Skip to content

පටුනට යන්න

මා බයිබලය විශ්වාස කිරීමට හේතුව න්‍යෂ්ටික විද්‍යාඥයෙක් තමාගේ කතාව කියයි

මා බයිබලය විශ්වාස කිරීමට හේතුව න්‍යෂ්ටික විද්‍යාඥයෙක් තමාගේ කතාව කියයි

මා බයිබලය විශ්වාස කිරීමට හේතුව න්‍යෂ්ටික විද්‍යාඥයෙක් තමාගේ කතාව කියයි

ඕල්ටන් විලියම්ස් පැවසූ පරිදි

වර්ෂ 1978දී මගේ ජීවිතයේ විශේෂ සිද්ධීන් දෙකක් සිදු විණි. සැප්තැම්බර් මාසයේදී න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු ලෙස මට උපාධියක් ලැබුණු අතර, එම වසරේම දෙසැම්බර් මාසයේදී මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේවසේවකයෙකු වශයෙන් කැප වුණෙමි.

මා විද්‍යාඥයෙකු මෙන්ම සාක්ෂිකරුවෙකු බව වෙනත් අය දැනගත් විට, ඔවුන් බොහෝවිට හිතන්නේ විද්‍යාවෙන් ඉගෙනගෙන තිබෙන දේ හා බයිබලයෙන් ඉගෙනගෙන තිබෙන දේ එකවර විශ්වාස කරන්නේ කෙසේදැයි කියායි. වසර ගණනාවක් පුරාම මාද විද්‍යාත්මක දැනුම බයිබල් දැනුම සමඟ ගැළපෙන ආකාරය ගැන සැක පහළ කළ බව නම් කිව යුතුයි. එහෙත්, අන්තිමේදී බයිබලය විද්‍යාත්මකව ඔප්පු කරන ලද සත්‍යය කාරණාවලට එකඟ බව මට සම්පූර්ණයෙන්ම අවබෝධ විය. මා එම නිගමනයට එළඹුණේ කෙසේද? මා පළමුව විද්‍යාඥයෙකු බවට පත් වූ ආකාරය ගැන කීමට කරුණාකර මට ඉඩ දෙන්න.

වසර 19ක ව්‍යාපෘතියක්

වර්ෂ 1953දී මා ඉපදුණේ එක්සත් ජනපදයේ මිසිසිපිහි ජැක්සන් නගරයේ දරුවන් 11දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා ලෙසයි. අපගේ පවුල දිලිඳු පවුලක් විය. බොහෝවිට අපට තැනින් තැන පදිංචියට යෑමට සිදු වුණේ මගේ දෙමාපියන්ට ගෙවල් කුලිය ගෙවාගන්නට බැරි වූ නිසයි. අපට කෑමට ලැබුණේ වැඩි හරියක් ආණ්ඩුවේ සලාක ක්‍රමයට දෙන ආහාරයි. තවද මගේ මව නිවෙස් පිරිසිදු කිරීමට ගිය අතර, එම නිවෙස්වලින් ලැබුණු ඇඳුම් සහ කාර්යාලවල අය පාවිච්චි කළ ඇඳුම් අපි ඇන්දෙමු.

මගේ දෙමාපියන් දරුවන් වන අපට බොහෝවිට මතක් කළ දෙයක් නම්, දුප්පත්කමින් මිදීමට එකම ක්‍රමය වන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබීම බවයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මම ඉතා කුඩා අවධියේම, විශ්වවිද්‍යාල උපාධියක් ලබාගැනීමට සිත යොමු කළෙමි. මා වයස අවුරුදු හයේදී පාසැල් යෑමට පටන්ගත් අතර, ඊළඟ වසර 19 පුරාම කිසිම බාධාවකින් තොරව මම නොකඩවා පාසැල් ගියෙමි. විද්‍යාව සහ ගණිතය මගේ ප්‍රියතම විෂයන් විය. මේ නිසා විද්‍යාඥයෙකු වශයෙන් වෘත්තියක් හැදෑරීමට පටන්ගතිමි.

