Skip to content

පටුනට යන්න

මට දක්ෂ කථිකයෙකු වෙන්න පුළුවන් කොහොමද?

මට දක්ෂ කථිකයෙකු වෙන්න පුළුවන් කොහොමද?

යෞවන අය අසති . . .

මට දක්ෂ කථිකයෙකු වෙන්න පුළුවන් කොහොමද?

“මගේ අඩු පාඩු සහ බයාදුකම හැම කෙනෙක්ම බලාගෙන ඉන්නවා කියලා මට හිතුණා. ඒ නිසා මගේ කතාවට අවධානය දෙන්න මට බැරිව ගියා. එයාලා හිත ඇතුළෙන් මට හිනා වෙනවා ඇති කියලා මට හිතුණා.”—සැන්ඩි *

පාසැලේ ශ්‍රවණාගාරය නරඹන්නන්ගෙන් පිරිලා. ඔබට ඇහෙනවා ශබ්දවාහිනි තුළින් ඔබේ නම කියැවෙනවා. හැමෝගේම ඇස් යොමු වෙලා තියෙන්නේ ඔබ දෙසටයි. කථික පුවරුව ළඟට යන්න තියෙන්නේ අඩි දෙක තුනයි, ඒත් එය සැතපුම් ගණනාවක දුරක් වගෙයි ඔබට දැනෙන්නේ. ඔබේ අල්ලට දහඩිය දානවා. කකුල් පණ නැහැ වගෙයි. උගුර කට වේළිලා. දිව ගිලෙන්න වගෙයි. ඔබේ කම්මුල දිගේ රූරා වැටෙන ලොකු දහඩිය බිංදුව පිහදගන්නත් ඉස්සරවෙලා එය පහළට වැටෙනවා. වස ලජ්ජාවක්! ඔබට වෙඩි තැබීමට බලා සිටින සතුරු හමුදාවක් ඉදිරියෙහි නෙවෙයි ඔබ සිටින්නේ. ඒත් ඔබට දැනෙන්නේ එලෙසයි.

දැන් අපි යථාර්ථයට මුහුණ දෙමු. එනම්, අප අතරින් වැඩිදෙනෙක් අන් අය ඉදිරියෙහි කතා කිරීමට බියයි. (යෙරෙමියා 1:5, 6) සමහරක් අය ප්‍රසිද්ධියේ කතා කිරීමට තිබෙන බිය ශ්‍රේණිගත කර තිබෙන්නේ මරණයට තිබෙන බියට වඩා ඉහළින්! මේ ගැන ඔබට පෞද්ගලික අදහස් තිබෙන්න පුළුවන්. නමුත් ප්‍රසිද්ධියේ කතා කිරීම ගැන ඔබ උනන්දු විය යුතු සාධාරණ හේතු තිබෙනවා. එම හේතු මොනවාද කියාත් ඔබට දක්ෂ කථිකයෙක් වෙන්න පුළුවන් කොහොමද කියාත් සලකා බලමු.

කතා කිරීමට ඇරයුමක් ලැබෙන විට . . .

“ප්‍රසිද්ධියේ කතා කිරීමේ කුසලතාව හැමෝටම අවශ්‍ය දෙයක්.” එසේ ලියා තිබුණේ ප්‍රසිද්ධියේ කතා කිරීම පිළිබඳ පාඨමාලාවක් ගැන කියැවෙන දැන්වීමක. කවදා හෝ දවසක සභාවක් ඉදිරියෙහි ඔබට කතා කරන්න සිදු වෙයි. ඒ වගේම බොහෝ පාසැල්වල ප්‍රසිද්ධියේ කතා කිරීම දියුණු කිරීමට නොයෙක් ක්‍රම යොදාගැනෙනවා. ටැටියානා නමැති යෞවනිය තම අතීත සිදුවීම් මතකයට නඟනවා. “හුඟාක් අවස්ථාවල පංතියේ ළමයි ඉදිරිපිට මට කතා කරන්න සිදු වුණා.” වාචික වාර්තාවක්, යම් පොතක් පිළිබඳ විවරණයක්, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය යොදාගෙන කරන විග්‍රහයන් සහ විවාද තරඟ වැනි ක්‍රියාකාරකම් සඳහා කතා කිරීමට ශිෂ්‍යයන් බොහෝවිට සූදානමින් සිටිය යුතුයි.

