Skip to content

පටුනට යන්න

මගේ ආගම වුණේ විද්‍යාවයි

මගේ ආගම වුණේ විද්‍යාවයි

මගේ ආගම වුණේ විද්‍යාවයි

පැවසුවේ කෙනත් ටානාකා

‘සත්‍යය ඔබව නිදහස් කරන්නේය.’ විද්‍යාත්මක දැනුමේ හිණි පෙත්තටම නඟින්න මා තුළ පෙලඹීමක් ඇති කළේ කැලිෆෝනියාවේ තාක්ෂණවේදී ආයතනයේ (කැල්ටෙක්) එක් මුද්‍රාවක සඳහන් වෙලා තිබුණු ඒ වචන කාණ්ඩයයි. මම 1974දී එහි ලියාපදිංචි වෙලා පර්යේෂණවල නියැලෙන විද්‍යාඥයෙකු වීමේ අරමුණ ඇතුව මගේ ගමන ආරම්භ කළා. භූ විද්‍යාව පිළිබඳ මගේ ප්‍රථම උපාධිය හා පශ්චාත් උපාධිය සම්පූර්ණ කළාට පස්සේ, කැලිෆෝනියාවේ සැන්ටා බාර්බරා විශ්වවිද්‍යාලයේ මං මගේ අධ්‍යයන කටයුතු දිගටම කරගෙන ගියා.

විද්‍යාඥයෙකු හැටියට සාර්ථකත්වයක් ලබමින් සිටිය අතරතුරේදී, මගේ අධ්‍යාත්මික අදහස්වල හා සාරධර්මවල මම විශාල වෙනස්කම් කළා. පරිණාමවාදය සම්බන්ධයෙන් මම හැදෑරූ දේවල් නිසා දෙවි කෙරෙහි තිබුණු මගේ විශ්වාසය වැළලී ගොස් තිබුණත්, පසු කාලයකදී මගේ අදහස් නැවත සලකා බලන්න මා තුළ දැඩි පෙලඹීමක් ඇති වුණා. පර්යේෂණ කටයුතුවල නියැලෙන භූ විද්‍යාඥයෙකු වන මා දෙවිට විශ්වාසවන්තව නමස්කාර කරන කෙනෙකු බවට පත් වුණේ කොහොමද? මෙය සිදු වුණ ආකාරය මං දැන් ඔබට පැහැදිලි කරන්නම්.

විශ්වය කෙරෙහි සිත ඇදී ගිය ළමයෙක්

විද්‍යාව ගැන මා තුළ උනන්දුවක් ඇති වෙන්න පටන්ගත්තේ කුඩා කාලයේ සිටයි. මං පොඩි කාලේ අ.එ.ජ. වොෂිංටනයේ පිහිටි සියැට්ල් කියන ප්‍රදේශයේ ඇති දැඩි වුණ අතර මගේ දෙමාපියන් උසස් අධ්‍යාපනයක් ලබාගන්න මාව හුඟාක් දිරිගැන්වුවා. මම මහත් ආශාවකින් විශ්වය ගැන පොත් පත් කියෙව්වා. පදාර්ථයේ හා ජීවයේ සංයුතිය, මූලික භෞතික බලයන් සතර, අභ්‍යවකාශය, කාලය හා සාපේක්ෂතාවාදය ගැන තිබෙන පොත් මම කියෙව්වා. මට වයස අවුරුදු අටක් විතර වෙනකොට විද්‍යාව ගැන මා තුළ තිබුණු උනන්දුව නිසා සතිපතා විශේෂ කාල පරිච්ඡේදයක විද්‍යාව ගැන මට පෞද්ගලිකව උගන්වන්න ගුරුවරයෙකුට පැවරුවා.

