Skip to content

පටුනට යන්න

බයිබලයේ දෘෂ්ටිකෝණය

රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් මගින් ලෝක සාමය ඇති කළ හැකිද?

රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් මගින් ලෝක සාමය ඇති කළ හැකිද?

සියලුම යුද්ධවල නිමාවක් දකින්න ඔබ කැමතිද? ජාතික හා අන්තර්ජාතික සටන්වලට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳුමක් තිබිය යුතු බව පැහැදිලිය. බොහෝදෙනෙකුගේ හැඟීම වන්නේ ලෝක නායකයන් එකට එක් වී සහයෝගයෙන් ක්‍රියා කළහොත් යුද්ධ නැති කර දැමිය හැකි බවයි. කෙසේවෙතත් සාමය ඇති කිරීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දරන වෑයම්වල ප්‍රතිඵල දෙස බලන විට ඔබ ඒ ගැන බලාපොරොත්තු කඩ වූ තත්වයක සිටිය හැකියි. සියවස් ගණනාවක සිට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ගිවිසුම්වලට අත්සන් තබා ඇත; විවිධ විසඳුම් ඉදිරිපත් කර තිබේ; අන්තර්ජාතික සමුළු පවත්වා තිබේ; එහෙත් ස්ථිර විසඳුම් සොයාගෙන නොමැති ගැටලු රැසක් තවමත් පවතී.

රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් යොදාගනිමින් ගැටුම් විසඳීම ගැනත් සාමය ගැනත් බයිබලයේ බොහෝ දේ පවසා තිබේ. පහත සඳහන් ප්‍රශ්නවලට එය උත්තර සපයයි. වර්තමානයේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් මගින් සාමය ඇති කිරීමට නොහැකි වීමට හේතු මොනවාද? ක්‍රිස්තියානීන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දරන වෑයම්වලට හවුල් විය යුතුද? යම් දවසක සැබෑ සාමය අත් කරගත හැක්කේ කෙසේද?

සාමය ඇති කිරීමට නොහැක්කේ මන්ද?

පුද්ගලයන් මුහුණට මුහුණලා සාකච්ඡා කිරීමෙන් සාමය ඇති කරගත් ආකාරය ගැන පෙන්වා දෙන වාර්තා කිහිපයක් බයිබලයේ සඳහන් වේ. නිදසුනක් වශයෙන් තමන්ගේ ගෙවැසියන්ගෙන් පළිගන්න එපා කියා අබීගායිල් දක්ෂ ලෙස දාවිත්ටත් ඔහුගේ හමුදාවටත් කාරණා අවබෝධ කර දුන්නාය. (1 සාමුවෙල් 25:18-35) එමෙන්ම, ගත හැකි හොඳම පියවර වූයේ සාම ගිවිසුමක් ඇති කරගැනීම සඳහා ඔහුගේ දූතයන්ව යැවීම බව වටහාගත් රජෙකු පිළිබඳ නිදසුනක් යේසුස්ද ඉදිරිපත් කළේය. (ලූක් 14:31, 32) මේ අනුව, විවිධ ක්‍රමෝපායන් යෙදීමෙන් සටන්වලට විසඳුම් සොයාගත හැකි බව බයිබලයද පිළිගනී. එසේනම් බොහෝ අවස්ථාවලදී සාම සාකච්ඡා බොහෝදුරට සාර්ථක නොවන්නේ මන්ද?

අප ජීවත් වන කාලයේදී ලෝකය ගැටලුවලින් පිරී පවතිනු ඇතැයි බයිබලයේ නිවැරදිව පුරෝකථනය කර තිබේ. සාතන් නමැති යක්ෂයාගේ දුෂ්ට බලපෑම් නිසා මිනිසුන් “කිසි කාරණයකදී එකඟ නොවන, . . . දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර” අය වන බවට එහි පවසා තිබේ. (2 තිමෝති 3:3, 4NW; එළිදරව් 12:12) මේ හැර, “යුද්ධ හා යුද්ධ පිළිබඳ ප්‍රවෘත්ති” වත්මන් සමාජ ක්‍රමයේ අවසාන භාගයේ ලක්ෂණයක් වනු ඇති බවට යේසුස් පුරෝකථනය කළේය. (මාක් 13:7, 8NW) මේ දේවල් ලෝකයේ සෑම තැනකම පාහේ පැතිර පවතින බවට වූ සත්‍යය ප්‍රතික්ෂේප කළ හැක්කේ කාටද? වර්තමානයේ පවතින්නේ මෙවන් තත්වයක් නිසා විවිධ රටවල් සාමය අත් කරගැනීමට දරන ප්‍රයත්න අසාර්ථක වීම ගැන පුදුම විය යුතුද?

