මොසෙයික්—ගල් කැටවලින් නිමැවූ සිතුවම්
මොසෙයික්—ගල් කැටවලින් නිමැවූ සිතුවම්
ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසිනි
“අපූරු කලා ශිල්ප ක්‍රමයකි.” “නෙත වශී කරවන සැරසිලි ක්‍රමයකි.” “පුරාණයේ සිටම පැවතෙන ඉතාමත් කල් පවතින සැරසිලි කලාවකි.” ඒ, මොසෙයික් කලාව පිළිබඳව ඉදිරිපත් කර ඇති විවිධ අදහස් අතුරින් කිහිපයක්ය. පහළොස්වන සියවසේ ඉතාලි කලා ශිල්පියෙකු වන ඩොමෙනිකෝ ගීර්ලන්ඩාජෝ එය විස්තර කළේ “සදහටම පවතින නියම කලා ශිල්ප ක්‍රමය” වශයෙනි. මොසෙයික් කලාව පිළිබඳව ඔබ කුමන ආකල්පයක් දැරුවත් එයට ඇත්තවශයෙන්ම සිත්ගන්නා ඉතිහාසයක් තිබෙන බව පිළිගත යුතුය.
බිම්, බිත්ති හෝ අර්ධ කවාකාර පියස් වැනි පෘෂ්ඨ විවිධ මෝස්තරවලින් සැරසීමේ කලාව වශයෙන් මොසෙයික් විස්තර කළ හැක. මෝස්තර නිර්මාණය කරන ලද්දේ කුඩා ගල් කැට, වීදුරු කැට හෝ (පිඟන්) මැටි කැබලි එක ළඟ එක සිටින සේ බදාම තුළට එබ්බවීම මගිනි. පුරාණයේ සිටම මොසෙයික් මගින් බිම් සහ බිත්ති අලංකාර කර ඇත. ස්නානාගාර, පොකුණු හා වතුර මල් වැනි ස්ථානද මොසෙයික්වලින් සරසා තිබේ. තෙතමනය අධික එවැනි ස්ථාන වඩාත් සියුමැලි කලා ක්‍රමයක් යොදා සරසා තිබුණා නම් ඒවා නාස්ති වී යනු ඇත.
මොසෙයික් කෘති එකිනෙකට හාත්පසින්ම වෙනස් වන්නට පුළුවන. එක් වර්ණයක් පමණක් යොදාගෙන බිම සරසන සරල මොසෙයික් ක්‍රම තිබේ. එමෙන්ම කලු සහ සුදු මිශ්‍ර මෝස්තර, වර්ණ ගණනාවකින් යුත් සංකීර්ණ මල් මෝස්තර සහ චිත්‍රයට නැඟූ අතිවිශිෂ්ට දසුන්වලින් යුත් මොසෙයික් වර්ගද ඇත. එවැනි මොසෙයික් දසුන් නිර්මාණය කිරීම නම් ඉතා දුෂ්කර කාර්යයකි.
කලාවේ සුල මුල
මොසෙයික් කලාව ආරම්භ කරනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න නිශ්චිතව කිව නොහැක. ඉපැරණි ඊජිප්තු හා සුමේරියානු ජාතිකයෝ ඔවුන්ගේ ගොඩනැඟිලි වර්ණවත් මෝස්තරවලින් සැරසූහ. එහෙත් එම කලාව ඉන් එහාට දියුණු නොවී අභාවයට ගිය බව පෙනේ. කාතේජ්, ක්‍රීට්, ග්‍රීසිය, සිරියාව, සිසිලිය, සුළු ආසියාව සහ ස්පාඤ්ඤය යන සෑම පෙදෙසක්ම මොසෙයික් කලාවේ මාතෘ භූමිය වූ බව කියැවේ. එම නිසා, මෙම කලා ක්‍රමය “මධ්‍යධරණී මුහුද ආශ්‍රිත විවිධ ප්‍රදේශවලදී හා එක් එක් කාල වකවානුවලදී බිහි වී, ඉන්පසු අභාවයට ගොස් පසු කලෙක යළි බිහි වූවා” යන මතය එක් ලේඛකයෙකු විසින් ඉදිරිපත් කරනු ලැබීය.
