Skip to content

පටුනට යන්න

පිපිරීමකින් අනතුරුව

පිපිරීමකින් අනතුරුව

පිපිරීමකින් අනතුරුව

ඉක්වදෝරයේ පිබිදෙව්! ලේඛක විසින්

වර්ෂ 2002 නොවැම්බර් 20වන දා, ඉක්වදෝරයේ රියෝබම්බා නගරයට උදා වූ තවත් සුන්දර දවසක්. එදින නිල්වන් පැහැයක් ගත් සන්ධ්‍යා අහස් කුසේ වලාකුළු පුළුන් මෙන් දිස් වුණා. අවට තිබූ හිමෙන් වැසුණු ගිනි කඳු දර්ශනීය බිතු සිතුවමක් වගේයි. මුහුදු මට්ටමේ සිට මීටර 2,700ක් පමණ ඉහළ ඇන්ඩීස් කඳුකරයේ ජීවත් වූ මිනිසුන් 1,24,000දෙනා තම එදිනෙදා කාර්යයන්වල නිරත වූයේ මෙම නිස්කලංක පරිසරය තව ස්වල්ප මොහොතකින් වෙනස් වේවි යන්න පිළිබඳ අල්ප මාත්‍රයක හෝ සැකයක් නොමැතිවයි. එම නිස්කලංක සන්ධ්‍යාවේ හදිසියේම කන් අඩි පැළෙන තරමේ පිපිරුම් හඬක් ඇසුණා. ජනෙල් සහ පොළොව දෙදුරුම්කන්න පටන්ගත්තා. ඉන්පසු ඉක්මනින්ම ප්‍රසාරණය වන බිම් මලක් හැඩැති වලාපටලයක් තැනුණා. එය බියකරු දසුනක්!

විනාඩි දහයක් ඇතුළත දෙවෙනි පිපිරුම සිදු වුණා. පීඩන තත්වය නිසා සිදු වූ අධිකම්පනයට ජනේලවල වීදුරු කැඩී බිමට වැටුණ අතර දොරවල් සරනේරුවලින් ගැලවී විසි වී ගියා. බුර බුරා නැඟුණ ගිනි සහ දුම් ජාලාවක් ඇති වුණා. එය කලින් දුටු වලාපටලය මෙන් නොව එය ඉතාමත් පුළුල්ව පැතිරුණු ගිනි ජාලාවක්. ඉන්පසු එක දිගටම පිපිරුම් කිහිපයක් සමඟින් ගිනි දැල් මතු වුණා.

හැටවන වියේ පසු වන හෝසේ සහ ඔහුගේ භාර්යාව වන ඇනා යෙහෝවාගේ සාක්ෂිකරුවන්. ඔවුන් ජීවත් වුණේ පිපිරීම සිදු වුණ ස්ථානයේ සිට මීටර 400ක් පමණ එහායින්. පිපිරීමෙන් සිදු වූ කම්පනය හේතුවෙන් ඔවුන් දෙදෙනාව විසි වී ගොස් බිම ඇදගෙන වැටුණා. ඉදිරිපස දොර ගැලවී පිටුපස බිත්තියක වදින විට ඇනා සිටගෙන සිටියේ එම දොර ළඟයි. බියට පත් යුවළ නිවසේ පිටුපසට දිව යද්දී වහලේ සිවිලිම ඔවුන් මතට කඩා වැටෙන්න පටන්ගත්තා. කෙසේ හෝ පිටුපස තිබූ කුඩා මිදුලට යන්න ඔවුන්ට හැකි වුණා. එහිදී ඔවුන් එකට ගුලි වෙලා යාච්ඤා කළා. විනාඩි 15කට පසු සැනසුම් සුසුමක් හෙළීමට හැකි කරවමින් ඔවුන්ගේ පුතා ඔවුන්ව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්න වාහනයකින් පැමිණියා.

සමහරෙකු අනතුරුවලට මුහුණ පෑවා. පිපිරීම් සිදු වුණාට පසුව, මිනිස්සු දහස් ගණන් කලබල වෙලා එක පොදියට දිව්වා. ඒ අස්සේ සමහරෙකු බෙරිහන් දී කෑගැසුවා. තවත් අය ලිස්සා මඟ දෙපස වැටී තිබෙන වීදුරු කටු උඩ වැටුණා. නගරයෙන් පිටවීම සඳහා රියැදුරෝ කාර්, බස් සහ ට්‍රක් රථ අධිවේගයෙන් පදවාගෙන ගියා. සමහරෙකු එක් දිශාවකට පමණක් ගමන් කරන මාර්ගවල ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තම වාහන පැදෙව්වා! පාසැලේ සහ රැකියා ස්ථානයේ සිට කෙළින්ම පලා ගිය අයට තමන්ගේ පවුල්වල අය කොහේද කියා පැය 24ක් පමණ ගත වන තුරු දැනගැනීමට නොහැකි වුණා.

