Skip to content

පටුනට යන්න

පාසැලෙන් දෙන ගෙදර වැඩ කරන්න මම වේලාව හොයාගන්නේ කොහොමද?

පාසැලෙන් දෙන ගෙදර වැඩ කරන්න මම වේලාව හොයාගන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

පාසැලෙන් දෙන ගෙදර වැඩ කරන්න මම වේලාව හොයාගන්නේ කොහොමද?

‘මම උසස් පෙළ පංතියේ ශිෂ්‍යාවක්. මට පුදුම පීඩනයක් දැනෙන්නේ. . . . ව්‍යාපෘති හා ඉදිරිපත් කිරීම් හුඟාක් කරන්න තියෙනවා. ඒවා කරන එක ලේසි නැහැ. මට කොහෙත්ම වෙලාවක් නැහැ.’—18 හැවිරිදි සිසුවියක්.

හැමදාම පාසැල නිම වී නිවසට එද්දී ඔබ රැගෙන එන ගෙදර වැඩ තොගය නිසා ඔබ හෙම්බත් වී සිටිනවාද? එසේ දැනෙනවා නම්, එය ඔබට පමණක් තිබෙන ගැටලුවක් නොවෙයි. එක්සත් ජනපදයේ පුවත්පත් වාර්තාවක සඳහන් වූයේ මෙවැන්නක්. “තම පාසැලේ තත්වය ඉහළ නැංවීමට සහ ජාතික මට්ටමෙන් පවත්වන විභාගවලදී වැඩි ලකුණු මට්ටමක් ලබාගැනීමට එක්සත් ජනපදයේ සෑම පාසැලක්ම පාහේ වෙර දරනවා. ඒ සඳහා එම පාසැල් ළමයි මත හැකි තරම් ගෙදර වැඩ පටවනවා. ගෙදර වැඩ කිරීම සඳහා රාත්‍රි කාලයේ පැය තුනකට වැඩියෙන් වැය කරන්න සිදු වෙන බව උසස් පංතිවල ඉගෙනුම ලබන ළමුන් වාර්තා කරනවා. මිචිගන්හි එක් විශ්වවිද්‍යාලයක කළ අධ්‍යයනයකින් හෙළි වූයේ අවුරුදු 20කට පෙර සිටි ළමුන්ට තිබුණාට වඩා දැන් සිටින ළමුන්ට තිබෙන ගෙදර වැඩ ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි බවයි.”

විශාල ගෙදර වැඩ ප්‍රමාණයක් කිරීමේ ගැටලුව එක්සත් ජනපදයේ ශිෂ්‍යයන්ට පමණක් ආවේණික දෙයක් නොවෙයි. නිදසුනක් වශයෙන් එහි සිටින 13වන වියේ පසු වන ළමුන්ගෙන් සියයට 30ක් ගෙදර වැඩ සඳහා පැය දෙකකට වඩා වැඩි කාලයක් වෙන් කරන බව කියා සිටියත් තායිවානයේ සහ කොරියාවේ එය සියයට 40ක් වූ අතර ප්‍රංශයේ එම සංඛ්‍යාව සියයට 50ටත් වඩා වැඩි වුණා. “මගේ ගෙදර වැඩ ගොඩ ගැහෙනකොට සමහර වෙලාවට මට ලොකු පීඩනයක් ඇති වෙනවා” යයි සුසුම්ලමින් පැවසුවේ එ.ජ. විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයාවක් වන කේටීයි. ප්‍රංශයේ මාසෙයිහි පාසැලකට යන මරිලින් සහ බලින්ඩාට හැඟෙන්නෙත් එලෙසමයි. “හුඟක් අවස්ථාවල අපි රෑට පැය දෙකක් හෝ ඊට වඩා වේලාවක් පාසැලෙන් දෙන ගෙදර වැඩ කරන්න යොදවනවා. වෙනත් වගකීමුත් තියෙනකොට කාලය හොයාගන්න එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි” කියා මරිලින් කියා සිටිනවා.

මම වේලාව හොයාගන්නේ කොහෙන්ද?

