Skip to content

පටුනට යන්න

මගේ දෙමාපියන්ව ගාවගන්නේ නැතුව මටම කියලා නමක් හදාගන්නේ කොහොමද?

මගේ දෙමාපියන්ව ගාවගන්නේ නැතුව මටම කියලා නමක් හදාගන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

මගේ දෙමාපියන්ව ගාවගන්නේ නැතුව මටම කියලා නමක් හදාගන්නේ කොහොමද?

“මගේ තාත්තා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක සිටින, කවුරුත් හොඳින් දන්නා අඳුරන වැඩිමහල්ලෙක්. මම ඔහුට ගරු කරනවා. නමුත් මම යන යන තැන හැමෝම මාව අඳුරගන්නේ සහෝදර බිල්ගේ පුතා විදියට. මට ඒක එච්චර අල්ලන්නේ නෑ.”—ලැරී a

“මගේ තාත්තා හැමෝම අඳුරන වැඩිමහල්ලෙක් නිසා, මම හුඟාක් ආදර්ශමත් වෙන්න ඕනේ කියලා හැමෝම මගෙන් බලාපොරොත්තු වුණා කියලා මට දැනුණා. ඒ නිසා මට ඕන විදිහට හැසිරෙන්න නිදහසක් නැහැයි කියලා මට හැඟුණා.”—ඇලෙක්සැන්ඩර්

ඔබ වයසින් මුහුකුරා යනවාත් සමඟම, යම් දුරකට ස්වාධීනව කටයුතු කරමින්, ඔබටම නමක් හදාගැනීමට කැමති වීම සාමාන්‍ය දෙයක්. ඔබේ උපතේදී ඔබේ දෙමාපියන් ඔවුන් කැමති නම ඔබට තැබුවා. දැන් නහඹර වියේ පසු වන ඔබ, ඔබටම කියා “නමක්” හදාගැනීමට කැමැත්තක් දැක්විය හැකියි.

සලමොන් රජ මෙහෙම ලිව්වා. “බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රිදීවලට වඩා කරුණාවද අගනේය.” (හිතෝපදේශ 22:1) අඩු වයසේ සිටියත්, ඔබේම අනන්‍යතාව තහවුරු කරගැනීමට සමහරවිට ඔබට වුවමනා විය හැකියි.

අහවලාගේ දරුවා ලෙස හඳුන්වනු ලැබීම

ලැරීට හා ඇලෙක්සැන්ඩර්ට හැඟුණාක් මෙන්, තම දෙමාපියන් ලබා තිබෙන ප්‍රසිද්ධිය සහ ඔවුන්ගේ සමර්ථකම් නිසා තමන් “අහවලාගේ දරුවා” ලෙස නිතර හඳුන්වනු ලබනවායයි සමහර යෞවනයන්ට හැඟෙයි. සමහරවිට ඔවුන් කරන රැකියාව හෝ ලබා තිබෙන අධ්‍යාපනය නිසා ඔබේ දෙමාපියන් සමාජය තුළ ප්‍රසිද්ධ අය වෙන්නට ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් ක්‍රිස්තියානි සභාව තුළ සිටින සියලුදෙනාම පාහේ ඔවුන්ව හොඳින් අඳුරනවා වෙන්න පුළුවන්. ඉහත සඳහන් අදහස් දෙකෙන් එකක් ඔබේ දෙමාපියන් සම්බන්ධව සැබෑවක් වේ නම්, අනුන් ඔබ කරන කියන දේ ගැන හැමවිටම සොයා බලනවා කියාත් ඔබට හැඟෙන්න පුළුවන්. ඔබේ දෙමාපියන්ගේ හොඳ නම රැකෙන විදිහට හැසිරිය යුතුයි යන සිතුවිල්ල නිසා ඔබට මහත් පීඩනයක් මෙන්ම නුරුස්සන ගතියක් ඇති විය හැකියි.

