Skip to content

පටුනට යන්න

රුධිරය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය මා පිළිගත්තා

රුධිරය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය මා පිළිගත්තා

රුධිරය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය මා පිළිගත්තා

වෛද්‍යවරයෙක් ඔහුගේ ජීවිත කතාව පවසයි

රෝහලේ දේශන ශාලාවේ රැස්ව සිටි වෛද්‍යවරුන් කණ්ඩායමක් ඉදිරියෙහි පශ්චාත් මරණ පරීක්ෂණයක ප්‍රතිඵල මා කෙටියෙන් ඉදිරිපත් කරමින් සිටියා. මරණ පරීක්ෂණයට ලක් කළ තැනැත්තාගේ සිරුරේ සුව කළ නොහැකි පිළිකා ගෙඩියක් තිබුණා. මම ඒ කණ්ඩායමට මෙහෙම කිව්වා. “මේ රෝගියාගේ මරණයට ආසන්නම හේතුව වන්නේ අධික ලෙස රුධිරය ශරීරගත කිරීම නිසා රතු රුධිරාණු සෛල විනාශ වීම (hemolysis) හා වකුගඩු ක්‍රියා විරහිත වීම කියා අපට නිගමනය කළ හැකියි.”

ඒ වේලාවේදී මහාචාර්යවරයෙක් නැඟිට කේන්තියෙන් මෙසේ කෑගැසුවා. “ඔබ කියා සිටින්නේ අපි වැරදි රුධිර වර්ගයක් ශරීරගත කළා කියලාද?” මම ඔහුට දුන් උත්තරය වුණේ මෙයයි. “මම එහෙම දෙයක් අදහස් කළේ නැහැ.” මිය ගිය රෝගියාගේ වකුගඩුවේ ඉතා කුඩා කොටස් ඡායාරූපගත කළ කාච දර්ශනයක් පෙන්වමින් මම තවදුරටත් මෙසේ පැවසුවා. “වකුගඩුවල රතු රුධිරාණු සෛල විශාල ප්‍රමාණයක් බිඳී ගොස් තිබෙන ආකාරය අපට මෙයින් දකින්න පුළුවන්. මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එහි ප්‍රතිඵලයක් හැටියට වකුගඩු ක්‍රියා විරහිත වී තිබෙන බවයි.” a ඒ අවස්ථාවේ පැවති වාතාවරණය උණුසුම් අතට හැරුණු නිසා මගේ තොල කට වේළුණා. මම තරුණ වෛද්‍යවරයෙක්. ඔහු මහාචාර්යවරයෙක්. ඒ වුණත් මගේ තර්කය අත්හරින්නේ නැහැ කියා මම සිතාගත්තා.

මේ සිද්ධිය සිදු වුණ කාලයේදී මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නෙමෙයි. මම ඉපදුණේ 1943 ජපානයේ උතුරු ප්‍රදේශයේ පිහිටි සෙන්ඩායි කියන නගරයෙයි. මගේ තාත්තා ව්‍යාධිවේදියෙක් හා මනෝ වෛද්‍යවරයෙක් නිසා මමත් වෛද්‍ය විද්‍යාව හදාරන්න තීරණය කළා. මම 1970දී වෛද්‍ය විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනගනිමින් සිටි කාලයේදී මාසුකෝ නමැති ගැහැනු ළමයා සමඟ විවාහ වුණා.

ව්‍යාධි විද්‍යාව හදාරන්න පටන්ගැනීම

මගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න මට උදව් කිරීම සඳහා මාසුකෝ රැකියාවක් කළා. වෛද්‍ය ක්ෂේත්‍රයට මම හුඟාක් ඇලුම් කළා. මිනිස් සිරුර සෑදී තිබෙන ආකාරය දැකීමෙන් මා තුළ ඇති වුණේ ගරු බියක්. ඒ වුණත් මැවුම්කරුවෙකුගේ පැවැත්මක් ගැන මං කවදාවත් සිතුවේ නැහැ. වෛද්‍ය පර්යේෂණ මගින් මගේ ජීවිතයට අරුතක් ලැබෙයි කියලා මම සිතුවා. වෛද්‍යවරයෙක් වුණාට පස්සේ මම ව්‍යාධිවේදී ක්ෂේත්‍රයට ඇතුල් වී දිගටම වෛද්‍ය විද්‍යාව හදාරන්න පටන්ගත්තා. ව්‍යාධි විද්‍යාවේදී කෙරෙන්නේ රෝගවල ලක්ෂණ, ඒවාට හේතු හා ඒවායේ බලපෑම් ගැන අධ්‍යයනය කිරීමයි.

