Skip to content

පටුනට යන්න

උස් කඳුකරයේ අසීරුතා ජයගැනීම

උස් කඳුකරයේ අසීරුතා ජයගැනීම

උස් කඳුකරයේ අසීරුතා ජයගැනීම

බොලිවියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

විවේක සුවය භුක්ති විඳිමටත්, මනරම් දසුන් නැරඹීමටත්, සතුටු සිනහ පාමින් ඇවිදීමටත්, කඳු තරණය කිරීමටත්, හිම මත ලිස්සා යෑමටත් ලැබෙන අවස්ථා යනාදිය මගින් විවේක සුවය ගත කරන බොහෝදෙනෙකුව කඳුකරයට ආකර්ෂණය කරවයි. මිලියන ගණනක් ජනයා බොහෝ වලාකුළු සෑදෙන උස් මට්ටමටත් වඩා ඉහළින් පිහිටා තිබෙන නිම්න හා සානු තමන්ගේ ස්ථිර වාසස්ථානය කරගෙන සිටී. කෙසේවෙතත් මෙතරම් උස ස්ථානවල ජීවත් වන විට විශේෂාකාරයේ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදු විය හැකියි. එමෙන්ම ආහාර පිසීමේදී හා වාහන පැදවීමේදීද අසාමාන්‍ය ගැටලු ඇති වීමට ඉඩ තිබේ. මේ ගැටලුවලට හේතු මොනවාද? ඒවා සමඟ කටයුතු කිරීමට හැක්කේ කෙසේද? ඉතා උස කඳුකර ප්‍රදේශවල විශාල පිරිසක් ජීවත් වෙනවාද කියා මුලින්ම සලකා බලමු.

කඳුකර ප්‍රදේශ බොහොමයක ආර්ථික වර්ධනයක් සිදු වී තිබේ. මෙක්සිකෝ නගරයේ මිලියන ගණනක් ජනයා වාසය කරන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 2,000කටත් වඩා ඉහළ ප්‍රදේශයකයි. අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි ඩෙන්වර්, කෙන්යාවේ නයිරෝබි හා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් යන නගර පිහිටා තිබෙන්නේ මීටර් 1,500කටත් වඩා ඉහළින්ය. හිමාලයේ වෙසෙන මිලියන ගණනක් ජනයා දිවි ගෙවන්නේ මීටර් 3,000කටත් වඩා ඉහළ ප්‍රදේශයකය. ඇන්ඩීස් කඳු වැටියේ පිහිටා තිබෙන විශාල නගර කිහිපයක් තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 3,300කටත් වඩා ඉහළින්ය. මේ නගරවල වාසය කරන ඇතැම් මිනිස්සු මීටර් 6,000ක් පමණ උසක පිහිටි පතල්වල වැඩ කරති. බොහෝ ජන පිරිසක් උස් කඳුකරයේ වාසය කරන නිසා මිනිස් සිරුර ඒ ප්‍රදේශවලට උචිත ලෙස හැඩගැසෙන ආකාරය ගැන කරනු ලබන අධ්‍යයනවලට වැදගත් තැනක් හිමි වී තිබේ. මේ අධ්‍යයනවලින් අනාවරණය කරගෙන තිබෙන දේවල් මගින් ඔබේ සිරුර මවිතකර ලෙස නිර්මාණය කර තිබෙන ආකාරය ගැන ගෞරවාන්විත හැඟීමක් ඔබ තුළ ඇති කළ හැකියි.

