Skip to content

පටුනට යන්න

උපකාර ලබා දීමට අන්‍යයන්ට හැකි අයුරු

උපකාර ලබා දීමට අන්‍යයන්ට හැකි අයුරු

උපකාර ලබා දීමට අන්‍යයන්ට හැකි අයුරු

මානසික අවපීඩනයෙන් හෝ බයිපෝල අක්‍රමිකතාවෙන් පෙළෙන කෙනෙකුව ඔබ සමහරවිට අඳුනනවා විය හැකියි. එවැනි කෙනෙකුට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද? මානසික ආබාධවලින් පෙළෙන අය වෙනුවෙන් පිහිටුවා තිබෙන ජාතික සංගමයේ ඩී. ජේ. ජැෆී මෙම හොඳ උපදේශය දෙනවා. “රෝගය පුද්ගලයා සමඟ පටලවගන්න එපා. රෝගයට වෛර කරන්න. නමුත් පුද්ගලයාට ප්‍රේම කරන්න.”

සුසෑනා නම් කාන්තාවට එසේ කිරීමට අවශ්‍ය වූ ප්‍රේමය හා ඉවසීම තිබුණා. බයිපෝල අක්‍රමිකතාවෙන් පෙළෙන මිතුරියක් ඇයට සිටියා. “ඇයට මාව එපා වුණ අවස්ථා තිබුණා” කියා සුසෑනා පවසනවා. එහෙත් සුසෑනා ඇගේ මිතුරියව අත්හැරියේ නැහැ. ඇය බයිපෝල අක්‍රමිකතාව පිළිබඳව තොරතුරු සොයා බැලුවා. “මගේ මිතුරියගේ රෝගය එයාගේ පෞද්ගලිකත්වයට කොයි තරම් බලපෑවාද කියලා දැන් මට තේරෙනවා” කියා ඇය පැහැදිලි කරනවා. රෝගියාව තේරුම්ගැනීමට උත්සාහ කිරීමෙන් මහත් ආශීර්වාද ලැබිය හැකි බව සුසෑනාට විශ්වාසයි. “රෝගය නිසා සැඟවී තිබෙන ඔහුගේ සිත්ගන්නා පෞද්ගලිකත්වය හඳුනාගෙන ඔහු කෙරෙහි ප්‍රේමයක් හා අගයක් වර්ධනය කරගැනීමට එය උපකාරවත් වෙනවා” කියා ඇය පවසනවා.

රෝගියා පවුලේ සාමාජිකයෙකු වන විට ඔහුට මුළු හදින්ම උපකාරය, දිරිගැන්වීම ලබා දීම අත්‍යවශ්‍යමයි. මෙම ලිපි මාලාවේ කලින් සඳහන් කළ මාරියෝ ඉතා ඉක්මනටම මෙම පාඩම ඉගෙනගත්තා. බයිපෝල රෝගියෙක් වන ඔහුගේ බිරිඳ වන ලූසියා ගැනද මෙහි කලින් සඳහන් කළා. මාරියෝ මෙසේ පවසනවා. “මුලදී මට උපකාරවත් වුණේ මගේ බිරිඳ එක්ක වෛද්‍යවරයා ගාවට යෑම හා මෙම අමුතු රෝගය පිළිබඳව අධ්‍යයනය කිරීමයි. මම එහෙම කළේ අපි මොන වගේ අභියෝගයකටද මුහුණ දෙන්නේ කියලා හොඳින් තේරුම්ගැනීමටයි. ලූසියායි මායි ගොඩක් එකිනෙකා සමඟ කතා බහ කළා. එක් එක් කාලවලදී පැනනැඟුණු හැම අලුත් තත්වයකටම මුහුණ දීමට අපි වෑයම් කළා.”

ක්‍රිස්තියානි සභාවෙන් ලැබෙන උපකාර

“අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන” ලෙසත් “සියල්ලන් ගැන බොහෝ සෙයින් ඉවසන” ලෙසත් බයිබලය සියලුම ක්‍රිස්තියානීන්ට අවවාද කරනවා. (1 තෙසලෝනික 5:14NW) ඔබට එසේ කළ හැක්කේ කෙසේද? මුලින්ම, මානසිකව රෝගාතුරව සිටීම හා ආත්මිකව රෝගාතුරව සිටීම අතර වෙනස තේරුම්ගැනීම ඉතා වැදගත්. නිදසුනකට, බයිබල් ලේඛකයෙක් වන යාකොබ් ඇඟවූයේ යාච්ඤාව මගින් ආත්මිකව රෝගාතුරව සිටින කෙනෙකුව සුව කරන්න පුළුවන් බවයි. (යාකොබ් 5:14, 15) නමුත් යේසුස් පිළිගත් ලෙස ශාරීරික රෝගයකින් පෙළෙන කෙනෙකුට වෙදෙක් නැතහොත් වෛද්‍යවරයෙකු අවශ්‍යයි. (මතෙව් 9:12) අපේ සෞඛ්‍යය ඇතුළු ඕනෑම කාරණයක් ගැන යාච්ඤා කිරීම සුදුසු මෙන්ම ප්‍රයෝජනවත් දෙයක් වන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. (ගීතාවලිය 55:22; පිලිප්පි 4:6, 7) එහෙත් අපේ ආත්මික ක්‍රියාකාරකම් වැඩි කළ පමණින් අපේ සෞඛ්‍යමය ගැටලු විසඳෙන බව බයිබලයේ කිසිම තැනක සඳහන් කරලා නැහැ.

