Skip to content

පටුනට යන්න

පීඩා විඳින්නන්ට බලාපොරොත්තුවක්!

පීඩා විඳින්නන්ට බලාපොරොත්තුවක්!

පීඩා විඳින්නන්ට බලාපොරොත්තුවක්!

අතීතයේදී මානසික ස්වභාවයේ අක්‍රමිකතා තිබෙන අයව මඟහැරීමට ජනයා තුළ නැඹුරුවාවක් තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස එවැනි ආබාධවලින් පීඩා වින්ද බොහෝදෙනෙකුව සමාජය විසින්ද කොන් කරනු ලැබුවා. ඇතමෙකුට රැකියා ප්‍රස්තා අහිමි වුණා. තවත් අයව තමන්ගේම පවුලේ අය විසින් කොන් කරනු ලැබුවා. බොහෝවිට එහි ප්‍රතිඵලය වූයේ රෝගී තත්වය තවත් උග්‍ර අතට හැරීම හා අවශ්‍ය උපකාරය ලබාගැනීමට රෝගියා පසුබට වීමයි.

කොහොමනමුත්, මෑත දශක තුළදී දරුණු මානසික අවපීඩනය හා බයිපෝල අක්‍රමිකතාව තේරුම්ගැනීමට බොහෝ වෙහෙසක් දරා තිබෙන අතර එයින් සාර්ථක ප්‍රතිඵල අත් වී තිබෙනවා. මෙම රෝගී තත්වයන්ට ප්‍රතිකාර ලබා දිය හැකි බව දැන් කොයි කවුරුත් දන්නා කාරණයක්. එහෙත් අවශ්‍ය උපකාරය ලබාගැනීම නම් සිතන තරම් පහසු දෙයක් නොවෙයි. ඒ ඇයි?

රෝග ලක්ෂණ වටහාගැනීම

මානසික ස්වභාවයේ අක්‍රමිකතාවක් නිකම්ම රුධිර පරීක්ෂණයක් හෝ එක්ස්-රේ පරීක්ෂණයක් මගින් නිර්ණය කළ නොහැකියි. පුද්ගලයාගේ හැසිරීම, සිතන ආකාරය හා විනිශ්චය කිරීමේ හැකියාව යම් කාලාන්තරයක් තිස්සේ අධ්‍යයනය කළ යුතුයි. එවැනි අක්‍රමිකතාවක් තිබෙන බව නිර්ණය කිරීමට නම් රෝග ලක්ෂණ කිහිපයක්ම තිබිය යුතුයි. නමුත් අභියෝගය වන්නේ, සමහරවිට පවුලේ අය හා හිතමිතුරන් තමන් නිරීක්ෂණය කරන ඇතැම් රෝග ලක්ෂණ මානසික ස්වභාවයේ අක්‍රමිකතාවක රෝග ලක්ෂණ බව වටහා නොගැනීමයි. වෛද්‍ය ඩේවිඩ්. ජේ. මික්ලෝවිට්ස් මෙසේ පැහැදිලි කරනවා. “යමෙකු අමුතු විදිහට හැසිරෙන්න පටන්ගෙන තිබෙන බව යම් පිරිසක් වටහාගෙන තිබෙන විටදී පවා එම හැසිරීමට හේතුව පිළිබඳව ඔවුන් එකිනෙකට වෙනස් මත දරනවා.”