මම බැප්ටිස්ට් පල්ලියක ඉරිදා දහම් පාසැලට ගියත්, හුඟාක් වේලාවට මම ගියේ ඒ අය විනෝද චාරිකා හා සවාරි සංවිධානය කළ නිසයි. මගේ පවුලේ අයත් ආගමට ලැදියාවක් තිබුණු අය නෙමෙයි. දෙවි කෙනෙකු ගැන හොයලා බලන්න එයාලාට වුවමනාවක් තිබුණේ නැහැ. ලෝක ඉතිහාසය ගැනත් ආගම් විසින් කරලා තියෙන සාපරාධී දේවල් ගැනත් දැනගත්තහම, පල්ලියේ වැඩකටයුතුවලින් අයින් වෙන්න මගේ හෘදය සාක්ෂියට අනුව මම තීරණය කළා. සෑම දෙයක් ගැනම පැහැදිලි කරන්න විද්‍යාවට හැකියාවක් තිබෙන බව පෙනෙන්න තිබුණා. මේ හින්දා දෙවිගේ පැවැත්ම ගැන මා තුළ සැකයක් ඇති වෙන්න පටන්ගත්තා.

ගමන් මඟේ වූ වෙනසක් හා පසුව තව වෙනස්කම්

මුලදී මගේ අරමුණ වුණේ භෞතික විද්‍යාව හදාරන එකයි. ඒත් උසස් අධ්‍යාපනය හැදෑරූ අවසන් වසරේදී මම භූ විද්‍යාව උගන්වන පන්තියකට ඇතුළත් වුණා. ඒ පන්තියේ ඉගෙනගන්නකොට වොෂිංටනයේ සියැට්හි තිබුණු විශේෂ ආකාරයේ පස් කන්දක් ගැන තොරතුරු හැදෑරීම සඳහා ගිය අධ්‍යාපනික චාරිකාවලට මම හවුල් වුණා. ඒ වගේ චාරිකාවල යද්දී මා තුළ මේ වගේ හැඟීමක් ඇති වුණා. ‘විද්‍යාව ගැන මට තියෙන ආශාවත් එළිමහන් ස්ථානවල කාලය ගත කරන්න මට තියෙන ආශාවත් එක විට භුක්ති විඳින්න පුළුවන් නම් කොච්චර හොඳද!’

එනිසා මම උසස් අධ්‍යාපනය හැදෑරීමට පටන්ගත්තාට පස්සේ, මගේ ප්‍රධාන විෂය හැටියට මම ආශාවෙන් තෝරාගත්තේ භූ විද්‍යාවයි. භූ කාලය ගැනත් ෆොසිල වාර්තාවලට අනුව පෘථිවියේ ඉතිහාසය ගැන අනාවරණය වී තිබෙන දේවල් ගැනත් සමහර පාඩම්වලදී මම හැදෑරුවා. ෆොසිල වාර්තා ගැන අධ්‍යයන කරන විට මට ඉගැන්වූයේ සත්ව විශේෂ පරිණාමය වුණා කියායි. පරිණාමය කියන්නේ ඔප්පු කර නැති දෙයක් බව මම තේරුම්ගෙන සිටියා. ඒත් මැවීම පිළිබඳව ප්‍රචලිත වී තිබුණු මතය සමඟ බලද්දී, සොයාගෙන තිබෙන භූ විද්‍යාත්මක සාක්ෂි පිළිබඳව සාධාරණ පැහැදිලි කිරීමක් කළ හැක්කේ පරිණාමවාදයට පමණක් බවයි මට හැඟුණේ. මැවීම පිළිගන්නා අය හා පරිණාමවාදීන් අතර විවාදයක් විශ්වවිද්‍යාලයේ සංවිධානය කරලා තිබෙන බව දැනගත් විට මම තීරණය කළා ඒකට හවුල් නොවී ඉන්න. මැවීම පිළිගන්න සමහරක් කියන විදිහට පෘථිවිය සතියකට වඩා අඩු කාලයකින් නිර්මාණය කර නොතිබූ බව මට පැහැදිලි වෙලයි තිබුණේ.