මේ කාරණයද සැලකිල්ලට ගන්න. රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ගැටුම් වැළැක්වීමට සෑහෙන උත්සාහයක් දැරිය හැකි වුවත් ඒ එක් එක් කෙනාගේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ තමන්ගේම ජාතියට ඉන් වාසි ප්‍රයෝජන අත් කරගැනීමයි. දේශපාලනික වශයෙන් සිදු කරනු ලබන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන්වල වැදගත් සාධකයක් වන්නේ එයයි. ක්‍රිස්තියානීන් එවැනි කාරණාවලට සම්බන්ධ විය යුතුද?

රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් යොදමින් සාමය ඇති කිරීමට වෑයම් කරන අයගේ චේතනා කුමක් වුවත් කල් පවතින විසඳුම් සෙවීමට හැකියාවක්වත් බලයක්වත් ඔවුන්ට නැත

ක්‍රිස්තියානීන් හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන්

බයිබලය මෙම උපදේශය සපයයි. “අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.” (ගීතාවලිය 146:3) මින් කියවෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් යොදමින් සාමය ඇති කිරීමට වෑයම් කරන අයට කල් පවතින විසඳුම් සෙවීමට හැකියාවක්වත් බලයක්වත් නැති බවයි.

යේසුස් පොන්තියුස් පිලාත් ඉදිරියෙහි නඩු විභාගයකට පෙනී සිටි අවස්ථාවේදී මෙසේ සඳහන් කළේය. “මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් වූවා නම්, මාව යුදෙව්වරුන් අතට පාවා දෙනු නොලබන පිණිස මා යටතේ සිටින්නන් සටන් කරනවා ඇත. නමුත් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නොවේ.” (යොහන් 18:36NW) ජාතීන් අතර පවතින වෛරය හා දේශපාලනික වාසි ප්‍රයෝජන ගැන සිතීම නිසා සාමය සඳහා යොදන සැලසුම් බොහෝ අවස්ථාවලදී අසාර්ථක වේ. මේ නිසා සැබෑ ක්‍රිස්තියානීහු මේ ලෝකයේ පවතින අරගලවලට හා ඒවා විසඳීමට යොදන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන්වලට සම්බන්ධ නොවෙති.

ක්‍රිස්තියානීන් ලෝකයේ සිදු වෙමින් පවතින දේවල් ගැන උනන්දුවක් නොදක්වන බව ඉන් අදහස් වෙනවාද? මිනිසුන් විඳින දුක් වේදනා ඔවුන්ට දැනෙන්නේ නැද්ද? එසේ නොවේ. ඊට වෙනස්ව බයිබලයේ දෙවිගේ සැබෑ නමස්කාරකයන්ව විස්තර කර තිබෙන්නේ අවට සිදු වන නපුරු දේවල් ගැන ‘සුසුම්ලමින් කෙඳිරිගාන’ අය වශයෙනි. (එසකියෙල් 9:4) ක්‍රිස්තියානීන් බලාපොරොත්තු තබා තිබෙන්නේ සාමය ගෙන ඒම පිළිබඳව දෙවි දී තිබෙන පොරොන්දුව මතයි. සාමය කියා ඔබ අදහස් කරන්නේ යුද්ධ නොමැති වීමද? දේවරාජ්‍යය නිසැකවම කරනු ඇත්තේ ඒ දෙයයි. (ගීතාවලිය 46:8, 9) එහෙත් දේවරාජ්‍යය මගින් යුද්ධ නැති කර දමනවාට අමතරව මිහිතලයේ වෙසෙන සෑම පුරවැසියෙකුගේම පූර්ණ ආරක්ෂාව හා ශුභසිද්ධියද සහතික කරනු ඇත. (මීකා 4:3, 4; එළිදරව් 21:3, 4) රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් මගින් හෝ “සාම සාධක” සංවිධාන මගින් එවන් සාමයක් කිසි දිනක අත් කරගත නොහැක.

බයිබල් අනාවැකිවලින් හා අතීත අද්දැකීම්වලින් පැහැදිලිව පෙනී යන්නේ සාමය ඇති කිරීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මිනිසුන් යොදන සැලසුම් කෙරෙහි විශ්වාසය තැබීම අනිවාර්යයෙන්ම බලාපොරොත්තු කඩවීමට හේතු වන බවයි. සාමය ඇති වනවා දැකීම සඳහා යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි බලාපොරොත්තු තබමින් දේවරාජ්‍යයට සහයෝගය දක්වන අය සැබෑ සාමය දැකීමට වූ තමන්ගේ ආශාව ඉටු වෙනවා දකිනු ඇත. එපමණක්ද නොව ඔවුන් එම සාමය සදාකාලයටම භුක්ති විඳිනු ඇත.—ගීතාවලිය 37:11, 29.