Skip to content

පටුනට යන්න

තෙල් කවදා හෝ නැති වී යයිද?

තෙල් කවදා හෝ නැති වී යයිද?

තෙල් කවදා හෝ නැති වී යයිද?

“[බලශක්තිය] නොමැතිව කර්මාන්තවල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක නොවේ. . . . මෝටර් රථ, ට්‍රක් රථ, දුම්රිය, නැව් හා ගුවන් යානා සෑදිය නොහැකියි. . . . බලශක්තිය නොමැති වූ කල නිවෙස්වලට උණුසුම ලබා දිය නොහැක. ආලෝකය නැත. ආහාර පිසිය නොහැක. . . . බලශක්තිය ලබාගන්න සම්පත් නොමැති වුවහොත් අප ආපසු ශිලා යුගයට යනු ඇත.”—“එක්සත් ජනපද භූ විද්‍යා ලෝක පැට්රෝලියම් තක්සේරුව 2000” නමැති වාර්තාව ඇසුරෙනි.

ඛනිජ තෙල් සැපයුම යම් දවසකදී අවසන් වී යන බවට බලශක්තිය පිළිබඳ විශේෂඥයෝ මතයක් ඉදිරිපත් කරති. ඇතැම් ගණන් බැලීම්වලට අනුව තෙල් සැපයිය හැක්කේ ඉදිරි වසර 63ත් 95ත් දක්වා වූ කාලයකටයි. මේ අතර වෙනත් බලශක්ති ප්‍රභව සොයා බලන අතර, ඇතැම් ප්‍රභවයන් දශක ගණනාවක සිට භාවිතයට ගනිමින් තිබේ. යළි යළිත් භාවිතයට ගත හැකි බලශක්ති ප්‍රභවයන් අතර සූර්යාලෝකය, සුළං, රළ, ජල විදුලිය හා සාගරයේ රත් වූ සුළං ප්‍රවාහ වැනි දෑ සඳහන් කළ හැක. එහෙත් වර්තමානයේ ප්‍රධාන ගැටලු ඇති වී තිබෙන්නේ බලශක්තිය නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සම්බන්ධවයි.

නැවත උත්පාදනය නොවන බලශක්ති ප්‍රභවයන් සියල්ලම සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගැනීමෙන් පසු යළි යළිත් භාවිතයට ගත හැකි ප්‍රභවයන් දෙස බැලීම අශුභවාදී ආකල්පයකි. ඛනිජ තෙල් භාවිතයට ගත හැකි කාලය තමන් ගණන් බලා තිබෙන බව පවසන තෙල් සමාගම් එම සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සූදානම්ව සිටිති. තෙල් නිසා උද්ගත වී ඇති සමාජීය හා පාරිසරික ගැටලු තෙල් තිබෙන තුරා පවතින බව විශ්වාස කිරීමට ඕනෑ තරම් හේතු තිබීම කනගාටුවට කරුණකි. මේ ප්‍රශ්නවලට මුල ඛනිජ තෙල් පමණක්ම නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ඛනිජ තෙල්වලට නරක නාමයක් ඇතිවීමට හේතුව ධනයට හා බලයට තිබෙන මිනිසාගේ ගිජුකමයි.

සතුටට කරුණක් නම් ඛනිජ තෙල් ඇතුළු සියලුම බලශක්ති ප්‍රභවයන්වල අනාගතය මිනිසුන් අතෙහි නොපැවතීමයි. මේවායෙහි අනාගතය රඳා පවතින්නේ පොළොවේ මැවුම්කරු මෙන්ම එය රැකබලා ගනු ලබන යෙහෝවා දෙවිගේ අතෙහිය. මිහිතලයේ සම්පත් භාවිතයේදී මෙන්ම ඒවා අනිසි භාවිතයේදී ඇති වී තිබෙන පාරිසරික හා සමාජීය ගැටලු සියල්ලම තුරන් කර දමන බවට ඔහු පොරොන්දු වී ඇත. (එළිදරව් 4:11, NW) බයිබලයේ සඳහන් වන පරිදි දෙවි “පොළොව විනාශ කරන අයව විනාශ කර [දමන]” කාලය ළඟය. දෙවිගේ ධර්මිෂ්ඨ පාලනය මගින් “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” බිහි කරනු ඇත. ඒ කාලයේදී ආත්මාර්ථකාමී ලෙස සම්පත් සූරා කෑම හා අයුක්තිය නොතිබෙනු ඇත. ඒ කාලයේදී ජීවත් වන කීකරු මිනිසුන් සියලුදෙනාගේම යහපත උදෙසා පොළොවේ සම්පත් භාවිත කරනු ලබන්නේ පරාර්ථකාමී ලෙසයි.—එළිදරව් 11:18; 21:1-4; NW.

[28වන පිටුවේ පින්තූර]

සූර්ය පුවරු හා සුළං ටර්බයින ඇතුළු විකල්ප බලශක්ති ප්‍රභවයන්