පිළිකා නිසා මිය ගිය රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වද්දී, ලේ ශරීරගත කිරීමේ සාර්ථකභාවය ගැන මා තුළ සැක ඇති වෙන්න පටන්ගත්තා. පිළිකා රෝගියෙකුගේ ඉතා දරුණුතම අවස්ථාවේදී රුධිර වහනය හේතුවෙන් ඔහු රක්තහීනතාවයෙන් පෙළෙන්න ඉඩ තිබෙනවා. රසායනික ප්‍රතිකාර (chemotherapy) මගින් රක්තහීනතාව තවත් උග්‍ර කරන නිසා බොහෝ අවස්ථාවලදී වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ ලේ දීමයි. කොහොමවුණත්, ලේ දීමෙන් පිළිකාව තව තවත් පැතිරෙන්න ඉඩ කඩ තිබිය හැකි බව මා තුළ සැකයක් පහළ වුණා. කවුරු මොනවා කිව්වත්, ලේ දීම ප්‍රතිශක්ති ප්‍රතිචාරය මර්ධනයට (immunosuppression) හේතු වන බව අද ප්‍රසිද්ධ දෙයක්. එහි ප්‍රතිඵලයක් හැටියට සිරුරේ කලින් තිබූ පිළිකා ගෙඩියක් නැවතත් ඇති විය හැකි අතර පිළිකා රෝගීන්ට භුක්ති විඳිය හැකි ආයු කාලයද අඩු වී යා හැකියි. b

මේ ලිපියේ ආරම්භයේදී සඳහන් සිද්ධියට මං මුහුණ දුන්නේ 1975දීයි. ඒ පරීක්ෂණය භාරව සිටි මහාචාර්යවරයා රුධිරය පිළිබඳ විශේෂඥවරයෙක්. මේ නිසා ඒ රෝගියාගේ මරණයට හේතුව ලේ දීමයි කියා මං පැවසූ අවස්ථාවේදී ඔහුට කේන්ති ගිය එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. කොහොමවුණත් මගේ කතාව මම දිගටම කරගෙන ගියා. ටික වේලාවකට පස්සේ තත්වය ටිකෙන් ටික සන්සුන් අතට හැරුණා.

අසනීප හා මරණය නැත

ඒ කාලයේදී තමයි යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන වයසක තැනැත්තියක් මගේ භාර්යාවව හමු වෙන්න ආවේ. ඇය කතා කළ මුල් අවස්ථාවේදී “යෙහෝවා” කියන නම පාව්චිචි කළා. යෙහෝවා කියන්නේ කවුද කියා මගේ භාර්යාව ඇසුවා. “යෙහෝවා කියන්නේ සැබෑ දෙවිගේ නම” කියලා සාක්ෂිකාරිය උත්තර දුන්නා. මාසුකෝ පොඩි කාලේ ඉඳන් බයිබලය කියවලයි තිබුණේ. ඒත් ඇය කියවපු බයිබලයේ දෙවිගේ නම වෙනුවට තිබුණේ “ස්වාමීන්” කියලයි. දෙවි කියන්නේ නමක් තිබෙන පුද්ගලයෙක් කියලා ඇය දැනගත්තේ ඒ අවස්ථාවේදීයි!

ඒ වයසක සාක්ෂිකාරිය සමඟ මාසුකෝ ඉක්මනින්ම බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. දවසක් මම රෝහලේ ඉඳන් පාන්දර 1:00ට විතර ගෙදර ආ වේලාවේදී මගේ භාර්යාව මහත් උනන්දුවකින් මට මෙහෙම කිව්වා. “අසනීප හා මරණය ළඟදීම පහ වෙලා යනවා කියලා බයිබලයේ කියලා තියෙනවා!” “ඒක කොච්චර හොඳද!” කියලා මම කිව්වා. ඇය තවදුරටත් මෙහෙම කිව්වා. “නව ලෝකය ළඟදීම එන හින්දා ඔයාගේ කාලය නාස්ති කරන්න ඕනේ නැහැ.” දොස්තර කෙනෙක් වෙන එක අතහැරලා දාන්න කියලා එයා කියනවා කියලයි මම හිතුවේ. ඒ හින්දා මට ඒකට කේන්ති ගියා. අප දෙදෙනා අතර අමනාපකම් ඇති වෙන්න පටන්ගත්තා.

