Skip to content

පටුනට යන්න

ඔන්න ආයෙත් වහිනවා!

ඔන්න ආයෙත් වහිනවා!

ඔන්න ආයෙත් වහිනවා!

අයර්ලන්තයේ පිබිදෙව්! ලේඛක විසිනි

“අයියෝ! ඔන්න ආයෙත් වහිනවා!”

ඔබේ මුවින් කෙදිනක හෝ එවන් යමක් පිට වී ඇද්ද? නිදසුනකට ඔබ අයර්ලන්තයේ ගිම්හාන සමයේදී අත්ලන්තික් වෙරළබඩ තීරයේ දැකුම්කලු ස්ථානයක් බලන්නට ගියායයි සිතමු. සුන්දර පරිසරය නැරඹීමෙන් උපරිම ආස්වාදයක් ලැබීම ඔබේ අදහස වන නිසා උණුසුම් හිරු එළියෙන් නැහැවුණු දවසක් උදා වේයයි ඔබේ පැතුම විය. එනමුත්, ඒ වෙනුවට ඔබ දැඩි ලෙස හමන සුළංවලට හා ධාරානිපාත වැසිවලට හසු විය. මෙවන් අවස්ථාවකදී ඇද හැළෙන වැසිවලට ඔබ කොතරම් ණයගැතිද යන්න පහසුවෙන් අමතක විය හැක. කෙසේවෙතත්, වර්ෂාව නොමැතිව සුන්දර පරිසරයක් නැරඹීමේ ප්‍රස්තාව අපගෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී යනු ඇත.

පොළෝතලය ඇද හැළෙන වැසිවලින් තෙත්බරිත වූවායින් පසුව, නැවතත් වැසි ඇද හැළේයයි බලාපොරොත්තු විය හැක. ඔව්, වර්ෂාවට නිමක් නැත්තාක් මෙනි. එවැන්නක් සිදු වන්නේ කෙලෙසද? ඒ, පුදුම දනවන ප්‍රතිචක්‍රීකරණ පද්ධතියක් ක්‍රියාත්මක වීම හේතුකොටගෙනය. අතිවැදගත් වූ මෙම ජීවනදායක පද්ධතියේ වැදගත්ම අදියර තුන ගැන මූලික අදහසක් ලැබීමෙන් පවා මෙය නිකම්ම අහම්බෙන් සිදු වන ක්‍රියාවලියක් නොවන බව තහවුරු වේ. මෙම අදියර තුන වනාහි, වාෂ්පීකරණය, ඝනීභවනය සහ වර්ෂණයය. මෙය “ස්ථිර, වෙනස් නොවනසුලු නීතිවලට අනුව ක්‍රියාත්මක වන” ඉතා දක්ෂ ලෙස නිර්මාණය කර ඇති ක්‍රියාවලියක් බව එක් මූලාශ්‍රයක පැහැදිලි කර ඇත.

වාෂ්පීකරණය

පෘථිවියේ තිබෙන ජලයෙන් සියයට 97ක් පමණ සාගරයෙහි පිරී තිබේ. ඉතිරි කොටස අයිස් වශයෙන් ග්ලැසියරවල සිර වී ඇති අතර, විල් සහ භූගත ජලය ලෙසද ගබඩා වී ඇත. එනමුත් සාගර ජලය බීමට ගත නොහැකි බව මතක තබාගත යුතුය. “පුරාණ නැවියාගේ කාව්‍යය” * යන කවියේ දුකින් මොරගැසූ නැවියාගේ අදහස් ප්‍රතිනාද කළහොත්, ‘සාගර ජලයේ පවස නිවන දිය පොදක් නැතේ’ යනුවෙන් එහි කියැවේ.

