Skip to content

පටුනට යන්න

විකල්ප ජීවන රටාවන් දෙවි අනුමත කරනවාද?

විකල්ප ජීවන රටාවන් දෙවි අනුමත කරනවාද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

විකල්ප ජීවන රටාවන් දෙවි අනුමත කරනවාද?

“මගේ ලිංගික නැඹුරුවාව හඳුනාගන්න පුළුවන් වෙන්නේ කොයි කාලයේදීද?” එක්තරා ප්‍රකාශනයක නහඹරයන්ට උපදෙස් දෙන තීරුවක 13හැවිරිදි දැරියක් විසින් එසේ අසා තිබුණා. තමන් කැමති ඕනෑම ලිංගික ජීවන රටාවක් තෝරාගැනීමට මනුෂ්‍යයන්ට නිදහස තිබෙනවාය යන හැඟීම දරන බොහෝදෙනෙකුගේ ආකල්පය ඇය ඇසූ ප්‍රශ්නයෙන් පිළිබිඹු වෙයි.

සමහර අය තමන්ගේ ලිංගික හැඟීම් පිළිබඳව අවංකවම ව්‍යාකූලත්වයට පත් වී සිටිනවා විය හැකියි. වෙනත් අය සමලිංගිකත්වය වැනි විකල්ප ජීවන රටාවන් ප්‍රසිද්ධියේම පිළිගන්නවා. තවත් සමහරු කිසිම භයක් සැකක් නැතුව විරුද්ධ ලිංගයේ කෙනෙකු මෙන් හැසිරීමටත් ඇඳ පැළඳ සිටීමටත් කැමැත්තක් දක්වනවා. සමහරු විරුද්ධ ලිංගයේ කෙනෙකු වීමට ශල්‍යකර්ම පවා කරගන්නවා. දරුවන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට වැඩිහිටියන්ට නිදහස තිබිය යුතු බවට තර්ක කරන අය පවා සිටිනවා.

ලිංගික ක්‍රියා සහ ලිංග භේදය යන කාරණා ගැන තීරණ ගැනීම ඇත්තෙන්ම පෞද්ගලික දෙයක්ද? දේවවචනය මෙම කාරණා සම්බන්ධයෙන් කියන්නේ මොනවාද?

“පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුවේය”

බයිබලයේ උත්පත්ති පොතට අනුව, පුරුෂයන් හා ස්ත්‍රීන් අතර තිබෙන වෙනස්කම් ඇති කළේ දෙවිමයි. එම වාර්තාවේ මෙසේ සඳහන් වෙයි. “දෙවි තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුවේය. . . . පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුවේය. දෙවි ඔවුන්ට ආශීර්වාද කළේය. දෙවි ඔවුන්ට මෙසේ කීවේය. ඔබ බෝ වී වැඩි වෙමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කරගන්න.”—උත්පත්ති 1:27, 28.

දෙවි මනුෂ්‍යයන්ව මවද්දී ඔවුන්ට නිදහස් කැමැත්ත දුන් අතර එම නිදහස භුක්ති විඳීමට ඔවුන්ට ප්‍රස්තාවන්ද ලබා දුන්නා. (ගීතාවලිය 115:16) පොළොව මත සිටින අන් සියලුම ජීවීන්ව බලා කියා ගැනීමේ වගකීම භාර දී තිබුණේද මිනිසාටයි. එපමණක්ද නොව, උන්ට ගැලපෙන නම් තෝරාගැනීමට පවා ඔහුට නිදහස තිබුණා. (උත්පත්ති 2:19) කෙසේවෙතත් ලිංගිකත්වය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් නම්, දෙවි නිශ්චිත මඟ පෙන්වීම් ලබා දුන්නා.—උත්පත්ති 2:24.

