Skip to content

පටුනට යන්න

අධික මත්පැන් පානය එතරම්ම බරපතළ දෙයක්ද?

අධික මත්පැන් පානය එතරම්ම බරපතළ දෙයක්ද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

අධික මත්පැන් පානය එතරම්ම බරපතළ දෙයක්ද?

මිත්‍රශීලී ලෙස කාගෙත් සිත්ගනිමින් මිනිසුන්ව සිනහගස්වන වෙරි වූ තැනැත්තාගේ චරිතය අවුරුදු ගණනාවක සිට වේදිකාවේ හා සිනමාවේ නිතර දැකිය හැකියි. මිනිසුන්ට විනෝදය සපයන රංගන ශිල්පීන් කරන්නේ රඟ පෑමක් පමණක් වුවද අධික ලෙස මත්පැන් පානය සම්බන්ධයෙන් බොහෝදෙනෙකු දරන විවිධාකාර ආකල්ප ඔවුන් ඇති කරන හාස්‍ය මගින් මැනවින් කියාපායි. ඔවුන්ගේ අදහස නම් අධික මත්පැන් පානය මිනිසෙකුගේ දුර්වලකමක් වුවද එයින් කිසිම හානියක් සිදු නොවන බවයි.

මෙහි සැබෑ තත්වය නම් කිසිසේත් හාස්‍යයක් ඇති කරන්නේ නැත. ලොව පුරා, සෞඛ්‍යයට අනතුරු ඇති කරවන ප්‍රධාන හේතුකාරක අතරින් මත්පැන්වලට ඇබ්බැහි වීම ප්‍රධාන තැනක් ගන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් බැලීම්වලින් පෙනී යයි. දුම්පානයට පසු ජනයා වැඩියෙන්ම ඇබ්බැහි වී තිබෙන්නේ මත්පැන්වලට බවත් මෙයින් සිදු වන මරණ හා අසනීප, ජනයාව ඇබ්බැහි කරවන වෙනත් දේවලට වඩා වැඩි බවත් එය පවසයි. එමෙන්ම එමගින් වසරකට අමෙරිකාවේ ආර්ථිකයට සිදු කරන පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 184ක් බව වාර්තා වේ.

මෙවන් කරුණු අනාවරණය වී තිබුණද අධික මත්පැන් පානයෙන් ඇති වන විපාක බොහෝදෙනෙක් සැහැල්ලුවට ගනිති. දිගු කාලයක් පුරා මත්පැන්වලට ඇබ්බැහි වීමෙන් හානිකර ප්‍රතිවිපාක ඇති විය හැකි බව ඔවුන් පිළිගැනීමට ඉඩ තිබුණද ඉඳ හිට සීමාවක් නැතිව මත්පැන් පානය කිරීමෙන් හානියක් වන්නේ නැති බව ඔවුන්ගේ අදහස වේ. ලෝකයේ ඇතැම් රටවල තරුණයන් වෙරි වීම සලකන්නේ තමන් වැඩිහිටි වියට පා නඟා තිබෙන බව අඟවන ලක්ෂණයක් ලෙසයි. සෞඛ්‍ය සංවිධානවලින් ප්‍රබල ලෙස අනතුරු ඇඟවීම් කර තිබුණද, සීමාවක් නැතිව මත්පැන් පානය කිරීමේ අවස්ථා ගණන (එනම් මත්පැන් වීදුරු පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක දිගටම පානය කිරීම) සියලුම වයස් මට්ටම්වල අය අතර වේගයෙන් ඉහළ යමින් පවතී. මෙවන් තත්වයක් පවතින නිසා, අධික ලෙස මත්පැන් පානය කිරීම ඇත්තටම බරපතළ ලෙස ගණන්ගත යුතු දෙයක්ද කියා බොහෝදෙනෙකු කල්පනා කිරීම පුදුම දෙයක් නොවේ. බයිබලය මේ ගැන පවසන්නේ කුමක්ද?

වයින් සහ මත්පැන් දෙවිගෙන් ලද ත්‍යාග වේ

වයින් සහ මත්පැන් යන වදන් බයිබලයේ බොහෝ තැන්වල දැකිය හැකියි. සාලමොන් රජ මෙසේ ලීවේය. “ඔබ ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කා තුෂ්ටිමත් සිතින් ඔබේ මුද්‍රිකපානය [වයින්, NW] බොන්න; මක්නිසාද දෙවි ඔබේ වැඩවලට දැන් ප්‍රසන්නව සිටියි.” (දේශනාකාරයා 9:7) “මනුෂ්‍යයාගේ සිත සතුටු කරන මුද්‍රිකපානය [වයින්, NW]” සපයන්නේ යෙහෝවා දෙවි බවත් ගීතිකාකරු පිළිගත්තේය. (ගීතාවලිය 104:14, 15) මෙයින් පෙනී යන්නේ යෙහෝවා මනුෂ්‍ය වර්ගයාට ආශීර්වාද කරමින් ත්‍යාගයක් ලෙස මුද්‍රිකපානය නොහොත් වයින් ලබා දුන් බවයි.

වයින් පානය කිරීමෙහි වරදක් නැති බව යේසුස්ද පිළිගත්තේය. ඇත්තෙන්ම ඔහුගේ මුල්ම ප්‍රාතිහාර්යය වූයේද විවාහ මංගල්‍ය උත්සවයකදී වතුර උසස් වර්ගයේ වයින් බවට පත් කිරීමයි. (යොහන් 2:3-10) තවද, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වා දුන් අවස්ථාවේදී ඔහු තම රුධිරය යෝග්‍ය ලෙස සංකේතවත් කිරීමට යොදාගත්තේ වයින්ය. (මතෙව් 26:27-29) වයින්වල තිබෙන ඖෂධීය ගුණය ගැනද බයිබලයේ සඳහන් වේ. “ඔබේ උදරය සඳහා . . . වයින් ටිකක් භාවිත කරන්න” කියා පාවුල් තිමෝතිව දිරිමත් කිරීමෙන් ඒ බව පැහැදිලි වේ.—1 තිමෝති 5:23NW; ලූක් 10:34.

වැදගත්ම දෙය පමණ දැන පානය කිරීමයි

පාවුල් නිර්දේශ කළේ “වයින් ටිකක් භාවිත කරන්න” බව සැලකිල්ලට ගන්න. සීමාවක් නැතිව මත්පැන් ගැනීම බයිබලය පැහැදිලිවම හෙළාදකී. යුදෙව් පූජකයන් ඔවුන්ගේ රාජකාරීවලින් නිදහස්ව සිටි අවස්ථාවලදී පමණ දැන බීමට නිදහස තිබිණ. කෙසේවෙතත් පූජකයන් ඔවුන්ගේ කාර්යයන් ඉටු කරමින් සිටියදී ඕනෑම ආකාරයක මත්පැන් වර්ගයක් පානය කිරීම තහනම් කර තිබිණ. (ලෙවී කථාව 10:8-11) ඉන් බොහෝ කාලයකට පසුවද, බේබද්දන්ට “දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව” දන්වමින් ක්‍රි.ව. 1වන සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට අනතුරු අඟවන ලදි.—1 කොරින්ති 6:9, 10NW.

එපමණක්ද නොව, තිමෝතිට උපදෙස් දෙමින් පාවුල් පවසන්නේ සභාවේ පෙරමුණ ගෙන කටයුතු කරන අය ‘බීමත්ව දබර කරන්නන්’ හා “බොහෝ වයින් බීමට ඇබ්බැහි [වූවන්]” නොවිය යුතු බවයි. * (1 තිමෝති 3:3, 8NW) පසුතැවිලි නොවන බේබද්දන්ව ක්‍රිස්තියානි සභාවෙන් නෙරපා දැමිය යුතු බව බයිබලයෙහි නියෝග කර තිබේ. (1 කොරින්ති 5:11-13) ශුද්ධ ලියවිල්ලෙහි නිවැරදි ලෙස සඳහන් වන පරිදි “මුද්‍රිකපානය [වයින්, NW] සරදම් කරන්නෙක්ය.” (හිතෝපදේශ 20:1) අධික ලෙස මත්පැන් පානය කරන විට, පුද්ගලයෙකුට තමාව පාලනය කරගැනීමට තිබෙන හැකියාව දුර්වල වේ. නිරවුල්ව තීරණය ගැනීමේ හැකියාවද අඩපණ වෙයි.

දේවවචනය අධික මත්පැන් පානය හෙළාදැකීමට හේතු

අප යම් දෙයකට ඇබ්බැහි වන විට එයින් අපටත් අනිත් අයටත් හානි සිදු වන බව, ‘ප්‍රයෝජන ලබාගැනීමට අපට උගන්වන තැනැත්තා’ වන යෙහෝවා දනියි. (යෙසායා 48:17, 18) මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන්ද එය සැබෑවක් වේ. දේවවචනය මෙසේ අසයි. “දුක කාටද? කාලකණ්ණිකම කාටද? අඬදබර කාටද? මැසිවිලි කාටද? නිකරුණේ තුවාල කාටද? රතු ඇස් කාටද?” මේ ප්‍රශ්නයට දේවවචනයම මෙසේ උත්තර දෙයි. “බීම බෝතලය [වයින්, NW] ළඟ පමා වන මිනිසාටය. තව තවත් බොන්න යන මිනිසාටය.”—හිතෝපදේශ 23:29, 30, නව අනුවාදය.

අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා මිනිසුන් අන් අය ගැන නොසිතමින් අනතුරුදායක දේවල් බොහොමයක් කර තිබේ. මත්පැන් පානය කර රිය පැදවීමෙන් තමන්ගේ මෙන්ම අන් අයගේ ජීවිතද අනතුරේ හෙළයි. වෙනත් කෙනෙකුගේ විවාහක කලත්‍රයා කෙරෙහි අධික ලෙස ආලවන්ත හැඟීම් ඉස්මතු වීම නිසා පවුල් සබඳතාවලටද දැඩි හානි පැමිණේ. මෝඩ දේවල් හා ඇතැම් විට අශික්ෂිත දේවල් පවා කීමට හෝ කිරීමටද ඉඩ ඇත. (හිතෝපදේශ 23:33) මේ නිසා, වර්තමානයේ මනුෂ්‍යවර්ගයාට මහත් ගැටලු ඇති කර තිබෙන සමාජ උවදුරුවලින් ඉතාමත් හානිකර උවදුරක් ලෙස මත්පැන්වලට ඇබ්බැහි වීම හඳුන්වා තිබෙන්නේ හොඳ හේතු ඇතිවයි. මේ නිසා “මුද්‍රිකපානයෙහි [වයින්වල, NW] ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජු වූවන්ටවත් එක් නොවන්න” කියා දෙවි උපදෙස් දීම ගැන පුදුම විය යුතු නැත.—හිතෝපදේශ 23:20.

පාවුල් දෙවිගේ ආත්මයේ පලවලට විරුද්ධව දිව යන “මාංසයේ ක්‍රියා” ඇතුළත් ලැයිස්තුවක් ගලාති.5:19-21හි සඳහන් කරයි. ඒවා අතර බේබදුකම් හා ඝෝෂාකාරී උත්සවද වේ. අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා පුද්ගලයෙකුට දෙවි සමඟ තිබෙන සබඳතාවද පලුදු වනු ඇත. එසේනම් ක්‍රිස්තියානීන් අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටිය යුතු බව පැහැදිලිය.

[පාදසටහන]

^ 11 ඡේ. අවේක්ෂකයන් තමන් ගන්නා වූ තීරණවලදී හා හැසිරීමේදී යෙහෝවාගේ උසස් ප්‍රමිති තමන්ට හැකි උපරිම මට්ටමින් විදහා පෙන්වමින් රැළට ආදර්ශයක්ව සිටිය යුතු නිසා එම අවශ්‍යතා අවේක්ෂකයන් නොවන ක්‍රිස්තියානීන්ටද අදාළ වෙනවා යයි සිතීම තර්කානුකූලය.