මෙම කලබැගෑනියට හේතුව හමුදා මූලස්ථානයක පොළොව යට තිබූ අවි ගබඩාවේ ඇති වූ ගින්නක්. එම ගින්න නිසා අවි ගබඩාවේ තිබූ අත් බෝම්බ, ටැංකි, මෝටාර් ෂෙල් වෙඩි සියල්ල එක දිගට පිපිරෙන්න පටන්ගත්තා. මෙසේ පිපිරීම් සිදු වෙන අවස්ථාවේදී, සියලුමදෙනා නගරයෙන් කිලෝමීටර 15ක් පමණ ඈතට යා යුතුයි කියා පොලිසිය විසින් ශබ්ද වාහිනි යන්ත්‍ර යොදාගෙන නිවේදනය කළා.

රියෝබම්බා නගරය මිනිස් පුළුටක් නැති පාළු ස්ථානයක් බවට පත්වීමට ගත වූයේ නිමේෂයකි. වැසියන් දහස් ගණනක් නගරයෙන් පිටත මහා මාර්ගවල මහ රෑ සීතලේ එකට තෙරපිලා හිටියා. සමහරෙකුගේ ඇඟේ කබායක්වත් නැහැ. පැය කිහිපයකට පසු පිපිරුම ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගියා. වැසියන් නැවත නගරයට සුපරීක්ෂාකාරීව ඇවිදගෙන යන්න පටන්ගත්තේ දරාගත නොහැකි ශීත නිසයි. බොහෝදෙනෙකුට තමන්ගේ නිවෙස්වල ජනෙල්, දොරවල්, වහලවල්, සිවිලිම් සහ බිත්තිවලට බරපතළ ලෙස හානි වී තිබෙන බව පසු දා අලුයම් වූ විට දුටුවා. කිණිස්සක් ආකාරයේ වීදුරු කැබැල්ලක් තමන්ගේ නිදන කාමරයක මෙට්ටය පසාරු කරගෙන ගොස් තිබෙන බවයි තවත් පවුලක් දුටුවේ. වෙනත් අය තමන්ගේ නිවෙස් තුළත් පිටතත් බෝම්බවල සුන් බුන් වැටී තිබෙන ආකාරය දුටුවා.

මුලින්ම ලැබුණ ආරංචිවලට අනුව අවම වශයෙන් 7දෙනෙක් මිය ගොස් ඇති අතර 538දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අලාභ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 18,000යි. එම ප්‍රදේශයේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් 950දෙනාගෙන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදු නොවුණත් දෙදෙනෙකුට දරුණු කැපුම් තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදු වුණා.

විපතට පත් වූවන්ට උපකාරය

පිපිරීම් සිදු වූ දිනට පසු දා උදෑසන එම ප්‍රදේශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන්හි සිටින වැඩිමහල්ලන් තම ක්‍රිස්තියානි සහෝදරයන් මුහුණ දෙන තත්වය සොයා බැලීමට පැමිණියා. එම දිනයේදීම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක සේවකයෙක් රියෝබම්බාහි සහ ඒ අවට සභා 13ක සිටින වැඩිමහල්ලන්ව මුණගැසුණා. ඔහු එසේ පැමිණියේ අලාභ හානි හා තුවාල වූ අයට කුමනාකාරයේ උපකාර පිරිනැමිය යුතුදැයි තීරණය කිරීම සඳහායි. විපතෙන් බේරුණ අයගේ මානසික සුවය ගැනත් ආත්මික අවශ්‍යතා ගැනත් සැලකිලිමත් වන මෙන් වැඩිමහල්ලන්ගෙන් ඉල්ලා සිටියා. එවන් දුෂ්කර තත්වයන්වලදී ක්‍රිස්තියානි රැස්වීම් යෑම අත්‍යවශ්‍යයි! (හෙබ්‍රෙව් 10:24, 25) එමනිසා ව්‍යසනයට පසු දින සන්ධ්‍යාවේ ප්‍රාදේශීය සභා විසින් සුපුරුදු පරිදි රැස්වීම් පැවැත්වුවා.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්වල සාක්ෂිකරුවන්ගේ නිවෙස්වලට සිදු වී තිබෙන අලාභ හානි පිළිබඳ විස්තර සම්පාදනය කර ගුයියාකිල්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට යවනු ලැබුවා. නිවැසියන්ව අධික සීතලෙන් ආරක්ෂා කරගැනීම සඳහා විනාශ වී තිබෙන ජනෙල් විශාල සංඛ්‍යාවක් ආවරණය කිරීමේ හදිසි අවශ්‍යතාව එම වාර්තාවේ සඳහන් කළා. පැය කිහිපයක් ඇතුළත ශාඛා කාර්යාලය තාවකාලිකව අලුත්වැඩියා කිරීම් සඳහා ඝනකම් ඉටි රෙදි රෝල, ටේප් පටි රෝල සහ කොන්ක්‍රීට්වලට ගැසිය හැකි ඇණ විශාල ප්‍රමාණයක් මිල දී ගත්තා.