අපේක්ෂා කළ හැකි දේවල්

ඇන්ඩීස් කඳුකරයේ පිහිටි ප්‍රදේශයකට පැමිණීමෙන් පසු කලින් අද්නොදුටු දෙයකට මුහුණ දීමට ඩග්ට සිදු විය. මේ ගැන ඔහු මෙසේ පවසයි. “ගුවන් තොටුපළේදී අපේ ගමන් මලු අරගෙන යද්දී මට හදිසියේම කරකැවිල්ලක් දැනුණා. කලන්තේ ගතියකුත් දැනුණා. මේ ලක්ෂණ ඉක්මනින් පහ වී ගියත් පළමු සති දෙකේදී මට හිසරදය තිබුණා. ඒ වගේම මට හරියට නින්ද ගියේ නැහැ. නිදා ගනිද්දී හුස්ම හිර වෙන ගතියක් ඇති වුණු හින්දා මට හදිසියේම ඇහැරුණා. මට මාස දෙක තුනක් විතර කෑම රුචියක් තිබුණේ නැහැ. ඉක්මනින්ම මහන්සි ගතියක් දැනුණා. වැඩිපුර නිදාගන්න ඕන වුණා.” ඩග්ගේ බිරිඳ වන කැතිද මෙසේ පවසයි. “උස ප්‍රදේශයක ජීවත් වෙන කොට මුහුණ දෙන්න වෙන ගැටලු මිනිස්සු හිතින් මවාගත්ත ඒවා කියලයි මම කලින් හිතුවේ. ඒත් මං දැන් දන්නවා ඒක එහෙම නෙමේ කියලා.”

ඩග්ට තිබූ ලෙස හරි හැටි නින්ද නොයෑමේ ගැටලුව ඔබටත් අද්දකින්න සිදු වුවහොත් ඔබට භයක් දැනීමට ඉඩ තිබේ. නිදාගෙන සිටින අතරතුරේදී ඔබේ හුස්ම ගැනීම තත්පර කිහිපයකට ඇත්තටම නතර විය හැකියි. මෙය විටින් විට සිදු වීමට ඉඩ ඇත. සමහර වේලාවට ඔබ එකපාරටම නින්දෙන් ඇහැරී අමාරුවෙන් හුස්ම ගැනීමට උත්සාහ දැරිය හැකියි.

සමහරුන්ට නම් උස් කඳුකර ප්‍රදේශයකට පැමිණීමෙන් පසු කිසිම ගැටලුවක් දැනෙන්නේ නැත. මීටර් 2,000ක පමණ උස් ප්‍රදේශයක සිටින විට කිහිපදෙනෙකුටම ශාරීරික අපහසුතාවන් දැනේ. එහෙත් මීටර් 3,000ක උස ප්‍රදේශයකට අලුතින් පැමිණෙන අයගෙන් භාගයක් පමණ එවන් අපහසුතා අද්දකිති. උස් කඳුකර ප්‍රදේශවල හැදුණු වැඩුණු අය පවා පහත් ප්‍රදේශවලට පැමිණ සතියක් දෙකක් ගත කර ආපසු සිය නිවෙස් බලා ගිය පසු, බොහෝවිට එම ලක්ෂණ අද්දකිති. මීට හේතු මොනවාද?

භූමියේ උස ඔබේ සිරුරට බලපෑමට හේතු

බොහෝ ගැටලුවලට හේතුව වන්නේ ඔක්සිජන් හිඟ වීමයි. මුහුදු මට්ටමේ සිට ඉහළ ප්‍රදේශයකට යන විට වායුගෝලීය පීඩනය ටිකෙන් ටික අඩු වේ. ඒ නිසා, මුහුදු මට්ටමේ සිට මීටර් 2,000ක උස ප්‍රදේශයක වාත ස්කන්ධයේ ඔක්සිජන් ප්‍රමාණය මුහුදු මට්ටමේදී වාත ස්කන්ධයේ ඔක්සිජන් ප්‍රමාණයට වඩා සියයට 20ක් අඩුය. මීටර් 4,000ක උසක සිටිද්දී එය සියයට 40කින් අඩු වේ. ඔක්සිජන් හිඟ වීම අපේ සිරුරේ කාර්යයන් බොහොමයකට බලපායි. මාංස පේශිවලට කළ හැකි කාර්යයන් සීමිත වේ. ස්නායු පද්ධතියට දරාගත හැකි මානසික පීඩනය අඩු වේ. ආහාර ජීරණ පද්ධතියට මේද ජීරණය කරගත නොහැක. සාමාන්‍යයෙන් සිරුරට ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන අවස්ථාවන්හි, නොදැනුවත්වම පාහේ ගැඹුරින් හුස්ම ගනිමින් එම අවශ්‍යතාව සපුරා ගනී. එසේනම් උස් ප්‍රදේශයකට පැමිණි විට එවැනි දෙයක් සිදු නොවන්නේ ඇයි?

