Skip to content

පටුනට යන්න

පුරාණ ගොඩනැඟිලිවල දෙවිගේ නාමය

පුරාණ ගොඩනැඟිලිවල දෙවිගේ නාමය

පුරාණ ගොඩනැඟිලිවල දෙවිගේ නාමය

ස්ලොවේනියාවේ පිබිදෙව්! ලේඛක විසිනි

අතීතයේ ගෙවුණු සියවස් ගණනාව පුරාම යුරෝපයේ විවිධ තැන්වල පල්ලි සහ තාපසාරාම කුඩා කඳු මුදුන්වල ඉදි කරන ලදි. මෙම පුරාණ ගොඩනැඟිලි විවිධ ගෘහ නිර්මාණ ශෛලියන් යොදා නිර්මාණය කර ඇත. නිදසුනකට මධ්‍යකාලීන යුගයේ ජනප්‍රිය වූ රෝමාකාර ශෛලියට අනුව නිර්මාණය කළ ගොඩනැඟිලිවල බිත්ති ගනකමින් වැඩිය; එමෙන්ම ගනකමින් වැඩි ආරුක්කු දක්නට ලැබිණ. අනික් අතට පසු කාලයේදී බැරොක් ශෛලියට අනුව විසිතුරුබවින් යුත් චමත්කාරජනක ගොඩනැඟිලිද ඉදි කරන ලදි. මෙහිදී සිත්ගන්නා දෙයක් වන්නේ මෙම ගොඩනැඟිලි බොහොමයක ටෙට්‍රග්‍රැමටනය හෙවත් දෙවිගේ පෞද්ගලික නාමය දැක්වීමට භාවිත කෙරෙන හෙබ්‍රෙව් අක්ෂර සතර දක්නට තිබීමය.

නිදසුනකට, ස්ලොවේනියාවේ පිහිටා ඇති පැරණිතම සිස්ටර්ෂන් නිකායේ තාපසාරාමවලින් එකක් වන ස්ටිච්නා තාපසාරාමය සලකා බලන්න. එය ඉදි කරන ලද්දේ 1135දීය. ඒ කියන්නේ සිස්ටර්ෂන් පැවිදි නිකාය පිහිටුවා වසර 40ක් තරම් කෙටි කාලයකින් අනතුරුවය. මෙම තාපසාරාමය කිහිප විටක්ම ප්‍රතිසංස්කරණය කළද, බැරොක් නිර්මාණ ශෛලියේ යම් ලක්ෂණ සමඟින් එහි මුල් රෝමාකාර නිර්මාණ ශෛලිය තවමත් පැහැදිලිව දක්නට ලැබේ. අභ්‍යන්තරය නොයෙකුත් චිත්‍ර සහ ප්‍රතිමාවලින් අලංකාර කර ඇත. එක් පසෙක තිබෙන අල්තාරයක ටෙට්‍රග්‍රැමටනය විශාල රන් අක්ෂරවලින් දක්වා තිබේ. එය රිදී වළල්ලකින් වට වී ඇත.

ස්ලොවන්ජ් ග්‍රැඩෙට්ස් නමැති ගම ගැන ලිඛිත වාර්තාවල මුලින්ම සඳහන් වී ඇත්තේ දසවන සියවස තරම් ඈත අතීතයක සිටය. වර්ෂ 1419දී ගොතික් නිර්මාණ ශෛලියේ පල්ලියක් සහ ඊට යාබදව රෝහලක් ඉදි කරන ලදි. අභ්‍යන්තරයේ පිහිටි බිත්තියක් පුරාම 15වන සියවසේදී නිම කරන ලද බිතුසිතුවමකින් සිත්තම් කර ඇති අතර, එම සිතුවමේ බයිබලයෙන් රැගත් දර්ශන 27ක් ඇතුළත්ය. එය ඇරඹෙන්නේ ලාසරුස්ගේ නැවත-නැඟිටීම සමඟිනි. අවසන් වන්නේ පෙන්තකොස්ත උත්සවයෙනි. එම ගොඩනැඟිල්ලේ තවත් ස්ථානයක දෙවිගේ නාමය රන් පසුතලයක කලු පාට අක්ෂරවලින් දක්වා ඇත.

රැඩොලිට්සා ගම්මානය පිහිටා තිබෙන්නේ රටේ වයඹදිග ප්‍රදේශයෙහිය. එක්දහස් හාරසිය ගණන්වල එහි ජීවත් වූ කුඩා ප්‍රජාවක් ආරක්ෂාව පිණිස පවුරු හා දිය අගලක් ඉදි කළ අතර, එම පවුරු තුළ බලකොටුවක්, පල්ලියක් සහ වෙනත් ගොඩනැඟිලි ඉදි කර තිබිණ. පල්ලියේ එක අල්තාරයක දක්නට ලැබෙන විසිතුරු රන් ඵලකයක ටෙට්‍රග්‍රැමටනය දක්නට තිබේ.

පෝට්චටර්ටක් නම් කුඩා ගම්මානයට ආසන්නව පැරණි තාපසාරාමයක් තිබෙන අතර, එය 17වන සියවසේ ඉදි කරන ලද්දක් බවට සාක්ෂි ඇත. එහි අභ්‍යන්තරයේ තිබෙන එක්තරා බිතුසිතුවමක් හොඳින් පරීක්ෂා කර බැලුවහොත් දිව්‍ය නාමය සටහන් වී තිබෙන ආකාරය දැකගත හැකි වේ.

ටෙට්‍රග්‍රැමටනය වෙනත් පුරාණ ස්ලොවේනියානු ගොඩනැඟිලි බොහොමයක දැකගත හැකිය. එබැවින් අතීතයේ ජීවත් වූ අයගේ ගෘහ නිර්මාණ කුසලතා සහ කලාත්මක හැකියාව සංචාරකයන්ගේ අවධානයට ලක් වන අතරේදී, එම පැරැන්නන් දෙවිගේ නාමය දැන සිටි බවත් දැනගැනීම සංචාරකයන්ගේ උනන්දුවට හේතු විය හැක.

[31වන පිටුවේ පින්තූරය]

ස්ටිච්නාහි අල්තාරය

[31වන පිටුවේ පින්තූරය]

ස්ලොවන්ජ් ග්‍රැඩෙට්ස්හි පිහිටි ස්වේටි ඩූහ් පල්ලිය

[හිමිකම් විස්තර]

Slovenj Gradec-Cerkev Sv. Duha, Slovenija