මම දැඩි ආගම් විරෝධී අදහස් දැරුවත්, භූ විද්‍යාව හැදෑරීම සඳහා එක්සත් ජනපදයේ නිරිතදිග ප්‍රදේශයේ කළ සංචාරයන් නිසා මා තුළ පෙලඹීමක් ඇති වුණා, දෙවිගේ පැවැත්ම ගැන මම දැරූ අදහස් නැවත සලකා බලන්න. එහි සිටි කාලයේදී රාත්‍රි දවස්වල පැහැදිලි අහසේ දිස් වුණ විස්මය දනවන හඳ හා තරු දකිද්දී, විශ්වය මවා තිබෙන්නේ දෙවි බව පිළිගන්න මට සිදු වුණා. විශ්වයට ආරම්භයක් තිබෙන බව තාරකා විද්‍යාඥයන් ඒ කාලය වන විට තහවුරු කරලයි තිබුණේ. ඒත් මේ වගේ දෙයක් සිදු වුණේ ඇයි කියන එක ගැන විද්‍යාව මගින් පමණක්ම පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්න බැහැ කියල මට පැහැදිලි වුණා. විශ්වය නිර්මාණය කර තිබෙන්නේ බුද්ධිමත් හා බලවත් මැවුම්කරුවෙකු විසින් කියා විශ්වාස කිරීම සාධාරණ දෙයක් ලෙස පෙනුණා.

අඟහරු සිතියම්ගත කිරීම හා ප්‍රශ්න ඇසීම

මම 1983දී භූ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත්ත කාලය වෙනකොට මගේ වයස අවුරුදු 27යි. ඒ කාලය වෙද්දී මම එ.ජ. භූගෝලීය මිනුම් ආයතනයට ලබා දීම සඳහා අඟහරු ග්‍රහයාගේ භූගෝලීය ව්‍යූහය පිළිබඳ සිතියමක් සකස් කරමින් සිටියා. එදා පටන් මම විද්‍යාව හදාරන අය හා සාමාන්‍ය අය සඳහා ග්‍රහ ලෝක ගැන ලිපි හා සිතියම් ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ගගන යානා හා අභ්‍යවකාශ පරිපාලන ආයතනයේ උපදේශක කමිටුවල සේවය කරමින් අඟහරු ග්‍රහයා වෙත යන අභ්‍යවකාශ ගමන්වලට සම්බන්ධ වැඩකටයුතුවල මම හවුල් වුණා. පර්යේෂණ කටයුතුවල හා වෘත්තීමය කාර්යයන්වල නිරත වන විට විවිධ රටවලින්, විශ්වවිද්‍යාලවලින් හා පර්යේෂණ ආයතනවලින් පැමිණි ග්‍රහලෝක පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන ප්‍රසිද්ධ විද්‍යාඥයන් මට හමු වෙලා තියෙනවා.

ඒ ආකාරවලින් ලැබූ පුහුණුව හා පර්යේෂණවලින් ලැබූ අද්දැකීම් නිසා කුඩා කාලයේදී විද්‍යාව සම්බන්ධයෙන් දැරූ මනඃකල්පිත අදහස් මම ටිකෙන් ටික නිවැරදි කරගත්තා. සෑම දෙයකටම පිළිතුරු විද්‍යාව සතුව නැහැ. ඒ වගේම කවදාවත් පිළිතුරු දෙන්නත් විද්‍යාවට බැහැ. මම විශේෂයෙන්ම තේරුම්ගත් දෙයක් තමයි, දිගුකාලීනව බලන කල ජීවිතයේ අරමුණ හෝ අර්ථය කියා දෙන්න විද්‍යාවට බැරි බව. යම් දවසකදී විශ්වය එක්කෝ එය මතටම කඩා වැටෙනවා නැත්නම් කෑලිවලට වෙන් වී ගොස්, කිසිදු ව්‍යූහයක් නැති ගන වස්තුවක් බවට පත් වෙනවා කියා වත්මන් විද්‍යාත්මක මත පළ වී තිබෙනවා. අවසානයේදී සෑම දෙයක්ම පැවැත්මෙන් තොර වී යනවා නම් යම් දෙයක් පැවතීමේ අරමුණක් තියෙන්න පුළුවන් කොහොමද?

