Skip to content

පටුනට යන්න

ක්ෂුද්‍ර ජීවීන් කිසිවෙකුට හානි නොකරන කාලයක්

ක්ෂුද්‍ර ජීවීන් කිසිවෙකුට හානි නොකරන කාලයක්

ක්ෂුද්‍ර ජීවීන් කිසිවෙකුට හානි නොකරන කාලයක්

ක්ෂුද්‍ර ජීවීන් වනාහි ජීවිතයට අත්‍යවශ්‍ය වූ ජීවීන් වර්ගයකි. පොළොවේ පස්ද අපගේම ශරීරයේ සෑහෙන ප්‍රමාණයක්ද උන්ගෙන් ගහණය. මෙහි 7වන පිටුවේ සඳහන් “විවිධාකාර ක්ෂුද්‍ර ජීවීහු” යන කොටුවේ පෙන්වා දුන් පරිදි, “අපේ සිරුරු තුළ බැක්ටීරියා ට්‍රිලියන ගණනක් වාසය කරයි.” මේවායින් වැඩි හරියක් ප්‍රයෝජනවත්ය. ඇත්තෙන්ම කියනවා නම්, මේවා අපේ සෞඛ්‍යයට අතිශයින් අවශ්‍යය. ස්වල්ප සංඛ්‍යාවක් පමණක් රෝග බෝ කළද, ඉදිරියේදී කිසිම ක්ෂුද්‍ර ජීවියෙක් කිසිවෙකුට හානි නොකරන බවට අපට සහතික විය හැකියි.

ක්ෂුද්‍ර ජීවීන්ගේ හානිකර බලපෑම් සියල්ලම අතුරුදහන් වන අන්දම ගැන සලකා බැලීමට පෙරාතුව, රෝග බෝ කරන ක්ෂුද්‍ර ජීවීන් හෙවත් විෂබීජ මර්දනය කිරීමට දරන්නාවූ වත්මන් ප්‍රයත්නයන් ගැන දැන් අපි සලකා බලමු. මේ සමඟ ඇති “ඔබට කළ හැකි දෙය” යන මැයෙන් යුත් කොටුව පරීක්ෂා කර බැලීමට අමතරව, ඖෂධවලට ඔරොත්තු නොදෙන විෂබීජ මර්දනය කිරීමට සෞඛ්‍ය විශේෂඥයන් ගෙන ඇති ප්‍රයත්න ගැන සලකා බලන්න.

ලෝක මට්ටමෙන් යොදන ක්‍රමෝපායන්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වූ ආචාර්ය ග්‍රෝ හාලම් බ්‍රන්ට්ලාන් මේ සම්බන්ධයෙන් දරනු ලබන ප්‍රයත්නයන් ගැන විස්තරයක් ඉදිරිපත් කළාය. “ක්ෂුද්‍ර ජීවී නාශකවලට ඔරොත්තු දෙන විෂබීජවලින් ජයගැනීම” නමැති ශීර්ෂ පාඨය යටතේ 2000 වසරේ බෝ වෙන රෝග පිළිබඳ වාර්තාවෙහි ඇය සඳහන් කර සිටියේ, ක්ෂුද්‍ර ජීවීන් ඖෂධවලට දක්වන “මෙම ප්‍රතිරෝධය මැඩපැවැත්වීම පිණිස ලෝක මට්ටමෙන් ක්‍රමෝපායක්” හඳුන්වා දීම අවශ්‍ය බවය. තවද “සෞඛ්‍ය ප්‍රතිකාර හා පහසුකම් සපයන සියල්ලන්ගේ සන්ධානයක්” ගොඩනැංවීම ගැනද කතා කළ ඇය, “බෝ වෙන රෝගවලට එරෙහිව දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කිරීමට අපට ප්‍රස්තාවක් තිබෙන” බවද අවධාරණය කළාය.

