Skip to content

පටුනට යන්න

දරුවන්ට අවශ්‍ය දේ සැපයීම

දරුවන්ට අවශ්‍ය දේ සැපයීම

දරුවන්ට අවශ්‍ය දේ සැපයීම

පොඩි දරුවන්ට බොහෝ අවධානය අවශ්‍ය බව පැහැදිලියි. නමුත් තිබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ දරුවන්ට මේ දේ නොලැබෙන බවයි. අද සිටින යෞවනයන්ගේ තත්වයෙන් එය මනාව පැහැදිලි වෙනවා. “කවදාවත් නැතුව දැන් අපේ යෞවනයන් තමන්ගේ පවුල්වලින් ඈත් වෙලා. යමක් කිරීමේදී ඔවුන් අද්දැකීම් අතින් හා ප්‍රායෝගික ප්‍රඥාව අතින් දැඩි ඌනතාවකින් පෙළෙනවා” යැයි කැනඩාවේ ටොරොන්ටෝහි ප්‍රවෘත්ති පත්‍රයක (Globe and Mail ) පර්යේෂක වාර්තා ඉදිරිපත් කරන කාන්තාවක් පළ කළා.

වැරදී ඇත්තේ කොතැනද? මේ ප්‍රශ්නයට මුල ළාබාල දරුවන්ට අවධානය දීමේ වැදගත්කම තේරුම් නොගෙන තිබීම විය හැකිද? “අපි හැමෝම හොඳ දෙමව්පියන් වෙන්න සුදුසුකම් ලබාගන්න ඕනේ. දැන් අපි දරුවන් සමඟ ගත කරන කාලයේ පල ප්‍රයෝජන අනාගතයේදී දෙගුණ තෙගුණ වී නැවත අප කරා පැමිණෙයි” යැයි අඩු ආදායම් ලබන මව්වරුන්ට තම අලුත උපන් දරුවන් රැකබලා ගන්නා ආකාරය ගැන උපකාර සපයන මනෝ වෛද්‍යවරියක් පැවසුවා.

ළදරුවන්ට පවා නිතිපතා උපදෙස් අවශ්‍යයි. ඒ කියන්නේ එහෙන් මෙහෙන් මිනිත්තු පහක් දහයක් නෙවෙයි දවස පුරාම උපදෙස් දීම අවශ්‍යයි. ළදරු කාලයේ පටන්ම දරුවන් සමඟ කාලය ගත කිරීම ඔවුන්ගේ යහපත් වර්ධනයට හේතුපාදක වෙනවා.

සූදානම් වීමේ අවශ්‍යතාව

දරුවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ භාර දූර වගකීම ඉටු කිරීමට නම් දෙමව්පියන් මුල පටන් තම සිඟිත්තා පිළිගැනීමට සූදානම් විය යුතුයි. කලින් සැලසුම් කිරීමේ අවශ්‍යතාව ගැන පෙන්නුම් කිරීමට යේසුස් යොදාගත්තාවූ ප්‍රතිපත්තියෙන් ඔවුන්ට ඉගෙනගත හැකියි. ඔහු පැවසුවේ “ඔබ අතරෙන් කෙනෙක් ටැඹක් ගොඩනඟන්න අදහස් කරයි නම් . . . පළමුකොට ඉඳගෙන, එහි වියදම ගණන් බලන්නේ නැද්ද?” කියායි. (ලූක් 14:28NW) දරුවෙකු හැදීම අවුරුදු 20ක ව්‍යාපෘතියක් ලෙසටයි සාමාන්‍යයෙන් ගණන් ගැනෙන්නේ. එය කොතක් ගොඩනඟනවාට වඩා ඉතා සංකීර්ණයි. ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා නිශ්චිත සැලැස්මක් අවශ්‍ය කරනවා වාගේම දරුවෙකු හදා වඩා ගැනීමේදී සාර්ථක වීමටත් සැලසුම් කිරීම අවශ්‍ය වෙයි.

