Skip to content

පටුනට යන්න

තෙල් ලබාගන්නේ කොහෙන්ද?

තෙල් ලබාගන්නේ කොහෙන්ද?

තෙල් ලබාගන්නේ කොහෙන්ද?

‘ආලෝකය වේවා.’ මේදය, තල්මසුන්ගේ තෙල් හා වෙනත් ද්‍රව්‍ය යොදාගනිමින් නිපදවන ලද ආලෝකය නිතරම දුර්වල තත්වයක තිබීමෙන් ඇති වූ අපහසුතා මඟහරවා ගැනීම සඳහා කෘත්‍රිම ආලෝකය නිපදවන අලුත් ප්‍රභවයක අවශ්‍යතාව 19වන සියවසේදී එක්සත් ජනපදයෙහි මතු විය. මෙයට විසඳුම වූයේ කුමක්ද? ඛනිජ තෙල්! මෙය ලබාගත හැකි වූයේ කොහෙන්ද?

වර්ෂ 1859දී දුම්රිය සේවයෙන් විශ්‍රාම ගෙන සිටි එඩ්වින් එල්. ඩ්‍රේක් විසින් හුමාලයෙන් ක්‍රියා කරවන පරණ එන්ජිමක් යොදාගනිමින් මීටර් 22ක් ගැඹුරු ළිඳක්, විදින යන්ත්‍රයක් ආධාරයෙන් කණින ලදි. මෙසේ ඔහු ප්‍රථම වතාවට අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ටයිටස්විල් නගරය අසල ප්‍රදේශයකින් බොර තෙල් සොයාගත්තේය. ඛනිජ තෙල් යුගයේ ආරම්භය එමගින් සනිටුහන් විය. ලෝකයේ විවිධ තැන්වලින් තෙල් සොයාගැනීම නිසා එය ආර්ථික හා දේශපාලනික වශයෙන් මහත් බලපෑම් ඇති කිරීමට හේතුවක් වූයේය. පසුව එය ලෝකය මහත් ඕනෑකමින් බලා සිටිය උසස් ගුණයෙන් යුත් කෘත්‍රිම ආලෝකය ලබාගත හැකි ප්‍රභවයක් බවට පත් විය.

එක්සත් ජනපදයේ තෙල් තිබෙනවායයි පැවසූ ප්‍රදේශවල පිහිටි ඉඩම් මිල දී ගෙන, තෙල් ළිං කැණීමේ උමතුව වැඩි කලක් යන්න කලින් සෑම තැනකම පාහේ දක්නට ලැබිණ. කෙටි කලකින් ධනවත් වූ මිනිසුන් ගැනත් පසුව තමන්ගේ ධනය අහිමි කරගත් අය ගැනත් අසන්න ලැබීම, ඒ කාලයේ සුලභ දෙයක් වූයේය. පෙන්සිල්වේනියාවේදී ප්‍රථම තෙල් ළිඳ කැණූ තැනැත්තා වූ එඩ්වින් ඩ්‍රේක්ද තෙල් නිසා ධනය අහිමි කරගත් අය අතර විය.

තෙල් වෙළඳාමේ ශීඝ්‍ර ඉහළ යෑමක් තිබුණද, ඇතැම්විට ඒ හේතුව නිසාම ප්‍රථම වතාවට පෙන්සිල්වේනියාවේ තෙල් මිල පහත වැටුණි. ඩොලර් 20ක්ව තිබූ තෙල් බැරලයක මිල ශත 10 දක්වා පහත වැටුණි. අධික නිෂ්පාදනය හා ලාභ ලැබීම සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කිරීම නිසා මිල වේගයෙන් පහත වැටුණේය. එමෙන්ම ඇතැම් තෙල් ළිං ඉක්මනින් සිඳී ගියේය. ඒ කාලය සිහියට නංවන විශේෂ දසුනක් වන්නේ පෙන්සිල්වේනියාවේ එදා තිබූ පිට්හෝල් නගරයයි. ඒ කාලයේ සමෘද්ධිමත්ව තිබූ මේ නගරය අද කෙමෙන් කෙමෙන් ගරා වැටෙන තත්වයකට පත් වී තිබේ. මේ නගරය ගොඩනැඟීමටත්, එය සමෘද්ධිමත් වීමටත්, ගරා වැටීමටත් ගත වූයේ අවුරුදු එකහමාරකටත් වඩා අඩු කාලයකි. මෙවන් වර්ධනයන් සහ පසුබැසීම් ඛනිජ තෙල් ඉතිහාසයේ ප්‍රධාන අංග ලක්ෂණ බවට පත් විය.