ඒ විතරක් නොවෙයි, තත්වය ඉතා උග්‍ර බව පවුලේ අයට වැටහෙන අවස්ථාවලදී පවා රෝගියාට වෛද්‍ය උපකාරය අවශ්‍ය බව ඒත්තුගැන්වීම පහසු දෙයක් නොවිය හැකියි. අනික් අතට, රෝගියා ඔබ නම් උපකාරය ලැබීමට ඔබ වැඩි කැමැත්තක් නොදක්වනවා වෙන්න පුළුවන්. වෛද්‍ය මාක් එස්. ගෝල්ඩ් මෙසේ ලියනවා. “අවපීඩන තත්වයේ සිටින විට ඔබ කිසි කමකට නැති කෙනෙක්ය කියා සිතිය හැකියි. සමහරවිට ඒ සිතුවිල්ල ඇත්ත බව ඔබ පිළිගන්නවා ඇති. ඉතින් මං වගේ කෙනෙකුට මේ තත්වයෙන් කවදාවත් මිදෙන්න බැරි නම් උපකාරය ලබාගන්නේ මොකටද කියා ඔබට හැඟෙන්න ඉඩ තිබෙනවා. සමහරවිට උපකාරය ලබාගන්න කැමති වුණත් ඔබට මානසික අවපීඩනය තිබෙනවා කියා පැවසීමට ඔබ ලැජ්ජා වෙන්න පුළුවන්. ඒ වගේම, මේ තත්වයට ඔබ පත් වුණේ ඔබේම වරදක් නිසයි කියාත් ඔබ සිතනවා ඇති. . . . සමහරවිට ඔබට මානසික අවපීඩනය තිබෙන බව ඔබ වටහාගෙන නැතුවත් ඇති.” එහෙත් දරුණු මානසික අවපීඩනයෙන් පෙළෙන අය නොවරදවාම වෛද්‍ය උපකාරය ලබාගත යුතුයි.

සියලුදෙනාටම ඉඳ හිට දොම්නස් හැඟීම් පහළ වන බව පිළිගත යුතුයි. එසේ වූ පමණින් මානසික ස්වභාවයේ අක්‍රමිකතාවක් තිබෙන බව ඇඟවෙන්නේ නැහැ. එහෙත් එම හැඟීම් තාවකාලිකව ඇති වන දුක්මුසු ස්වභාවයකට වඩා දරුණු, ප්‍රබල ඒවා නම් කුමක් කළ යුතුද? එම හැඟීම් සාමාන්‍යයට වඩා දිගු කාලයක් පුරා, සමහරවිට සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් පුරා පවතිනවා නම් කිව හැක්කේ කුමක්ද? තවද, එම අවපීඩන තත්වය නිසා රැකියා ස්ථානයේදී හෝ පාසැලේදී හෝ සමාජයට මුහුණ දෙන විටදී හෝ සාමාන්‍ය ලෙස කටයුතු කිරීමට නොහැකි වෙනවායයි සිතන්න. එවැනි අවස්ථාවලදී මානසික ස්වභාවයේ අක්‍රමිකතා නිර්ණය කිරීම හා ඒවාට ප්‍රතිකාර කිරීම පිළිබඳව සුදුසුකම් ලත් දක්ෂ වෛද්‍යවරයෙකුව හමුවීම නුවණට හුරුයි.

ජෛව රසායනික අසමතුලිතතාවක් තිබියදී ඖෂධ නියම කිරීමට ඉඩ තිබෙනවා. වෙනත් අවස්ථාවලදී නම්, රෝගියාට තම තත්වයට සාර්ථකව මුහුණ දීමට උපකාර කිරීම සඳහා උපදේශන වැඩසටහනකට සහභාගි වීමට නිර්දේශ කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ඖෂධ ප්‍රතිකාරය හා උපදේශනය යන දෙකම එකට ලබාගන්නා විට සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. * වැදගත් වන්නේ උපකාර ඉල්ලීම සඳහා මුලපිරීමයි. “බොහෝවිට රෝගීන්ට ලැජ්ජාවක් භයක් දැනෙනවා” කියා බයිපෝල රෝගියෙක් වන කලින් ලිපියේ සඳහන් කළ ලෙනෝ පවසනවා. “හැබැයි ඔබට ගැටලුවක් තියෙන බව දැන දැනත් ඒ සඳහා අත්‍යවශ්‍ය උපකාරය ලබා නොගෙන සිටීම කොච්චර ලොකු අපරාධයක්ද!”

