Skip to content

පටුනට යන්න

මානසික ස්වභාවයේ අක්‍රමිකතාවකින් පෙළෙන විට

මානසික ස්වභාවයේ අක්‍රමිකතාවකින් පෙළෙන විට

මානසික ස්වභාවයේ අක්‍රමිකතාවකින් පෙළෙන විට

මානසික ස්වභාවයේ අක්‍රමිකතා කොයි තරම් සුලබද කියනවා නම් එය ඇත්තෙන්ම බියගන්වනසුලුයි. උදාහරණයකට, ලෝ වටා මිලියන 330කට අධික පිරිසක් දරුණු මානසික අවපීඩනයෙන් පෙළෙන බව ගණනය කිරීම්වලින් හෙළි වී තිබෙනවා. එවැනි රෝගීන් තුළ දරාගත නොහැකි දුක්මුසු හැඟීම් මෙන්ම දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම්වලින් ප්‍රීතියක් නොලැබීම වැනි රෝග ලක්ෂණ දැකගන්නට පුළුවන්. තව අවුරුදු 20කින්, හෘදය හා රුධිරවාහිනි ආශ්‍රිත රෝගවලට (cardiovascular disease) දෙවනුව වඩාත්ම සුලබව පවතින රෝගය වනු ඇත්තේ මානසික අවපීඩනයයි කියා ගණනය කර තිබෙනවා. එසේනම්, එය සෙම්ප්‍රතිශ්‍යාව තරම්ම සුලබව දක්නට ලැබෙන මානසික ආබාධයක් වශයෙන් හඳුන්වනු ලැබීම පුදුමයට කාරණයක් නොවෙයි.

පෙරට වඩා මෑත වසරවලදී බයිපෝල අක්‍රමිකතාව මහජනයාගේ අවධානයට ලක් වී තිබෙනවා. මෙම රෝගයේ එක් ලක්ෂණයක් වන්නේ මානසික අවපීඩනයේ සිට උමතුව දක්වා මානසික ස්වභාවය ක්ෂණිකව වෙනස් වීමයි. අමෙරිකානු වෛද්‍ය ආයතනය මගින් මෑතකදී ප්‍රකාශයට පත් කරනු ලැබූ එක්තරා පොතක මෙසේ සඳහන් වෙනවා. “අවපීඩන තත්වයේදී සිය දිවි හානි කරගැනීමේ සිතුවිල්ල පවා ඇති වී එය ඔබේ සිතේ දෝංකාර දෙන්න පුළුවන්. උමතු ස්වභාවය ඇති විටදී හොඳ විනිශ්චයන් කිරීමට පවා නොහැකි වීමට ඉඩ තිබෙනවා. ඔබේ ක්‍රියාවලින් ඇති විය හැකි හානිකර බලපෑම් ඔබට නොපෙනී යන්නත් පුළුවන්.”

එක්සත් ජනපදයේ ජනගහනයෙන් සියයට 2ක් බයිපෝල අක්‍රමිකතාවෙන් පීඩා විඳිනවායයි විශ්වාස කෙරේ. ඉන් අදහස් වන්නේ එම රටේ පමණක් මිලියන ගණනක් එම රෝගී තත්වයට මුහුණ දෙන බවයි. කොහොමනමුත්, මානසික ස්වභාවයේ අක්‍රමිකතාවකින් පෙළෙන කෙනෙකු අද්දකින චිත්ත පීඩාව සංඛ්‍යා ලේඛනවලින් හෙළි වන්නේ නැහැ.