මීට හේතුව අපේ සිරුර මගින් හුස්ම ගන්න වේගය පාලනය කරන ආකාරය විස්මයජනක වීමයි. මෙම ක්‍රියාවලිය තවමත් සම්පූර්ණයෙන්ම තේරුම්ගෙන නැත. ගැඹුරින් හුස්ම ගැනීමට හේතුව වන්නේ ඔක්සිජන් හිඟ වීම පමණක්ම නොවේ. මාංස පේශි ක්‍රියාත්මක වීමේදී නිපදවනු ලබන රුධිරයෙහි කාබන්ඩයොක්සයිඩ් වැඩි වීම, ගැඹුරින් හුස්ම ගැනීමට ප්‍රධානතම හේතුව බව පෙනේ. උස් ස්ථානයක සිටින විට ගැඹුරින් හුස්ම ගත්තත් නොකඩවා පවතින ඔක්සිජන් හිඟය පිරිමැසීමට එය ප්‍රමාණවත් වන්නේ නැත.

හිසරදයට හේතුව කුමක්ද? බොලිවියාවේ ලා පාස් නගරයේ පවත්වන ලද ලෝක සම්මේලනයකදී (First World Congress of High Altitude Medicine and Physiology) කථිකයෙක් පැහැදිලි කළේ උස් කඳුකර ප්‍රදේශයක සිටින විට දැනෙන ශාරීරික අපහසුතා බොහොමයකට හේතුව වන්නේ මොළයේ පටකවල වැඩිපුර ද්‍රව එක් රැස්වීමයි. මේ තත්වය නිසා සමහරුන්ගේ හිස අභ්‍යන්තරයෙහි පීඩනයක් ඇති වේ. නමුත් හිස් කබලේ ප්‍රමාණය නිසා සමහරුන් එවන් බලපෑමක් අද්දකින්නේ නැත. කෙසේවෙතත් ජීවිතයට පවා තර්ජනයක් එල්ල විය හැකි තත්වයන් කලාතුරකින් ඇති වීමට ඉඩ ඇත. මාංස පේශිවල ක්‍රියාකාරිත්වය දුර්වල වීම, පෙනීම අපැහැදිලි වීම, අද්භූත දේවල් පෙනීම හා මනස වියවුල් වීම යන ලක්ෂණ පහළ වේ නම් වහාම වෛද්‍යවරයෙකු හමු විය යුතු අතර පහත් ප්‍රදේශයකට පැමිණිය යුතුයි.

නැණවත් පූර්වාරක්ෂක ක්‍රම

උස් ප්‍රදේශයකදී දැනෙන අපහසුතා වැඩියෙන්ම දැනෙන්නේ දෙවන හෝ තුන්වන දිනයේදී නිසා එහි යෑමට දවස් කිහිපයකට කලින් හා යෑමෙන් දවස් කිහිපයකට පසු, විශේෂයෙන්ම රාත්‍රියට සැහැල්ලු ආහාර පමණක් ගැනීම හොඳම දෙයයි. උස් ප්‍රදේශයකට පැමිණීමෙන් පසු මේද සහිත ආහාර වෙනුවට ඔබ කෑමට ගත යුත්තේ බත්, ඕට්ස්, අර්තාපල් වැනි කාබොහයිඩ්රේට් අඩංගු ආහාර වර්ගයි. “උදෑසන ආහාරය රජෙක් වගේ කන්න. එනමුත් රාත්‍රි ආහාරය සිඟන්නෙක් වගේ කන්න” කියා දී තිබෙන උපදේශය පිළිපැදීමෙන් ඔබට ප්‍රයෝජන අත් විය හැකියි. සිරුර වෙහෙසා කරන වැඩවලින් වැළකී සිටින්න. වෙහෙස මහන්සි වී වැඩ කළොත් උස් ප්‍රදේශවලදී දැනෙන ශාරීරික අපහසුතා තවත් වැඩි විය හැකියි. තරුණ තරුණියන් එම උපදේශය ගණන් නොගැනීම නිසා බොහෝ අවස්ථාවලදී වැඩියෙන්ම අසනීප තත්වයන් අද්දකින්නේ ඔවුන්ය.

“හිස් වැස්මක් පැළඳ සිටින්න; හිරු රශ්මියෙන් ආරක්ෂා වීමට සුදුසු ක්‍රීම් වර්ගයක් හොඳින් ආලේප කරගන්න.” මෙයත් හොඳ උපදේශයක් වන්නේ හිරුගෙන් නිකුත් වෙන අනතුරුදායක කිරණවලින් ඔබව ආරක්ෂා කිරීමට උස් ස්ථානයක පවතින වායුගෝලයට නොහැකි නිසාය. එම කිරණ නිසා ඔබේ ඇස්වල වේදනාවක් ඇති විය හැකි අතර, ඇතැම්විට ඇස්වලට හානි පවා සිදු වීමට ඉඩ ඇත. එනිසා හොඳ අව් කණ්ණාඩියක් පළඳින්න. උස් ස්ථානයක පවතින්නේ තුනී වායුවක් නිසා ඔබේ ඇස්වල වියළි ගතියක් ඇති වී, වේදනාවක් දැනිය හැකියි. මෙය වළක්වාගැනීමට දෙන උපදේශය නම් ඇති තරම් දියර වර්ග පානය කරන්න කියායි.

අධි රුධිර පීඩනය තිබෙන අයට, රතු රුධිරාණු සෛලවල හැඩය වෙනස් වීම නිසා රක්තහීනතාවයෙන් පෙළෙන අයට, හෘදයේ හෝ පෙණහැල්ලේ රෝග තිබෙන අයට හා අධික ලෙස තරබාරු අයට වෛද්‍යවරුන් දෙන අවවාදය වන්නේ උස් ප්‍රදේශයකට යෑම ගැන තීරණය කිරීමට කලින් වෛද්‍ය පරීක්ෂණයක් කරගන්න කියාය. * ඔබට තද සෙම්ප්‍රතිශ්‍යාවක්, බ්‍රොන්කයිටිස් හෝ නියුමෝනියාව තිබේ නම් ඔබේ ගමන ප්‍රමාද කිරීම නැණවත් දෙයකි. මන්ද උස් ප්‍රදේශයක සිටීමට අමතරව, ශ්වසන පද්ධතියේ ආසාදනයක් නිසා හෝ අධික ලෙස ශාරීරිකව වෙහෙස වීම නිසා හෝ ඇතැම් විට කෙනෙකුට අනතුරුදායක ලෙස පෙණහැලිවල ද්‍රව තැන්පත් විය හැකියි. ශ්වසන පද්ධතියේ ඇති වන රෝගී තත්වයන් නිසා බොහෝ කාලයක සිට උස් ප්‍රදේශවල ජීවත් වී තිබෙන අය පවා ඔක්සිජන් ඌනතාවෙන් පෙළී බරපතළ සෞඛ්‍ය ගැටලු අද්දැකීමට ඉඩ තිබේ. අනිත් අතට ඇදුම රෝගයෙන් පෙළෙන අය උස් ප්‍රදේශයක සිටින විට සුවයක් දැනිය හැකියි. ඇතැම් ශ්වසන රෝග තිබෙන අයට ප්‍රතිකාර ලබා දීම සඳහා උස් ප්‍රදේශයක තිබෙන රෝහලකට රැගෙන යන බව සඳහන් කරමින් රුසියානු වෛද්‍ය කණ්ඩායමක් විසින් කලින් සඳහන් කළ සම්මේලනයට වාර්තාවක් ඉදිරිපත් කළහ.

උස් ප්‍රදේශයක වාසය කිරීම

උස් ප්‍රදේශයක ජීවත් වීම ගැන බිය වීම අවශ්‍ය නැත. කෝකසස් කඳු වැනි ඇතැම් උස් ප්‍රදේශවල හැදුණු වැඩුණු බොහෝදෙනෙකු සාමාන්‍යයට වඩා දිගු ආයු කාලයක් ජීවත් වී තිබෙන නිසා එම ප්‍රදේශ ප්‍රසිද්ධියට පත්ව ඇත. සමහරුන් අතිවිශාල උසකින් යුත් ප්‍රදේශවලට ආවේණික අසීරුතා මැද අවුරුදු ගණනාවක් ජීවත් වී තිබේ. ඇන්ඩීස් කඳුකරයේ වාසය කරන පිබිදෙව්! පාඨකයෙක් මෙසේ පවසයි. “මම ගිනි කන්දක මුදුන අසල තිබෙන, මීටර් 6,000ක් උස පතලක අවුරුදු 13ක් තිස්සේ වැඩ කළා. මම ජීවත් වුණෙත් ඒ අසලයි. කුළු ගෙඩියකින් සල්ෆර් කුට්ටි කුඩා කෑලිවලට කඩන එක අමාරු වැඩක්. ඒ වුණත් දවස අවසානයේදී ෆුට් බෝල් ගහන්න අපි පුරුදු වෙලා හිටියා.” අලුත් තත්වයන්ට ගැළපෙන ලෙස සකස් වීමේ අපූර්ව හැකියාවක් මිනිස් සිරුරට ලැබී තිබේ. මෙයින් මැවුම්කරුගේ ප්‍රඥාව පිළිබඳව අප තුළ විස්මයක් ඇති කරවයි. උස් ප්‍රදේශයක පවතින ඔක්සිජන් හිඟයට සාර්ථකව මුහුණ දෙන්න අපේ සිරුරට හැක්කේ කෙසේද?

උස් ප්‍රදේශයකට පැමිණි විට සිරුර දක්වන මුල්ම ප්‍රතිචාරය වන්නේ හෘදයේ හා පෙණහැලිවල ක්‍රියාකාරිත්වය වේගවත් කිරීමයි. අනතුරුව සිරුර රුධිරයෙන් ප්ලාස්මාව ඉවතලයි. මේ නිසා ඔක්සිජන් ගෙන යන රතු රුධිරාණුවල ගණන වැඩි කරයි. කෙටි කාලයක් ඇතුළත අමතර රුධිරය මොළයට යවන්නේ එයට වැඩිපුර රුධිරය අවශ්‍ය නිසයි. පැය කිහිපයක් ඇතුළත අස්ථිවල තිබෙන ඇට මිදුලු මගින් රතු රුධිරාණු වැඩියෙන් නිෂ්පාදනය කිරීමට පටන්ගනී. එවිට මේ රතු රුධිරාණුවලට ඔක්සිජන් සමඟ එක් වීමට ඇති නැඹුරුවාව වැඩි වේ. මෙයින් පෙනී යන්නේ උස් ප්‍රදේශයක ජීවත් වීමේදී, ඊට සම්පූර්ණයෙන්ම හුරු වීමට මාස ගණනාවක් ගත වුවද ඔබේ හෘද ස්පන්දනය හා හුස්ම ගැනීම සාමාන්‍ය අතට හැරෙන්න ගත වන්නේ දවස් කිහිපයක් පමණයි.

රිය පැදවීමේදී හා ආහාර පිසීමේදී මතු වන ගැටලු

අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබෙන්නේ ඔබේ සිරුරට පමණක් නොවේ. ඔබ පදවන වාහනයේ ක්‍රියාකාරිත්වයද දුර්වල වී ඇති බවක් ඔබට දැනිය හැකියි. ඔබේ මෝටර් කාර්මික ශිල්පියා ඉන්ධන මිශ්‍රණය සකස් කළත්, ජ්වලන කාලය වඩාත් හොඳ තත්වයකට ගෙන ආවත් එන්ජිමේ බලය අඩු මට්ටමකින් තිබෙනවා ඇත. මුළුතැන් ගෙයි සිදු කෙරෙන ඉවුම් පිහුම් ගැන කුමක් කිව හැකිද?

උස් ප්‍රදේශයක ආහාර පිසීමේදී එපා කරවන දේවල් සිදු විය හැකියි. කේක් පිපී නැත. පාන් කැබලිවලට කැඩී යයි. බෝංචි වර්ග තැම්බෙන්නේ නැත. බිත්තර තැම්බෙන්නේ භාගෙට. මෙවැනි දේවල් සිදු වන්නේ ඇයි? මේ ගැන ඔබට කළ හැක්කේ කුමක්ද?

ආහාර පිසීම බොහෝ අවස්ථාවලදී අසාර්ථක වන්නේ කෑම වර්ග පුලුස්සන විටයි. පුලුස්සන විටදී පාන් හා කේක් වර්ගවල පිපීම ඇති කිරීමට යොදන ද්‍රව්‍යයන් ප්‍රසාරණය වේ. නමුත් උස් ප්‍රදේශවල වායු පීඩනය අඩු නිසා එම ප්‍රදේශවල සාදනු ලබන පාන් හා කේක්, සාමාන්‍ය ප්‍රදේශවල සාදන ඒවාට වඩා වැඩියෙන් ප්‍රසාරණය වේ. පිටි ගුලියේ ඇති කුඩා වායු බුබුළු ක්‍රමයෙන් විශාල වීම නිසා, සාදන ඒ පාන් හෝ කේක් එක කැබලිවලට කැඩෙයි. නැතහොත් ඒ වායු බුබුළු පිපිරීම නිසා කේක් එක පිපෙන්නේ නැති වේ. එහෙත් මේ ගැටලුවට විසඳුම් සොයාගැනීම අමාරු නැත. කේක් එකේ මෙළෙක් ස්වභාවයක් ඇති කරන්න ඔබ සාමාන්‍යයෙන් බිත්තර හොඳින් ගසන්නේ නම්, උස් ප්‍රදේශයක සිටිද්දී බිත්තර එතරම් වේලාවකට ගැසීමෙන් වළකින්න. යීස්ට් වැනි දෙයක් දමනවා නම්, එය සාමාන්‍යයට වඩා අඩුවෙන් දමන්න. මීටර් 600ක උස් ප්‍රදේශයකදී පිසින විට, පිපෙන්නට දමන යීස්ට් ප්‍රමාණය සාමාන්‍යයට වඩා සියයට 25කින් අඩු කරන්න කියාත්, භූමියේ උසට අනුව ක්‍රමානුකූලව ඒ ප්‍රමාණය අඩු කරන්න කියාත්, එනම් මීටර් 2,000ක උසකදී එය සියයට 75කින්වත් අඩු කරන්න කියාත් එක් පොතක (The New High Altitude Cookbook) නිර්දේශ කර ඇත.

යීස්ට් යොදාගනිමින් පාන් සාදන විට, යීස්ට් යෙදීමෙන් පසු ඒ පිටි ගුලිය ප්‍රමාණයෙන් දෙගුණයකට වඩා විශාල වන්නට ඉඩ නොදෙන්න. කේක් එකට දමන බිත්තර මගින් එය නොකැඩී තබාගන්න නිසා, කේක් එකක් සාදන විට ලොකු බිත්තර ගන්න. අනිත් අතට සීනි වැඩියෙන් දමන විට කේක් එක කැඩී යා හැකි නිසා සීනි ටිකක් අඩුවෙන් දමන්න. මීට හේතුව වන්නේ අඩු වායු පීඩනය මගින් පිටි මිශ්‍රණයේ සීනිවල තෙතමනය විගස වාෂ්ප කර, එහි සීනි ගතිය වැඩි කරන නිසයි. උස් කඳුකර ප්‍රදේශවල තිබෙන වායුව තුනී හා වියළි නිසා හුඟාක් කෑම වට්ටෝරුවලට ද්‍රව වර්ග වැඩිපුර එක් කිරීම අවශ්‍යයි.

උස් කඳුකර ප්‍රදේශවල ආහාර පිසීමට වැඩි කාලයක් ගත වේ. උදාහරණයක් හැටියට මීටර් 1,500ක උසකදී බිත්තරයක් තැම්බීමට වැඩිපුර විනාඩියක් ගත වන අතර, මීටර් 3,000කදී සාමාන්‍යයට වඩා විනාඩි තුනක් ගත වේ. ප්‍රෙෂර් කුකර් එකක් (පීඩන උදුනක්) කොතරම් වටිනවාද කියා ඔබට පෙනී යාවි. උස් කඳුකර ප්‍රදේශයකදී ප්‍රෙෂර් කුකර් එකක් නැතිව නම් ඔබට බෝංචි, පරිප්පු වැනි දේ පිසින්නට නුපුළුවන.

උස් කඳුකර ප්‍රදේශයකට යන ගමනක් ගැන බියක් ඇති කරගන්න එපා. ටික වේලාවක් යන තෙක් ගැඹුරින් හුස්ම ගැනීමට ඔබට සිදු විය හැකියි. ඔබ සාදන කේක් එක රොටියක් වගේ විය හැකියි. ඔබ පදවන කාර් එක ගමන් කරන්නේ හරියට හන්දිපත් රුදාවෙන් පෙළෙන ඉබ්බෙක් වගේ විය හැකියි. ඒ කෙසේවෙතත් ඔබට යම් මට්ටමක නිරෝගි සෞඛ්‍යයක් තිබෙනවා නම් උස් කඳුකර ප්‍රදේශයකට යන ගමනක ප්‍රීතිය ඔබට භුක්ති විඳීමට පුළුවනි.

[පාදසටහන]

^ 16 ඡේ. උස් ප්‍රදේශයක සිටින විට හුස්ම ගැනීම පහසු කිරීම සඳහා ඇතැම් වෛද්‍යවරු ඇසිටසොලමයිඩ් නමැති ඖෂධය නිර්දේශ කරති. උස් ප්‍රදේශයක සිටින විට දැනෙන ශාරීරික අපහසුතා මඟ හරවාගැනීමට වෙනත් ඖෂධ ගැන වෙළඳ දැන්වීම්වල තිබුණද, සෑම වෛද්‍යවරයෙක්ම ඒවා නිර්දේශ නොකරති.

[26, 27වන පිටුවේ රූප සටහන⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

ලොව පුරා පිහිටි උස් නගර හා කඳු කිහිපයක්

—30,000 feet—​ [9,000 මීටර්]

එවරස්ට් කන්ද, නේපාලය සහ චීනය මීටර්

29,035 feet [8,850 m]

—25,000 feet—​ [7,500 මීටර්]

—20,000 feet—​ [6,000 මීටර්]

කිලිමන්ජාරෝ කන්ද, ටැන්සානියාව

19,341 feet [5,895 m]

ආයුකාන්කිල්චා, චිලී

17,539 feet [5,346 මීටර්]

බ්ලාන් කන්ද, ප්‍රංශය

15,771 feet [4,807 මීටර්]

—15,000 feet—​ [4,500 මීටර්]

පොටොසි, බොලිවියාව

13,700 feet [4,180 මීටර්]

පූනෝ, පේරු

12,549 feet [3,826 මීටර්]

ෆූජි කන්ද, ජපානය

12,387 feet [3,776 මීටර්]

ලා පාස්, බොලිවියාව

11,900 feet [3,625 මීටර්]

—10,000 feet—​ [3,000 මීටර්]

ට්‍රංසෝ සොං, භූතානය

7,867 feet [2,398 මීටර්]

මෙක්සිකෝ නගරය, මෙක්සිකෝව

7,347 feet [2,239 මීටර්]

වොෂිංටන් කන්ද,

නියූ හැම්ෂයර්, එක්සත් ජනපදය

6,288 feet [1,917 මීටර්]

නයිරෝබි, කෙන්යාව

5,495 feet [1,675 මීටර්]

ඩෙන්වර්, කොලරාඩෝ, එක්සත් ජනපදය

5,280 feet [1,609 මීටර්]

—5,000 feet—​ [1,500 මීටර්]

මුහුදු මට්ටමේ සිට​

[24වන පිටුවේ පින්තූරය]

ලා පාස්, බොලිවියාව 11,900 feet [3,625 මීටර්]

[24වන පිටුවේ පින්තූරය]

ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව 5,740 feet [1,750 මීටර්]