ලෙනෝ තම අද්දැකීම මෙසේ විස්තර කරනවා. “මම අවුරුද්දක් පුරාම ඔත්පළ වෙලා වගේ හිටියේ. එක දවසක් මගේ ඇඟට ටිකක් පණ ආවා. එතකොට මම දුරකථන ඇමතුමක් දීලා වෛද්‍යවරයෙකුව හමුවීමට දවසක් දාගත්තා.” ලෙනෝට බයිපෝල අක්‍රමිකතාව ඇති බව නිර්ණය කළ අතර ඇයට ඖෂධ ප්‍රතිකාරය ලබා දුන්නා. එතැන් පටන් ඇගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති වුණා. “බෙහෙත් ගත්තාම මට දැනෙන්නේ මම සාමාන්‍ය පුද්ගලයෙක් වගේ කියලයි. බෙහෙත් නොගත්තොත් ආයෙත් අර පරණ රෝග ලක්ෂණ ටික මතු වෙයි කියලා මම හැමවිටම මතක් කරගන්නවා” කියා ලෙනෝ පවසනවා.

මානසික අවපීඩනයෙන් පෙළෙන බ්‍රැන්ඩන්ටත් තිබෙන්නේ ඒ හා සමාන අද්දැකීමක්. ඔහු මෙසේ විස්තර කරනවා. “මගේ නහඹර වියේදී මම නිතරම කල්පනා කෙරුවේ මගේ ජීවිතය නැති කරගන්නයි. මොකද මට හැම තිස්සේම හිතුණේ කාටවත් මගෙන් කිසිම වැඩක් නැහැ කියලයි. මම වෛද්‍යවරයෙකු ගාවට යන්න තීරණය කළේ මට අවුරුදු 30ත් පැන්නාට පස්සෙයි.” ලෙනෝ මෙන් බ්‍රැන්ඩන්ද ඔහුගේ අක්‍රමිකතාව පාලනය කිරීම සඳහා ඖෂධ ලබාගන්නවා. එහෙත් ඔහුට උපකාරවත් වන තවත් දේවල්ද තිබෙනවා. ඔහු ඒ ගැන පැහැදිලි කරන්නේ මෙසේයි. “මගේ මනස ගැන විතරක් නොවෙයි මගේ ශරීරය ගැනත් මම සැලකිලිමත් වෙනවා. මම අවශ්‍ය විවේකය ලබාගන්නවා. කන දේ ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම බයිබලයේ තියෙන ධනාත්මක අදහස්වලින් මගේ මනසයි හදවතයි පුරවගන්නවා. ඒක, මට හැම අතින්ම යහපතක් වෙලා තියෙනවා.”

එහෙත් බ්‍රැන්ඩන් තවත් වැදගත් කාරණයක් අවධාරණය කරනවා. දරුණු මානසික අවපීඩනය කියන්නේ රෝගී තත්වයක්. එය පුද්ගලයා ආත්මික අතින් දුර්වල නිසා ඇති වන තත්වයක් නොවෙයි. සුවය ලබාගැනීමට නම් එම කාරණය තේරුම්ගැනීම අත්‍යවශ්‍යයි. බ්‍රැන්ඩන් මෙසේ විස්තර කරනවා. “දවසක් තවත් ක්‍රිස්තියානියෙක් අවංක චේතනාවෙන් මට කිව්වා, ගලාති 5:22, 23ට අනුව ප්‍රීතිය කියන්නේ දෙවිගේ ශුද්ධාත්මයේ පලයක්. ඔයාට නිතරම දුක්මුසු හැඟීම් තියෙන්නේ ඒ ආත්මය නිදහසේ ගලා ඒමට බාධා වන විදිහේ දෙයක් ඔයා කරන නිසා වෙන්න ඇති කියලා. ඒකෙන් පස්සේ මට තිබුණ වරදසහිතබව හා දුක්බර හැඟීම් තවත් වැඩි වුණා. හැබැයි මම අවශ්‍ය උපකාරය ලබාගත්තාට පස්සේ ඒ වේදනාකාරී හැඟීම් ක්‍රමක්‍රමයෙන් මගෙන් ඈත් වුණා. මට ලොකු සහනයක් දැනුණා! මීට කලින් උපකාරය ලබානොගත්තේ ඇයි කියල මට දැන් හිතෙනවා.”

