Skip to content

පටුනට යන්න

ඖෂධවලට ඔරොත්තු දෙන විෂබීජ යළි හිස ඔසවන අන්දම

ඖෂධවලට ඔරොත්තු දෙන විෂබීජ යළි හිස ඔසවන අන්දම

ඖෂධවලට ඔරොත්තු දෙන විෂබීජ යළි හිස ඔසවන අන්දම

වයිරස්, බැක්ටීරියා, ප්‍රොටොසොවා, දිලීර සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් පොළොව මත ජීවය ආරම්භ වූ සමයේ පටන් පැවත තිබෙන බව පෙනෙන්නට තිබේ. සියලු ජීවීන්ගෙන් ඉතා කුඩාම ජීවීන් වන මෙම ක්ෂුද්‍ර ජීවීන් ඕනෑම තත්වයකට වුණත් හැඩගැසීමට අරුම පුදුම අන්දමකින් සමත් නිසා, වෙනත් කිසිම ජීවයකට වඩා නොනැසී පැවැත්මේ හැකියාවක් මේවාට ඇත. අධික තාප කදම්බ පිට වෙන සාගර පතුලේ මෙන්ම ආක්ටික් සාගරවල මිදෙන ජලයේද උන් ජීවත් වෙත්. පෙනෙන්නට තිබෙන්නේ මෙම ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්මට මෙතෙක් පහර දී ඇති දරුණුතම සතුරන් වන ක්ෂුද්‍ර ජීවී නාශක ඖෂධද උන් දැන් දැන් පලවාහරින වගයි.

මීට වසර සියයකට පමණ පෙර, ඇතැම් ක්ෂුද්‍ර ජීවීන්ව හඳුනාගනු ලැබුවේ රෝගකාරක වශයෙනි. නමුත් එවකට විසූ කිසිවෙකු ක්ෂුද්‍ර ජීවී නාශක ඖෂධ ගැන අසා තිබුණේ නැත. එමනිසා, යමෙකුට බරපතළ බෝ වෙන රෝගයක් වැලඳුණේ නම් සහනදායී වචන කිහිපයක් පවසනවා හැරෙන්නට රෝගියාට දෙන්නට වෙන කිසිවක් වෛද්‍යවරයා සතුව තිබුණේ නැත. මේ නිසා රෝගයට එරෙහිව සටන් කළ යුතුව තිබුණේ එම පුද්ගලයාගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් නොවූයේ නම් ඇති විය හැකි විපාක බොහෝ විට ඛේදජනකය. ශරීරයේ සුළු සීරීමක් වුවද ක්ෂුද්‍ර ජීවීන් මගින් ආසාදනය වූවා නම් බොහෝ අවස්ථාවලදී ප්‍රතිඵලය වූයේ මරණයයි.

මෙසේ, පළමු වතාවට සොයාගත් ආරක්ෂිත ක්ෂුද්‍ර ජීවී නාශක ඖෂධ හෙවත් ප්‍රතිජීවක, වෛද්‍ය ලෝකය තුළ පෙරළියක් ඇති කරන්නට සමත් වුණි. a එක්දහස් නවසිය තිස් ගණන්වල සල්ෆා ඖෂධ භාවිතය සහ 1940 ගණන්වල පෙනිසිලින් සහ ස්ට්‍රෙප්ටොමයිසින් වැනි ඖෂධ හඳුන්වා දීමත් සමඟම ගත වූ දශකයන් තුළදී තවත් ඖෂධ ගණනාවක්ම සොයාගන්නා ලදි. එක්දහස් නවසිය අනූ ගණන් වන විට, ප්‍රතිජීවක නම් වූ මෙම ඖෂධීය අවි ගබඩාවේ විවිධ වර්ග 15කට අයත් වූ ප්‍රතිජීවක 150ක් පමණ අඩංගු විය.