ක්‍රිස්තු පූර්ව නවවන සියවස තරම් පැරණි සමහර මොසෙයික් සාදනු
ලැබුවේ සුමට ගල් කැටවලිනි. ඒවායේ මෝස්තර එතරම් සංකීර්ණ නැත. යොදාගැනෙන වර්ණ තීරණය වූයේ එම ප්‍රදේශයේ සොයාගත හැකි වූ ගල් කැටවල වර්ණවලට අනුවය. සාමාන්‍යයෙන් භාවිත කරනු ලැබූ ගල් කැටවල විෂ්කම්භය මිලිමීටර් 10ත් 22ත් අතර විය. එහෙත් වඩාත් සංකීර්ණ මෝස්තර සඳහා මිලිමීටර් 5ක් තරම් කුඩා විෂ්කම්භයකින් යුත් ගල් කැටද භාවිත කෙරුණි. ක්‍රිස්තු පූර්ව හතරවන සියවස වන විට, කලා ශිල්පීහු ඊටත් වඩා කුඩා කැබලිවලට ගල් කැට කපන්න පටන්ගත්හ. මෙමගින් වඩා ස්වාභාවික රූප නිමැවීමට හැකි විය. කල් යත්ම සුමට ගල් කැට වෙනුවට ටෙසරි ලෙස හැඳින්වෙන හරි හතරැස් ගල් කැබලි භාවිත කරනු ලැබීය. ටෙසරි භාවිත කිරීමත් සමඟම කලාකරුගේ වර්ණ ඵලකයට තවත් පැහැයන් එකතු වූ අතර එමගින් අවශ්‍ය මෝස්තරය හැඩගැන්වීමද පෘෂ්ඨය මත ගල් කැබලි ඇල්ලීමද වඩාත් පහසු විය. ටෙසරි යොදාගෙන සුමට මතුපිටවල් නිමැවූ අතර ඉටි දමා ඔපනැංවීමෙන් ඒවායේ වර්ණවල දීප්තිය වැඩි කිරීමටද හැකි විය. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවස වන විට, මේ සඳහා කුඩා වෛවර්ණ වීදුරු කැට පුළුල්ව යොදාගැනීමට පටන්ගත්තේය. එමගින් මොසෙයික් කලාකරුගේ වර්ණ ඵලකය තවත් පුළුල් විය.හෙලනිස්තික යුගයේදී (ක්‍රි.පූ. 300 පමණ සිට ක්‍රි.පූ. 30 පමණ දක්වා) කදිම මොසෙයික් දසුන් නිර්මාණය කෙරුණි. “සොයාගත හැකි වූ සෑම වර්ණයකින්ම යුත් ගල් කැට යොදාගැනීමෙන් හා ටෙසරිවල ප්‍රමාණය ඝන මිලිමීටරයක් දක්වාම අඩු කිරීමෙන් . . . , ග්‍රීක මොසෙයික් කලාකරුවන් බිතු සිතුවම් තරම්ම විශිෂ්ට මොසෙයික් කෘති නිර්මාණය කළ” බව මොසෙයික් කලාව පිළිබඳ එක්තරා කෘතියක
(Glossario tecnico-storico del mosaico, මොසෙයික් කලාව පිළිබඳ පාරිභාෂික ඓතිහාසික ශබ්ද මාලාව) සඳහන් වේ. ආලෝකය, අඳුර, ඝනත්වය, පරිමාව හා පර්යාලෝකය වැනි සියුම් දේ දැක්වීමට පවා කලාකරුවෝ දක්ෂ ලෙස වර්ණ යොදාගත්හ.එම්බ්ලෙමා ලෙස හැඳින්වෙන විසිතුරු මල් මෝස්තරවලින් නිර්මාණය වූ දාරයක් සහිත ඉතා සංකීර්ණ සිතුවම් වර්ගයක් ග්‍රීක මොසෙයික් අතර සුලභව දක්නට ලැබේ. බොහෝවිට ඒවා ප්‍රසිද්ධ කලා කෘතියක අග්‍රගණ්‍ය පිටපත් විය. සමහර එම්බ්ලෙමා කෘතිවල භාවිත කර තිබෙන ටෙසරි ඉතා කුඩා වන අතර ඒවා එක ළඟ එක අල්ලා ඇත්තේ හිඩැසක්වත් නොපෙනෙන තරමටය. ඒ නිසා, එම සිතුවම් ගල් කැටවලින් නිමැවූ ඒවා මෙන් නොව පින්තාරු කළ ඒවා මෙන් දිස් වේ.