උදාහරණයක් සලකා බලමු. අයිවන්ගේ පියා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවා. අයිවන් මෙහෙම කියයි. “මගේ තාත්තා හැමෝම අඳුරන, හැමෝගේම ගෞරවයට ලක් වූ කෙනෙක් නිසා, පාසැලේදීත් ගෙදරදීත් මම ආදර්ශවත්ව ඉන්න ඕනේ කියා මට නිතරම හැඟුණා. වෙනත් දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට මාව පෙන්නුවේ ආදර්ශයට ගත යුතු කෙනෙක් හැටියටයි කියා මට තේරුණා. මේ ගැන මං ආඩම්බර වුණත්, අන් අය ඉදිරියේ ආදර්ශවත්ව හැසිරිය යුතු නිසා ඒක මට ලොකු පීඩනයක් වුණා. ඒ නිසා සමහරවිට නිහතමානීව ක්‍රියා කිරීමට මම අසමත් වුණා විතරක් නෙවෙයි, මගේ වැරදි පවා මට පෙනුණේ නැහැ.” ඇලෙක්සැන්ඩර් මෙහෙම කියනවා. “හැම වෙලේම අනුන් මාව නිරීක්ෂණය කරන බවත්, මගේ අතින් වැරැද්දක් වෙච්ච ගමන්ම මට ඇඟිල්ල දික් කරන්න බලාගෙන ඉන්න බවත් මට හැඟුණා.”

මෙම ලිපියේ මුල් හරියේ සඳහන් කරනු ලැබූ ලැරී අනුන්ගේ අවධානයට ලක්වීමෙන් වැළකී සිටීමට උත්සාහ කළේ තම වාසගම සඳහන් නොකිරීමෙනුයි. ඔහු මෙහෙම කියනවා. “සුහද හමුවීම්වලදී මට කාවහරි මුණගැහුණාම, ‘හලෝ, මගේ නම ලැරී’ කියලා මම එතනින් නවතිනවා. මගේ වාසගම මම සඳහන් කරන්නේ නැහැ. හැකි අවස්ථාවලදී මම පෝරමවල පවා අත්සන් කළේ මගේ මුල් නම විතරයි. මගේ පියා කවුද කියලා මිනිසුන් දැනගත්තාම ඔවුන් මට වෙනස් ආකාරයකින් සලකාවි කියලා මට භය හිතුණා. මම කැමති වුණේ මගේ සම වයසේ යාළුවන් මාව සාමාන්‍ය කෙනෙක් විදිහට පිළිගන්නවාටයි.”

ඇත්තෙන්ම, ඔබේ පියා ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් ලෙස හෝ සභා සේවකයෙක් ලෙස කටයුතු කරනවා නම්, ඔබ ආදර්ශවත්ව හැසිරෙයි කියා අන් අය ඔබෙන් බලාපොරොත්තු වන එක සාධාරණයි. මන්දයත් එවන් වගකීම් දරන අය “තම දරුවන් සහ තම ගෙදර සිටින අයව හොඳින් හසුරුවාගන්නාවූ” අය විය යුතුයි. (1 තිමෝති 3:5, 12, NW) ඒ නිසා, ඔබ ආදර්ශවත් විය යුතුයයි අන් අය සිතන එක පුදුමයක් නෙවෙයි! එහෙත් ඔවුන් එසේ අපේක්ෂා කිරීමෙන් ඔබට හානියක් වෙනවාද? ඒ වන විටත් නහඹර වියේ පසු වෙමින් සිටියා විය හැකි ක්‍රිස්තියානි යෞවනයෙක් වූ තිමෝතිව තමා සමඟ සංචාරයේ යෙදීමටත් අතිවැදගත් සේවයක් ඉටු කිරීමටත් පාවුල් විසින් තෝරාගනු ලැබූ බව සලකා බැලුවොත් ඔබට එහෙම හැඟෙන එකක් නැහැ. (1 තෙසලෝනික 3:1-3) එම නිසා ඔබේ පියා වැඩිමහල්ලෙක් වුවත් නැතත්, ආදර්ශවත් වීමට ඔබ උත්සාහයක් දැරිය යුතුයි.