දරාගත නොහැකි දුක්මුසු හැඟීම් පහළ වන මානසික අවපීඩනය

අපෙන් බොහෝදෙනෙකු යම් දවසක දුක්මුසු හැඟීම්වලින් යටපත් වී තිබෙනවා. එහෙත් පැය කිහිපයකින් හෝ දවස් දෙක තුනකින් පසුව එම හැඟීම්වලින් අපි ගොඩ එනවා. දරුණු මානසික අවපීඩනයේදී තත්වය ඊට වඩා බරපතළයි. එසේ පවසන්නේ ඇයි? වෛද්‍ය මිච් ගෝලන්ට් මෙසේ පැහැදිලි කරනවා. “මානසික අවපීඩනය නොමැති අය දන්නවා ඔවුන්ගේ මානසික ස්වභාවයේ යම් වෙනසක් ඇති වුණත් එය තාවකාලිකයි කියා. එහෙත් මානසික අවපීඩනයෙන් පෙළෙන කෙනෙකුගේ මානසික ස්වභාවයේ කොයි තරම් උස් පහත් වීම් ඇති වෙනවාද කිව්වොත්, ඔහුගේ තත්වය හරියට වංගු සහිත මඟක් ඔස්සේ පාලනයකින් තොරව කඩාගෙන බිඳගෙන යන දුම්රියක සිර වී සිටින පුද්ගලයෙකුගේ තත්වය වගෙයි. දුම්රියෙන් පැනගන්නේ කොහොමද, කොහේදීද සහ ඇත්තෙන්ම එසේ කරන්න පුළුවන්ද යන්න පිළිබඳව ඔහුට පැහැදිලි අවබෝධයක් නැහැ.”

දරුණු මානසික අවපීඩනයේ විවිධ ප්‍රභේද තිබෙනවා. ඇතමෙකු එක්තරා ඍතුවලදී පමණක් මතු වන SAD (seasonal affective disorder) වශයෙන් හැඳින්වෙන අක්‍රමිකතාවකින් පෙළෙනවා. මෙය අවුරුද්දේ එක්තරා කාලයකදී මතු වන අතර එය විශේෂයෙන්ම දක්නට ලැබෙන්නේ ශීත ඍතුවේදීයි. මහජන වෛද්‍ය සමිතිය මගින් ප්‍රකාශයට පත් කරන ලද පොතක සඳහන් වන පරිදි, “උත්තර ධෘවයට සමීපව ජීවත් වන විටදී සහ අඳුරු කාලගුණයක් පවතින විටදී තමන්ගේ අවපීඩන තත්වය තවත් උග්‍ර වන බව SADවලින් පෙළෙන අය වාර්තා කර තිබෙනවා. ශීත ඍතුවේදී පවතින අඳුරු දවස් හා SAD අතර ප්‍රබල සබඳතාවක් තිබුණද, ඇතැම් අවස්ථාවලදී ගොඩනැඟිල්ලක් ඇතුළේ අඳුරු කුටියක වැඩ කරන විටදී, අසාමාන්‍ය අඳුරු කාලගුණයක් පවතින විටදී හා ඇස් පෙනීමේ දුර්වලතා ඇති විටදී පවා එය මතු විය හැකියි.”

දරුණු මානසික අවපීඩනයට හේතුපාදක වන්නේ කුමක්ද? එයට පැහැදිලි පිළිතුරක් දිය නොහැකියි. ප්‍රවේණි සාධක ඇතැම් අයට බලපාන බව පෙනෙන්න තිබෙනවා. එහෙත් බොහෝදුරට කෙනෙකු එම තත්වයට පත්වීමට ප්‍රධානතම හේතුව වන්නේ ඔහුගේ ජීවිත අද්දැකීම්. මානසික අවපීඩනය ඇති බවට නිර්ණය කර ඇති පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් දෙගුණයක් සිටින බව හෙළි වී තිබෙනවා. * එහෙත් පුරුෂයන්ට එය බලපාන්නේ නැති බව මින් අදහස් නොකෙරේ. ඇත්තෙන්ම, පුරුෂයන්ගෙන් සියයට 5ත් 12ත් අතර සංඛ්‍යාවක් ජීවිතයේ යම් අවදියකදී හෝ දරුණු මානසික අවපීඩනය අද්දකින බවට තක්සේරු කර තිබෙනවා.

දරුණු මානසික අවපීඩනයෙන් පහර ලබන විට එය මුළු සර්වාංගයටම මෙන්ම ජීවිතයේ සෑම අංගයකටම පාහේ දැඩි සේ බලපානවා. මානසික අවපීඩනයෙන් පෙළෙන ෂීලා එය විස්තර කරන්නේ මෙලෙසයි. “එය කොයි තරම් කම්පිත කරවන අද්දැකීමක්ද කිව්වොත් එය හරියට කෙනෙක් ඔබේ අතක් පයක් කැඩෙන තරම් දරුණු විදිහට දෙන පහර දීමක් හා සමානයි. එය ඔබේ ආත්ම විශ්වාසය හා ආත්ම ගෞරවය කෙළෙසා දමා, නිරවුල්ව සිතීමේ හා තීරණ ගැනීමේ හැකියාව ක්‍රමක්‍රමයෙන් හීන කරවනවා. ඊටපස්සේ, දරුණුතම අවදියේදී ඔබේ විඳදරාගැනීමේ ශක්තිය පරීක්ෂා කරන්නාක් මෙන් එය දැඩි පීඩනයක් එල්ල කරමින් දිගින් දිගටම පහර දෙනවා.”