විෂබීජවලින් ජයගැනීමට තිබූ බලාපොරොත්තු සුන් වී

එක්දහස් නවසිය පනස් ගණන් සහ 1960 ගණන් වන විට ඇතැම් අය බෝ වෙන රෝගවලට එරෙහිව තිබූ සටනේ ජයග්‍රහණය සමරන්නට වූහ. ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව ඇතැම් විශේෂඥයන් පවා විශ්වාස කළේ මෙම රෝගවලින් එල්ල වූ කටුක අද්දැකීම ඉක්මනින්ම අතීතයට පමණක් සීමා වූ දෙයක් බවට පත් වනු ඇති බවයි. වර්ෂ 1969දී, එක්සත් ජනපදයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා කොන්ග්‍රස් මණ්ඩලය ඉදිරියේ කියා සිටියේ ඉතාමත් ළඟදීම මිනිස් සංහතිය “බෝ වෙන රෝග ගැන ලියවී ඇති පොත වසා දමනු ඇති” බවය. වර්ෂ 1972දී, නොබෙල් ත්‍යාගලාභී මැක්ෆාර්ලන් බර්නට් සහ ඩේවිඩ් වයිට් ලීවේ මෙසේයි. “බෝ වෙන රෝගවල අනාගතය ගැන කියන්නට තියෙන්නේ එය ඉතා අඳුරු එකක් බවය.” ඇත්තවශයෙන්ම, ඇතමුන්ට හැඟුණේ එවන් රෝග සදහටම මුලිනුපුටා දමනු ඇති බවයි.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බෝ වෙන රෝග මුළුමනින්ම පරාජය කළායයි යන විශ්වාසය හේතුවෙන් ජනයා තුළ පොදුවේ ඇති වූයේ පමණට වඩා ආත්ම විශ්වාසයකි. ප්‍රතිජීවක හඳුන්වා දීමට පෙර සිටම, විෂබීජ මගින් දරුණු ඵලවිපාක ඇති වන බව හොඳින් වටහාගෙන සිටි එක් හෙදියක් සඳහන් කළේ ඇතැම් තරුණ හෙදියන් ශරීර සෞඛ්‍යයට දායක වන සරල පුරුදු ඉතා සැහැල්ලුවට ගන්නා බවයි. අත් සෝදාගන්නා මෙන් තමන් ඔවුන්ට මතක් කළ අවස්ථාවලදී, ඔවුන්ගේ පිළිතුර වන්නේ, “බය වෙන්න එපා. අපිට දැන් ප්‍රතිජීවක තියෙනවනේ” යන්නයි.

එහෙත්, ප්‍රතිජීවක මත රඳා සිටීම සහ ඒවා වැඩිපුර භාවිත කිරීම නිසා බරපතළ කටුක අද්දැකීම්වලට මුහුණ දීමට සිදු වුණි. බෝ වෙන රෝග දිගින් දිගටම මිනිසාව ආක්‍රමණය කර ඇත. ඊටත් වඩා, ඒවා අද ලෝකයේ මරණවලට ප්‍රධාන හේතුවක් බවටද පත් වී තිබේ! බෝ වෙන රෝග පැතිරීමට හේතු පාදක වන වෙනත් සාධක අතරට, යුද්ධය නිසා ඇති වන ව්‍යාකූලත්වය, සංවර්ධනය වෙමින් තිබෙන රටවල පැතිර පවත්නා මන්දපෝෂණය, පිරිසිදු ජලය නැතිකම, සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම, අන්තර්ජාතික ගමනාගමනය ශීඝ්‍රයෙන් වැඩිවීම සහ ලෝක දේශගුණික තත්වයන් වෙනස් වීමද ඇතුළත් වෙයි.

ඖෂධවලට ඔරොත්තු දෙන බැක්ටීරියා වර්ග

සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවීන් හෙවත් විෂබීජ, ඖෂධ මගින් මර්දනය කිරීමට නොහැකි වීම බලවත් ගැටලුවක් වී තිබේ. එහෙත් මෙම තත්වය සාමාන්‍යයෙන් අපේක්ෂා කළ දෙයක් නොවේ. එහෙත්, බලාපොරොත්තු විය යුතුව තිබුණේ විෂබීජ ඖෂධවලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කරාවිය යන්නයි. ඒ මන්ද? නිදසුනක් හැටියට, 1940 ගණන්වල මැද භාගයේ DDT නමැති පළිබෝධ නාශකය හඳුන්වා දීමත් සමඟම සිදු වූ දේ සැලකිල්ලට ගන්න. b ඒ කාලයේදී DDT ඉසීම නිසා මැස්සන් තුරන් වී යෑම ගැන සාමාන්‍ය පශු පාලකයෝ සතුටු වූහ. එහෙත්, මැස්සෝ ස්වල්පදෙනෙක් ඉන් බේරී ජීවත් වූහ. මෙබැවින් DDTවලට ඔරොත්තු දීමේ හැකියාවක් මෙම මැස්සන්ගෙන් බෝ වෙන මැස්සෝ උරුම කරගත්හ. මේ අනුව, DDTවලින් විනාශ කරන්නට බැරි මෙම මැස්සන් බෝ වුණේ බුරුතු පිටිනි.