මුලින්ම වැදගත් වන්නේ දෙමව්පියන් වීමේ වගකීම භාරගැනීමට මානසිකව හා ආධ්‍යාත්මික පැත්තෙන් සූදානම් වීමයි. ගැබිණි කාන්තාවන් 2,000දෙනෙකු යොදා ජර්මනියේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ මෙයයි. එනම් අකමැත්තෙන් ගැබ්ගත් මව්වරුන්ගේ දරුවන්ට වඩා තම දරුවන් ඉපදෙන තෙක් ඉතා ආශාවෙන් බලා සිටි මව්වරුන්ගේ දරුවන් චිත්තවේගීයව හා ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න තත්වයක සිටි බව සොයාගනු ලැබුවා. අනිත් අතට එක් පර්යේෂකයෙක් නිගමනය කළේ ශක්තිමත් පවුල් සබඳතාවක් භුක්ති විඳින කාන්තාවකට වඩා හිංසාකාරී විවාහ ජීවිතයක් ගත කරන කාන්තාවකට ශාරීරික හා චිත්තවේගීය වශයෙන් දුර්වල වූ දරුවෙක් ලැබීමේ අවදානම සියයට 237ක් බවයි.

එසේනම් දරුවෙකු සාර්ථකව වර්ධනය වීමට ඔහුගේ පියාගේ දායකත්වයත් ඉතා වැදගත් බවයි පෙනෙන්නේ. “තම ගැබිණි භාර්යාවට හිංසා කරන පියෙකුගෙන් ඇති වන බලපෑම් තරම් දරුවෙකුට භයානක ශාරීරික හා මානසික බලපෑමක් කිරීමට හැකි වෙනත් කිසිවක් නැහැයි” කියා වෛද්‍ය තෝමස් වර්නි පවසයි. ඒ නිසා දරුවෙකුට ලැබිය හැකි ලොකුම දායාදය වන්නේ තම මවට ප්‍රේම කරන පියෙක් ලැබීම බව පැවසිය හැකියි.

කනස්සල්ල හා මානසික පීඩනය නිසා ඇති වන හෝමෝන මවගේ රුධිර ධාරාවට එකතු වන නිසා කලලයට යම් බලපෑමක් ඇති විය හැකියි. කෙසේවෙතත් අහිතකර වන්නේ ගැබිනි සමයේදී කඩින් කඩ ඇති වන නිෂේධාත්මක සිතුවිලි හෝ පීඩන නොව නමුත් දිගින් දිගටම හෝ දරුණු ලෙස ඇති වන කනස්සල්ලයයි කියා විශ්වාස කෙරෙයි. පෙනෙන ආකාරයට වඩාත් වැදගත් වන්නේ ගැබිනි මවට තම නූපන් දරුවා ගැන හැඟෙන ආකාරයයි. *

ඔබ ගැබිනි මවක් නමුත් ඔබේ ස්වාමිපුරුෂයා ඔබට සහයෝගය දෙන්නේ නැත්නම් හෝ ඔබ පුද්ගලිකව මව් පදවිය ලැබීමට අකමැති නම් කුමක් කළ යුතුද? සමහර තත්වයන් යටතේ කාන්තාවකට තමන්ගේ ගැබිනිභාවය ගැන යම් කලකිරීමක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් සෑමවිටම මතක තබාගත යුතු දෙයක් නම් ඔබේ දරුවා මෙයට වග කිව යුතු නැති බවයි. එහෙමනම් මෙවැනි අසීරු තත්වයන් යටතේදී පවා ඔබට සන්සුන් මනසක් ඇතුව කටයුතු කළ හැක්කේ කෙසේද?

මෙවැනි අවස්ථාවලදී පවා ප්‍රඥාවන්ත මඟ පෙන්වීම දෙන දෙවිගේ වචනය වන බයිබලයෙන් මිලියන සංඛ්‍යාත ජනයා ප්‍රයෝජන ලබා තිබෙනවා. එහි පවසන්නේ මෙසේයි. “සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.” ඔබ එම වචන ඔබේ ජීවිතයට අදාළ කරගන්නා විට “කිසි දෙයක් ගැන කනස්සලු නොවී” සිටින්න යන උපදෙසට එකඟව කටයුතු කිරීමට ඔබට හැකි වන අයුරු අද්දැකීමෙන් ඔබ පුදුමයට පත් විය හැකියි. (ෆිලිප්පි 4:6, 7NW) ඔබව රැකබලා ගැනීමට හැකියාවක් තිබෙන මැවුම්කාර දෙවිගේ හස්තය ඔබ කෙරෙහි තිබෙන බවට නිසැක විය හැකියි.—1 පේතෘස් 5:7.

