Skip to content

පටුනට යන්න

මමත් පච්චයක් කොටාගත්තාට කමක් නැද්ද?

මමත් පච්චයක් කොටාගත්තාට කමක් නැද්ද?

යෞවන අය අසති . . .

මමත් පච්චයක් කොටාගත්තාට කමක් නැද්ද?

“සමහර පච්ච හරි ලස්සනයි. කලාත්මකයි.”—ජාලීන්. a

“මම අවුරුදු දෙකක් තිස්සේ පච්ච කොටන්න සිහින මව මව හිටියේ.”—මිෂෙල්.

පච්ච කෙටීම අද හැමෝම වගේ කරන විලාසිතාවක් ලෙසයි පෙනෙන්නේ. රොක් සංගීතඥයන්, ක්‍රීඩා තරු, සිනමා තරු සහ මෝස්තර නිරූපණ ශිල්පීන් තමන් කොටා ඇති පච්ච ප්‍රදර්ශනය කරනවා. බොහෝ යෞවනයන් ඔවුන්ව අනුකරණය කරමින් තමන්ගේ උරහිස්වල, අතේ, ඉඟටියේ සහ වළලුකර වටා කොටාගත් පච්ච කාටත් පෙන්වන්නේ හරි උජාරුවෙන්. “පච්ච කෙටීම නියම විලාසිතාවක්. ඒ විලාසිතාව කරනවාද නැද්ද කියන එක පෞද්ගලික තීරණයක්.” ඒ ඇන්ඩෲ නමැති යෞවනයාගේ අදහස.

“පච්ච කෙටීම කියන්නේ ඇඟේ මැකිය නොහැකි මෝස්තර ඇඳීමේ කලාවයි. ඒ සඳහා ස්වාභාවික වර්ණක සහිත සායම්වල බහාලූ තියුණු කෝටුවකින්, ඇට කටුවකින් හෝ ඉඳි කටුවකින් සමට ඇන කුඩා සිදුරු ඇති කරනවා” කියා වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියාහි සඳහන් වෙනවා.

නියම සංඛ්‍යා ලේඛන ලබාගැනීමට නොහැකි වුණත් එක්සත් ජනපදයේ අවුරුදු 15ත් 25ත් අතර සිටින යෞවනයන්ගෙන් සියයට 25ක් පච්ච කොටා තිබෙන බව එක් ආරංචි මාර්ගයක් තක්සේරු කරනවා. “ඒක තමයි දැන් හැම තැනම දකින්න තියෙන විලාසිතාව” කියා සැන්ඩි නමැති යෞවනිය පවසනවා. තරුණ පරපුරේ සිටින සමහර අය මෙම විලාසිතාවට මේ තරම් කැමැත්තක් දක්වන්නේ ඇයි?

ඇයි මෙතරම් ජනප්‍රිය?

සමහරෙක් මෙය තම ආදර හැඟීම් ප්‍රකාශ කරන ප්‍රබලතම ක්‍රමයක් ලෙස භාවිත කරනවා. මිෂෙල් මේ සම්බන්ධයෙන් යමක් පවසනවා. “මගේ අයියා වළලුකර ළඟ එයාගේ පෙම්වතියගේ නම කෙටුවා.” මොකක්ද මෙහි ඇති වරද කියා ඔබ අසන්න පුළුවන්. “දැන් ඇය ඔහුගේ පෙම්වතිය නෙමෙයි” කියා මිෂෙල් තවදුරටත් කියා සිටිනවා. එක් සඟරාවකට (Teen) අනුව “වෛද්‍යවරු තක්සේරු කරන ආකාරයට පච්ච ඉවත් කිරීමට පැමිණෙන ගැහැනු ළමයින්ගෙන් සියයට 30කට වැඩි ප්‍රමාණයකට අවශ්‍ය වී ඇත්තේ තම කලින් පෙම්වතාගේ නම ඉවත් කිරීමටයි.”