ජෝන් ඩී. රොක්ෆෙලර් හා තවත් කිහිපදෙනෙක් එක් වී 1870දී ස්ටෑන්ඩර්ඩ් තෙල් සමාගම ස්ථාපිත කළහ. රුසියානු තෙල් කර්මාන්තයෙන් තරඟකාරිත්වයක් එල්ල වන තෙක්ම භූමිතෙල් වෙළඳපොළේ අධිකාරිය හිමි වී තිබුණේ එම සමාගමටයි. එක් තරඟකරුවෙක් වූයේ මාර්කස් සැමුවෙල්ය. වර්තමානයේ රෝයල් ඩච්/ෂෙල් ගෲප් යනුවෙන් සුප්‍රසිද්ධ තෙල් සමාගමේ නිර්මාතෘවරයා වූයේ ඔහුයි. මීට අමතරව, නොබෙල් සහෝදරයන්ගේ a දක්ෂතාවල ප්‍රතිඵලයක් හැටියට ප්‍රබල තෙල් ව්‍යාපාරයක් රුසියාවේ බිහි විය. ඔවුන් තෙල් ලබාගත්තේ බාකූහි පිහිටි තෙල් ආකරවලිනි.

තෙල් ව්‍යාපාර ආරම්භ වී තිබෙන්නේ ඉහත කී ලෙසය. තෙල් මිල හා නිෂ්පාදනය අස්ථාවර වීම වැළැක්වීම සඳහා මුල් කාලයේ සිට විවිධ සංවිධාන පිහිටුවා ඇත. මේවායින් එකක් වන්නේ ඛනිජ තෙල් අපනයනය කරන රටවලින් සෑදුණු සංවිධානයයි. සාමාජික රටවල් 11කින් යුත් මෙම සංවිධානය (ඔපෙක්) දැනට ලෝකයේ තිබෙන බොර තෙල් ආකරවලින් බහුතරයක් හිමි කරගෙන සිටී.—23වන පිටුවේ තිබෙන කොටුව බලන්න.

තෙල් කොපමණ තිබෙනවාද? එය තිබෙන්නේ කොහේද?

දහනවවන සියවස අගභාගයේදී විදුලි බලය භාවිත කිරීම ව්‍යාප්ත වීම නිසා තෙල් ව්‍යාපාරය බංකොලොත් විය හැකි බව පෙනෙන්න තිබිණ. කෙසේවෙතත් තවත් සුවිශේෂී සොයාගැනීමක් නිසා තත්වය ප්‍රබල ලෙස වෙනස් විය. එම සොයාගැනීම වූයේ මූලිකව රථ වාහන සඳහා නිපදවනු ලැබූ අභ්‍යන්තර දහන එන්ජිමයි. මෙම වාහන ක්‍රියාත්මක කරවීම සඳහා පැට්රල් හා පැට්රෝලියම්වලින් සාදාගත් දේවල් අවශ්‍ය විය. එක්දහස් නවසිය විසි ගණන්වල අවසාන භාගයේදී කාර්මික රටවල් බොහොමයක විසූ ජනයාට වාහන පහසුවෙන් ලබාගත හැකි විය. මේ කාලය වන විට ලෝකයේ ප්‍රවාහන කටයුතු සඳහා වැඩි වැඩියෙන් ඛනිජ තෙල් අවශ්‍ය විය. එහෙත් මේ තෙල් සොයාගනු ලැබුවේ කොහෙන්ද?

පසුගිය කාලයේ සිට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් අලුත් තෙල් නිධි අඛණ්ඩව සොයාගැනීම නිසා ලෝක වෙළඳපොළෙහි තෙල්වලට හිමි ආධිපත්‍යය තවත් තහවුරු වී ඇත. දැනට තවත් තෙල් නිධි 50,000ක් පමණ සොයාගෙන තිබේ. කෙසේවෙතත් නිෂ්පාදනය අතින් බලන කල වඩා වැදගත් සාධකය වන්නේ සොයාගනු ලබන තෙල් නිධි ගණන නොව ඒවායේ ප්‍රමාණයයි. ඒවා කොතරම් විශාලද?

අඩුම තරමින් තෙල් බැරල් බිලියන පහක්වත් ලබාගත හැකි තෙල් ආකර, වර්ග කරනු ලබන්නේ විශාලතම තෙල් ආකර ලෙසයි. ඊළඟට විශාලතම තෙල් ආකර ලෙස වර්ග කරනු ලබන්නේ තෙල් බැරල් මිලියන පන්සියයේ සිට බිලියන පහක් දක්වා තෙල් ලබාගත හැකි ආකරයි. “එක්සත් ජනපද භූ විද්‍යාත්මක අධ්‍යයන ආයතනය මගින් කරන ලද ලෝකයේ තිබෙන පැට්රෝලියම් පිළිබඳ තක්සේරුව 2000” නමැති වාර්තාවේ තෙල් සංචිත තිබෙන රටවල් 70ක් ලැයිස්තුගත කර තිබුණද, විශාලතම තෙල් ආකර තිබෙන්නේ එම රටවලින් කිහිපයක පමණයි. (23වන පිටුවේ තිබෙන කොටුව බලන්න.) විශාලතම තෙල් ආකරවලින් වැඩි ගණනක් තිබෙන්නේ පර්සියානු බොක්ක හා ඒ අවට ප්‍රදේශ අයත් වන අරාබි හා ඉරාන අවසාදිත ද්‍රෝණියෙහිය.