අසාමාන්‍ය අද්දැකීමක් නොවේ

දරුවා ප්‍රසූත කළාට පසු සමහර තරුණ මව්වරුන්ට සති කිහිපයක් ගත වෙන තුරු විස්තර කළ නොහැකි දුකක් හා වෙහෙසක් දැනෙනවා. දරුවෙක් බලාපොරොත්තුවෙන් ප්‍රීතියෙන් සිටි මව්වරුන්ගේ මානසික ස්වභාවයද වෙනස් වෙන්න පුළුවන්. එක මානසික ස්වභාවයක සිට තවත් මානසික ස්වභාවයක් දක්වා එක පාරටම වෙනස් වීම සාමාන්‍යයි. මෙවැනි දේ සිදු වන්නේ දරු ප්‍රසූතියෙන් පසු මවගේ හෝමෝනවල සිදු වන විශාල වෙනස් වීම් නිසයි. තවද අලුත් මව්වරුන්ට නිශ්චිත වේලාවක් නැතුව දවස මුළුල්ලේම දරුවාට කිරි දීමට, නැපි මාරු කිරීමට හා ඔහුව බලාගැනීමට සිදුවීම වැනි මව් පදවිය හා හිමි වන භාරදූර වගකීම් ඉසිලීමද ඉතා වෙහෙසකර කාර්යයක් විය හැකියි.

එක මවකට හැඟුණේ ඇගේ දරුවා අඬන්නේ ඇයට වද දීමටයි කියා. එහෙමනම්, දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් ජපානයේ විශේෂඥවරයෙක් මෙසේ පැවසීම පුදුමයක් නොවෙයි. “දරුවෙක් හදා වඩා ගැනීමේදී ඇති වන මානසික පීඩනයෙන් මිදෙන්න කිසි කෙනෙකුට බැහැ.” තවද එම විශේෂඥවරයා පවසන පරිදි “වැදගත්ම දේ නම් මව කවදාවත් අන් අයගෙන් වෙන් නොවී සිටීමයි.”

සමහර අවස්ථාවලදී මව කලකිරීම්වලට පත් වුවත් ඇයගේ එම වෙනස් වන මානසික ස්වභාවය දරුවාට බලපෑමට ඉඩ නොතැබිය යුතුයි. ටයිම්ස් සඟරාවේ වාර්තා වන්නේ “විෂාදයට ලක් වූ මව්වරුන් එම වැටුණු මානසිකත්වයෙන් මිදී තම ළදරුවන් සමඟ සෙල්ලම් කිරීමට හා අවධානය දීමට වැඩිපුර කාලයක් ගත කළ විට එම ළදරුවන් ප්‍රීතිමත් ස්වභාවයක් විදහාපෙන්වූ” බවයි. *

පියාට උදව් කළ හැක්කේ කෙසේද?

බොහෝ අවස්ථාවලදී අවශ්‍ය උදව් උපකාර ලබා දීමට හැකි සුදුසුම තැනැත්තා පියායි. රෑ දෙගොඩ හරියේ දරුවා අඬනවා නම් පියාට දරුවාව බලාගැනීමට බොහෝවිට ඉඩ කඩ තිබෙන අතර එමගින් මවට ටිකක් විවේක ගැනීමට හැකි වෙයි. බයිබලයේ පුරුෂයන්ට දෙන අවවාදය නම් ‘ඔබගේ භාර්යාවන් සමඟ කාරුණිකව හැසිරෙන’ ලෙසයි.—1 පේතෘස් 3:7, නව අනුවාදය.

යේසුස් ක්‍රිස්තුස් ස්වාමිපුරුෂයන්ට අනුගමනය කිරීමට කදිම ආදර්ශයක් තැබුවා. ඔහු තමාගේ අනුගාමිකයන් වෙනුවෙන් ජීවිතය පවා දුන්නා. (එපීස 5:28 -30; 1 පේතෘස් 2:21-24) තමන්ගේ සුව පහසුව ටිකකට පරිත්‍යාග කර තම දරුවා බලාගැනීමට මූලිකත්වය ගැනීමෙන් ස්වාමිපුරුෂයන්ට යේසුස්ව අනුකරණය කළ හැකියි. ඇත්තවශයෙන්ම දරුවන් හැදීම එකමුතුව කළ යුතු කටයුත්තක් නිසා දෙමව්පියන් දෙදෙනාගේම සහයෝගය අවශ්‍යයි.