සමහර යෞවනයන් එය කලාත්මක සිත්තමක් ලෙස සලකයි. තවත් සමහරෙකු එය සලකන්නේ ස්වාධීනත්වය පිළිබිඹු කරන සංකේතයක් හැටියටයි. “මගේ ජීවිතේ අයිති මට.” ජොසී ප්‍රකාශ කළේ එලෙසයි. “පච්චයක් කොටන්න ගත් තීරණය තමයි මම ගත් එකම වැදගත් පෞද්ගලික තීරණය” කියා ඇය තවදුරටත් පැවසුවා. බොහෝ යෞවනයන් පච්ච කොටාගන්නේ තම පෙනුම සම්බන්ධයෙන් අලුත් යමක් කරන්න, නැතහොත් එසේ කරන්න තමන්ට අයිතියක් තිබෙනවා කියා පෙන්වන්නයි. එමෙන්ම ඒ තුළින් යම් විටෙක කැරලිකාරකම හෝ සම්මතයෙන් තොර ජීවන රටාවක් නිරූපණය විය හැකියි. සමහර පච්චවලට අසභ්‍ය වචන, චිත්‍ර හෝ ලිංගිකත්වය හුවා දක්වන කියමන් ඇතුළත්.

යෞවනයන් හුඟදෙනෙක් පච්ච කොටාගන්නේ විලාසිතා රැල්ලට හසුවීම නිසා විය හැකියි. නමුත් හැමෝම පච්ච කොටාගන්නවා වගේ පෙනෙන්න තිබෙන නිසා ඔබත් එය කළ යුතුද?

පුරාණයේ පච්ච කෙටීමේ කලාව

පච්ච කෙටීම අද ඊයේ පැමිණි විලාසිතාවක් නොවෙයි. පච්ච ඇඳ තිබෙන ඊජිප්තු සහ ලිබියානු මමිවරුන් සම්බ වී තිබෙන අතර ඒවා ක්‍රිස්තුස් සිටි කාලයට අවුරුදු සිය ගණනකට පෙර කාල වකවානුවලට අයත් වෙනවා. දකුණු අමෙරිකාවෙන්ද පච්ච රූප සහිත මමිවරුන් සම්බ වී තිබෙනවා. පච්ච කොටන ලද රූප බොහෝමයක් මිථ්‍යාදෘෂ්ටික නමස්කාරයට ඍජු ලෙස සම්බන්ධයි. ස්ටිව් ගිල්බට් නමැති පර්යේෂකයා පවසන පරිදි “සොයාගෙන තිබෙන පැරණිම පච්චය නිකම්ම මෝස්තරයක් නෙවෙයි. එය බෙස් දෙවියාව නිරූපණය කර තිබෙන චිත්‍රයක්. මිසර ජනප්‍රවාදයේ සඳහන් බෙස් දෙවියා විනෝදකාමීත්වය නියෝජනය කළ සරාගී දෙවි කෙනෙක්.”

මෝසෙස්ගේ නීතියෙහි දෙවිගේ සෙනඟට පච්ච කෙටීම තහනම් කර තිබීම සැලකිල්ලට ගත යුතුයි. ලෙවී කථාව 19:28හි කියා තිබෙන්නේ, “මළවුන් නිසා නුඹලාගේ ශරීරවල කැපුමක් කර නොගන්න. නුඹලාගේ ශරීරයෙහි කිසි සායම් ලකුණක්ද කොටා නොගන්න. මම යෙහෝවාය” යනුවෙනුයි. ඊජිප්තු වැසියන් වැනි මිථ්‍යාදෘෂ්ටික නමස්කාරකයන් ඔවුන්ගේ දෙවිවරුන්ගේ නම් හෝ සංකේත පපුවේ හෝ අතේ කොටාගත්තා. පච්ච කෙටීම පිළිබඳ යෙහෝවා දැමූ තහනමට එකඟ වීමෙන් ඊශ්‍රායෙල් ජාතියට අනෙකුත් ජාතීන්ගෙන් වෙනස්ව සිටීමට හැකි වුණා.—ද්විතීය කථාව 14:1, 2.

අද දින ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ නීතියට යටත් නොවුණත් පච්ච කෙටීම සම්බන්ධයෙන් තිබුණ තහනම පසෙක දැමිය නොහැකි දෙයක්. (එපීස 2:15; කොලොස්සි 2:14, 15) ඔබ ක්‍රිස්තියානියෙක් නම් මිථ්‍යාදෘෂ්ටික හෝ බොරු නමස්කාරය උලුප්පා දක්වන ලකුණු ඔබේ ශරීරයේ තාවකාලිකව හෝ ඇඳගැනීමට ඔබට අවශ්‍ය නොවන බව සහතිකයි.—2 කොරින්ති 6:15-18.