සාගර ජලය බීමට සුදුසු තත්වයකට පත් වන්නට පෙරාතුව යන්නට තිබෙන ගමන දීර්ඝය, භාරදූරය. මුලින්ම එය වාෂ්ප වී ජලවාෂ්ප බවට පත් වේ. සෑම වසරක් පාසාම ගොඩබිමෙන් හා මුහුදෙන් ඝන කිලෝමීටර් 4,00,000ක් සූර්යයාගෙන් නිකුත් වන තාපයෙන් ඉහළට ඇදගනු ලැබේ. පුරාණයේ සිටි එලීහු නමැති මිනිසා මෙම ක්‍රියාවලිය සඳහා යෙහෝවාට ගෞරවය දෙමින් මෙසේ පැවසීය. “ඔහු දිය බින්දු ඉහළට ඇදගන්න කල, ඔහුගේ මීදුමෙන් වැස්ස සෑදෙන්නේය.”—යෝබ් 36:27.

වායුගෝලය ගත් කල එය වනාහි “අදහගන්නට බැරි තරම් සංකීර්ණ වූ පද්ධතියක් වන” අතර, පෘථිවියේ සිට කිලෝමීටර් 400කටත් වඩා ඉහළට විහිදී යයි. අප භාවිත කරන ජලය ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ පෘථිවියට සමීපව තිබෙන කිලෝමීටර් 10ත් 20ත් අතර ස්තරයෙහිය. මෙම ස්තරය හඳුන්වනු ලබන්නේ පරිවර්ති ගෝලය ලෙසය. අපගේ සියුමැලි ජලජ ග්‍රහයා යන පොත (සිංහලෙන් නැත) එය විස්තර කරන්නේ “පෘථිවි පෘෂ්ඨයට සමීපතම ස්තරය ලෙසය. එනම් වලාකුළු, වැසි, හිම, සැඩ කුණාටු සහ ටෝනාඩෝ සැරිසරන ස්තරයෙහිය.”

වාතය උණුසුම් වන තරමට එහි ජලය රඳවාගැනීමට තිබෙන හැකියාව වැඩි වේ. උණුසුම්, සුළං අධික දිනෙක ඔබ සේදූ රෙදි වඩාත් ඉක්මනින් වියළෙන්නේ එමනිසාය. ජලය වැඩියෙන්ම රැඳෙන්නේ නිවර්තන කලාපීය ප්‍රදේශවල වායුගෝලයෙහිය. ‘එසේනම් අවශ්‍ය තැන්වලට ජලය පරිවහනය කරනු ලබන්නේ කොහොමදැයි’ යන්න ඔබට ප්‍රශ්නයක් විය හැකියි. එය සිදු වන්නේ පෘථිවිය වටා සැරිසරන ප්‍රබල සුළං පද්ධතීන් ආධාර කරගෙනය. මෙම සුළං ඇති වන්නේ පෘථිවිය එහි කක්ෂය වටා භ්‍රමණය වන ආකාරයෙන් හා පෘථිවි පෘෂ්ඨයේ ඇතැම් පෙදෙස් වෙනත් පෙදෙස්වලට වඩා වැඩියෙන් රත් වන නිසාය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වායුගෝලය නිතරම පවතින්නේ කැලඹිලි සහිත තත්වයකය.

අප අවට තිබෙන කැළඹිලි සහිත වායුගෝලය දැවැන්ත වායු ස්කන්ධයන්වලින් සමන්විතය. දළ වශයෙන් එකම උෂ්ණත්වයෙන් යුත් මෙම වායු ස්කන්ධයන් ඇත්තවශයෙන්ම මහා වායු දීපයන් ලෙස හැඳින්විය හැක. ඒවා කොතරම් විශාලද? වර්ග කිලෝමීටර් මිලියන කිහිපයකින් යුත් පෙදෙස් ආවරණය කිරීමට ඒවාට පුළුවන. උෂ්ණත්වයෙන් වැඩි වායු ස්කන්ධයන් නිවර්තන කලාපවලින්ද, වඩාත් ශීත ඒවා ආක්ටික් හෙවත් ධෘවාසන්න පෙදෙස්වලින් ඇති වේ. මෙම වායු ස්කන්ධයන් වායුගෝලයේ සැරිසරන දැවැන්ත ජල පරිවාහකයන් ලෙස ක්‍රියාත්මක වේ.