එමනිසා අන්‍යයන්ව හොඳින් තේරුම්ගැනීමට වෑයම් කරන ක්‍රිස්තියානීන් මානසික අවපීඩනය ඇති අය පීඩා විඳින්නේ ඔවුන්ගේම වරදක් නිසයි කියා වක්‍රාකාරව හෝ කීමෙන් වැළකී සිටිනවා. එවැනි ප්‍රකාශනයන් හරියට යෝබ්ගේ බොරු සැනසිලිකරුවන් කියූ වචන හා සමාන වන අතර එම වදන්වලින් පීඩා විඳින්නන්ට කොහෙත්ම සැනසිල්ලක් ලැබෙන්නේ නැහැ. (යෝබ් 8:1-6) ඇත්තෙන්ම කියනවා නම්, බොහෝවිට මානසික අවපීඩනයෙන් සුවයක් ලබන්න නම් වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍යමයි. මෙය විශේෂයෙන්ම සැබෑවක් වන්නේ ඉතා දරුණු මානසික අවපීඩනයෙන් පීඩා විඳිමින් සියදිවි හානි කරගැනීමට පවා කල්පනා කරන පුද්ගලයන් සම්බන්ධයෙනුයි. එවැනි අයට වෛද්‍යමය උපකාරය අත්‍යවශ්‍යමයි.

කොහොමනමුත්, එවැනි කෙනෙකුව දිරිගැන්වීමට සෙසු ක්‍රිස්තියානීන්ට බොහෝ දේ කළ හැකියි. ඒ සඳහා ඉවසීම අවශ්‍ය වන බව නොකිවමනායි. උදාහරණයකට ඇතැම් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල යෙදීම විශේෂයෙන්ම අභියෝගාත්මක බව මානසික ස්වභාවයේ අක්‍රමිකතාවකින් පෙළෙන කෙනෙකුට පෙනෙන්න පුළුවන්. බයිපෝල අක්‍රමිකතාවෙන් පෙළෙන ඩයෑන් මෙසේ පවසනවා. “ක්‍රිස්තියානි දේවසේවයේ යෙදෙන එක මට ලොකු අභියෝගයක්. මගේ හිතේ ශුභවාදී, ප්‍රීතිමත් ස්වභාවයක් නොමැති විට අනිත් අයට බයිබලයේ තියෙන ප්‍රීතිමත් ශුභාරංචිය කියා දෙන එක පහසු දෙයක් නෙවෙයි.”

පීඩා විඳින්නන්ට උපකාර කරන්න අවශ්‍ය නම් සංවේදී වීමට වෑයම් කරන්න. (1 කොරින්ති 10:24; පිලිප්පි 2:4) ඔබේ දෘෂ්ටියෙන් කාරණා දෙස බලනවා වෙනුවට පීඩා විඳින්නාගේ දෘෂ්ටියෙන් ඒ දෙස බැලීමට උත්සාහ දරන්න. පුද්ගලයාගෙන් වුවමනාවට වඩා දේවල් බලාපොරොත්තු වෙමින් ඔහු පිට අනවශ්‍ය බරක් පැටවීමෙන් වැළකී සිටින්න. “මම මානසික අවපීඩනය සමඟ පොරබදින කෙනෙක් බව පිළි අරගෙන මගෙන් ඕනෑවට වඩා දේවල් අනිත් අය බලාපොරොත්තු නොවන බව මට වැටහුණාම මම එයාලාට ටිකෙන් ටික ළං වෙන්න පටන්ගන්නවා. මගේ පරණ මිතුරන් කිහිපදෙනෙක්ම ඉතා ඉවසිලිවන්තව මට උදව් කරලා තියෙනවා. ඒ හින්දා මට පුළුවන් වෙලා තියෙනවා දෙවි සමඟ තියෙන මගේ මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගන්න. අනිත් අයටත් එහෙම කරන්න මම උදව් කරලා තියෙනවා. ඒ හින්දා මම ලොකු ප්‍රීතියක් අද්දකිනවා.”