වර්ෂ 2001දී, “ක්ෂුද්‍ර ජීවී නාශකවලට ඔරොත්තු දීම වැළැක්වීමට සමස්ත ලෝක වැඩපිළිවෙළක්” WHO මගින් යෝජනා කෙරිණි. මෙම ලේඛනයෙන් ඉදිරිපත් වූයේ “කුමක් කළ යුතුද සහ එය කරන්නේ කෙසේද” යන්න පිළිබඳව සමස්තයක් වශයෙන් සෞඛ්‍ය සේවකයන්ව හා මහජනයාව දැනුවත් කරන සැලැස්මකි. අසනීප වළක්වාගත හැකි ආකාරය පිළිබඳව මහජනයාව දැනුවත් කිරීමද, බෝ වෙන රෝගයක් වැලඳුණහොත් ප්‍රතිජීවක සහ වෙනත් ක්ෂුද්‍ර ජීවී නාශක පාවිච්චි කරන ආකාරය පිළිබඳව උපදෙස් දීමද මීට ඇතුළත් විය.

මීට අමතරව, සෞඛ්‍ය සේවකයන් වන වෛද්‍යවරුන්ගෙන් සහ හෙදියන්ගෙන් මෙන්ම රෝහල්වල සහ සාත්තු නිවාසවල සේවය කරන වෙනත් සේවකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටිනු ලැබුවේ බෝ වෙන රෝග පැතිරවීම වැළැක්වීමට වඩාත් හොඳ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන ලෙසටයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන බොහෝ වෘත්තිකයන් එක් රෝගියෙකුට ප්‍රතිකාර කොට තවත් රෝගියෙකුට ප්‍රතිකාර කරන්නට යන විට තමන්ගේ අත් සේදීම ගැන තවමත් සැලකිලිමත් නොවන බව අධ්‍යයනවලින් හෙළිවීම කනගාටුවට කරුණකි.

වෛද්‍යවරුන් හැටියට තමන් විසින් නියම නොකළ යුතු ප්‍රතිජීවකද ඔවුන් නියම කරන බව සමීක්ෂණවලින් පෙන්වා ඇත. මීට එක් හේතුවක් නම්, තමන්ට ඉක්මන් සුවයක් ලබාගැනීම සඳහා ඒවා තමන්ට නියම කරන ලෙස මිනිසුන් වෛද්‍යවරුන්ට බල කර සිටීමයි. තම රෝගීන්ගේ සිත් සතුටු කිරීමට සිතන වෛද්‍යවරු එයට එකඟ වෙති. බොහෝවිට තම රෝගීන්ව දැනුවත් කිරීම සඳහා වෛද්‍යවරුන් කාලය ගන්නේ නැත. එමෙන්ම රෝග බෝ කරන ක්ෂුද්‍ර ජීවීන් හඳුනාගැනීමට යම් උපක්‍රමද ඔවුන්ට නැත. ඇතැම්විට ඔවුන් නියම කරන ප්‍රතිජීවක නවීනතම ඒවා වුවත් ඒවා මිල අධිකය. තවද එමගින් පුළුල් පරාසයක පැතිර පවතින බැක්ටීරියාවන් විනාශ කර දමනු ලැබේ. ඖෂධවලට ඔරොත්තු දීමේ හැකියාවක් විෂබීජ තුළ වර්ධනය වීම සඳහා මෙයද දායක වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමස්ත ලෝක වැඩපිළිවෙළ තුළින් අවධානය යොමු කෙරෙන තවත් පැති නම්, රෝහල්, ජාතික සෞඛ්‍ය සේවාව, ආහාර නිෂ්පාදනය, ඖෂධ සමාගම් සහ නීති සම්පාදනය යන ක්ෂේත්‍රවල සේවය කරන පිරිස් දැනුවත් කිරීමය. ඖෂධවලට ඔරොත්තු දෙන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ලෝකයට එල්ල වී ඇති තර්ජනය මැඩලීමට සියලුදෙනා අතර සහයෝගිතාවක් වර්ධනය කරගත යුතුයයි වාර්තාවේ දිරිගන්වා තිබිණි. එහෙත් එවන් වැඩසටහනකින් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි වේද?