විද්‍යාලයේ සිටින අතර, මට ඩෙල් නමැති තරුණ කතක් හමු විය. එක් විද්‍යා මහාචාර්යවරයෙක් මාව ඇය වෙතට යොමු කරමින් කියා සිටියේ ඇය හදාරන පාඨමාලාවෙන් යම් යම් කාරණා ඇයගෙන් අසා දැනගන්නා ලෙසය. එහෙත්, වැඩි කල් යන්නට මත්තෙන් අපගේ කතා බහ විද්‍යා විෂය ඉක්මවාගිය අතර, අපි ආදරයෙන් බැඳුණෙමු. වර්ෂ 1974 ජනවාරි 10වන දා අප විවාහ වුණේ පංති අතර පැය දෙකක විවේක කාලයේදීය! ඉන් වසර හතරකට පසුව, 1978දී මම උපාධිය ලබාගත්තෙමි.

සාර්ථකත්වයේ යතුර කියා මා සිතූ දෙය මා ලබාගෙන තිබිණි. මම විද්‍යාඥයෙකු වීමි. ඇරත් නිකම්ම විද්‍යාඥයෙකු නොවේ. න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙක්! මා අලුතෙන් ලබාගත් න්‍යායික න්‍යෂ්ටික භෞතික උපාධිය නිසා, දිගු කලක් තිස්සේ මා කරන ලද අධ්‍යයනයේ ප්‍රතිඵල නෙළාගැනීමට මට හැකි විය. විද්‍යා ක්ෂේත්‍රයේ මට නාමයක් තනාගන්නට මා තුළ වූයේ බලවත් ආශාවකි. මීට අමතරව, පෞද්ගලික සමාගම් සහ ආණ්ඩුවේ ආයතනවලින් එක හා සමානව ඉහළ වැටුපක් සහිත රැකියාවක් තෝරාගැනීමට මට හැකිකම තිබිණි.

කෙසේවෙතත්, මාස කිහිපයකට පසුව 1978 දෙසැම්බර් 30වන දා මා ගත් පියවර, මට අලුතෙන් ලැබුණු උපාධියට වඩා මගේ ජීවිතය හා අනාගතය කෙරෙහි තදින්ම බලපෑ තීරණයක් විය. ඒ දිනයේදී, මම යෙහෝවා දෙවිට මගේ ජීවිතය කැප කළ බවට වතුර බව්තීස්මයෙන් සංකේතවත් කොට යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු බවට පත් වූයෙමි. ඒ පියවර ගන්නට යෙදුණේ කෙසේද?

මගේ උනන්දුව ඇවිස්සූ පොතක්

වර්ෂ 1977 අවසානභාගයේ, මම අමහර්ස්ට්හි මැසචුසෙට්ස් සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටින කාලයේ, සාක්ෂිකාරියන් දෙදෙනෙක් මගේ නවාතැනේ දොරට තට්ටු කළහ. ඒ අවස්ථාවේ මම පිටතට ගොස් සිටියෙමි. එහෙත් මගේ බිරිඳ තුන් හැවිරිදි පුතා සහ අලුත උපන් දියණිය සමඟ නිවසේ සිටියාය. ඩෙල් සාක්ෂිකාරියන්ට නිවස තුළට පැමිණෙන ලෙස ඇරයුම් කළාය. සුහද කතා බහකින් පසුව, සාක්ෂිකාරියන් ඇය සමඟ සතියකට වතාවක් බයිබලය පාඩම් කරනවාට ඇය කැමැත්ත පළ කළාය.