නව තෙල් උල්පත් සොයාගැනීම සඳහා කරන ගවේෂණ නතර වී නැත. නව තාක්ෂණය මගින් එම කාර්යයට ජවයක් ලැබී ඇත. වර්තමානයේ තෙල් නිෂ්පාදකයන්ගේ ඇස් යොමු වී තිබෙන්නේ අසර්බයිජානය, ඉරානය, උස්බෙකිස්තානය, කසක්ස්තානය, ටර්ක්මෙනිස්තානය හා රුසියාව යන රටවල් පිහිටා තිබෙන කැස්පියන් සමුද්‍ර කලාපය දෙසටයි. එක්සත් ජනපදයේ බලශක්ති තොරතුරු පරිපාලන ආයතනය සඳහන් කරන ආකාරයට මේ කලාපයේ තෙල් හා භූමි වායුව විශාල ප්‍රමාණයෙන් ලබාගැනීමේ හැකියාවක් තිබේ. මෙහි තිබෙන තෙල් අපනයනය කිරීම සඳහා විකල්ප ගමන් මාර්ග ගැන සමීක්ෂණ සිදු කරමින් පවතී. ඇෆ්ගනිස්තානය එවන් එක් මාර්ගයකි. තෙල් තිබිය හැකියි කියා අනුමාන කරන තවත් ස්ථාන මැද පෙරදිග, ග්‍රීන්ලන්තයේ හා අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලින් සොයාගෙන තිබේ. සොයාගනු ලබන හයිඩ්‍රොකාබන්, ශක්තිය බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය හා දෛනික ජීවිතයේදී භාවිතයට ගනු ලබන දේවල් ගැන කතා කළ යුත්තේ වෙනම මාතෘකාවක් ඔස්සේය.

තෙල් ලබාගන්නේ කෙසේද?

භූ විද්‍යාඥයෝ සහ මිනුම්දෝරුවෝ පොළොව යට තැන්පත් වී තිබිය හැකි බොර තෙල් තිබෙන ස්ථාන සොයා බලති. යම් දේවල් නිශ්චිතව මැන බැලීමෙන් හා නියැදි ලබාගැනීමෙන් පසු තෙල් තිබෙන නියමිත ස්ථානය තහවුරු කරගැනීම සඳහා ඔවුන් කරන්නේ විදින යන්ත්‍රයකින් පොළොව කැණීමයි. අතීතයේදී තෙල් නිධියක් සාර්ථකව කැණීමෙන් පසු එයින් මඩ හා තෙල් කන්දරාවක් ක්ෂණිකව මතුපිටට ඒමට ඉඩ තිබිණ. මේ නිසා මුලින්ම එන තෙල් අපතේ ගිය අතර පිපිරීමක් සිදුවීමේ අවදානමක්ද තිබිණ. කෙසේවෙතත් වර්තමානයේදී මිනුම් උපකරණ හා විශේෂ කපාට යොදාගැනීම නිසා විදින යන්ත්‍ර භාවිත කිරීමේදී එවන් දෙයක් සිදුවීම වළක්වාගත හැකියි. කුඩා විදින කටු යොදාගනිමින් වඩාත් ගැඹුරට විදීමේ හැකියාව අද තිබේ.

තෙල් හා වායුව මතුපිටට ඒමට සලස්වන පීඩනය අඩු කරනු ලැබේ. ජලය, රසායනික ද්‍රව්‍ය, කාබන්ඩයොක්සයිඩ් හෝ නයිට්‍රජන් වැනි වෙනත් වායුන් තෙල් නිධිය තුළට යැවීමෙන් එහි පීඩනය අවශ්‍ය පරිදි පවත්වාගත යුතුය. තෙල් නිධිය පිහිටා ඇති ප්‍රදේශයට අනුව තෙල්වල ඝනත්වය විවිධ මට්ටම්වල පවතී. සැහැල්ලු තෙල් පිටතට ගැනීම හා පිරිපහදු කිරීම වඩාත් පහසු නිසා වැඩි කැමැත්තක් දක්වනු ලබන්නේ එම තෙල් ලබාගැනීමටයි.

අමෙරිකානු පැට්රෝලියම් ආයතනය පැහැදිලි කළ ආකාරයට තෙල් ළිං කැණීමේ නවීන තාක්ෂණික ක්‍රමවලට තිරස් විදීම කියා හඳුන්වන ක්‍රමයද ඇතුළත් වේ. මෙම ක්‍රමයේදී සිදු කෙරෙන්නේ හරියටම පෘථිවි පෘෂ්ඨයට සමාන්තරව විදීමයි. මෙමගින් කණිනු ලබන තෙල් ළිං ප්‍රමාණය අඩු කරගත හැකියි. මුහුදු පතුල සිදුරු කර තෙල් ලබාගැනීම, ඊළඟ ක්‍රමය වේ. වර්ෂ 1947දී මෙක්සිකෝ බොක්කෙහි එම ක්‍රමය භාවිත කිරීම පටන්ගැනීමත් සමඟම තෙල් නිෂ්පාදනය විශාල වශයෙන් ඉහළ ගියේය. තෙල් ලබාගැනීම සඳහා යොදාගනු ලබන ක්‍රමය, තෙල්වල හා එයින් නිෂ්පාදනය කරනු ලබන දේවල මිලට කෙළින්ම බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. b

තෙල් ප්‍රවාහනය කරනු ලබන්නේ කෙසේද?