සටනෙන් ජයගැනීම

රෝගය නිර්ණය කර එයට නිසි ප්‍රතිකාරය ලබා දුන් පසුවත් රෝගියාට දිගින් දිගටම විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙයි කියා සිතිය හැකියි. දරුණු මානසික අවපීඩනය සමඟ පොරබදින කෙලි වෛද්‍යවරුන්ගෙන් ලැබූ උපකාරය බොහෝ සෙයින් අගය කරනවා. එම උපකාරය නිසා ඇගේ රෝගයට නිසි ප්‍රතිකාරය ලබාගැනීමට ඇයට පුළුවන් වුණා. ඊට අමතරව, වෙනත් අයගෙන්ද උපකාර ලබාගැනීම අත්‍යවශ්‍ය වූ බව කෙලිට වැටහුණා. මුලදී, අනිත් අයට කරදරයක් වෙන්න කැමති වුණේ නැති නිසා උපකාර ඉල්ලීමට කෙලි පසුබට වුණා. ඇය මෙසේ පවසනවා. “උදව් ඉල්ලන්න විතරක් නොවෙයි, උදව් කරනකොට ඒක භාරගන්නත් මම පුරුදු වුණා. මාව මානසිකව වට්ටවන හැඟීම් ක්‍රමක්‍රමයෙන් නැති වෙන්න පටන්ගත්තේ මගේ හිතේ තියෙන දේ ගැන විවෘතව කතා කරන්න පටන්ගත්තාට පස්සෙයි.”

යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන කෙලි, සෙසු ඇදහිලිවන්තයන් සමඟ රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන රැස්වීම්වලට සහභාගි වෙනවා. සමහරවිට එම ප්‍රීතිමත් අවස්ථාවලදී පවා ඇය අභියෝගවලට මුහුණ දෙනවා. “හුඟක් වෙලාවට, ශාලාවේ ලයිට්වල එළිය, කට්ටිය එහෙට මෙහෙට ඇවිදින එක, සද්දේ මට දරාගන්න හරිම අමාරුයි. එතකොට ආයෙත් මට වරදසහිතබවක් දැනෙන්න පටන්ගන්නවා. දුකක් ඇති වෙනවා. මට මේ අක්‍රමිකතාව හැදිලා තියෙන්නේ මම ආත්මික අතින් දුර්වල නිසයි කියලා මට හිතෙනවා.” කෙලි මේ තත්වයට මුහුණ දෙන්නේ කොහොමද? ඇය මෙසේ පිළිතුරු දෙනවා. “මට දැන් තේරෙනවා මානසික අවපීඩනය කියන්නේ රෝගයක්, ඒකට සාර්ථකව මුහුණ දීමට යම් පොරබැදීමක් කරන්න අවශ්‍යයි කියලා. ඒ තත්වය ඇති වුණා කියලා මම දෙවිටත් සෙසු ක්‍රිස්තියානීන්ටත් ප්‍රේම නොකරන බව ඉන් ඇඟවෙන්නේ නැහැ. මගේ නියම ආත්මික තත්වය ඒකෙන් මැන බලන්න බැහැ.”

මෙම ලිපි මාලාවේ කලින් සඳහන් කළ ලූසියා, වෛද්‍යවරුන් ඇයට ලබා දුන් කදිම ප්‍රතිකාර බොහෝ සෙයින් අගය කරනවා. “මගේ රෝගය නිසා මගේ මානසික ස්වභාවයේ හිටපු ගමන් ඇති වන වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දීම සඳහා මට අත්‍යවශ්‍යව තිබූ උපකාරය ලැබුණේ මානසික රෝග පිළිබඳ විශේෂඥයෙක් හමු වෙන්න ගියාට පසුවයි” කියා ඇය පවසනවා. විවේක ගැනීමේ වැදගත්කමද ලූසියා අවධාරණය කරනවා. “උමතු ස්වභාවය පාලනය කිරීම සඳහා නින්ද හරිම වැදගත්” කියා ඇය පවසනවා. “මට නින්ද නොයන ප්‍රමාණයට සාපේක්ෂව තමයි මගේ උමතු ස්වභාවය වැඩි වෙන්නේ. මට නින්ද නොයන විටදී පවා නැඟිටලා වෙන වැඩක් කරන්නේ නැතුව මම ඇඳටම වෙලා විවේක ගන්න පුරුදු වෙලා ඉන්නවා.”