කැරලිගැසීම නැණවත් තේරීමක් නොවෙයි

සමහර යෞවනයන් තමන් අහවලාගේ දරුවායයි හඳුන්වනු ලබනවාට අකමැති නිසා කැරලිකාර ස්වභාවයක් පෙන්නුම් කරනවා. අයිවන් මෙහෙම කියනවා. “ආදර්ශවත් ලෙස හැසිරෙන එක මට මහ වදයක් වුණු අවස්ථා තිබුණා. ඒ හින්දා මම පුළුවන් තරම් දිගට කොණ්ඩේ වැව්වා. මං එහෙම කළේ මට කවුරුහරි උපදෙස් දෙන්නේ කොයි වෙලේද කියලා බලන්නයි.”

දාවිත් රජගේ පුත්‍රයෙක් වූ අබ්සලොම් කැරලිකාර ජීවිතයක් ගත කළා. ඔහුගේ පියා යෙහෝවා ඉදිරියේ භක්තිවන්තව සිටි කෙනෙක් හැටියට ප්‍රසිද්ධ වී සිටි අතර, ඊශ්‍රායෙල් දේශයේ බොහෝදෙනෙකුගේ ප්‍රේමයටද පාත්‍ර වී සිටියා. දාවිත්ගේ පුත්‍රයෙක් වූ නිසා අබ්සලොම් ආදර්ශවත් කෙනෙක් වේවි කියා මිනිස්සු හිතුවා. නමුත් එම සාධාරණ අපේක්ෂාවන්ට එකඟව ජීවත් වෙනවා වෙනුවට, තම පියාට විරුද්ධව කැරලිගැසීමෙන් තමාට නමක් ඇති කරගැනීමට අබ්සලොම් හිතාගත්තා. දාවිත් යෙහෝවාගේ අභිෂේක ලත් නියෝජිතයෙක් වූ බැවින්, ඇත්තෙන්ම අබ්සලොම් කැරලිගැසුවේ යෙහෝවාට විරුද්ධවයි. ඔහු තම ක්‍රියා කලාපයෙන් තම පවුලට ලැජ්ජාවක් ඇති කළා පමණක් නොව, අවසානයේදී ඔහුද විනාශ වී ගියා.—2 සාමුවෙල් 15:1-15; 16:20-22; 18:9-15.

කැරලිගැසීමෙන් ඒ හා සමානව ඔබටත් විනාශකාරී ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු විය හැකියි. නෙහෙමියා පිළිබඳව බයිබලය අපට පවසන දේ සලකා බලන්න. දේවභක්තික අය නොහැසිරිය යුතු ආකාරයෙන් හැසිරීමට ඔහුව පෙලඹවීම සඳහා ඔහුගේ සතුරන්ගෙන් සමහරෙක් කපටි කුමන්ත්‍රණයක් යෙදුවා. ඒ ඇයි? නෙහෙමියා මෙහෙම පැවසුවා. ‘මට නරක නමක් ලැබී මාව අපහාසයට ලක් කරවන පිණිසය.’ (නෙහෙමියා 6:13, නව අනුවාදය) කිසිම කෙනෙකුට අමතක කර දැමීමට එතරම් ලෙහෙසි නොවන නරක නමක් කැරලිගැසීම නිසා ඔබට ලැබිය හැකියි.

නොසලකාහැරිය නොහැකි තවත් දෙයක් තියෙනවා. ඒ තමා කැරලිකාර හැසිරීම නිසා අන් අය කෙරෙහි ඇති විය හැකි බලපෑම. එමගින් ඔබේ දෙමාපියන්ව ඔබ ශෝකයට පත් කළ හැකියි. (හිතෝපදේශ 10:1) ඊටත් වඩා ඔබේ ක්‍රියා වෙනත් යෞවනයන්ට අහිතකර ලෙස බලපෑ හැකි බව අමතක කරන්න එපා. අයිවන් මෙය පිළිගත්තා. “මගේ හැසිරීම මගේ සහෝදරයාට අහිතකර ලෙස බලපෑවා. යම් කාලයකට ඔහු ක්‍රිස්තියානි සභාව සම්පූර්ණයෙන්ම අත්හැරියා. ඔහු වුවමනාවෙන්ම බයිබල් ප්‍රමිතිවලට පටහැනි දේවල් කළා. පසුව ඔහු කාරණා අවබෝධ කරගත්තු එක ලොකු දෙයක්! දැන් ඔහු සන්තෝෂයෙන් යෙහෝවාට සේවය කරමින් සිටිනවා.”

