Skip to content

පටුනට යන්න

ඔබට දෙවිව නමින් හඳුනාගත හැකි අයුරු

ඔබට දෙවිව නමින් හඳුනාගත හැකි අයුරු

ඔබට දෙවිව නමින් හඳුනාගත හැකි අයුරු

පුවත්පත් තීරු ලේඛිකාවකට මතු දැක්වෙන ලිපිය පාඨකයෙකුගෙන් ලැබිණ. “මගේ මුළු ජීවිතය පුරාම මට සෑහෙන වදයක් වී ඇති ප්‍රශ්නයක් ගැන කතා කරන්නට කැමැත්තෙමි. මීට පිළිතුර ඔබෙන් අපේක්ෂා කරන්නෙමි. ප්‍රශ්නය නම් දෙවියන්ගේ නාමය කුමක්දැයි යන්නයි. යුදෙව්වන් කියන්නේ සැබෑ නාමය කාලයාගේ ඇවෑමෙන් අමතක වී ගොස් ඇති බවයි. ක්‍රිස්තියානීන් එතුමාව හඳුන්වන්නේ යේසුස් ලෙසයි. මුස්ලිම්වරු එතුමා අල්ලා ලෙස හඳුන්වති. . . . ඉතින්, ඒ නාමය කුමක්ද?” පුවත්පතෙහි ප්‍රශ්නය සමඟ මතු දැක්වෙන පිළිතුර පළ විය. “පුරාණ හෙබ්‍රෙව් ඉගැන්වීම්වලට අනුව දෙවියන් සර්වබලධාරීය. එමනිසා එතුමන්ව එක නාමයකින් පමණක් විස්තර කළ නොහැකිය. කෙසේවෙතත්, ඔබ ගෞරවනීයව ඕනෑම නාමයක් භාවිත කළත්, එතුමා (හෝ එතුමිය) ඔබට පිළිතුරු දෙන බව මට විශ්වාසයි.”

දෙවිගේ නාමය සම්බන්ධයෙන් මෙහිදී දක්නට ලැබෙන සැහැල්ලු ආකල්පය වර්තමානයේ දුර්ලභ දෙයක් නම් නොවේ. බයිබලය ගැන විශ්වාසයක් තබන බොහෝදෙනෙකුට යම් ආගමික භක්තියක් තිබුණද, දෙවිගේ නාමය පිළිබඳ ප්‍රශ්නය ගැන ඔවුන්ට එතරම් තැකීමක් නැත. එනමුත්, ඒ සම්බන්ධයෙන් දෙවි දරන ආකල්පය කුමක්ද? එය ඔහුට සුළු පටු කාරණයක්ද?

සුළු පටු කාරණයක් නොවේ

දෙවිගේ පෞද්ගලික නාමය වන යෙහෝවා යන්න බයිබලයෙහි දහස් වාර ගණනක් සඳහන් වීම සැලකිල්ලට ගන්න. ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයෙහි දිව්‍ය නාමය 7,210 වතාවක් දැකගත හැකියි! * දෙවිගේ නාමය මෙතරම් පුළුල්ව භාවිත කිරීමට බයිබල් ලේඛකයන්ට ආනුභාවය දුන්නේ වෙන කිසිවෙකු නොව දෙවිමයි. ඉන් එක් ලේඛකයෙකු වූ ගීතිකාකරු ආසාප් මෙසේ ලීවේය. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන්” වන්නේය. (ගීතාවලිය 83:17) දාවිත්ද ගීතිකාවක සඳහන් කළේ “අපි අපේ දෙවිවූ යෙහෝවාගේ නාමය සඳහන් කරන්නෙමු” කියාය.—ගීතාවලිය 20:7.

අපට දෙවිගේ නාමය ගැන හැඟෙන අයුරු කිරා මැන බැලීමට යෙහෝවා දෙවි අපගේ සිත සෝදිසි කරන බව බයිබලයෙහි දක්වා ඇත. ගීතිකාකරු මෙසේ පැවසීය. “අපේ දෙවිගේ නාමය සිහි නැති කළෙමු නම්, . . . දෙවි එය නොසොයන්නේද? මක්නිසාද ඔහු සිතේ රහස් දන්නේය.” (ගීතාවලිය 44:20, 21) අනාගතවක්තෘ යෙසායා මෙසේ ලීවේය. “යෙහෝවාට ස්තුති කරන්න, ඔහුගේ නාමය කියා යාච්ඤා කරන්න, ඔහුගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා, ඔහුගේ නාමය උසස් බව සඳහන් කරන්න.”—යෙසායා 12:4.