රෝම මොසෙයික්
ඉතාලියේ හා රෝම අධිරාජ්‍යය පුරාම මොසෙයික් කෘති සුලභව දක්නට ලැබෙන නිසා මොසෙයික් බොහෝවිට සලකනු ලබන්නේ රෝම කලා ශිල්ප ක්‍රමයක් වශයෙනි. එක් මූලාශ්‍රයක සඳහන් වන පරිදි, “රෝම අධිරාජ්‍ය සමයට අයත් ගොඩනැඟිලිවල මේ ක්‍රමයට සෑදූ පදික වේදිකා අසංඛ්‍යාත ගණනක් උතුරු බ්‍රිතාන්‍යයේ සිට ලිබියාව දක්වාද අත්ලන්තික් වෙරළ තීරයේ සිට සිරියානු කාන්තාරය දක්වාද දක්නට ඇත.” තවද, “මේ [මොසෙයික්] වර්ගය හා රෝම සංස්කෘතියේ ව්‍යාප්තිය අතර කොයි තරම් සමීප සම්බන්ධයක් ඇද්ද කිවහොත්, යම් අවස්ථාවලදී [මොසෙයික් පදික වේදිකා] සලකනු ලබන්නේ යම් ප්‍රදේශයක රෝමවරුන් ජීවත් වූ බව කියාපාන ලක්ෂණයක් වශයෙනි.”
එහෙත් වර්ණ ගණනාවකින් යුත් මොසෙයික් දසුන් මුල් කාලීන රෝම අධිරාජ්‍යයේ අවශ්‍යතාවලට නොසරිලන බව පෙනෙන්න තිබුණි. ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේදී බොහෝ සෙයින් නගර සීමා පුළුල් වෙන්න පටන්ගත් නිසා කඩිනමින් හා අඩු මිලකට සාදාගත හැකි වූ මොසෙයික්වලට වැඩි ඉල්ලුමක් ඇති විය. කලු සහ සුදු ටෙසරි පමණක් යොදාගෙන මොසෙයික් සෑදීමට පටන්ගත්තේ මේ කාලයේදීය. නිෂ්පාදනය ශීඝ්‍රයෙන් වැඩි වර්ධනය විය. තවද ඉපැරණි චිත්‍ර කලාව පිළිබඳ එක්තරා විශ්වකෝෂයක (Enciclopedia dell’arte antica, පුරාණ කලා විශ්වකෝෂය) පවසන පරිදි “මොසෙයික් සැරසිල්ලක් නොමැති ධනවත් නිවසක් අධිරාජ්‍යයේ එකම නගරයකවත් සොයාගත නොහැකි වූ තරම්ය.”