උපකාරය ලැබෙන විට පීඩා විඳින්නන්ට සහනයක් ලබාගන්න පුළුවන්. බයිපෝල රෝගියෙක් වන බ්‍රෙන්ඩා නමැති ක්‍රිස්තියානි කාන්තාවගේ අද්දැකීම මෙයයි. “මම කලකිරිලා ඉන්න අවස්ථාවලදී සභාවේ ඉන්න මගේ මිතුරන් මගේ ළඟින්ම ඉඳලා මාව දිරිගන්වනවා. එයාලා මාව තේරුම්ගන්නවා. මම ආත්මිකව දුර්වලයි කියලා එයාලා කවදාවත් විනිශ්චය කරන්නේ නැහැ. සමහර අවස්ථාවලදී මට සේවයේ ගිහින් කතා කරන්න අමාරුයි. එතකොට එයාලා මාව සේවයේ අරං ගිහින් එයාලාම හැම ගේහිමියෙකුටම කතා කරනවා. සමහර අවස්ථාවලදී රැස්වීම් පටන්ගන්න ඉස්සෙල්ලා එයාලා මට පුටුවක් අල්ලලා තියෙනවා. එතකොට හැමෝම ඉඳගත්තාට පස්සේ මම ගිහින් ඉඳගන්නවා.”

සභාවේ ප්‍රේමණීය මෙන්ම සංවේදී වැඩිමහල්ලන්ගේ උපකාරය, කලින් ලිපියේ සඳහන් කළ මානසික අවපීඩනයෙන් පෙළෙන ෂෙරීට මහෝපකාරී වී තිබෙනවා. ඇය සඳහන් කරන්නේ මෙසේයි. “යෙහෝවා මට ප්‍රේම කරනවා කියා වැඩිමහල්ලන් මට සහතික කරනවා. දේවවචනය වන බයිබලයේ සඳහන් වදන් මට ඇහෙන්න කියවනවා. යෙහෝවා පාරාදීසයේදී ගෙන ඒමට යන සාමකාමී, යහපත් තත්වය ගැන ඒගොල්ලෝ මාත් එක්ක කතා කරනවා. මාත් එක්ක යාච්ඤා කරනවා. සමහර අවස්ථාවලදී එයාලා දුරකථනයෙන් පවා ඒ දේවල් කරනවා. එතකොට මට දැනෙන්නේ මම ලොකු බරකින් නිදහස් වෙනවා වගෙයි. මම දන්නවා යෙහෝවාත් මගේ සහෝදරයනුත් මාව අත්හැරලා නැහැයි කියලා. ඒක මට ලොකු හයියක්.”

අර්ථවත් ලෙස උපකාරය සැපයීම මගින් පවුලේ සාමාජිකයන්ටත් හිතමිතුරන්ටත් පීඩා විඳින්නාට ලොකු සහනයක් ලබා දෙන්න පුළුවන් බව පැහැදිලියි. ලූසියා මෙසේ පවසනවා. “දැන් මගේ ජීවිතය හොඳින් ගෙනියන්න පුළුවන් කියලා මට විශ්වාසයි. මේ ප්‍රශ්නයට සාර්ථකව එකට මුහුණ දෙන්න මායි මගේ ස්වාමිපුරුෂයායි සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. දැන් ඉස්සරට වඩා තත්වය ගොඩක් හොඳයි.”

විවිධාකාර මානසික ආබාධවලින් පෙළෙන බොහෝදෙනෙකුට වැටහී තිබෙනවා මෙම වේදනාකාරී රෝග සමඟ ඔවුන්ට දිගු කාලීන පොරබැදීමක් කරන්න සිදු වන බව. එහෙත් බයිබලයෙහි පොරොන්දු වී තිබෙන පරිදි, දෙවිගේ නව ලෝකයේදී “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” (යෙසායා 33:24) අද බොහෝදෙනෙකුට හිරිහැර කරන ආබාධ හා රෝගී තත්වයන් ඒ කාලයේදී නැත්තටම නැති වී යයි. දෙවි පොරොන්දු කරන ලද නව ලෝකය ගැන මෙනෙහි කිරීම සැබවින්ම සිත සතුටු කරවන්නක්. එවිට මානසික ස්වභාවයේ ඇති වන අක්‍රමිකතා ඇතුළු සෑම රෝගී තත්වයක්ම සදහටම නැති කර දමයි. බයිබලයේ සඳහන් වන පරිදි, ඒ කාලයේදී වැලපීමවත් හැඬීමවත් වේදනාවවත් තවත් නොවන්නේය.—එළිදරව් 21:4.

[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

රෝගීන්ට වෛද්‍යවරයෙකු අවශ්‍ය බව යේසුස් පිළිගත්තා.—මතෙව් 9:12

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලය පොරොන්දු වෙනවා දෙවිගේ නව ලෝකය තුළ ‘තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන’ බව.—යෙසායා 33:24