කලින් ලිපියේ සඳහන් කළ ෂීලා, දිනපතාම ඇගේ සිතේ තිබෙන හැම දෙයක්ම දිනපොතක සටහන් කරගන්නවා. මෙය ඇයට ගොඩක් උපකාරවත් වී තිබෙන බව ඇයට පෙනී ගොස් තිබෙනවා. දැන් පෙරට වඩා ඇය කාරණා දෙස බලන්නේ ශුභවාදීවයි කියා ඇයට පැහැදිලියි. අභියෝග නැත්තේම නැහැ. ෂීලා මෙසේ පවසනවා. “හොඳටම තෙහෙට්ටු වෙලා ඉන්නකොට මගේ මනසේ අශුභවාදී සිතුවිලි වැඩ කරන්න පටන්ගන්නවා. ඒත් ඒවා නිහඬ කරන්න, එහෙමත් නැත්නම් ඒවා යම් දුරකට පාලනය කරන්න මම පුරුදු වුණා.”

දේවවචනයෙන් ලද සැනසිල්ල

සිතේ “කරදර හා කනස්සල්ල” නිසා පීඩා විඳින බොහෝදෙනෙක් බයිබලය තුළින් සැනසීම ලබා තිබෙනවා. (ගීතාවලිය 94:17-19, 22, නව අනුවාදය) නිදසුනකට, ෂෙරීගේ අද්දැකීම සලකා බලන්න. ගීතාවලිය 72:12, 13 කියවීමෙන් ඇය මහත් දිරිගැන්වීමක් ලැබුවා. දෙවි විසින් පත් කරන ලද රජ වන යේසුස් ක්‍රිස්තුස් ගැන ගීතිකාකරු එහි මෙසේ සඳහන් කළා. “ඔහු මොරගසන දිලින්දාද උපකාරකයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය, දිලිඳුන්ගේ ප්‍රාණයන් ගලවන්නේය.” ෂෙරී රෝම 8:38, 39හි සඳහන් ප්‍රේරිත පාවුල්ගේ මෙම වදන්වලින්ද දිරිගැන්වීමක් ලැබුවා. “මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් තුළ ඇත්තාවූ දෙවිගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්ට නොහැකි වන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.”

බයිපෝල අක්‍රමිකතාවෙන් පෙළෙන ඉලේන්ට පෙනී ගොස් තිබෙන්නේ දෙවි සමඟ ඇයට තිබෙන සම්බන්ධය මහත් සවියක් වී තිබෙන බවයි. ගීතිකාකාරයා ලිවූ මෙම වදන්වලින් ඇය මහත් සැනසීමක් ලබා තිබෙනවා. “දෙවි, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළු කොට නොසිතන්නේය.” (ගීතාවලිය 51:17) “අපේ ප්‍රේමණීය පියා වන යෙහෝවා අපේ හැඟීම් තේරුම්ගන්නා බව දැනගැනීමත් ලොකු සැනසිල්ලක්. විශේෂයෙන්ම කලකිරිලා ඉන්න වෙලාවලදී මම යාච්ඤාවෙන් දෙවිට ළං වෙද්දී ඔහු මාව ගොඩක් ශක්තිමත් කරලා තියෙනවා.”