ඔබගේ ගෙදර වැඩ ඉවර කරන්නත් ඔබට කරන්න තියෙන අනෙකුත් හැම දෙයක්ම කරන්නත් හැකි වන පරිදි, ඔබට අවශ්‍ය විටකදී දවසේ පැය විසිහතරට තව පැය කිහිපයක් එකතු කරන්න පුළුවන් නම් කොච්චර හොඳද කියා ඔබට සිතෙන්නේ නැද්ද? ඇත්තටම සමහරවිට ඔබට එවැනි දෙයක් කළ හැකියි ඔබ එෆීස 5:15, 16හි [NW] තිබෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්නවා නම්. එහි සඳහන් වන්නේ මෙයයි. “ඔබ අඥානයන් මෙන් නොව, ප්‍රඥාවන්තයන් මෙන් ගමන් කිරීමට ඉතා සැලකිලිමත් වන්න. දවස් නපුරු බැවින්, ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.” බයිබල් ලේඛකයා මෙය ලියන විට පාසැලේ දෙන ගෙදර වැඩ ගැන ඔහුගේ මනසේ තිබුණේ නැති වුණත් එහි තිබෙන ප්‍රතිපත්තිය එදිනෙදා ජීවිතයට අදාළ කරගත හැකියි. ඔබ යම් දෙයක් මිල දී ගන්නවා කියන්නේ හුවමාරුවක් හැටියට ඔබ යමක් දිය යුතු බවයි. ඒ කියන්නේ පාඩම් කිරීම සඳහා කාලය හොයාගන්නට නම් යම් පරිත්‍යාගයන් කරන්න ඕනේ. ඒත් මොනවද ඔබට පරිත්‍යාග කරන්න පුළුවන්?

ජිල්යන් කියන යෞවනිය මෙම අවවාදය දෙනවා. “මුලින්ම කරන්න ඕනේ මොනවද කියලා ලැයිස්තුවක් හදන්න.” වෙන විදිහකින් කියනවා නම් ඔබ මුල් තැන දිය යුතු දේවල් මොනවද කියා කල්පනා කරන්න අවශ්‍යයි. ක්‍රිස්තියානි රැස්වීම් සහ ආත්මික දේවල් ඔබේ ලැයිස්තුවේ මුල් තැනට පැමිණිය යුතුයි. ඒ වගේම පවුලේ වගකීම් සහ දිනපතා කළ යුතු ගෙදර දොරේ වැඩ මෙන්ම පාසැලෙන් දෙන ගෙදර වැඩත් අමතක කරන්න එපා.

සතියකදී හෝ දෙකකදී ඔබ ඇත්තටම කාලය ගත කරන ආකාරය දිනපොතක සටහන් කරන්න. එයින් ඔබ දැනගන්න දේ ගැන ඔබ පුදුම විය හැකියි. රූපවාහිනිය නැරඹීම, ඉන්ටනෙට් එකේ සැරිසැරීම, චිත්‍රපට බැලීම, දූරකථනයෙන් කතා කිරීම, යාළුවන් මුණගැසීමට යෑම වැනි දේවල් සඳහා ඔබ කොතරම් කාලයක් ගත කරනවාද? දැන් ඔබේ දිනපොතයි, මුල් තැන දිය යුතු දේ සටහන් කළ ලයිස්තුවයි සන්සන්දනය කරන්න. මොනවද පෙනෙන්නේ? රූපවාහිනිය නැරඹීම, දූරකථන ඇමතුම් ගැනීම හෝ ඉන්ටනෙට් එකේ සැරිසැරීම වැනි දේවල් කිරීම සඳහා යොදවන කාලයෙන් ඕනෑ තරම් වේලාව සොයාගන්න පුළුවන් බව ඔබට පෙනේවි!