DDT භාවිත කරන්නට පෙරාතුව සහ 1944දී පෙනිසිලින් වෙළඳපොළෙන් පහසුවෙන් මිල දී ගැනීමට හැකියාව තිබූ කාලයට පෙර පවා, හානිකර බැක්ටීරියාවන් තමන් සතු ආරක්ෂක අවි ගැන ලෝකයාට කලින්ම ඉඟි කළේය. පෙනිසිලින් සොයාගත් වෛද්‍ය ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිංද මේ බව දැන සිටියේය. ඔහු තම රසායනාගාරයේදී, ස්ටැෆිලොකොකුස් ඕරියස් නම් වූ බැක්ටීරියාවේ ඉදිරි පරම්පරාවන් නිරීක්ෂණය කරද්දී, ඒවා තමන් සොයාගත් ඖෂධයට විනාශ කළ නොහැකි වන ලෙසට ඉතා වේගයෙන් ඒවායේ සෛල බිත්ති වර්ධනය කරගන්නා බව ඔහු දිටීය.

මේ නිසා මීට වසර 60කට ඉහතදී වෛද්‍ය ෆ්ලෙමිං පවසා සිටියේ ආසාදිත පුද්ගලයෙකු තුළ ඇති හානිකර බැක්ටීරියාවන් පෙනිසිලින්වලට ඔරොත්තු දීමේ හැකියාවක් වර්ධනය කරගනු ඇති බවයි. එබැවින්, පෙනිසිලින් මාත්‍රාවලින් හානිකර බැක්ටීරියාවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් මරා දැමුවේ නැත්නම් ඉතුරු වන බැක්ටීරියාවන් බොහෝ සෙයින් වර්ධනය වනු ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රෝගය යළි හිස ඔසවන අතර, පෙනිසිලින්වලින් තවදුරටත් එය සුව කළ නොහැකිය.

ප්‍රතිජීවකවල ඇති පරස්පර විරෝධිතාව (සිංහලෙන් නැත) යන පොතෙහි මෙසේ කියැවේ. “ෆ්ලෙමිං කී දේවල් ඔහු හිතුවාටත් වඩා භයානක මෙන්ම විනාශකාරී අන්දමකින් ඉෂ්ට වී තිබේ.” ඒ කෙසේද? බැක්ටීරියාවල යම් ලක්ෂණවලින් හෙළි වූ දෙයක් නම්, බැක්ටීරියාවල ඇති DNA සෛලයක ඉතා සියුම් පිඹුරු පතක් වන ජානවලින් පෙනිසිලින් අකර්මණ්‍ය කරවන එන්සයිමයක් නිපදවන බවය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අධික ලෙස පෙනිසිලින් වට්ටෝරු දුන්නද ඒවා බොහෝ විට පල රහිත විය. මෙය මොන තරම් කම්පිත කරවනසුලු දෙයක් වීද!

බෝ වෙන රෝගවලට එරෙහිව කරන සටනින් ජයගැනීමට දරන උත්සාහයක් වශයෙන්, 1940 ගණන්වල සිට 1970 ගණන් දක්වා නව ප්‍රතිජීවක නිතර නිතර හඳුන්වා දෙනු ලැබූ අතර, 1980 ගණන් සහ 1990 ගණන් අතර කාලයේද ස්වල්ප ගණනක් හඳුන්වා දෙනු ලැබීය. මීට කලින් හඳුන්වා දී තිබූ ඖෂධවලට ඔරොත්තු දෙන බැක්ටීරියාවන්ට ප්‍රතිකාර කිරීමට මේවායින් හැකි වුණි. එහෙත්, වසර කිහිපයක් ඇතුළත මෙම ඖෂධවලටද ඔරොත්තු දෙන බැක්ටීරියා වර්ග බිහි විය.