ඇතැම්විට, සංවේදීව සවන් දෙන කෙනෙකුට හැඟීම් නොවළහා ප්‍රකාශ කිරීමෙන් මානසිකව පීඩා විඳින කෙනෙකුට ලොකු සහනයක් ලබාගන්න පුළුවන්. (යෝබ් 10:1) කොහොමවුණත්, ජෛව රසායනික අසමතුලිතතාවක් තිබෙන විටදී නම් ශුභවාදී ආකල්පයක් පවත්වාගැනීමෙන් පමණක්ම මානසික අවපීඩනය තුරන් කළ නොහැකි බව තේරුම්ගත යුතුයි. ඇත්තෙන්ම කියනවා නම්, එවැනි අවස්ථාවකදී රෝගියා තුළ ඉස්මතු වන දුක්මුසු හැඟීම් ඔහුට කොහෙත්ම පාලනය කළ නොහැකියි. ඒ වගේම, පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් තරම්ම රෝගියාද තම ආබාධය ගැන ව්‍යාකූලත්වයට පත් වී සිටිනවා ඇති.

පෝලා * නමැති ක්‍රිස්තියානි කාන්තාවගේ අද්දැකීම වෙත මොහොතකට අවධානය යොමු කරමු. ඇය මානසික අවපීඩනයෙන් පෙළෙන බව නිර්ණය කිරීමට පෙර, ඇය කලින් කලට ප්‍රබල දුක්බර හැඟීම්වලින් පීඩා වින්දා. ඇත්තෙන්ම, එම හැඟීම් ඇයව දුබල කරවන තරමටම දරුණු වුණා. “සමහර දවස්වලදී ක්‍රිස්තියානි රැස්වීම් ඉවර වුණ ගමන්ම මම එළියට දුවගෙන ගිහින් මගේ වාහනයට නැඟලා කිසිම හේතුවක් නැතුව අඬලා තියෙනවා. මට හැම වෙලේම හිතේ දරාගන්න බැරි වේදනාවක් හා පාළුවක් දැනුණා. මං ගැන සැලකිලිමත් වන මිතුරන් මාව වට කරගෙන ඉන්න බව මට වැටහුණේ නැහැ.”

එලන් ඒ හා සමාන අද්දැකීමකට මුහුණ දුන්නා. මානසික අවපීඩනයෙන් පීඩා විඳීම නිසා රෝහල්ගතව සිටීමටද ඇයට සිදු වුණා. “මට පුත්තු දෙන්නෙකුත් හරිම ප්‍රේමණීය ලේලිලා දෙන්නෙකුත් හොඳ ස්වාමිපුරුෂයෙකුත් ඉන්නවා. මේ හැමෝම මට ගොඩක් ආදරෙයි කියලා මම දන්නවා” කියා ඇය විස්තර කරනවා. ඇය හැම අතින්ම යහපත් ජීවිතයක් ගත කරන බවටත් ඇගේ පවුලේ සාමාජිකයන් ඇයව ගොඩක් අගය කරන බවටත් තේරුම්ගන්න එලන්ට ඕන තරම් සාක්ෂි තිබෙනවා. එහෙත් මානසික අවපීඩනය සමඟ පොරබදින විට රෝගියා දුක්මුසු හැඟීම්වලින් මුළුමනින්ම යටපත් වෙනවා. එම හැඟීම්වලට කිසිම සාධාරණ පදනමක් නොතිබුණද එම හැඟීම් ඇතිවීම වළක්වාගත නොහැකියි.