වැදගත් දේවලට මුල් තැන

සම්පූර්ණයෙන්ම රූපවාහිනිය නරඹන්නේ නැතුව තාපසයෙක් වගේ ඉන්න ඕනේ කියලා මෙයින් අදහස් වන්නේ නැහැ. “වැදගත් දේවලට මුල් තැන” යන නීතිය යොදාගන්න ඔබට අවශ්‍ය විය හැකියි. මෙහිදී බයිබල් පදයක් අදාළ කරගත හැකියි. “වඩා වැදගත් දේවල් සහතික කරගන්න” කියා එහි සඳහන් වෙනවා. (ෆිලිප්පි 1:10NW) එය මෙසේ උදාහරණයකින් පෙන්විය හැකියි. ඔබේ පාසැල් වැඩකටයුතු වැදගත් නිසා ඔබ ඔබටම මෙසේ නීතියක් දමා ගන්න. ගෙදර දොරේ වැඩ, ක්‍රිස්තියානි රැස්වීම් සඳහා අධ්‍යයනය කිරීම සහ ඔබේ ගෙදර වැඩ අවසන් කරන තෙක් රූපවාහිනිය දමන්නේ නැහැ. ඔබේ ප්‍රියතම රූපවාහිනි වැඩසටහන නොබලා ඉන්න එක හිතට දුකක් වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම කියනවා නම් ඔබ කී වතාවක් ඔබේ ප්‍රියතම වැඩසටහන පමණක් නැරඹීමේ අරමුණෙන් රූපවාහිනිය ඉදිරියට ගිහිල්ලා අන්තිමේදී කිසි දෙයක් නොකර මුළු හවස් කාලයම රූපවාහිනියට කැප කර තියෙනවද?

ඒ වෙනුවට ඔබ ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීම වැදගත් දෙයක් ලෙස සැලකිය යුතුයි. උදාහරණයකට ඔබ දන්නවා නම් යම් මඟහැරිය නොහැකි විභාගයක් හෝ ගෙදර වැඩ පැවරුමක් තියෙනවා කියලා, රැස්වීමට බාධාවක් නොවන අයුරින් ඒ සඳහා කලින්ම සූදානම් වීමට උත්සාහ කරන්න. සමහරවිට ඔබේ තත්වය ගැන ඔබේ ගුරුවරුන් සමඟ කතා කර බලන්න ඔබට පුළුවන්. රැස්වීම් දවස්වලට තිබෙන වැඩ පැවරුම් ගැන ඔබට කලින්ම දැනුම් දිය හැකි නම් ඔබ එය ගොඩාක් අගය කරන බව ගුරුවරුන්ට කියන්න. සමහර ගුරුවරුන් සහයෝගය දක්වන්න කැමති වේවි.

යේසුස්ගේ මිතුරියක් වූ මාර්තා සම්බන්ධ වාර්තාවෙන් තවත් උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්තියක් ඉගෙනගත හැකියි. ඇය ඉතාමත් කාර්යබහුල කඩිසර ස්ත්‍රියක්. නමුත් ඇය මුල් තැන දිය යුතු දේවලට නිසි තැන දී තිබුණේ නැහැ. එක් අවස්ථාවක ඇය යේසුස්ට විශේෂ ආහාර වේලක් පිළියෙළ කිරීමට යෑමෙන් වෙහෙසට පත් වුණා. එම අවස්ථාවේ ඇගේ සහෝදරිය වූ මරියා ඇයට උදව් කරනවා වෙනුවට යේසුස්ට සවන් දෙමින් සිටියා. මේ ගැන මාර්තා යේසුස්ට පැමිණිලි කළ විට යේසුස් ඇයට, “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේවල් ගැන කරදර වී නොසන්සුන්ව සිටින්නෙහිය. අවශ්‍යව තිබෙන්නේ කීපයක් පමණි. නැත්නම් එක දෙයකි. මරියා යහපත් කොටස තෝරාගත්තාය. එය ඇගෙන් පැහැරගනු නොලැබේ” යයි කියා සිටියා.—ලූක් 10:41, 42NW.