එකමුතු, සහයෝගි ප්‍රයත්නයක්

අවුරුදු දෙකක් වයසැති කුඩා ගැහැනු ළමයෙකුගේ පියා වන යොයිචීරෝ පැවසුවේ “ස්වාමිපුරුෂයා හා භාර්යාව වශයෙන් අපි දරුවාව හදන්න ඕනේ කොහොමද කියලා විස්තරාත්මක සාකච්ඡා කළා” කියායි. “යම් ප්‍රශ්නයක් පැනනැඟුණු හැම අවස්ථාවකම එය විසඳිය යුත්තේ කොහොමද කියලා කතා කළා.” යොයිචීරෝ දන්නවා ඔහුගේ භාර්යාවට විවේකය අවශ්‍යයි කියලා. ඒ නිසා ඔහු පොඩි ගමන් බිමන් යනකොට දුවව රැගෙන යනවා.

ඉස්සර කාලේ පවුල් විශාල වූ නිසාත් නෑදෑයන් අතර කිට්ටු බැඳීමක් තිබුණු නිසාත් දෙමව්පියන්ට තම වැඩිමල් දරුවන්ගෙන් හා නෑදෑයන්ගෙන් උපකාර ලැබුණා දරුවන් හදා වඩා ගැනීමට. ජපානයේ කවසාකි නුවරේ පිහිටි දරුවන් රැකබලා ගැනීම සඳහා උපකාර පිරිනමන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු කාන්තාවක් මෙසේ පවසා තිබීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. “බොහෝවිට මව්වරු තමන්ගේ කාරණා ගැන අන් අයත් එක්ක කතා කළාම ඔවුන්ට ලොකු සහනයක් දැනෙනවා. පොඩි උදව්වක් ලැබීම තුළින් තමන් මුහුණ දෙන බාධක ජයගැනීමට බොහෝ මව්වරුන්ට හැකි වෙලා තිබෙනවා.”

දෙමව්පියන් (සිංහලෙන් නැත) යන සඟරාවේ කියන්නේ දෙමව්පියන්ට “ඔවුන්ගේ අදහස් උදහස් පැවසීමට උපකාරක කණ්ඩායමක් අවශ්‍යයි” කියායි. එවැනි උපකාරක කණ්ඩායමක් සොයාගත හැක්කේ කොහෙන්ද? ඔවුන් තමන්ගේ දෙමව්පියන්ට හෝ නෑදෑයන්ට විවෘත මනසකින් යුතුව සවන් දීමෙන් අලුත් වගකීම් භාරගත් පියාට සහ මවට බොහෝ ප්‍රයෝජන ලැබෙයි. කෙසේවෙතත් ආච්චිලා සීයලා මතක තබාගත යුතු කාරණය නම් අවසාන තීරණය තරුණ යුවළ සතු බවයි. *

තරුණ දෙමව්පියන්ට උපකාරය ලබාගත හැකි තවත් මාර්ගයක් නම් තම සෙසු ඇදහිලිවන්තයන්ට ඇහුම්කන් දීමයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල ඔබේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීමට කැමති හා දරුවන් හදා වඩා ගැනීමේ මනා පළපුරුද්දක් ඇති දෙමව්පියන්ව ඔබට සොයාගත හැකි වෙයි. ඔවුන්ට හැකියි ඔබට ප්‍රායෝගිකව අදාළ කරගත හැකි උපදෙස් ලබා දීමට. තවද ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වූවා විය හැකි “වයස්ගතව සිටින ස්ත්‍රීන්” තරුණ කාන්තාවන්ට උපකාර කිරීමට සූදානම්ව සිටින නිසා ඔවුන්ගෙන් උපකාර ලබාගත හැකියි.—තීතස් 2:3-5NW.

ඇත්තවශයෙන්ම දෙමව්පියන් අන් අයගේ අදහස්වලට සවන් දීමේදී කල්පනාකාරී විය යුතුයි. “එක පාරටම අපි අවට සිටි අය දරුවෙක් හදා වඩා ගන්නා ආකාරය ගැන උපදෙස් දෙන ප්‍රවීණයන් බවට පත් වුණා” යැයි යොයිචීරෝ පැවසුවා. ඔහුගේ භාර්යාව වන ටාකාකෝ පැවසුවේ මෙසේයි. “මම මුලින්ම අනිත් අය දුන් යෝජනාවලින් කලකිරුණා. ඒ අය කතා කළේ හරියට, මට මවක් හැටියට අඩු අද්දැකීම් ඇති නිසා දොස් පවරන ස්වභාවයකින් කියලා මට හැඟුණා.” කෙසේනමුත් අන් අයගෙන් ඉගෙනගැනීමෙන් බොහෝ පුරුෂයන් හා භාර්යාවරුන් තම දරුවන්ට අවශ්‍ය දේවල් ලබා දීම සම්බන්ධයෙන් සමබර ආකල්පයක් දැරීමට උපකාර ලබා තිබෙනවා.