ඇත්තටම දෙවි පවා මෙසේ පැවසීය. “මාගේ නාමය යෙහෝවා බව ඔවුහු දැනගන්නෝය.” (යෙරෙමියා 16:21) තවත් අවස්ථාවකදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “ජාතීන් අතරෙහි කෙලෙසී තිබෙන්නාවූ . . . මාගේ මහත් නාමය විශුද්ධ කරන්නෙමි; . . . මා යෙහෝවා බව [ජාතීන්] දැනගන්නවා ඇත.” (එසකියෙල් 36:23) ඉහත පද අතුරින් කිහිපයකම දක්වා ඇති ලෙස පෙනී යන්නේ යෙහෝවාගේ නාමයට අගෞරව කරන අයට විරුද්ධව ඔහු කෝපයෙන් ක්‍රියා කරන කාලයක් ඉදිරියේදී පැමිණෙනු ඇති බවය. එසේනම්, දෙවිගේ පෞද්ගලික නාමය පිළිබඳ වූ මෙම කාරණය සුළු පටු එකක් නම් නොවේ.

යෙහෝවා දෙවි ඔබෙන් දුරස්ව සිටින කෙනෙක් නොවේ

ඔබට දෙවිව නමින් හඳුනාගත හැක්කේ කෙලෙසද? ඇත්තටම දෙවිව නමින් හඳුනාගැනීමෙන් අදහස් කරන්නේ කුමක්ද? බයිබලය මෙසේ පිළිතුරු දෙයි. “ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාස කරන්නහුය.” (ගීතාවලිය 9:10) එසේනම් දෙවිගේ නාමය දැනගැනීම ඔහුගේ නාමය කුමක්දැයි කියා දැන සිටීමට වඩා ගැඹුරු දෙයක් අදහස් කරන බව පැහැදිලියි. ඔබ ඔහු කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. ඉන් අදහස් වන්නේ ඔහු කෙබඳු ආකාරයේ දෙවි කෙනෙකුදැයි කියා දැනගැනීමත්, ඔහුගේ ගුණාංග හා සිතුවිලි ගැන ඉගෙනගැනීමත්ය. මෙය ඔහු කෙරෙහි විශ්වාසය තැබීමට ඔබට පෙලඹීමක් ලබා දෙයි.

යෙහෝවා කවර අන්දමේ දෙවි කෙනෙකුදැයි යන්න ගැන ගැඹුරු අවබෝධයක් ඔබට ලබාගත හැකි වන්නේ බයිබලය හොඳින් කියවා අධ්‍යයනය කළහොත් පමණි. තවද ඔහුට හා ඔහුගේ නාමයට ගැඹුරු ඇල්මක් දක්වන අයව ආරක්ෂා කිරීමටද ඔහු පොරොන්දු වෙයි. එසේ කරන අය ගැන දෙවි පවසන්නේ මෙසේය. “ඔහු මා කෙරෙහි ඇලුම් වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස් කරන්නෙමි. ඔහු මට යාච්ඤා කරන්නේය, මමද උත්තර දෙන්නෙමි. දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි. දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැලවීම ඔහුට දක්වන්නෙමි.”—ගීතාවලිය 91:14-16.

යෙහෝවා දෙවිව නමින් හඳුනන අය සමඟ ඔහුට තිබෙන්නේ මොන තරම් කදිම සබඳතාවක්ද! ඔබටද එවන් සබඳතාවක් භුක්ති විඳිය හැක. ඔබේ හද පත්ලෙන්ම නැඟෙන යාච්ඤාවලදී ඔහුට නම කියා ආමන්ත්‍රණය කිරීමට කිසිවිටෙකත් පසුබට නොවන්න. ඔහුගෙන් පිළිතුරු ලැබෙනවාමයි. මන්දයත් බයිබලය පවසන පරිද්දෙන් “ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය.”—ක්‍රියා 17:27NW.

[පාදසටහන]

^ 5 ඡේ. ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද බයිබලයක් වන අතර, එය වනාහි පැරණි පරිවර්තනවල දක්නට ලැබෙන ආදිකාලීන භාෂාව වෙනුවට වර්තමානයේ භාවිත කරන භාෂා ශෛලියක් යොදාගන්නා පරිවර්තනයකි. මෙම පරිවර්තනයෙහි ප්‍රධානතම අංග ලක්ෂණය වන්නේ බයිබල් පාඨයට දිව්‍ය නාමය යුක්තිසහගත ලෙස යළිත් හඳුන්වා දීමය. දැනට සම්පූර්ණයෙන්ම හෝ කොටසක් වශයෙන් භාෂා 45කින් පිටපත් මිලියන 122කටත් වැඩිය මුද්‍රණය කර තිබේ.

