Skip to content

පටුනට යන්න

තර්ජනය කොතරම් ප්‍රබලද?

තර්ජනය කොතරම් ප්‍රබලද?

තර්ජනය කොතරම් ප්‍රබලද?

වර්ෂ 1977 ඔක්තෝබර් මාසයේ, සති තුනක දැරියක් වූ හොලී මලන්ට කන් අමාරුවක් සෑදුණි. දවස් කිහිපයක් ඇතුළත සුවයක් ලබා දීමට නොහැකි වීම නිසා ඇගේ වෛද්‍යවරයා ඇයට නවීන ප්‍රතිජීවකයක් නිර්දේශ කළේය. ඒ මගින් අසනීපය නිට්ටාවටම සුව විය යුතුව තිබුණි. එහෙත් එය එසේ වූයේ නැත. එම ආසාදනය නැවතත් ඇති වූ අතර, මෙම දැරියට ප්‍රතිජීවක ප්‍රතිකාර වට්ටෝරු සෑම එකක්ම ලබා දීමෙන් පසුවත් ඇයට එම ආසාදනය දිගටම පැවතුණි.

හොලීගේ පළමු අවුරුද්ද ඇතුළත විවිධ ප්‍රතිජීවක ප්‍රතිකාර වට්ටෝරු 17ක් ඇයට දෙනු ලැබීය. අනතුරුව වයස මාස 21දී ඇගේ රෝගී තත්වය ඉතා දරුණු අතට හැරුණි. දින 14ක් පුරා ඇගේ නහර හරහා ප්‍රතිජීවකයක් ශරීරගත කිරීමෙන් ඇයට ලබා දුන් අන්තිම ප්‍රතිකාරයෙන් පසුවයි අවසානයේදී ඇයට සම්පූර්ණ සුවය ලැබුණේ.

මෙවැනි සිද්ධීන් එන්ට එන්ටම සාමාන්‍ය දේවල් බවට පත් වෙන්නේ හුදෙක් ළදරුවන් සහ වයසක අය අතර පමණක්ම නොවේ. සියලුම වයස්වල ජනයාට අසනීප වැලඳෙන අතර, යම් කලෙක ප්‍රතිජීවක මගින් සුව කළ හැකිව තිබූ රෝග පවා දැන් එම ඖෂධවලින් සුව කළ නොහැකි වීම නිසා ඔවුහු මිය යමින් සිටිති. ඇත්තෙන්ම, ප්‍රතිජීවක ප්‍රතිකාර වට්ටෝරු ගණනාවක්ම දීමෙන් පසුව පවා විනාශ කරන්නට බැරි විෂබීජ නිසා 1950 ගණන්වල පටන් ඇතැම් රෝහල්වල බරපතළ ගැටලුසහගත තත්වයක් ඇති වී තිබේ. එපමණක්ද නොව, 1960 ගණන්වල සහ 1970 ගණන්වලදී ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන රෝගකාරක විෂබීජ ගම්මානවලටත් පැතිර ගියේය.

කල් යත්ම, වෛද්‍ය පර්යේෂකයන් සඳහන් කරන්නට පටන්ගත්තේ මිනිසුන් සහ සතුන් ප්‍රතිජීවක වැඩිපුර භාවිත කිරීම, ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන රෝගකාරක විෂබීජ වැඩිවීමට ප්‍රධාන හේතුව හැටියටය. මේ සම්බන්ධයෙන් 1978දී වෛද්‍ය පර්යේෂකයෙක් කියා සිටියේ, ප්‍රතිජීවක භාවිතය “සම්පූර්ණයෙන් පාලනයෙන් තොර වී” ඇති බවයි. එබැවින් 1990 ගණන් වන විට, “ඖෂධවලට ඔරොත්තු දෙන සුපිරි විෂබීජ හිස ඔසවයි,” “විෂබීජ රජයයි,” “භයානක ඖෂධ—ප්‍රතිජීවක වැඩිපුර භාවිතයෙන් රෝගකාරක විෂබීජ ශීඝ්‍රයෙන් වර්ධනය වේ” යන සිරස්තල පුවත්පත්වල දිස් විය.

මේ සිරස්තල හුදෙක් පාඨකයන්ගේ හැඟීම් අවුස්සන්නට යොදාගත් ඒවාද? සුප්‍රකට වෛද්‍ය සංවිධාන පවසන පරිදි එය එසේ නොවේ. වර්ෂ 2000දී බෝ වෙන රෝග පිළිබඳ එක් වාර්තාවක, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධාන අධ්‍යක්ෂකවරිය පැවසුවේ මෙසේයි. “නව සහස්‍රය උදාවීමත් සමඟම, මිනිස් වර්ගයා තවත් අර්බුදයකට මුහුණ දෙමින් සිටී. එනම්, මීට ඉහතදී සුව කළ හැකිව තිබූ රෝග . . . දැන් ක්ෂුද්‍ර ජීවී නාශක ඖෂධවලින් සුව කළ නොහැකි තත්වයට එන්ට එන්ටම පත් වෙමින් තිබීමයි.”

මෙම අර්බුදය කොතරම් බරපතළද? “[ඖෂධවලට ඔරොත්තු දීමට මෙම විෂබීජවලට] ඇති හැකියාව නිසා බෝ වෙන රෝගවලට ප්‍රතිකාර කිරීමේ ප්‍රස්තා, දොරටු වැසී යමින් පවතී” යයි WHO වාර්තා කළේය. බෝ වෙන රෝග සුව කිරීමට කිසිම ප්‍රතිජීවකයක් නැති යුගයකට, එනම් “ප්‍රතිජීවකවලට පෙර යුගයට” මිනිස් වර්ගයා යළිත් ගමන් කරමින් සිටින බව වර්තමාන බලධාරීන් කිහිපදෙනෙක් පවසති.

මෙතරම් දියුණු නවීන තාක්ෂණික යුගයේ සියලු උපක්‍රම පරදවා ලෝකය සිසාරා සිය අණසක පතුරුවාලීමට ක්ෂුද්‍ර ජීවීන්ට හැකි වී තිබෙන්නේ කෙසේද? මොවුන්ගෙන් තමාවම හෝ අනුන්ව ආරක්ෂා කරගැනීමට කළ හැකි යමක් තිබේද? ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන විෂබීජ මර්දනය කිරීමට අනාගතයේ කිනම් විසඳුම් අපේක්ෂා කළ හැකිද? මීළඟ ලිපිවල ඒ සඳහා යම් පිළිතුරු ඉදිරිපත් කරනවා ඇති.