සාර්ථකත්වයට බාධා

සෞඛ්‍ය ගැටලු විසඳාලීමේදී ඇති වන ප්‍රධාන බාධකයක් ගැනද WHO සමස්ත ලෝක වැඩපිළිවෙළ මගින් සාකච්ඡාවට භාජන කර තිබේ. එය නම්, ලාභ ඉපයීමේ චේතනාවයි. එනම් මුදල් ඉපයීමයි. බයිබලය කියන්නේ මුදලට ඇලුම් වීම “සියලු ආකාර හානිකර දේවල මුලක්ය” කියායි. (1 තිමෝති 6:9, 10, NW) WHO මෙසේ උදක්ම ඉල්ලා සිටී. “ඖෂධ කර්මාන්තය ඇති කරගෙන තිබෙන සම්බන්ධතාවන් ගැනද සලකා බැලිය යුතුය. සෞඛ්‍ය සායන සේවකයන් සමඟ වෙළඳ නියෝජිතයන් ඇති කරගැනීමට උත්සාහ කරන සම්බන්ධකම් ගැන මනා අධීක්ෂණයක් තිබිය යුතු අතර, ඖෂධ කර්මාන්තයේ යෙදෙන සමාගම් විසින් සෞඛ්‍ය සේවකයන් සඳහා මෙහෙයවනු ලබන අධ්‍යාපනික වැඩසටහන්ද අධීක්ෂණය කළ යුතුය.”

ඖෂධ සමාගම් තම නිෂ්පාදන ඉදිරිපත් කිරීමේදී වෛද්‍යවරුන්ට ප්‍රබල බලපෑම් එල්ල කර තිබේ. දැන් ඔවුහු එය රූපවාහිනි වැඩසටහන් හරහා ඍජුවම මහජනයාටද හඳුන්වා දෙති. මේ හේතුවෙන් ඕනෑවට වඩා ඖෂධ භාවිත කිරීමට පටන්ගෙන තිබෙන අතර ඖෂධවලට ඔරොත්තු දෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ ව්‍යාප්තිය වැඩිවීමට මෙය ප්‍රබල සාධකයක් වී තිබේ.

ආහාරයට ගන්නාවූ සතුන් සඳහා ක්ෂුද්‍ර ජීවී නාශක භාවිතය ගැන පළ කළ වාර්තාවෙහි WHO සමස්ත ලෝක වැඩපිළිවෙළ මෙසේ සඳහන් කරයි. “ඇතැම් රටවල පශු වෛද්‍යවරුන් තමන්ගේ ආදායමෙන් සියයට 40කට වඩා උපයන්නේ ඖෂධ විකිණීමෙනි. එබැවින් ක්ෂුද්‍ර ජීවී නාශක භාවිතය සීමා කිරීමට යම් බාධකයක් තිබේ.” වාර්තාවලින් මනාව පැහැදිලි වන පරිද්දෙන් ඖෂධවලට ඔරොත්තු දෙන විෂබීජ හිස ඔසවා හාත්පස පැතිර තිබෙන්නේ ඉවක් බවක් නැතුව ප්‍රතිජීවක භාවිතයට ගැනීම නිසාය.

ඇත්තෙන්ම, ප්‍රතිජීවක නිෂ්පාදනය පුදුමාකාරය. එක්සත් ජනපදයේ පමණක් වාර්ෂිකව ප්‍රතිජීවක කිලෝග්‍රෑම් මිලියන 20ක් පමණ නිපදවනු ලැබේ! සමස්ත ලෝක ප්‍රතිජීවක නිෂ්පාදනය ගත් කල, මිනිසුන් වෙනුවෙන් නිපදවෙන්නේ ඉන් අඩක් පමණි. ඉතිරි කොටස අස්වනු මත ඉසිනු ලැබේ. එසේ නැතහොත් සතුන්ගේ ආහාරය පිණිස දෙනු ලැබේ. සතුන්ගේ වර්ධනය වේගවත් කිරීම සඳහා උන්ට දෙන ආහාර සමඟ ප්‍රතිජීවක මිශ්‍ර කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි.

ආණ්ඩුවල කාර්යභාරය

WHOහි සමස්ත ලෝක වැඩපිළිවෙළේ විධායක සංක්ෂිප්තයේ මෙසේ පැවසේ. “මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පාහේ පැටවෙන්නේ සෑම රටක් මතමය. එම රටවල ආණ්ඩුවලට අතිවිශේෂ කාර්යභාරයක් ඉටු කිරීමට තිබේ.”