ඔබ පාසැල් දිවියෙන් සමුගෙන රැකියාවට ගිය පසු එහිදී සෙසු සේවකයන් කණ්ඩායමකට ඉගැන්වීමට, සේවා දායකයෙකුට යම් යෝජිත සැලැස්මක් ගැන කියා දීමට නැතහොත් මූල්‍ය වාර්තාවක් පිළිබඳව විධායක කමිටුවකට පැහැදිලි කිරීමට ඔබට සිදු විය හැකියි. ඇත්තෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ, කළමණාකරණයේ, මහජන සම්බන්ධතා අංශයේ සහ අලෙවි අංශයේ රැකියාවන් ඇතුළු බොහෝ රැකියාවන් සඳහා කථික හැකියාවන් ඉතා ප්‍රයෝජනදායකයි.

ඔබ කම්කරුවෙකු ලෙස හෝ ලිපිකරුවෙකු ලෙස හෝ රැකියාවක් තෝරාගන්නවා නම් මේ සුදුසුකම අවශ්‍ය නැද්ද? ඇත්තෙන්ම ඔබ තෝරාගන්න රැකියාව කුමක් වුවත් ඔබට රැකියාව ලැබෙනවාද නැද්ද කියා තීරණය වන්නේ ඔබ සම්මුඛ පරීක්ෂණයේදී කොතරම් හොඳින් කතා කරනවාද යන්න මතයි. ඒ වගේම රැකියාව කරගෙන යෑමේදී පවා හොඳින් යම් දේවල් ප්‍රකාශ කිරීමට හැකියාවක් ඔබට තිබීම ඔබට වාසියක් විය හැකියි. තම පාසැල් අධ්‍යාපනයෙන් පසු අවන්හල් සේවිකාවක් ලෙස අවුරුදු 3ක් සේවය කරන කොරීන් මෙවැන්නක් පවසනවා. “ඔබට හොඳට කතා කරන්න හැකියාව තිබෙනවා නම්, ඒ වගේම ඔබ මේරූ වැඩිහිටියෙකු වගේ පෙනෙනවා නම් සහ වගකීම් උසුලන්න හැකියාව තිබෙනවා නම් ඔබට හොඳ රැකියාවක්, හොඳ වැටුපක් හෝ අඩුම තරමේ වැඩි සැලකිල්ලක් හරි ලැබෙයි.”

මීට අමතරව තවත් දෙයක් තිබෙනවා. ක්‍රිස්තියානි තරුණයන්ට තම නමස්කාරයේ අංගයක් ලෙස බොහෝ අවස්ථාවල අන් අය ඉදිරියෙහි කතා කිරීමට සිදු වෙනවා. (හෙබ්‍රෙව් 10:23) “පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමට ඉගෙනගැනීම වැදගත් දෙයක්. මන්දයත් දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ භාග්‍යය අපට ලැබී තිබෙනවා.” එසේ පැවසුවේ ටානිශා. (මතෙව් 24:14; 28:19, 20) තරුණ ක්‍රිස්තියානීන්ට ඔවුන් “ඇසූ දුටු දේ ගැන” ඔවුන්ගේ සභාවේදී සහ ක්ෂේත්‍ර සේවයේදී “කතා කිරීම නතර කරන්න” බැහැ.—ක්‍රියා 4:20NW; හෙබ්‍රෙව් 13:15.

හොඳ කථික හැකියාවන් ඉගෙනගැනීම, ඔබට විවිධ පැතිවලින් ප්‍රයෝජනවත් වෙයි. එසේ වුවත්, තවමත් සභාවක් ඉදිරියෙහි කතා කිරීමේ සිතුවිල්ල හිසරදයක් ලෙසට හැඟිය හැකියි. ඔබේ බයාදු ගතිය මඟහරවා ගැනීමට පිළියමක් තිබේද? පිළිතුර, තිබෙනවා යන්නයි.