ලබාගත හැකි හොඳම උපකාරය

ඔබට උපකාර කිරීමට කිසිම කෙනෙක් නැති වුණත්, ඔබට සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි ශක්තියේ උල්පතක් තිබෙනවා. ඒ වෙන කිසිවෙක් නොව අපව මැවූ, පොළොවේ යමෙක් ඉපදෙන්නත් පෙර ඔහුගේ “කලලය” දැකීමට හැකියාව ඇති යෙහෝවා දෙවියි. (ගීතාවලිය 139:16NW) බයිබලයේ පවසා ඇති ආකාරයට අතීතයේදී යෙහෝවා වරක් ඔහුගේ සෙනඟට මෙසේ පැවසුවා. “ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතක නැති කරන්නට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතක නැති වෙන්ට පුළුවන, එහෙත් මම නම් ඔබ මතක නැති නොකරන්නෙමි.”—යෙසායා 49:15; ගීතාවලිය 27:10.

ඇත්තවශයෙන්ම යෙහෝවා දෙමව්පියන්ව අමතක කරන්නේ නැහැ. බයිබලයේ ඔහු දරුවන් ඇති දැඩි කළ යුතු ආකාරය ගැන දෙමව්පියන්ට කදිම මඟ පෙන්වීම් ලබා දී තිබෙනවා. උදාහරණයක් ලෙස අවුරුදු 3,500කට පෙර දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන මෝසෙස් මෙසේ සඳහන් කළා. “ඔබේ දෙවි වූ යෙහෝවාට ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න. මා විසින් අද ඔබට අණ කරන මේ වචන [යෙහෝවාට ප්‍රේම කිරීමට හා සේවය කිරීමට දුන් අවවාදය] ඔබේ සිතේ තිබේවා. ඒවා ඔබේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, ඔබ ගෙයි හිඳින කලද මඟ යන කලද ඔබ සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.”—ද්විතීය කථාව 6:5-7.

දෙවිගේ වචනය තුළ සඳහන් කර ඇති එම මඟ පෙන්වීමේ ප්‍රධාන අදහස කුමක් කියාද ඔබ සිතන්නේ? ඉන් අදහස් කරන්නේ ඔබගේ දරුවන්ට දිනපතාම දිගටම උපදෙස් ලබා දිය යුතු බව නොවේද? ඒ නිසා කුඩා දරුවන් සමඟ ඉඳ හිට සැලසුම් කරන ලද ගුණාත්මක කාලයක් ගත කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. සමහරවිට අදහස් හුවමාරු කරගන්නා වැදගත් අවස්ථාවන් මතු වෙන්නේ හදිස්සියෙනුයි. එම අවස්ථා ඕනෑම වෙලාවක ඇති විය හැකි නිසා ඔබේ දරුවාට අවශ්‍ය ආකාරයකින් ප්‍රතිචාරය දැක්වීමට ඔබ ඔහු සමඟ සිටිය යුතුයි. එසේ කිරීම තුළින් ඔබට හැකි වෙයි බයිබලයේ සඳහන් “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු කරන්න” යන අණ ඉෂ්ට කරන්නට.—හිතෝපදේශ 22:6.

දරුවන්ට නිසි පුහුණුවක් දීම යන්නට හඬ නඟා කියවීමද ඇතුළත්. බයිබලයේ පවසන්නේ පළමුවෙනි ශතවර්ෂයේ ගෝලයෙකු වූ තිමෝති “ළදරු වියේ පටන් . . . ශුද්ධ ලියවිලි” දැනගෙන සිටි බවයි. පැහැදිලිවම ඔහුගේ මව යූනිස් සහ ඔහුගේ ආච්චි වන ලොයිස් ඔහු ළදරුවෙක්ව සිටින කාලයේ පටන් ඔහුට හඬ නඟා කියෙව්වා. (2 තිමෝති 1:5; 3:14, 15NW) ඔබ ළදරුවා එක්ක කතා කරන්න පටන්ගත් විගසම එසේ කිරීම හොඳයි. නමුත් ඔබට මොන වගේ පොත්ද කියවිය හැක්කේ? ඒ වගේම ඔබට කුඩා ළදරුවෙකුට පවා හොඳින් ඉගැන්විය හැක්කේ කෙසේද?