මෙම ක්‍රියාවලිය නිර්මාණය කර ඇති අන්දම දෙස බලන කල, තවත් සුවිශේෂ දෙයක් වන්නේ වායුගෝලයේ ජලවාෂ්ප පරිවහනය වන අන්දමයි. එමගින් නිවර්තන කලාප වැනි උෂ්ණාධික කලාපවල සිට උෂ්ණත්වය අඩු කලාපවලට තාපය පරිවහනය කරනු ලැබේ. එසේ සිදු නොවන්නට පෘථිවියේ ඇතැම් පෙදෙස්වල උෂ්ණත්වය දරාගත නොහැකි තරම් ඉහළ මට්ටමකට නඟිනු ඇත.

ඝනීභවනය

ජලවාෂ්ප මගින් අතිවැදගත් කාර්යයක් ඉටු වුවද, එය වායුගෝලයෙහිම රැඳුණොත්, පොළෝතලයට තෙතමනය නොලැබෙනු ඇත. නිදසුනකට සහරා කාන්තාරයට ඉහළින් තිබෙන වායුගෝලයේ සෑහෙන ප්‍රමාණයක තෙතමනයක් රැඳුණද, එම ප්‍රදේශය ශුෂ්ක තත්වයක පවතී. එසේනම්, වායුගෝලයේ මෙලෙස රැඳී තිබෙන තෙතමනය යළිත් පෘථිවියට වැසි ලෙස ඇදහැළෙන්නේ කෙලෙසද? මුලින්ම එය ඝනීභවනය වේ. එනම් එය වායු තත්වයේ සිට ද්‍රව තත්වයට පත්වීමය.

නාන කාමරයක උෂ්ණාධික ජලයෙන් පිට වන උණුසුම් ජලවාෂ්ප වඩාත් ශීත ජනේලයක හෝ කැඩපතක තැවරෙන විට ජලවාෂ්ප ඝනීභවනය වන ආකාරය ඔබ ඇතැම්විට දැක ඇත. වායු ස්කන්ධයක උෂ්ණත්වය අඩු වී වඩාත් ශීත උන්නතාංශයකට හෝ උසකට නඟින විට සිදු වෙන්නේද ඒ හා සමාන දෙයකි. වායු ස්කන්ධය ඉහළට නඟින්නේ කවර හේතුවක් නිසාද? උණුසුම් වායු ස්කන්ධයක් ඝනත්වයෙන් වඩාත් වැඩි ශීත වායු ස්කන්ධයකින් ඉහළට තල්ලු කරනු ලබන විට මෙවන් දෙයක් සිදු විය හැක. ඇතැම් අවස්ථාවලදී කඳුවල පිහිටීම නිසා වායු ස්කන්ධයන් ඉහළට තල්ලු වේ. වෙනත් අවස්ථාවලදී සංවහන ප්‍රවාහවලින් ඒවා ඉහළට ගෙන යනු ලැබේ. මෙවැන්නක් විශේෂයෙන්ම සිදු වන්නේ නිවර්තන කලාපීය පෙදෙස්වලය.

කෙසේවෙතත්, ඔබට මෙවැනි ප්‍රශ්නයක් ඉස්මතු විය හැකියි. ‘මෙම ජල වාෂ්පවලට ඝනීභවනය වන්නට වායුගෝලයේ යම්කිසි ආධාරකයක් තිබේද?’ දුම්, දූවිලි සහ සාගරයෙන් ලැබෙන ලුණු වැනි අතිශයින් කුඩා වූ අංශුවලින් වායුගෝලය ගහනය. වායු ස්කන්ධයක් සිසිල් වෙද්දී ජලවාෂ්ප මෙම කුඩා අංශු ආධාරයෙන් ඝනීභවනය වේ. අනතුරුව කුඩා දිය බින්දු නොහොත් දිය රොන් එකතු වී වලාකුළු සෑදෙයි.