සමහර ප්‍රදේශවල දක්නට ලැබෙන මෝස්තරවල පිටපත් සෑහෙන දුරින් පිහිටි වෙනත් ප්‍රදේශවලද දක්නට ලැබේ. මෙයින් පෙනී යන්නේ, කලා ශිල්පීන් කණ්ඩායම් වශයෙන් එක් ඉදි කිරීමේ භූමියක සිට තවත් ඉදි කිරීමේ භූමියකට
ගමන් කළ බවය. එසේත් නැතහොත් මොසෙයික් මෝස්තර අඩංගු පොත් පත් හුවමාරු කරගනු ලැබුවා විය හැක. අවශ්‍ය වූ විට, කලා ශිල්පියෙකුගේ වැඩපොළේ නිම කරන ලද කෘතියක් ඉල්ලුම් කිරීමටද පුළුවන් විය. කෘතිය නිම කළ පසු, එය කිරිගරුඬ හෝ මැටිතැටියක් මත තබා ඉදි කිරීමේ ස්ථානයට රැගෙන ගිය අතර පසුව නියමිත ස්ථානයෙහි සවි කරනු ලැබීය. ඊට අමතරව කළ සියලුම මොසෙයික් වැඩ නිම කරන ලද්දේ ඉදි කිරීමේ භූමියේදීමය.මෝස්තර සහ මෝස්තර දාර නියමිත ස්ථානවල සවි කරනු ලැබීම සඳහා ඉතා හොඳින් සැලසුම් කළ යුතුව තිබුණි. අත්තිවාරම සහ එහි ගොඩනඟනු ලබන පෘෂ්ඨය සුමටද සමතලාද යන්න හොඳින් සොයා බැලීය. ඉන්පසු, කුඩා ප්‍රදේශයක් පුරා කදිමට මිශ්‍ර කරන ලද බදාම ගාන ලදි. එය සාමාන්‍යයෙන් ගාන ලද්දේ සිහින් තට්ටුවක් වන සේ, ඝන මීටරයකට වඩා කුඩා ප්‍රදේශයක් පුරාය. එවිට බදාම වේළෙන්න කලින් ටෙසරි එබවීමට හැකි විය. සමහර අවස්ථාවලදී පෘෂ්ඨය මත මෝස්තරය සටහන් කරනු ලැබීය. ටෙසරි අවශ්‍ය ප්‍රමාණයට කපාගත් පසු ශිල්පීහු ඒවා බදාම තුළට එබවීමට පටන්ගත්හ.
ටෙසරි එකින් එක බදාම තුළට එබවූ විට කැබලි අතරින් බදාම මතු විය. එක් කොටසක ටෙසරි ඔබවා අවසන් වූ පසු ඊළඟ කොටස මත බදාම ගා ටෙසරි සවි කරනු ලැබීය. මුළු කෘතියම නිම කරනු ලැබුවේ මේ ආකාරයටය. සංකීර්ණ කොටස් නිම කරනු ලැබුවේ ඉතා දක්ෂ ශිල්පීන් විසිනි. ඔවුන්ගේ සහයකයෝ සරල රටාවලින් යුත් කොටස් නිම කළහ.
ක්‍රිස්තියානි ලෝකයේ මොසෙයික්
ක්‍රිස්තු වර්ෂ හතරවන සියවස වන විට ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල මොසෙයික් කලාව යොදාගැනීමට පටන්ගනු ලැබීය. මොසෙයික්වල බොහෝවිට සිත්තම් කරනු ලැබුවේ බයිබල් කතන්දර වන අතර ඒවායේ අරමුණ වූයේ බැතිමතුන්ට යම් පාඩම් ඉගැන්වීමය. රත්තරන් හා වෛවර්ණ වීදුරු කැට මත පතිත වූ ඉටිපන්දම් ආලෝකය මගින් මොසෙයික්වලට ලෝකෝත්තර ස්වභාවයක් ලැබුණි. ඉතාලි කලා ඉතිහාසය පිළිබඳ එක්තරා කෘතියක (Storia dell’arte italiana) පවසන්නේ මෙසේය. “නව ප්ලේටෝවාදයේ . . . බලපෑමට නතු වී තිබුණු, එම වකවානුවේ චින්තනයන්ට මොසෙයික් කලාව හොඳින් ගැළපුණි. මොසෙයික් කෘති නිර්මාණය කිරීමේදී හැඩයක් නොමැති අඳුරු, අප්‍රාණික පදාර්ථ පවිත්‍ර ආලෝකය, පවිත්‍ර හැඩය හා පවිත්‍ර ආත්මිකත්වය යන අංග තුනෙන් යුත් වස්තුවක් බවට මුළුමනින්ම පරිවර්තනය වූවායයි විශ්වාස කෙරුණි.” a ක්‍රිස්තියානි ධර්මය හඳුන්වා දුන් යේසුස් ක්‍රිස්තුස් ඉගැන්වූ සරල නමස්කාර ක්‍රමයට වඩා එය කොයි තරම් වෙනස් වීද!—යොහන් 4:21-24.