මගේ බිරිඳ මේ සැලැස්ම ගැන මට දැනුම් දුන් වේලේ, මම එකෙණෙහිම ඇයට විරුද්ධ වූයෙමි. ඇය වෙනත් ආගමක් හා සම්බන්ධ වෙනවාට මගේ අකමැත්තක් තිබුණේ නැත. එහෙත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ නම් නොවේ! ඇත්තෙන්ම, මම සාක්ෂිකරුවන් ගැන එතරම් දැනගෙන නොසිටියෙමි. එහෙත් මා තුළ වූ වැරදි මතය නම්, ඔවුන් මිනිසුන්ව මුළා කිරීමට බයිබලය පාවිච්චි කරන අමුතු කණ්ඩායමක් බවයි. ඉතින්, සාක්ෂිකරුවන්ගේ ග්‍රහණයෙන් මගේ බිරිඳව බේරාගන්නටැයි සිතා ඒ ගැන උත්සාහ දැරූ මා සිතුවේ ඔවුන්ගේ ඉගැන්වීම් නිෂ්ප්‍රභ කරන්නට මා මගේ විද්‍යාත්මක දැනුම පාවිච්චි කරන්නට ඕනෑ කියායි. එක් සතියක සරසවියේ මගේ පර්යේෂණ වැඩකටයුතුවලින් කෙටි නිවාඩුවක් ලබා මගේ බිරිඳගේ බයිබල් පාඩමට සහභාගි වීමේ අටියෙන් මගේ නිවසට පැමිණියෙමි. කෙසේවෙතත්, මා ගියේ මා සැලසුම් කළ වේලාවට වඩා ප්‍රමාදවය. එවිට බයිබල් පාඩම පවත්වමින් සිටි කාන්තාව නිවසින් පිටව යන්නට සූදානම්ව සිටියාය. මිනිසා මෙහි පැමිණියේ පරිණාමයෙන්ද නැත්නම් මැවීමෙන්ද? * (සිංහලෙන් නැත) යන මාතෘකාව ඇති පොත ඇය මට දුන්නාය. තවද, ඊළඟ සතියේ බයිබල් පාඩමේදී 1914 වර්ෂය වැදගත් වර්ෂයක් වන ආකාරය පෙන්වන බයිබල් අනාවැකියක් සලකා බලන බව ඇය මගේ බිරිඳට කීවාය. මටත් පටන්ගන්න අවශ්‍ය වුණේ හරියටම ඒ වගේ තැනකිනි! ඊළඟ බයිබල් සාකච්ඡාවට මා නිවසේ සිටින්න යන බව මම සාක්ෂිකාරියට කීවෙමි. වර්ෂ 1914 ගැන ඇය සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන දේ පිළිබඳ ගණිතමය නිරවද්‍යතාව ගැන පරීක්ෂා කරන්නට මට වුවමනා විය.

සාක්ෂිකාරිය මට දී ගිය පොත එම රාත්‍රියේම කියවන්නට පටන්ගතිමි. අවංකවම කියනවා නම්, මා කියෙවූ දෙය මගේ සිතට තදින් කාවැදී ගියේය. එය ලියා තිබුණේ ඉතා තර්කානුකූල ආකාරයකටයි. එමෙන්ම පරිණාමවාදය නමැති විෂය ගැන එහි විද්‍යාත්මක යොමුසටහන් ගණනාවක්ම අඩංගු විය. මාව පුදුමයට පත් කළේ, මා කලින් සිතුවාට වඩා මැවීම ගැන ඉතා ස්ථිර තොරතුරු බොහොමයක් බයිබලයේ අන්තර්ගත වී තිබෙන බව දකින විටය. දවස් කිහිපයක් ඇතුළත මා පොත පරීක්ෂා කිරීම නිම කළ අතර, මැවීම ගැන බයිබලයේ ඇත්තටම කී දේ පොළොව මත ජීවය ගැන දැනගෙන සිටි විද්‍යාත්මක සත්‍ය කරුණුවලට පටහැනි නොවූ බව පිළිගන්නට මට සිදු විය.

වැරදි සෙවීමට ඉටාගෙන

කෙසේවෙතත්, සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් ගැන මම සැක කළෙමි. තවද 1914 වසර පිළිබඳව සඳහන් බයිබල් අනාවැකි ගැන ගණිතමය සෝදිසියක් කිරීමට මම බලාපොරොත්තුවෙන් සිටියෙමි. මේ කාරණය ගැන කතා කළහොත් නිසැකවම සාක්ෂිකාරියව බිය ගැන්වීමට හැකි වන බව සිතූ මම මේ අන්දමින් සාක්ෂිකරුවන් විසින් උගන්වනු ලබන විශ්වාසයන්හි වැරදිසහගත බව දැකීමට මගේ බිරිඳට උපකාර කිරීමට මට හැකි වේයයි මම සිතුවෙමි.

ඊළඟ සතියේ ඇය පැමිණියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය සභාවේ වැඩිමහල්ලෙකු සමඟයි. බයිබල් පාඩම පැවැත්වූයේ වැඩිමහල්ලායි. දානියෙල් පොතේ 4 සහ 9වන පරිච්ඡේදවල සඳහන් අනාවැකි ඔහු සලකා බැලූ අතර, මෙසියස් සහ රජ හැටියට යේසුස්ගේ පැමිණීමද ඊට ඇතුළත් විය. මා සිතා සිටියේ සාකච්ඡාව තුළ ගණිතමය වශයෙන් තැනින් තැන ඇති වැරදි සෙවීමටයි. නමුත් මට කිසිවක් සම්බ වුණේ නැත. ඊට පටහැනි ලෙස, බයිබලයේ අඩංගු තොරතුරුවල තර්කානුකූලභාවය මගේ සිතට තදින් කාවැදිණි.

