Skip to content

පටුනට යන්න

තෙල් ආශීර්වාදයක් මෙන්ම ශාපයක්?

තෙල් ආශීර්වාදයක් මෙන්ම ශාපයක්?

තෙල් ආශීර්වාදයක් මෙන්ම ශාපයක්?

කාර්මික රටවල් ඛනිජ තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මත කොතෙක් දුරට රඳා සිටිනවාද? ඛනිජ තෙල් හා භූමි වායුව ඔවුන්ට නැතුවම බැරි දෙයක් බවට පත්ව ඇත. ඩැනියෙල් යර්ගන් විසින් රචනා කරන ලද ත්‍යාගය (The Prize) නමැති පොතේ සඳහන් වන්නාක් මෙන් එම තත්වය නිසා “හයිඩ්‍රොකාබන් සමාජයක්” බිහි වී ඇත. උෂ්මක තෙල්, ග්‍රීස්, ඉටි, ඇස්ෆල්ට් හා පැට්රෝලියම් අඩංගු රසායනික ද්‍රව්‍යවලින් සාදනු ලබන දේවල් වන ගුවන් යානා, රථවාහන, බෝට්ටු, මැලියම් වර්ග, තීන්ත, පොලියෙස්ටර් රෙදි, ඇතැම් සපත්තු වර්ග, සෙල්ලම් බඩු, සායම් වර්ග, ඇස්ප්‍රින්, දුර්ගන්ධ නාශක, රූපලාවණ්‍යය, පටිගත කරන තැටි, පරිගණක, රූපවාහිනි හා දුරකථන යනාදි දේවල් ගැන සිතා බලන්න. ඛනිජ තෙල්වලින් ලබාගත් ද්‍රව්‍ය උපයෝගි කරගෙන සාදනු ලබන නිෂ්පාදන වර්ග 4,000කට වැඩි ගණනක් බොහෝදෙනෙක් දෛනිකව භාවිත කරති. එම නිෂ්පාදන වත්මන් ජීවන රටාව කෙරෙහි මහත් බලපෑමක් ඇති කරයි. එහෙත් ඛනිජ තෙල් සොයාගත් කාලයේ පටන් ඒවායින් ජෛව ජාලයට ඇති වන හානිය ගැන කුමක් කිව හැකිද?

“අකාරුණික” රජෙක්

වර්ෂ 1940 අවසන් වෙද්දී රුමේනියාව හා හංගේරියාව අතර යුධ උණුසුම පැවති කාලයේදී නාට්සි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් මැදහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීමට වහාම පියවර ගත්තේය. මෙම පියවර ගනු ලැබුවේ යහපත් චේතනාවෙන්ද? හිට්ලර්ට ඇත්තෙන්ම වුවමනා වූයේ රුමේනියාවේ තෙල් ළිං සෝවියට් සමූහාණ්ඩුවේ පාලනයට නතුවීම වැළැක්වීමටයි. වර්ෂ 1990දී ඉරාකය විසින් කුවේට් රාජ්‍යය ආක්‍රමණය කරනු ලැබීමට ප්‍රධානතම හේතුවක් වූයේද තෙල් ආකර අත් පත් කරගැනීමයි. වෙනත් රටවල්ද ඊට සම්බන්ධ වීමට හේතු වූයේ එම කාරණයයි. මේ සම්බන්ධයෙන් වාර්තාගත වන්නේ මේ සිද්ධීන් දෙක පමණක් නොවේ. බොහෝ අවස්ථාවලදී යුද්ධ ඇතිවීමට හා මිනිසුන් දුක් ගාවිනා විඳීමට හේතු වී තිබෙන්නේ ඛනිජ තෙල් ආකර අත් කරගැනීමට වූ අධිෂ්ඨානයයි.

