Skip to content

පටුනට යන්න

ඔබේ ඥාතීන් සහ හිත මිතුරන් ඔබේ ඇදහිල්ලට අයිති නොවන විට . . .

ඔබේ ඥාතීන් සහ හිත මිතුරන් ඔබේ ඇදහිල්ලට අයිති නොවන විට . . .

බයිබලයේ දෘෂ්ටිකෝණය

ඔබේ ඥාතීන් සහ හිත මිතුරන් ඔබේ ඇදහිල්ලට අයිති නොවන විට . . .

එක් සංඛ්‍යා ලේඛනයකට අනුව ලොව පුරා ආගම් සහ නිකායන් 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් තිබේ. එක් රටක, වැඩිහිටි ජනගහනයෙන් සියයට 16ක් ජීවිතේ යම් අවස්ථාවක තම ආගම හැරදා වෙනත් ආගමක් වැලඳගෙන ඇත. එමනිසා, එකිනෙකාගේ ආගමික විශ්වාසයන් වෙනස් වන විට ඥාතීන් සහ මිතුරන් අතර එකඟ නොවීම් ඇතිවීම පුදුමයක් නොවෙයි. සමහරවිට මෙමගින් සබඳතාවන් පලුදු වීමට පවා ඉඩ තිබේ. මෙහිදී පැනනඟින ප්‍රශ්නය, ක්‍රිස්තියානීන් තම ඇදහිල්ලට අයිති නොවන ඥාතීන්ට සහ හිත මිතුරන්ට සැලකිය යුත්තේ කෙසේදැයි යන්නයි.

විශේෂ ඥාති සබඳකම්

දෙමාපියන් හා දරුවන් අතර තිබෙන සබඳතාව වැනි විශේෂ සබඳතා ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්දැයි කියා මොහොතකට සලකා බලන්න. නික්මයාම 20:12හි සඳහන් “ඔබේ පියාටත් ඔබේ මවුටත් ගෞරව කරන්න” යන ආඥාව ජීවිත කාලයටම අදාළ වන්නකි. මෙම ආඥාව යේසුස් සාකච්ඡාවට බඳුන් කළ ආකාරය මතෙව් 15:4-6 දක්වා වාර්තා වී තිබේ. එහිදී, ඔහු ගෙනහැර දක්වමින් සිටියේ වැඩිහිටි දරුවන් දෙමාපියන්ට දක්වන ගෞරවය ගැනයි කියා පැහැදිලියි.

දෙමාපියන්ට අගෞරව කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් බයිබලයේ හිතෝපදේශයෙහි සඳහන් වේ. හිතෝපදේශ 23:22හි උපදෙස් දෙන්නේ, “ඔබේ මෑණියන් මහලු වූ කල ඈ සුළු නොකරන්න” සහ හිතෝපදේශ 19:26හි සඳහන් වන්නේ, “තමාගේ පියාගෙන් කොල්ලකමින් තමාගේ මවු පන්නා දමන්නා ලජ්ජා උපදවන්නාවූ, නින්දා පමුණුවන්නාවූ පුත්‍රයෙක්ය” යනුවෙනි.

අපගේ දෙමාපියන්ව අප නොසලකා නොහැරිය යුතුයි යන්න ශුද්ධ ලියවිල්ලෙන් මනාව පැහැදිලි වෙයි. අපේ දෙමාපියන් අප අදහන ආගම පිළි නොගන්න නිසා ඔවුන් සමඟ තිබෙන අපගේ සබඳතාව අවලංගු වන්නේ නැත. මෙම බයිබල් ප්‍රතිපත්තිය ලේ ඥාති සබඳකම් තිබෙන අනෙකුත් සාමාජිකයන්ටද විවාහ සහකරුටද අදාළය. එසේනම් පැහැදිලියි, ක්‍රිස්තියානීන් ප්‍රතිපත්තිමය වශයෙනුත් ශුද්ධ ලියවිලිමය වශයෙනුත් තම ඥාතීන්ට ප්‍රේම කිරීමේ වගකීමෙන් බැඳී සිටින බව.

සාධාරණකම අත්‍යවශ්‍යයි

නරක ආශ්‍රය ගැන බයිබලයේ අනතුරු අඟවා තිබෙන බව අමතක නොකළ යුතුයි. මෙම බලපෑම තමන්ගේ කිට්ටු ඥාතීන්ගෙන් වුවත් පැමිණිය හැක. (1 කොරින්ති 15:33) අතීතයේ සිටි දෙවිගේ බොහෝ විශ්වාසවන්ත සේවකයන් විසින් තම දෙමාපියන්ගේ එකඟතාවක් නොමැති විට පවා හරි දේ වෙනුවෙන් ස්ථාවරයක් ගනු ලැබීය. කෝරාගේ පුත්‍රයන් මෙයට හොඳ ආදර්ශයකි. (ගණන් කථාව 16:32, 33; 26:10, 11) සැබෑ ක්‍රිස්තියානීන් අන් අයව සතුටු කිරීම වෙනුවෙන් තම ඇදහිල්ල පාවා නොදිය යුතුයි. මෙය ඥාතීන් සම්බන්ධයෙන්ද සත්‍යයකි.—ක්‍රියා 5:29.