වර්ෂ 1863දී පෙන්සිල්වේනියාවේ තෙල් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කළේ ලීවලින් සාදන ලද කුඩා විෂ්කම්භයකින් යුත් නල මාර්ග පද්ධතියකි. මෙවන් නල භාවිත කිරීමට හේතු වූයේ, අශ්ව කරත්ත මගින් ගෙන ගිය තෙල් ලීටර් 159ක් අඩංගු බැරල්වලට වඩා මෙමගින් ප්‍රවාහනය පහසු වීම හා වඩාත් ලාභදායක වීමයි. c වර්තමානයේ තිබෙන නල පද්ධති දියුණු තත්වයක පවතින අතර, පුළුල්ව භාවිත කෙරේ. තෙල් නල පද්ධති සංගමය පවසන පරිදි එක්සත් ජනපදයේ පමණක් තිබෙන තෙල් නල පද්ධතිය කිලෝමීටර් 3,00,000ක් පුරා විහිදී යයි!

ලෝහ බහුලව යොදාගෙන සාදා තිබෙන වත්මන් නල පද්ධති මගින් පිරිපහදු මධ්‍යස්ථාන දක්වා ප්‍රවාහනය කෙරෙන්නේ බොර තෙල් පමණක් නොවේ. බෙදාහරින්නන් වෙත අවසන් නිෂ්පාදිත ප්‍රවාහනය කිරීම සඳහාද නල පද්ධති යොදාගැනේ. නවීන නල තාක්ෂණයේදී ස්වයංක්‍රීය පද්ධති යොදාගනු ලබන අතර, එමගින් නල ඔස්සේ ගලා යන තෙල් ධාරාව හා එහි පීඩනය පරීක්ෂා කළ හැකියි. කුඩා සූක්ෂ්ම උපකරණ යොදාගනිමින් කිලෝමීටර් සිය ගණනක් දිව යන නල පද්ධති පරීක්ෂා කර බැලීම, චුම්බක ක්ෂේත්‍රයේ අක්‍රමිකතා මැනීම මගින් ස්‍රාවය කාන්දු වීම පරීක්ෂා කිරීම හා අතිධ්වනික තාක්ෂණය මගින් නල පද්ධතිය ඇතුළත සෝදිසි කර බැලීම වැනි ක්‍රම වර්තමානයේ යොදාගැනේ. මෙවැනි නවීන ක්‍රම තිබුණද, බොර තෙල් ඇසුරෙන් සාදනු ලබන දේවල් සාමාන්‍යයෙන් පරිභෝජනය කරන කෙනෙකුට දැකිය හැක්කේ ඛනිජ තෙල් නල පද්ධතියක් පොළොව යට තිබෙන බව අඟවන ලකුණක් මෙන්ම එම නල තිබෙන ප්‍රදේශය හෑරීමෙන් වළකින්න කියා කරන අනතුරු ඇඟවීමක් පමණි.

නල පද්ධති ප්‍රයෝජනදායක වුවද මහා පරිමාණයෙන් තෙල් විදේශීය රටවලට ප්‍රවාහනය කිරීම සඳහා එය ප්‍රායෝගික ක්‍රමයක් නොවේ. එහෙත් මුල් කාලයේ සිටි තෙල් ව්‍යාපාරිකයෝ මෙයට විසඳුමක් සොයාගත්හ. එම විසඳුම වූයේ අතිවිශාල තෙල් නැව් යොදාගැනීමයි. විශේෂයෙන් තෙල් ප්‍රවාහනය කිරීම සඳහා සාදා තිබෙන මෙම නැව් මීටර් 400ක් තරම් දිගය. සාගරවල යාත්‍රා කරන විශාලතම නැව් වර්ගය වන්නේ තෙල් නැව්ය. තෙල් බැරල් මිලියනයක් හෝ ඊට වැඩි ගණනක් ප්‍රවාහනය කිරීමට ඒවාට හැකියි. එහෙත් මේවා කොතරම් ශක්තිමත් වුවත් යම් අනතුරුවලට ලක් විය හැකි වීම කනගාටුදායකය. මේ බව “කාන්දු වන තෙල්” යනුවෙන් නම් කර තිබෙන කොටුවේ සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙයි. පාරු හා දුම්රිය මාර්ග දිගේ ගෙන යන තෙල් ටැංකි මගින් විශාල වශයෙන් තෙල් ප්‍රවාහනය කෙරේ. කෙසේවෙතත් ප්‍රවාහනය කියන්නේ තෙල් නිධියක සිට පාරිභෝගිකයා දක්වා යන ගමනේ එක් අවස්ථාවක් පමණි.

