Skip to content

පටුනට යන්න

ගිනිකෙළිවලට වශීවීම

ගිනිකෙළිවලට වශීවීම

ගිනිකෙළිවලට වශීවීම

නගරයේ සල්පිලක් හෝ ඔලිම්පික් ක්‍රීඩාවක් ආරම්භයේදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. එක්සත් ජනපදයේ නිදහස් දිනය සමරන විටද, ප්‍රංශයේ බැස්ටීල් දිනය සිහි කරන විටද, අලුත් අවුරුද්දක් ලබන දිනට පෙර දින සැන්දෑවේ ලෝකයේ සෑම ප්‍රධාන නගරයකම පාහේද අහස පුරා ගිනිකෙළි දිස් වන්නේ මුළු පළාතක්ම ආලෝක කරමින්.

ඒත්, ගිනිකෙළිවලට මිනිස් සිත් වශීවීම ආරම්භ වූයේ කොයි කාලයේද? මෙම දීප්තිමත් ආලෝක සංදර්ශන ඇති කිරීමට කිනම් ශිල්ප ක්‍රම උපයෝගි වෙනවාද?

පෙරදිගින් ආ සිරිතක්

ක්‍රිස්තු පූර්ව දහවෙනි සියවසේදී පමණ චීන ජාතිකයන් ගිනිකෙළි සොයාගත් බවට බොහෝ ඉතිහාසඥයන් එකඟ වෙනවා. ඒ වකවානුවේදී පෙරදිග රසායන විශේෂඥයන් වෙඩි ලුණු හෙවත් පොටෑසියම් නයිට්‍රේට් සමඟ ගෙන්දගම් සහ ගල් අඟුරු මිශ්‍ර කිරීමෙන් පිපිරෙනසුලු කුඩක් නිපදවිය හැකි බව සොයාගත්තා. මාකෝ පෝලෝ වැනි බටහිර දේශ ගවේෂකයන් හෝ සමහරවිට අරාබි වෙළඳුන් මෙම පිපිරෙනසුලු ද්‍රව්‍ය යුරෝපයට ගෙන ආවා විය හැකියි. තවද 14වන සියවස වන විට, චමත්කාරජනක ගිනිකෙළි සංදර්ශන යුරෝපීයයන් වෙත ගෙන ආවේ ඉමහත් සතුටක්.

ඒත්, එවන් මනරම් වින්දනයක් ගෙන ආ එම පිපිරෙනසුලු කුඩු යුරෝපීය ඉතිහාසයේද වෙනසක් ඇති කළා. මෙම කුඩු වර්ගය හමුදා භටයන් වෙඩි උණ්ඩ පත්තු කිරීමටද, ප්‍රාසාදවල තාප්ප පිපිරවීමටද දේශපාලනික බලයන් දෙදරවීමටද යොදාගත්තා. එය පසු කලෙක හඳුන්වනු ලැබුවේ වෙඩි බෙහෙත් නමිනුයි. එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා මෙසේ සඳහන් කරයි. “යුරෝපීය මධ්‍යතන යුගයේදී, පෙරදිග සිට යුරෝපය දක්වා හමුදාවල භාවිත වන පුපුරන ද්‍රව්‍ය පැතිර යෑමත් සමඟම, ගිනිකෙළිද යුරෝපයටද පැතිර යන්නට වුණා. තවද ජයග්‍රහණයේ සහ සාමයේ උත්සවවලදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම පිණිස ඒ පිළිබඳ විශේෂඥයෙකුව සිටි හමුදා භටයෙකුව සේවයට බඳවාගත්තා.”

මේ අතර, වෙඩි බෙහෙත්වල ඇති විනාශකාරී බලය චීන ජාතිකයන් බොහෝ සෙයින් නොසලකාහැරිය බවක් දක්නට තිබෙනවා. දහසයවන සියවසේදී චීනයේ ජේසු නිකායික ඉතාලි මිෂනාරිවරයෙකු වූ මට්ටීඕ රිකී මෙසේ ලීවා. “චීන ජාතිකයෝ තුවක්කු සහ කාල තුවක්කු භාවිතයේ දක්ෂයන් නොවෙයි. මේවා යුද්ධවල භාවිත කළේ අල්ප වශයෙන්. ඒත්, මහජන ක්‍රීඩාවලදී සහ මංගල්‍ය දවස්වලදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමේදී ඒ අය වෙඩි ලුණු ඉතා බහුල ලෙස භාවිත කරනවා. තවද එවන් සංදර්ශනවලින් ඔවුන් ලබන්නේ ඉමහත් වින්දනයක්. . . . ගිනිකෙළි නිපදවීමෙහිලා ඔවුන්ගේ දක්ෂතා ඇත්තටම අතිවිශිෂ්ටයි.”

ගිනිකෙළි සංදර්ශනවල සාර්ථකත්වයේ රහස්

මුල් අවධිවල ගිනිකෙළි සාදන්නන්ට ඒවායින් විවිධාකාරයේ සංදර්ශන පැවැත්වීම සඳහා දක්ෂතා මෙන්ම ධෛර්යයක් අවශ්‍ය වූ බව කිසිදු සැකයක් නැහැ. වෙඩි බෙහෙත්වල විශාල අංශු සෙමින් දැවී යන බවත්, කුඩා අංශු දැවෙන ගමන් පුපුරා යන බවත් ඔවුන් සොයාගත්තා. උණ බම්බුවක් හෝ කඩදාසි ටියුබයක එක් කොනක් මුද්‍රා කිරීමෙන් සහ එහි අනෙක් කොනට විශාල වෙඩි බෙහෙත් අංශු පිරවීමෙන් රොකටයක් නිපදවනු ලැබුවා. වෙඩි බෙහෙත්වලට ගිනි පත්තු කළ විට, ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වන වායුව බටයේ විවෘත කෙළවරින් අධික වේගයෙන් පිට වී ගුවනට කක්ෂගත වුණා. (වර්තමානයේ ගගනගාමීන්ව අජටාකාශයට යැවීම සඳහා යොදාගැනෙන්නේ මෙම මූලික ප්‍රතිපත්තියයි.) වෙඩි උණ්ඩයේ ඉහළ කෙළවර සිහින් ලෙස කුඩු කළ වෙඩි බෙහෙත්වලින් පුරවා එය පත්තු කළ විට ගිනි ගෙන පුපුරා ඉහළ නඟින්නේ ප්‍රක්ෂිප්තයක හෙවත් වක්‍රයක ආකාරයෙන්. එය සාර්ථක පිපිරීමක් නම්, එය උපරිම සිරසට ගමන් කරයි.

දශක ගණනාවක් පුරා ගිනිකෙළි තාක්ෂණිකව දියුණු වී ඇත්තේ මද වශයෙන්. කෙසේවෙතත්, යම් පැතිවලින් දියුණුවක් ලබා තිබෙනවා. පෙරදිග වැසියන් මුලින්ම දැන සිටියේ සුදු හෝ රන් පැහැති ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට පමණයි. ඊට විවිධ වර්ණ එකතු කළේ ඉතාලි ජාතිකයන්. පොටෑසියම් ක්ලෝරේට් වෙඩි බෙහෙත් සමඟ මිශ්‍ර කළ විට, එම මිශ්‍රණය ප්‍රමාණවත් තාපයක් නිපදවමින් ලෝහ වායු බවට පත් කරවමින් විවිධ වර්ණවලින් යුත් ගිනි පිට කරමින් දහනය වන බව ඉතාලි ජාතිකයන් දහනවවන සියවසේ මුලදී සොයාගත්තා. වර්තමානයේ රතු ගින්දර නිපදවීම සඳහා ස්ට්‍රෝන්ටියම් කාබනේට් එකතු කෙරේ. ටයිටේනියම්, ඇලුමිනියම් සහ මැග්නීසියම් මිශ්‍ර කිරීමෙන් දීප්තිමත් සුදු පැහැති ගින්නක්ද, තඹ මිශ්‍රණයක් එකතු කිරීමෙන්ද නිල් පැහැති ගින්නක්ද, බේරියම් නයිට්‍රේට් යෙදීමෙන් කොළ පැහැති ගින්නක්ද, සෝඩියම් ඔක්සලේට් මිශ්‍ර කිරීමෙන් කහ පැහැති ගින්නක්ද නිපදවෙනවා.

පරිගණක මගින්ද මෙම ගිනිකෙළි ප්‍රදර්ශනවලට තවත් මුහුණුවරක් එකතු කර තිබෙනවා. පුපුරන ද්‍රව්‍යවලට ගිනි ඇවිළීම සඳහා අතින් දල්වනවා වෙනුවට, පරිගණක වැඩසටහන් යොදාගැනීමෙන් විද්‍යුත් ක්‍රමයට ඒවා දැල්වීමේ ක්‍රම සොයාගෙන තිබීම මෙහිදී විශේෂ ලක්ෂණයක් හැටියට දක්වන්නට පුළුවන්. එවිට ඒවා පුපුරා යන්නේ යම් සංගීතමය රිද්මයකට අනුවයි.

ආගමික අර්ථයක්

ජේසු නිකායික මිෂනාරිවරයෙකු වූ රිකී සඳහන් කළාක් මෙන්, ගිනිකෙළි වනාහි චීනයේ ආගමික උත්සවවල ප්‍රධාන අංගයක් වුණා. පොපියුලර් මිකැනික්ස් නමැති සඟරාවේ පැහැදිලි කරන්නේ ගිනිකෙළි “අලුත් අවුරුද්දේ සහ වෙනත් උත්සව අවස්ථාවන්හිදී භූතයන් පලවාහැරීම සඳහා චීන ජාතිකයන් විසින් සොයාගත් දෙයක්” බවයි. සියලු ආගම්වල උත්සව සහ චාරිත්‍ර (සිංහලෙන් නැත) යන තම පොතේ හවඩ් වී හාපර් මෙසේ සඳහන් කරයි. “ඉපැරණි මිථ්‍යා කාලවල පටන් මිනිසුන් තම ආගමික උත්සවවලදී ගිනි පන්දම් රැගෙන ගොස් ගිනි ගොඩවල් ගසා තිබෙනවා. එම ආගමික උත්සවවලට පසු කලෙක චමත්කාරජනක වර්ණගැන්වූ ගිනිකෙළි සංදර්ශන එකතු කරමින් මිනිසුන්ව වශී කරගැනීම පුදුමයක් නොවෙයි.”

ක්‍රිස්තියානියයි කියාගන්නාවූ අය විසින් මෙම ගිනිකෙළි සංදර්ශන වැලඳගත්තායින් පසුව, ගිනිකෙළි නිෂ්පාදකයන් වෙනුවෙන් භාරකාර සාන්තුවරියක් පත් කරනු ලැබුවා. කොලම්බියා එන්සයික්ලොපීඩියාහි මෙසේ කියනවා. “ක්‍රිස්තියානිවරියක වීම නිසා [සාන්ත බාර්බරාගේ] පියා ඇයව උස් ගොඩනැඟිල්ලක දමා වසා ඇයව මරා දැමුවායයි කියැවෙනවා. ඉන්පසු, අකුණක් වැදී ඔහු මිය ගියා. මෙවිට සාන්ත බාර්බරා ගිනි අවිවල හා ගිනිකෙළිවල නිෂ්පාදකයන් හා ඒවා පරිහරණය කරන්නන්ගේ භාරකාර සාන්තුවරිය බවට පත් වුණා.”

අධික වියදමක්

ආගමික හෝ සාමාජීය උත්සවවලදී මහජනයා ඉතා විශාල සහ වඩාත් චමත්කාරජනක ගිනිකෙළි සංදර්ශනවලට බලවත් රුචියක් දක්වන බවක් පෙනෙනවා. දහසයවෙනි සියවසේ චීනයේ පැවති එක් ගිනිකෙළි සංදර්ශනයක් ගැන විස්තර කරමින් රිකී පැවසුවේ මෙසේයි. “නැන්කින් නුවර සිටින විට මා දැක්කා වසරේ පළමු මාසය සමරන්නට කළ මහා ගිනිකෙළි සංදර්ශනයක්. එය ඔවුන්ගේ ඉතා වැදගත් මංගල්‍යයක්. මේ අවස්ථාවේ මා ගණනය කළ විදිහට, වසර ගණනාවක් කරගෙන ගිය හැකි යුද්ධයකදී දැවෙන වෙඩි බෙහෙත් ප්‍රමාණයක් මෙහිදී ඔවුන් දවාලූවා.” මේ සංදර්ශනයට ගිය වියදම ගැන ඔහු සඳහන් කළේ මෙසේයි. “ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට යන වියදම ගැන නම් ඔවුන්ට කිසිම ගානක් නැහැ වගේ.”

පසුගිය සියවස් ගණනාව පුරා මේ සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු වී නැති තරම්. වර්ෂ 2000දී සිඩ්නි නුවර වරාය පාලමේ දක්නට ලැබුණු එවන් උත්සවයකදී ගිනිකෙළි ටොන් 20ක් දැල්වූ අතර, මිලියනයක් හෝ ඊට වැඩි නරඹන්නන් වරායේ දෙපස ඉවුරට එක් රොක් වුණා, එය නැරඹීමට. ඒ වසරේදීම, එක්සත් ජනපදයේ, ගිනිකෙළි කිලෝග්‍රෑම් 70,000,000ක් දවාලීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 625ක් වියදම් කරනු ලැබුවා. බොහෝ සංස්කෘතීන්ට අයත් ජනයා මෙම ගිනිකෙළිවලින් කාලාන්තරයක් මුළුල්ලේ වශී වී සිටින බව ඉතා පැහැදිලියි. ඇරත් මෙය තවමත් සත්‍යයක්. එනම්, “ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට යන වියදම ගැන නම් ඔවුන්ට කිසිම ගානක් නැහැ වගේ.”

[17වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]