ඒ වන තෙක්ම, මා සිතුවේ දෙවි කෙරෙහි ඇදහිල්ල පදනම් වී ඇත්තේ තර්කානුකූල හේතු සාධකවලට වඩා චිත්තවේගී හැඟීම් මත කියායි. මට කොතරම් වැරදී තිබුණාද! මේ කදිම තොරතුරු බෙදාගැනීම ගැන සාක්ෂිකරුවන්ට ස්තුති කළ මම, සතිපතා පාඩමට දිගටම සහභාගි වීමට කැමතියයි පැවසීමි. එතැන් පටන්, මම විශ්වවිද්‍යාලයේදී මගේ පාඩම් දිගටම කරගෙන යන අතරතුර මගේ බිරිඳ හා සාක්ෂිකරුවන් සමඟ බයිබලයත් පාඩම් කළෙමි. තවද, මගේ බිරිඳත් මමත් රාජ්‍ය ශාලාවේ පැවති සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යෑමට පටන්ගත්තෙමු.

සති කිහිපයක් ඇතුළත, නව බයිබල් සත්‍යතාවන් ගණනාවක් ඉගෙනගත් මා හට, සාක්ෂිකරුවන් සමඟ ගෙයින් ගෙට සේවයේ හවුල් වීම සඳහා සුදුසුකම් ලැබීමට වැඩි කල් ගත වූයේ නැත. මා මෙසේ කළේ මගේ සරසවි උපාධියේ අවසාන අදියරේ ඊට බොහෝ කාලයක් මිඩංගු කරන අතරතුරේදීය. මම උපාධිය සඳහා කළ සවිස්තරාත්මක නිබන්ධය 1978 වසරේ ගිම්හානයේදී සම්පූර්ණ කළ අතර, අලබාමා ප්‍රාන්තයේ පදිංචියට ගොස් එහි හන්ට්ස්විල්හි පිහිටි ඇලබාමා කෘෂිකර්ම හා යන්ත්‍ර විද්‍යා සරසවියේ ඉගැන්වීමට පටන්ගතිමි. අපි විගස අප අලුත පදිංචි ප්‍රදේශයේ සිටි සාක්ෂිකරුවන් හමු වූයෙමු. වැඩිමහල්ලෙක් සහ ඔහුගේ භාර්යාව අප සමඟ දිගටම බයිබලය පාඩම් කරන්නට වූහ. මාස කිහිපයකට පසුව, මගේ බිරිඳ සහ මම එකම දවසේ බව්තීස්ම වූයෙමු.

විද්‍යාඥයෙකු සහ දේවසේවකයෙකු ලෙස ක්‍රියාශීලීව

මා සිතන ආකාරයට, විද්‍යාඥයෙකු සහ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වීම හොඳින් ගැළපෙන දෙයක් වේ. වර්ෂ 1983දී තාරකා භෞතික විද්‍යාඥයෙකු වශයෙන් හන්ට්ස්විල්හි පිහිටි නාසාහි (ජාතික අජටාකාශ හා ගගනගාමී පිළිබඳ පරිපාලන ආයතනය) * ජෝර්ජ් සී. මාෂල් අජටාකාශ ආයතනයේ මම වැඩ කරන්න පටන්ගත්තෙමි. මා සේවය කළේ X කිරණ දුරේක්ෂයක් හා සම්බන්ධ පර්යේෂණ සහ න්‍යායික ක්ෂේත්‍රවලය. (වර්ෂ 1999 එම දුරේක්ෂය වන චන්ද්‍රා X කිරණ නිරීක්ෂණාගාරය ඉතා සාර්ථකව කොලොම්බියා අජටාකාශ ෂටලය විසින් කක්ෂගත කරන ලදි.) මා එම ව්‍යාපෘතියේ සතුටින් වැඩ කළ අතර, භෞතික විශ්වය වඩාත් හොඳින් තේරුම්ගැනීම පිණිස විවිධ තාරකා සහ මන්දාකිණිවලින් නික්මෙන X කිරණ අධ්‍යයනය කිරීම එම ව්‍යාපෘතියට ඇතුළත් විණි.