නොසලකාහැරිය නොහැකි තවත් පැත්තක් තිබෙනවා. යමෙක් මානසික අවපීඩනයෙන් පෙළෙන විට එය ඔහුගේ පවුලේ සියලුමදෙනාටත් දැඩි සේ බලපෑ හැකියි. “ඔබ ආදරේ කරන කෙනෙකු මානසික අවපීඩනයෙන් පීඩා විඳින විට ඔබට නිතරම අස්ථිරබවක් දැනෙන්න පුළුවන්. මොකද ඔහු එම අවපීඩන කාල පරිච්ඡේදයෙන් මිදෙන්නේ කවදාද කියාවත් නැවත වතාවක් එවන් තත්වයකට පත් වෙයිද කියාවත් ඔබට හරියටම කිව නොහැකි නිසයි. ඔබ කලින් ගත කළ සාමාන්‍ය ජීවිත රටාව දැන් මුළුමනින්ම වෙනස් වෙලා. නැවත කවදාවත් ජීවිතය සාමාන්‍ය තත්වයට පත් නොවෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා යමක් අහිමි වී ඇතැයි යන හැඟීම දැඩි සේ ඔබට දැනිය හැකියි. සමහරවිට ශෝකය, කෝපය වැනි හැඟීම් පවා පහළ වෙන්න පුළුවන්.”

බොහෝවිට දෙමව්පියන් මානසික අවපීඩනයෙන් පෙළෙන විට එය දරුවන්ටද දැනෙනවා. “මානසික අවපීඩනයෙන් පෙළෙන මවකගේ මානසික ස්වභාවයේ ඇති වන වෙනස්කම්වලට ඇගේ දරුවා ඉතා සංවේදී වෙනවා. ඉතා සියුම් වෙනස්කම් නිරීක්ෂණය කිරීමට පවා දරුවා ඉගෙනගන්නවා” කියා වෛද්‍ය ගෝලන්ට් ලියනවා. වෛද්‍ය කැරල් වොට්කින්ස්ගේ අදහසට අනුව, මානසික අවපීඩනයෙන් පෙළෙන දෙමව්පියන් සිටින දරුවන්ට “හැසිරීම් රටාවේ අක්‍රමිකතාවන්, ඉගෙනගැනීමේ අපහසුතා හා ආශ්‍රිතයන් සමඟ ගැටලු ඇතිවීමට තිබෙන ඉඩ කඩ වැඩියි. ඔවුන්ද මානසික අවපීඩනයට ගොදුරු වීමට ඇති ඉඩ කඩද වැඩියි.”

නිරතුරුවම වෙනස් වන බයිපෝල අක්‍රමිකතාව

ඇත්තෙන්ම, දරුණු මානසික අවපීඩනය ඇතුව ජීවත් වීම පහසු දෙයක් නොවෙයි. එහෙත් ඒ සමඟම උමතු ස්වභාවය පහළ වන විට එය ඊටත් වඩා අභියෝගයක්. මෙම තත්වය හඳුන්වන්නේ බයිපෝල අක්‍රමිකතාව ලෙසයි. * “බයිපෝල අක්‍රමිකතාව පිළිබඳව ස්ථිර විය හැකි එකම දේ වන්නේ එයට නිරතුරුවම වෙනස් වනසුලු ස්වභාවයක් තිබීමයි.” එසේ පැවසුවේ එම ආබාධයෙන් පීඩා විඳින ලූසියායි. එක්තරා පුවත්පතක (The Harvard Mental Health Letter) සඳහන් වන පරිදි බයිපෝල අක්‍රමිකතාව ඇති අයට උමතු ස්වභාවය පහළ වන විට “අවසරයක් නොමැතිව අයිති නැති ස්ථානවලට කඩා වැදීමට හා අන්‍යයන්ව පාලනය කිරීමට ඔවුන් තුළ දැඩි පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. ඇත්තෙන්ම එය අන් අයට පීඩාකාරී අද්දැකීමක් විය හැකියි. ඒ වගේම, විනාශකාරී, කලබලකාරී හැසිරීම සමඟින් ඔවුන්ට ඇති වන අසාමාන්‍ය ප්‍රීති ප්‍රමෝදයේ හැඟීම් හිටි හැටියේම නුරුස්සන හෝ කෝපාවිෂ්ට ස්වභාවයක් දක්වාද පෙරළිය හැකියි.”