අලුත් ගමනක් සැලසුම් කිරීම

මම 1981 සැප්තැම්බර් මාසයේ ෆ්ලැග්ස්ටාෆ් ඇරිසෝනාවල ජීවත් වෙමින් සිටි කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මට හමු වුණා. මම ඔවුන් එක්ක බයිබල් පාඩමක් කරන්න එකඟ වුණේ බයිබලය වැරදියි කියා ඔවුන්ට ඔප්පු කිරීමේ පරමාර්ථය ඇතුවයි. ඇත්තටම බයිබලයේ තියෙන්නේ මොනවාද කියලා මේ සාකච්ඡාවලදී දැකගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා.

ශුද්ධ ලියවිලි මත පදනම් ඉගැන්වීම් හොඳින් පරීක්ෂා කර බලන්න මම සෑම සතියකම පැය කිහිපයක් යොදවන්න පටන්ගත්තා. මම බයිබලයෙන් විශාල දැනුමක් හා ගැඹුරු අවබෝධයක් ලබාගත්තා. බයිබලයේ තිබෙන විද්‍යාත්මක නිරවද්‍යතාව ගැනත් මිනිස් ඉතිහාසයේ වසර දහස් ගණනක් පුරා සිදු වී තිබෙන සිද්ධීන්වලට අදාළ වන සවිස්තරාත්මක බයිබල් අනාවැකි සිය ගණනක් ඉටු වී තිබෙන ආකාරය ගැනත් පර්යේෂණ කරන්න මා තුළ සෑහෙන්න උනන්දුවක් තිබුණා. දානියෙල් හා එළිදරව් පොත්වල සඳහන් බයිබල් අනාවැකි රාශිය අතර තිබෙන එකඟත්වය මගේ සිතට තදින්ම කාවැදුණා. ඒවා ගැන හදාරද්දී, අප ජීවත් වෙන්නේ “අන්තිම දවස්වල” යන කාරණය තහවුරු කරගන්න ඉවහල් වන ශක්තිමත් පදනමක් මට ලැබුණා.—2 තිමෝති 3:1.

බයිබලය අධ්‍යයනය කරද්දී මම නොදැනුවත්වම පාහේ කරමින් සිටියේ මිනිස් ඉතිහාසයේ ගෞරවයට පාත්‍ර වුණ කෙනෙක් කරමින් සිටි දෙයමයි. පසු කාලයකදී තමයි මම දැනගත්තේ, ඉතිහාසයේ සිටි ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙකු ලෙස සැලකෙන ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් බයිබලයට ගරු කරමින් එහි තිබෙන දේවල් ගැන මහත් ඕනෑකමින් පර්යේෂණය කළ බව. නිව්ටන් වගේ මමත් මූලික අවධානය යොමු කළේ දානියෙල් හා එළිදරව් පොත්වල තිබෙන අනාවැකි කෙරෙහියි. සුවිශේෂ වූ ඓතිහාසික සිද්ධීන් හා දැනටමත් සිදු වී තිබෙන දේවල් එම අනාවැකිවල පුරෝකථනය කර තිබුණා. a කොහොමවුණත් මේ අනාවැකිවල අර්ථය වඩාත් හොඳින් තේරුම්ගැනීමේ ප්‍රස්තාව ලැබී තිබුණේ මටයි. මොකද මම ජීවත් වෙන්නේ නිව්ටන්ගේ කාලයේ සිට අනාවැකි බොහොමයක් ඉටුවීමෙන් පසුවයි. ඒ වගේම ඇතැම් අනාවැකි ඉටු වෙමින් පවතින කාලයකයි. මේ අනාවැකි විවිධ සිද්ධීන් හා කාල වකවානුවලට අදාළ වන අතර පුළුල් ඉටුවීමක්ද ඒවායේ තිබෙනවා. මේ අනාවැකිවල නිරවද්‍යතාව කාටවත් බොරු කරන්න බැරි බව මම තේරුම්ගත්තා. ඒවා හරිම පුදුමයි. මිනිසුන් 40කට වැඩිදෙනෙක් අවුරුදු 1,600කට වැඩි කාල පරිච්ඡේදයක් පුරා ලියා තිබෙන මුළු බයිබලය පුරාම එකඟතාවක් තිබෙන බවත් මනුෂ්‍යවර්ගයා මුහුණ දෙන ප්‍රධාන ගැටලු හා අනාගතය හා සම්බන්ධ ප්‍රබල පණිවිඩයක් එහි තිබෙන බවත් තේරුම්ගත්තාම මගේ ඇස්වලින් කඩතුරාවක් ඉවත් කළා වගේ මට දැනුණා.