එනමුත් මෙලෙස සෑදෙන ජලය පෘථිවියට වහාම ඇදහැළෙන්නේ නැත. එසේ නොවන්නේ මන්ද? ජලයේ ඝනත්වය වායුවක ඝනත්වයට වඩා 800 ගුණයකින් වැඩි බව මතක තබාගත යුතුය. එමනිසා මීට පිළිතුර වන්නේ වලා දිය රොන් කොතරම් කුඩාද සැහැල්ලුද කිවහොත් ඒවාට වාත ප්‍රවාහවල පාවී සැරිසැරිය හැකිවීමය. කලින් සඳහන් කළ එලීහු ජල චක්‍රයේ මෙම චිත්තාකර්ෂණීය අංගය ගැන තම පුදුමය ප්‍රකාශ කළේ “[මැවුම්කරුගේ] විස්මයජනක මැවිලි වන වලාකුළු අහසේ පාවෙන හැටි” ගැන කතා කළ විටය. (යෝබ් 37:16, නව අනුවාදය) ඉහළ අහසේ පාවෙන කුඩා පුළුන් බඳු වලාකුළක තෙතමනය ටොන් 100ක සිට 1000ක දක්වා පරාසයක රැඳෙන බව සිතන විට එය පුදුම දනවන්නක් නොවේද?

වර්ෂණය

වලාකුළු බොහොමයකින් වර්ෂාව ඇදහැළෙන්නේ නැත. ඇත්තටම වර්ෂාව යන යෙදුමට වඩා වඩාත් නිවැරදි යෙදුම වන්නේ වර්ෂණයයි. ජලය වායුගෝලයට එකතු වන අන්දමත්, වලාකුළු අහසෙහි පාවෙන අන්දමත් පැහැදිලි කිරීම බොහෝ දුරට පහසුය. කෙසේවෙතත් එක් ලේඛකයෙකු පැහැදිලි කරන පරිදි, “ලොකුම ගැටලුව වන්නේ ජලය ඇදහැළෙන්නේ කෙසේදැයි කියා විස්තර කිරීමයි.”—The Challenge of the Atmosphere.

එක් කුඩා වැහි බිඳක් සෑදීමට “වලා දිය රොන් මිලියනයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්” අවශ්‍ය වේ. අතිශයින් කුඩා වූ පාවෙන මෙම වලා දිය රොන් දවස්පතා හැම මොහොතකදීම පොළෝ තලයට ඇදහැළෙන ටොන් බිලියනයක පමණ ජලයට පරිවර්තනය වන්නේ කෙලෙසදැයි යන්න සම්බන්ධයෙන් මුළුමනින්ම සෑහීම ගෙන පිළිතුරක් දීමට කිසිවෙකුට නුපුළුවන. වඩාත් විශාල වැහි බිඳු සෑදීමට කුඩා වැහි දිය රොන් නිකම්ම එකට බැඳේද? සමහර අවස්ථාවලදී එවන් දෙයක් සිදු වේ. නිවර්තන කලාපීය පෙදෙස්වල වැහි බිඳු සෑදීමට මෙවන් දෙයක් සිදු වන බවට බොහෝදුරට කිව හැක. එනමුත් අයර්ලන්තයේ අත්ලන්තික් වෙරළබඩ තීරය වැනි පෙදෙස්වල “වැහි බිඳු සෑදීමේ ප්‍රහේලිකාව” ඉන් කිසි ලෙසකින්වත් නිරවුල් කරන්නේ නැත.