මිනිසුන් තේරුම්ගෙන ඇති දෙයක් නම්, මෙම බැක්ටීරියාවන්ට පුදුම දනවන මෙන්ම ඔරොත්තු දීමේ ශක්තියක් තිබෙන බවයි. තම සෛල බිත්ති වෙනස් කරගනිමින් ප්‍රතිජීවක තමන් තුළට ඇතුල් නොවන පරිද්දෙන්ද ප්‍රතිජීවක මගින් තමාව විනාශ කළ නොහැකි වන පරිද්දෙන්ද තමන් තුළ ඇති රසායනිකතාව වෙනස් කරගැනීමට අපූරු හැකියාවක් බැක්ටීරියාවන්ට තිබේ. අනෙක් අතට, තමන් වෙතට ඇතුල් වෙන ප්‍රතිජීවක ඒවා ඇතුල් වෙන වේගයෙන්ම පිටතට විසි කර දමන්නටත් බැක්ටීරියාවන්ට හැකිය. එසේ නැතහොත් ප්‍රතිජීවකය කොටස්වලට කඩා දැමීමෙන් එය අකර්මණ්‍ය කිරීමට බැක්ටීරියාවන්ට පුළුවන.

ප්‍රතිජීවක භාවිතය වැඩිවීමත් සමඟම බැක්ටීරියාවන් සතු ඖෂධවලට ඔරොත්තු දීමේ හැකියාවත් දෙගුණ තෙගුණ වී තිබේ. එසේනම් ප්‍රතිජීවක භාවිතය මුළුමනින්ම අසාර්ථක වී තිබේද? නැත. අඩු තරමින් බොහෝ තත්වයන්හිදී එය එසේ නොවේ. එක්තරා බෝ වෙන රෝගයකට ප්‍රතිජීවක දීමෙන් සුව කිරීමට නොහැකි නම්, සාමාන්‍යයෙන් කෙරෙන්නේ වෙනත් ප්‍රතිජීවකයකින් එය සුව කිරීමයි. ඖෂධවලට ඔරොත්තු දීමට බැක්ටීරියාවලට ඇති හැකියාව මහා කරදරයක් වී තිබේ. එහෙත් මෑතක් වන තුරු සාමාන්‍යයෙන් මෙය පාලනය කළ හැකි තත්වයක පැවතුණි.

බහු ඖෂධීය ප්‍රතිරෝධය

ඊළඟට වෛද්‍ය විද්‍යාඥයන් තමන් සොයාගත් දෙයින් මවිතයට පත් වූහ. එනම්, බැක්ටීරියාවන් තමන් අතරම ජාන හුවමාරු කරගන්නා බවයි. මුලින්ම සිතාගෙන සිටියේ එකම වර්ගයේ බැක්ටීරියාවන්ට පමණක් ජාන හුවමාරු කරගත හැකි බවය. එහෙත්, සම්පූර්ණයෙන්ම වෙනස් වර්ගයක බැක්ටීරියාවන් තුළද එම ප්‍රතිරෝධයම දක්වන ජාන සොයාගැනුණි. එවන් ජාන හුවමාරු කිරීම් මාර්ගයෙන් විවිධ වර්ගවල බැක්ටීරියාවෝ පොදුවේ භාවිත වන විවිධ ඖෂධවලට ඔරොත්තු දීමේ හැකියාවක් අත් කරගෙන සිටිති.

එක්දහස් නවසිය අනූ ගණන්වලදී කරන ලද අධ්‍යයනයන්ගෙන් පෙනී ගියේ තත්වය තවත් දරුණු අතට හැරුණු බවය. එය නම්, ඇතැම් බැක්ටීරියාවන්ට ඖෂධවලට ඔරොත්තු දීමේ හැකියාවක් ස්වයංක්‍රීයව වර්ධනය කරගත හැකි බවය. එක් ප්‍රතිජීවකයක් පමණක් තිබෙන විටදී පවා ඇතැම් බැක්ටීරියා වර්ග ස්වාභාවික සහ කෘත්‍රිම යන දෙවර්ගයේම ප්‍රතිජීවක රාශියකටම ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කරගනිති.

අඳුරු අනාගතයක්

ප්‍රතිජීවක බොහොමයක් අදටත් බොහෝදෙනෙකුට ප්‍රතිඵලදායක වුවද, එවන් ඖෂධ අනාගතයේදී කොතරම් ප්‍රබලත්වයකින් ක්‍රියා කරාවිද? ප්‍රතිජීවකවල ඇති පරස්පර විරෝධිතාව යන පොතේ නිරීක්ෂණය කර තිබුණේ මෙලෙසයි. “මුලින්ම තෝරාගන්නාවූ ප්‍රතිජීවකය මගින් යම් ආසාදිත රෝගයක් සුව වේයයි අපට තවදුරටත් අපේක්ෂා කළ නොහැකියි.” එම පොතේ තවදුරටත් කියන්නේ මෙසේයි. “ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ප්‍රතිජීවකවල සීමිත සැපයුමක් තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ තිබෙන ප්‍රතිජීවකවලින් කිසිම එකක් ඵලදායී නැති බවය. . . . මීට වසර 50කට පමණ ඉහතදී පොළොවෙන් සදහටම තුරන් කරනවායයි කියනු ලැබූ රෝග හේතුවෙන් තවමත් මිනිස්සු දුක් විඳ මිය යති.”