කොහොමවුණත් පරිණාමය ගැන මම දරපු අදහස් අත්හරින එක මට එතරම් ලෙහෙසි දෙයක් වුණේ නැහැ. පරිණාමවාදයට පදනමක් ඇති බව සනාථ කිරීම සඳහා විද්‍යාත්මක ක්ෂේත්‍රයෙන් සෑහෙන්න අනුබලයක් ලැබිලා තිබුණා. ඒ සම්බන්ධයෙන් මට සෑහෙන්න පැහැදීමකුත් තිබුණා. ඒ කොහොමවුණත් භෞතික ලෝකය ගැන බයිබලයේ සඳහන් හැම දෙයක්ම සොයාගෙන තිබෙන සත්‍ය කරුණුවලට මුළුමනින්ම එකඟ බවත්, ඒවා නිෂ්ප්‍රභ කරන්න බැරි බවත් මම තේරුම්ගත්තා.

බයිබලයේ සඳහන් එකිනෙකට සම්බන්ධ තොරතුරු සම්භාරය ගැන සම්පූර්ණ හා තර්කානුකූල අවබෝධයක් ලබාගැනීමට නම් උත්පත්ති පොතේ සඳහන් මැවීමේ වාර්තාව ඇතුළුව එහි තියෙන එක දෙයක්වත් නොසලකාහරින්න බැරි බව මම තේරුම්ගත්තා. මේ නිසා මම වටහාගත්තා, එළඹිය හැකි එකම සාධාරණ නිගමනය මුළු බයිබලයම සත්‍යය ලියවිල්ලක් ලෙස පිළිගැනීම බව.

සත්‍යය සෙවීමට නොපසුබසිනා උත්සාහයක

මේ අතරතුර කාලයේදී විධිමත් විද්‍යාත්මක පර්යේෂණවල නියැලෙන විට මම තේරුම්ගත් දෙයක් තමයි, පුළුල් පිළිගැනීමකට ලක් වන න්‍යායන් රාශියක් කෙටි කාලයකට පස්සේ වැරදියි කියා ඔප්පු වෙන බව. විද්‍යාඥයන් මුහුණ දෙන එක අභියෝගයක් වන්නේ සීමිත දත්ත සහ පර්යේෂණ උපකරණ යොදාගනිමින් සංකීර්ණ විෂයන් ගැන හැදෑරීමයි. මේ නිසා ඔප්පු කර නැති න්‍යායන් හෝ මත වාද ඉදිරිපත් කරන විට, ඒවා කොතරම් පරෙස්සමින් ප්‍රබන්ධ කර තිබුණත්, ඒවා පිළිගැනීමේදී කල්පනාකාරී විය යුතු බව මම ඉගෙනගෙන තිබෙනවා.

