Skip to content

පටුනට යන්න

මිහිකතගේ ජෛව ජාලයට නැතුවම බැරි සන්නිවේදනය

මිහිකතගේ ජෛව ජාලයට නැතුවම බැරි සන්නිවේදනය

මිහිකතගේ ජෛව ජාලයට නැතුවම බැරි සන්නිවේදනය

ජූලියා අත දරුවෙකුව සිටි අවදියේදී, ඇය තම පළමු වචන කිහිපය තෙපුලන තෙක් ඇගේ දෙමාපියන් බලා සිටියේ ඉමහත් ආශාවකින්. “‘අම්මේ’ ‘තාත්තේ’ කියා දරුවෙකුගේ මුවින් පිට වෙනවා ඇහෙනකොට ඇති වන නිම් හිම් නැති සතුට කිසිම දෙමාපියෙකුට විස්තර කරන්න බැරි සතුටක්,” කියා පැවසුවේ ජූලියාගේ මවයි. “ජූලියා ඉස්සරවෙලාම ‘අම්මේ’ කියා මට කතා කරනකොට ඒක හරියට ඇය ඇගේ චූටි අත්වලින් මගේ කරට අත දාලා ‘ඔයා තමයි මගේ අම්මා. මං ඔයාට ආදරෙයි. මට ඔයාට කතා කරන්න ඕනෑ’ කියනවා වගෙයි. ඒ විශේෂ මොහොත මට කවදාකවත් අමතක වෙන්නේ නැහැ.” ඔව්, සන්නිවේදනය හෙවත් අදහස් හුවමාරු කරගැනීමට හැකිවීම ඇත්තෙන්ම අපට ලැබී ඇති ඉතා වටිනා දීමනාවක්!

ඇත්තම කියනවා නම්, සන්නිවේදන හැකියාව තිබෙන එකම මැවිල්ල මිනිසුන් විතරක් නෙවෙයි. සතුන් බොහෝ සෙයින් පාලනය වන්නේ ඉවෙන් වුණත්, ඔවුන්ටත් අතිවිශේෂ ආකාරවලින් සන්නිවේදනය නමැති හැකියාව තිබෙනවා. උදාහරණයක් හැටියට, අයිස්වලින් ගහන ඇන්ටාක්ටිකාවේ තම සහකාරිය සමඟ ගැවසෙන රාජ පෙන්ගුවිනයන් වාර්ෂිකව සීත කාලය පැමිණීමට පෙරාතුව ඔවුන් එකිනෙකාට හූ ශබ්ද නිකුත් කරන්නේ සෙල්ලමට නම් නොවෙයි. මේ සෑම රාජ පෙන්ගුවින් ජෝඩුවකගේම අනාගත පැටියාගේ ජීවිතය මීට සම්බන්ධයි. ඒ කොහොමද?

බිත්තර දැම්මායින් පසුව, පෙන්ගුවින් අම්මා, පෙන්ගුවින් තාත්තාට උගේ බඩ අසලින් පිහිටි පැසෙහි බිත්තර රැකගන්නට දීලා ආහාර සොයාගෙන මුහුදට යනවා. දවස් 65කට පස්සේ, නැවතත් ඇය එන්නේ අයිස් හරහා සීරුවෙන් හා හෙමිහිට කිලෝමීටර් 150ක් පමණ කරක් ගැහැව්වායින් පසුවයි. පෙන්ගුවිනයන් ඉන්න ජනපදය හොයාගන්න එකත් ප්‍රාතිහාර්යයක් වගේ. ඉතින් මේ හූ ශබ්ද නඟන පෙන්ගුවිනයන් රාශිය අතරින් ඒ පෙන්ගුවින් තාත්තාවත් තම අලුත උපන් පැටියාවත් හොයාගන්න අර පෙන්ගුවින් අම්මාට පුළුවන් වෙන්නේ කොහොමද? මේ පෙන්ගුවිනයන් තමන්ගේ ආලිංගන සමයේදී තමන්ගේ වල්ලභයාගේ හඬ කොතරම් හොඳින් මතක තබාගන්නවාද කියනවා නම්, එකිනෙකාගෙන් වෙන් වෙලා මාස ගණනාවක් ගත වුණායින් පස්සෙත් ඔවුන්ට පුළුවන් තමන්ගේ වල්ලභයාව සොයාගන්නට!

සතුන් අතර ඇති සන්නිවේදනයට මේ අතිවිශේෂ වූ ශබ්ද විතරක් නෙවෙයි, විවිධ ඉරියව්ද, අවධානය ඇදගන්නා වර්ණයන්ද, ප්‍රතිදීප්ත ආලෝකද, සංකීර්ණ සුගන්ධයන්ද ඇතුළත්. සමහරක් පැළෑටිවලට පුළුවනි වෙනත් පැළෑටි සමඟ වගේම සතුන් සමඟත් සන්නිවේදනය කරන්නට. මේක ටිකක් පුදුම හිතෙන දෙයක් වෙන්නට පුළුවන්. මේ ගැන අපි ඉදිරියට බලමු. ඔව්, සන්නිවේදනය කියන්නේ මිහිකතගේ සහජීවනයට හා ජෛව ජාලයට අතිශයින් වැදගත් වූ යමක් බව නම් පැහැදිලියි.

අප අවට ලෝකයේ තිබෙන පුදුමාකාර සන්නිවේදන ක්‍රම සමහරක් ගැන තවත් ඉගෙනගන්නට ඔබ කැමතිද? ඔබගේම සන්නිවේදන කුසලතා වටහාගනිමින් ඒවා අගය කිරීමටත් ඒවා දියුණු කරගැනීමටත් ඔබ කැමතිද? මතු දැක්වෙන ලිපි ඒ සඳහා ඔබට රුකුලක් වේවි.

[3වන පිටුවේ පින්තූරය]

රාජ පෙන්ගුවින් ගැහැනු සතා ඇගේ වල්ලභයාව සොයාගන්නේ කෙසේද?