මෙම ලිපියෙන් පෙනී යන පරිදි මානසික ස්වභාවයේ අක්‍රමිකතාවක් තිබෙන විට අසාමාන්‍ය අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. යාච්ඤාපූර්වකව දෙවි මත රඳා සිටීමෙන් හා නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් ඔවුන්ගේ තත්වය හොඳ අතට හැරුණු බව ෂෙරී හා ඉලේන් අද්දැක්කා. එහෙත් බයිපෝල අක්‍රමිකතාවෙන් හා මානසික අවපීඩනයෙන් පෙළෙන අයට උපකාර කරන්න පවුලේ සාමාජිකයන්ට හා හිතමිතුරන්ට හැක්කේ කෙසේද?

[පාදසටහන]

^ 8 ඡේ. පිබිදෙව්! විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ. ක්‍රිස්තියානීන් තමන් අනුගමනය කරන ප්‍රතිකාර ක්‍රමය බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි නොවන බව සහතික කරගත යුතුයි.

[26වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“උපකාර ලබාගත්තාට පස්සේ ඒ වේදනාකාරී හැඟීම් ක්‍රමක්‍රමයෙන් මගෙන් ඈත් වුණා. මට ලොකු සහනයක් දැනුණා!”—බ්‍රැන්ඩන්

[25වන පිටුවේ කොටුව]

ස්වාමිපුරුෂයෙකුගේ දෘෂ්ටිකෝණයෙන්

“ලූසියාට පුළුවන් කාරණා දෙස ඉතා ගැඹුරින් බලන්න. ඒ නිසා අසනීප වෙන්න කලින් ඇය බොහෝදෙනෙකුගේ ජීවිත කෙරෙහි යහපත් බලපෑමක් ඇති කර තිබුණා. දැන් වුණත් ඇය සන්සුන්ව සිටින අවස්ථාවලදී ඇයව බලන්න එන අයගේ සිත්ගන්නා දෙයක් වන්නේ ඇගේ ප්‍රේමණීය, මිත්‍රශීලී ස්වභාවයයි. නමුත් ලූසියාට එක් විටෙක දරාගත නොහැකි දොම්නස් හැඟීම් පහළ වන බවත් තවත් විටෙක උමතු ස්වභාවයක් හටගන්නා බවත් බොහෝදෙනෙක් දන්නේ නැහැ. ඇය බයිපෝල අක්‍රමිකතාවෙන් පීඩා විඳින නිසයි එම තත්වයට මුහුණ දෙන්නේ. දැන් අවුරුදු හතරක් පුරාම ඇය මේ රෝගය සමඟ පොරබදිනවා.

“උමතු ස්වභාවය පවතින විට ලූසියා සාමාන්‍යයෙන් රෑ එක, දෙක සහ සමහරවිට තුන විතර වෙනකම් අවදි වී සිටිනවා. ඒ වගේ වෙලාවට ඇගේ මනසට නිර්මාණාත්මක අදහස් ගලාගෙන එනවා. ඇය මොනවා කළත් වෙහෙසට පත් වෙන්නේ නැහැ. ඉතා සුළු දෙයකට පවා ඇය ප්‍රතිචාරය දක්වන්නේ ඉතා හැඟීම්බරවයි. හිතේ හැටියට මුදල් වියදම් කරනවා. ඉතා අනතුරුදායක දේවල් කරනවා. ඒ වෙලාවට ඇය සිතන්නේ ඇය අපරාජිත බවයි. ඇය සිතන්නේ ඇයට සදාචාරමය වශයෙන් හෝ ශාරීරික වශයෙන් හෝ වෙන කිසි යම්ආකාරයකින් හෝ අනතුරක් වෙන්නේ නැහැ කියායි. වගවිභාගයකින් තොරව දේවල් කිරීමට තිබෙන මේ නැඹුරුවාවට අමතරව සියදිවි හානි කරගැනීමේ හැඟීම්ද පහළ වෙන්න ඉඩ තිබෙනවා. උමතු ස්වභාවය පහ වුණ ගමන්ම මානසික අවපීඩනය යළි හිස ඔසවනවා. සාමාන්‍යයෙන් උමතු ස්වභාවය දරුණු වන තරමටම ඊළඟට ඇති වන අවපීඩන තත්වයත් දරුණු වෙනවා.