අයර්ලන්තයේ නම් කුඩා වලා දිය රොන් නිකම්ම එකට බැඳෙන්නේ නැත. ඇත්තටම ඒවායින් සියයට සියයක් තේරුම්ගන්නට බැරි ක්‍රියාවලියකින් කුඩා අයිස් ස්ඵටික සෑදේ. මෙම ස්ඵටික එකට ගොනු වී “ස්වභාවධර්මයේ විශිෂ්ටතම නිර්මාණයක්” වන හිම මල් බවට පත් වේ. හිම මල් විශාලත්වයෙන් හා බරින් වැඩි වෙත්ම ඉහළ නඟින වායු ප්‍රවාහයන් පරයා යමින් ඒවා පොළෝතලයට වැටෙන්නට පටන්ගනී. අධික ශීතයක් ඇත්නම්, ඒවා වැටෙන්නේ හිම ලෙසිනි. ඇත්තටම සාමාන්‍ය හිම වරුසාවකදී හිම මල් බිලියන ගණනක් ඇද හැළෙයි. එනමුත්, මෙම හිම මල් උණුසුම් වාත ස්තරයක් තුළින් පහතට වැටේ නම්, හිම මල් දිය වී වැහි බිඳු ලෙස ඇද හැළෙයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ හිම වනාහි මිදුණු වැහි බිඳු නොවන බවයි. යටත් පිරිසෙයින් සෞම්‍ය කලාපීය පෙදෙස්වල ඇද හැළෙන වැසි ඇරඹෙන්නේ හිම මල් ලෙසිනි. එනමුත් පොළෝතලයට ඇද හැළෙද්දී ඒවා දිය වී වැහි බිඳු බවට පත් වේ.

ඉතින්, කිලෝමීටර් දහස් ගණනක දිගු මෙන්ම තවමත් මිනිසා විසින් නිසි ලෙස අවබෝධ කරගෙන නොමැති සංකීර්ණ ක්‍රියාවලීන්ට නතුවීමෙන් අනතුරුව වර්ෂාව යළිත් පොළොවට ලැබේ. විටින් විට ඇද හැළෙන වැසිවලින් ඔබ සැලසුම් කර ඇති දේවලට බාධා පැමිණවිය හැකි බව පිළිගත යුතුය. එනමුත් මෙම අරුම පුදුම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අපට නොනිමි ජල සැපයුමකින් ප්‍රයෝජන ලබාගත හැකිය. ඇත්තවශයෙන්ම වර්ෂාව අපහට දීමනාවකි. එසේනම්, ඔබ වැස්සකට අසු වන ඊළඟ අවස්ථාවේදී සමහරවිට දෙවිගෙන් ලද මෙම දීමනාව සම්බන්ධයෙන් ඔබට යම් කෘතඥපූර්වක හැඟීමක් ඇති විය හැකියි.

[පාදසටහන]

^ 7 ඡේ. මෙම කවිය ලියන ලද්දේ ඉංග්‍රීසි කවියෙකු වන සැමුවෙල් ටේලර් කෝල්රිජ් විසිනි.

[24වන පිටුවේ කොටුව/රූප සටහන]