වඩාත් හොඳ ක්‍රමයක්

අබ්සලොම්ගේ අර්ධ සහෝදරයා වූ සලමොන් වෙනත් විදිහකට කටයුතු කළා. ඔහු තම පියා වූ දාවිත්ගෙන් යටහත් පහත්ව ඉගෙනගැනීමට කැමැත්තක් දැක්වූවා. (1 රාජාවලිය 2:1-4) මිනිසුන් අතර ගරුත්වයක් ලබාගැනීමට උත්සාහ කරනවා වෙනුවට, දෙවි ඉදිරියේ යහපත් නාමයක් ඇති කරගැනීමට සලමොන් උත්සාහ කළා. එහෙම කරන තාක් කල් ඔහුට හැකි වුණා තම පවුලේ අයට ගෞරවය ගෙන දෙමින් ඊශ්‍රායෙලයේ ශ්‍රේෂ්ඨතම රජවරුන්ගෙන් කෙනෙක් හැටියට ප්‍රසිද්ධ වීමට.—1 රාජාවලිය 3:4-14.

සලමොන්ගේ හොඳ ආදර්ශය වැදගත් කරුණු දෙකක් ගෙනහැර දක්වයි. ප්‍රථම කාරණය වන්නේ මෙයයි. ඔබට ඔබේ අනන්‍යතාව තහවුරු කරගත හැකි වන්නේ, ඔබේ පවුලේ අයගෙන් ඈත්වීමෙන් නොව ඔබේ පවුලේ අයගේ යහපත් ගුණාංගවලින් ඉගෙනගැනීමෙනුයි. “තමන්ටම කියා නමක් ඇති කරගැනීමට තියෙන ආශාව නිසා තම යොවුන් වියේදී යෞවනයන් දෙමව්පියන්ගෙන් වෙන්වීම කොහෙත්ම සුදුසු දෙයක් නෙමෙයි,” යනුවෙන් ඇඩොලසන්ස් නමැති සඟරාව පවසයි. ඔබටම කියා නමක් හදාගැනීමට ඔබට තිබෙන හැකියාව “දෙමව්පියන් නිසා කඩාකප්පල් වනවා වෙනුවට, එය වැඩි දියුණු වෙනවා” යනුවෙන් එම සඟරාව තවදුරටත් පවසයි.

සලමොන්ම මතු සඳහන් දිරිගැන්වීම සැපයීම සිත්ගන්නා කරුණකි. “ඔබ ජනිත කළ ඔබේ පියාගේ බස් අසන්න. ඔබේ මෑණියන් මහලු වූ කල ඈ සුළු නොකරන්න.” (හිතෝපදේශ 23:22) සලමොන් කුඩා දරුවන්ට මෙය ලියූ බව කිව නොහැකියි, මන්ද දෙමාපියන් “මහලු” වෙද්දී දරුවන් බොහෝදුරට වැඩිහිටියන් වෙලා. එහෙමනම්, ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? ඔබ වයසින් මුහුකුරා ගොස්, ඔබේම පවුලක් නඩත්තු කරමින් සිටින විටත්, ඔබේ දෙමව්පියන්ගේ ප්‍රඥාවෙන් ඔබට ප්‍රයෝජන ගත හැකි බවයි. අයිවන් ඒ බව වටහාගත්තා. “මම වයසින් මුහුකුරා යනවාත් සමඟම මගේ දෙමාපියන්ගේ යහපත් ගුණාංගවලින් ඉගෙනගන්නත් අයහපත් ගුණාංග මඟහරින්නත් මම උත්සාහ කරනවා” යයි ඔහු පවසයි.