ශාඛා කාර්යාලයේ සිට බඩු තොගය රැගත් ට්‍රක් රථය සෙනසුරාදා උදේ 9 වන විට පැමිණියා. ඒ වන විටත් සහෝදර සහෝදරියන් කණ්ඩායමක් ඉටි රෙදි ආවරණය කිරීමේ කටයුත්ත ආරම්භ කිරීමට හැකි වන පිණිස තම සෙසු සාමාජිකයන්ගේ නිවෙස්වල කැඩී බිඳී ගිය වීදුරු කැබලි අස් පස් කරමින් සිටියා. වැඩකටයුතු සංවිධානය කළේ ප්‍රදේශයේ රාජ්‍ය ශාලාවක සිටයි. එක් එක් නිවසට අවශ්‍ය ඉටි රෙදි ප්‍රමාණය ඉක්මනින් මැනීම සඳහා පොළොවේ ලකුණු දමා තිබුණා. සහනාධාර සැපයීමට ගිය පිරිස ගෙනා මිනුම්වලට අනුව ඉටි රෙදි කපා ඉන්පසු එය සවි කිරීමේ කටයුතු භාරව සිටි කණ්ඩායමට ලබා දුන්නා.

කලින් සඳහන් කළ හෝසේ මෙසේ අදහස් දක්වනවා. “සිද්ධියට පස්සේ අපි හවස අපේ ගෙදර එනකොට සහෝදරයෝ සුන් බුන් ඉවත් කරන්න පටන් අරගෙන. සෙනසුරාදා මගේ අල්ලපු ගෙදර ඉන්න නිවැසියා ඇවිත් මගේ නිවසේ ජනෙල් ඉටි රෙදිවලින් ඉතා ලස්සනට ආවරණය කර තිබෙන ආකාරය ගැන හුඟාක් අගය කර මගෙන් ඇසුවා ‘කීයක් වියදම් වුණාද’ කියලා.” එයට අපෙන් කිසිවක් වියදම් වුණේ නැති බව දැනගත් විට එම අසල්වැසියා පුදුම වුණා!

සෙනසුරාදා සවස් වන විට එම ප්‍රාදේශීය සභාවේ ස්වේච්ඡා සේවකයන් 200දෙනෙක් පමණ සාක්ෂිකරුවන්ගේ නිවාස 91ක ජනේල ආවරණය කර තිබුණා. සාක්ෂිකරුවන් නොවන අයත් ඉන් ප්‍රයෝජන ලැබුවා. සාක්ෂිකරුවන් එක් නිවසක වැඩකටයුතු කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් එක් පුවත්පතක පළ කළා. එම නිවසේ සිටින සාමාජිකයන් 8දෙනාගෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වී සිටියේ එක් අයෙකු පමණයි කියාත් එහි සඳහන් වී තිබුණා.