කොහොමවුණත්, මා තුළ උනන්දුවක් ඇති කිරීමේ උත්සාහය මගේ භාර්යාව අත්හැරියේ නැහැ. මට ගැලපෙන බයිබල් පද සොයාගෙන ඒවා මට පැහැදිලි කර දෙන්න උපකාර ඉල්ලා ඇය යාච්ඤා කළා. විශේෂයෙන් දේශනාකාරයා 2:22, 23හි සඳහන් වචන මගේ සිතට හොඳින් කාවැදුණා. එහි මෙහෙම කියනවා. “මනුෂ්‍යයා ඉර යට වෙහෙස ගෙන කරන්නාවූ තමාගේ මුළු වැඩෙනුත් තමාගේ සිතේ වැයමෙනුත් ඔහුට ලැබෙන්නේ කුමක්ද? . . . රාත්‍රියේ පවා ඔහුගේ සිතට නිවාඩු නොලැබෙයි. මේකත් නිෂ්ඵලකමක්ය.” මම කරමින් සිටිය දෙයට එය අදාළ වුණා. සැබෑ තෘප්තියක් නොලබමින් මම දිවා රෑ නොබලා මගේ කාලය හා ශ්‍රමය වැය කළේ වෛද්‍ය විද්‍යාව වෙනුවෙනුයි.

වර්ෂ 1975 ජූලි මාසයේ එක් ඉරිදා උදෑසනක මගේ භාර්යාව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවට යන්න පිටත් වුණා. ඒ වේලාවේදීම, මමත් යන්න තීරණය කළා. මම රාජ්‍ය ශාලාවේ ඉන්නවා දැකලා එයා හුඟාක් පුදුම වුණා. සාක්ෂිකරුවන් මාව සාදරයෙන් පිළිගත්තා. එදා ඉඳන් මම හැම ඉරිදාම රැස්වීම්වලට ගියා. මාසයකට විතර පස්සේ සාක්ෂිකරුවෙක් මාත් එක්ක බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මාගේ භාර්යාව මුණගැහෙන්න අරං මාස තුනක් ගියාට පස්සේ එයා බව්තීස්ම වුණා.

රුධිරය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය පිළිගැනීම

‘ලෙයින් වළකින්න’ කියා බයිබලය ක්‍රිස්තියානීන්ට පවසන බව වැඩි කලක් යන්න කලින් මම දැනගත්තා. (ක්‍රියා 15:28, 29; උත්පත්ති 9:4) රුධිර ප්‍රවේශනයේ සාර්ථකත්වය ගැන මට ඒ වන විටත් සැකයක් තිබුණු නිසා රුධිරය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය පිළිගැනීම මට අමාරු වුණේ නැහැ. c ‘මැවුම්කරුවෙක් සිටිනවා නම් ඔහු කියන දෙය හරි විය යුතුයි’ කියා මම හිතුවා.

අසනීපවලට හා මරණයට හේතුව ආදම්ගෙන් උරුම වී තිබෙන පාපය කියා මම ඉගෙනගත්තා. (රෝම 5:12) ඒ කාලයේදී මම ධමනි බිත්ති ඝනවීම (arteriosclerosis) ගැන අධ්‍යයනක් කරමිනුයි හිටියේ. අප වයසට යනකොට අපේ ධමනි ඝන වෙලා පටු වෙනවා. මේ හේතුව නිසා හෘදයාබාධ, මොලයේ රුධිරවාහිනිවල අක්‍රමිකතා (cerebrovascular disorders) හා වකුගඩු රෝග ඇති වෙනවා. මේවාට හේතුව අපට උරුම වී තිබෙන අසම්පූර්ණත්වය කියා සිතීම සාධාරණයි. ඉන්පසු වෛද්‍ය විද්‍යාව කෙරෙහි තිබුණු මගේ උනන්දුව අඩු වෙන්න පටන්ගත්තා. අසනීප හා මරණය නැති කරන්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි.