ආදම්ගේ අකීකරුකම නිසා අප හැමෝටම අසම්පූර්ණකම උරුම වී තිබෙනවා. ඒ නිසා දෙවිගේ මුල් අරමුණට එකඟ නැති, මාංසික දුර්වලකම් සහ බලවත් ආශාවන්ට විරුද්ධව අප සටන් කළ යුතුයි. දෙවි මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිවල තමාට පිළිකුල් වූ ලිංගික ක්‍රියා ගැන විශේෂයෙන් සඳහන් කළා. පරදාර සේවනය, ව්‍යභිචාරය, සමලිංගිකත්වය සහ මෘගයන් සමඟ සංවාසයේ යෙදීම ඒවාට ඇතුළත් වෙයි. (ලෙවී කථාව 18:6-23) තවද දුරාචාරමය අරමුණු ඇතුව විරුද්ධ ලිංගයේ කෙනෙකු මෙන් පෙනී සිටීමද දෙවි පැහැදිලිවම තහනම් කළා. (ද්විතීය කථාව 22:5) දෙවි අනුමත කරන්නේ විවාහ විධිවිධානය තුළ විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ පවත්වන ලිංගික සම්බන්ධකම් පමණක් බව බයිබලය අඛණ්ඩව උගන්වයි. (උත්පත්ති 20:1-5, 14; 39:7-9; හිතෝපදේශ 5:15-19; හෙබ්‍රෙව් 13:4) එවන් ප්‍රමිති සාධාරණද?

තීරණය කාගේද?

මැවුම්කරු ඉදිරියේ මිනිසාගේ තත්වය බයිබලය සමාන කරන්නේ කුඹල්කරුවෙකුගේ අතේ තිබෙන මැටි පිඩකටයි. එහි මෙසේ සඳහන් වෙයි. “මනුෂ්‍යය, දෙවිට එකට එක කියන්න, ඇත්තටම ඔබ කවුද? ‘ඔබ මාව මේ විදියට හැදුවේ ඇයි?’ කියා අඹන ලද දේ ඇඹූ තැනැත්තාගෙන් අසාවිද?” (රෝම 9:20, NW) පුරුෂයන්ව හා ස්ත්‍රීන්ව දෙවි මවා තිබෙන ආකාරය සලකා බලද්දී, ඔවුන් එකිනෙකාට ලිංගිකව ආකර්ෂණය වීම ස්වාභාවික දෙයක් බව පැහැදිලියි. එබැවින් එකම ලිංගයේ කෙනෙකු වෙතට, සතෙකු වෙතට හෝ දරුවෙකු වෙතට ලිංගිකව ආකර්ෂණය වීම අස්වාභාවික දෙයක් වෙයි.—රෝම 1:26, 27, 32.

මේ හේතුවෙන් එවැනි අස්වාභාවික ලිංගික නැඹුරුවාවන් පස්සේ හඹා යන අය දෙවිට විරුද්ධ වන්නෝ බවට පත් වෙනවා. බයිබලය මෙසේ අනතුරු අඟවයි. “තමාගේ මැවුම්කාරයා හා සමඟ පොරට සිටින්නාට දුක් වේ! මැටි කැබිලිති අතරේ වූ කැබිලිත්තක හැටි! ඔබ හදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ට . . . යුතුද?” (යෙසායා 45:9) ලිංගික කාරණා සම්බන්ධයෙන් මිනිසුන්ට මඟ පෙන්වීම් ලබා දීම, ඔවුන්ගේ මැවුම්කරුගේ පැත්තෙන් සාධාරණ දෙයක් බව පැහැදිලියි. මනුෂ්‍යයන් විසින් එවැනි මඟ පෙන්වීම් පිළිගැනීමත් සාධාරණ දෙයක් නොවේද?