ඇත්තෙන්ම, ආණ්ඩු ගණනාවක්ම මෙම ඖෂධ ප්‍රතිරෝධක හැකියාව පාලනය කරගැනීමට වැඩසටහන් ගණනාවක් දියත් කර තිබෙන අතර, එසේ කර ඇත්තේ තමන්ගේ දේශ සීමා තුළ හා ඉන් බැහැරව යම් සහයෝගයක් ඇති කරගැනීම අවධාරණය කරමිනි. ක්ෂුද්‍ර ජීවී නාශක භාවිතය සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රතිරෝධතා හැකියාව ගැන මනා වාර්තාවක් තබාගැනීමද, දියුණු කරන ලද විෂබීජ පාලන ක්‍රම භාවිතයද, වෛද්‍ය ලෝකය තුළ සහ කෘෂි කර්මාන්තය තුළ සුදුසු පරිදි ක්ෂුද්‍ර ජීවී නාශක භාවිතයද, ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රතිරෝධය තේරුම්ගැනීමට කරන ලද පර්යේෂණ සහ නව ඖෂධ වැඩිදියුණු කිරීමද මෙම වැඩසටහනට ඇතුළත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2000 වසරේ බෝ වෙන රෝග පිළිබඳ වාර්තාව ශුභවාදී එකක් නොවීය. ඒ මන්ද?

“ඇතැම්විට මහජනතාවගේ සෞඛ්‍යයට ප්‍රමුඛතාවක් දී නැති ආණ්ඩුවල අධිෂ්ඨානයේ යම් අඩුවක්” ඇති බව මෙම වාර්තාවෙහි සඳහන් විය. එහි තවදුරටත් සඳහන් වන්නේ මෙසේයි. “සමාජීය වශයෙන් නොසන්සුන් තත්වයන් ඇතිවීම, දිලිඳුකම, ජනයා රටින් රටට සංක්‍රමණය වීම, පාරිසරික වශයෙන් පිරිහුණු තත්වයන් ඇතිවීම වැනි හේතු නිසා බොහෝ ජන සංඛ්‍යාවකට පහසුවෙන්ම බෝ වෙන රෝග වැලඳෙන ආකාරයේ වාතාවරණයක් ඇති වී තිබේ. මේ නිසා මෙවැනි පරිසරයක් මැද ඖෂධවලට ඔරොත්තු දීමට රෝගකාරක විෂබීජවලට ඇති හැකියාවද බොහෝ සෙයින් වැඩිය.” මේ ගැටලුවලින් කිසිවක් මිනිස් ආණ්ඩුවලින් විසඳන්නට නොහැකි වී තිබීම කනගාටුවට කරුණකි.

කෙසේවෙතත්, බයිබලයෙහි පවසන්නේ රෝග ඇතිවීමට හේතු වන ගැටලු විසඳනවා පමණක් නොව අසනීප මුලිනුපුටා දමන ආණ්ඩුවක්ද තිබෙන බවයි. සමහරක් ක්ෂුද්‍ර ජීවීන් සෑමවිටම හානිකරයි කියා ඔබ සිතනවා වෙන්නට පුළුවනි. එහෙත් එසේ සිතනවාට වඩා අනාගතය බොහෝ යහපත් බව විශ්වාස කිරීමට හොඳ හේතු තිබේ.

කිසිම ක්ෂුද්‍ර ජීවියෙක් කිසිවෙකුට හානි නොකරන කාලයක්

මීට බොහෝ කලකට පෙර බයිබල් අනාගතවක්තෘ යෙසායා දිව්‍ය ආණ්ඩුවක් ගැන කතා කළ අතර එහි පාලකයාවද හඳුන්වා දුන්නේය. මෙම ආණ්ඩුව ගැන බයිබලයේ සඳහන් කර ඇති ආකාරය බලන්න. “මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය; ආණ්ඩුවද ඔහුගේ කර පිට තිබෙන්නේය. ඔහුගේ නාමය අපූර්වය, මන්ත්‍රිවරයාය, පරාක්‍රමවත් දෙවිය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.”—යෙසායා 9:6, අකුරු ඇල කළේ අපය.

එසේනම්, පාලනය කිරීම සඳහා බලය ලබන මෙම ළදරුවා හෙවත් මෙම කුමාරයා කවුද? ඔහුගේ උපතට පෙර ඔහුව හඳුන්වා දෙනු ලැබූ අන්දම සැලකිල්ලට ගන්න. ගාබ්‍රියෙල් දේවදූතයා කන්‍යාවක් වූ මරියාට කීවේ මෙසේයි. “බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු බිහි කරන්නෙහිය. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුය. ඔහු ශ්‍රේෂ්ඨ වන්නේය. . . . ඔහුගේ රාජ්‍යය අවසන් නොවන්නේය.”—ලූක් 1:31-33, NW.

