Skip to content

පටුනට යන්න

ජීවනයට මඟ පෙන්වන සන්නිවේදනය

ජීවනයට මඟ පෙන්වන සන්නිවේදනය

ජීවනයට මඟ පෙන්වන සන්නිවේදනය

මිහිකතගේ සියලුම මැවිලි අතරින්, එකිනෙකා සමඟ පමණක් සන්නිවේදනය කිරීමෙන් සෑහීමකට පත් නොවන එකම ජීවියා මිනිසා පමණයි. තමන්ගේ ජාතිය, සමාජ තත්වය, ලිංග භේදය හෝ අධ්‍යාපන තත්වය කුමක් වුවත් ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වන දෙවි සමඟ සන්නිවේදනය කිරීමට හෙවත් කතා කිරීමට මිනිසුන් දැඩි ආශාවක් පෙන්වා තිබෙනවා.

මෙය නිකම්ම පුහු මිථ්‍යාවක්ද? කොහෙත්ම නැහැ! මීට පෙර ලිපියේ සඳහන් වුණාක් මෙන්, දෙවි මිනිසුන්ව මැව්වේ තමාගේම ස්වරූපයෙනුයි. ඔහු අප තුළ ඉතා විශේෂ වූ අධ්‍යාත්මික ගුණයක් ඇති කර තිබෙනවා. මීට ඇතුළත් වෙන දෙයක් නම්, අපගේ ස්වර්ගික පියාණන් වශයෙන් ඔහු සමඟ කතා කිරීමට අප තුළ ආශාවක් තිබීමයි. (උත්පත්ති 1:27; මතෙව් 5:3, NW) ඇත්තෙන්ම, අප දෙවි සමඟ අදහස් හුවමාරු කරගැනීම කොතරම් වැදගත් දෙයක් ලෙස ඔහු සලකනවාද යත්, ඔහුව හඳුන්වා තිබෙන්නේද “යාච්ඤා අසන තැනැත්තා” කියායි.—ගීතාවලිය 65:2.

සර්වබලධාරි තැනැත්තාට යාච්ඤා කිරීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද! ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු වැනි වැදගත් ගෞරවනීය පුද්ගලයෙකු සමඟ පෞද්ගලිකව කතා කිරීමට ලැබීම වැඩිදෙනෙක් සලකන්නේ වරප්‍රසාදයක් ලෙසටයි. එහෙත්, යෙහෝවා දෙවි තමයි විශ්වයේ සිටින අතිශ්‍රේෂ්ඨතම තැනැත්තා! අනික, ඔහු සමඟ කතා කිරීමට අපට කලින් වේලාවක් නියම කරගැනීම අවශ්‍ය නැහැ. අපට ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී යාච්ඤා කරන්නට පුළුවන්. ඒ වගේම අපට නිහඬව හිතෙන් දෙවිව ඇමතීමටත් පුළුවන්. (1 සාමුවෙල් 1:12-15) කෙසේවෙතත්, අප දෙවි සමඟ අවංකව කතා කිරීමත් අප ඔහුට සවන් දී කීකරු වීමත් දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. (මීකා 6:8; මතෙව් 6:5-13) හොඳින් අදහස් හුවමාරු කරගැනීමට නම් දෙපාර්ශ්වයම ඊට සම්බන්ධ විය යුතුයි. එහෙම නේද?

ඔබ දෙවිට සවන් දෙනවාද?

යමෙක් දෙවිට සවන් දෙන්නේ කොහොමද? මූලික වශයෙන් ඔහුගේ ලිඛිත වචනය වන ශුද්ධ බයිබලයේ අඩංගු ඉගැන්වීම් කියවීමෙන් හා අදාළ කරගැනීමෙන්. (2 තිමෝති 3:16; 2 පේතෘස් 1:20, 21) “මිනිසා ජීවත් විය යුත්තේ . . . යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි” කියා යේසුස් පැවසුවා. (මතෙව් 4:4, NW) දෙවිගේ ලිඛිත වචනය කියවීම හා අදාළ කරගැනීම මගින් ඔබ ඔහුට සවන් දෙනවාද?

යෙහෝවා සමඟ නිතර නිතර කතා කරන අය ඔහුගේ අනුමැතිය දිනාගෙන “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය” භුක්ති විඳිනවා. (ෆිලිප්පි 4:6, 7, NW; හිතෝපදේශ 1:33) එමෙන්ම, අප අද දින අද්දකින්නාවූ සියලු කාන්සාවන් හා දුක් වේදනාවලින් තොර, පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ අපේක්ෂාවද ඔවුන්ට තිබෙනවා. (ගීතාවලිය 37:29; යොහන් 17:3) බුද්ධිමත් සන්නිවේදනය නමැති මෙම ප්‍රාතිහාර්යය උපරිම හොඳින් යොදාගැනීමෙන් අත් කරගත හැකි දෙය මොන තරම් පුදුමාකාරද!

[10වන පිටුවේ පින්තූරය]

බයිබලය කියවීමෙන් සහ යාච්ඤා කිරීමෙන් දෙවි සමඟ අදහස් හුවමාරු කරගත හැකියි