හිම වැහි කැට සෑදෙන අයුරු

“හිමවැහි කැට විශාල කැලඹුණු වැහි වලාවලින් නිපදවෙන අරුම පුදුම දෙයක්” බව කාලගුණය නමැති පොතෙහි සඳහන් වේ. වැහි වලාකුළුවල තිබෙන කුඩා අංශු ආධාරයෙන් කුඩා වලා දිය රොන් ඝනීභවනය වන විට, ඒවා ඉහළට නැඟී යන ප්‍රබල සුළංවලට ඇතැම් අවස්ථාවලදී හසු වී, වලාකුළේ ඉහළ කෙළවරවල මිදෙන තරම් ශීත ස්ථානවලට විසි වී යයි. මිදෙන තරම් ශීත උෂ්ණත්වයකදී වෙනත් වලා දිය රොන් ප්‍රාථමික අවස්ථාවේ පවතින වැහි බින්දුව මත ඝනීභවනය වී ක්ෂණිකව මිදෙයි. මෙම ක්‍රියාවලිය යළි යළිත් සිදු වන අතර, ඒ අතරවාරයේදී මිදුණු වැහි බින්දුව අධික ශීතයකින් යුත් එම ස්තරයේ ඉහළටත් පහළටත් ඇදී යයි. එසේ ඉහළට හා පහළට ගමන් කරන සෑම මොහොතකදීම මෙම මිදුණු වැහි බින්දුවට ළූණු ගෙඩියක තිබෙන ස්තර මෙන් අලුත් අයිස් ස්තරයක් එකතු වේ. ප්‍රතිඵලයක් ලෙස එය එන්න එන්නම බරින් වැඩි වේ. අවසානයේදී එහි බර කොතරම් වැඩි වේද කිවහොත්, වලාකුළුවල ඉහළට නඟින සුළං ප්‍රවාහවලට එය දරාගත නොහැකි වේ. එමනිසා එය පොළොවට ඇද වැටෙන්නේ ඝන හිමවැහි කැටයක් ලෙසිනි. වායුගෝලය, කාලගුණය සහ දේශගුණය නමැති පොතෙහි (සිංහලෙන් නැත) මෙසේ සඳහන් වේ. “ඇතැම් අවස්ථාවලදී හිමවැහි කැට බෙහෙවින් විශාල විය හැක. ඒවා එකක් කිලෝග්‍රෑම් 0.76ක් [රාත්තල් 1.68ක්] තරම් විශාල විය හැක.”

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

හිම කැට වැස්ස

↑ ඉහළට ඇදෙන සුළං ප්‍රවාහ

හිමාංකය .........................

↓ පහළට ඇදෙන සුළං ප්‍රවාහ

[25වන පිටුවේ කොටුව⁄පින්තූර]

ඔබ මේ බව දැන සිටියාද?

සාමාන්‍යයක් වශයෙන් ගතහොත් පෘථිවිය වටා පිහිටි වායුගෝලයේ අන්තර්ගත ජලය ප්‍රමාණවත් වන්නේ දින දහයක වර්ෂාපතනය සඳහා පමණි.

ගිම්හානයේ ඇති වන එක ගිගුරුම් සහිත වැස්සකින් පිටවන ශක්තිය දෙවන ලෝක මහා යුද්ධයේ හිරෝෂිමා නගරය මතට හෙළූ බෝම්බ දුසිමකට සමාන කළ හැකිය. දිනපතා ලොව පුරාම ගිගුරුම් සහිත වැසි 45,000 වරක් පමණ ඇද හැළෙයි.

වායුගෝලය උණුසුම් වන ප්‍රධාන මාධ්‍යය සූර්යයාගෙන් ඍජුව ලැබෙන තාපයම නොවේ. මෙම තාප ශක්තියෙන් බහුතරයක්ම කෙළින්ම වායුගෝලය පසාරු කරගෙන පෘථිවි පෘෂ්ඨයට ලැබේ. වායුගෝලය උණුසුම් වන්නේ උෂ්ණ වූ පෘථිවියෙන් යළිත් වරක් වායුගෝලයට පරාවර්තනය කරනු ලබන ශක්තියෙනි.

එකම ස්ථානයේම ඝන, ද්‍රව සහ වායු අවස්ථාවේ එකට පවතින මිහිපිට සුලභව තිබෙන එකම ද්‍රව්‍යය ජලයයි.

මීදුමක් යනු පොළෝ මට්ටමේ සෑදෙන වලාකුළක් පමණි.

[26, 27වන පිටුවේ රූප සටහන⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

පෘථිවි ජලයෙන් සියයට 97ක් තිබෙන්නේ සාගරවලය

සූර්ය තාපයෙන් ජලය වාෂ්ප බවට පත් වෙයි

ජලවාෂ්ප ඝනීභවනය වී වලාකුළු සෑදෙයි

වර්ෂණය තුළින් වලාකුළු තෙතමනය මුදාහරියි

වැහි බිඳු සහ හිම මල්