මෙයින් ඉගෙනගත හැකි පාඩම මොකක්ද? දේවල් සරලව තබාගන්න. මෙම ප්‍රතිපත්තිය ඔබේ තත්වයට ඔබ අදාළ කරගන්නේ කොහොමද? ඔබත් ‘බොහෝ දේවල් ගැන කරදර වෙනවද?’ සමහරවිට ඔබ ගෙදර වැඩත්, අර්ධ කාලීන රැකියාවත් අතර පොරබැදීමක නියැලෙනවාද? ඔබ රැකියාවක් කරනවා නම්, ඔබේ පවුලට ඇත්තටම ඉන් ලැබෙන මුදල් අවශ්‍යමද? නැත්නම් ඔබ රැකියාවක් කරන්නේ ඔබ ආස කරන නමුත් ඇත්තටම අවශ්‍ය කරන්නේ නැති දේවල් සඳහා අමතර මුදල් ලබාගැනීමටද?

උදාහරණයක් වශයෙන් සමහර රටවල යෞවනයන්ට තමන්ටම කියලා කාර් එකක් මිල දී ගැනීමට ලොකු ආශාවක් තියෙනවා. උසස් පාසැල් උපදේශිකාවක් වන කැරන් ටර්නර් එය මෙසේ පැහැදිලි කරනවා. “කාර් එකක් නඩත්තු කරන එක වියදම් අධික දෙයක්. ඒ නිසා අද යෞවනයන් සල්ලි හම්බ කිරීම සඳහා විශාල පීඩනයකට මුහුණ දෙනවා.” කෙසේවෙතත් ටර්නර් අවසන් කළේ මෙවැන්නක් පවසමින්. “විශාල ගෙදර වැඩ ප්‍රමාණයකට අමතරව ක්‍රීඩා කටයුතුයි, රැකියාවකුයි කරන්න ගියොත් ශිෂ්‍යයා ලොකු අපහසුතාවකට මුහුණ දෙනවා. එවිට ඒක දරාගන්න බැරි තරම් ලොකු බරක් වෙනවා.” අවශ්‍යතාවක් නැතිව අනවශ්‍ය ලෙස වැඩ පටවාගන්නේ ඇයි? ඔබේ පාසැල් වැඩ අතපසු වෙනවා නම් සමහරවිට රැකියාව කරන පැය ප්‍රමාණය අඩු කිරීමට හෝ රැකියාවෙන් අයින් වීමට ඔබට පුළුවන්.

පාසැල් වේලාවෙන් ‘කාලය සොයාගන්න’

පාසැල් වේලාවෙන් පසුව අමතර පැය සොයාගැනීමට අමතරව පාසැලේ ගත කරන කාලයෙන් වැඩි ප්‍රයෝජනයක් ගත හැකි ආකාරය ගැනත් සිතා බලන්න. “මම ගෙදර වැඩ පුළුවන් තරමක් විෂයට අදාළ කාල වේලාවේදීම කරන්න උත්සාහ කරනවා. එතකොට මට ඒ දවසේ උගන්නපු දේවල් තේරුණේ නැත්නම් ටීචර් ළඟට ගිහිල්ලා අහන්නත් පුළුවන්.” හෝස්වා කියන ශිෂ්‍යයායි එහෙම කියන්නේ.

සලකා බැලිය හැකි තවත් දෙයක් නම් ඔබ තෝරාගෙන තිබෙන වෛකල්පිත විෂයන් ප්‍රමාණය අඩු කිරීම. ඒ වගේම ඔබ යෙදී සිටින බාහිර ක්‍රියාකාරකම් සමහරක් නතර කර දැමීම ගැනත් සලකා බලන්න පුළුවන්. මෙවැනි පැතිවල යම් වෙනස්කම් කිරීමෙන් ඔබට පාඩම් කිරීම සඳහා අමතර කාල වේලාවන් සොයාගත හැකියි.

ඔබේ කාලය හොඳින් පාවිච්චි කිරීම

හොඳයි දැන් ඔබ ඔබේ ගෙදර වැඩ සඳහා යම් කැප කිරීම් සහ සකස් කිරීම් කර වැඩිපුර වේලාව සොයාගෙන තිබෙනවා කියා සිතමු. ඔබ එම කාලය කොතරම් හොඳින් පාවිච්චි කරන්න යනවාද? ඔබ සොයාගත් වේලාව තුළදී ඔබ නිම කරගන්නා ගෙදර වැඩ සියයට 50කින් වැඩි කරන්න පුළුවන් නම් එය හරියට ඔබට ඇති කාලය සියයට 50කින් වැඩි කරගන්නවා හා සමාන වැඩක් කියලා ඔබට සිතෙන්නේ නැද්ද? මෙන්න කාලය හොඳින් පාවිච්චි කිරීමට යෝජනා කිහිපයක්.