මගේ වැඩකටයුතු අතිශයින් තෘප්තිමත් එකක් වූයේ විද්‍යාත්මක වශයෙන් අභියෝගාත්මක ගැටලු සමඟ මා කටයුතු කරමින් සිටි නිසා පමණක් නොව, මැවුම්කරුගේ බලය සහ ප්‍රඥාව පිළිබඳව ගැඹුරු ඇගයීමක්ද මා තුළ හටගන්නට වූ නිසාය. ඇත්තෙන්ම, ඉපැරණි අනාගතවක්තෘ යෙසායා තුළින් යෙහෝවා පැවසූ වදන් විශේෂ අරුතක් ගත්තේය. මැවුම්කරු මෙසේ කියයි. ‘ඔබේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැව්වෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? ඔහු මේ සියල්ලට නම් කියා හඬගසන්නේය; ඔහුගේ බලයේ මහත්කම නිසාද ඔහු ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.’ (යෙසායා 40:26) මම මගේ ‘ඇස් ඉහළ ඔසවා’ විශ්වයේ ගැඹුරට වැඩි වැඩියෙන් එබී බලත්ම, එහි සංකීර්ණත්වය හා සුන්දරත්වය වැඩි වැඩියෙන් දකිත්ම ඒ සියල්ල මැවූ ඒවා එකට බැඳ තබන භෞතික නීති පිහිටෙවූ බුද්ධිමත් මැවුම්කරුගේ කෞශල්‍ය දක්ෂතා වඩාත් අගයන්නට වීමි.

ඒ කාලයේදී මම X කිරණ තාරකා භෞතික විද්‍යාව තුළ මා කළ පර්යේෂණ මත පදනම් වූ අලුත්ම තොරතුරු පිළිබඳව විද්‍යා ප්‍රකාශනය පළ කිරීම සඳහා සෑහෙන කාලයක් මිඩංගු කළෙමි. කෙසේවෙතත්, ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාකාරකම් තුළද නියැලී සිටින්නට මට හැකි විණි. වැඩිමහල්ලෙකු ලෙස සේවය කළ මම සෑම මසකම ප්‍රසිද්ධ දේවසේවයේ පැය 20ක් පමණ මිඩංගු කළෙමි. මේ අතර, මගේ බිරිඳ පූර්ණ කාලීන වශයෙන් බයිබල් අධ්‍යාපනය බෙදා දීමෙහි යෙදී සිටියාය.

නාසා ආයතනයේ වසර හතරක් පමණ වැඩ කිරීමෙන් පසුව බයිබලයේ සඳහන් පුදුමාකාර සත්‍යතාවන් ගැන ඉගෙනගැනීමට අන්‍යයන්ට උපකාර කිරීම සඳහා මගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් මිඩංගු කිරීමේ අවශ්‍යතාව මට එන්ට එන්ටම දැනෙන්නට විය. එහෙත් එය මට කළ හැක්කේ කෙසේද? මගේ ආශාව ගැන මගේ බිරිඳ සමඟ කතා කර, යෙහෝවාට එම කාරණය ගැන යාච්ඤාවෙන් දැනුම් දුන් පසුව, මට වැටහුණේ මට යම් වැදගත් තීරණ ගැනීමට සිදු වී ඇති බවයි.

බරපතළ තීරණ

නාසා ආයතනයේ මට ඉහළින් සිටි වැඩ අධීක්ෂකවරයා හමු වී, සතියේ දවස් පහක් වෙනුවට දවස් හතරක් වැඩ කිරීමට මට වුවමනා බව පැවසීමි. මගේ වැටුප අඩු කරාවියයි මම අපේක්ෂා කළෙමි. සතියට දවස් තුනක් මගේ දේවසේවය සඳහා මිඩංගු කරන්නට වුවමනා බව මම මගේ වැඩ අධීක්ෂකවරයාට කීවෙමි. මේ ආකාරයේ සැලැස්මක් නාසා ආයතනයේ කිසිම විද්‍යාඥයෙකුට හුරු දෙයක් නොවූ නමුදු මගේ වැඩ අධීක්ෂකවරයා ඊට එකඟ විය. කෙසේවෙතත්, මා ඔහුගේ වැඩ අධීක්ෂකවරයාට කතා කළ යුතු බව හේ මට පැවසීය. මම එසේ කළ අතර, මේ ඉහළ ශ්‍රේණියේ වැඩ අධීක්ෂකවරයාද මගේ ඉල්ලීමට එකඟ වීම මට මහත් සතුට ගෙන දෙන්නක් විය. මේ අනුව, 1987 සැප්තැම්බර් මාසයේ, මා පූර්ණ කාලීන දේවසේවකයෙකු වශයෙන් මගේ දේවසේවා වැඩ ආරම්භ කළ අතර ගෙයින් ගෙට දේශනා සේවයෙහි සහ සේවයේ වෙනත් පැතිවල නියැලෙමින් මසකට පැය 90ක් පමණ ගත කළෙමි.

පසුව, හුන්ට්ස්විල්හි අලබාමා කෘෂිකර්ම හා යන්ත්‍ර විද්‍යා සරසවියේ වැඩ අධීක්ෂකවරයෙක් මාව කැඳවීය. හෙතෙම මට භෞතික විද්‍යා අංශයේ ගුරු පදවියක් පිරිනැමීය. මගේ කාලයේ වැඩි හරියක් මගේ දේවසේවය සඳහා යොදාගැනීමට මට හැකියාව තිබෙන්නේ නම් පමණක් මම මෙම රැකියාව භාරගන්නා බව මම ඔහුට පැවසීමි. එහෙත්, මගේ දේවසේවා ක්‍රියාකාරකම් මගේ ඉගැන්වීමේ කාර්යයේ ගුණාත්මකභාවයට හානියක් නොවනු ඇති බවට මම ඔහුට සහතික වීමි. වැඩ අධීක්ෂකවරයා ඊට එකඟ විය. අද මම තවමත් එම සරසවියේ උගන්වන අතර පූර්ණ කාලීන දේවසේවකයෙකු වශයෙන්ද සේවය කරමි. ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගැනීමටද මට හැකි විය. දැනට, මගේ බිරිඳ සහ මම හන්ට්ස්විල්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවේ සේවය කරන්නෙමු.

විද්‍යාව සහ ඇදහිල්ල

ඔප්පු කරන ලද විද්‍යාත්මක සත්‍යතාවක් සහ බයිබල් ඉගැන්වීම් අතර කිසිම ගැටුමක් විද්‍යාත්මක පර්යේෂණ කළ වසර ගණනාව තුළ මට හමු නොවීය. බොහෝවිට, ගැටුමක් හෝ එකඟ නොවන තැනක් ලෙසට දකින්නට ඇති තැන් එසේ දකින්නේ විද්‍යාත්මක ඉගැන්වීම් පිළිබඳ දැනුමේ අල්ප බවක් නිසා හෝ බයිබලය ඇත්තටම කියන දේ ගැන නොදන්නා නිසාය. නිදසුනක් වශයෙන්, ඇතැම් විද්‍යඥයන් සහ වෙනත් අය සිතන්නේ පැළෑටි, සත්වයන් සහ මිනිසුන් පොළොව මත හරියටම පැය 24ක දවස් හයක් ඇතුළත වර්ධනය වූ බවකි. මෙය සොයාගෙන ඇති විද්‍යාත්මක සත්‍යතාවන්වලට පටහැනිය. එහෙත්, බයිබලය එවැන්නක් උගන්වන්නේ නැත. ඒ වෙනුවට, එහි හෙළි කර ඇත්තේ මැවීමේ “දවස්” වසර දහස් ගණනකින් සමන්විත බවයි. *