සමහර අවස්ථාවල දෙමාපියන් හෝ අනෙකුත් ඥාති හිතවතුන් හෝ ක්‍රිස්තියානියෙකුගේ විශ්වාසයන්ට විරුද්ධව ඉතාමත් දරුණු ලෙස කටයුතු කරයි. සමහරෙක් සැබෑ ක්‍රිස්තියානීන්ගේ සතුරන් බවට පත්වීමටත් ඉඩ තිබේ. එවන් අවස්ථාවන්හිදී ක්‍රිස්තියානීන් තම ආත්මිකත්වය රැකගැනීමට සාධාරණ පියවර ගෙන ඇත. මතු දැක්වෙන දේ යේසුස් පැවසුවේ සාධාරණ හේතු ඇතුවයි. “සැබවින්ම මිනිසෙකුගේ සතුරෝ වන්නේ ඔහුගේම ගෙයි වැසියෝය. මට වඩා පියාටවත් මවුටවත් ස්නේහයක් පෙන්වන්නා මට සුදුසු නැත. මට වඩා පුතාටවත් දුවටවත් ස්නේහයක් පෙන්වන්නා මට සුදුසු නැත.”—මතෙව් 10:36, 37, NW.

කෙසේනමුත් බොහෝ අවස්ථාවන්හිදී ක්‍රිස්තියානීන්ට තම ඥාතීන්ගෙන් දරුණු විරුද්ධවාදිකම් එල්ල නොවෙයි. එකම දේ එම ඥාතීන් සහ අප බයිබලයේ ඉගැන්වීම් වටහාගෙන තිබෙන ආකාරයේ වෙනස්කම් තිබීමයි. යේසුස් තම ගෝලයන්ව උනන්දු කළේ ඇදහිල්ලේ නොවන අයට “මෘදුකමින්” හා “ගැඹුරු ගෞරවයෙන්” සලකන ලෙසයි. (2 තිමෝති 2:26; 1 පේතෘස් 3:15, NW) බයිබලයේ මෙවන් යෝග්‍ය උපදේශයක් දෙන්නේ ඒ හේතුව නිසයි. “ස්වාමීන්ගේ දාසයෙකුට දබර කිරීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීම අවශ්‍යය.” (2 තිමෝති 2:24, NW) ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේ, “කිසිවෙකු ගැන අගුණ නොකියන්නටද, රණ්ඩුවට බර නොවන්නටද, සාධාරණ වන්නටද, සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම පෙන්වන්නටද” කියායි.—තීතස් 3:2, NW.

සබඳතාව දිගටම පවත්වාගනිමින් ප්‍රේමය පෙන්වන්න

පළමුවන පේතෘස් 2:12හි [NW] ක්‍රිස්තියානීන්ට මෙම දිරිගැන්වීම දී ඇත. “ලෝකයා [නොඇදහිලිකරුවන්] අතරේ ඔබේ හැසිරීම යහපත් ලෙස පවත්වාගන්න. එවිට . . . ඔබේ යහපත් ක්‍රියා දැක, දෙවිගේ විභාග කිරීමේ දවසේදී ඔවුහු ඔහුව මහිමයට පත් කරන්නෝය.” බොහෝ විට අපගේ විශ්වාසයන් පිළි නොගන්න ඥාතීන්, බයිබල් දැනුම හේතුවෙන් අපගේ ජීවිතය තුළ සිදු කර තිබෙන වෙනස දකියි. එක් දෙයක් අමතක නොකරන්න. එනම් බයිබල් සත්‍යයට කැමැත්තක් නොදැක්වූ, එසේ නැතහොත් විරුද්ධ වූ බොහෝදෙනෙකු තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන තිබේ. සමහරෙකුට තමාගේ විවාහ සහකරු හෝ දරුවා හෝ යහපත් ලෙස හැසිරෙන්නේ මන්ද කියා තේරුම්ගැනීමට අවුරුදු ගණනාවක් ගත වන්නට පුළුවන. සැබෑ ක්‍රිස්තියානියෙකු තම ඥාතීන්ව නොසලකාහැරීම යන කාරණය, ඔවුන්ට බයිබල් සත්‍යය පිළි නොගැනීමට හේතුවක් වීමට ඉඩ නොදිය යුතුයි.

එක් එක් ක්‍රිස්තියානීන්ගේ තත්වයන් වෙනස් වන අතර සමහර ක්‍රිස්තියානීන්ගේ දෙමාපියන් ජීවත් වන්නේ දුර බැහැර ප්‍රදේශවල බව පිළිගත යුතුයි. එමනිසා නිතර නිතර තමන්ට කැමති පරිදි ඔවුන්ව බැහැදැකීම කළ නොහැකියි. එසේ වුවත් ලිපි ලිවීමෙන්, දුරකථනයෙන් හෝ වෙනත් ක්‍රම මගින් සබඳකම් නොකඩවා පැවැත්වීමෙන් අපගේ ඥාතීන්ට තිබෙන අපේ ලෙන්ගතුකම දැනෙන්න සැලැස්විය යුතුයි. සැබෑ ක්‍රිස්තියානීන් නොවන බොහෝදෙනෙක් තම විශ්වාසයන් කුමක් වුවත් ඔවුන්ගේ දෙමාපියන්ට සහ ඥාතීන්ට ආදරය පෙන්වන අතර නොකඩවා ඔවුන් සමඟ සබඳකම් පවත්වති. එසේ කිරීම සඳහා සැබෑ ක්‍රිස්තියානීන් ඊට වඩා වැඩි වෑයමක් දැරිය යුතු නැද්ද?

[16වන පිටුවේ පින්තූරය]

ඥාතීන් සමඟ සබඳකම් පැවැත්වීමෙන් ඔවුන්ට තිබෙන ඔබේ ලෙන්ගතුකම පෙන්විය හැක