යේසුස් වැඩිහිටි පුද්ගලයෙකු වූ විට, තමා ඇත්තවශයෙන්ම දෙවිගේ රාජ්‍ය ආණ්ඩුවේ පොරොන්දු වී ඇති පාලකයා බවට සාක්ෂි ඉදිරිපත් කළේය. දේශය පුරා යමින් “රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය” ප්‍රකාශ කළා පමණක් නොව සියලු අසනීප හා රෝග මුලිනුපුටා දැමීමට තමාට බලය තිබෙන බවට යේසුස් පැහැදිලිව පෙන්නුම් කළේය. බයිබලයේ වාර්තා වී ඇත්තේ මෙසේයි. “මහත් සමූහයෝ කොර වූ මිනිසුන්වද, අබ්බගාත අයවද, අන්ධ මිනිසුන්වද, ගොළු මිනිසුන්ව හා වෙනත් රෝගවලින් පෙළුණු බොහෝ අයවද රැගෙන යේසුස් වෙත කඩිමුඩියේ පැමිණ ඔහුගේ පාමුල තැබූහ. ඔහු ඔවුන්ව සුව කළේය. එවිට, ගොළු මිනිසුන් කතා කරන බවද, කොර වූ මිනිසුන් ඇවිදින බවද, අන්ධ අයට ඇස් පෙනීම ලැබී තිබෙන බවද දුටු සමූහයා විස්මයට පත් විය.”—මතෙව් 9:35; 15:30, 31, NW.

එසේය, යම් පුද්ගලයෙකු මොනයම් රෝගයකින් හෝ අසනීපයකින් පෙළී සිටියද, යේසුස් ඔහුව සුව කළේය. එපමණක්ද නොව මිය ගොස් සිටි පුද්ගලයන් කිහිපදෙනෙකුව පවා ඔහු නැවත නැඟිට්ටෙව්වේය! (ලූක් 7:11-17; 8:49-56; යොහන් 11:38-44) ඔහු විසින් සුව කරනු ලැබූ අයද ඔහු විසින් නැවත නැඟිටුවනු ලැබූ අයද අන්තිමේදී මිය ගිය බව ඇත්තය. එහෙත්, යේසුස් විසින් කරන ලද ප්‍රාතිහාර්යවලින් පෙන්වූයේ අනාගතයේදී රාජ්‍ය පාලනය යටතේ පොළොව මත වෙසෙන ජනයා සඳහා ඔහු කරනු ඇති දෙයයි. බයිබලයේ පොරොන්දු වෙන්නේ ඒ කාලයේදී “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය” කියායි.—යෙසායා 33:24; එළිදරව් 21:3, 4.

අප සියල්ලන්ම අසනීපවලටද මරණයටද අද දින ගොදුරු වන බව නොරහසකි. විෂබීජ මිලියන ගණන් ජනයාට හානි කරමින් බොහෝ විට මරණය ළඟා කරවයි. එහෙත්, මිනිස් සිරුර කොතරම් අරුම පුදුම අන්දමකින් නිර්මාණය කරනු ලැබ තිබෙනවාද යත්, අපට අසනීප හැදෙන්නේ ඇයි කියා ඇතමෙක් පුදුම වෙති. බැක්ටීරියාවලින් කෙරෙන කාර්යභාරය කොතරම් වැදගත්දැයි ලියූ ලුවිස් තොමස් නම් වෛද්‍යවරයා නිරීක්ෂණය කළේ, අසනීප හැදෙන්නේ “හරියට හදිසි අනතුරක් සිදු වෙනවාක්” මෙන් කියාය. ඔහු තවදුරටත් කීවේ මෙසේයි. “ආසාදිත රෝගියෙකුගේ අභ්‍යන්තර ආරක්ෂක පද්ධතිය තුළ විශේෂ ආකාරයේ යම් දෝෂයක් තිබෙනවා විය හැකියි.”

ඇත්තෙන්ම, ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය බැක්ටීරියා ආසාදනයකින් පෙළෙන්නේ කලාතුරකිනි. කොහොමවුණත්, අන්තිමේදී මිනිසුන් මහලු වී මිය යයි. බයිබලයේ පවසන්නේ අසනීප හා මරණයට මූලික හේතුව පළමු පරිපූර්ණ මිනිසා වූ ආදම්ගෙන් උරුම වූ පාපය බවයි. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය” කියා බයිබලයේ පැහැදිලි කර තිබේ.—රෝම 5:12, NW.