තමාගේම ශරීරය පාලනය කරගැනීම

බයිබල් ලේඛකයෙකු වූ පාවුල් ක්‍රිස්තියානීන්ට ලිංගික හැසිරීම පිළිබඳව මඟ පෙන්වීම ලබා දුන්නා. ඔහු මෙසේ පැවසුවා. “එකිනෙකා තම තමාගේ ශරීරය ශුද්ධව, ගෞරවයෙන් යුක්තව පාලනය කරගන්නේ කෙසේදැයි දැනගත යුතුය. . . . අධික ලිංගික තෘෂ්ණාවෙන් යුක්තව නොසිටිය යුතුය.” (1 තෙසලෝනික 4:4, 5, NW) තම ශරීරය පාලනය කරගැනීමෙන් අදහස් කරන්නේ, තම සිතුවිලි හා ආශාවන් දෙවිගේ සදාචාරමය නීතිවලට අනුකූල කරගැනීමයි.

මෙය පහසු දෙයක් නොවිය හැකි බව පිළිගත යුතුයි. ළමා වියේදී ලිංගික අතවරයට ගොදුරු වූ කෙනෙකුට, පුරුෂභාවය හෝ ස්ත්‍රීභාවය පිළිබඳව විකෘති ආදර්ශයක් සැපයූ දෙමාපියන් හෝ භාරකරුවන් සිටි කෙනෙකුට හෝ ළාබාල වියේදී කාමුක කෘති නරඹා තිබෙන කෙනෙකුට එසේ කිරීම දුෂ්කර බව වටහාගත හැකියි. තවද ලිංගික හැඟීම් විකෘති වීමට ජාන, හෝමෝන සහ මානසික තත්වයන්ද හේතු විය හැකියි. කෙසේවෙතත් අවශ්‍ය අයට උපකාර සැපයීමට අපගේ මැවුම්කරුට හැකි බව දැන සිටීම සහනයක් වෙයි.—ගීතාවලිය 33:20; හෙබ්‍රෙව් 4:16.

ඔබව ඇඹීමට ශ්‍රේෂ්ඨ කුඹල්කරුට ඉඩහරින්න

කුඹල්කරුවෙකු විසින් මැටි පිඩකින් යම් හැඩයක් අඹන්න පටන්ගන්න කලින්, මැටි පිඩ සකපෝරුවේ හරි මැදට වෙන්න තිබිය යුතුයි. ඉන්පසුව සකපෝරුව කැරකෙන විට, කුඹල්කරුවා හොඳ නිපුණත්වයකින් යුතුව තම ඇඟිලිවලින් හෙමිහිට හෙමිහිට ඔබමින් මැටි පිඩෙන් තමාට අවශ්‍ය කරන හැඩය සාදාගනියි. දෙවි විසින් තමා ආශා කරන පුද්ගලයෙකු ලෙසට අපව ඇඹීමට නම්, අපේ ජීවිත දෙවිගේ වෙනස් නොවන නීති සහ ප්‍රමිති මත පදනම් විය යුතුයි. එසේ කිරීමට අප උත්සාහ කරන විට, බයිබලය, ශුද්ධාත්මය සහ ක්‍රිස්තියානි සහෝදරත්වය තුළින් දෙවි ප්‍රේමණීය ආකාරයකින් හෙමින් සීරුවේ අපව සකස් කරයි. පුද්ගලයෙකුට තම ජීවිතය තුළ දෙවිගේ පෞද්ගලික සැලකිල්ල දැනෙන්න පටන්ගන්නෙත් අද්දකින්න හැකි වෙන්නෙත් එවිටයි.

එහෙත් අපට සුදුසු වන්නේ කුමක්ද යන්න මැවුම්කරු දන්නා බව විශ්වාස කරමින්, ඔහුගේ ප්‍රඥාව කෙරෙහි නිසැකකමක් අප තුළ වර්ධනය විය යුතුයි. මෙම විශ්වාසය ගොඩනැඟෙන්නේ යාච්ඤා කිරීමෙන් සහ බයිබලය උනන්දුවෙන් අධ්‍යයනය කිරීමෙනුයි. නුසුදුසු ලිංගික හැඟීම් තිබෙන නමුත් යෙහෝවා කෙරෙහි එසේ විශ්වාස කරන කෙනෙකුව නිසි ලෙස ඇඹීම, මැවුම්කරුට අපහසු නැහැ. “එබැවින්, දෙවි සුදුසු කාලයේදී ඔබව උසස් කරන පිණිස, ඔහුගේ බලවත් හස්තයට යටත් වන්න. ඔහු ඔබ ගැන සලකන නිසා, ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න,” යනුවෙන් 1 පේතෘස් 5:6, 7, [NW] පවසයි.

මාංසික ආශාවන් සමඟ පොරබැදූ නමුත් කිසිසේත් තම උත්සාහය අත් නොහැරිය දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් බොහෝදෙනෙකු ගැන නිතිපතා බයිබලය කියවීම තුළින් අපට ඉගෙනගැනීමට හැකි වෙයි. ඔවුන්ගේ ආදර්ශ මොන තරම් දිරිගැන්වීමක් ලබා දෙනවාද! “මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද! මියයන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද?” කියා පවසද්දී යම් අවස්ථාවල ප්‍රේරිත පාවුල් තමා ගැනම කලකිරුණු තත්වයට පත් වූ ආකාරය අපට දැනෙයි. එහෙත් “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිට ස්තුති වේවා!” යනුවෙන් තමාගේම ප්‍රශ්නයට පිළිතුරු සපයද්දී, උපකාර ලැබෙන ප්‍රධාන උල්පත වෙතට ඔහු අපව යොමු කළා.—රෝම 7:24, 25, NW.

වෙනස්කම් කිරීමට බලය

දෙවිගේ ශුද්ධාත්මය ලබාගැනීමටද අපට හැකියි. මෙය වෙනස්කම් කිරීමට උපකාරවත් වන ප්‍රබල බලයක් වෙයි. ‘පරණ පෞද්ගලිකත්වය අහක දමා, සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න’ ශුද්ධාත්මය අපට උපකාරවත් වෙයි. (එෆීස 4:22-24, NW) මෙසේ වෙනස්කම් කිරීම සඳහා ශුද්ධාත්මයේ උපකාරය ලබා දෙන මෙන් අවංකව ඉල්ලා සිටිද්දී අපගේ ප්‍රේමණීය ස්වර්ගීය පියාණන් කිසි විටෙකත් ප්‍රතිචාරය නොදක්වා සිටින්නේ නැහැ. පියාණන් ‘තමන්ගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය’ දෙන බව යේසුස් අපට සහතික කළා. (ලූක් 11:13) කෙසේවෙතත්, නොකඩවා යාච්ඤා කිරීම අත්‍යවශ්‍යයි. “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ” යන ඔහුගේ වචනවලින් ඒ බව අඟවයි. (මතෙව් 7:7, NW) බලවත් ලිංගික ආශාවන් පාලනය කිරීමේදී මෙය විශේෂයෙන් සැබෑවක් වෙයි.

හැම පසුබිමකින්ම පැමිණෙන මනුෂ්‍යයන්ගෙන් සෑදුණු සැබෑ ක්‍රිස්තියානි සහෝදරත්වය මගින්ද දෙවි අපට උපකාර සපයයි. ‘අස්වාභාවික කාම සේවනය සඳහා යොදාගන්නා ලද පිරිමින්ගේ’ සහ ‘පිරිමින් සමඟ කාම සේවනයේ යෙදෙන පිරිමින්ගේ’ ගණයට පළමු ශතවර්ෂයේ කොරින්ති සභාවේ සිටි සමහර ක්‍රිස්තියානීන් කලින් අයත්ව සිටියා. එහෙත් ඔවුන් වෙනස් වුණා. ක්‍රිස්තුස්ගේ රුධිරයෙන් ඔවුන්ව පවිත්‍ර කරනු ලැබූ අතර, දෙවි ඉදිරියේ පිළිගත හැකි තත්වයකට ඔවුන් පත් වුණා. (1 කොරින්ති 6:9-11) අද දින සිටින ඇතැම් අයටද ඒ හා සමාන වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වෙයි. එමෙන්ම, වැරදි ආශාවන්ට එරෙහිව එවැනි අය ගෙන යන සටනට ක්‍රිස්තියානි සභාවේ සහායද ලබාගත හැකියි.