මගේ බයිබල් පාඩම පටන් අරං මාස හතකට පස්සේ, ඒ කියන්නේ 1976 මාර්තු මාසයේදී මම විශ්ව විද්‍යාලයේ පිහිටි රෝහලේදී කළ මගේ අධ්‍යයනයන් නතර කර දැමුවා. මට කවදාවත් ආයේ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරන්න ලැබෙන එකක් නැහැ කියලා මට බයකුත් දැනුණා. ඒත් වෙනත් රෝහලක වැඩ කරන්න මට ලැබුණා. මම 1976 මැයි මාසයේදී බව්තීස්ම වුණා. මට කළ හැකි හොඳම දෙය වන පූර්ණ කාලීන එවැන්ජලිස්තවරයෙකු හෙවත් පුරෝගාමියෙකු හැටියට සේවය කිරීමට මගේ ජීවිතය යොදවන්න මම තීරණය කළා. මම 1977 ජූලි මාසයේදී පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා.

රුධිරය පිළිබඳ දෙවිගේ දෘෂ්ටියට පක්ෂව සිටීම

වර්ෂ 1979 නොවැම්බර් මාසයේදී මාසූකෝයි මමයි ජපානයේ චීබ ප්‍රාන්තයේ පිහිටි සභාවක සේවය කරන්න ගියා. ඒ සභාවට දේශනාකරුවන් අවශ්‍යව තිබුණා. අර්ධකාලීනව වැඩ කරන්න පුළුවන් රෝහලක් මට එහිදී සොයාගන්න පුළුවන් වුණා. මම එහි වැඩ කරපු පළමු දවසේදීම ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් මාව වට කරගත්තා. “ලේ දෙන්න ඕනේ රෝගියෙකුව රෝහලට ගෙනාවොත් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට ඔයා මොනවාද කරන්නේ” කියලා ඔවුන් මගෙන් දිගින් දිගටම ඇහැව්වා.

ලේ පිළිබඳව දෙවි කියන දෙය තමයි මම අනුගමනය කරන්නේ කියලා මම ගෞරවාන්විතව පැහැදිලි කළා. ලේ වෙනුවට වෙනත් විකල්ප තියෙනවා කියලත් මගේ රෝගීන්ට උපකාර කරන්න මගේ උරිමය කරනවා කියලත් මම පැහැදිලි කළා. පැයක පමණ සාකච්ඡාවකින් පසුව ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා මෙහෙම කිව්වා. “මට තේරෙනවා. විශාල වශයෙන් ලේ ගැලීමක් සිදු වී තිබෙන රෝගියෙක් ගෙනාවොත් අපි එයාට ප්‍රතිකාර කරන්නම්.” ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා සමඟ කටයුතු කරන්න සෑහෙන්න අමාරුයි කියලයි හුඟදෙනෙක් සිතාගෙන සිටියේ. ඒත් මේ සාකච්ඡාවෙන් පස්සේ අපි දෙන්නා අතරේ හොඳ සම්බන්ධයක් ගොඩනැඟුණා. ඔහු හැම වෙලාවෙම මගේ විශ්වාසයන්ට ගරු කළා.

රුධිරයට ගරු කිරීම පරීක්ෂණයට ලක් වී

අපි චීබ පළාතේ සේවය කරමින් ඉන්න කාලයේදී ජපානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අලුත් මූලස්ථානය එබිනාවල ඉදි කරමින් තිබුණා. බෙතෙල් වශයෙන් හඳුන්වනු ලබන මෙම ගොඩනැඟිල්ලේ ඉදි කිරීමේ කටයුතුවල හවුල් වෙමින් සිටිය ස්වේච්ඡා සේවකයන්ගේ සෞඛ්‍යය තත්වය බලන්න මගේ භාර්යාවයි මමයි සතියකට සැරයක් එහි ගියා. එබිනා බෙතෙල් එකේ පූර්ණ කාලීනව සේවය කරන්න කියා මාස කිහිපයකට පස්සේ අපට ආරාධනාවක් ලැබුණා. අපි 1981 මාර්තු මාසයේ ඉදන් තාවකාලික ගොඩනැඟිලිවල පදිංචි වුණා. මේවායේ ස්වේච්ඡා සේවකයන් 500කට වැඩි ගණනක් නතර වෙලා හිටියා. උදේ වරුවේ මම ඉදි කිරීම් භූමියේ තිබුණු නාන කාමර හා වැසිකිළි පිරිසිදු කළා. දවල් වරුවේ වැඩ කරන අයගේ සෞඛ්‍යය තත්වය පරීක්ෂා කර බැලුවා.