බයිසන්තියානු යුගයට අයත් පල්ලිවල ඉතා විශිෂ්ට මොසෙයික් කෘති දක්නට ලැබේ. සමහර පල්ලිවල ඇතුල් බිත්ති හා අර්ධ කවාකාර පියස් මුළුමනින්ම ටෙසරිවලින් සරසා ඇත. “ක්‍රිස්තියානි මොසෙයික් කලාවේ අග්‍රකෘති” වශයෙන් සලකනු ලබන සිතුවම් ඉතාලියේ රැවෙන්නා නගරයේ දක්නට ඇත. එම කෘතිවල බැබළෙන රන්පාට පසුබිම් යොදනු ලැබුවේ දිව්‍ය ආලෝකය හා කිසිදා වටහාගත නොහැකි අභිරහස්‍යභාවය දැක්වීමටය.
මධ්‍යකාලීන යුගය පුරාම බටහිර යුරෝපීය පල්ලිවල මොසෙයික් කලාව යොදාගනු ලැබීය. ඉස්ලාම් ලෝකයේද එය අතිදක්ෂ ලෙස භාවිත කෙරුණි. ඉතාලියේ පුනරුද යුගයේදී, වැනිසියේ සාන්ත මාක් හා රෝමයේ සාන්ත පේදුරු වැනි මහ දෙව්මැදුරුවලට යාබදව පිහිටි කම්හල් මොසෙයික් නිෂ්පාදනය කරන මධ්‍යස්ථාන බවට පත් විය. වර්ෂ 1775දී නානාවිධ වර්ණවලින් යුත් රත් කරන ලද කෙඳි වැනි වූ වීදුරු කැබලි ඉතා සියුම් ටෙසරිවලට කපාගැනීමට රෝමයේ කලා ශිල්පීහු ඉගෙනගත්හ. පින්තාරු කරන ලද කලා කෘතිවල කුඩා මොසෙයික් පිටපත් සෑදීමට මෙය මඟ පෑදීය.
නවීන දින මොසෙයික්
නූතන මොසෙයික් කලාකරුවන් භාවිත කරන්නේ ඍජු නොවන ක්‍රමය ලෙස හඳුන්වන ක්‍රමයයි. කම්හලකදී, කෘතියේ නියම ප්‍රමාණයට මෝස්තරය කඩදාසියක සටහන් කරගනී. ඉන්පසු මෝස්තරය මත ටෙසරි මුණින් අතට අලවනු ලබයි. ඊළඟට මොසෙයික් කෘතිය කොටසෙන් කොටස ඉදි කිරීමේ ස්ථානයට රැගෙන යයි. එහිදී ටෙසරිවල පිට පැත්ත බදාම තුළට ඔබනු ලබයි. බදාම වේළුණු පසු ටෙසරිවල හොඳ පැත්ත හොඳින් පෙනෙන සේ කඩදාසිය සහ ගම් සෝදාහරිනු ලබයි. මෙම ක්‍රමය මගින් කාලය හා ශ්‍රමය ඉතිරි කරගත හැකි වුවත් නවීන දින කෘතිවල මධ්‍යකාලීන යුගයේ කෘති තරම් දීප්තිමත් බවක් දක්නට නොමැත.