උස නලයකින් කුඩා ගිනි දැල්ලක් නිකුත් වෙනවා ඔබ දැක්කොත් එය තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් බවට හොඳ ඉඟියක් වේ. එය ආරක්ෂක කපාටයක් ලෙස ක්‍රියා කරයි. විශාල තෙල් පිරිපහදු මධ්‍යස්ථානවල මූලිකව සිදු කෙරෙන්නේ බොර තෙල් රත් කර, වාතය ආධාරයෙන් පෙරන අට්ටාලයකට යැවීමයි. එහිදී තෙල් විවිධ කොටස්වලට වෙන් කරනු ලබයි. මෙම කොටස් බුටේන් වැනි සැහැල්ලුම වායුයේ සිට බර වැඩිම ද්‍රවයන් දක්වා වූ විවිධ ස්වරූපවලින් යුක්තයි. එම බර ද්‍රව මගින් ලිහිසි තෙල් ඇතුළු වෙනත් දේවල්ද සාදයි. (පිටු 24-5 බලන්න.) එහෙත් ඛනිජ තෙල් ගැන කතා කරන විට තවත් ප්‍රශ්නයක් ඉතිරි වී ඇත. එනම් තෙල් ආශීර්වාදයක්ද නැතහොත් ශාපයක්ද නමැති ප්‍රශ්නයයි.

[පාදසටහන්වල]

a නොබෙල් ත්‍යාග පිරිනැමීමේ වැඩපිළිවෙළ මුලින්ම ඇති කළේ මොවුන්ගෙන් කෙනෙකු වූ අල්ෆ්‍රඩ් බෙර්නාඩ් නොබෙල් විසිනි.

b “කේබල්වල ආධාරයෙන් මෙක්සිකෝ බොක්කෙහි සාදා තිබෙන අට්ටාලයක් යොදාගනිමින් ඉවතට ගනු ලබන තෙල්වල නිෂ්පාදන පිරි වැය මැද පෙරදිග තෙල්වල නිෂ්පාදන පිරි වැය මෙන් 65ගුණයකටත් වඩා වැඩි බවට ගණන් බලා තිබේ.”—The Encyclopædia Britannica.

c අතීතයේ වයින් සම්බන්ධයෙන් කළාක් මෙන් තෙල් ගබඩා කිරීමට හා ප්‍රවාහනය කිරීමට භාවිත කළේ ලීවලින් සාදන ලද බැරල්ය.—21වන පිටුවේ තිබෙන කොටුව බලන්න.

[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

බැරල්ද නැත්නම් ටොන්ද?

මුලින් පෙන්සිල්වේනියාවේ තෙල් සමාගම් තෙල් ප්‍රවාහනය කළේ ලීටර් 180කින් යුත් වයින් බැරල්වලයි. පසු කාලයේදී ප්‍රවාහනය කිරීමේදී බැරලයකට තෙල් ලීටර් 159ක් දමන ලදි. එසේ කළේ තෙල් අපතේ යෑම මඟහරවා ගැනීමටයි. තෙල් ව්‍යාපාරයේදී අදටත් භාවිත කරන මිනුම වන්නේ බැරලයයි (ලීටර් 159යි).

මුල් කාලයේ සිටම යුරෝපයට තෙල් ප්‍රවාහනය කරනු ලැබුවේ මුහුද හරහාය. මෙහිදී සාමාන්‍යයෙන් තෙල්වල බර අද මෙන් මනිනු ලැබුවේ ටොන්වලිනි.

[හිමිකම් විස්තර]

Source: American Petroleum Institute

[22වන පිටුවේ කොටුව]

පැට්රෝලියම් සෑදුණේ කෙසේද?

එක්දහස් අටසිය හැත්තෑ ගණන්වල සිට මේ සම්බන්ධයෙන් බොහෝ විද්‍යාඥයන් අතර පැවති මතය හඳුන්වනු ලබන්නේ සජීවි ජනනවාදය ලෙසයි. මෙයින් “කියවෙන්නේ අවසාදිතවල දිගු කාලයක් පුරා වැළලී තිබෙන ජීවීන්ගේ දිරාපත් වූ කොටස් තෙල් හා භූමි වායු බවට පත් වී තිබෙන බවයි. එමෙන්ම මෙම පැට්රෝලියම් [පෘථිවි] පෘෂ්ඨයේ ඉහළ ස්තරවල පිහිටි අවසාදිත පාෂාණවල තිබෙන කුඩා කුහරවල තැන්පත් වේ.” එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට පැට්රෝලියම් නිපදවෙන අතර, එහි ප්‍රධාන සංඝටක වන්නේ හයිඩ්‍රොකාබන් නොහොත් හයිඩ්‍රජන් හා කාබන්ය. කෙසේවෙතත් 1970 ගණන්වල සිට මෙම මතය ඇතැම් විද්‍යාඥයන් විසින් සමහර අවස්ථාවලදී අභියෝගයට ලක් කර තිබේ.