මිෂනාරිවරියක ලෙස 1949දී ඕස්ට්‍රේලියාවේ ඉදන් ජපානයට පැමිණි ඉල්මා ඉස්ලොබ් මම ප්‍රතිකාර කළ රෝගීන්ගෙන් කෙනෙක්. ඇයට ලියූකේමියාව වැළඳී තිබුණා. ඇය ජීවත් වන්නේ මාස කිහිපයක් පමණයි කියා වෛද්‍යවරු පැවසුවා. ලේ ගෙන තමාගේ ආයූ කාලය දික් කරගැනීම ඉල්මා ප්‍රතික්ෂේප කරලා, ඇගේ ජීවිතයේ ඉතිරි කාලය බෙතෙල් එකේ ගත කරන්න ඇය තීරණය කළා. ලේවල තියෙන රතු රුධිරාණු සෛල නිෂ්පාදනය වැඩි කිරීමට ඉවහල් වන එරිත්‍රෝපොයීටින් වගේ ඖෂධ ඒ කාලයේ තිබුණේ නැහැ. ඒ හින්දා සමහර අවස්ථාවලදී ඇගේ හිමොග්ලොබින් ප්‍රමාණය ග්‍රෑම් 3ක් හෝ 4ක් දක්වා පහත වැටුණා! (සාමාන්‍ය මට්ටම 12 සිට 15 දක්වායි.) ඒත් ඇයට ප්‍රතිකාර කිරීමට මට කළ හැකි දේ මම කළා. ඉල්මා 1988 ජනවාරි මාසයේදී මිය යන තෙක්ම දේවවචනය කෙරෙහි වූ ඇගේ නොසැලෙන ඇදහිල්ල දිගටම විදහාපෙන්නුවා. වෛද්‍යවරු ඉහත සඳහන කී පසු ඇය අවුරුදු හතක්ම ජීවත් වුණා!

පසුගිය අවුරුදු ගණනාව පුරා ජපානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන සමහර ස්වේච්ඡා සේවකයන්ට සැත්කම් කිරීමට අවශ්‍ය වුණා. ලේ ශරීරගත කරන්නේ නැතිව ඒ සැත්කම් කරන්න අසල පිහිටි රෝහල්වල වෛද්‍යවරුන් කැමති වීම ප්‍රශංසනීය දෙයක්. සැත්කම් කරනවා බලන්න ශෛල්‍යාගාරයට එන්න කියා මට බොහෝ අවස්ථාවලදී ආරාධනා කර තියෙනවා. සමහර අවස්ථාවලදී මමත් සැත්කම්වලට උදව් කරලා තියෙනවා. රුධිරය පිළිබඳ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරයට ගරු කරන වෛද්‍යවරුන්ගේ සේවය මම හුඟාක් අගය කරනවා. ඔවුන් එක්ක වැඩ කරන්න ලැබීමෙන් මගේ විශ්වාසන් ගැන ඔවුන්ට කියන්නත් මට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මෑතකදී ඒ අයගෙන් එක වෛද්‍යවරයෙක් බව්තීස්ම වුණා.

සිත්ගන්නාසුලු දෙයක් නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට රුධිරය නොමැතිව ප්‍රතිකාර කරන්න වෛද්‍යවරුන් වෑයම් කිරීම නිසා වෛද්‍ය ක්ෂේත්‍රයට ප්‍රයෝජන අත් වී තිබීමයි. රුධිරය නොමැතිව කරන සැත්කම්වලින් පැහැදිලිව පෙනී යන්නේ රුධිර ප්‍රවේශනයෙන් වැලකී සිටීම ප්‍රයෝජනදායක බවයි. රුධිරය ලබා නොගන්න රෝගීන් වඩාත් ඉක්මනින් සුව වන බවත් සැත්කමින් පස්සේ ඇති වන ගැටලු ඔවුන්ට අඩු බවත් අධ්‍යයනවලින් පෙනී යනවා.

ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාගෙන් දිගටම ඉගෙනගැනීම

වෛද්‍ය ක්ෂේත්‍රයේ සොයාගන්න අලුත් දේවල් ගැන දැනුවත්ව සිටින්න මම උත්සාහ කරනවා. ඒ වුණත් ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා වන යෙහෝවාගෙන් ඉගෙනගැනීම මම දිගටම කරගෙන යනවා. ඔහු පුද්ගලයන් දෙස බලන්නේ පිටාතරින් විතරක් නෙමෙයි. ඔහු මුළු පුද්ගලයා දෙසම බලනවා. (1 සාමුවෙල් 16:7) වෛද්‍යවරයෙක් හැටියට මම උත්සාහ කරන්නෙත් පුද්ගලයෙකුගේ අසනීපය දෙස පමණක් බැලීමට නෙමෙයි, ඒ මුළු පුද්ගලයා දෙසම බැලීමටයි. මෙසේ කරන නිසා රෝගියෙකුට වඩා හොඳ ප්‍රතිකාරයක් ලබා දෙන්න මට හැකි වෙලා තියෙනවා.

මම තවමත් බෙතෙල් එකේ සේවය කරනවා. තවමත් මම වැඩියෙන්ම ප්‍රීතිය ලබන්නේ යෙහෝවා ගැනත් රුධිරය පිළිබඳ ඔහුගේ දෘෂ්ටිය ගැනත් ඉගෙනගන්න අනිත් අයට උපකාර කිරීමෙනුයි. ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා වන යෙහෝවා සියලුම අසනීප හා මරණය ඉක්මනින්ම නැති කර දමන කාලය ගැන මම යාච්ඤා කරනවා.—පැවසුවේ යාසුෂි ඉසාවා.

[පාදසටහන්වල]

a ආචාර්ය ඩෙනීස් එම්. හාමනිං නම් තැනැත්තිය සම්පාදනය කළ පෙළ පොතක (Modern Blood Banking and Transfusion Practices) සඳහන් වන ආකාරයට “රුධිර ප්‍රවේශනයක් නිසා හෝ ගර්භිණීභාවය නිසා හෝ අවයව බද්ධ කිරීම නිසා හෝ සංවේදීතාවක් පෙන්වන රෝගියෙකුගේ රතු රුධිරාණු සෛල විනාශ වීමක්” සිදු විය හැකියි. එවන් අවස්ථාවලදී, රුධිරය ශරීරගත කිරීමේදී රෝගියෙකුට අහිතකර බලපෑමක් ඇති කරවන ප්‍රතිදේහ “ශරීරගත කරන රුධිරය පරීක්ෂා කිරීම සඳහා යොදාගන්න සාමාන්‍ය ක්‍රම මගින් හඳුනාගත නොහැකිය.” තවත් ප්‍රකාශනයක (Dailey’s Notes on Blood) සඳහන් වන ආකාරයට “නොගැළපෙන රුධිරය ටිකක් හෝ ශරීරගත කළ අවස්ථාවකදී පවා රතු රුධිරාණු සෛල විනාශ වී යා හැකියි. වකුගඩු ක්‍රියා විරහිත වූ පසු රුධිරයේ තිබෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමට වකුගඩුවලට නොහැකි වීම නිසා රෝගියාගේ රුධිරය ටිකෙන් ටික විෂ වේ.”

b එක් සඟරාවක (The Journal of Clinical Oncology, August 1988) මෙසේ වාර්තා විය. “සැත්කමක් සිදු කරන අතරතුරේදී රුධිර ප්‍රවේශනයක් ලබාගන්න පිළිකා රෝගීන්ගේ තත්වය රුධිර ප්‍රවේශනයක් ලබා නොගෙන සැත්කමකට භාජන වන රෝගීන්ගේ තත්වයට වඩා දරුණු අතට හැරෙයි.”

c රුධිරය පිළිබඳව බයිබලයේ උගන්වන දේවල් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද? නමැති විවරණිකාව බලන්න.

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ලේ වෙනුවෙට වෙනත් විකල්ප තියෙනවා කියලත් මගේ රෝගීන්ට උපකාර කරන්න මගේ උරිමය කරනවා කියලත් මම පැහැදිලි කළා”

[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“රුධිරය නොමැතිව කරන සැත්කම්වලින් පැහැදිලිව පෙනී යන්නේ රුධිර ප්‍රවේශනයෙන් වැළකී සිටීම ප්‍රයෝජනදායක බවයි”

[15වන පිටුවේ පින්තූර]

ඉහළ: බයිබල් දේශනයක් දෙමින්

දකුණ: මගේ භාර්යාව වන මාසූකෝ සමඟ අද