යථාර්ථවාදීව බලන කල අප අවට තිබෙන ලෝකයේ මූලික දේවල් රාශියක් විද්‍යාවට පැහැදිලි කරන්න බැහැ. උදාහරණයක් හැටියට, ජීවීන්ගේ සැකැස්ම හා ඔවුන්ව පාලනය කරන භෞතික නීති, ජීවීන්ගේ සංකීර්ණ ක්‍රියාවලීන් හා පාරිසරික පද්ධති අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකි වෙන ආකාරයට පරිපූර්ණ ලෙස සකස් වී තිබෙන්නේ ඇයි? දෙවි ගැන තොරතුරු හෙළි කරන්න විද්‍යාවට නොහැකි වුවත්, දෙවිගේ පැවැත්ම ගැනත් මැවුම්කරු වශයෙන් ඔහුගේ ක්‍රියාකාරකම් ගැනත් පැහැදිලි සාක්ෂි සපයන්න ඔහුගේ ආනුභාවයෙන් ලියන ලද වචනයට පුළුවන්. (2 තිමෝති 3:16) මේ අධ්‍යාත්මික දැනුම අප ලබාගන්නවා නම් අපිට පුළුවන් අප අවට තිබෙන ලෝකයේ ඇති දේවලින් පිළිබිඹු වන බලය, ප්‍රඥාව හා අලංකාරය පිටුපස සිටින තැනැත්තා කවුද කියා දැනගන්න.

ජීවයමෙහාට පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? (සිංහලෙන් නැත) සහ ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? කියන පොත් ඇතුළුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කර තිබෙන විවිධ පොත් පත් අවංක චේතනාවෙන් අධ්‍යයනය කරද්දී, විද්‍යාව පිළිබඳව බයිබලයේ නිවැරදි අදහස් ඉදිරිපත් කර තිබෙන බවට තිබෙන මාගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙන්න පටන්ගත්තා. එම පොත්වල ගැඹුරු විද්‍යාත්මක විෂයන් ගැන විස්තර කර තිබෙන අතර වත්මන් දින පර්යේෂණ ගැනත් සුප්‍රසිද්ධ විද්වතුන්ගේ නිගමන ගැනත් එමගින් හොඳ අවබෝධයක් ලබා දෙයි. ඒ විතරක් නෙමෙයි, පිළිගත් විද්‍යාත්මක සත්‍යයන් හා බයිබලය පිළිබඳව ලබා ඇති නිසි අවබෝධය අතර තිබෙන එකඟතාව ගැනත් එම පොත් පත්වල සාකච්ඡා කර තිබෙනවා.

උදාහරණයක් හැටියට, බයිබලයේ උත්පත්ති පොතේ විස්තර කරන ආකාරයට විවිධ ජීවීන් බිහි වූ අනුපිළිවෙළ ෆොසිල වාර්තාවෙන් සනාථ වී තිබෙනවා. ඒ වගේම පුරාණයේ සිටි අය තේරුම්ගත් ආකාරයට මැවීමේ දවසක් යන්නෙන් දිගු වකවානුවක් අදහස් විය හැකියි. මෙය විද්‍යාව මගින් පොළොවේ ඉතිහාසය පිළිබඳව විස්තර කිරීමේදී යොදාගනු ලබන “කාල පරිච්ඡේදය” හා “යුගය” යන යෙදුම්වලට සමානයි. මේ අනුව බලද්දී බයිබලයේ සඳහන් දේවල් විද්‍යාත්මක සොයාගැනීම්වලට විරුද්ධ නැහැ. බයිබලය පෙන්වා දෙන්නේ මැවීමේ දවස් දිගු කාලයක් පුරා පැවති බවයි. මැවීමේ දවසක් පැය 24කින් සමන්විත වූ බව විශ්වාස කරන මැවීම පිළිගන්නා අයගේ නිගමනවලට බයිබලයෙන් අනුබලයක් ලැබෙන්නේ නැහැ.