“හයිඩ්‍රොකාබන්වල උපත හා පැට්රෝලියම්වල මූලාරම්භය” නමැති මාතෘකාවෙන් යුත් ලිපිය විද්‍යා කටයුතු පිළිබඳ ජාතික ඇකඩමියේ ක්‍රියාකාරකම් නමැති සඟරාවේ 2002 අගෝස්තු 20වන කලාපයේ පළ විය. එම ලිපියේ කර්තෘවරුන් තර්ක කරන්නේ සාමාන්‍යයෙන් පිළිගනු ලබන මතයට අනුව ස්වාභාවික පැට්රෝලියම් හටගන්නේ එතරම් නොගැඹුරු මට්ටමක නොව, “පෘථිවියේ ප්‍රාවරණය” දක්වා වූ ගැඹුරක බවයි.

මේ සම්බන්ධයෙන් භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන තෝමස් ගෝල්ඩ් විවාදවලට තුඩු දෙන මත ඉදිරිපත් කර තිබේ. මේවාට හේතු ඔහු ලියා තිබෙන පොතක (The Deep Hot Biosphere—The Myth of Fossil Fuels) විස්තරාත්මකව පැහැදිලි කර ඇත. මෙම පොතෙහි ඔහු මෙසේ සඳහන් කරයි. “හයිඩ්‍රොකාබන් මුලින්ම හටගන්නේ අවසාදිතවල දිගු කාලයක් පුරා වැළලී තිබෙන ජීවීන්ගේ දිරාපත් වූ කොටස්වලින් බවට වූ මතය එක්සත් ජනපදය හා යුරෝපයේ රටවල් බොහොමයක කොතරම් ජනප්‍රිය වී තිබුණාද කියනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ මත කිසිවිටකත් කතා බහට ලක් වූයේ නැත. එහෙත් පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල පැවතියේ එවන් තත්වයක් නොවේ.” මෙයට “හේතුව වූවා විය හැක්කේ ගෞරවයට පාත්‍ර වූ රුසියානු රසායන විද්‍යාඥයෙකු වූ මෙන්ඩලේයෆ් විසින් අජීවි ජනනවාදයට පක්ෂව කරුණු ඉදිරිපත් කරනු ලැබ තිබීමයි. අද අප සතු පුළුල් තොරතුරු සම්භාරය සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ ඔහු ඉදිරිපත් කළ තර්කවලට අද ඉතා ප්‍රබල සාක්ෂි පවතින බවයි.” අජීවි ජනනවාදය යනු කුමක්ද?

ගෝල්ඩ් මෙසේ සඳහන් කරයි. “අජීවි ජනනවාදයෙන් කියවෙන්නේ හයිඩ්‍රොකාබන් යනු මීට අවුරුදු බිලියන 4.5කට පමණ ඉහතදී ඝන ද්‍රව්‍ය ටිකෙන් ටික එකතු වීමෙන් සෑදුණු පෘථිවි සංයුතියේ අඩංගු ද්‍රව්‍යයක සංඝටකයක් බවයි.” මේ මතයට අනුව පැට්රෝලියම්වල අඩංගු කොටස් පෘථිවිය සෑදුණු කාලයේ සිටම එහි භූ ගර්භයෙහි තැන්පත් වී තිබේ. d

[පාදසටහන්වල]

d පිබිදෙව්! සඟරාව විවිධ මතවාදවලදී කිසිම පැත්තක් නොගනී. එය කරන්නේ තොරතුරු වාර්තා කිරීම පමණි.

[26, 27වන පිටුවේ කොටුව⁄පින්තූරය]

තෙල් කාන්දු වීම

◼ වර්ෂ 1970 සහ 2000 අතර කාලයේදී තෙල් නැව්වලින් කාන්දු වූ මුළු තෙල් ප්‍රමාණය ටොන් 53,22,000කි

◼ විශාලතම තෙල් කාන්දු වීම සිදු වූයේ 1979දී ඇට්ලන්ටික් එම්ප්‍රෙස් නෞකාව ඒජියන් කැප්ටන් නෞකාව සමඟ ගැටුණු අවස්ථාවේදීය. එහිදී කාන්දු වූ තෙල් ප්‍රමාණය ටොන් 2,87,000කි

◼ විශාල වශයෙන් තෙල් කාන්දු වූ 34වන අවස්ථාව ලෙස වාර්තා වන්නේ එක්සන් වාල්ඩෙස් නමැති තෙල් නැවෙනි

◼ තෙල් නැව්වලින් තෙල් කාන්දු වීම් බොහොමයක් සිදු වන්නේ තෙල් පිරවීමේදී හා බෑමේදී මෙන්ම නැවේ ඉන්ධන ටැංකියට තෙල් පිරවීමේදී වුවත් විශාලතම තෙල් කාන්දු වීම සිදු වී තිබෙන්නේ නැව් එකිනෙක හා ගැටීම මෙන්ම නැව් වෙරළට ගසාගෙන ඒම නිසාය

◼ නැව්වලින් හැර මතු දැක්වෙන වෙනත් හේතු නිසාද විශාල වශයෙන් තෙල් අපතේ යයි.