දෙවි කෙරෙහි විශ්වාස කිරීම නිකම්ම හැඟීමක්ය යන වැරදි අදහස නිසාද වියවුල්සහගත තත්වයන් ඇති වේ. එසේ නොව, දෙවි සහ බයිබලය කෙරෙහි ඇදහිල්ල පදනම් වී ඇත්තේ තහවුරු කරගත හැකි සත්‍ය කාරණා මතය. බයිබලයේ විග්‍රහ කර ඇත්තාක් මෙන්, “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේවල් පිළිබඳ සහතික වූ අපේක්ෂාවය. නොපෙනෙන නමුත් සැබෑ දේවල් [හෙවත්, “ඒත්තුගැන්විය හැකි සාක්ෂි,” පාදසටහන] පිළිබඳ පැහැදිලි සාක්ෂිය.” (හෙබ්‍රෙව් 11:1NW) එසේය, ඇදහිල්ල පදනම් වී ඇත්තේ සාක්ෂි මතය. අනාවැකි සිය ගණනක් අතීතයේදී මෙන්ම වර්තමානයේදීද ඉෂ්ට වී ඇත. මෙසේ, විද්‍යාත්මක න්‍යායක් ස්ථාපිත කිරීමට සියලු විද්‍යාඥයන් විසින් යොදාගන්නාවූ විද්‍යාත්මක ක්‍රමයක් අදාළ කරගන්නා සේ, අපේ අනාගතයේ සිදුවීම් පෙන්වා දෙන බයිබල් අනාවැකි ඉටුවීම කෙරෙහිද අපට සම්පූර්ණ නිසැකකමක් තබාගන්නට හැකියි.

එවන් එක් අනාවැකියක් නම්, අපට නුදුරු අනාගතයේදී පොළොව මත පාරාදීසමය තත්වයක් භුක්ති විඳිය හැකි වේය යන පොරොන්දුවයි. මහලු වයස, අසනීප, මරණය, යුද්ධ සහ අයුක්තිය නිසා සිදු වී ඇති විනාශකාරී බලපෑම් තවත් නොතිබෙනු ඇත. (එළිදරව් 21:3, 4) එවිට, යෙහෝවා දෙවිගේ පුදුමාකාර මැවිලි ගැනත් මේ ගරුබිය දනවන භෞතික විශ්වය පාලනය කරන නීති ගැන විස්තරාත්මක ලෙස ගවේෂණය කරන්නටත් අධ්‍යයනය කරන්නටත් අපට කාලය තිබෙනු ඇත.

සැබෑ සන්තෝෂයේ යතුර සොයාගැනීමට මට පිහිට වීම ගැන මම යෙහෝවා දෙවිට කෘතඥ වෙමි. එය නම්, ඔහුගේ වචනය වන බයිබලයේ සඳහන් පුදුමාකාර සත්‍යතාවන්ය. තවද විද්‍යාඥයන් ඇතුළු බොහෝදෙනෙකුට එම වටිනා යතුර සොයාගැනීමට හැකි වේවායයි මම යාච්ඤා කරන්නෙමි.

[පාදසටහන්වල]

^ 13 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන නමුත් දැන් මුද්‍රණය නොකෙරේ.

^ 21 ඡේ. නාසා යනු එක්සත් ජනපද රජයට අයත් සංවිධානයක් වන අතර එය රජයේ වෙනත් ආයතනවලින් ස්වාධීනව ක්‍රියාත්මක වෙයි.

^ 29 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොතේ 6වන පරිච්ඡේදයේ “මැවීම පිළිබඳ ඉපැරණි වාර්තාවක්—ඔබට එය විශ්වාස කළ හැකිද?” මාතෘකාව යටතේ බලන්න.

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මා සිතුවේ දෙවි කෙරෙහි ඇදහිල්ල පදනම් වී ඇත්තේ තර්කානුකූල හේතු සාධකවලට වඩා චිත්තවේගී හැඟීම් මත කියායි

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔප්පු කරන ලද විද්‍යාත්මක සත්‍යතාවක් සහ බයිබලයේ ඉගැන්වීමක් අතර ගැටුමක් කිසිදාක මා දැක නැත

[21වන පිටුවේ පින්තූරය]

අර්ධ කාලීන ලෙස ගුරු වෘත්තියේ යෙදීමෙන් මම මගේ පවුලට සපයන්නෙමි

[23වන පිටුවේ පින්තූර]

නාසා ආයතනයට අයත් කක්ෂගත කොට තිබෙන චන්ද්‍රා X කිරණ නිරීක්ෂණාගාරය සහ කලු කුහරය ද්විපද්ධතියක X කිරණ රූපයක්

[හිමිකම් විස්තර]

NASA Photo

NASA/CfA/J. McClintock et al.

[23වන පිටුවේ පින්තූරය]

මගේ බිරිඳ සහ මම පූර්ණ කාලීන සේවය සතුටින් භුක්ති විඳින්නෙමු