කොහොමනමුත්, 19වන සියවසේ පුරහලවල්, ඔපෙරා ශාලා, පල්ලි හා වෙනත් ගොඩනැඟිලි සරසනු ලැබුවේ මෙම ක්‍රමය උපයෝගි කරගනිමිනි. තවද, මෙක්සිකෝ අගනුවරේ සිට මොස්කව් දක්වාද ඊශ්‍රායෙලයේ සිට ජපානය දක්වාද දක්නට ලැබෙන කෞතුකාගාරවල, උමං දුම්රිය ස්ථානවල, වෙළඳ සංකීර්ණවල, උද්‍යානවල හා ක්‍රීඩා පිට්ටනිවල මෙම ක්‍රමය බොහෝ සෙයින් භාවිත කර තිබේ. නවීන ගොඩනැඟිලිවල විශාල පෘෂ්ඨ සැරසීමට අංග කිහිපයකින් යුත් සුමට වූ මොසෙයික් යෝග්‍ය බව පිළිගැනේ.
දහසයවන සියවසේ ඉතාලි කලාකරුවෙක් සහ කලා ඉතිහාසඥයෙක් වූ ජියෝජෝ වසාරි මෙසේ ලීවේය. “දිගු කාලීනව පවතින සිතුවම් අතරින් මුල් තැන ගන්නේ මොසෙයික්. කාලයාගේ ඇවෑමෙන් වෙනත් සිතුවම්වල වර්ණය අඩු වේ. එහෙත් පරණ වෙන්න වෙන්න මොසෙයික්වල දීප්තිය තව තවත් වැඩි වේ.” ඉතා දක්ෂ ලෙස නිමැ වූ බොහෝ මොසෙයික් අපේ නෙත් වසඟ කරගන්නා බවට සැකයක් නැත. ගල් කැටවලින් නිමැවූ මොසෙයික් සිතුවම් ඇත්තවශයෙන්ම අපූරුයි!
[පාදසටහන]
a ප්ලේටෝවාදයට අයත් ශුද්ධ ලියවිලිවලට පටහැනි වූ දර්ශන අමරණීය ආත්මය පිළිබඳ සංකල්පයටද දිරි දුණි.
[14වන පිටුවේ පින්තූරය]
යෙරුසලමෙහි සිතියමක් (ක්‍රි.ව. හයවන සියවස)
[හිමිකම් විස්තර]
Garo Nalbandian
[14වන පිටුවේ පින්තූරය]
මහා ඇලෙක්සැන්ඩර් (ක්‍රි.පූ. දෙවෙනි සියවස)
[හිමිකම් විස්තර]
Erich Lessing/Art Resource, NY
[14, 15වන පිටුවේ පින්තූරය]
යෙරුසලමෙහි ඩෝම් ඔෆ් ද රොක් (ක්‍රි.ව. 685-705 අතර ඉදි කරන ලදි)
[15වන පිටුවේ පින්තූරය]
අන්තියෝකියේ, “ඩයොනිසස්” (ක්‍රි.ව. 325දී පමණ)
[හිමිකම් විස්තර]
Museum of Art, Rhode Island School of Design, by exchange with the Worcester Art Museum, photography by Del Bogart
[16වන පිටුවේ පින්තූරය]
වර්ණවත් වීදුරු කැට හා ගල් කැට ටෙසරි තවමත් නවීන දින මොසෙයික් සඳහා භාවිත කරනු ලැබේ
[16වන පිටුවේ පින්තූරය]
මැසචූසෙට්ස්හි ලින් හෙරිටේජ් ජාතික උද්‍යානයේ මොසෙයික් සිතුවමක්
[හිමිකම් විස්තර]
Kindra Clineff/Index Stock Photography
[16වන පිටුවේ පින්තූරය]
බාසිලෝනාහි ඇන්ටොනි ගවුඩි විසින් නිර්මාණය කරන ලද මොසෙයික් සිතුවම් (1852-1926)
[හිමිකම් විස්තර]
Foto: Por cortesía de la Fundació Caixa Catalunya