“මගේ ජීවිතය වෙනස් වී තිබෙන්නේ පුදුම විදිහටයි. ලූසියාට දැන් ප්‍රතිකාර ලබා දුන්නත්, අද අපිට කරන්න පුළුවන් දේ ඊයේ කළ දේට වඩා වෙනස් වෙන්න පුළුවන්. හෙට ඒ දේ කරන්න බැරි වෙන්නත් පුළුවන්. අපිට කරන්න පුළුවන් දේ, අපි මුහුණ දෙන තත්වයන්ට අනුව වෙනස් වෙනවා. මම ඉගෙනගත්තා ගොඩක් නම්‍යසුලු වෙන්න. ඇත්තටම මට මේ තරම් නම්‍යසුලු වෙන්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ.”—මාරියෝ.

[27වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඖෂධ නියම කරන විට

ඖෂධ ගන්නේ දුර්වල ආත්ම ශක්තියක් තිබෙන අයයි කියා ඇතමෙක් සිතනවා. එහෙත් මෙහෙම සිතා බලන්න. දියවැඩියා රෝගියෙකු විධිමත් සැලැස්මකට අනුව ප්‍රතිකාර ලබාගත යුතුමයි. සමහරවිට ඔහුට ඉන්සියුලින් විදගැනීමටද සිදු වෙන්න පුළුවන්. එහෙත් රෝගියාට දුර්වල ආත්ම ශක්තියක් තිබෙනවා කියා මින් අඟවනවාද? ඇත්තෙන්ම නැහැ. එය රෝගියාගේ ශරීරය තුළ තිබෙන පෝෂ්‍ය පදාර්ථ සමතුලිත කිරීමටත් එමගින් ඔහුට නිරෝගී දිවි පෙවෙතක් ලබා දීමටත් යොදාගැනෙන ක්‍රමයක් පමණයි.

මානසික අවපීඩනය හා බයිපෝල අක්‍රමිකතාව සඳහා ඖෂධ ලබාගන්නා විටද සිදු වන්නේ ඒ හා සමාන දෙයක්. තමන්ගේ රෝගී තත්වය තේරුම්ගැනීමට බොහෝදෙනෙකුට උපදේශන වැඩසටහන් මහත් රුකුලක් වී තිබුණත් මෙහිදී යම් අන්තරාවක්ද තිබෙනවා. ජෛව රසායනික අසමතුලිතතාවක් තිබෙන විට නිකම්ම තර්කානුකූල උපදෙස් මගින් රෝගී තත්වය සමනය කළ නොහැකියි. බයිපෝල රෝගියෙක් වන ස්ටීවන් මෙසේ විස්තර කරනවා. “මගේ වෛද්‍යවරිය ඒක මට උදාහරණයකින් පැහැදිලි කළා. පුද්ගලයෙකුට වාහන පදවන හැටි ඕන තරම් උගන්වන්න පුළුවන්. ඒත් ඔහුට සුක්කානමක් හෝ තිරිංගයක් නොමැති වාහනයක් දුන්නොත් ඒ ඉගෙනගත් එක දෙයකින්වත් ඔහුට ප්‍රයෝජනයක් නැහැ. මේ ආකාරයටම, මානසික අවපීඩනයෙන් පෙළෙන කෙනෙකුට ප්‍රඥාගෝචර උපදෙස් පමණක් දීම ඔහුට සුවයක් ලබා දෙන්නේ නැහැ. මුලින්ම ගත යුතු පියවර වන්නේ ඔහුගේ මොළයේ ඇති වී තිබෙන රසායනික අසමතුලිතතාව හරිගැස්වීමයි.”

[26වන පිටුවේ පින්තූරය]

අශුභවාදී හැඟීම්වලින් පෙළෙන බොහෝදෙනෙක් බයිබලය තුළින් සහනය ලබාගෙන තිබෙනවා