සෞඛ්‍ය අනතුරු

සෞඛ්‍යය ගැනත් ඔබ කල්පනාකාරී විය යුතුයි. චර්ම රෝග පිළිබඳ මහාචාර්යවරයෙකු වන රොබට් ටොම්සික් මෙසේ අදහස් දක්වනවා. “මෙහිදී ඔබ කරන්නේ ඔබේ සම ඉරා එම ස්ථානයට සායම් ද්‍රව්‍ය ඇතුල් කිරීමයි. ඉඳි කටුව සමේ ගැඹුරට නොගියත් ඔබ සම හිල් කරන ඕනෑම අවස්ථාවක බැක්ටීරියා හෝ වයිරස් ආසාදනයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. මම හිතන්නේ පච්ච කෙටීම අවදානම් සහිත දෙයක්.” වෛද්‍ය ටොම්සික් තවදුරටත් මෙසේ අදහස් දැක්වුවා. “සායම ඇතුලට ගියායින් පසු එයින් යම් ආසාදනයක් සිදු නොවුණත් ආසාත්මිකතා ඇතිවීමට ඉඩ තිබෙනවා. එනම්, සම ඉදිමීම සහ ආසාත්මික තත්වයන් නිසා සම රතු පැහැ ගැන්වීම, පොතු ගැලවීම සහ කැසීම ආදිය සිදු විය හැකියි.”

පච්චය නොමැකී පැවතීමේ අරමුණින් කෙටුවත් පසුව නොයෙකුත් ක්‍රම යොදමින් එය ඉවත් කිරීමට උත්සාහ දැරිය හැකියි. එම ක්‍රම නම් පච්චය පිලිස්සිමකින් ඉවත් කිරීම (ලේසර් ක්‍රමය), ශල්‍ය කර්මයක් තුළින් පච්චය කපා ඉවත් කිරීම, අපිචර්මය සහ චර්මය කම්බි බුරුසුවකින් අතුල්ලා ඉවත් කිරීම, ලුණු ද්‍රාවනයක පෙඟෙන්න තබා පච්චය ඉවත් කිරීම, ඇසිඩ් ද්‍රාවනයක් මගින් කැලලක් ඇති කර පච්චය ඉවත් කිරීම යනාදියයි. මෙම ක්‍රම වියදම් අධික මෙන්ම වේදනාකාරී විය හැකියි. “පච්චයක් කොටනවාට වඩා ලේසර් කිරණ මගින් පච්ච ඉවත් කිරීම වේදනාකාරීයි” කියා එක් සඟරාවක (Teen) සඳහන් කරනවා.

අන් අය කොයි ආකාරයේ නිගමනයකට එළඹෙයිද?

ඔබ පච්ච කොටා තිබෙන විට අන් අය ඔබ ගැන කොයි ආකාරයේ නිගමනයකට එළඹෙයිද යන්න ගැනත් සැලකිලිමත් විය යුතුයි. එයට හේතුව, හුඟදෙනෙක් එම විලාසිතාවට එතරම් කැමැත්තක් නොදැක්වීමයි. (1 කොරින්ති 10:29-33) තායිවානයේ ලී නමැති යුවතිය ඇයට අවුරුදු 16දී හදිසියේ ඇති වූ ආශාවක් නිසා පච්චයක් කෙටුවා. දැන් ඇය කාර්යාලයක වැඩ කරන 21ක් වියැති යුවතියක්. බලන්න දැන් ලී මොනවද කියන්නේ කියලා. “මගේ කාර්යාලයේ මිතුරන් පච්චය දිහා බලන්නේ මහ අමුතු විදිහට. මගේ හිතට ඒක වදයක්.” මිනිසුන් හුඟදෙනෙක් පච්ච කොටලා තියෙන අයව සලකන්නේ “ප්‍රචණ්ඩ, කෲර, සමාජ විරෝධී සහ නීති විරෝධී කණ්ඩායම්” ලෙසයි කියා බ්‍රිතාන්‍යයේ මානසික සෞඛ්‍ය අංශයේ සාමාජිකයෙක් වන තියඩොර් ඩැල්රිම්පල් පැවසුවා.