උමතුව සමඟ ඇති වන අධික්‍රියාශීලී, දඟකාර ස්වභාවය පිළිබඳව ඇය ලද අද්දැකීම් ලෙනෝ විස්තර කරන්නේ මෙසේයි. “මට පුදුම ශක්තියක් තිබුණා. ගොඩක් අය මට කිව්වේ මම සුපිරි කාන්තාවක් වගේ කියලයි. ‘මටත් ඔයා වගේ වෙන්න පුළුවන් නම්’ කියලා සමහර අය මට කියලා තියෙනවා. මට හැම වෙලේම දැනුණේ මට ඕනෑම දෙයක් කරන්න ශක්තිය තියෙනවා කියලයි. මම නිතරම ව්‍යායාම් කෙරුවා. මට වැඩිය නින්ද ගියේ නැහැ. රෑට නිදාගත්තේ පැය දෙකක් තුනක් විතරයි. ඒත් උදේ නැඟිටිද්දී මගේ ශක්තිය හීන වෙලා ගිහින් තිබුණේ නැහැ.”

එහෙත් කාලයක් ගෙවුණු පසු ලෙනෝගේ ප්‍රීති ප්‍රමෝදය නැති වී ගොස් ඇය දුක්මුසු හැඟීම් සමුදායකින් යටපත් වෙන්න පටන්ගත්තා. “ප්‍රීති ප්‍රමෝදයේ උච්චවස්ථාවේදී මට නොසන්සුන්බවක් දැනුණා. මට එතකොට දැනුණේ හරියට මගේ හිතේ නවත්තන්න බැරි එන්ජිමක් දුවනවා වගේ කියලයි. එක පාරටම, මගේ ප්‍රීතිමත් ස්වභාවය වෙනස් වී මම කලහකාරී, විනාශකාරී ස්වභාවයක් පෙන්නුවා. කිසිම හේතුවක් නැතුව මම මගේ පවුලේ අයගේ ඇඟට කඩා පැන්නා. මට හරියට කේන්ති ගියා. මහා එපා කරපු දේවල් කෙරුවා. මාව පාලනය කරන්න කිසිම කෙනෙකුට බැරි වුණා. මේ භයානක හැසිරීම නතර වුණ ගමන්ම වගේ මට අධික තෙහෙට්ටුවක් දැනී මම අඬන්න පටන්ගත්තා. හොඳටම කලකිරුණා. මට හිතුණේ මම කිසිම වැදගැම්මකට නැති දුෂ්ටයෙක් කියලයි. ඒත්, නැවත මගේ සුපුරුදු ප්‍රීතිමත් ස්වභාවයට හැරුණ අවස්ථාත් තිබුණා. එතකොට ඉතින් කිසිම දෙයක් වුණේ නැහැ වගේ හිනා වෙවී සතුටෙන් හිටියා. ඇත්තෙන්ම ඒක මහ පුදුම දෙයක්.”

බයිපෝල රෝගීන්ගේ අස්ථිර, වෙනස් වනසුලු ස්වභාවය නිසා ඔවුන්ගේ පවුලේ අය ඉතා වියවුල්සහගත ජීවිතයක් ගත කරනවා. මේරිගේ පුරුෂයා බයිපෝල අක්‍රමිකතාවෙන් පෙළෙනවා. ඇගේ අද්දැකීම් ඇය විස්තර කරන්නේ මෙලෙසයි. “මගේ ස්වාමිපුරුෂයා සතුටු සාමිචියේ යෙදී සිටින ගමන්ම එක පාරටම නිහඬ වෙලා පැත්තකට ගිහින් දුකෙන් වගේ කල්පනා කර කර ඉන්නවා දැක්කාම සමහර වෙලාවට, මගේ මොළෙත් අවුල් වෙනවා. හිටිහැටියේම ඇති වන ඔය වෙනස් වීම් එයාට පොඩ්ඩක්වත් පාලනය කරගන්න බැරි බව තේරුම්ගන්න එක, ලේසි පහසු දෙයක් නෙවෙයි.”