● වර්ෂ 1979දී ගවේෂණ කටයුතු සිදු කරමින් තිබූ මෙක්සිකෝ බොක්කේ පිහිටි ඊස්ටොක්I නමැති තෙල් ළිඳ පුපුරා යෑම. කාන්දු වූ මුළු තෙල් ප්‍රමාණය ලීටර් 50,00,00,000කි

● වර්ෂ 1983දී පර්සියානු ගල්ෆ් මුහුදේ පිහිටි තෙල් ළිඳ පුපුරා යෑම. කාන්දු වූ මුළු තෙල් ප්‍රමාණය ලීටර් 30,00,00,000කි

● වර්ෂ 1991දී පර්සියානු ගල්ෆ් මුහුදට හිතාමතාම තෙල් ඉවත දැමීම. කාන්දු වූ ප්‍රමාණය ලීටර් 90,00,00,000කි

[පින්තූරය]

Oil tanker “Erika” sinks near Penmarch Point, France, December 13, 1999

[හිමිකම් විස්තර]

Sources: International Tanker Owners Pollution Federation Limited, “Oil Spill Intelligence Report,” “The Encarta Encyclopedia”

© La Marine Nationale, France

[24, 25වන පිටුවේ රූප සටහන⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

තෙල් නිෂ්පාදනය​—සරල දැක්මක්

1​—ගවේෂණය

චන්ද්‍රිකා

පෘථිවි ගෝලයේ පිහිටීම දක්වන පද්ධතිය උපයෝගි කරගනිමින් මිනුම් කටයුතු සඳහා යොදාගනු ලබන නිවැරදි සංඥා සපයයි

භූගත කම්පන මිනුම් උපකරණ

කම්පන ට්‍රක් රථය

ජලජ කම්පන මිනුම් උපකරණ

කම්පක නෞකාව

මේ සඳහා යොදාගනු ලබන එක් ක්‍රමයක් වන්නේ භූ කම්පන මැනීමයි. මෙහිදී කෙරෙන්නේ කෘත්‍රිමව ජනනය කෙරෙන ශබ්ද තරංග මගින් භූමිය යට නිකුත් කරනු ලබන ප්‍රතිනාද වාර්තා කරගැනීමයි

2​—ඇදගැනීම

දේශාභ්‍යන්තරයේ තිබෙන ළිං

මුහුදු අට්ටාලය

ජලය යට තිබෙන ළිඳ

භූමියේ හා මුහුදේ මෙන්ම ජලය යට පිහිටි තෙල් ළිං ආධාරයෙන් තෙල් ඉවතට ගනු ලැබේ. තෙල් නිධියේ පීඩනය දිගටම පවත්වාගැනීම සඳහා විවිධ වායු වර්ග හා රසායනික ද්‍රව්‍ය එය තුළට විදිය හැකියි

[පින්තූරය]

ජලය යට තිබෙන තෙල් ළිඳ

මුහුදු පතුලේ තෙල් නිෂ්පාදන කටයුතු කිරීම සඳහා අවශ්‍ය දේවල් ඉදි කිරීමට දුර සිට පාලනය කරනු ලබන සබ්මැරීන යොදාගනී

[පින්තූරය]

තිරස් විදීම

එන්ජිමක් මගින් දුර සිට පාලනය කෙරෙන යන්ත්‍ර යොදාගෙන විදුම් කටුව පාලනය කරනු ලබන අතර එහි සංවේදකවලින් තෙල් තිබෙන තැන් සොයාගනී

3​—ප්‍රවාහනය

නල පද්ධති

තෙල් නැව

භූමියට ඉහළින්ද පහළින්ද මුහුද යටින්ද සවි කර තිබෙන නල මගින් තෙල් ප්‍රවාහනය කෙරේ. තෙල් නැව්, පාරු හා දුම්රිය මාර්ග ඔස්සේද තෙල් ප්‍රවාහනය කෙරේ

4​—පිරිපහදු කිරීම

පිරිපහදු

එදිනෙදා විවිධ කාර්යයන් සඳහා භාවිතයට ගත හැකි වන පරිදි බොර තෙල් රත් කර, පෙරා කොටස්වලට වෙන් කරනු ලැබේ

පෙරන අට්ටාලය

ඇලෙනසුලු, අඳුරු පැහැයෙන් යුත් බොර තෙල් උෂ්මකයක රත් කරන විට හයිඩ්‍රොකාබන් වායු බවට පත් වේ. මෙම වායු විවිධ උෂ්ණත්වයන් යටතේ නැවතත් ද්‍රව බවට පත් කෙරේ. මෙසේ තෙල් විවිධ කොටස්වලට වෙන් කරනු ලැබේ

68°F. [20°C]

පිරිපහදු වායු

මේවාට අයත් වන්නේ මීතේන්, එතේන්, ප්‍රොපේන් හා බියුටේන් යනාදියයි

70°-160°F. [20°-70°C]