ඇදහිල්ලට වෙනස්ව ක්ෂණික විශ්වාසය

විද්‍යාඥයෙක් හැටියට මම හැම දෙයක්ම ඉක්මනින්ම විශ්වාස කරන්න කැමති නැහැ. ඒත් හොඳ පදනමක් මත ගොඩනඟා ගන්න ඇදහිල්ලක් සඳහා ඉමහත් ගෞරවයක් මා තුළ තිබෙනවා. ඒ වගේ ස්ථිර ඇදහිල්ලකින් අදහස් කරන දෙය හෙබ්‍රෙව් 11:1 [NW] මේ විදිහට විග්‍රහ කරනවා. “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේවල් පිළිබඳ සහතික වූ අපේක්ෂාවය, නොපෙනෙන නමුත් සැබෑ වූ දේවල් පිළිබඳ පැහැදිලි සාක්ෂියය.” දෙවිගේ පොරොන්දු කෙරෙහි තබන විශ්වාසය පදනම් වන්නේ බයිබලය දෙවිගේ ආනුභාවයෙන් ලියා තිබෙන බවට තහවුරු කරගත් සාක්ෂි මතයි. ශුද්ධ ලියවිල්ලට පටහැනි මෙන්ම සත්‍යය කරුණු මත පදනම් වී නැති ඉගැන්වීම්වලින් ඉවත් වීමේ අවශ්‍යතාව මම තේරුම්ගත්තා. අමරණීය ආත්මය, නිරාගින්න, ත්‍රිත්වය හා වෙනත් ඉගැන්වීම් ඒවාට ඇතුළත් වෙනවා. මේ වැරදිසහගත ඉගැන්වීම්වලින් බොහොමයක් ඇති වී තිබෙන්නේ පුරාණ දාර්ශනික හා මිථ්‍යා මතවලිනුයි. එහෙමත් නැත්නම් බයිබලය ගැන නිවැරදි දැනුමක් නොමැති අය ඉදිරිපත් කළ අදහස්වලිනුයි. බොරු ඉගැන්වීම්වලට ඇලී සිටීමෙන් සිදු වෙන්නේ ‘අන්ධ විශ්වාසයක්’ ඇතිවීමයි. ආගම කෙරෙහි භක්තියක් තියෙන හුඟදෙනෙක් තුළ අද දකින්න තියෙන්නේ ඒ වගේ දෙයක්. බොහෝ විද්‍යාඥයන් තුළ ආගම කෙරෙහි ගෞරවයක් ඇති නොවීමට එම තත්වය හේතු වී තිබෙනවා.

විද්‍යාඥයෙකු හැටියට මගේ මූලික වගකීම්වලින් එකක් වන්නේ පර්යේෂණ මගින් මම සොයාගන්න දේවල් විග්‍රහ කිරීම, ඒවා තහවුරු කිරීම සඳහා අවශ්‍ය කරුණු රැස් කිරීම හා ඒවා ප්‍රකාශයට පත් කිරීමයි. මේ හා සමානව බයිබලයේ සඳහන් සත්‍යයන් ජනයාට උගන්වන්නත් මා තුළ පෙලඹීමක් ඇති වෙලා තියෙනවා. බයිබලයේ තියෙන දැනුම තරම් වටිනා වෙන දැනුමක් සොයාගන්න නැහැ. සැබෑ තෘප්තියක් ගෙන දෙන මේ කාර්යයේ හවුල් වෙන්න පටන්ගත් මා දැනට අවුරුදු 20කට විතර කලින් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු හැටියට බව්තීස්ම වුණා. වසර 2000 සැප්තැම්බර් මාසයේ සිට මේ සේවයේ හවුල් වන සාමාන්‍ය පැය ප්‍රමාණය 70 දක්වා වැඩි කරන්න මට හැකි වෙලා තියෙනවා. එදා සිට උනන්දුව දක්වන අය සමඟ සෑම මාසයකම බයිබල් පාඩම් දහයක් පමණ පැවැත්වීමේ වරප්‍රසාදයත් මම භුක්ති විඳිනවා. ඒ වගේම සමහර ශිෂ්‍යයන් බයිබලය උගන්වන ජ්වලිත ගුරුවරුන් බවට පත් වෙනවා දැකීමේ සතුටත් මම ලබලා තියෙනවා.