සැලසුම් කරන්න. ඔබේ ගෙදර වැඩ පටන්ගන්න පෙර මෙවැනි දේවල් කල්පනා කරන්න. මුලින්ම කළ යුත්තේ මොන විෂයද? පැවරුම සඳහා කොතරම් කාලයක් වැය වෙයිද? මේ සඳහා පොත්, කඩදාසි, පෑන්, කැල්කියුලේටර අවශ්‍යද?

පාඩම් කිරීමට ස්ථානයක් සොයන්න. උපරිම ප්‍රතිඵල නෙළාගැනීමට නම් එය බාධාවන්ගෙන් නිදහස් ස්ථානයක් විය යුතුයි. ‘ඔබට මේසයක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. ඔබ ඇඳේ නිදාගෙන පාඩම් කරනවාට වඩා ඉඳගෙන සිටින විට සිත හොඳින් යොමු කරන්න පුළුවන්.’ එසේ පැවසුවේ ඉලීස් නමැති යෞවනියයි. ඔබටම කියා කාමරයක් නැති වුණත් ඔබ පාඩම් කරන වෙලාවට ඔබේ සහෝදරයන් හෝ සහෝදරියන් ඔබට නිදහසේ පාඩම් කිරීමට ඉඩ සලසා දෙන්න සතුටු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට උද්‍යානයකට හෝ පුස්තකාලයකට ගොස් පාඩම් කළ හැකියි. ඔබටම කියා වෙන් වූ කාමරයක් තිබේ නම් පාඩම් කිරීමට දරන ඔබේ උත්සාහයට රූපවාහිනිය නැරඹීම හෝ සංගීතය ඇසීම බාධාවක් කරගන්න එපා.

අතරමඟ කෙටි විවේකයන් ගන්න. ටික වෙලාවකින් ඔබේ අවධානය වෙනතකට යොමු වෙනවා කියා ඔබට දැනුනොත් කෙටි විවේකයක් ගැනීම නැවතත් වැඩේට අවධානය යොමු කිරීමට උපකාරයක් වේවි.

කල් දාන්න එපා. “නිතරම දේවල් කල් දාන එක මගේ පුරුද්දක්. හැම වැඩක්ම කරන්න කට අගට එනකං මම ඉන්නවා.” ලිපිය ආරම්භයේ සඳහන් කළ කේටීයි එසේ පවසන්නේ. ඔබේ ගෙදර වැඩ සඳහා නිශ්චිත කාලසටහනක් තබාගෙන එයට අනුව වැඩ කිරීමෙන් දේවල් පස්සට දැමීම වළක්වාගන්න.

පාසැල් වැඩ වැදගත්. නමුත් යේසුස් මාර්තාට පෙන්නූ ලෙස වඩාත්ම වැදගත් දේ වන්නේ, එනම් ‘යහපත් කොටස’ වන ආත්මික දේවල්. බයිබල් කියවීම, ක්ෂේත්‍ර සේවයෙහි හවුල් වීම සහ රැස්වීම්වලට යෑම වැනි දේවලට ගෙදර වැඩ බාධාවක් නොවීමට වගබලා ගන්න. එවැනි දේවල් තමයි ඔබේ ජීවිතයට සදාකාලයටම යහපතක් ළඟා කර දෙන්නේ!—ගීතාවලිය 1:1, 2; හෙබ්‍රෙව් 10:24, 25.

[15වන පිටුවේ පින්තූර]

ක්‍රියාකාරකම් රාශියක් එකවර කිරීමට යෑමෙන් ඔබට ගෙදර වැඩ සඳහා වේලාව සොයාගැනීම දුෂ්කර වෙයි

[15වන පිටුවේ පින්තූරය]

දේවල් හොඳින් සංවිධානය කිරීමෙන් ගෙදර වැඩ සඳහා වැඩිපුර වේලාව සොයාගත හැකියි