පැට්රල්

රථ වාහනවලට යොදාගනු ලබන ඉන්ධනයක් ලෙස හා ප්ලාස්ටික් වැනි දේවල් සෑදීම සඳහා අමුද්‍රව්‍යක් ලෙස භාවිත කෙරේ

160°-320°F. [70°-160°C]

නැෆ්තා

ප්ලාස්ටික්, රථ වාහන ඉන්ධන හා වෙනත් රසායනික ද්‍රව්‍යයන් සෑදීමට යොදාගැනේ

320°-480°F. [160°-250°C]

භූමිතෙල්

ගුවන් යානා ඉන්ධන හා උදුන්වලට යොදාගන්න තෙල් ලෙස භාවිත කෙරේ

480°-660°F. [250°-350°C]

ඩීසල් තෙල්

ඩීසල් හා උෂ්මක ඉන්ධන බවට පරිවර්තනය කෙරේ

උෂ්මකය

750°F.

අවශේෂ

මේවායින් පිරිපහදු ඉන්ධන, බැර ඉන්ධන, ඉටිපන්දම් සාදන ඉටි, ග්‍රීස් හා ඇස්ෆල්ට් යනාදිය ලබාගනී

උත්ප්‍රේරක බිඳීම

හයිඩ්‍රොකාබන් වාෂ්පයෙන් රත් කර, ඇලුමිනා සිලිකා ජෙල් කුඩුවලින් සාදා තිබෙන උණුසුම් කළ උත්ප්‍රේරක සමඟ මිශ්‍ර කෙරේ. මෙමගින් හයිඩ්‍රොකාබන් වඩාත් කුඩා හා ප්‍රයෝජනදායක අණු බවට වියෝජනය වේ

උත්ප්‍රේරක කුඩු වාෂ්ප තත්වයේ තිබෙන හයිඩ්‍රොකාබන් සමඟ මිශ්‍ර කෙරේ

එතනොල්

මේ ද්‍රාවණය භාවිත කරමින් තීන්ත, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, සුවඳ විලවුන්, සබන් හා සායම් වර්ග සාදනු ලැබේ

ප්ලාස්ටික්

නිදසුනක් වශයෙන් බෙන්සීන් සමඟ එතලීන් මිශ්‍ර කිරීමෙන් පොලිස්ටයිරින් සාදනු ලැබේ

පැට්රල් ආකලන

ඔක්ටේන් බූස්ටර් මගින් එන්ජිම තුළ ඉක්මනින්ම පැට්රල් දහනය වීම වළක්වාලනු ලැබේ. මෙමගින් එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩි වේ

[හිමිකම් විස්තර]

Photo Courtesy of Phillips Petroleum Company

[23වන පිටුවේ වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

ප්‍රධාන තෙල් නිධි

මුළු එකතුව බැරල් බිලියනවලින්. සොයා නොගත් තෙල් නිධි මීට ඇතුළත් නොවේ.

▪ ඔපෙක්හි සාමාජිකයෝ

• විශාලතම තෙල් නිධි එකක් හෝ ඊට වැඩි ගණනක් තිබෙන රට

සමුච්චිත නිෂ්පාදනය

◆ සංචිත

▪ • ◆ 332.7 සවුදි අරාබිය

• ◆ 216.5 එක්සත් ජනපදය

• ◆ 192.6 රුසියාව

▪ • ◆ 135.9 ඉරානය

▪ • ◆ 130.6 වෙනිසුවේලා

▪ • ◆ 125.1 කුවේට්

▪ • ◆ 122.8 ඉරාකය

▪ • ◆ 113.3 එක්සත් අරාබි එමීර් රාජ්‍යය

• ◆ 70.9 මෙක්සිකෝව

• ◆ 42.9 චීනය

▪ • ◆ 41.9 ලිබියාව

▪ ◆ 33.4 නයිජීරියාව

◆ 21.2 කැනඩාව

▪ ◆ 21.0 ඉන්දුනීසියාව

◆ 20.5 කසාක්ස්තානය

▪ • ◆ 18.3 ඇල්ජීරියාව

◆ 17.6 නෝර්වේ

◆ 16.9 එක්සත් රාජධානිය

[20වන පිටුවේ පින්තූර]

මුල්ම බොර තෙල් ළිඳ, ටයිටස්විල් පෙන්සිල්වේනියා, 1859

ටෙක්සස්හි තෙල් ළිඳකින් ක්ෂණිකව තෙල් පිටතට විදීම

[හිමිකම් විස්තර]

Brown Brothers

[21වන පිටුවේ පින්තූරය]

මුල් කාලයේ තෙල් ළිඳක්, බොමන්ට්, ටෙක්සස්

[21වන පිටුවේ පින්තූරය]

අශ්ව කරත්ත මගින් තෙල් බැරල් ප්‍රවාහනය කිරීම

[10වන පිටුවේ පින්තූරය]

කුවේට්හි ගිනිගත් තෙල් ළිං

[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

සියලුම ඡායාරූප: Brown Brothers