අමෙරිකාවේ එක් සඟරාවක (American Demographics) මෙසේ සඳහන් වී තිබුණා. “කාටත් පෙනෙන ලෙස පච්ච කෙටීම සහ ශරීරය විදගැනීම අවදානම් සහිත දෙයක් කියා අමෙරිකානුවන් හුඟදෙනෙක් පිළිගන්න බව පැහැදිලියි. ‘හැමෝටම දැකිය හැකි ලෙස පච්ච කොටාගැනීම මගින් තමන්ගේ පෞද්ගලිකත්වය හෙළි කිරීමට වෑයම් කරන අය තේරුම්ගත යුතු දෙයක් වන්නේ මෙමගින් ඔවුන්ගේ රැකියා ප්‍රස්තාවන්ට හෝ පෞද්ගලික සබඳතාවන්ට බාධා පැමිණිය හැකි බවයි.’ මෙම ප්‍රකාශයට යෞවනයන්ගෙන් සියයට 85දෙනෙක් එකඟ වුණා.”

ඔබ පච්ච කොටාගෙන සිටී නම් ක්‍රිස්තියානියෙකු කියා අන් අයට ප්‍රකාශ කරන විට ඒ අය ඔබ ගැන යහපත් ආකාරයකින් සිතයිද? නැත්නම් එය අන් අයව ‘බාධාවට පත් කිරීමට හේතුවක්’ වේවිද? (2 කොරින්ති 6:3) ඇඳුම් අඳින විට පච්චය වැසෙන සේ සමහර යෞවනයන් පච්ච කොටා තිබෙනවා. මෙම රහස් ස්ථානවල කොටා තිබෙන පච්ච සමහරවිට ඔවුන්ගේ දෙමාපියන් පවා දැක නැතුව ඇති. පරෙස්සම් වෙන්න! යම් හදිසි අවස්ථාවක වෛද්‍යවරයෙකු හමු වෙන්න ගිය විට හෝ පාසැලේ යම් ක්‍රීඩාවක් අවසාන කර යාළුවන් සමඟ එකට නාන විට ඔබ සඟවාගෙන සිටි දේ අන් අය දැකිය හැකියි! ‘සියල්ලේදී අවංක ලෙස හැසිරීම’ යහපත් දෙයක් වන අතර මෝඩ ආකාරයකින් අන් අයව රැවටීමෙන්ද වැළකී සිටිය යුතුයි.—හෙබ්‍රෙව් 13:18, NW.

අනෙකුත් විලාසිතාවන් මෙන් කාලයක් යන විට පච්ච කෙටීමේ විලාසිතාවත් නැති වෙලා යයි. මොහොතකට මේ දේ සිතන්න. ඔබ ජීවිත කාලය පුරාම අඳින්න තරම් ආස කරන කලිසමක්, ෂර්ට් එකක්, ගවුමක් හෝ සපත්තු කුට්ටමක් තිබෙනවාද? කොහෙත්ම නැහැ! මෝස්තරය, හැඩය සහ වර්ණ වෙනස් වෙනවා. එහෙත් ඇඳුම් පැළඳුම් මෙන් නොව පච්ච ඉවත් කිරීම පහසු දෙයක් නොවෙයි. ඒ වගේම ඔබ අවුරුදු 16දී “නියම විලාසිතාවක්” කියා සිතූ දෙයකට අවුරුදු 30ක් වන විට එතරම් ආශාවක් නොදක්වන්න පුළුවන්.

තමන්ගේ පෙනුම සම්බන්ධයෙන් ස්ථිර වෙනස්කම් කළ බොහෝදෙනෙක් පසු කාලයේදී පසුතැවෙනවා. “මම යෙහෝවා ගැන ඉගෙනගන්න කලින් මගේ ඇඟේ පච්චයක් කෙටුවා. දැන් මම ඒක හංගගෙන ඉන්න උත්සාහ ගන්නවා. සභාවේ අනෙක් අය හදිසියේවත් ඒක දැක්කොත් මට ලැජ්ජා හිතෙනවා.” එසේ පැවසුවේ යොවුන් වියේ පසු වන ඒමියි. මෙයින් ඉගෙනගත හැකි පාඩම මොකක්ද? පච්ච කොටන්න පෙර සිතන්න කියන එක. පසුවට පසුතැවෙන්න සිදු වෙන තීරණයක් ගන්න එපා.

[පාදසටහන]

a සමහර නම් වෙනස් කර තිබෙනවා.

[30වන පිටුවේ පින්තූරය]

පච්ච කෙටීමෙන් බොහෝවිට කැරලිකාර ජීවන රටාවක් පිළිබිඹු වෙනවා

[30වන පිටුවේ පින්තූරය]

කාලයක් යන විට බොහෝදෙනෙක් පච්ච කෙටීම ගැන පසුතැවෙනවා

[31වන පිටුවේ පින්තූරය]

කොටන්න පෙර සිතන්න