වෛද්‍ය ලෝකයේදී භාවිත වන ඖෂධවලට ප්‍රතිරෝධයක් වන ක්ෂුද්‍ර ජීවී විෂබීජ බැක්ටීරියා පමණක්ම නොවේ. වයිරස් මෙන්ම දිලීරවලටද ඉතා සියුම් පරපෝෂිතයන්ටද තත්වයන්ට අනුව සකස් වීමට තිබෙන්නේ අරුම පුදුම හැකියාවකි. විෂබීජවලට එරෙහිව සටන් කළ හැකි ඖෂධ සොයාගැනීමටද ඒවා නිෂ්පාදනය කිරීමටද ගන්නා සියලු ප්‍රයත්නයන් නිෂ්ප්‍රභ කරන තර්ජනයක් මේ මගින් ලෝකයට එල්ල කරයි.

එසේනම් කුමක් කළ හැකිද? ඔරොත්තු දීමේ මෙම හැකියාව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට හෝ අඩු තරමින් පාලනයක් යටතේ තබාගැනීමට හෝ හැකි වේද? නිතරම බෝ වෙන රෝගවල ප්‍රහාරයට ලක් වන ලෝකයක, ප්‍රතිජීවක හා වෙනත් ක්ෂුද්‍ර ජීවී නාශකවලට දිගටම ජයග්‍රහණය අත් පත් කරගත හැක්කේ කෙසේද?

[පාදසටහන්වල]

a “ප්‍රතිජීවක” යන නාමයෙන් පොදුවේ හැඳින්වෙන්නේ බැක්ටීරියාවලට එරෙහිව සටන් කරන ඖෂධයි. “ක්ෂුද්‍ර ජීවී නාශක” යන්න වඩාත් සාමාන්‍ය නාමය වන අතර වයිරස්, බැක්ටීරියා, දිලීර හෝ සියුම් පරපෝෂිතයන් වැනි ඕනෑම රෝගකාරක ක්ෂුද්‍ර ජීවියෙකුටම එරෙහිව සටන් කරන ඕනෑම ඖෂධයක් මීට ඇතුළත් වේ.

b පළිබෝධ නාශක යනු වස විසය. ඖෂධත් එසේමය. මෙම නිෂ්පාදන දෙවර්ගයම ප්‍රයෝජනදායක මෙන්ම හානිදායකද වී තිබේ. ප්‍රතිජීවක ඖෂධ හානිකර විෂබීජ මරා දමන අතරේදී මිනිසාට ප්‍රයෝජනවත් බැක්ටීරියාද මරා දමයි.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ක්ෂුද්‍ර ජීවී නාශක යනු මොනවාද?

වෛද්‍යවරයෙකු විසින් ඔබට දෙනු ලබන ප්‍රතිජීවක, ක්ෂුද්‍ර ජීවී නාශක යනුවෙන් හැඳින්වෙන එක්තරා ඖෂධ පංතියකට අයත් වෙයි. මේවා “රස චිකිත්සාව” නම් පොදු නාමයක් යටතට වැටෙයි. මින් අරුත් ගැන්වෙන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් රෝගයට ප්‍රතිකාර කිරීමයි. “රස චිකිත්සාව” යන යෙදුම බොහෝ විට පිළිකාවට ප්‍රතිකාර කිරීම සමඟ සම්බන්ධ කර තිබුණද, එය මුලින්ම අදාළ වූයේ, එමෙන්ම තවමත් අදාළ වන්නේ බෝ වෙන රෝගවලට ප්‍රතිකාර කිරීමේදීයි. එවන් තත්වයන් යටතේදී එය හැඳින්වෙන්නේ ක්ෂුද්‍ර ජීවී නාශක රස චිකිත්සාව යනුවෙනුයි.