ඔබේ දරුවාට හඬ නඟා බයිබලය කියවන්න. පෙනෙන විදිහට තිමෝතිට කියවන්නත් ඇත්තේ බයිබලයෙනුයි. බයිබලයේ තොරතුරු කියා දෙන විචිත්‍රවත් පින්තූර ඇතුළත් පොත්ද තිබෙනවා. මෙම පින්තූරු මගින් දරුවන්ට පුළුවන් බයිබලයේ ඉගැන්වීම් ගැන මනසේ පින්තූරයක් මවාගන්න. උදාහරණයක් ලෙස මගේ බයිබල් කතන්දර පොත සහ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වැනි පොත් තිබෙනවා. එවැනි පොත් පත් උපකාරයෙන් මිලියන සංඛ්‍යාත කුඩා දරුවන්ට තමන්ගේ මනසට හා සිතට කාවදින ලෙස බයිබලයේ ඉගැන්වීම් උකහා ගැනීමට උපකාරවත් වී තිබෙනවා.

බයිබලයේ පවසන පරිදි “දරුවෝ [දූ පුතුන්] යෙහෝවා දෙන උරුමයක්ය. කුසේ පලයද ඔහුගෙන් ලැබෙන විපාකයක්ය.” (ගීතාවලිය 127:3) ඔබේ මැවුම්කරු ඔබට “උරුමයක්” එනම්, ප්‍රීතිය හා ආඩම්බරය ගෙන දිය හැකි සුරතල් කිරිකැටියෙක් විශ්වාසයෙන් යුතුව භාර දී තිබෙනවා. විශේෂයෙන්ම, මැවුම්කරුට ප්‍රශංසාව ගෙනදෙන්නන් ලෙස දරුවන් ඇති දැඩි කරන විට ඇත්තටම ඵලදායිත්වය බොහෝයි.

[පාදසටහන්වල]

^ 9 ඡේ. මානසික පීඩනය නිසා ඇති වන හෝමෝන පමණක් නොව නිකොටින්, මද්‍යසාර හා වෙනත් මත් ද්‍රව්‍ය භාවිත කිරීම නිසාද කලලයට හානිකර බලපෑම් ඇති විය හැකියි. ගැබිනි මව්වරු සියලුම හානිකර ද්‍රව්‍යවලින් වැළකී සිටීමට පියවර ගත යුතුයි. මීට අමතරව මව ගන්නා බෙහෙත්වලින් කලලයට යම් බලපෑමක් සිදු විය හැකිද කියාත් වෛද්‍යවරයාගෙන් දැනගැනීම සුදුසුයි.

^ 15 ඡේ. මවක් දැඩි ලෙස දුකට හා බලාපොරොත්තු රහිත තත්වයට පත් වී සිටිනවා නම් හා ඇයට දරුවාගෙන් හා මුළු ලෝකයෙන් ඈත් වුණු ස්වභාවයක් දැනෙනවා නම් ඇය පසු ප්‍රසූති මානසික අවපීඩනයෙන් පෙළෙනවා විය හැකියි. ප්‍රශ්නය එය නම් ඇය ඇගේ ප්‍රසව වෛද්‍යවරයා මුණගැසිය යුතුයි. කරුණාකර පිබිදෙව්! 2002 ජූලි 22 සඟරාවේ පිටු 19-23 සහ 2003 ජූනි 8 21-3 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

^ 22 ඡේ. කරුණාකර “ආච්චිලා සීයලා අද්දකින ප්‍රීතිය හා අභියෝග” නමැති 1999 මාර්තු 22 පිබිදෙව්! සඟරාවේ පළ වූ ලිපිය කියවන්න.—සිංහලෙන් නැත.

[8වන පිටුවේ පින්තූරය]

මව තම නූපන් දරුවා ගැන දරන ආකල්පය ඉතා වැදගත්

[9වන පිටුවේ පින්තූරය]

දරු ප්‍රසූතියෙන් පසුව අලුත් මවකගේ මානසික ස්වභාවයේ ක්ෂණික වෙනස්කම් ඇතිවීමට ඉඩ තිබුණද දරුවාට ආදරය හා රැකවරණය ලබා දීමට ඇයට කළ හැකි දෑ බොහෝයි

[10වන පිටුවේ පින්තූරය]

දරුවන් රැකබලා ගැනීමේදී පියවරුන්ටද වගකීම් තිබෙනවා

[10වන පිටුවේ පින්තූරය]

ළදරු කාලයේ පටන් දරුවෙකුට හඬ නඟා කියවන්න