Skip to content

පටුනට යන්න

ලෝකයේ විශාලතම බීජය

ලෝකයේ විශාලතම බීජය

ලෝකයේ විශාලතම බීජය

වසර ගණනාවකට ඉහතදී, අසාමාන්‍ය විශාලත්වයකින් යුත් බීජයක් මාල දිවයිනේ හා ඉන්දුනීසියාවේ දූපත්වල වෙරළට ගහගෙන ආ විට එය මිනිසුන්ගේ කුතුහලයට පාත්‍ර වුණා. එහි ආරම්භය පිළිබඳව නොයෙකුත් ජනප්‍රවාද පැතිරෙන්ට පටන්ගත්තා. දිය යට තිබුණු ගසකින් එය එන්නට ඇතැයි සමහරුන් සිතුවා. එම නිසා එයට කොකෝ-ඩ-ම, හෙවත් මුහුදු පොල් යන නාමය පටබැඳුණා. එය ඒදන් උයනේදී ආදම් අනුභව කළ තහනම් ගෙඩිය වන්ට ඇතැයි කියාත් සමහරුන් සිතුවා. කෙසේවෙතත් අන්තිමේදී 18වන ශතවර්ෂයේ මැදභාගයේදී ඒ පිළිබඳව සැබෑ තොරතුරු අනාවරණය වුණා. එනම් ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දූපත් සමූහයක් වන සීෂෙල්ස් දූපත්වල පමණක් දක්නට ලැබෙන තාල වර්ගයට අයත් ගසකින් මෙම අරුම පුදුම බීජය හටගෙන තිබුණු බවයි.

කොකෝ-ඩ-ම ගස් වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ ප්‍රාලැං දූපතේ පිහිටි වැලේ ඩ මේ ප්‍රදේශයෙයි. මෙම තාල වර්ගයේ ගස් මීටර 30ක් දක්වා උසට වැඩෙන අතර වසර සිය ගණනක් ජීවත් වන බවද තක්සේරු කර තිබෙනවා. කොකෝ-ඩ-ම පිළිබඳ එක් සිත්ගන්නා කරුණක් වන්නේ එය ද්වීගෘහී ගසක් වීමයි. එනම් පිරිමි සහ ගැහැනු යන දෙවර්ගයේම ගස් තිබීමයි. ගැහැනු ගසේ ගෙඩි හටගන්නට නම් පිරිමි කොකෝ-ඩ-ම ගසකින් පරාගනය සිදු විය යුතුයි. එබැවින්, මෙම ගස් විශේෂයේ පැවැත්ම සඳහා මේරූ ගැහැනු පිරිමි ගස් දෙවර්ගයම අත්‍යවශ්‍යයි.

ගැහැනු කොකෝ-ඩ-ම ගසේ ගෙඩිය සැබවින්ම අද්විතීයයි. ගසේ තිබියදී එය විශාල කොළ පැහැති හෘදය වස්තුවක් බඳුයි. එම ගෙඩියේ බීජය කිලෝග්‍රෑම් 20ක් විතර බරින් යුක්ත වන අතර ඛණ්ඩ දෙකකින් සමන්විතයි. සමහර ගෙඩිවල බීජ එකකට වැඩියෙන් තිබෙනවා. ලෝකයේ විශාලතම බීජය තිබෙන ගෙඩිය වශයෙන් කොකෝ-ඩ-ම ගිනස් වාර්තා පොතට ඇතුළත් කරනු ලැබීම පුදුමයට හේතුවක් නොවෙයි.

මෙම ගසේ එල්ලෙන විශාල ගල් ගෙඩි වැනි වලු දිහා බලද්දී, මැවිල්ලේ මෙම අරුමය ගැන කෙනෙකු පුදුමයට පත් වෙනවා නොඅනුමානයි. එක වල්ලක බර කිලෝග්‍රෑම් 180ක් පමණ විය හැකි නිසා, ගහ යට සිටීම අනතුරුදායක විය හැකියි. කෙසේවෙතත්, ගෙඩි වැටීමෙන් අනතුරක් සිදු වූ බවට තවමත් වාර්තා වී නැහැ. ඒ වුණත් කුණාටු සහිත කාලගුණයක් යටතේ වැලේ ඩ මේ ප්‍රදේශයට යෑම ඥානවන්ත දෙයක් නොවෙයි. සෞම්‍ය කාලගුණික තත්වයක් යටතේ මෙම අසාමාන්‍ය ගෙඩිය නැරඹීමට යෑම වඩාත් හොඳයි.