කෙනෙකුට තිබෙන අස්වාභාවික ආශාවන් සියල්ල මෙන්ම තම ලිංග භේදය පිළිබඳව ඔහුට තිබෙන ව්‍යාකූලත්වය, ක්‍රිස්තියානියෙකු වූ පමණින්ම ඉබේටම නැති වෙයි කියා මෙයින් අදහස් කරයිද? අනිවාර්යයෙන්ම නැහැ. අත් නෑර බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම තුළින් සමහරුන්ට හැකි වී තිබෙනවා සාමාන්‍ය විදිහට ජීවිත ගත කරන්න. එහෙම වුණත්, මෙම ක්‍රිස්තියානීන්ට දිනපතාම වැරදි ආශාවන්ට එරෙහිව මහත් සටනක් ගෙන යෑමට සිදු වී තිබෙනවා. එවැනි අයට දෙවිට සේවය කිරීමට සිදු වී තිබෙන්නේ, “මාංසයේ කටුවක්” වැනි වූ එවැනි ආශාවන් සමඟ පොරබදමිනුයි. (2 කොරින්ති 12:7, NW) ඔවුන් ධර්මිෂ්ඨව හැසිරෙමින් නුසුදුසු නැඹුරුවාවන්ට එරෙහිව සටන් කරන තාක් කල්, ඇදහිලිවන්ත සේවකයන් හැටියටත් පවිත්‍ර අය හැටියටත් දෙවි ඔවුන්ව සලකයි. මුළු මිනිස් වර්ගයාම “දිරාපත් වීමේ වහල්කමින් නිදහස් වී දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස ලබන” අනාගතය ගැන ඔවුන්ට බලාපොරොත්තු තැබිය හැකියි.—රෝම 8:21, NW.

ඒ අතරතුරේදී, දෙවිව සතුටු කිරීමට කැමති සියල්ලෝම ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුකූල විය යුතුයි. සැබෑ ක්‍රිස්තියානීන් තෝරාගන්නේ දෙවිට සේවය කිරීමට මිසක තමන්ගේ ආත්මාර්ථකාමී නැඹුරුවාවන්ට අනුව ජීවත් වෙන්න නෙවෙයි. ජීවිතයේ සෑම අංගයකදීම දෙවිගේ කැමැත්තට නිහතමානීව යටත් වන අයට ලැබෙන ත්‍යාගය වන්නේ සදාකාලික ප්‍රීතිය හා සන්තෝෂයයි.—ගීතාවලිය 128:1; යොහන් 17:3.

[26වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලිංගික කාරණා පිළිබඳව දෙවි නිශ්චිත මඟ පෙන්වීම් ලබා දුන්නා

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘අස්වාභාවික කාම සේවනය සඳහා යොදාගන්නා ලද පිරිමින්ගේ’ ගණයට සහ ‘පිරිමින් සමඟ කාම සේවනයේ යෙදෙන පිරිමින්ගේ’ ගණයට පළමු ශතවර්ෂයේ කොරින්ති සභාවේ සිටි සමහර ක්‍රිස්තියානීන් කලින් අයත්ව සිටියා. එහෙත් ඔවුන් වෙනස් වුණා

[28වන පිටුවේ පින්තූරය]

උසස් සදාචාර ප්‍රමිති ඇතුව සිටීමට බයිබල් අධ්‍යයනය කෙනෙකුට උපකාරවත් වෙයි