙන්ම මස් වර්ග හොඳින් පිසිය යුතුයි. උණු ආහාර මත ඉක්මනින් විෂබීජ වැඩේ. එබැවින්, ආහාරයක් පිස වැඩි වේලාවක් යෑමට පෙර ආහාරයට ගත යුතුයි. පැය දෙකකට වැඩි කාලයක් ආහාර තබාගැනීමට ඔබට අවශ්‍ය නම් එය උණුසුම් හෝ ශීත ස්ථානයක තැබීමට වගබලා ගන්න. තවද, පිසූ ආහාරය වෙනත් වේලකට තබාගන්න ඔබට වුවමනා නම් එය වසා තබන්න. මෙමගින් එය මැස්සන් හා කෘමීන්ගෙන් ආරක්ෂා වේ. ආහාරයට ගැනීමට පෙර එය යළි රත් කරන්න.

බිලිඳුන්ට හා පුංචි ළමුන්ට හොඳම හා සුරක්ෂිතම කිරි මව් කිරි වේ. සත්ව කිරි උතුරවාගත් ගමන්ම හෝ පැස්ටරීකරණය කර තිබෙන විට උතුරවා නොගත් කිරිවලට වඩා ආරක්ෂා සහිතය. කිරි බෝතල් පාවිච්චි කරන සෑම අවස්ථාවකටම පෙර උතුරන වතුරෙන් සේදීමට වගබලා ගන්න. එසේ නොකරනවා නම් ඒවා භාවිතයෙන් වළකින්න. බොහෝවිට කිරි බෝතල්වලින් විෂබීජ ඇතුල් වන නිසා පාචනය හටගනී. දරුවන්ට මව් කිරි දීම හෝ පිරිසිදු කෝප්පයකින් පෙවීම වඩාත් සුදුසුය.

පලතුරු සහ එළවළු පිරිසිදු ජලයෙන් සෝදන්න. බිලිඳුන්ට හා පුංචි ළමුන්ට ඒවා අමුවෙන් දෙනවා නම් එසේ සේදීම විශේෂයෙන්ම වැදගත් වේ.

6 ගෙදර දොරේ කැළි කසළ සියල්ල ඉවත් කරන්න

මැස්සන්, කැරපොත්තන් සහ මීයන් යනාදි සත්තු විෂබීජ වාහකයෝ වෙති. මේ සත්තු අපද්‍රව්‍ය මත සපලව වැඩෙති. ඔබ වෙසෙන ස්ථානයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට විධිවිධානයක් නැත්නම් ගෙදර දොර කැළි කසළ සියල්ල දිනපතා කුණු වළකට දමා වසා දමන්න; නැතහොත් පුලුස්සා දමන්න. ඔබේ නිවස අපද්‍රව්‍යවලින් හා අපවිත්‍ර ජලයෙන් තොරව පිරිසිදුව තබාගන්න.

ඔබ නිතිපතා මෙම යෝජනා පිළිපදින්නෙහි නම්, එය ඉබේම ඔබේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත් වනු ඇත. ඒවා අමාරු කාර්යයන් නොවන අතර ක්‍රියාත්මක කිරීමට වැඩි මුදලක්ද වැය නොවන නමුත් ඒවා ඔබේ මෙන්ම ඔබේ පවුලේද සෞඛ්‍යය රකිනු ඇත.

[11වන පිටුවේ පින්තූරය]

වැසිකිළි නොමැති නම් මල මූත්‍ර වහාම වළලා දමන්න

[11වන පිටුවේ පින්තූරය]

ඔබේ දෑත් නිතර සෝදන්න

[12, 13වන පිටුවේ පින්තූරය]

දිනපතා ඔබේ මුහුණ සබන් යොදා ජලයෙන් සෝදන්න

[12වන පිටුවේ පින්තූරය]

පිරිසිදු ජලය භාවිත කිරීමෙන් හා එය විෂබීජවලින් තොරව තබාගැනීමෙන් පවුල්වලට වැලඳෙන අසනීප අවම කරගත හැක

[13වන පිටුවේ පින්තූරය]

පිසින ලද ආහාර තව වේලකට තබාගැනීමට වුවමනා නම් එය ආවරණය කර තබන්න

[13වන පිටුවේ පින්තූරය]

ගෙදර දොර අපද්‍රව්‍ය දිනපතා වළලා හෝ පුලුස්සා දැමිය යුතුයි