කෙසේවෙතත්, දෙවි තම පුත්‍රයාව පොළොවට එව්වේ ඔහුගේ පරිපූර්ණ ජීවිතය මිදීමේ මිලයක් හැටියට දී පාපයේ බලපෑම්වලින් මිනිසුන්ව මුදවාගැනීමටය. (මතෙව් 20:28) බයිබලයේ පැහැදිලි කරන්නේ මෙසේයි. “පාපය විසින් ගෙවන කුලී නම් මරණයය. එහෙත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි දෙන තෑග්ග නම් සදාකාල ජීවනයය.” (රෝම 6:23, NW; 1 යොහන් 5:11) දෙවිගේ රාජ්‍යය යටතේදී, ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව සතු සුව කිරීමේ බලපෑම දැනෙනු ඇත. එවිට, අද දින රෝග ඇති කරන විෂබීජ ඇතුළු සියලු ක්ෂුද්‍ර ජීවීන් තවදුරටත් කිසිවෙකුට හානි සිදු කරන්නේ නැත.

මිනිස් සංහතියේ ගැටලුවලට විසඳුම් සපයන්නාවූ බයිබලයේ පොරොන්දු වී ඇති රාජ්‍ය ආණ්ඩුව ගැන ඉගෙනගැනීම හොඳ දෙයක් නොවේද? මේ ගැන තවදුරටත් ඉගෙනගන්නට ඔබට උපකාර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ කැමැත්තෙන් සිටිති.

[9වන පිටුවේ කොටුව]

ඔබට කළ හැකි දෙය

ඖෂධවලට ඔරොත්තු දෙන විෂබීජවලින් එල්ල වෙන තර්ජනය අවම කරගැනීමට ඔබට කළ හැක්කේ කුමක්ද? ලෝක සෞඛ්‍ය සංවිධානය යම් මඟ පෙන්වීම් කිහිපයක් සපයා ඇත. පළමුව, රෝග සහ ආසාදනය පැතිරීම අවම කිරීමට අප විසින් අනුගමනය කරනු ලැබිය යුතු යම් ක්‍රියාමාර්ග කිහිපයක් ඒ මගින් පෙන්වා දී ඇත. දෙවෙනුව, ජනයාට ක්ෂුද්‍ර ජීවී නාශක වඩාත් හොඳින් පාවිච්චි කළ හැකි ක්‍රම ගැනද එහි විස්තර කොට ඇත.

රෝග සහ එහි ව්‍යාප්තිය අවම කළ හැකි හොඳම ක්‍රමය නම් සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීම බව මැනවින් පැහැදිලිය. අසනීප වළක්වාගැනීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

අසනීප වළක්වාගැනීමට ගත හැකි පියවර

1. පහත සඳහන් දේවල් තුන ලබාගැනීම සඳහා ඔබගේ උපරිමය කරන්න. නිසි පෝෂණය, ප්‍රමාණවත් ව්‍යායාම සහ ප්‍රමාණවත් විවේකය.

2. පෞද්ගලිකව හොඳ සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කරගන්න. සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන්නේ අසනීප වළක්වාගැනීමට සහ අනික් අයට රෝග බෝවීම වළක්වාගැනීමට ගත හැකි ප්‍රබලතම ක්‍රියාමාර්ගයක් නම් අත් සේදීම බවයි.

3. ඔබ සහ ඔබේ පවුලේ අය අනුභව කරන ආහාරවල පිරිසිදුකම ගැන සහතික වෙන්න. ඔබේ අත්ද ඔබ ආහාර පිළියෙළ කරන ස්ථානයද පිරිසිදුව තිබෙනවාද යන්න ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. තවද, ඔබේ අත් සහ ආහාර පිළියෙළ කිරීමට ඔබ පාවිච්චි කරන ජලය පිරිසිදුව තිබෙන බවට වගබලා ගන්න. ඇතැම් ආහාරවල විෂබීජ ඉතා බහුලව වැඩෙන බැවින්, මස් වර්ග වැනි දෑ පිසින විට ඒවා හොඳින් පිසගන්න. ආහාර නිසි ලෙස ශීතකරණයක ගබඩා කරන්න.