ඛනිජ තෙල් වත්මන් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් වී තිබෙනවා පමණක් නොව, දේශපාලනය තුළ මුල් බැසගත් ප්‍රධාන ප්‍රශ්නයක් බවටද පත් වී තිබේ. එමෙන්ම එය බලවතුන් කිහිපදෙනෙකුගේ විශේෂ සැලකිල්ලටද යොමු වී තිබෙන දෙයකි. ඛනිජ තෙල් අපනයනය කරන රටවල්වලින් සෑදුණු සංවිධානය (ඔපෙක්) මෑතකදී ප්‍රකාශ කළ පරිදි ඛනිජ තෙල් කියන්නේ සාමාන්‍ය නිෂ්පාදනයක් නොව, “උපක්‍රමික සම්පතක්” බවටද පත් වී ඇති දෙයකි. විවිධ සම්බාධක පැනවීමෙන් දේශපාලනික වාසි ප්‍රයෝජන ලබාගැනීම සඳහා ඛනිජ තෙල් උපක්‍රමයක් ලෙස යොදාගනිමින් තිබේ. එපමණක්ද නොව, තෙල් ළිං, පිරිපහදු මධ්‍යස්ථාන හා තෙල් නැව් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත් වී ඇත. බොහෝ අවස්ථාවලදී එවන් ත්‍රස්තවාදී ප්‍රහාර මගින් පරිසරයට දරුණු හානි සිදු වේ.

සමස්ත ලෝක කාලගුණ රටාවේ වෙනස්කම් ඇතිවීමට හේතුකාරකයක් විය හැකි කාබන්ඩයොක්සයිඩ් පිට කරමින් පරිසරයට හානි සිදු කරන බවට තෙල් කර්මාන්තයට චෝදනා එල්ල වී තිබේ. ලෝකයේ විශාලතම තෙල් ව්‍යාපාරවලින් එකක් ලෙස සැලකෙන පිමෙක්ස් (PEMEX, මෙක්සිකානු පැට්රෝලියම් සමාගම) මගින් නිකුත් කළ වාර්තාවකට අනුව පැට්රෝලියම්වලින් නොයෙකුත් දෑ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ විවිධ අදියරවලදී හානිකර ද්‍රව්‍ය පරිසරයට මුදාහැරේ. වර්තමානයේ භාවිත කරන පැට්රල් පෙරට වඩා පවිත්‍රයි. එහෙත් බොහෝදෙනෙකුට හැඟෙන්නේ ගෝලීය උණුසුම්කරණය අවම කිරීම සඳහා පියවර ගැනීමේ අරමුණින් රටවල් 161ක නියෝජිතයන් රැස් වී කිඔටෝ කෙටුම්පත නමැති මුල් ලියවිල්ල සකස් කිරීමෙන් වසර හයකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුව පවා එතරම් වෙනසක් සිදු වී නැති බවයි. අනෙක් අතට ඔපෙක් සංවිධානය පවසන්නේ බොහෝ රටවලට “වර්තමානයේ මහත් ධනයක් හා සමෘද්ධියක් ගෙන දෙන්නේ ඛනිජ තෙල්” බවයි. එහෙත් එය සැමවිටම සත්‍යයක්ද?

තෙල් ළිං කැණීම හා නල පද්ධති ඉදි කිරීම නිසා සිදු වී තිබෙන හානි සමහරු පෙන්වා දෙති. තෙල් නිධිවලින් පොහොසත්ම රට වන සවුදි ආරාබියේ වැඩි වෙමින් පවතින විරැකියාව දෙසට ඇතැම්හු ඇඟිල්ල දික් කරති. ඔපෙක් සංවිධානයේ සභාපති වන අලි රොඩ්රිගෙස් ආරාකේ මෙසේ සඳහන් කරයි. “කාර්මික රටවල ආණ්ඩු ඛනිජ තෙල් නිෂ්පාදකයන්ට, පිරිපහදු කරන්නන්ට හා පාරිභෝගිකයන්ට යම් දේවල් කිරීමට බලපෑම් කිරීමෙන් ඉමහත් වාසි ලබාගනිමින් සිටියි.”

සංස්ථාවන් පරිසරයට සාධාරණ ලෙස සලකනවාද කියා සොයා බලන සංවිධානයක් වන කෝර්ප් වොච් (Corp Watch) නමැති ආයතනය මෙසේ සඳහන් කරයි. “ඛනිජ තෙල් තවමත් රජයයි. එහෙත් එය අකාරුණික රජෙකි.”

ඛනිජ තෙල්වල අනාගතය කෙබඳු වේවිද?