ඔබ තුළ ඇති බිය ජයගැනීම

“සාර්ථක වීමට අතිදක්ෂ හෝ පරිපූර්ණ විය යුතු නැහැ. ඔබේ ශ්‍රාවකයන්ට වටිනා දෙයක් ලබා දීම තමයි ප්‍රසිද්ධියේ කතා කිරීමේ අරමුණ වන්නේ.” එසේ පැවසුවේ මානසික සෞඛ්‍ය විශේෂඥයෙක් සහ දක්ෂ කථිකයෙක් වන වෛද්‍ය මෝටන් සී. ඔර්මන්. වෙනත් වචනවලින් කියනවා නම් පවසන්න යන පණිවිඩයට අවධානය දෙනවා මිසක ඔබ ගැන හෝ ඔබේ කනස්සලු ගතිය ගැන අවධානය යොමු කරන්න එපා. පාවුල් දක්ෂ කථිකයෙක් නෙවෙයි කියා පළමු ශතවර්ෂයේ සිටි සමහරෙක් සිතුවා. නමුත් සෑමවිටම ඔහුට කීමට වැදගත් යමක් තිබුණ නිසා ඔහුට ඇහුම් කන් දෙන අයට බලපෑමක් ඇති කිරීමට හැකියාවක් තිබූ කෙනෙකු ලෙසයි ඔහුව සැලකුවේ. (2 කොරින්ති 11:6) ඒ ආකාරයට ඔබ ඉදිරිපත් කරන දේ ගැන ඔබ තුළ හොඳ විශ්වාසයක් තිබෙන විට ඔබේ බයාදු ගතිය විගස නැති වී යාවි.

පුහුණු කරන්නෙක් සහ ප්‍රමුඛ පෙළේ කථිකයෙක් වන රොන් සැතොෆ් මෙම යෝජනාව ඉදිරිපත් කරනවා. “ඔබේ කතාව රඟපෑමක් කියා සිතන්න එපා. එය සාමාන්‍ය සංවාදයක් හැටියට සලකන්න. සභාවට අදහස් දක්වද්දී මුළු කණ්ඩායම දෙස නොව, සාමාන්‍ය කතා බහ කරන විටදී මෙන් එක් එක් කෙනා සමඟ සංවාදශීලී වන්නාක් මෙන් කතා කරන්න. ඔබේ සභාව කෙරෙහි අව්‍යාජ ‘පෞද්ගලික සැලකිල්ලක්’ දක්වා ඔබ සාමාන්‍යයෙන් කතා කරන ආකාරයට කතා කරන්න. (ෆිලිප්පි 2:3, 4NW) ඔබේ එළඹීම සංවාදශීලී වන තරමට ඔබට දැනෙන පහසුව වැඩි වෙයි.

කනස්සලු ගතියට හේතු වන තවත් ප්‍රධාන හේතුවක් නම් ලජ්ජාවට පත්වීමට හෝ සභාවේ අයගේ විවේචනයට ලක්වීමට තිබෙන බියයි. සභාවේ සිටින අය නැඹුරු වී සිටින්නේ හැම ඉදිරිපත් කිරීමක්ම සුබවාදී ආකාරයකින් බැලීමටයි කියා දක්ෂ කථිකයෙක් සහ කථික හැකියාවන් පුහුණු කරන්නෙක් වන ලෙනි ලස්කොවිස්ක් අපට සිහිගන්වනවා. “සභාවේ අයට අවශ්‍ය වන්නේ ඔබ සාර්ථක වනවා දකින්න මිසක අසාර්ථක වනවා දකින්න නෙවෙයි” කියා ඔහු තවදුරටත් සඳහන් කරනවා. ඒ නිසා ධනාත්මක ආකල්පයකින් සිතන්න. පුළුවන් නම් සභාවේ අය පැමිණෙන විටම ඔවුන්ට ආචාර කරන්න. ඔවුන්ව මිතුරන් හැටියට දකින්න. ඔවුන් සතුරන් කියා සිතන්න එපා.

මතක තබාගන්න, බයාදුකම නරකම දෙයක් නෙවෙයි. “කවුරුත් පිළිගත් දෙයට පටහැනිව” එක් විශේෂඥයෙක් කියන්නේ “බයාදුකම ඔබටත් ඔබේ ඉදිරිපත් කිරීමටත් ප්‍රයෝජනවත්” කියායි. ඇයි එසේ පවසන්නේ? මන්දයත් යම් තරමක බයාදුකමක් විනීතකම පිළිබිඹු කරනවා. එය තමන් ගැන ඕනෑවට වඩා විශ්වාසයක් තබා නොගැනීමට උපකාරවත් වෙනවා. (හිතෝපදේශ 11:2) බොහෝ මලල ක්‍රීඩකයන්ට සංගීතඥයන්ට නළුවන්ට හැඟෙන්නේ යම් තරමක බයාදුකමක් හොඳින් තම කාර්යයෙහි නියැලීමට දායක වන බවයි. මෙය කථිකයන් සම්බන්ධයෙන්ද සත්‍යයක් වෙයි.

සාර්ථක වීමට යෝජනා

මතු දැක්වෙන යෝජනා සහ අනෙකුත් අදහස් අදාළ කරගැනීමෙන් තරුණ ක්‍රිස්තියානීන් දැනටමත් යම් දුරකට පාසැලේ, රැකියාවේ සහ ඔවුන්ගේ සභාවල කථිකයන් ලෙස සාර්ථකත්වයක් සහ අද්දැකීම් ලබාගෙන තිබෙනවා. ඔවුන්ගේ යෝජනා කිහිපයක් ඔබටත් උපකාරවත් වෙයිද කියා බලන්න.

ජේඩ්: “කියන්න ඕනේ දේ ඔබේම වචනයෙන් කියන්න. ඔබ කියන්න යන දෙයෙහි තිබෙන ප්‍රයෝජන ඔබම ඒත්තුගන්න. ඔබට දැනෙනවා නම් ඔබේ කතාව වැදගත් කියලා සභාවටත් එසේම දැනේවි.”

රොෂෙල්: “මගේ කතාව විඩියෝ පටියක් මගින් පටිගත කිරීම මට උපකාරවත් වුණා. එතකොට දුර්වලකම් දැකගන්න පුළුවන්. ඒක ප්‍රයෝජනවත්. ඒ වගේම තවත් දෙයක් තමයි ආස කරන මාතෘකාවක් තෝරගන්න ඕනෑ. එතකොට ඔබේ කතාව තුළිනුත් එය දැකගන්න පුළුවන් වේවි.”

මාග්‍රට්: “කතාවම පිටපත් කරගන්නේ නැතුව කටුසටහනක් ලියාගෙන කතා කරනකොට ස්වභාවික ගතියකින් සහ සාකච්ඡාමය ස්වරූපයකින් මට කතා කරන්න පුළුවන්. ඊට අමතරව කතා කරන්න පෙර ලොකු හුස්මක් ගැනීම මාව සන්සුන් තත්වයකට පත් කරනවා.”

කොරීන්: “වැරදි සිදු වෙනකොට සිනාවකින් ඒවා භාරගන්න. හැම කෙනෙක් අතින්ම වැරදි සිදු වෙනවා. ඔබේ උපරිමය විතරයි කරන්න ඕනේ.”

ක්‍රීඩාව, කලාව, සංගීතය වැනි ඕනෑම ක්ෂේත්‍රයකින් දස්කම් පෙන්වීමට පළපුරුද්ද සහ මනා පුහුණුව වෙනුවට වෙනත් විකල්පයක් නැහැ. ඔබේ කතාව කලින් සූදානම් වීමෙන් ඔබට පුහුණු වීමට ප්‍රමාණවත් කාලයක් තිබෙනවා යන්න ටැටියානාගේ යෝජනාවක්. උත්සාහය අත්හරින්න එපා. “මම නිතර නිතර අනික් අය ඉදිරියෙහි කතා කරනකොට, මගේ බයාදු ගතියත් අඩු වෙනවා” යයි ටැටියානා පවසනවා. තව එක උපකාරයක් තිබෙනවා. විශේෂයෙන් සැබෑ නමස්කාරය වෙනුවෙන් කතා කිරීමට ඔබට ඇරයුම් ලැබෙන විට මෙම උපකාරය අමතක කරන්න එපා.

ශ්‍රේෂ්ඨතම අදහස් ප්‍රකාශ කරන්නාගෙන් උපකාරය

ඊශ්‍රායෙලයේ අනාගත රජ වීමට සිටි දාවිත්, තරුණ වියේදීම ‘කතාවෙහි දක්ෂයෙක්’ ලෙස නමක් දිනාගෙන සිටියා. (1 සාමුවෙල් 16:18) ඒ කොහොමද? පෙනෙන විදිහට ඔහු තරුණ අවධියේදී තම බැටළු රැළ රැකබලා ගනිමින් එළිමහන් පිට්ටනිවල ගත කළ පැය ගණන තුළ ඔහු ශ්‍රේෂ්ඨතම අදහස් ප්‍රකාශ කරන තැනැත්තා වන යෙහෝවා දෙවි සමඟ කුලුපග සබඳතාවක් ගොඩනඟා ගත්තා. (ගීතාවලිය 65:2) මෙම සම්බන්ධතාව නිසා ඔහුට පීඩාකාරී තත්වයන්වලදී පවා පැහැදිලිව, බලවත් සහ ඒත්තුගන්වන ආකාරයකින් කතා කිරීමට හැකි වුණා.—1 සාමුවෙල් 17:34-37, 45-47.

දෙවි දාවිත්ට උපකාර කළ ආකාරයට ඔබේ නමස්කාරයේදී බලපෑමෙන් යුක්තව කතා කිරීමට “උගතුන්ගේ දිව” ඔබටත් ලබා දෙන බවට නිසැක විය හැකියි. (යෙසායා 50:4; මතෙව් 10:18-20) දැන් ඔබේ කථික හැකියාවන් දියුණු කිරීමට තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමෙන් ඔබටත් දක්ෂ කථිකයෙක් විය හැකියි!

[පාදසටහන]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

[18වන පිටුවේ කොටුව]

කථිකයන් ලෙස පුහුණු වෙන්න

ලොව වටා තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල බයිබලය මත පදනම් වූ උපදෙස් සැපයීමේ වැඩසටහනක් සතිපතා පවත්වනවා. එය හඳුන්වන්නේ දිව්‍යාණ්ඩු සේවා පාසැල යනුවෙන්. පාසැලේ තිබෙන සාකච්ඡාවන්ට, සභාව ඉදිරියෙහි දෙනු ලබන ඉදිරිපත් කිරීම්වලට ශිෂ්‍යයන් සහභාගි වෙනවා. එමෙන්ම දියුණු වීම සඳහා පෞද්ගලික උපකාරයත් ඒ අයට ලැබෙනවා. මෙම වැඩසටහන සාර්ථකද? මේ ගැන 19 හැවිරිදි ක්‍රිස් පවසන දේට අවධානය දෙන්න.

“මම දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුල් වෙන්න කලින් සෙනඟ ඉස්සරහ ඉන්නකොට මට අපහසුතාවක් දැනුණා. සභාවක් ඉදිරියෙහි මම කතාවක් දෙයි කියලා කවමදාකවත් හිතුවේ නැහැ. මම වේදිකාවට ගිහිල්ලා මුළු කතාවේදීම ගොත ගැහැව්වත්, මම ගත් වෑයම ඒ අය අගය කරනවා කියා පවසමින් සභාවේ කිහිපදෙනෙක් මාව දිරිගැන්නුවා. ඉන්පස්සේ මම දුන් හැම කතාවක් අවසානයේදීම එයාලා මට ප්‍රශංසා කළා. ඒක මට ලොකු ශක්තියක් වුණා.”

අවුරුදු 5ක් එම පාසැලේ ඉගෙනුම ලබා තිබෙන ක්‍රිස් පළමු වරට විනාඩි 45කින් යුත් කතාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා. ඔබත් දිව්‍යාණ්ඩු සේවා පාසැල නමැති මෙම සැපයුමෙන් ප්‍රයෝජන ගන්නවාද?

[16, 17වන පිටුවේ පින්තූර]

දක්ෂ කථිකයෙකු වීම ජීවිතයේ සෑම අංගයකදීම උපකාරයක් විය හැකියි