බොහෝවිට, බයිපෝල අක්‍රමිකතාව ඇති කෙනෙකුට පවා මෙය ඉතාමත් පීඩාකාරී අද්දැකීමක්. ඇත්තෙන්ම කියනවා නම්, පවුලේ සාමාජිකයන්ට වඩා පීඩා විඳින්නේ රෝගියායි. බයිපෝල රෝගියෙක් වන ග්ලෝරියා මෙසේ පවසනවා. “සමබර මෙන්ම ස්ථිර ජීවිත රටාවක් ගත කරන අය ගැන මට ඊර්ෂ්‍යාවක් දැනෙනවා. ස්ථිරත්වය කියන්නේ හරියට බයිපෝල රෝගීන් ඉඳ හිට බැහැදකින්න යන ස්ථානයක් වගෙයි. අපිට කවදාවත් එහි පදිංචි වෙන්න නම් බැහැ.”

බයිපෝල අක්‍රමිකතාවට හේතුපාදක වන්නේ කුමක්ද? ප්‍රවේණි සාධක ප්‍රබල බලපෑමක් කරනවා. මානසික අවපීඩනයට හේතුපාදක වන ප්‍රවේණි සාධකවලට වඩා ඒවා ප්‍රබලයි. අමෙරිකානු වෛද්‍ය සංගමය ප්‍රකාශ කරන පරිදි, “සෞඛ්‍ය සම්පන්න අයගේ කිට්ටු ඥාතීන්ට වඩා බයිපෝල අක්‍රමිකතාවෙන් පෙළෙන අයගේ දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට හා දරු දැරියන්ට එම රෝගය වැලඳීමට ඇති ඉඩ කඩ 8 ගුණයේ සිට 18 ගුණය දක්වා වැඩි බව විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. තවද, ඔබේ පවුලේ කෙනෙකු බයිපෝල අක්‍රමිකතාවෙන් පෙළෙන විට, ඔබට මානසික අවපීඩනය ඇතිවීමට තිබෙන ප්‍රවණතාවද වැඩියි.”

මානසික අවපීඩනයට වඩා වෙනස්ව බයිපෝල අක්‍රමිකතාව පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ට එක සේ බලපානවා. එය බොහෝදුරට පටන්ගන්නේ වැඩිහිටිභාවයට පා තබන අවදියේදී වුණත් බයිපෝල අක්‍රමිකතාවෙන් පෙළෙන බව නිර්ණය කර ඇති නහඹරයන් හා දරුවන් පවා සිටිනවා. එහෙත් සුදුසුකම් ලත් දක්ෂ වෛද්‍යවරයෙකුට පවා රෝග ලක්ෂණ අධ්‍යයනය කර නිවැරදි රෝග නිර්ණයකට පැමිණීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක් විය හැකියි. ජෝන්ස් හොප්කින්ස් වෛද්‍යමය පාඨශාලාවට හා විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූ වෛද්‍ය ෆ්‍රැන්සිස් මාර්ක් මොන්ඩිමෝර් මෙසේ ලියනවා. “මානසික ආබාධ සියල්ල අතරින් බයිපෝල අක්‍රමිකතාව ගත් විට, එය හරියට වෙස් මාරු කරන කටුස්සෙක් වගෙයි. රෝග ලක්ෂණ රෝගියාගෙන් රෝගියාට විතරක් නොවෙයි එකම රෝගියා තුළත් අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් විය හැකියි.” ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “දොම්නස් ස්වභාවය පහළ වන්නේ හරියට අඳුරු වස්ත්‍රයක් ඇඳගෙන සිටින අවතාරයක් හෙමිහිට ඇවිත් තම ගොදුර ආවේශ කරන්නාක් මෙනි. එය අතුරුදහන් වී අවුරුදු ගණනාවක් පුරා නිහඬව සිටින නමුත් ආපසු එක පාරටම උමතුව නමැති ගිනිසිලු වැනි වූ දීප්තිමත් වස්ත්‍රය ඇඳගෙන ඇවිත් තම ගොදුර ආවේශ කරනවා.”

මානසික ස්වභාවයේ අක්‍රමිකතා නිර්ණය කිරීම දුෂ්කර කාර්යයක් බව පැහැදිලියි. එවැනි ආබාධයක් ඇතුව ජීවත් වීම ඊටත් වඩා අභියෝගයක්. නමුත් පීඩා විඳින අයට බලාපොරොත්තුවක් තිබෙනවා.