ක්ෂුද්‍ර ජීවීන් යනු අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි ඉතා සියුම් ජීවීන්ය. ක්ෂුද්‍ර ජීවී නාශක යනු රෝග බෝ කරන ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කරන රසායනික ද්‍රව්‍යයන්ය. මෙහි ඇති අභාග්‍ය සම්පන්න පැත්ත නම්, ක්ෂුද්‍ර ජීවී නාශක ප්‍රයෝජනයක් ඇති ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිවද ක්‍රියා කිරීමයි.

වර්ෂ 1941දී, ස්ට්‍රෙප්ටොමයිසින් සොයාගත් එක් අයෙකු වූ සෙල්මන් වැක්ස්මන් මෙම “ප්‍රතිජීවක” යන යෙදුම අදාළ කළේ, ක්ෂුද්‍ර ජීවීන්ගෙන් පැමිණෙන බැක්ටීරියා නාශකවලටයි. වෛද්‍ය ප්‍රතිකාරවලදී ප්‍රතිජීවක මෙන්ම වෙනත් ක්ෂුද්‍ර ජීවී නාශක භාවිතය අතිශයින් වටින්නේ මන්දයත් ඒවා තුළ ඇති වරණාත්මක නාශක ගතිය යනුවෙන් හැඳින්වෙන ලක්ෂණය නිසාවෙනි. මින් අදහස් කරන්නේ ඔබට බරපතළ හානියක් නොකර විෂබීජවලට හානි කිරීමට ඒවාට හැකි බවයි.

ඇත්තවශයෙන්ම කියතොත් සියලුම ප්‍රතිජීවක අඩු තරමින් යම් පමණකින් හෝ අපට විෂකරය. අප ගන්නා ඖෂධ මාත්‍රාව කොතරම් දුරට විෂබීජවලට එරෙහිව ක්‍රියා කරයිද හා අපට කොතරම් හානිකරයිද යන්න අතර වෙනස හඳුන්වන්නේ ප්‍රතිකාරක දර්ශකය යනුවෙනි. දර්ශකය විශාල වන තරමට ඖෂධය ආරක්ෂාකාරීය. දර්ශකය කුඩා වන තරමට එය වඩාත් අන්තරාදායකය. ඇත්තවශයෙන්ම, ප්‍රතිජීවක නිස්සාරණය කරගත හැකි ද්‍රව්‍යයන් දහස් ගණනක් සොයාගනු ලැබ තිබේ. නමුත් ඒවායින් වැඩි හරියක් මිනිසුන්ට හෝ සතුන්ට වඩාත් විෂකර බැවින් වෛද්‍ය විද්‍යාවේදී ඒවා ප්‍රයෝජනයට ගන්නේ නැත.

ශරීරගත කළ හැකි වූ පළමු ස්වාභාවික ප්‍රතිජීවකය වූයේ පෙනිසිලින්ය. එය සාදාගනු ලැබුවේ පෙනිසිලියම් නොටෑටම් යන පුස් වර්ගයෙනි. පළමු වතාවට නහරයක් ඔස්සේ පෙනිසිලින් ශරීරගත කරනු ලැබුවේ 1941දීය. ඊට ටික කලකට පසුව, 1943දී ස්ට්‍රෙප්ටොමයිසීස් ග්‍රිසියුස් නම් පසේ ජීවත් වන බැක්ටීරියා වර්ගයකින් ස්ට්‍රෙප්ටොමයිසින් වෙන් කරගනු ලැබුණි. කාලය ගෙවී යත්ම වෙනත් ප්‍රතිජීවක බොහෝ සංඛ්‍යාවක් නිෂ්පාදනය කරන ලදි. ඒවා නිෂ්පාදනය කිරීමට ජීවීන්ගෙන් ලබාගත් ද්‍රව්‍ය මෙන්ම කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කෙරිණ. එහෙත්, බැක්ටීරියා මෙම ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධයක් වර්ධනය කරගෙන තිබෙන බැවින් මෙය දැන් සමස්ත ලෝක සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ.

[පින්තූරය]

මෙම තැටියේ පතුලේ පෙනෙන පෙනිසිලින් අඩංගු පුස් නියැදිය බැක්ටීරියාවන්ගේ වර්ධනය අඩපණ කරයි

[හිමිකම් විස්තර]

Christine L. Case/Skyline College

[7වන පිටුවේ කොටුව⁄පින්තූර]

විවිධාකාර ක්ෂුද්‍ර ජීවීහු

වයිරස් ඉතා කුඩාම ක්ෂුද්‍ර ජීවී විශේෂයයි. ඒවා සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ උගුරේ වේදනාව වැනි පොදු අසනීපවල රෝග මූලයයි. තවද වයිරස් පෝලියෝ, ඒබෝලා සහ ඒඩ්ස් වැනි භයානක රෝගද ඇති කරයි.