[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙවි ඔබව නමින් හඳුනයි

දෙවි මෝසෙස්ට පැවසුවේ “නාමයෙන් ඔබ හඳුනමි” කියාය. (නික්මයාම 33:12) දැවෙන පඳුර අසලදී දෙවි සමඟ කළ සාකච්ඡාවෙන් මෙය මනාකොට සනාථ වේ. දෙවි “පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට” හඬගැසීය. (නික්මයාම 3:4) දෙවි මිනිසුන්ට ඔවුන්ගේ පෞද්ගලික නම්වලින්ම ඇමතූ අවස්ථා රාශියෙන් එක උදාහරණයකි මේ. විශ්වයේ මැවුම්කරු අප ගැන පෞද්ගලික උනන්දුවක් දක්වන බව මින් මනාව පැහැදිලි වේ.

දෙවි විශ්වයේ තිබෙන බිලියන ගණන් තරු නමින් දන්නා බව බයිබලයෙහි සඳහන්ය. (යෙසායා 40:26) එසේනම් ඔහුට නමස්කාර කරන මනුෂ්‍යයන් ගැන ඔහු ඊටත් වඩා කොතරම් සැලකිල්ලෙන් සිටිනවා විය යුතුද! ප්‍රේරිත පාවුල් ලීවේ “යෙහෝවා තමාට අයිති අය දන්නේය” කියාය. (2 තිමෝති 2:19, NW) නිකම්ම නම් කිහිපයක් කටපාඩම් කිරීමට වඩා ගැඹුරු දෙයක් මින් ඇඟවේ. තමාට නමස්කාර කරන අය ගැන දෙවිට ඇත්තේ ඉතා ගැඹුරු අවබෝධයකි. අපද දෙවිව නමින් හඳුනාගෙන ඔහුගේ ගුණාංග ගැන ගැඹුරු අවබෝධයක් ලබාගත යුතුය.

බයිබලයෙහි අවසන් පොතෙහි යම් සංකේතාත්මක පොතක් ගැන විස්තරයක් සපයයි. එම පොතෙහි, දෙවි ඉතිහාසය පුරාම ඔහුට නමස්කාර කර ඇති අයගේ නම් ලියන බවට සඳහන් වේ. එම පොත හඳුන්වනු ලබන්නේ ‘ජීවන ලියවිල්ල’ ලෙසය. මන්දයත් එහි නම් ලියා ඇති සියල්ලන්ට යෙහෝවා දෙවි සදාකාල ජීවනය දානය කරන බැවිනි. (එළිදරව් 17:8, NW) දෙවිව නමින් හඳුනන අයට මෙය ඉතාමත් ප්‍රීතිමත් බලාපොරොත්තුවක් වේ.

[12වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔවුහු දෙවිගේ නාමය ප්‍රකාශ කළෝය

● ඊශ්‍රායෙල් ජාතිය පොරොන්දු දේශය තුළට පිවිසෙන්නට මත්තෙන් මෝසෙස් ගැයූ ගීතය: “යෙහෝවාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි.”—ද්විතීය කථාව 32:3.

● යෝධ ගොලියත්ට දාවිත් පැවසූ වදන්: ‘මම වනාහි සේනාවල යෙහෝවාගේ නාමයෙන් ඔබ ළඟට එමි.’—1 සාමුවෙල් 17:45.

● යෝබ්ගේ දේපොළ සම්පූර්ණයෙන්ම නැති වී ඔහුගේ දරුවන් සියල්ලන්ම හදිසියේම මරණයට පත් වූවායින් පසු ඔහු පැවසූ දේ: “යෙහෝවාගේ නාමයට ප්‍රශංසා වේවා.”—යෝබ් 1:21.

● ප්‍රේරිත පේතෘස් දේශනයකදී හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටා දැක්වීමක් කරමින්: “යෙහෝවාගේ නාමයට අයැදින සියලුදෙනාවම ගලවාගනු ලබන්නේය.”—ක්‍රියා 2:21, NW.

● අනාගතවක්තෘ යෙසායා: “යෙහෝවාට ස්තුති කරන්න, ඔහුගේ නාමය කියා යාච්ඤා කරන්න, . . . ඔහුගේ නාමය උසස් බව සඳහන් කරන්න.”—යෙසායා 12:4.

● යේසුස් ක්‍රිස්තුස් තම ගෝලයන්ට යාච්ඤා කරන්නට උගන්වමින්: “ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටය. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා.’”—මතෙව් 6:9, 10, NW.

● යේසුස් ක්‍රිස්තුස් දෙවිට යාච්ඤා කරමින්: “ඔබගේ නාමය මම ප්‍රකාශ කළෙමි.”—යොහන් 17:6, NW.

● දෙවි තම ජනතාවට කතා කරමින්: ‘මම යෙහෝවාය. මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුට නොදෙන්නෙමි.’—යෙසායා 42:8.