චිත්තවේගීය සහනය

මෙම විපත්තිය චිත්තවේගීය වශයෙන්ද දරුණු බලපෑමක් ඇති කළා. ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන්ට සැනසීමක් ලබා දීමේ අරමුණින් නොවැම්බර් 25වන සඳු දින සවස 5:00ට විශේෂ රැස්වීමක් සංවිධානය කළා. එය මෙහෙයවීමට ඉක්වදෝරයේ ශාඛා කාර්යාලයේ නියෝජිතයන්ව යවනු ලැබුවා. විදුලි බලය නොතිබුණ නිසා අඳුර වැටෙන්න කලින් රැස්වීම පවත්වන්න සිදු වුණා. ඇත්තෙන්ම එම රැස්වීමට සහභාගි වීම පහසු කාර්යයක් වූයේ නැහැ. එමනිසා එයට 600දෙනෙක් පමණක් සහභාගි වෙයි කියා සිතුවා. ඒත් සාක්ෂිකාරයන් නොවන කිහිපදෙනෙක්ද සමඟින් රියෝබම්බා එක්රැස්වීම් ශාලාව 1,421දෙනෙකුගෙන් පිරී ගියා! වැඩසටහනේදී සලකා බැලූ ප්‍රධාන බයිබල් පදයක් වූයේ ගීතාවලිය 4:8යි. “මම සමාදානයෙන් වැතිරී නිදන්නෙමි. යෙහෝවා ඔබ මා උදක්ම සුව සේ වාසය කරවන්නේය.” පැමිණි සියල්ලන්ම එම සැනසිලිදායක ආත්මික වැඩසටහන ගැන තම අගය ප්‍රකාශ කළා.

“ස්වභාවික විපත්ති—සාර්ථකව කටයුතු කිරීමට ඔබේ දරුවාට උපකාර කිරීම” (1996 ඔක්තෝබර් 8) යන ලිපිය අඩංගු පිබිදෙව්! සඟරාවේ පිටපත් විශාල සංඛ්‍යාවක් වැඩසටහනින් පසු දෙමාපියන් අතට පත් කළා. එම ලිපියෙහි එක් ඡේදයක මෙසේ සඳහන් වී තිබුණා.

“විපත්තියක් සිදු වූ සැණෙකින් (1) තමන් තනි වන බව, (2) තමන් පවුලෙන් වෙන් වෙන බව, (3) එම සිද්ධිය නැවතත් සිදු වන බව සහ (4) යමෙකුට අනතුරක් හෝ මරණයක් විය හැකි බව දරුවන්ට සාමාන්‍යයෙන් හැඟේයයි එක්සත් ජනපදයේ හදිසි අවස්ථා පාලනය කිරීමේ ෆෙඩරල් ව්‍යාපාරය (FEMA) ප්‍රකාශ කරයි.” මෙම ලිපිය දෙමාපියන්ට මෙවැනි යෝජනා ඉදිරිපත් කළා.

1. පවුල එකට තබාගැනීමට උත්සාහ දරන්න.

2. සන්සුන්ව සහ ස්ථිරව තත්වය පැහැදිලි කිරීමට කාලය ගන්න.

3. කතා කිරීමට ඔබේ දරුවාට දිරිගන්වන්න.

4. පිරිසිදු කිරීමේ කටයුතුවලට දරුවන්ව සහභාගි කරවාගන්න.

පිබිදෙව්! සඟරාවේ ඉතිරි වූ පිටපත් පසුව අසල්වාසීන් සහ බයිබල් ශිෂ්‍යයන්ට බෙදා දුන්නා.

පිපිරීම් සිදු වී සති 3කට පසු ස්ථිර අලුත්වැඩියා කටයුතු, එනම් අලුත් ජනේල, සිවිලිම්, වහල වැනි දේ අලුත්වැඩියා කිරීම සඳහා ද්‍රව්‍ය මිල දී ගත්තා. ඉන් සති 3කට පසු රාජ්‍ය ශාලා දෙක ඇතුළුව මෙම වැඩකටයුතු සියල්ල අවසන් කළා. මෙම ප්‍රේමණීය සැපයුම් සඳහා අගය පළ කරමින් කළ ප්‍රකාශයන් බොහෝමයි.

“අන්තිම දවස්වලදී” නොයෙක් ආකාරයේ විපත් ඇතිවීම සාමාන්‍ය දෙයක්. (2 තිමෝති 3:1-5) නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම සෙසු සාමාජිකයන්ට සහ ඔවුන්ගේ අසල්වැසියන්ට දෙන උපකාරය සැබෑ ක්‍රිස්තියානිකම පිළිබඳ කදිම සාක්ෂියක්. හෝසේ ඉතාමත් නිවැරදි ලෙස කියා සිටින්නේ මෙලෙසයි. “අපට අවශ්‍යතා තියෙන විට ඒවා ඉටු කර දීමට යෙහෝවාගේ සංවිධානය කවදත් ප්‍රමාද වෙන්නේ නැහැ.”

[25වන පිටුවේ පින්තූර]

පිරිසිදු කිරීම සඳහා සාක්ෂිකරුවන් 200දෙනෙක් පමණ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. අලුත් ජනේල සඳහා මිමි ගෙන ඒවා කපා සවි කළා. නැවත වහල සෙවිලි කළා