බැක්ටීරියා ඒක සෛල ජීවියෙකි. කොතරම් සරල ජීවියෙක්ද කියතොත් එහි න්‍යෂ්ටියක් නැත. සාමාන්‍යයෙන් ඇත්තේ එක වර්ණදේහයක් පමණි. අපේ සිරුරු තුළ බැක්ටීරියා ට්‍රිලියන ගණනක් වාසය කරයි. වැඩි වශයෙන් ඇත්තේ අපගේ ආහාර මාර්ගය තුළයි. අපගේ ආහාර ජීර්ණය කිරීමට ඒවා ඉවහල් වන අතර, ලේ කැටි ගැසීම සඳහා උපකාර වන විටමින් Kද මූලිකවම සපයන්නේ බැක්ටීරියාවන්ය.

බැක්ටීරියා වර්ග 4,600කින් රෝගකාරක බැක්ටීරියා ලෙසට සැලකෙන්නේ 300ක් පමණි. එහෙත්, බැක්ටීරියා වනාහි පැළෑටිවලට, සතුන්ට හා මිනිසුන්ට වැලඳෙන බොහෝ රෝගවල මූලික ප්‍රභවයයි. මිනිසුන්ට වැලඳෙන රෝග අතර ක්ෂය රෝගය, කොලරාව, ගල පටල රෝගය (දිප්තීරියාව), ඇන්ත්‍රැක්ස්, දත් දිරා යෑම, යම් නියුමෝනියා වර්ග සහ ලිංගිකව බෝ වෙන රෝග ආදිය සඳහන් කළ හැකියි.

ප්‍රොටොසොවා, බැක්ටීරියා වැනි වූ ඒක සෛලිකයන් වනාහි තනි සෛලයක් සහිත ජීවීන් වන මුත් ඒවාට එක න්‍යෂ්ටියකට වඩා තිබිය හැකියි. ඇමීබාවන් සහ ට්‍රිපනොසෝමාවන් මෙන්ම මැලේරියා රෝගය ඇති කරන පරපෝෂිතයාද මේ ගණයට අයත්ය. ජීවී විශේෂයන්ගෙන් තුනෙන් එකක්ම පරපෝෂිතයන්ය. මේවා වර්ග 10,000ක් පමණ වෙති. එහෙත් මිනිසා තුළ රෝග ඇති කරන්නේ මේවායින් ස්වල්පයක් පමණි.

දිලීර මේවාටද අසනීප ඇති කළ හැකියි. මෙම ජීවීන්ට න්‍යෂ්ටියක් තිබෙන අතර, එහි ව්‍යූහය ගත් කල සිහින් කෙඳි ජාලයක් එකට ගුළි වී තිබෙන අයුරක් දක්නට ලැබේ. මින් වඩාත් බහුල ලෙස බෝ වෙන රෝග නම්, වටපණු රෝග ගණයට අයත් පාදයේ දිලීර ආසාදනය සහ කැන්ඩිඩියාසිස් (කැන්ඩිඩා) යන හමේ දද වැලඳෙන රෝගයය. සාමාන්‍යයෙන් බරපතළ දිලීර ආසාදනයන් වැලඳෙන්නේ මන්දපෝෂණය, පිළිකා, මත්ද්‍රව්‍ය හෝ වයිරස් ආසාදනයන් මගින් තම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී ඇති පුද්ගලයන්ට පමණි.

[පින්තූර]

ඒබෝලා වයිරසය

“සැටැෆිලොකොකුස් ඕරියස්” බැක්ටීරියාව

“ජියාඩිය ලැම්බ්ලියා” ප්‍රොටොසොවා

වටපණු රෝගය ඇති කරන දිලීරය

[හිමිකම් විස්තර]

CDC/C. Goldsmith

CDC/Janice Carr

Courtesy Dr. Arturo Gonzáles Robles, CINVESTAV, I.P.N. México

© Bristol Biomedical Image Archive, University of Bristol

[4වන පිටුවේ පින්තූරය]

පෙනිසිලින් සොයාගත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං