Skip to content

පටුනට යන්න

දෙවිගේ නාමයට විරුද්ධව කර ඇති සටන

දෙවිගේ නාමයට විරුද්ධව කර ඇති සටන

දෙවිගේ නාමයට විරුද්ධව කර ඇති සටන

හනනියා බෙන් ටෙරාඩියොන් නමැත්තා දෙවන සියවසේ ජීවත් වූයේය. හෙතෙම යුදෙව් පඬිවරයෙක් වූ අතර, ඔහු ප්‍රචලිත වූයේ බයිබලයේ මුල් පොත් පහ අඩංගු ලියවිල්ලක් වන සේෆර් ටෝරා නමැති ග්‍රන්ථය පදනම් කරගෙන ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වූ අයෙකු ලෙසය. බෙන් ටෙරාඩියොන් තවත් දෙයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලීය. එනම් ඔහු දෙවිගේ පෞද්ගලික නාමය භාවිත කළ පුද්ගලයෙක් මෙන්ම ඒ පිළිබඳව අන් අයව දැනුවත් කළ අයෙකු ලෙසයි. ඇත්තටම බයිබලයේ මුල් පොත් පහේ දෙවිගේ නාමය වාර 1,800කට වැඩි ගණනක් සඳහන්ව ඇත. එමනිසා දෙවිගේ නාමය ගැන නූගන්වා ටෝරා ග්‍රන්ථයේ අඩංගු දෑ යමෙකුට ඉගැන්විය හැක්කේ කෙලෙසද?

කෙසේවෙතත්, බෙන් ටෙරාඩියොන් විසුවේ යුදෙව් පඬිවරුන්ට ඉතා අවදානම් සහිත යුගයකය. යුදෙව් ඉතිහාසඥයන්ගේ මතයට අනුව, යුදෙව්වාදය ඉගැන්වීම හා ඇදහීම රෝම අධිරාජ්‍යවරුන්ගේ අණ පරිදි නීති විරෝධී වූ අතර, ඊට මරණීය දණ්ඩනය නියම විය. කල් යත්ම, රෝමවරු බෙන් ටෙරාඩියොන්ව අත්අඩංගුවට ගත්හ. ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී, ඔහුගේ අතෙහි සේෆර් ටෝරාහි පිටපතක්ද තිබිණ. ඔහු වෙතට විවිධ චෝදනා එල්ල කළ විට, තමා බයිබලය ඉගැන්වූයේ දිව්‍ය ආඥාවකට කීකරු වීමක් වශයෙන් බව ඔහු අවංකව පිළිගත්තේය. කෙසේවෙතත්, ඔහුට නියම වූයේ මරණීය දණ්ඩනයයි.

බෙන් ටෙරාඩියොන්ව මරණයට පත් කළ දවසේදී, ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ අතෙහි තිබුණු බයිබල් ලියවිල්ල ඔහුගේ සිරුර වටා ඔතන ලදි. අනතුරුව ඔහුව කණුවකට ගැට ගසා පුලුස්සන ලදි. ඒ සම්බන්ධයෙන් එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා නමැති විශ්වකෝෂය පවසන්නේ මෙසේය. “ඔහු විඳි දැඩි වේදනාව තවත් දිගු කිරීමට ජලයේ පොඟවන ලද ලොම් ගුලි ඔහුගේ පපුව අවට තබන ලදි. එසේ කළේ ඔහුගේ මරණය තවත් ප්‍රමාද කිරීමටය.” ඔහුගේ දඬුවමේ තවත් කොටසක් වශයෙන් ඔහුගේ බිරිඳවද ඝාතනය කළ අතර, ඔහුගේ දියණියව ගණිකා මඩමකට විකුණන ලදි.

බෙන් ටෙරාඩියොන්ව මෙලෙස අමානුෂික ලෙස ඝාතනය කිරීමට වගකිව යුත්තේ රෝමවරුන් වුවද, තල්මුඩය * පවසන්නේ “ඔහුගේ දඬුවම පරිදි ඔහුව පුලුස්සා මරණයට පත් කිරීමට හේතු වූයේ ඔහු දිව්‍ය නාමය නිවැරදි විදිහට උච්චාරණය කළ නිසාවෙනි” කියාය. මින් පැහැදිලි වන්නේ දෙවිගේ පෞද්ගලික නාමය උච්චාරණය කිරීම යුදෙව්වන්ද සැලකුවේ ඉතා බරපතළ වරදක් ලෙසය.

තුන්වන පනත

පෙනෙන විදිහට, ක්‍රි.ව. පළමු හා දෙවන සියවස්වල යුදෙව්වන් අතර දෙවිගේ නාමය භාවිතය පිළිබඳව මිථ්‍යා විශ්වාසයක් හටගත්තේය. මිෂ්නා නමැති ග්‍රන්ථයෙහි (තල්මුඩයට අඩිතාලම සැපයූ රබ්බිවරුන්ගේ විවරණවල එකතුවක්) පැවසෙන්නේ “දිව්‍ය නාමය ඇති සැටියෙන්ම උච්චාරණය කරන තැනැත්තා” දෙවි විසින් පොරොන්දු කරන ලද අනාගත භූමික පාරාදීසයේ කිසිදු උරුමයක් නොලබන බවය.

මෙවන් තහනමක සුල මුල ගැන කුමක් කිව හැකිද? දෙවිගේ නාමය අසම්පූර්ණ මනුෂ්‍යයන් විසින් උච්චාරණය කරනු ලැබීමට නොහැකි තරම් පරිශුද්ධ දෙයක් වූ බව ඇතැම් යුදෙව්වන් සිතූ බව සමහරු පවසති. කල් යත්ම එම නාමය ලිවීමට පවා ඇතැම්හු අදිමදි කළෝය. එක් මූලාශ්‍රයකට අනුව එවන් බියක් ඇති වූයේ එම නාමය සඳහන් ලියවිල්ලක් පසු කාලයකදී කසළ ගොඩකට එකතු වීමට ඉඩ තිබුණු නිසා, එමගින් දිව්‍ය නාමය කෙලසීමකට ලක්වීමයි.

එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා කියන්නේ “ය්හ්ව්හ් යන නාමය උච්චාරණය කිරීමෙන් වැළකී සිටීමේ පුරුද්දට හේතු වූයේ . . . තුන්වන පනත වරදවා වටහාගැනීම” බවයි. දෙවි විසින් ඊශ්‍රායෙලිතයන්ට දෙන ලද දස පනතෙහි තුන්වන ආඥාවෙහි මෙසේ සැල වේ. “ඔබේ දෙවිවූ යෙහෝවාගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරන්න. මක්නිසාද යෙහෝවා තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකු කොට ගණන් නොගන්නේය.” (නික්මයාම 20:7) එබැවින්, දෙවිගේ නාමය නුසුදුසු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු පනවා තිබූ ආඥාව වරදවා වටහාගැනීම මිථ්‍යා විශ්වාසයක් බවට පත් විය.

දිව්‍ය නාමය උච්චාරණය කළ නිසා යමෙකුව කණුවක ගැට ගසා පිලිස්සීමට දෙවි නියම කරයි කියා කිසිවෙකු විසින් සිතීම උගහටය. එහෙත්, දෙවිගේ පෞද්ගලික නාමය පිළිබඳව පැවති මිථ්‍යා විශ්වාස අද දක්වා පවතී. බොහෝදෙනෙක් ටෙට්‍රග්‍රැමටනය ගැන කතා කරන විට ඊට “වචනවලින් විස්තර කළ නොහැකි නාමය” සහ “ශබ්ද නඟා පැවසිය නොහැකි නාමය” වැනි යෙදුම් යොදා විස්තර කරති. එම සම්ප්‍රදායෙන් පිට නොපැනීමේ අදහසින් දෙවි සඳහන් සෑම තැනක්ම ඕනෑකමින් වැරදි ලෙස උච්චාරණය කරන සිරිතක් ඇතැම් පාර්ශ්වයන් අතර දක්නට ලැබේ. නිදසුනකට, දෙවිගේ පෞද්ගලික නාමය කෙටියෙන් දැක්වීම සඳහා භාවිත කරන යාහ් නොහොත් ජාහ් උච්චාරණය කරනු ලබන්නේ කාහ් ලෙසය. හලේලූයා උච්චාරණය කරන්නේ හලේලූකා ලෙසිනි. ඇතැම් අය “දෙවි” යන වචනය පවා නොලියා ඒ වෙනුවට කෙටි ඉරක් දමති. නිදසුනකට, ඔවුන් “දෙවියන්” යන සිංහල වචනය ලියනු ඇත්තේ “දෙ-” ලෙසය.

නාමය යටපත් කිරීමට තවත් උත්සාහයක්

දෙවිගේ නාමය භාවිත කිරීමෙන් වැළකී සිටින එකම ආගම යුදෙව්වාදය නොවේ. ඩැමසස් නමැති පාප්වරයාගේ ලේකම්ද, කතෝලික පූජකයෙකුද වූ ජෙරෝම් ගැන සලකා බලන්න. ක්‍රිස්තු වර්ෂ 405දී ජෙරෝම් මුළු බයිබලයම ලතින් භාෂාවට පරිවර්තනය කිරීමේ කාර්යය අවසන් කළේය. එය පසුව හඳුන්වන ලද්දේ ලතින් වල්ගේට් අනුවාදය ලෙසයි. ජෙරෝම් තම පරිවර්තනය තුළ දෙවිගේ නාමය ඇතුළත් කළේ නැත. ඒ වෙනුවට හෙතෙම කළේ එවකට පුරුද්ද වී තිබුණු දේ වන දිව්‍ය නාමය වෙනුවට “ස්වාමීන්වහන්සේ” සහ “දෙවියන්වහන්සේ” වැනි වචන ආදේශ කිරීමයි. මෙම ලතින් වල්ගේට් අනුවාදය පළමු නිල ලත් කතෝලික බයිබල් පරිවර්තනය බවට පත් වූ අතර, නොයෙකුත් භාෂාවලින් පළ කළ වෙනත් පරිවර්තන බොහොමයකටද මූලාශ්‍රය විය.

නිදසුනකට, 1610දී නිකුත් වූ කතෝලික පරිවර්තනයක් වන ඩුඒ අනුවාදය හැඳින්විය හැක්කේ ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ ලතින් වල්ගේට් අනුවාදයක් ලෙසිනි. මෙම බයිබලයෙහි දෙවිගේ පෞද්ගලික නාමය කොතැනකවත් සඳහන් වී නොතිබීම පුදුමයට හේතුවක් නම් නොවේ. කෙසේවෙතත්, ඩුඒ අනුවාදය එසේ මෙසේ බයිබල් අනුවාදයක් නොවීය. එය ඉංග්‍රීසි බස කතා කරන කතෝලිකයන් 1940 ගණන් දක්වා භාවිත කළ එකම නිල ලත් බයිබලය ලෙස සලකන ලදි. ඔව්, අවුරුදු සිය ගණනකට දෙවිගේ නාමය භක්තිවන්ත කතෝලිකයන් මිලියන ගණනකගෙන් සඟවන ලදි.

කිං ජේම්ස් නමැති අනුවාදය සලකා බලන්න. වර්ෂ 1604දී එංගලන්තයේ පළමුවන ජේම්ස් රජු, බයිබලයේ ඉංග්‍රීසි අනුවාදයක් පරිවර්තනය කිරීමට පඬිවරුන් කණ්ඩායමක් පත් කළේය. වසර සතකට පමණ පසුව ඔවුහු කිං ජේම්ස් නමැති අනුවාදය මුදාහැරියෝය. මෙම අනුවාදය ඕතරයිස්ඩ් නොහොත් නිල අනුවාදය ලෙසද ප්‍රසිද්ධ විය.

මෙම පරිවර්තනයේදීත් පරිවර්තකයන්ගේ තීරණය වූයේ දිව්‍ය නාමය භාවිත කිරීමෙන් වැළකී සිටීමය. ඔවුන් එය භාවිත කළේ පද අතළොස්සක පමණි. බොහෝ අවස්ථාවන්හිදී දෙවිගේ නාමය වන ටෙට්‍රග්‍රැමටනය වෙනුවට “ස්වාමීන්වහන්සේ” හෝ “දෙවියන්වහන්සේ” වැනි යෙදුම් භාවිත කෙරිණ. මෙම බයිබලය මිලියන ගණනක් ජනතාවගේ සම්මත බයිබල් අනුවාදය බවට පත් විය. වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පවසන ආකාරයට “කිං ජේම්ස් අනුවාදයෙන් පසු වසර 200කට වැඩි කාලයක් පුරා සැලකිය යුතු ඉංග්‍රීසි බයිබල් පරිවර්තනයක් එළි දුටුවේ නැත. ඒ කාලයේදී ඉංග්‍රීසි කතා කරන ජනයා අතර වඩාත් පුළුල්ව භාවිත කළ පරිවර්තනය වූයේ කිං ජේම්ස්” අනුවාදයයි.

ඉහත සඳහන් නිදසුන් වනාහි පසුගිය සියවස් ගණනාව පුරා දෙවිගේ නාමය ඉවත් කර ඇති හෝ යට ගසන ලද බයිබල් පරිවර්තන රාශියෙන් තුනක් පමණි. එසේනම්, අද දින නමින් ක්‍රිස්තියානීන් ලෙස පෙනී සිටින අයගෙන් බහුතරයක්ම දිව්‍ය නාමය භාවිත කිරීමට අදිමදි කිරීම හෝ එය සම්පූර්ණයෙන්ම නොදැන සිටීම පුදුමයක් නොවේ. ඒ අතරවාරයේදී ඇතැම් බයිබල් පරිවර්තකයන් තම අනුවාදයන්වල දිව්‍ය නාමය ඇතුළත් කර ඇති බව මෙහිදී සඳහන් කළ යුතුය. කෙසේවෙතත්, මේවායින් වැඩි හරියක් නිකුත් වී ඇත්තේ මෑත කාලයේදීය. තවද දිව්‍ය නාමය සම්බන්ධයෙන් පවතින ජනප්‍රිය ආකල්පවල වෙනසක් ඇති කිරීමට තරම් එය බලපෑමක් වී නැත.

දෙවිගේ කැමැත්තට පටහැනි චාරිත්‍රයකි

දෙවිගේ නාමය භාවිත නොකිරීමට පොදුවේ සියලුදෙනාම පාහේ පුරුදු වීම පදනම් වී තිබෙන්නේ බයිබල් ඉගැන්වීම් මත නොව සම්පූර්ණයෙන්ම මිනිස් සම්ප්‍රදායන් මතය. “දෙවිගේ නාමය භාවිත කිරීම තහනම් කිරීමට කිසිදු යමක් ටෝරාහි සඳහන් වී නොමැත. ශුද්ධ ලියවිල්ල පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වන්නේ ජනයා දිව්‍ය නාමය නිතිපතා භාවිත කළ බවයි” යනුවෙන් යුදෙව් පර්යේෂක ට්‍රේසි ආර්. රිච් පැහැදිලි කරයි. ඔහු “Judaism 101” නමැති අන්තර්ජාලීය වෙබ් අඩවියේ නිර්මාතෘය. මින් පැහැදිලි වන්නේ බයිබල් කාලවලදී දෙවිට නමස්කාර කළ අය ඔහුගේ නාමය භාවිත කළ බවය.

එසේනම් දෙවිගේ නාමය දැනගැනීම හා එය භාවිත කිරීම, දෙවිගේ අනුමැතිය ලබන අයුරින් ඔහුව නමස්කාර කිරීමේ පිළිවෙතට, එනම් බයිබල් කාලවලදී අනුගමනය කළ පිළිවෙතට අපව සමීප කරවන බව පැහැදිලිය. ඇත්තටම මෙය මැවුම්කරු සමඟ පෞද්ගලික සබඳතාවක් ඇති කරගැනීමට මුල්ම පියවර විය හැකිය. එවන් සබඳතාවක් ඇති කිරීම නිකම්ම ඔහුගේ නාමය දැන සිටීමට වඩා බෙහෙවින් අර්ථවත් දෙයකි. ඇත්තවශයෙන්ම තමා සමඟ සබඳතාවක් ඇති කරගැනීමට යෙහෝවා දෙවි අපට ආරාධනා කරයි. දේවානුභාවයෙන් ඔහු මෙම උණුසුම් ඇරයුම ලේඛනගත කළේය. “දෙවිට ළං වෙන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය.” (යාකොබ් 4:8NW) දූවිලි බඳු මිනිසෙකුට සර්වබලධාරී දෙවි සමඟ එතරම් සමීප සබඳතාවක් භුක්ති විඳිය හැක්කේ කෙසේදැයි යන්න ඔබට ප්‍රහේලිකාවක් විය හැක. යෙහෝවා සමඟ සබඳතාවක් ඇති කරගෙන එය පවත්වාගෙන යා හැකි අයුරු ඊළඟ ලිපියෙහි පැහැදිලි කෙරේ.

[පාදසටහන]

^ 5 ඡේ. තල්මුඩය යනු පුරාණ යුදෙව් සම්ප්‍රදායන්වල එකතුවකි. එය යුදෙව් ධර්මයේ වඩාත් පරිශුද්ධ හා අධිකාරයක් ඇති ලිඛිත ග්‍රන්ථය ලෙස සැලකේ.

[6වන පිටුවේ කොටුව]

හලෙලූයා!

හලෙලූයා” යන්න ඔබට හුරු පුරුදු වචනයක්ද? හැන්ඩල් යන සංගීතඥයා රචනා කළ “මෙසායා” යන සංගීත කෘතිය ගැන ඔබ සමහරවිට අසා තිබෙනවා විය හැක. මෙය රචනා කළේ 1700 ගණන්වලය. එහි හලෙලූයා නමැති චමත්කාරජනක සමූහ ගායන ඇතුළත්ය. කෙසේවෙතත්, ඔබ යම් ක්‍රමයකින් හෝ “හලෙලූයා” යන වචනය ගැන අසා තිබෙනවා කියා විශ්වාස කළ හැක. ඔබ සමහරවිට එය භාවිත කරනවා විය හැක. එනමුත් ඉන් අදහස් කරන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද?

හලෙලූයා—එය හාලෙලූ-යාහ් නමැති හෙබ්‍රෙව් යෙදුමේ අක්ෂර පරිවර්තනයකි. එහි තේරුම වනාහි “යාහ්ට ප්‍රශංසා කරත්වා” නැතහොත් “ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරත්වා” යන්නයි.

යාහ්—මෙය දෙවිගේ නාමය වන යෙහෝවා කෙටි කොට කාව්‍යයන්වල දක්වන ආකාරයකි. එය බයිබලයෙහි වාර 50කට වැඩිය දක්නට ලැබෙන අතර, නිතරම පාහේ “හලෙලූයා” යන යෙදුමේ කොටසක් ලෙස එය දැකගත හැක.

[7වන පිටුවේ කොටුව]

දෙවිගේ නාමය පෞද්ගලික නම්වල ඇතුළත්ය

අද දින පවා බයිබලයෙහි භාවිත කළ නම් බොහොමයක්ම ජනප්‍රියය. මෙවන් නම්වලින් කිහිපයකම මුල් හෙබ්‍රෙව් අරුතට දෙවිගේ පෞද්ගලික නාමය ඇතුළත් විය. ඒවා කිහිපයක් සහ ඒවායෙහි අරුත මතු දැක්වේ. සමහරවිට ඔබේ නමද ඒ අතර විය හැක.

යොවානා—“යෙහෝවා අනුග්‍රහයෙන් යුක්තය”

යෝවෙල්—“යෙහෝවා දෙවිය”

යොහන්—“යෙහෝවා අනුමැතිය දක්වා ඇත”

යොනතාන්—“යෙහෝවා දී ඇත”

යෝසෙප්—“යාහ් දානය කරාවා” *

යෝෂුවා—“යෙහෝවා ගැලවීමය”

[පාදසටහන]

^ 34 ඡේ. “යාහ්” යනු “යෙහෝවා” යන්න කෙටි කර දැක්වීමකි.

[8වන පිටුවේ කොටුව]

දෙවි සඳහා බයිබලයේ යෙදුම්

ශුද්ධ ලියවිල්ලේ හෙබ්‍රෙව් පාඨය දෙවි සඳහා නොයෙකුත් යෙදුම් භාවිත කරයි. සර්වබලධාරී, මැවුම්කරු, පියාණන් සහ ස්වාමීන් ඉන් සමහරකි. කෙසේවෙතත්, මෙවන් සියලු යෙදුම් භාවිත කර ඇති වාර ගණන එකට එකතු කළද, ඔහුගේ පෞද්ගලික නාමය භාවිත කර ඇති වාර ගණන ඊට වඩා බෙහෙවින් වැඩිය. අප දෙවිගේ නාමය භාවිත කිරීම ඔහුගේ කැමැත්ත බව මින් මොනවට පැහැදිලි වේ. හෙබ්‍රෙව් ලියවිල්ලෙහි සඳහන් මතු දැක්වෙන යෙදුම් ලැයිස්තුව සලකා බලන්න. *

යෙහෝවා—6,973වරක්

දෙවි—2,605වරක්

සර්වබලධාරී—48වරක්

ස්වාමීන්—40වරක්

සැදුම්කරු—25වරක්

මැවුම්කරුවාණන්—7වරක්

පියාණන්—7වරක්

පුරාතන තැනැත්තා—3වරක්

උදාර උපදේශක—2වරක්

[පාදසටහන]

^ 40 ඡේ. මෙම ලැයිස්තුවේ දළ වශයෙන් දක්වා ඇති සංඛ්‍යා ලේඛනවලට පදනම සපයන්නේ ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය නමැති පරිවර්තනයයි.—සිංහලෙන් නැත. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

[9වන පිටුවේ කොටුව]

සියල්ල සිදුවීමට සලස්වන දෙවි කෙනෙක්

දෙවිගේ නාමය වන යෙහෝවා යන්නෙහි තේරුම කුමක්දැයි යන්න සම්බන්ධයෙන් සියලුම පඬිවරු එකම මතය නොදරති. කෙසේවෙතත් මෙම විෂය ගැන පුළුල් පර්යේෂණ පැවැත්වීමෙන් අනතුරුව බොහෝදෙනෙකුගේ විශ්වාසය වන්නේ එම නාමය හාවාහ් (සිදුවීම) යන හෙබ්‍රෙව් ක්‍රියා පදයෙන් රැගත් යමක් බවය. මේ අනුව එම නාමයේ තේරුම “ඔහු සිදුවීමට සලස්වයි” යන්නය.

එබැවින් නික්මයාම 3:14හි සඳහන් පරිදි මෝසෙස් දෙවිගෙන් ඔහුගේ නාමය විමසූ අවස්ථාවේදී දෙවි දුන් පිළිතුර ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයට * අනුව පරිවර්තනය කර ඇත්තේ මෙලෙසය. “එවිට දෙවි මෝසෙස්ට මෙසේ පැවසීය. ‘මා යම් සේද, එසේම සිටිමි.’ ඔහු තවදුරටත් මෙසේද පැවසීය. ‘ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඔබ පැවසිය යුතු දේ මෙයයි, “මාව ඔබ වෙතට එවා ඇත්තේ එසේම සිටින්නාය.”’”

දෙවිගේ නාමයේ තේරුම එලෙස දැක්වීම යෝග්‍යය. මන්දයත්, දෙවි තමාට කැමති දේ සිදුවීමට සලස්වන කෙනෙකු වන බැවිනි. ඔහුගේ කැමැත්ත ඉටු කිරීම සඳහා භාරගත යුතු කාර්යභාරය කවරේද, ඊට බාධා කළ හැකි කිසිවක් නැත. ඔහුගේ අරමුණු හා පොරොන්දු අනිවාර්යයෙන්ම යථාර්ථයක් වනු ඇත. දේවල් සිදු කිරීමට අසීමිත හැකියාවකින් යුත් තැනැත්තා කවුද යන්න, එනම් මැවුම්කරු කවුද යන්න දෙවි කැපීපෙනෙන අයුරින් ඔප්පු කළේය. භෞතික විශ්වය බිහි කළේ ඔහුය. ඔහු අදෘශ්‍යමාන ආත්ම ජීවීන් මිලියන ගණනක් මැවීය. සැබවින්ම, ඔහු දේවල් සිදුවීමට සලස්වන දෙවි කෙනෙකු බව පැහැදිලිය.

[පාදසටහන]

^ 55 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.—සිංහලෙන් නැත.

[5වන පිටුවේ පින්තූරය]

හනනියා බෙන් ටෙරාඩියොන්ගේ ඝාතනය දක්වන කැටයමක්

[8, 9වන පිටුවේ පින්තූර]

දෙවිගේ නාමය මතු දැක්වෙන ස්ථානවල පැහැදිලිව දැකගත හැකිය:

1. ඩෙන්මාර්ක්හි ලෝම්බෝර්වල පල්ලියක, 17වන සියවස

2. ස්විට්සර්ලන්තයේ බර්න් නගරයේ ආසන දෙව් මැදුරක වර්ණ යෙදූ වීදුරුවක

3. ඊශ්‍රායෙල්හි මළ මුහුදේ ලියවිල්ල, මුල් අවදියේ භාවිත කළ හෙබ්‍රෙව් අක්ෂරවලිනි; ක්‍රි.ව. 30-50 පමණ

[හිමිකම් විස්තර]

Shrine of the Book, Israel Museum, Jerusalem

4. ස්වීඩනයේ කාසියක, 1600

[හිමිකම් විස්තර]

Kungl. Myntkabinettet, Sveriges Ekonomiska Museum

5. ජර්මානු යාච්ඤා පොතක, 1770

[හිමිකම් විස්තර]

From the book Die Lust der Heiligen an Jehova. Oder: Gebaet-Buch, 1770

6. ශිලා ලේඛනයක, ජර්මනියේ බැවේරියා

7. මෝවබ් පාෂාණය, ප්‍රංශයේ පැරිස්, ක්‍රි.පූ. 830

[හිමිකම් විස්තර]

Musée du Louvre, Paris

8. ස්විට්සර්ලන්තයේ ඕල්ටෙන්හි පල්ලියක සිවිලිමේ චිත්‍රයක