සැලකිල්ලට ගත යුතු දෙවන කාරණය මෙයයි. සලමොන් ප්‍රමුඛත්වය දුන්නේ තමාගේම “අනන්‍යතාව” ස්ථිර කරගැනීමට නොව යෙහෝවාව සතුටට පත් කිරීමටයි. දාවිත්ගේ පුත්‍රයෙක් නිසා ඔහු ආදර්ශවත් කෙනෙක් විය යුතුයි කියා මිනිස්සු සිතූ බව ඇත්තයි. නමුත් සලමොන්ට තම වගකීම් හසුරුවාගැනීමට හැකි වුණේ ඔහු යෙහෝවා මත රඳා සිටි නිසයි. ඇලෙක්සැන්ඩර් ඒ හා සමාන ආකල්පයක් ඇති කරගෙන තියෙනවා. ඔහු මෙසේ පවසනවා. “වැඩිමහල්ලන්ගේ දරුවන් අනෙක් දරුවන්ට වඩා ආදර්ශවත් අය විය යුතුයයි අන් අය සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන බව මට දැන් තේරෙනවා. එවැනි ආකල්පයක් මගේම ප්‍රයෝජනයට හරවගන්න මම හිතාගත්තා. එහෙම කිරීම මට ආරක්ෂාවක් වී තිබෙනවා. වඩාත්ම වැදගත් දෙය වන්නේ යෙහෝවා මං ගැන සිතන ආකාරය බව මට දැන් වැටහෙනවා. ඔහු මාව පෞද්ගලිකව අඳුරනවා. අහවලාගේ පුතා හැටියට නෙවෙයි.”

ඩැරන්ගේ පියා මිෂනාරිවරුන්ට පුහුණුවක් ලබා දෙන පාසැලක් වන, ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ b උපාධිලාභියෙක්. හැමෝම හොඳින් දන්නා අඳුරන දෙමාපියන් සිටියත් ඒ තත්වයට සාර්ථකව මුහුණ දීමට ඩැරන් පුරුදු වෙලා තියෙනවා. ඔහු මෙහෙම කියනවා. “මම බව්තීස්ම වෙන්න තීරණය කළ අවස්ථාවේදී, මම කැප වුණේ යෙහෝවාට මිස වෙන කාටවත් නෙවෙයි. මගේ දෙමාපියන් ඉටු කළ හැම දෙයක්ම ඉටු කරන්න මට නොහැකි වුණත්, මට හැකි උපරිමයෙන් මගේ කැපවීමට එකඟව ජීවත් වීමට මම වෑයම් කරන නිසා යෙහෝවා මා කරන දෙයින් සතුටු වන බව තේරුම්ගැනීමෙන් මා තුළ හොඳ හැඟීමක් ඇති වෙනවා.”

“ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ. එයින් ඔහුගේ අවංකකමද පිරිසිදුකමද දැනගත හැකිය” යනුවෙන් සලමොන් රජ සඳහන් කළා. (හිතෝපදේශ 20:11, න.අ.) අවසානයේදී, ඔබව මිනිසුන්ගේ මතකයේ රැඳෙන්නේ ඔබ කරන කියන දෙය අනුවයි. “කතාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත්” ආදර්ශවත් වෙන්න. ඔබ එසේ කරනවා නම්, මිනිස්සු අවංකවම ඔබට ප්‍රේම කරන බවටත් ගෞරව කරන බවටත් ස්ථිර විය හැකියි!—1 තිමෝති 4:12.

කෙසේවෙතත් වෙනත් යෞවන යෞවනියන් මුහුණ දෙන තවත් අභියෝගයක් නම්, හොඳ සාර්ථකත්වයක් අත් කරගන්නා තම සහෝදර සහෝදරියන්ගෙන් ස්වාධීනව තමන්ටම කියා නමක් හදාගැනීමයි. මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේදැයි ඉදිරි ලිපියක සාකච්ඡා කෙරේ.

[පාදසටහන්වල]

a සමහර නම් වෙනස් කර තිබෙනවා.

b ගිලියද් පාසැල අධීක්ෂණය කර මෙහෙයවනු ලබන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසිනුයි.

[30වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කැරලිගැසීමෙන් ඇති වන්නේ ඔබේ දෙමාපියන්ට ශෝකයත් ඔබේ හොඳ නමට හානියකුත් විතරයි

[30වන පිටුවේ පින්තූරය]

ඔබේ යහපත් ආදර්ශය අන්‍යයන්ට ප්‍රයෝජනදායක විය හැකියි