[පාදසටහන්වල]

^ 8 ඡේ. ඇතැම්විට මෙයට හේතුව වන්නේ ගැහැනුන්ට පසු ප්‍රසව මානසික අවපීඩනය (postpartum depression) හටගැනීමට ප්‍රවණතාවක් තිබෙන නිසාත් ආර්තවාභාවයේදී (menopause) ඔවුන්ගේ හෝමෝනවල වෙනස්කම් ඇති වන නිසාත් විය හැකියි. ඒ වගේම, අසනීපයක් ඇති විට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට වැඩියෙන්ම පෙලඹෙන්නේ පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්. ස්ත්‍රීන්ට රෝග නිර්ණයක් ලැබෙන්නේ ඒ නිසයි.

^ 11 ඡේ. මෙම ලිපි මාලාවේ සඳහන් වන සමහර නම් වෙනස් කර ඇත.

^ 16 ඡේ. බොහෝවිට එක් මානසික ස්වභාවයක් මාස ගණනාවක් තිස්සේ පැවතිය හැකි බව වෛද්‍යවරුන් වාර්තා කරනවා. එහෙත් සමහර අයගේ මානසික ස්වභාවයේ ඇති වන ක්ෂණික වෙනස්කම් ඉතා කෙටි කාලයක් ඇතුළත සිදු වෙනවා. අවුරුද්දක් ඇතුළත කිහිප වතාවක්ම එවැනි අයගේ ස්වභාවය මානසික අවපීඩනයේ සිට උමතුව දක්වා වෙනස් වෙනවා. ඉතා කලාතුරකින් පැය 24ක් ඇතුළත එක් මානසික ස්වභාවයක සිට තවත් එකක් දක්වා වෙනස් වන රෝගීන්ද සිටිනවා.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ස්ථිරත්වය කියන්නේ හරියට බයිපෝල රෝගීන් ඉඳ හිට බැහැදකින්න යන ස්ථානයක් වගෙයි. අපිට කවදාවත් එහි පදිංචි වෙන්න නම් බැහැ.”—ග්ලෝරියා

[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දරුණු මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ *

අවපීඩන තත්වය හෙවත් දුක්මුසු ස්වභාවය දවසින් වැඩි වේලාවක, දිනපතාම පාහේ අඩුම තරමින් සති දෙකක් පුරාම පැවතීම

● වරක් ප්‍රීතිය ගෙන දුන් ක්‍රියාකාරකම්වලින් දැන් කිසිම සතුටක් නොලැබීම

● අධික ලෙස බර අඩුවීම හෝ වැඩිවීම

● පමණට වඩා නිදාගැනීම හෝ එක දිගට නින්ද නොයෑම

● ලිවීම, වාහනයක් පැදවීම වැනි පාලනයකින් කරන ක්‍රියාවන්හි වේගය අසාමාන්‍ය අන්දමින් වැඩිවීම හෝ අඩුවීම

● හේතුවක් නොමැතිව අධික තෙහෙට්ටුවක් දැනීම

● නොවටිනාබවේ හැඟීම් සහ/හෝ පදනමක් නොමැතිව වරදසහිතබවේ හැඟීම් පහළ වීම

● අවධානය යොමු කිරීමේ හැකියාව අඩුවීම

● සියදිවි හානි කරගැනීමේ හැඟීම් නිතරම පහළ වීම

මෙම රෝග ලක්ෂණවලින් සමහරක් ඩිස්තිමියා (dysthymia) ඇති බවට ඇඟවීමක් විය හැකියි. ඩිස්තිමියා යනු මානසික අවපීඩනයේ එක්තරා ප්‍රභේදයක්. එය නිදන්ගත වුවත් එතරම් දරුණු නැත

[පාදසටහන]

^ 31 ඡේ. මෙම ලැයිස්තුව සපයා තිබෙන්නේ රෝගය පිළිබඳව සමස්ත අදහසක් ලබා දීමට පමණයි. එය සකස් කර තිබෙන්නේ හිතුමතේට රෝග නිර්ණයකට එළඹීමට නොවෙයි. තවද මෙහි සඳහන් ඇතැම් රෝග ලක්ෂණ වෙනත් සෞඛ්‍ය ගැටලු මතු වන විටත් ඇති විය හැකියි.