පෘථිවිය ආසන්නයේ පිහිටි ආකාශ වස්තු ගවේෂණය කිරීම සඳහා යවා තිබෙන සංකීර්ණ අභ්‍යවකාශ යානා මගින් ලබාගන්න තොරතුරු ඇසුරෙන් මම තවමත් අඟහරු ග්‍රහයා ගැනත් විශ්වයේ වෙනත් දේවල් ගැනත් ගවේෂණය කිරීමෙන් සතුටක් ලබනවා. විද්‍යාව තවමත් සොයාගෙන නැති විශ්වයේ රහස් රාශියක් තියෙනවා. අධ්‍යාත්මික මෙන්ම විද්‍යාත්මක කාරණා පිළිබඳව ගවේෂණ කරමින් තොරතුරු දැනගැනීම සඳහා තිබෙන අපේ ආශාව ඉටු කරන හා අපේ ගැඹුරු ප්‍රශ්නවලට උත්තර ලබා දෙන කාලය පැමිණෙන තෙක් මම මහත් ආශාවෙන් බලා සිටිනවා. යම් කෙනෙක් දෙවි ගැනත් මනුෂ්‍යවර්ගයා සම්බන්ධයෙන් වූ ඔහුගේ අරමුණ ගැනත් නිවැරදි දැනුමක් ලබාගත් විට, ඔහුගේ ජීවිතයට සැබෑ අර්ථයක් ලැබෙනවා. මම මෙය අද්දැක තියෙනවා. ‘සත්‍යය ඔබව නිදහස් කරන්නේය’ කියා මුලින් සඳහන් කළ කැල්ටෙක් එකේ මුද්‍රාවක කොටා තිබුණු වදන්වල සැබෑ අරුත එයයි.—යොහන් 8:32.

[පාදසටහන]

a ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් 1733දී දානියෙල්ගේ හා ශා. ජුවාම්ගේ එළිදරව්වේ අනාවැකි පිළිබඳ විවරණයක් නමැති පොත ප්‍රකාශයට පත් කළේය. බයිබලයේ ඇතුළත් දානියෙල්ගේ හා එළිදරව් පොත්වල සඳහන් අනාවැකි ඔහු පරීක්ෂාවට ලක් කළ ආකාරය එහි සඳහන් විය.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සෑම දෙයක් ගැනම පැහැදිලි කරන්න විද්‍යාවට හැකියාවක් තිබෙන බව පෙනෙන්න තිබුණා”

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සෑම දෙයටම පිළිතුරු විද්‍යාව සතුව නැහැ. ඒ වගේම කවදාවත් පිළිතුරු දෙන්නත් විද්‍යාවට බැහැ”

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මම බයිබලයෙන් විශාල දැනුමක් හා ගැඹුරු අවබෝධයක් ලබාගත්තා”

[18වන පිටුවේ සිතියම]

අඟහරු ග්‍රහයාගේ සිතියම

[20වන පිටුවේ පින්තූර]

නිව්ටන් වගේ මමත් බයිබලයේ ඇතුළත් දානියෙල් හා එළිදරව් පොත් සෑහෙන උනන්දුවෙන් සොයා බැලුවා

[හිමිකම් විස්තර]

ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලය

[21වන පිටුවේ පින්තූරය]

බයිබලයෙන් ඉගෙනගත් දේවල් මම අනිත් අයත් එක්ක බෙදාගන්නවා

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඉහළ වම: Courtesy USGS Astrogeology Research Program, http://astrogeology.usgs.gov; අඟහරුගේ සිතියම: National Geographic Society, MOLA Science Team, MSS, JPL, NASA; Mars surface: NASA/JPL/Caltech

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

අභ්‍යවකාශයේ ඡායාරූපය: J. Hester and P. Scowen (AZ State Univ.), NASA