4. පියාඹන කෘමීන් මගින් දරුණු රෝග බෝ වෙන රටවල, මෙම කෘමීන් වඩාත් ක්‍රියාකාරී වන්නාවූ රාත්‍රි කාලවලදී හෝ පාන්දර යාමයේදී නිවසින් පිටවීමෙන් වළකින්න. තවද ආරක්ෂාකාරී දැල් වර්ග නිතරම පාවිච්චි කරන්න.

5. ඔබ ජීවත් වන ප්‍රදේශයේ බහුලව පැවතිය හැකි යම් විෂබීජ වර්ග සමඟ සටන් කිරීම සඳහා ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සන්නද්ධ කිරීමට එන්නත්වලට හැකියි.

ක්ෂුද්‍ර ජීවී නාශක භාවිතය

1. ප්‍රතිජීවක හෝ ක්ෂුද්‍ර ජීවී නාශක මිල දී ගැනීමට හෝ පාවිච්චි කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් ඒ පිළිබඳව උපදෙස් ලබාගන්න. ෆාමසියකට ගොස් කෙළින්ම ඖෂධ මිල දී ගැනීමෙන් වාසියක් වන්නේ පාරිභෝගිකයාට නොව වෙළෙන්දාටය.

2. ඔබට ප්‍රතිජීවක නියම කරන මෙන් ඔබේ වෛද්‍යවරයාට බල කරන්න එපා. ඔබ එසේ කරනවා නම්, ඔහු ඔබට ඖෂධ නියම කරන්නේ, එසේ නොකළහොත් ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට ඔබ ආපසු ඔහු කරා නොඒවිය යන බිය නිසයි. නිදසුනකට, සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන්නේ වයිරස් මගිනි. ප්‍රතිජීවකවලින් සෙම්ප්‍රතිශ්‍යාව සුව වෙන්නේ නැත. ඔබට වයිරස් රෝගයක් තිබෙන විට ප්‍රතිජීවක ගැනීමෙන් ඔබේ සිරුරේ ප්‍රයෝජනවත් බැක්ටීරියාවන් මර්දනය වීමක් සිදු විය හැකි අතර, සමහරවිට සිරුර තුළ ඖෂධවලට ඔරොත්තු දෙන බැක්ටීරියාවන් ඉතා වේගයෙන් වැඩෙන්නටද පුළුවන.

3. ඉතා මෑතකදී වෙළඳපොළට පැමිණි ඖෂධ නියම කරන්නැයි බල කරන්න එපා. එය ඔබට හොඳම දේ නොවිය හැකියි. එය ඔබට අවශ්‍ය තරමට වඩා මිල අධික විය හැකියි.

4. විශ්වාස කටයුතු මූලාශ්‍රයකින් ඖෂධ ගැන පහත සඳහන් දේවල් දැනගන්න. මෙය පාවිච්චි කරන්නේ කුමක්ද සඳහාද? මෙහි ඇති අතුරු ආබාධ මොනවාද? මේවා ගනිද්දී වෙනත් ඖෂධ සමඟ ඒවා ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? මෙය ගැනීම නිසා ඔබට යම් අතුරු අන්තරාවන් ඇති කළ හැක්කේ වෙනත් කිනම් සාධකවලටද?

5. ප්‍රතිජීවක ඖෂධයක් ගැනීම සැබවින්ම සුදුසු නම්, සාමාන්‍යයෙන් ඔබට කළ හැකි හොඳම දේ වන්නේ නියම කරන ලද මුළු වට්ටෝරුවම ගැනීමයි. මුළු වට්ටෝරුවම ගැනීමට පෙරාතුව ඔබට සුවයක් දැනුණත් ඔබ මුළු ඖෂධ වට්ටෝරුවම ගෙන අවසන් කිරීමයි සුදුසුම දේ වන්නේ. වට්ටෝරුවේ ඉතිරි ඖෂධ ගැනීමෙන් ආසාදනය ඔබේ සිරුරෙන් මුළුමනින්ම අතුරුදහන් වී ඇති බවට සහතික කෙරේ.

[10වන පිටුවේ පින්තූරය]

දෙවිගේ ධර්මිෂ්ඨ ආණ්ඩුව යටතේදී ක්ෂුද්‍ර ජීවීන්ගෙන් කිසිදු හානියක් නැතිව ජනයා ජීවිතය භුක්ති විඳිනු ඇත